Skip to content

පටුනට යන්න

කතන්දර 86

තාරකාවක් මිනිස්සුන්ට මඟ පෙන්වයි

තාරකාවක් මිනිස්සුන්ට මඟ පෙන්වයි

මෙතන ඉන්න මිනිසෙක් පෙන්වන අර බැබළෙන තාරකාව ඔයාට පේනවාද? ඒගොල්ලන් යෙරුසලමෙන් පිට වෙද්දී ඒගොල්ලන්ට ඒ තාරකාව පෙනුණා. මේ මිනිස්සු එන්නේ නැඟෙනහිර දිශාවෙන්. ඒගොල්ලන් තාරකා ගැන ඉගෙනගන්න අය. ඒගොල්ලන් විශ්වාස කරන්නේ මේ අලුත් තාරකාව ඒගොල්ලන්ව වැදගත් කෙනෙක් ළඟට මඟ පෙන්වයි කියලයි.

ඒ මිනිස්සු යෙරුසලමට ආවාම ඒගොල්ලන් එහෙ ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා: ‘යුදෙව්වරුන්ගේ රජ වෙන්න යන දරුවා කෝ?’ කියලා. “යුදෙව්වරුන්” කියන්නේ ඉශ්‍රායෙල්වරුන්ට කියන තවත් නමක්. ‘මේ දරුවාගේ තාරකාව මුලින්ම දැක්කේ අපි නැඟෙනහිර දිසාවේ ඉන්නකොටයි. අපි ඇවිල්ලා තියෙන්නේ ඔහුට නමස්කාර කරන්නයි’ කියලා මේ මිනිස්සු කියනවා.

මේ කාලේ හිටිය යෙරුසලමේ රජුගේ නම හෙරොද්. එයාට මේ ගැන දැනගන්න ලැබුණාම එයා කලබල වෙනවා. තව රජෙක් එයාගේ තැන ගන්නවාට කැමති නැති නිසයි එයා කලබල වෙන්නේ. ඉතින් හෙරොද් නායක පූජකයින්ට අඬගහලා ඒගොල්ලන්ගෙන් අහනවා, ‘මේ, පොරොන්දු වෙලා තියෙන රජ ඉපදෙන්නේ කොහෙයි කියලාද කියන්නේ?’ ‘බයිබලයේ කියන්නේ බෙත්ලෙහෙමේ කියලයි’ කියා ඒගොල්ලන් උත්තර දෙනවා.

ඉතින් අර නැඟෙනහිර දිශාවෙන් ආව මිනිස්සුන්ට හෙරොද් කතා කරලා කියනවා: ‘ගිහිල්ලා පොඩි දරුවාව හොයන්න බලන්න. ඕගොල්ලන්ට ඔහුව හම්බ වුණාම මට දන්වන්න. මමත් ගිහිල්ලා ඔහුට නමස්කාර කරන්න ඕනේ’ කියලා. ඒ වුණාට ඇත්තටම හෙරොද්ට ඕනෑ වුණේ දරුවාව හොයාගෙන ඔහුව මරලා දාන්නයි!

ඊළඟට, තාරකාව ඒ මිනිස්සුන්ට ඉදිරියෙන් ගිහින් බෙත්ලෙහෙමට ගමන් කරනවා. දරුවා ඉන්න තැනට උඩින් ඒක නතර වෙනවා. ඒ මිනිස්සු ගේ ඇතුලට ගියාම ඒගොල්ලන්ට මරියාවයි පුංචි යේසුස්වයි හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන් ගෙනාව තෑගි යේසුස්ට දෙනවා. කොහොම වුණත්, ඊට පස්සේ යෙහෝවා මේ මිනිස්සුන්ට ආයෙත් හෙරොද් ළඟට යන්න එපා කියලා හීනයකින් අවවාද කරනවා. ඉතින් මේගොල්ලන් වෙන දිශාවකින් ඒගොල්ලන්ගේ රටට ආයෙත් යනවා.

නැඟෙනහිර දිශාවෙන් ආව මිනිස්සු ඒගොල්ලන්ගේ රටට ආයෙත් යන්න ගියා කියලා හෙරොද්ට දැනගන්න ලැබුණාම, එයාට හරිම තරහයි. ඉතින් බෙත්ලෙහෙමේ ඉන්න වයස අවුරුදු දෙකේ නැත්නම් ඊට අඩු වයසේ හැම පිරිමි දරුවෙක්වම මරන්න කියලා එයා අණ කරනවා. ඒ වුණාට මේක වෙන්න කලින් යෙහෝවා මේ ගැන යෝසෙප්ට හීනයකින් කියනවා. ඉතින් යෝසෙප් එයාගේ පවුලත් අරන් ඊජිප්තුවට යනවා. පස්සේ හෙරොද් මැරිලයි කියලා යෝසෙප්ට දැනගන්න ලැබුණාම එයා මරියාවයි යේසුස්වයි නාසරෙත් කියන ගමට ගෙනියනවා. මෙහෙ තමයි යේසුස් වැඩෙන්නේ.

අර අලුත් තාරකාව බැබළෙන්න සැලැස්සුවේ කවුරුයි කියලාද ඔයා හිතන්නේ? ඒ තාරකාව දැක්කාට පස්සේ ඒ මිනිස්සු ඉස්සෙල්ලාම ගියේ යෙරුසලමටයි කියලා ඔයාට මතක ඇති. සාතන් කියන යක්ෂයාට තමයි දෙවිගේ පුතාව මරන්න ඕන වුණේ. එයා දැනගෙන හිටියා යෙරුසලමේ හෙරොද් රජුත් ඔහුව මරන්න උත්සාහ කරයි කියලා. ඉතින් අර තාරකාව බැබළෙන්න සලස්වන්න ඇත්තේ සාතන්මයි.