කතන්දර 51
රූත් හා නායොමි
බයිබලයේ රූත් කියල පොතක් ඔයාට හොයාගන්න පුළුවන් වෙයි. ඒක, ඉශ්රායෙලයේ විනිශ්චයකරුවන් හිටිය කාලයේ ජීවත් වුණ එක පවුලක් ගැන කතාවක්. රූත් කියන්නේ මෝවබ් ජාතික තරුණ ස්ත්‍රියක්; ඇය දෙවිගේ ඉශ්රායෙල් ජාතියට අයිති කෙනෙක් නෙවෙයි. හැබැයි රූත් සැබෑ දෙවි යෙහෝවා ගැන ඉගෙනගත්තාම, ඇය ඔහුට හුඟක් ප්‍රේම කරන්න පටන්ගන්නවා. යෙහෝවා ගැන රූත්ට ඉගෙනගන්න උදව් කෙරුව නායොමි වයසක ස්ත්‍රියක්.
නායොමි ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියක්. ඉශ්රායෙල් දේශයේ කෑම හිඟයක් තිබුණ කාලයක ඇය, ඇගේ ස්වාමිපුරුෂයාත් පුතුන් දෙන්නාත් එක්ක මෝවබ් දේශයට ගියා. දවසක්දා නායොමිගේ ස්වාමිපුරුෂයා මැරුණා. කාලෙකට පස්සේ නායොමිගේ පුත්තු දෙන්නා රූත් හා ඔර්පා කියන මෝවබ් ජාතික තරුණ ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්තා. ඒ වුණාට අවුරුදු 10කට විතර පස්සේ, නායොමිගේ පුත්තු දෙන්නත් මැරුණා. නායොමියි තරුණ ස්ත්‍රීන් දෙන්නයි කොච්චර දුකෙන් ඉන්න ඇද්ද? නායොමි දැන් මොනවාද කරන්න යන්නේ?
දවසක් නායොමි හිතුවා ඇය ඇගේම ගමට ආයෙත් යන්න ඕනේ කියලා. ඉතින් ඇය මේ දුර ගමන යන්න පටන්ගන්නවා. රූත්ටයි ඔර්පාටයි ඇය එක්කම ඉන්න ඕන වුණ නිසා, ඒ දෙන්නත් ඇය එක්ක යනවා. ඒ වුණාට ඒගොල්ලන් ටික දුරක් ගියාට පස්සේ, නායොමි තරුණ ස්ත්‍රීන් දෙන්නාට කියනවා: ‘ඕගොල්ලන්ගේ ගමට ආයෙත් යන්න, ගිහිල්ලා අම්මලාත් එක්ක ඉන්න.’
නායොමි තරුණ ස්ත්‍රීන් දෙන්නාව ඉඹලා සමුගන්නවා. ඒගොල්ලන් නායොමිට හුඟාක් ආදරේ නිසා දැන් අඬන්න පටන්ගන්නවා. ඒගොල්ලන් කියනවා: ‘බැහැ! අපි එනවා ඔයත් එක්ක ඔයාගේ ගමට යන්න.’ ඒ වුණාට නායොමි කියනවා: ‘මගේ දූවරුනි, ඕගොල්ලන් යන්න ඕනේ. ගෙදර යන එක ඕගොල්ලන්ට වැඩියෙන් හොඳයි.’ ඉතින් ඔර්පා ගෙදර යන්න පිටත් වෙනවා. ඒ වුණාට රූත් යන්නේ නැහැ.
නායොමි හැරිලා ඇයට කියනවා: ‘ඔර්පා දැන් ගිහිල්ලා. ඉතින් එයා එක්ක ඔයාත් ගෙදර යන්න.’ ඒ වුණාට රූත් කියනවා: ‘ඔයාව අතහැරලා යන්න කියලා මට කියන්න එපා! ඔයාත් එක්ක එන්න මට ඉඩ දෙන්න. ඔයා යන තැනට මමත් යනවා, ඔයා නැවතෙන තැන මමත් නවතිනවා. ඔයාගේ සෙනඟ මගේ සෙනඟයි. ඔයාගේ දෙවි මගේ දෙවියි. ඔයා මැරෙන තැනමයි මමත් මැරෙන්නේ, එතැනමයි මාවත් වළලන්න ඕනේ.’ රූත් මෙහෙම කියන නිසා, නායොමි ඇයව ගෙදර යවන්න තවත් උත්සහ කරන්නේ නැහැ.
අන්තිමට මේ ස්ත්‍රීන් දෙන්නා ඉශ්‍රායෙලයට ඇවිත් එහෙ පදිංචි වෙනවා. ඒ බාර්ලි නෙළන කාලය නිසා, රූත් ඉක්මනටම කෙතේ වැඩ පටන්ගන්නවා. බෝවස් කියන මිනිසෙක් එයාගේ කෙත්වල තියන බාර්ලි ඇහිඳගන්න ඇයට අවසර දෙනවා. බෝවස්ගේ අම්මා කවුද කියලා ඔයා දන්නවාද? ඇය යෙරිකෝ නගරයේ හිටපු රාහාබ්.
දවසක්දා බෝවස් රූත්ට කියනවා: ‘මම ඔයා ගැන හැම දෙයක්ම අහලා තියෙනවා. ඔයා නායොමිට කොච්චර හොඳින් සැලකුවාද කියලත් මට ආරංචියි. ඔයාගේ තාත්තවයි අම්මවයි, ඒ වගේම ඔයාගේ රටත් අත්හැරලා, නොදන්න සෙනඟක් අතරේ ජීවත් වෙන්න ආව හැටිත් මම දන්නවා. යෙහෝවා ඔයාට හොඳින් සලකයි!’
එතකොට රූත් මෙහෙම කියනවා: ‘මහත්මයා, ඔයා මට ගොඩක් කරුණාවන්තයි. ඔයා මට හොඳින් කතා කරපු විදිහෙන් මට සැනසීමක් ලැබුණා.’ බෝවස් රූත්ට හුඟාක් කැමතියි. ඉතින් වැඩි කාලයක් යන්න කලින් ඒ දෙන්නා විවාහ වෙනවා. නායොමි මේ ගැන කොයිතරම් සන්තෝෂ වෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද! රූත් හා බෝවස්ට ඕබෙද් කියන ඒගොල්ලන්ගේ පළවෙනි පුතා ලැබුණාම නායොමිට දැන් ඊටත් වඩා සන්තෝෂයි. පස්සෙ කාලෙක ඕබෙද්ට හිටියා දාවිත් කියලා මුනුබුරෙක්. අපි දාවිත් ගැන නම් තව හුඟාක් විස්තර ඉගෙනගන්න යනවා.
රූත් 1–4 නමැති බයිබල් පොත.