Skip to content

පටුනට යන්න

කතන්දර 90

ළිඳ ළඟ සිටි ස්ත්‍රිය එක්ක

ළිඳ ළඟ සිටි ස්ත්‍රිය එක්ක

යේසුස්ට විවේකයක් ගන්න ඕනේ වෙලා සමාරියේ තියෙන ළිඳක් ළඟ නැවතෙනවා. ඔහුගේ ගෝලයන් කෑම ගේන්න දැන් නුවරට ගිහින්. යේසුස් මේ කතා කර කර ඉන්නේ ළිඳෙන් වතුර ගන්න ඇවිත් ඉන්න ස්ත්‍රියක් එක්කයි. ඔහු ඈට කියනවා: ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියලා.

මේක ඇහිලා ස්ත්‍රියට හොඳටම පුදුම හිතෙනවා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? යේසුස් යුදෙව් ජාතියට අයිති කෙනෙක් නිසාත් ඇය සමාරිය ජාතියට අයිති කෙනෙක් නිසාත්. යුදෙව්වරුන්ගෙන් ගොඩක්දෙනෙක් සමාරිවරුන්ට කැමති නැහැ. ඒගොල්ලන් සමාරිවරුන් එක්ක කතා කරන්නෙවත් නැහැ! ඒ වුණාට යේසුස් නම් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට ආදරෙයි. ඉතින් ඔහු මෙහෙම කියනවා: ‘ඔයාගෙන් වතුර ඉල්ලන්නේ කවුද කියලා ඔයා ඇත්තටම දන්නවා නම්, ඔයා එයාගෙන් වතුර ඉල්ලයි. එතකොට එයා ඔයාට ජීවනය දෙන වතුර දෙයි.’

‘ළිඳ ගැඹුරුයි, ඔයා ළඟ බාල්දියක්වත් නැහැ. ඉතින් ඒ ජීවනය දෙන වතුර ඔයා ගන්නේ කොහෙන්ද’ කියලා ඒ ස්ත්‍රිය අහනවා.

‘ඔයා මේ ළිඳෙන් වතුර බිව්වාට පස්සේ ඔයාට ආයෙත් තිබහ හැදෙනවා. ඒ වුණාට මම දෙන වතුර කවුරු හරි බිව්වොත් එයාට සදහටම ජීවත් වෙන්න පුළුවන්’ කියලා යේසුස් පැහැදිලි කරනවා.

‘අනේ, ඒ වතුර මට දෙන්න! එතකොට මට ආයෙත් තිබහ දැනෙන එකක් නැහැ. මට මෙහෙන් වතුර ගන්න එන්න ඕනේ වෙන්නෙත් නැහැ’ කියලා ස්ත්‍රිය කියනවා.

මේ ස්ත්‍රිය හිතාගෙන ඉන්නේ යේසුස් මේ ඇත්ත වතුර ගැන කතා කරනවා කියලයි. නමුත් ඔහු කතා කරන්නේ දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් කතා කරන සත්‍යය ගැනයි. මේ සත්‍යය, ජීවනය ගෙන දෙන වතුර වගෙයි. ඒකෙන් කෙනෙකුට සදාකාල ජීවිතය ලැබෙන්න පුළුවන්.

යේසුස් දැන් ස්ත්‍රියට කියනවා: ‘යන්න, ගිහිං ඔයාගේ පුරුෂයාව එක්කරගෙන මෙහාට එන්න’ කියලා.

‘මට පුරුෂයෙක් නැහැ’ කියලා ඈ උත්තර දෙනවා.

‘ඔයා කිව්වා හරි. ඒ වුණාට ඔයාට පුරුෂයන් පස්දෙනෙක් ඉඳලා තියෙනවා. ඔයා දැන් ඉන්නේ ඔයාගේම පුරුෂයා එක්ක නෙමෙයි’ කියලා යේසුස් කියනවා.

මේ කිව්ව දේවල් ඇත්ත නිසා ස්ත්‍රිය ගොඩක් පුදුම වෙනවා. යේසුස් ඒ ගැන දැනගෙන හිටියේ කොහොමද? ඔව්, යේසුස් දෙවි පොරොන්දු කරපු තැනැත්තා නිසත්, මේ තොරතුරු ඔහුට දෙන්නේ දෙවි නිසත් යේසු ඒ ගැන දන්නවා. එවෙලේ යේසුස්ගේ ගෝලයන් එතැනට එනවා. ඔහු සමාරිය ස්ත්‍රියක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කාම ඒගොල්ලන්ට පුදුම හිතෙනවා.

අපි මේකෙන් ඉගෙනගන්නේ මොනවාද? මේ කතන්දරයෙන් පෙන්නුම් කරන්නේ යේසුස් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට හොඳින් සලකනවා කියන එකයි. අපිත් එහෙම වෙන්න ඕනේ නේද? අනික් අය වෙන ජාතියකට අයිති වුණ නිසාම ඒ අය නරකයි කියලා හිතන්න හොඳ නැහැ. හැමදෙනාම සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය ඉගෙනගන්නවා දකින්නයි යේසුස්ට ඕනේ කරන්නේ. ඒ වගේම අපිත් මිනිස්සුන්ට සත්‍යය ඉගෙනගන්න උදව් කරන්න කැමති වෙන්න ඕනේ.