Skip to content

පටුනට යන්න

කතන්දර 35

යෙහෝවා ඔහුගේ නීති දෙයි

යෙහෝවා ඔහුගේ නීති දෙයි

ඉශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටත් වෙලා මාස දෙකකට විතර පස්සේ සීනයි කන්ද ළඟට එනවා. මේ කන්දට හොරේබ් කියලත් කියනවා. යෙහෝවා ගිනි ගනිමින් තිබුණ පඳුර තුළින් මෝසෙස්ට කතා කළෙත් මෙතනදීමයි. මිනිස්සු එතන කූඩාරම් හදාගෙන ටික කාලයක් ඉන්නවා.

මිනිසුන්ට පහළ ඉන්න දීලා, මෝසෙස් කන්ද උඩට නඟිනවා. කඳු මුදුනේදී යෙහෝවා මෝසෙස්ට කියනවා, යෙහෝවාට ඕන කරන්නේ ඉශ්‍රායෙල්වරුන් කීකරු, විශේෂ සෙනඟක් වෙනවා දකින්නයි කියලා. ඉතින් මෝසෙස් කන්දෙන් පහතට ආවාම, යෙහෝවා කිව්ව දේ ඉශ්‍රායෙල්වරුන්ට කියනවා. මිනිස්සු උත්තර දීලා කියනවා ඒගොල්ලන් යෙහෝවාගේ සෙනඟ වෙන්න ආස නිසා, ඒ අය ඔහුට කීකරු වෙනවා කියලා.

යෙහෝවා දැන් අමුතු දෙයක් කරනවා. කඳු මුදුනෙන් දුම් එන්නත්, ලොකු ශබ්දයක් ඇති වෙන්නත් ඔහු සලස්වනවා. ඔහු මිනිස්සුන්ට කතා කරලා කියනවා ‘ඊජිප්තුවෙන් පිටතට ඕගොල්ලන්ව ගෙනාව ඕගොල්ලන්ගේ දෙවි යෙහෝවා මමයි’ කියලා. ඊට පස්සේ ඔහු මෙහෙම අණ කරනවා: ‘මා හැර වෙන කිසිම දෙවිකෙනෙකුට නමස්කාර කරන්න එපා.’

දෙවි ඉශ්‍රායෙල්වරුන්ට තවත් පනත් නැත්නම් නීති නවයක් දෙනවා. මිනිස්සු හොඳටම භය වෙනවා. ඉතින් ඒගොල්ලෝ මෝසෙස්ට මෙහෙම කියනවා: ‘ඔයාම අපිට කතා කරන්න. අපි භයයි දෙවි අපිට කතා කෙරුවොත් අපි මැරෙයි කියලා.’

ඊට පස්සේ යෙහෝවා මෝසෙස්ට කියනවා ‘කන්ද උඩට නැඟලා මං ළඟට එන්න. මම පනත් ලියලා තියෙන ගල්ලෑලි දෙකක් ඔයාට දෙන්නම්. ඒ පනත්වලට සෙනඟ කීකරු වෙන්න ඕනේ’ කියලා. ඉතින් මෝසෙස් ආයෙත් කන්ද උඩට නඟිනවා. දවස් 40කුයි රෑ 40කුයි එයා එහේ ඉන්නවා.

දෙවිගේ සෙනඟට කීකරු වෙන්න නීති ගොඩක් තියෙනවා. මෝසෙස් මේ නීතිත් ලියාගන්නවා. දැන් දෙවි මෝසෙස්ට ගල්ලෑලි දෙකකුත් දෙනවා. දෙවි මුළු සෙනඟටම දුන්න නීති 10 ඒ ගල්ලෑලිවල ලියලා තිබුණේ දෙවිගේම අතින්. මේ නීතිවලට කියන්නේ දස පනත කියලයි.

දස පනතේ වැදගත් නීති රීති තියෙනවා. ඒ වුණාට දෙවි ඉශ්‍රායෙල්වරුන්ට දුන්න අනික් නීති ඔක්කෝමත් ඒ වගේම වැදගත්. මේ නීතිවලින් එකක් තමයි ‘ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාගේ මුළු හෘදයෙන්ද, මුළු බුද්ධියෙන්ද, මුළු ජීවිතයෙන් හා මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න ඕනේ’ කියන එක. ‘ඔයාට තරම්ම ඔයාගේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න ඕනේ’ කියලා තවත් නීතියක් තියෙනවා. දෙවිගේ පුතා යේසුස් ක්‍රිස්තුස් කිව්වා මේ නීති දෙක තමයි යෙහෝවා ඉශ්‍රායෙල් සෙනඟට දුන්න උසස්ම නීති දෙක කියලා. දෙවිගේ පුතා ගැනත් ඔහු උගන්වපු දේවල් ගැනත් අපි පස්සේ, ගොඩක් ඉගෙනගන්න යනවා.