Skip to content

පටුනට යන්න

කතන්දර 104

යේසුස් ආයෙත් ස්වර්ගයට යයි

යේසුස් ආයෙත් ස්වර්ගයට යයි

ඊළඟ දවස් ටිකෙත් යේසුස් ඔහුගේ ගෝලයන්ට කීප වතාවක්ම පෙනෙනවා. එක් වතාවකදී ඔහුගේ ගෝලයන්ගෙන් පන්සියදෙනෙකුට විතර ඔහුව දකින්න පුළුවන් වෙනවා. ඔහු ඒගොල්ලන්ට පෙනෙද්දී යේසුස් ඒගොල්ලන් එක්ක කතා කරන්නේ මොනවා ගැනද කියලා ඔයා දන්නවාද? දේවරාජ්‍යය ගැනයි. යෙහෝවා යේසුස්ව මේ පොළොවට එව්වේ රාජ්‍යය ගැන මිනිස්සුන්ට උගන්වන්නයි. ඉතින් මළවුන්ගෙන් නැඟිටුණාට පස්සෙත් ඔහු මේ ගැනයි දිගටම කතා කරන්නේ.

දැන් ඔයාට මතකද දේවරාජ්‍යය කියලා කිව්වේ මොකටද කියලා? ඔව්, ඒ රාජ්‍යය, ස්වර්ගයේ තියෙන දෙවිගේ ඇත්ත ආණ්ඩුවක්. ඒකේ රජු වෙන්න දෙවි තෝරලා තියෙන්නේ යේසුස්වයි. ඉතින් අපි ඉගෙනගත්ත හැටියට යේසුස් බඩගින්නෙන් හිටිය අයට කන්න දීලා, ලෙඩ අයව සුව කරලා, මැරුණ අයව නැඟිට්ටවලා පෙන්නුවා ඔහු කොච්චර හොඳ රජෙක් වෙන්න යනවාද කියලා.

ඉතින් එහෙනම් යේසුස් ස්වර්ගයේ ඉඳන් අවුරුදු දාහක් පාලනය කරනකොට පොළොව කොහොමට තියෙයිද? ඔව්, මුළු පොළොවම ලස්සන පාරාදීසයක් වෙන්න යනවා. යුද්ධවත්, අපරාධවත්, ලෙඩ දුක්වත්, ඇත්තටම මරණයවත් තියෙන්න යන්නේ නැහැ. අපි මේක හොඳටම දන්නේ දෙවි මේ පොළොව මැව්වේ මිනිස්සුන්ට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පාරාදීසයක් හැටියට නිසයි. ඒ නිසානේ ඔහු මුලදීම ඒදන් උයන මැව්වෙත්. ඉතින් අන්තිමට දෙවිට ඕනේ කරන දේ කිරීමට යේසුස් වගබලාගන්න යනවා.

යේසුස්ට දැන් ස්වර්ගයට යන්න කාලය ඇවිත්. දවස් 40ක් යේසුස් ඔහුගේ ගෝලයන්ට පෙනුණා. ඉතින් දැන් නම් ඔහු ආයෙත් ජීවත් වෙනවා කියන එක ගැන ඒගොල්ලන්ට කිසිම සැකයක් නැහැ. හැබැයි ඔහුගේ ගෝලයන්ව දාලා යන්න කලින් ඔහු කියනවා: ‘ඕගොල්ලන්ට ශුද්ධාත්මය ලැබෙනකං ඕගොල්ලන් යෙරුසලමේ ඉන්නම ඕනේ’ කියලා. ශුද්ධාත්මය කියන්නේ දෙවිගේ ක්‍රියා කරන බලයටයි. ඒක නිකම්, හමන සුළං වගෙයි. ඒක ඔහුගේ ගෝලයන්ට දෙවිගේ කැමැත්ත කරන්න උදව් කරන්න යනවා. යේසුස් අන්තීමට කියන්නේ ‘පොළොවේ කෙළවරට යනකම් ඕගොල්ලන් මං ගැන දේශනා කරන්න’ කියලයි.

යේසුස් මෙහෙම කිව්වාට පස්සේ හරිම පුදුම දෙයක් වෙනවා. ඔහු, මේ පින්තූරයේ පේන විදියට, ස්වර්ගයට යන්න පටන්ගන්නවා. එතකොටම ඔහුව වලාකුළකින් වැහෙන නිසා, ගෝලයන්ට ඔහුව ආයෙත් දැකගන්න බැරි වෙනවා. ඉතින් යේසුස් ස්වර්ගයට ගිහින් මේ ලෝකයේ ඉන්න ඔහුගේ ගෝලයන්ව පාලනය කරන්න පටන්ගන්නවා.