Skip to content

පටුනට යන්න

කතන්දර 55

පිරිමි ළමයෙක් දෙවිට සේවය කරයි

පිරිමි ළමයෙක් දෙවිට සේවය කරයි

මේ ළමයා හරිම ලස්සන පිරිමි ළමයෙක් නේද? එයාගේ නම සාමුවෙල්. සාමුවෙල්ගේ ඔළුවේ අත තියාගෙන ඉන්න මිනිසාගේ නම ඒලී. එයා තමයි ඉශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයා. සාමුවෙල්ව ඒලී ළඟට ගේන එයාගේ තාත්තා එල්කානා හා එයාගේ අම්මා හන්නාව ඔයාට පින්තූරෙන් පේනවා ඇති.

සාමුවෙල්ට අවුරුදු හතරක් නැත්නම් පහක් විතර ඇති. ඒ වුණාට දැන් එයා ඒලී හා අනික් පූජකවරු එක්ක යෙහෝවාගේ මේ මණ්ඩපයේ ජීවත් වෙන්නයි යන්නේ. එල්කානා හා හන්නා, සාමුවෙල් තරම් පොඩි එක්කෙනෙක්ව මණ්ඩපයේ යෙහෝවාට සේවය කරන්න ගේන්නේ ඇයි කියලා බලමුද?

මේක වෙන්න අවුරුදු කීපයකට කලින් හන්නා හුඟක් දුකිනුයි හිටියේ. ඇයට දරුවෙක් ලැබෙනවාට ආශා වුණාට ඒක වුණේ නැහැ. ඒ නිසයි ඇය දුකෙන් හිටියේ. ඉතින් දවසක් හන්නා යෙහෝවාගේ මණ්ඩපයට ගියාම ඇය මෙහෙම යාච්ඤා කළා: ‘අනේ යෙහෝවා, මාව අමතක කරන්න එපා! ඔබ මට පුතෙක් දුන්නොත්, එයාගේ මුළු ජීවිත කාලය පුරාම ඔබට සේවය කරන්න මම එයාව ඔබට දෙන්න පොරොන්දු වෙනවා.’

යෙහෝවා හන්නාගේ යාච්ඤාවට උත්තරයක් දීලා මාස කිහිපයකට පස්සේ ඇයට සාමුවෙල්ව ලැබුණා. හන්නා ඇගේ පොඩි පුතාට හුඟාක් ආදරෙයි. ඉතින් පොඩි කාලේ ඉඳන්ම එයාට යෙහෝවා ගැන උගන්වන්න පටන්ගත්තා. ඇය ඇගේ ස්වාමිපුරුෂයාට කිව්වා ‘සාමුවෙල් කිරි බොන වයස පහු කළාම මම එයාව ගෙනියනවා මණ්ඩපයේ ඉඳන් යෙහෝවාට සේවය කරන්න’ කියලා.

හන්නා හා එල්කානා ඒක කරන හැටියි අපිට මේ පින්තූරයෙන් පේන්නේ. සාමුවෙල්ගේ දෙමව්පියන් එයාට හොඳින් උගන්වලා තියෙනවා. ඒ නිසයි යෙහෝවාගේ කූඩාරමේ ඉඳන් යෙහෝවාට සේවය කරන්න පුළුවන් වෙන එක ගැන එයා සන්තෝෂ වෙන්නේ. අවුරුද්දකට වතාවක් හන්නාත්, එල්කානාත් මේ විශේෂ කූඩාරමේ නමස්කාර කරන්නයි ඒගොල්ලන්ගේ පොඩි පුතාව බලන්නයි එනවා. එහෙම එද්දි හන්නා අවුරුද්දකට වතාවක් සාමුවෙල්ට අත් නැති අලුත් සළුවකුත් මහලා ගේනවා.

අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යනවා. සාමුවෙල් දිගටම යෙහෝවාගේ මණ්ඩපයේ සේවය කරනවා. එයා යෙහෝවාගෙත් මිනිස්සුන්ගෙත් ආදරේ දිනාගන්නවා. ඒ වුණාට හොප්නී හා පීනෙහාස් කියන උත්තම පූජක ඒලීගේ පුතුන් නරකයි. ඒගොල්ලන් නරක දේවල් හුඟාක් කරනවා. අනික් අයවත් යෙහෝවාට අකීකරු කරවනවා. ඒලී ඒ දෙන්නව පූජකකමින් අයින් කරන්න ඕනේ. ඒ වුණාට එයා එහෙම කරන්නේ නැහැ.

මණ්ඩපයේ වෙන නරක දේවල් නිසා සාමුවෙල් යෙහෝවාට සේවය කරන එක නවත්වන්නේ නැහැ. කොහොම වුණත්, යෙහෝවාට ඇත්තෙන්ම ආදරේ කරන අය ඉන්නේ ටිකදෙනෙක් නිසා, යෙහෝවා කිසි කෙනෙකුට ළඟදී කතා කරලා නැහැ. සාමුවෙල් ටිකක් ලොකු වුණාම මෙන්න මේකයි වෙන්නේ:

සාමුවෙල් මණ්ඩපයේ නිදාගෙන ඉන්නකොට, එයාට කටහඬක් ඇහිලා එයා ඇහැරෙනවා. එයා උත්තර දීලා කියනවා: ‘මෙන්න මම මෙහේ’ කියලා. එයා ඇඳෙන් නැඟිටිලා ඒලී ළඟට දුවලා ගිහින් මෙහෙම කියනවා: ‘ඔයා මට අඬගැහුවා නේද? මෙන්න මම ආවා.’

ඒ වුණාට ඒලී කියනවා ‘මම ඔයාට අඬගැහුවේ නැහැ; දැන් ඉතින් ගිහින් නිදාගන්නකො’ කියලා. ඉතින් සාමුවෙල් ආයෙත් නිදාගන්න යනවා.

එතකොට දෙවෙනි වරටත් ‘සාමුවෙල්!’ කියලා අඬගහන කටහඬක් ඇහෙනවා. ඉතින් සාමුවෙල් නැඟිටිලා ආයෙත් ඒලී ළඟට දුවල යනවා. ‘ඔයා මට අඬගැහුවා නේද? මෙන්න මම ආවා’ කියලා එයා කියනවා. ඒ වුණාට ඒලී කියනවා: ‘මම අඬගැහුවේ නැහැ, පුතේ. ගිහිල්ලා ආයෙත් නිදාගන්න.’ ඉතින් සාමුවෙල් ආයෙත් නිදාගන්න යනවා.

‘සාමුවෙල්!’ කියලා තුන්වෙනි වතාවටත් ඒ කටහඬම ඇහෙනවා. ඉතින් සාමුවෙල් ඒලී ළඟට දුවලා යනවා. ‘මෙන්න මම ආවා. මේ සැරේ නම් ඔයා මට අඬගහන්නම ඇති’ කියලා එයා කියනවා. දැන් ඒලීට තේරෙනවා එයාට අඬගහන්න ඇත්තේ යෙහෝවා කියලා. ඉතින් එයා සාමුවෙල්ට කියනවා: ‘යන්න ගිහිල්ලා ආයෙත් නිදාගන්න. ඔහු ඔයාට ආයෙත් අඬගැහුවොත් ඔයා කියන්න ඕනේ “යෙහෝවා කතා කරන්න. ඔබේ සේවකයා අහගෙනයි ඉන්නේ” කියලා.’

යෙහෝවා ආයෙත් අඬගැහුවාම සාමුවෙල් එහෙම උත්තර දුන්නා. එතකොට යෙහෝවා සාමුවෙල්ට කියනවා ඔහු ඒලීටයි එයාගේ පුතුන්ටයි දඬුවම් කරනවා කියලා. ඊට පස්සේ පිලිස්තිවරුන්ට විරුද්ධව කරන යුද්ධයකදී හොප්නී හා පීනෙහාස් මැරෙනවා. මේ ගැන ඒලීට අහන්න ලැබුණාම එයා වැටිලා බෙල්ල කැඩිලා මැරෙනවා. ඉතින් යෙහෝවාගේ වචනය ඉටු වෙනවා.

සාමුවෙල් ලොකු වෙලා, ඉශ්‍රායෙලයේ අන්තිම විනිශ්චයකාරයා වෙනවා. එයා වයසට ගියාම මිනිස්සු එයාට කියනවා: ‘අපිව පාලනය කරන්න රජකෙනෙක්ව තෝරන්න’ කියලා. සාමුවෙල් කැමති නැහැ මේක කරන්න. ඒගොල්ලන්ගේ රජ ඇත්තටම යෙහෝවා නිසයි එයා ඒකට අකමැති වෙන්නේ. කොහොම වුණත් යෙහෝවා එයාට කියනවා මිනිස්සු කියන දේ කරන්න කියලා.