කතන්දර 15
ලොත්ගේ භාර්යාව හැරිලා බලයි
ලොත් හා එයාගේ පවුල ආබ්රහම් එක්ක කානාන් දේශයෙයි ජීවත් වුණේ. දවසක් ආබ්රහම් ලොත්ට කිව්වා ‘අපේ සතුන් ඔක්කෝටම මෙහේ ඉඩ මදි. ඉතින් අපි වෙන් වෙමු. ඔයා එක දිහාවකට යනවා නම්, මම තවත් දිහාවකට යන්නං’ කියලා.
ලොත් ඒ මුළු දේශයම දිහා හොඳින් බැලුවා. එයාගේ සත්තුන්ට වතුරත් හොඳ තණකොළත් තිබුණ හරිම ලස්සන ප්රදේශයක් එයා දැක්කා. එතැනට කිව්වේ යොර්දාන් ප්රදේශය කියලයි. ඉතින් ලොත් එයාගේ පවුලයි සතුනුයි එහාට අරන් ගියා. අන්තිමේදී ඒගොල්ලන් සොදොම් නගරයේ පදිංචි වුණා.
සොදොම්වල හිටපු මිනිස්සු හරිම නරකයි. ලොත් හොඳ මිනිසෙක් නිසා, එයා මේ ගැන දුක් වුණා. දෙවිත් මේ ගැන දුක් වුණා. අන්තිමේදී මේ නරක දේවල් නිසා දෙවි සොදොමත් ඒ ළඟම තිබුණ ගොමොරාවත් විනාශ කරන්න හිතුවා. මේ ගැන ලොත්ට දැනුම් දෙන්න, දෙවි දේවදූතයන් දෙන්නෙක්ව යැව්වා.
දේවදූතයන් ලොත්ට මෙහෙම කිව්වා: ‘ඉක්මන් කරන්න! ඔයාගේ භාර්යාවවයි ඔයාගේ දුවල දෙන්නවයි අරං මෙහෙන් පිට වෙන්න!’ හැබැයි ලොත්වත් එයාගේ පවුලවත් ඉක්මන් කළේ නැහැ. ඉතින් දේවදූතයන් ඒගොල්ලන්ව අතින් අල්ලාගෙන නගරයෙන් එළියට ගෙනිච්චා. ඊට පස්සේ එක දේවදූතයෙක් ඒගොල්ලන්ට මෙහෙම කිව්වා: ‘ඕගොල්ලන්ගේ පණ බේරගන්න! හැරිලා බලන්න එපා. විනාශ වෙන්නේ නැති වෙන්න, කඳුකරයට දුවන්න.’
ලොත් එයාගේ දුවල දෙන්නා එක්ක, ඒකට කීකරු වෙලා සොදොම් නුවරින් පැනගත්තා. ඒගොල්ලන් මොහොතකටවත් නැවතුණේ නැහැ, හැරිලා බැලුවෙත් නැහැ. ඒ වුණාට ලොත්ගේ භාර්යාව අකීකරු වුණා. ඒගොල්ලන් සොදොම්වලින් ටික දුරක් ගියාට පස්සේ, ඈ නැවතිලා, හැරිලා බැලුවා. එතකොටම ලොත්ගේ භාර්යාව ලුණු කණුවක් වුණා. ඔයාට, එයාව මේ පින්තූරයේ පේනවාද?
මේකෙන් අපිට හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දෙවිට කීකරු වන අයව ඔහු ආරක්ෂා කරනවා කියලාත් ඔහුට අකීකරු වෙන අයගේ ජීවිත නැති වෙනවා කියලාත් මේ සිද්ධිය අපිට පෙන්නනවා.