Skip to content

පටුනට යන්න

කතන්දර 99

උඩු මහලේ කාමරයක

උඩු මහලේ කාමරයක

දැන් දවස් දෙකක් පහු වෙලා. මේ බ්‍රහස්පතින්දා රෑ. යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් 12දෙනාත් එක්ක පාස්කු භෝජනය කන්න මේ උඩු මහලේ තියෙන ලොකු කාමරයකට ඇවිත්. පින්තූරයේ පේන හැටියට අර පිට වෙලා යන්නේ යූදස් ඉස්කාරියොත්. එයා මේ යන්නේ පූජකවරුන්ට යේසුස්ව අල්ලාගන්න පුළුවන් කොහොමද කියලා කියන්නයි.

මීට ඉස්සෙල්ලා දවසේ තමයි යූදස් ගිහින් ඒගොල්ලන්ගෙන් මෙහෙම ඇහුවේ: ‘යේසුස්ව අල්ලාගන්න මම ඕගොල්ලන්ට උදව් කළොත් මට මොනවාද දෙන්නේ?’ ඒගොල්ලන් කිව්වා ‘රිදී කාසි තිහක්ම දෙනවා’ කියලා. ඉතින් යූදස් මේ යන්නේ මේ අයව මුණගැහිලා ඒගොල්ලන්ව යේසුස් ළඟට ගෙනියන්නයි. ඒක කොච්චර නරකද නේද?

දැන් පාස්කු භෝජනය ඉවරයි. හැබැයි දැන් යේසුස් තව විශේෂ භෝජනයක් පටන්ගන්නවා. ඔහු ප්‍රේරිතයන්ට රොටියක් දීලා කියනවා: ‘මේක කන්න. මේකෙන් පෙන්නුම් කරන්නේ මම ඕගොල්ලන් වෙනුවෙන් දෙන්න යන මගේ ශරීරයයි.’ ඊට පස්සේ ඔහු වයින් තියෙන වීදුරුවක් අරන් ඒක ඒගොල්ලන්ට දීලා කියනවා: ‘මේක බොන්න. මේකෙන් පෙන්නුම් කරන්නේ මම ඕගොල්ලන් වෙනුවෙන් දෙන්න යන මගේ රුධිරයයි.’ බයිබලයේ මේ භෝජනයට කියන්නේ ‘ස්වාමීන්ගේ අන්තිම රාත්‍රි භෝජනය’ කියලයි.

ඉශ්‍රායෙල්වරුන් පාස්කුව කෑවේ ඒගොල්ලන් ඊජිප්තුවේ ඉන්නකොට වුණ දේවල් මතක් කරගන්නයි. දේවදූතයා ඒගොල්ලන්ගේ ගෙවල් පහු කරගෙන ගිහින් ඊජිප්තුවරුන්ගේ ගෙවල්වල හිටපු පළවෙනි දරුවාව මරලා දැම්ම හැටි මේකෙන් මතක් කළා. ඒ වුණාට දැන් යේසුස්ට ඕනේ වෙන්නේ ඔහුවයි ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන් ඔහු ජීවිතය දුන්න හැටියි සිහි කරන්න. ඒ නිසයි මේ විශේෂ භෝජනය හැම අවුරුද්දේම පවත්වන්න කියලා යේසුස් ඒගොල්ලන්ට කියන්නේ.

ස්වාමීන්ගේ අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ, යේසුස් ඔහුගේ ප්‍රේරිතයන්ට කියනවා ඒගොල්ලන් නිර්භීතව ඉන්නත් ඒගොල්ලන්ගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්නත් ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන් දෙවිට ප්‍රශංසා ගීතිකා ගයලා පිට වෙනවා. දැන් නම් ගොඩක් රෑ වෙලා. ඒගොල්ලන් කොහාටද යන්නේ කියලා බලමුද?