Skip to content

පටුනට යන්න

15වෙනි පරිච්ඡේදය

දෙවියන් පිළිගන්න නමස්කාරය

දෙවියන් පිළිගන්න නමස්කාරය

1. දෙවියන් පිළිගන්න නමස්කාරය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?

හුඟක් ආගම්වල අය කියන්නේ එයාලා දෙවියන් ගැන ඇත්ත උගන්වනවා කියලයි. ඒත් ඒක එහෙම වෙන්න බැහැ. මොකද දෙවියන් ගැන, ඔහුට නමස්කාර කරන්න ඕනෙ විදිහ ගැන ඒ ආගම්වල උගන්වන දේවල් එකකට එකක් වෙනස්. දෙවියන් පිළිගන්න නමස්කාරය මොකක්ද කියලා හරියටම කියන්න පුළුවන් කාටද? ඒක කියන්න පුළුවන් දෙවියන්ට විතරයි.

2. දෙවියන් පිළිගන්න නමස්කාරය ගැන දැනගන්න පුළුවන් කොහොමද?

2 යෙහෝවා දෙවියන් කැමති අපි කොහොම නමස්කාර කරනවාටද කියලා ඔහු බයිබලයෙන් අපිට දන්වලා තියෙනවා. ඒ නිසා බයිබලයේ තියෙන දේවල් ගැන හොඳට ඉගෙනගන්න. යෙහෝවා දෙවියන් ඔයාට හුඟක් ආදරේ නිසා ඒ ඉගෙනගන්න දේවල් තේරුම් අරන් ඒවා ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න ඔහු ඔයාට උදව් කරයි.—යෙසායා 48:17.

3. යෙහෝවා දෙවියන් කැමති අපි මොනවා කරනවාටද?

3 සමහරු කියනවා දෙවියන් හැම ආගමක්ම පිළිගන්නවා කියලා. ඒත් යේසුස් එහෙම කිව්වේ නැහැ. ඔහු කිව්වේ “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ” කියලයි. දෙවියන් කැමති අපි ඔහුගේ කැමැත්ත මොකක්ද කියලා බයිබලයෙන් දැනගෙන ඒක කරනවාටයි. එහෙම කරන්නේ නැති අයව යේසුස් හැඳින්නුවේ ‘අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නන්’ විදිහටයි.—මතෙව් 7:21-23.

4. දෙවියන්ගේ කැමැත්ත කරන එක ගැන යේසුස් කිව්වේ මොනවාද?

4 දෙවියන්ගේ කැමැත්ත කරද්දී අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා කියලා යේසුස් අනතුරු ඇඟෙව්වා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.” (මතෙව් 7:13, 14) පටු පාරේ යන අයට ඒ කියන්නේ දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන අයට සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන්. පළල් පාරේ යන අයට ඒ කියන්නේ දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්නේ නැති අයට අත් වෙන්නේ විනාශයයි. ඒත් යෙහෝවා දෙවියන් කැමති නැහැ කවුරුත් විනාශ වෙනවාට. ඒ නිසා ඔහු පිළිගන්න නමස්කාරය ඒ කියන්නේ සැබෑ ආගම මොකක්ද කියලා දැනගන්න ඔහු හැමෝටම අවස්ථාව දීලා තියෙනවා.—2 පේතෘස් 3:9.

සැබෑ ආගම හඳුනාගන්න

5. සැබෑ ආගම හඳුනාගන්න ඔයාට පුළුවන් කොහොමද?

5 සැබෑ ආගම හඳුනාගන්න ඒකේ ඉන්න අය කරන කියන දේවල් උදව් වෙනවා. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි. සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි.’ (මතෙව් 7:16, 17) සැබෑ ආගමේ ඉන්න අය උත්සාහ කරන්නේ හරි දේ කරන්න. එයාලව හඳුනාගන්න උදව් වෙන දේවල් කිහිපයක් දැන් බලමු.

6, 7. සැබෑ ආගමේ අය බයිබලයේ තියෙන දේවල් විතරක් උගන්වන්නේ ඇයි? ඒ ගැන යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 අපි උගන්වන්න ඕනෙ බයිබලයේ තියෙන දේවල් විතරයි. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත.” (2 තිමෝති 3:16, 17) පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වා “දෙවිගේ පණිවිඩය අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය” කියලා. (1 තෙසලෝනික 2:13) සැබෑ ආගමට අයිති අය උගන්වන්නේ බයිබලයේ තියෙන දේවල් මිසක් මිනිසුන්ගේ අදහස්, සම්ප්‍රදායන් නෙවෙයි.

7 යේසුස් ඉගැන්නුවේ දෙවියන්ගේ වචනයේ තියෙන දේවල් විතරයි. (යොහන් 17:17 කියවන්න.) ඔහු නිතරම ශුද්ධ ලියවිල්ලේ තිබුණ දේවල් සඳහන් කළා. (මතෙව් 4:4, 7, 10) සැබෑ ආගමට අයිති අයත් යේසුස්ව ආදර්ශයට ගන්නවා. එයාලා උගන්වන්නේ බයිබලයේ තියෙන දේවල් විතරයි.

8. දෙවියන්ට කරන නමස්කාරය ගැන යේසුස් ඉගැන්නුවේ මොනවාද?

8 අපි නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට විතරයි. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි” කියලා ගීතාවලිය 83:18 කියනවා. යේසුස් දෙවියන්ගේ නම මිනිසුන්ට කියලා දුන්නේ සැබෑ දෙවියන් ගැන මිනිසුන් දැනගන්නවාට යේසුස් කැමති වුණු නිසයි. (යොහන් 17:6 කියවන්න.) ඔහු මෙහෙම කිව්වා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (මතෙව් 4:10) යේසුස් වගේ අපිත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි. අපි යාච්ඤා කරද්දී, දෙවියන් ගැන කතා කරද්දී වගේම පුළුවන් හැම අවස්ථාවකදීම ඔහුගේ නම පාවිච්චි කරනවා. ඔහුගේ නම ගැන, ඔහු අපි වෙනුවෙන් කරන්න යන දේවල් ගැන අපි අනිත් අයට උගන්වනවා.

9, 10. අපි අනිත් අයට ආදරේ පෙන්වන්නේ කොහොමද?

9 අපි අනිත් අයට අවංකවම ආදරේ කරන්න ඕනේ. එකිනෙකාට ආදරේ කරන්න කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. (යොහන් 13:35 කියවන්න.) අපේ පසුබිම සංස්කෘතිය මොකක් වුණත් අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් අපි එකිනෙකාට ආදරේ කරන්න ඕනේ. සහෝදර සහෝදරියන් විදිහට එක්සත්ව ඉන්න ඕනේ. (කොලොස්සි 3:14) අපි අනිත් අයට ආදරේ කරන නිසා යුද්ධ කරන්නෙවත් මිනී මරන්නෙවත් නැහැ. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘දෙවිගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් හඳුනාගත හැක්කේ මෙලෙසය. ධර්මිෂ්ඨකම් නොකරන, තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙකු නොවේ. තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගේ බලපෑමට හසු වූ කායින් මෙන් නොවී අප එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.’—1 යොහන් 3:10-12; 4:20, 21.

10 අපේ කාලය, ශක්තිය, අපිට තියෙන දේවල් අපි යොදවන්නේ අනිත් අයට උදව් කරන්න, ඒ අයව දිරිගන්වන්න. (හෙබ්‍රෙව් 10:24, 25) අපිට ඕනෙ ‘සියලුදෙනාටම යහපත් දේවල් කරන්නයි.’—ගලාති 6:10.

11. අපි යේසුස්ට කීකරු වෙන්නේ ඇයි?

11 ගැලවීම ලැබෙන්නේ යේසුස් මාර්ගයෙන් නිසා අපි ඔහුට කීකරු වෙන්න ඕනේ. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.” (ක්‍රියා 4:12) කීකරු මිනිසුන්ව බේරාගන්න වන්දියක් විදිහට යෙහෝවා දෙවියන් යේසුස්ව දුන්නා කියලා අපි 5වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්තා. (මතෙව් 20:28) යෙහෝවා දෙවියන් පොළොවේ රජකම භාර දෙන්නේ යේසුස්ට. සදාකාල ජීවිතය ලැබෙන්නේ අපි යේසුස්ට කීකරු වුණොත් විතරයි.—යොහන් 3:36 කියවන්න.

12. අපි දේශපාලනයට හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

12 අපි දේශපාලනයට හවුල් වෙන්නේ නැහැ. යේසුස් දේශපාලනයට හවුල් වුණේ නැහැ. ඔහු රෝම ආණ්ඩුකාර පිලාත්ට කිව්වේ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලයි. (යොහන් 18:36 කියවන්න.) අපිත් සහයෝගය දෙන්නේ දේවරාජ්‍යයට විතරක් නිසා කිසිම විදිහකින්වත් අපි දේශපාලනයට හවුල් වෙන්නේ නැහැ. ඒත් “උසස් බලධාරීන්ට” යටත් වෙන්න කියලා බයිබලයේ කියනවා. (රෝම 13:1) ඒ නිසා අපි ජීවත් වෙන රටේ නීතිවලට අපි කීකරු වෙනවා. ඒත් දෙවියන් අකමැති දෙයක් කරන්න කියලා ආණ්ඩුවෙන් නීතියක් දැම්මොත් අපි ඒක කරන්නේ නැහැ. මොකද ‘අපි කීකරු වෙන්න ඕනෙ මිනිසුන්ට නොව දෙවිටයි.’—ක්‍රියා 5:29; මාක් 12:17.

13. අපි දේවරාජ්‍යය ගැන දේශනා කරන්නේ ඇයි?

13 ලෝකයේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා අපි විශ්වාස කරනවා. දේවරාජ්‍යයෙන් අපිට ලබා දෙන දේවල් දෙන්න කිසිම මිනිස් ආණ්ඩුවකට බැහැ. (ගීතාවලිය 146:3) “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤා කරන්න යේසුස් අපිට ඉගැන්නුවා. (මතෙව් 6:10) ළඟදීම දේවරාජ්‍යයෙන් හැම මිනිස් ආණ්ඩුවක්ම විනාශ කරනවා. මේ පොළොවේ සදහටම පවතින එකම ආණ්ඩුව දේවරාජ්‍යයයි. (දානියෙල් 2:44) ඒ නිසා ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ලෝකේ පුරාම දේශනා කරන්න අපි උපරිමය කරනවා.—මතෙව් 24:14 කියවන්න.

14. සැබෑ ආගම අදහන්නේ කවුරු කියලාද ඔයා හිතන්නේ?

14 දැන් මේ ප්‍රශ්න ගැන හිතන්න. බයිබලයේ තියෙන දේවල් විතරක් උගන්වන්නේ කවුද? දෙවියන්ගේ නම ගැන කියලා දෙන්නේ කවුද? එකිනෙකාට ඇත්තටම ආදරේ කරන්නේ කවුද? දෙවියන් යේසුස්ව එව්වේ අපිව ගලවාගන්නයි කියලා විශ්වාස කරන්නේ කවුද? දේශපාලනයට හවුල් වෙන්නේ නැත්තේ කවුද? ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යය කියලා දේශනා කරන්නේ කවුද? ඒ දේවල් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි.—යෙසායා 43:10-12.

ඔයාගේ තීරණය මොකක්ද?

15. අපි කරන නමස්කාරය ගැන දෙවියන් සතුටු වෙන්නේ මොනවා කළොත්ද?

15 දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන එක විතරක් මදි. මොකද භූතයනුත් දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒත් භූතයන් ඔහුට කීකරු වෙන්නේ නැහැ. (යාකොබ් 2:19) අපේ නමස්කාරය දෙවියන් පිළිගන්නේ අපි ඔහුට කීකරු වෙලා ඔහු කියන දේවල් කළොත් විතරයි.

16. අසත්‍යය උගන්වන ආගම්වලින් අපි අයින් වෙන්න ඕනෙ ඇයි?

16 අසත්‍යය උගන්වන ආගම්වලින් අයින් වුණොත් විතරයි දෙවියන් අපි ගැන සතුටු වෙන්නේ. ‘පිටතට එන්න! එම ස්ථානයේ රැඳී නොසිටින්න. ඇගෙන් [අසත්‍යය උගන්වන ආගම්වලින්] ඉවත් වී පවිත්‍රව සිටින්න’ කියලා බයිබලයේ කියනවා. (යෙසායා 52:11; 2 කොරින්ති 6:17) අපි ඉක්මනින්ම ඒවාට සම්බන්ධ හැම දේකින්ම අයින් වෙන එක අත්‍යවශ්‍යයි.

17, 18. “මහ බැබිලෝනිය” කියන්නේ මොකක්ද? ඉක්මනින්ම ඒකෙන් අයින් වෙන්න ඕනෙ ඇයි?

17 බයිබලයේ ඉගැන්වීම්වලට වෙනස්ව වැඩ කරන්න උගන්වන ඕනම ආගමක් අසත්‍යය උගන්වන ආගම්වලට අයිතියි. ඒ ආගම් බයිබලයේ හඳුන්වන්නේ “මහ බැබිලෝනිය” කියලා. (එළිදරව් 17:5) ඒ ඇයි? නෝවාගේ කාලේ ජලගැල්මෙන් පස්සේ හුඟක් අසත්‍යය ඉගැන්වීම් ආරම්භ වුණේ බැබිලෝනියෙන්. ඒවා ලෝකේ පුරාම ව්‍යාප්ත වුණා. උදාහරණෙකට බැබිලෝනිවරු ත්‍රිත්ව දෙවිවරුන්ට නමස්කාර කළා. අදත් හුඟක් ආගම්වල උගන්වනවා දෙවියන් ත්‍රිත්වයක් කියලා. ඒත් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි, ඔහුගේ නම යෙහෝවා, යේසුස් ඔහුගේ පුතා කියලා බයිබලයේ පැහැදිලිවම කියනවා. (යොහන් 17:3) කෙනෙක් මැරුණාම එයාගෙන් වෙන් වෙලා යන අමරණීය දෙයක් ඉතුරු වෙනවා කියලත් බැබිලෝනිවරු විශ්වාස කළා. ඒත් ඒක බොරුවක්.—14, 17 අමතර සටහන් බලන්න.

18 ළඟදීම දෙවියන් අසත්‍යය උගන්වන හැම ආගමක්ම විනාශ කරනවා. (එළිදරව් 18:8) ඒ ආගම්වලින් ඉක්මනටම අයින් වෙන්න ඕනෙ ඇයි කියලා ඔයාට තේරෙනවාද? ඒ ආගම් විනාශ කරන්න කලින් ඔයා ඒ ආගම්වලින් අයින් වෙයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—එළිදරව් 18:4.

යෙහෝවා දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වුණොත් ලෝකේ පුරාම ඉන්න ආදරණීය පවුලක සාමාජිකයෙක් වෙන්න පුළුවන් වෙනවා

19. දෙවියන්ට සේවය කරන්න ඔයා තීරණය කළොත් දෙවියන් ඔයාව බලාගන්නේ කොහොමද?

19 අසත්‍යය උගන්වන ආගම් අත්හැරලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයා තීරණය කළාම එහෙම කළේ ඇයි කියලා පවුලේ අය, යාළුවෝ තේරුම්ගන්න එකක් නැහැ. ඒත් යෙහෝවා දෙවියන් ඔයාව අත්හරින්නේ නැහැ. ඒ වගේම ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් අය එයාලගේම පවුලේ කෙනෙක් විදිහට ඔයාව ආදරෙන් පිළිගනියි. පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුවත් ඔයාට ලැබෙනවා. (මාක් 10:28-30) දැන් ඔයාට ප්‍රශ්න ඇති කරන යාළුවෝ, පවුලේ අය පස්සේ කාලෙක දෙවියන්ට නමස්කාර කරන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරි තීරණය ගන්න බය වෙන්න එපා.

20. දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන එක වැදගත් ඇයි?

20 ළඟදීම යෙහෝවා දෙවියන් හැම නරක දෙයක්ම නැති කළාට පස්සේ මුළු ලෝකෙම පාලනය කරන්නේ දේවරාජ්‍යයෙන්. (2 පේතෘස් 3:9, 13) ඒක මොන තරම් ලස්සන කාලයක් වෙයිද! ඒ කාලෙදී පොළොවේ ඉන්නේ දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන අය විතරයි. ඒ නිසා දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න ඔයාත් දැන්ම තීරණයක් ගන්න.