Skip to content

පටුනට යන්න

කතන්දර 81

දෙවි උදව් දෙයි කියලා විශ්වාස කරයි

දෙවි උදව් දෙයි කියලා විශ්වාස කරයි

දහස් ගණනක් බබිලෝනියෙන් පිට වෙලා යෙරුසලමට යනවා. ඒක දුර ගමනක්. නමුත් ඒගොල්ලන් යෙරුසලමට ඇතුල් වෙද්දී හැම දෙයක්ම කැඩිලා බිඳිලා ගිහින්. එහේ කවුරුවත්ම නැහැ. ඉශ්‍රායෙල්වරුන්ට හැම දෙයක්ම මුල ඉඳන්ම ගොඩනඟන්න වෙනවා.

ඒගොල්ලන් මුලින්ම ගොඩනඟන දේවල්වලින් එකක් වෙන්නේ පූජාසනයයි. මෙතන තමයි ඒගොල්ලන් යෙහෝවාට, සතුන්ව නැත්නම් තෑගි ඔප්පු කරන්නේ. මාස කිහිපයකට පස්සේ ඉශ්‍රායෙල්වරු දේවමාළිගාව ගොඩනඟන්න පටන්ගන්නවා. ඒ වුණාට, ඒ ළඟපාත රටවල්වල ජීවත් වෙන සතුරන් ඉශ්‍රායෙල්වරුන් ඒක ගොඩනඟනවාට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ ගොඩනැඟීම් වැඩ නවත්වනකම් ඒගොල්ලන්ව භය කරන්න. අන්තිමට මේ හතුරන් මොනවාද කරන්නේ? ඒගොල්ලන් පර්සියාවේ ඉන්න අලුත් රජුට කියලා මේ ගොඩනඟන වැඩ නවත්වන්න නීතියක් පනවාගන්නවා.

අවුරුදු ගණනාවක් පහු වෙනවා. ඉශ්‍රායෙල්වරු බබිලෝනියෙන් ඇවිත් දැන් අවුරුදු 17කුත් ගෙවිලා ගිහිල්ලා. දැන් ආයෙත් ගොඩනඟන වැඩ පටන්ගන්න කියලා මිනිස්සුන්ට කියන්න යෙහෝවා හග්ගයි හා සෙකරියා කියන ඔහුගේ අනාගතවක්තෘවරුන්ව යවනවා. ඉතින් දෙවි උදව් දෙයි කියන විශ්වාසයෙන් මිනිස්සු අනාගතවක්තෘවරුන් කිව්ව දේට කීකරු වෙනවා. ගොඩනඟන්න එපා කියලා නීතියක් තිබුණත් ඒගොල්ලන් ගොඩනඟන්න පටන්ගන්නවා.

මේ නිසා තත්තෙනයි නමැති පර්සියානු ජාතියේ නිලධාරියෙක් ඇවිත් ඉශ්‍රායෙල්වරුන්ගෙන් අහනවා ඒගොල්ලන්ට දේවමාළිගාව ගොඩනඟන්න අවසර දුන්නේ කවුද කියලා. ඉශ්‍රායෙල්වරුන් එයාට කියනවා ඒගොල්ලන් බබිලෝනියේ ඉන්නකොට කෝරෙෂ් රජ ඒගොල්ලන්ට මෙහෙම කිව්වයි කියලා: ‘දැන් යන්න යෙරුසලමට. ගිහින් ඕගොල්ලන්ගේ දෙවි යෙහෝවාගේ මාළිගාව ගොඩනඟන්න.’

ඉතින් තත්තෙනයි බබිලෝනියට ලියුමක් අරිනවා. එයා අහනවා කෝරෙෂ් ඇත්තෙන්ම මෙහෙම දෙයක් කිව්වාද කියලා. ඒ වුණාට දැන් කෝරෙෂ් මැරිලා. කොහොම වුණත් වැඩි කාලයක් යන්න කලින් පර්සියාවේ අලුත් රජුගෙන් ලියුමක් එනවා. ලියුමේ කියල තියෙන්නේ ඔව්, කෝරෙෂ් ඇත්තෙන්ම එහෙම කිව්වා කියලයි. ඉතින් රජු මෙහෙමත් ලියලා එවනවා: ‘ඉශ්‍රායෙල්වරුන්ට ඒගොල්ලන්ගේ දෙවිගේ මාළිගාව ගොඩනඟන්න ඉඩ දෙන්න. ඒගොල්ලන්ට උදව් කරන්න කියලත් මම ඔයාට අණ කරනවා.’ අවුරුදු හතරකින් විතර දේවමාළිගාව ගොඩනඟලා ඉවර වෙනවා. දැන් නම් ඉශ්‍රායෙල්වරුන්ට හරිම සන්තෝෂයි.

තව අවුරුදු ගානක් ගෙවිලා යනවා. දේවමාළිගාව ගොඩනඟලා දැන් අවුරුදු 48ක් විතර වෙනවා. ඒ වුණාට යෙරුසලමේ දැන් ඉන්න මිනිස්සු දුප්පත් නිසා නගරයවත් දේවමාළිගාවවත් එච්චර ලස්සන නැහැ. මේ කාලයේදී එස්රා කියලා ඉශ්‍රායෙල් ජාතිකයෙක් බබිලෝනියේ ඉන්නවා. එයාට දැනගන්න ලැබෙනවා දේවමාළිගාව අලුත්වැඩියා කරන්න ඕනේ බව. ඉතින් එයා මොනවාද කරන්නේ කියලා ඔයා දන්නවාද?

එස්රා යනවා පර්සියාවේ අර්තක්ෂස්තා රජව හමු වෙන්න. මේ හොඳ රජ යෙරුසලමට ගෙනියන්න කියලා තෑගි ගොඩක් එස්රාට දෙනවා. මේ තෑගි යෙරුසලමට ගෙනියන්න එයාට උදව් කරන්න එන්න කියලා එස්රා බබිලෝනියේ ඉන්න ඉශ්‍රායෙල්වරුන්ට කියනවා. එතකොට එයාත් එක්ක යන්න හයදහස්දෙනෙක් කැමති වෙනවා. ඒගොල්ලන්ට රිදී බඩුයි රත්තරන් බඩුයි තව වටිනා දේවලුයි ගොඩක් ගෙනියන්න තියෙනවා.

මඟදී නරක මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙයි කියලා එස්රා භය වෙනවා. ඒ මිනිස්සු ඒගොල්ලන් ගෙනියන රිදී බඩුයි රත්තරන් බඩුයි අරන් ඒගොල්ලන්ව මරලා දායිද දන්නෙත් නැහැ. ඉතින් මේ පින්තූරයේ පේන විදියට එස්රා ඔක්කොමලාටම එක තැනකට එන්න කියලා කියනවා. එතකොට ඒගොල්ලන් යෙහෝවාට යාච්ඤා කරලා කියනවා යෙරුසලමට යන දුර ගමනේදී ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නයි කියලා.

ඇත්තටම යෙහෝවා ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා. මාස හතරක් ගමන් කළාට පස්සේ, ඒගොල්ලන් කිසිම කරදරයක් නැතුව යෙරුසලමට එනවා. යෙහෝවා උදව් දෙයි කියලා ඔහුව විශ්වාස කරන අයව යෙහෝවාට ආරක්ෂා කරන්න පුළුවන් කියලා මේකෙන් පේනවා නේද?