කතන්දර 87
තරුණ යේසුස් දේවමාළිගාවේ
මේ වැඩිමහල්ලන් එක්ක කතා කරමින් ඉන්න පිරිමි ළමයා දිහා බලන්න. මේ අය යෙරුසලමේ දේවමාළිගාවේ ගුරුවරුන්. පිරිමි ළමයා යේසුස්. ඔහු දැන් තරමක් ලොකු වෙලා නේද? ඔහුට දැන් අවුරුදු 12යි.
යේසුස් බයිබලයේ ලියා තියෙන දේවල් ගැනත්, දෙවි ගැනත් මෙච්චර දේවල් දන්න එක ගැන මේ ගුරුවරුන්ට හරිම පුදුමයි. ඒ වුණාට යෝසෙප් හා මරියා මෙතන නැත්තේ ඇයි? ඒගොල්ලන් කොහෙද? අපි කියවලා බලමු.
අවුරුද්දකට වතාවක් පාස්කුව කියන විශේෂ උත්සවයකට යෝසෙප් එයාගේ පවුලත් එක්ක යෙරුසලමට යනවා. නාසරෙත් ඉඳන් යෙරුසලමට යන්න ගොඩක් දුර ගමන් කරන්න වෙනවා. කාටවත් කාර් එකක් තිබුණේ නැහැ, කෝච්චි තිබුණෙත් නැහැ. ඒ කාලේ මේවා තිබුණේ නැහැනේ. ඉතින් හුඟදෙනෙක් ඇවිදගෙන යන නිසා ඒගොල්ලන්ට යෙරුසලමට යන්න දවස් තුනක් විතර ගත වෙනවා.
මේ වෙනකොට යෝසෙප්ට ලොකු පවුලක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට යේසුස්ගේ මල්ලිලා නංගිලාව බලාගන්න වෙනවා. දැන් මේ අවුරුද්දෙත්, යෝසෙප් හා මරියා ඒගොල්ලන්ගේ දරුවන් එක්ක ආයෙමත් නාසරෙත් ගමට යන දුර ගමන පටන් අරන්. ඒගොල්ලන් හිතන්නේ යේසුස් අනික් අය එක්ක එනවා ඇති කියලයි. ඒ වුණාට හවස් වරුවේ ගමන ටිකකට නැවැත්තුවාම ඒගොල්ලන්ට යේසුස්ව හොයාගන්න බැරි වෙනවා. ඒගොල්ලන්ගේ නෑදෑයන් එක්ක හරි යාළුවන් එක්ක හරි ඔහු ඉන්නවාද කියලා ඒගොල්ලන් හොයලා බලනවා. ඒ වුණාට ඔහු ඒ අය එක්කවත් නැහැ! ඉතින් ඒගොල්ලන් ආයෙත් යෙරුසලමට යනවා ඔහුව හොයන්න.
ඇති යාන්තම් ඒගොල්ලන්ට ඔහුව හම්බ වෙනවා. මේ ගුරුවරුන් එක්කයි යේසුස් ඉන්නේ. ඔහු ඒගොල්ලන්ට ඇහුම්කන් දෙමින් ඒගොල්ලන්ගෙන් ප්රශ්න අහනවා. යේසුස් මෙච්චර දේවල් දන්න එක ගැන මිනිස්සුන්ට හරිම පුදුමයි. නමුත් මරියා කියනවා: ‘අනේ දරුවා, ඇයි ඔයා අපිට මේ වගේ දෙයක් කෙරුවේ? තාත්තයි මමයි ඔයාව හොයාගන්න බැරුව බය වුණ තරමක්.’
‘ඇයි ඕගොල්ලන් මාව හෙව්වේ? මම මගේ පියාගේ ගෘහයේ ඉන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නේ නැද්ද’ කියලා යේසුස් උත්තර දෙනවා.
ඔව්, යේසුස් හරිම ආසයි දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් වන තැනක ඉන්න. අපිටත් එහෙම කරන්න ආශා හිතෙන්න ඕනේ නේද? ඔහුගේ ගමේ, ඒ කියන්නේ නාසරෙත්වල ඉන්නකොට ඔහු හැම සතියේම නමස්කාර කරන්න රැස්වීම්වලට යනවා. ඔහු හැම තිස්සේම ඇහුම්කන් දුන්න නිසා බයිබලයෙන් හුඟාක් දේවල් ඉගෙනගත්තා. අපිත් යේසුස් වගේ වෙමුද?