කතන්දර 18
යාකොබ් හාරානයට යයි
යාකොබ් කතා කර කර ඉන්න මිනිස්සු කවුද කියලා ඔයා දන්නවාද? දවස් ගණනාවක ගමනකට පස්සේ, යාකොබ්ට ඒ අයව හමු වුණේ ළිඳක් ළඟකදීයි. ඒගොල්ලන් බැටළුවන්ව බලාගෙනයි හිටියේ. ‘ඕගොල්ලන් කොහෙන්ද?’ කියලා යාකොබ් ඇහුවා.
‘අපි හාරානයෙන්’ කියලා ඒ අය කිව්වා.
‘ඕගොල්ලන් ලාබන්ව දන්නවාද’ කියලා යාකොබ් ඇහුවා.
‘ඔව් අපි දන්නවා. එයාගේ බැටළු රැළ එක්ක අර එන්නේ එයාගේ දුව’ කියලා ඒ අය උත්තර දුන්නා. අර දුරින් එන රාඛෙල්ව ඔයාට පේනවාද?
රාඛෙල් ලාබන්ගේ බැටළුවන් එක්ක එනවා දැක්කාම, යාකොබ් ඒ බැටළුවන්ට වතුර බොන්න පුළුවන් වෙන්න, ළිඳ උඩ තිබුණු ගල අහකට පෙරළා දැම්මා. ඊට පස්සේ, යාකොබ් රාඛෙල්ව ඉඹලා, එයා කවුද කියලා ඇයට හඳුන්වලා දුන්නා. හුඟක් සන්තෝෂ වුණ ඇය ගෙදර ගිහිල්ලා ඇගේ තාත්තා වන ලාබන්ට මේ ගැන කිව්වා.
යාකොබ් තමන් එක්ක නවතින එක ගැන ලාබන් සතුටු වුණා. රාඛෙල්ව විවාහ කරගන්න පුළුවන්ද කියලා යාකොබ් ඇහුවාම, ලාබන් තවත් සන්තෝෂ වුණා. ඒ වුණාට, රාඛෙල්ව විවාහ කරගන්න නම්, තමන්ගේ කෙතේ අවුරුදු හතක් වැඩ කරන්න ඕනේ කියලා ලාබන් යාකොබ්ට කිව්වා. යාකොබ්, රාඛෙල්ට හුඟාක් ආදරේ නිසා, එයා වැඩ කළා. ඒ වුණාට, විවාහ වෙන කාලය ආවාම මොනවාද වුණේ කියලා ඔයා දන්නවාද?
ලාබන්, රාඛෙල්ව දෙන්නේ නැතුව, එයාගේ වැඩිමල් දුව ලෙයාවයි යාකොබ්ට දුන්නේ. ලාබන්ට තවත් අවුරුදු හතක් වැඩ කරන්න යාකොබ් පොරොන්දු වුණා. ඊට පස්සේ ලාබන් යාකොබ්ගේ භාර්යාව හැටියට රාඛෙල්ව දුන්නා. ඒ කාලයේ දෙවි එක මිනිසෙකුට භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගන්න ඉඩ දීලා තිබුණා. ඒ වුණාට දැන්, බයිබලයේ පැහැදිලි කරන හැටියට, මිනිසෙකුට ඉන්න පුළුවන් එක භාර්යාවක් විතරයි.