Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්

දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්

“අහසත් පොළොවත් සෑදූ” තැනැත්තා අපේ යාච්ඤා අහන්න ආසාවෙන් ඉන්නවා.—ගීතාවලිය 115:15

1, 2. යාච්ඤාව දෙවියන් දීපු තෑග්ගක් විදිහට සලකන්න ඕනෙ ඇයි, යාච්ඤාව ගැන බයිබලයේ තියෙන දේවල් අපි දැනගන්න ඕනෙ ඇයි?

මුළු විශ්වයත් එක්ක බලද්දී මේ පොළොව මොන තරම් පොඩිද! යෙහෝවා දෙවියන් පොළොව දිහා බලද්දී ලෝකේ ඉන්න ජනගහනය ඔහුට පේන්නේ හරියට භාජනයකින් වැටෙන දිය බිඳක් වගෙයි. (ගීතාවලිය 115:15; යෙසායා 40:15) ඒ වුණත් ගීතාවලිය 145:18, 19 මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි. ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.” විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට ඕනෙ අපිට ළං වෙලා ඉන්න, අපේ යාච්ඤා අහන්න. ඒක මොන තරම් වරප්‍රසාදයක්ද! ඇත්තටම යාච්ඤාව කියන්නේ දෙවියන් අපිට දීපු වටිනා තෑග්ගක්.

2 ඒත් දෙවියන් අපි කියන දේවල් අහන්නේ ඔහු කැමති විදිහට අපි යාච්ඤා කළොත් විතරයි. එහෙම යාච්ඤා කරන්නේ කොහොමද කියලා අපි බයිබලයෙන් බලමු.

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

3. ඔයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

3 යෙහෝවා දෙවියන් කැමතියි ඔයා ඔහු එක්ක කතා කරනවාට. අපි කොහොමද ඒක දන්නේ? ෆිලිප්පි 4:6, 7 කියවන්න. එතන තියෙන ආරාධනාව ගැන හොඳට හිතන්න. විශ්වයේ නිර්මාතෘ ඔයා ගැන හුඟක් සැලකිලිමත්. ඔයාට හැඟෙන විදිහ, ඔයාගේ ප්‍රශ්න ඔහුට කියනවාටයි ඔහු කැමති.

4. නිතිපතා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී ඔහු එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් වෙන්නේ කොහොමද?

4 යාළුවෝ දෙන්නෙක් හැම වෙලේම කතාබහ කරද්දී, එයාලට හැඟෙන විදිහ ගැන කියද්දී ඒ දෙන්නාගේ යාළුකම තවත් ශක්තිමත් වෙනවා. යෙහෝවා දෙවියන් එක්ක නිතරම කතා කරද්දී වෙන්නෙත් ඒ වගේ දෙයක්. ඔහු හිතන විදිහ ගැන ඔහු අපිට බයිබලයෙන් දන්වලා තියෙනවා. අනාගතයේදී කරන්නේ මොනවාද කියලා අපිට කියනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් දෙවියන්ට කියන්න. ඒ විදිහට හැමදාමත් දෙවියන් එක්ක කතා කරද්දී ඔහු එක්ක ඔයාට තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙයි.—යාකොබ් 4:8.

දෙවියන් අහන්නේ කාගේ යාච්ඤාද?

5. දෙවියන් හැම කෙනෙක්ගේම යාච්ඤා අහන්නේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවියන් හැම කෙනෙක්ගේම යාච්ඤා අහනවාද? නැහැ. යෙසායාගේ කාලයේදී ඔහු ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි. මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.” (යෙසායා 1:15) අපි පරිස්සම් වුණේ නැත්නම් දෙවියන් අකමැති දේවල් අපි අතින් වෙන්න පුළුවන්. එතකොට ඔහු අපේ යාච්ඤා අහන්නේ නැහැ.

6. විශ්වාසය අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි? ඔයා තුළත් විශ්වාසය තියෙනවා කියලා පෙන්වන්නේ කොහොමද?

6 අපේ යාච්ඤා දෙවියන් අහන්නේ අපිට ඔහු ගැන විශ්වාසයක් තිබුණොත් විතරයි. (මාක් 11:24) බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක. මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.” (හෙබ්‍රෙව් 11:6) හැබැයි දෙවියන්ව විශ්වාස කරනවා කියලා කියන එක විතරක් මදි. හැමදාම ඔහුට කීකරු වෙලා අපේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්වන්නත් ඕනේ.—යාකොබ් 2:26 කියවන්න.

7. (අ) අපි නිහතමානීව, ගෞරවනීය විදිහට යාච්ඤා කරන්න ඕනෙ ඇයි? (ආ) අපි යාච්ඤා කරන්නේ අවංකවමයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

7 අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනෙ නිහතමානීව, ගෞරවනීය විදිහට. ජනාධිපති එක්ක කතා කරන්න ලැබුණොත් අපි එයා එක්ක කතා කරන්නේ ගෞරවනීය විදිහට නේද? යෙහෝවා දෙවියන් ඊට වඩා මොන තරම් උසස්ද! ඔහු එක්ක කතා කරද්දී අපි ඊට වඩා කොච්චර නිහතමානීව, ගෞරවයෙන් කතා කරන්න ඕනෙද? (උත්පත්ති 17:1; ගීතාවලිය 138:6) ඒ වගේම යාච්ඤා කරද්දී අපි අවංක වෙන්නත් ඕනේ. කටපාඩම් කරලා යාච්ඤා කරන්නේ නැතුව හිතේ තියෙන හැම දේම ඔහුට කියනවා නම් ඒක කරන්න පුළුවන්.—මතෙව් 6:7, 8.

8. අපි යම් දෙයක් ගැන යාච්ඤා කළාට පස්සේ කරන්න ඕනෙ මොනවාද?

8 යාච්ඤා කරන දේට එකඟව වැඩ කරන එකත් අත්‍යවශ්‍යයි. උදාහරණෙකට එදිනෙදා අවශ්‍ය දේවල් දෙන්න කියලා අපි යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලනවා කියලා හිතන්න. ඊටපස්සේ, දෙවියන් ඒ හැම දේම දෙයි කියලා හිතලා කම්මැළිකමේ ඉන්නවා වෙනුවට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ලැබෙන ඕනෙම රැකියාවක් කරන්න ඕනේ. (මතෙව් 6:11; 2 තෙසලෝනික 3:10) නරක පුරුද්දක් නවත්වාගන්න උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා නම් ඒ නරක දේ කරන්න පෙලඹෙන අවස්ථාවලින් අපි ඈත් වෙලා ඉන්න ඕනේ.—කොලොස්සි 3:5.

යාච්ඤාව ගැන හුඟක් අය අහන ප්‍රශ්න

9. අපි යාච්ඤා කරන්න ඕනෙ කාටද? යාච්ඤාව ගැන යොහන් 14:6න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 අපි යාච්ඤා කරන්න ඕනෙ කාටද? යේසුස් කිව්වේ ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්ට’ යාච්ඤා කරන්න කියලයි. (මතෙව් 6:9) ඒ වගේම “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලත් ඔහු කිව්වා. (යොහන් 14:6) අපි යාච්ඤා කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට විතරයි. ඒත් අපේ යාච්ඤා කෙළින්ම දෙවියන්ට ඔප්පු කරන්න අපිට බැහැ. ඒක කරන්න ඕනෙ යේසුස් මාර්ගයෙන්. අපි එහෙම කරන්න ඕනෙ අපිව පාපයෙනුත් මරණයෙනුත් බේරාගන්න දෙවියන් යේසුස්ට දීපු විශේෂ පැවරුම ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් තියෙන නිසයි. (යොහන් 3:16; රෝම 5:12) ඒ වගේම විනිශ්චයකරු විදිහටත් උත්තම පූජකයා විදිහටත් යෙහෝවා දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස්ව කියලා අපි පිළිගන්නවා කියන දේත් ඒකෙන් පේනවා.—යොහන් 5:22; හෙබ්‍රෙව් 6:20.

ඕනෙම වෙලාවක යාච්ඤා කරන්න ඔයාට පුළුවන්

10. යාච්ඤා කරද්දී අපි විශේෂ ඉරියව්වකින් ඉන්න ඕනෙද? පැහැදිලි කරන්න.

10 යාච්ඤා කරද්දී විශේෂ ඉරියව්වකින් ඉන්න ඕනෙද? නැහැ. දණගහගෙන, ඉඳගෙන, හිටගෙන වගේ ඕනම ගෞරවාන්විත ඉරියව්වකින් අපිට යාච්ඤා කරන්න පුළුවන්. (1 ලේකම් 17:16; නෙහෙමියා 8:6; දානියෙල් 6:10; මාක් 11:25) යෙහෝවා දෙවියන්ට වැදගත් වෙන්නේ අපි යාච්ඤා කරන ඉරියව්ව නෙවෙයි. ගෞරවනීයව මුළු හිතින්ම යාච්ඤා කරනවාද කියන එකයි. දවසේ ඕනම වෙලාවක අපි කොහේ හිටියත් හඬ නඟලා හරි නිහඬව හරි යාච්ඤා කරන්න අපිට පුළුවන්. වෙන කවුරුත් අපිට ඇහුම්කන් දුන්නේ නැතත් දෙවියන් අපේ යාච්ඤා අහනවා කියලා නම් අපිට ස්ථිරයි.—නෙහෙමියා 2:1-6.

11. අපිට යාච්ඤා කරන්න පුළුවන් මොන දේවල් ගැනද?

11 අපිට යාච්ඤා කරන්න පුළුවන් මොන දේවල් ගැනද? ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරද්දී දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 5:14) අපේ පෞද්ගලික දේවල් ගැනත් කියන්න පුළුවන්ද? ඔව්. අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනෙ අපේ කිට්ටු යාළුවෙක් එක්ක කතා කරනවා වගෙයි. අපේ හිතේ තියෙන ඕනම දෙයක් ඔහුට කියන්න පුළුවන්. (ගීතාවලිය 62:8) හරි දේ කරන්න ඔහුගේ බලය දෙන්න කියලා අපිට ඉල්ලන්න පුළුවන්. (ලූක් 11:13) හරි තීරණ ගන්න ප්‍රඥාව, අභියෝගවලට මුහුණ දෙන්න ඕන කරන ශක්තිය ඉල්ලන්නත් පුළුවන්. (යාකොබ් 1:5) අපේ වැරදිවලට සමාව ඉල්ලන්නත් ඕනේ. (එෆීස 1:3, 7) අපේ පවුලේ අය ගැන, සභාවේ අය ගැන යාච්ඤා කරන්නත් අපිට පුළුවන්.—ක්‍රියා 12:5; කොලොස්සි 4:12.

12. අපේ යාච්ඤාවලදී මුල් තැන දෙන්න ඕනෙ මොන දේවලටද?

12 අපේ යාච්ඤාවලදී මුල් තැන දෙන්න ඕනෙ මොන දේවලටද? අපේ යාච්ඤාවලදී මුල් තැන දෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට සම්බන්ධ දේවලටයි. ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන හැම දේටම අපි ඔහුට ස්තුති කරන්න ඕනේ. (1 ලේකම් 29:10-13) යේසුස් යාච්ඤා කරන්න ඕන විදිහ ගැන ඔහුගේ ගෝලයන්ට ඉගැන්නුවා. (මතෙව් 6:9-13 කියවන්න.) ඔහු මුලින්ම ඉගැන්නුවේ දෙවියන්ගේ නම ශුද්ධව තියන්න කියලා, ඒ කියන්නේ දෙවියන්ගේ නමට ගෞරවයක් ඇති කරන්න කියලා ඉල්ලන්නයි. ඊළඟට දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවියන්ගේ කැමැත්ත පොළොවේ වෙන්න කියලා ඉල්ලන්නත් ඔහු ඉගැන්නුවා. ඒ වැදගත් දේවල් ගැන කිව්වාට පස්සෙයි අපේ අවශ්‍යතා ගැන කියන්න කියලා යේසුස් කිව්වේ. යෙහෝවා දෙවියන්ට සම්බන්ධ කාරණාවලට අපේ යාච්ඤාවලදී මුල් තැන දුන්නොත් අපි ඒකෙන් පෙන්වන්නේ අපිට වැදගත් වෙන්නෙත් ඒ කාරණා කියලයි.

13. අපි කොයි තරම් වෙලාවක් යාච්ඤා කරන්න ඕනෙද?

13 අපි කොයි තරම් වෙලාවක් යාච්ඤා කරන්න ඕනෙද? ගැන බයිබලයේ කියලා නැහැ. අවස්ථාවේ හැටියට කෙටියෙන් හරි දීර්ඝව හරි අපිට යාච්ඤා කරන්න පුළුවන්. උදාහරණෙකට කෑමට කලින් අපිට කෙටි යාච්ඤාවක් කරන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවියන් අපිට දීපු දේවල් ගැන ඔහුට ස්තුති කරද්දී නැත්නම් අපේ හිතේ තියෙන දේවල් ඔහුට කියද්දී වෙලාව අරන් දීර්ඝව යාච්ඤා කරන්න අපිට පුළුවන්. (1 සාමුවෙල් 1:12, 15) ඒත් යේසුස්ගේ කාලේ හිටිය සමහරු කළා වගේ අනිත් අයගේ අවධානය ගන්න දිග යාච්ඤාවන් කරන්න ඕනෙ නැහැ. (ලූක් 20:46, 47) මොකද ඒ වගේ යාච්ඤාවලට දෙවියන් කැමති නැහැ. ඔහුට වටින්නේ අපේ මුළු හදවතින්ම කරන යාච්ඤාවන්.

14. දවසට කී පාරක් යාච්ඤා කරන්න ඕනෙද, ඒකෙන් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 දවසට කී පාරක් යාච්ඤා කරන්න ඕනෙද? යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන්නේ ඔහු එක්ක නිතරම කතා කරන්න කියලයි. “නොකඩවා” යාච්ඤා කරන්න කියලා බයිබලයේ තියෙන්නේ ඒ නිසයි. (මතෙව් 26:41; රෝම 12:12; 1 තෙසලෝනික 5:17) අපි කතා කරද්දී අපිට ඇහුම්කන් දෙන්න යෙහෝවා දෙවියන් ඕනම වෙලාවක ලෑස්තියි. ඔහුගේ ආදරේ ගැන, ත්‍යාගශීලීකම ගැන අපිට හැමදාම වුණත් ඔහුට ස්තුති කරන්න පුළුවන්. ඔහුගෙන් මඟ පෙන්වීම්, ශක්තිය වගේම සහනය ඉල්ලන්නත් පුළුවන්. යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය අගය කරනවා නම් අපිට අවස්ථාව ලැබෙන හැම වෙලාවකදීම යාච්ඤා කරන්න අපි පෙලඹෙනවා.

15. යාච්ඤාවක් ඉවර කරද්දී “ආමෙන්” කියන්න ඕනෙ ඇයි?

15 යාච්ඤාවක් ඉවර කරද්දී “ආමෙන්” කියන්න ඕනෙ ඇයි? “ආමෙන්” කියන වචනයේ තේරුම “එසේම වේවා” කියන එකයි. යාච්ඤාවෙන් කියපු දේවලට අපි මුළු හිතින්ම එකඟයි කියලා ඒකෙන් පෙන්වන්න පුළුවන්. (ගීතාවලිය 41:13) කෙනෙක්, පිරිසක් වෙනුවෙන් යාච්ඤා කරනවා නම් ඒ යාච්ඤාව අවසානයේදී අපි නිහඬව හරි හඬ නඟලා හරි “ආමෙන්” කියද්දී ඒකෙන් පෙන්වන්නේ ඒ යාච්ඤාවෙන් කියපු දේවලට අපි එකඟ වෙනවා කියන එකයි.—1 ලේකම් 16:36; 1 කොරින්ති 14:16.

දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?

16. දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙනවාද? පැහැදිලි කරන්න.

16 යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙනවාද? ඔව්. බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “යාච්ඤා අසන තැනැත්තා” විදිහටයි. (ගීතාවලිය 65:2) මිලියන ගාණක් අවංක මිනිසුන් කරන යාච්ඤා ඔහු අහනවා. විවිධ ක්‍රමවලින් උත්තරත් දෙනවා.

17. යාච්ඤාවලට උත්තර දෙන්න දේවදූතයන්වත් ඔහුගේ සේවකයන්වත් දෙවියන් යොදාගන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්න දේවදූතයන්වත් පොළොවේ ඉන්න ඔහුගේ සේවකයන්වත් පාවිච්චි කරනවා. (හෙබ්‍රෙව් 1:13, 14) උදාහරණෙකට සමහරු බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරලා වැඩි කාලයක් යන්න කලින් එයාලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ව හම්බ වෙලා තියෙනවා. ලෝකේ පුරාම “ශුභාරංචිය” දේශනා කරන්න දේවදූතයන් උදව් කරනවා කියලා ඒකෙන් පැහැදිලියි. (එළිදරව් 14:6 කියවන්න.) අපිට තියෙන අවශ්‍යතාවක් ගැන හරි ප්‍රශ්නයක් ගැන හරි යාච්ඤා කළාම දෙවියන් ඔහුගේ සේවකයන්ව පාවිච්චි කරලා උදව් කරපු අවස්ථා ඕන තරම් තියෙනවා.—හිතෝපදේශ 12:25; යාකොබ් 2:16.

අපේ යාච්ඤාවලට උත්තර දෙන්න යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව යොදාගන්නවා

18. යෙහෝවා දෙවියන් යාච්ඤාවලට උත්තර දෙන්න ඔහුගේ බලයත් බයිබලයත් යොදාගන්නේ කොහොමද?

18 අපේ යාච්ඤාවලට උත්තර දෙන්න යෙහෝවා දෙවියන් ඔහුගේ බලයත් යොදාගන්නවා. ප්‍රශ්නයක් ගැන යාච්ඤා කළාම ඔහු තමන්ගේ බලය මාර්ගයෙන් ඒ ප්‍රශ්නෙට හොඳින් මුහුණ දෙන්න ඕන කරන ප්‍රඥාව, ශක්තිය අපිට දෙනවා. (2 කොරින්ති 4:7) දෙවියන් බයිබලය යොදාගෙනත් අපේ යාච්ඤාවලට උත්තර දෙනවා, හරි තීරණ ගන්න උදව් කරනවා. සමහරවිට බයිබලය කියවද්දී අපිට ඕනම කරන මඟ පෙන්වීමක් ලැබෙනවා. රැස්වීමකදී වැඩිමහල්ලෙක් පෙන්වන බයිබල් පදයකින්, රැස්වීමේදී කෙනෙක් දෙන උත්තරයකින්, අපිට ඕන කරන මඟ පෙන්වීම් දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.—ගලාති 6:1.

19. යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන් ඇයි?

19 ‘යෙහෝවා දෙවියන් තාමත් මගේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැත්තේ ඇයි’ කියලා අපිට හිතෙන්න පුළුවන්. උත්තර දෙන්න ඕනෙ මොන වෙලාවටද, කොහොමද කියලා හරියටම දන්නේ යෙහෝවා දෙවියන්. අපිට ඇත්තටම ඕනෙ මොනවාද කියලා දන්නෙත් ඔහුයි. අපිට ඔහු ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද, අපේ ඉල්ලීම කොච්චර අවංකද කියලා පෙන්වන්න සමහරවිට එකම දේ ගැන දිගටම යාච්ඤා කරන්න වෙයි. (ලූක් 11:5-10) සමහර වෙලාවට දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි. අපි ප්‍රශ්නයක් ගැන දෙවියන්ට කියනවා කියලා හිතමු. ප්‍රශ්නේ නැති කරනවා වෙනුවට ඔහු ඒකට උත්තර දෙන්නේ ඒක දරාගන්න ඕන කරන ශක්තිය දීලයි.—ෆිලිප්පි 4:13 කියවන්න.

20. අපි දිගටම යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

20 යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න අපිට ලැබිලා තියෙන එක මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! ඔහු අනිවාර්යයෙන්ම අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. (ගීතාවලිය 145:18) අපේ මුළු හිතින්ම යාච්ඤා කරන තරමට දෙවියන් එක්ක අපිට තියෙන යාළුකමත් තව වැඩි වෙනවා.