Skip to content

පටුනට යන්න

කතන්දර 57

දෙවි දාවිත්ව තෝරාගනී

දෙවි දාවිත්ව තෝරාගනී

මේ මොනවාද වෙලා තියෙන්නේ කියලා ඔයාට පේනවාද? මේ පිරිමි ළමයා අර වලහාගෙන් පුංචි බැටළු පැටියාව බේරගෙන. වලහා ඇවිත් බැටළු පැටියාව අල්ලාගෙන ඌව කන්න හැදුවා. නමුත් මේ පිරිමි ළමයා ඌ පස්සේ දුවලා ගිහින් වලහාගේ කටෙන් බැටළු පැටියාව බේරාගත්තා. පිරිමි ළමයාට පහර දෙන්න වලහා හිටගත්තාම, එයා වලහාව අල්ලාගෙන ඌට කොයිතරම් හයියෙන් ගැහුවද කිව්වොත් වලහා මැරිලා වැටෙනවා! මීට කලින් එයා බැටළුවෙක්ව සිංහයෙක්ගෙනුත් බේරාගත්තා. එයා නම් හරිම නිර්භීත පිරිමි ළමයෙක් නේද? මේ කවුද කියලා ඔයා දන්නවාද?

මේ තරුණ දාවිත්. එයා ජීවත් වෙන්නේ බෙත්ලෙහෙම් නගරයේ. එයාගේ සීයාගේ නම ඕබෙද්. ඕබෙද් කියන්නේ රූත් හා බෝවස්ගේ පුතා. ඔයාට ඒගොල්ලන්ව මතකද? දාවිත්ගේ තාත්තාගේ නම යෙස්සේ. දාවිත් එයාගේ තාත්තාගේ බැටළුවන්ව බලාගන්නවා. යෙහෝවා සාවුල්ව රජ හැටියට තෝරාගෙන අවුරුදු 10කට පස්සේ තමයි දාවිත් ඉපදුණේ.

කාලෙකට පස්සේ යෙහෝවා සාමුවෙල්ට කියනවා: ‘විශේෂ තෙල් ටිකක් අරං බෙත්ලෙහෙමේ යෙස්සේගේ ගෙදරට යන්න. මම එයාගේ පුතෙක්ව තෝරාගෙන තියෙනවා රජ හැටියට.’ සාමුවෙල් යෙස්සේගේ වැඩිමල් පුතා එලියාබ්ව දැකලා ‘යෙහෝවා තෝරාගෙන තියෙන එක්කෙනා මෙයා වෙන්නම ඕනේ’ කියලා හිතනවා. ඒ වුණාට යෙහෝවා එයාට මෙහෙම කියනවා: ‘එයා කොච්චර උසද කොච්චර ලස්සනද කියලා බලන්න එපා. රජ වෙන්න මම එයාව නෙමෙයි තෝරලා තියෙන්නේ.’

ඉතින් යෙස්සේ අබිනාදාබ් කියන තව පුතෙක්ට අඬගහලා එයාව සාමුවෙල් ළඟට ගේනවා. ඒ වුණාට සාමුවෙල් කියනවා: ‘නැහැ, යෙහෝවා එයාවත් තෝරලා නැහැ.’ ඊළඟට, යෙස්සේ ෂම්මා කියන පුතාව ගේනවා. ‘නැහැ, යෙහෝවා එයාවත් තෝරලා නැහැ’ කියලා සාමුවෙල් කියනවා. යෙස්සේ එයාගේ පුතුන් හත්දෙනෙක්වම සාමුවෙල් ළඟට ගෙනාවාට යෙහෝවා ඒගොල්ලන්ගෙන් කාවවත් තෝරන්නේ නැහැ. ‘පිරිමි ළමයි ඉන්නේ මෙච්චරද’ කියලා සාමුවෙල් අහනවා.

‘බාලම පුතා නම් ඉන්නවා. ඒ වුණාට එයා බැටළුවන් බලාගන්න ගිහිල්ලා’ කියලා යෙස්සේ කියනවා. දාවිත්ව ගෙනාවාට පස්සේ සාමුවෙල්ට පේනවා එයාට හොඳ පෙනුමක් තියෙන බව. ‘මෙයා තමයි’ කියලා යෙහෝවා කියනවා. ‘එයාගේ හිසට තෙල් වත් කරන්න.’ ඉතින් සාමුවෙල් කරන්නේ ඒකයි. ඉතා ළඟඳීම දාවිත් ඉශ්‍රායෙලයේ රජ වෙන්න යනවා.