Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

1. දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

දෙවියන් මුල් මිනිස් යුවළ වුණු ආදම්, ඒවව නිර්මාණය කරලා ඒදන් කියන උයනේ පදිංචි කළා. එයාලගේ දරුවන් පොළොව පුරාම පැතිරිලා පොළොව ලස්සන උයනක් කරලා සතුන්වත් බලාගෙන සදහටම ජීවත් වෙයි කියලයි දෙවියන් බලාපොරොත්තු වුණේ.—උත්පත්ති 1:28; 2:8, 9, 15; 6වෙනි අමතර සටහන බලන්න.

2. (අ) මිනිසුන්ව නිර්මාණය කරද්දී දෙවියන් බලාපොරොත්තු වුණු දේ ඔහු ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද? (ආ) දෙවියන් කැමති මේ පොළොවේ මොන වගේ මිනිසුන් ජීවත් වෙනවාටද? ඒ කොච්චර කාලෙකටද?

2 අද පොළොවේ තියෙන්නේ දෙවියන් බලාපොරොත්තු වුණු තත්වය නෙවෙයි. ඒ කියන්නේ මිනිසුන්ව නිර්මාණය කරද්දී දෙවියන් බලාපොරොත්තු වුණු දේ ඉටු වෙන්නේ නැහැ කියලාද? නැහැ. ඒ ගැන දෙවියන් මෙහෙම කියලා තියෙනවා. “මා අරමුණු කළ දේ ඉටු වන්නේය. මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි.” (යෙසායා 46:9-11; 55:11) දෙවියන් බලාපොරොත්තු වුණු දේ ඔහු ඉටු කරනවාමයි. ඔහුව නවත්වන්න කාටවත් බැහැ. ඔහු පොළොව නිර්මාණය කළේ ‘හිස්, පාළු තැනක්’ වෙන්න නෙවෙයි. (යෙසායා 45:18) ඔහුට ඕනෙ මුළු පොළොවෙම මිනිසුන් ජීවත් වෙනවා දකින්න. දෙවියන් කැමති මොන වගේ මිනිසුන් පොළොවේ ජීවත් වෙනවාටද? කොච්චර කාලයක් ජීවත් වෙනවාටද? ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨයෝ [කීකරු අය] පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

3. ලෝකයේ තියෙන ප්‍රශ්න ගැටලු දකිද්දී ඔයාට හිතෙන්නේ මොනවාද?

3 ඒත් අද මිනිසුන් දුක් විඳලා අසනීප වෙලා මැරෙනවා. එකිනෙකාව මරාගන්නවා. දෙවියන් බලාපොරොත්තු වුණේ ඒ වගේ දෙයක් නෙවෙයි නම් ඒ දේවල් වෙන්නේ ඇයි? ඒකට උත්තර හොයාගන්න පුළුවන් බයිබලයෙන් විතරයි.

දෙවියන්ගේ සතුරා

4, 5. (අ) සර්පයෙක්ව යොදාගෙන ඒවට කතා කළේ කවුද? (ආ) කෙනෙක් හොරෙක් වෙන්නේ කොහොමද?

4 දෙවියන්ට සතුරෙක් ඉන්නවා කියලත් එයාව “යක්ෂයා” හැටියටත් “සාතන්” හැටියටත් හඳුන්වනවා කියලත් බයිබලයේ කියනවා. (එළිදරව් 12:9) එයා සර්පයෙක්ව යොදාගෙන ඒදන් උයනේ හිටපු ඒවව රැවැට්ටුවා. (උත්පත්ති 3:1) ඒවට පෙනුණේ සර්පයා එයා එක්ක කතා කරනවා වගෙයි. ඒත් ඇත්තටම කතා කළේ සාතන්.—7වෙනි අමතර සටහන බලන්න.

5 හැමෝවම නිර්මාණය කළේ දෙවියන් නම් සාතන්ව නිර්මාණය කළෙත් දෙවියන්ද? නැහැ. දෙවියන් පොළොව නිර්මාණය කරද්දී එයා හිටියේ ස්වර්ගයේ දේවදූතයෙක් විදිහට. පස්සේ තමයි එයා වෙනස් වෙලා සාතන් වුණේ. (යෝබ් 38:4, 7) මෙහෙම හිතන්න. කෙනෙක් උපතින්ම හොරෙක් වෙනවාද? නැහැ. මුලදී එයා අවංකයි. ඒත් එයාට අයිති නැති දෙයක් ගැන එයා හිතේ ආසාවක් ඇති කරගන්නවා. එයා ඒ ගැන දිගටම හිතද්දී ඒ ආසාව තවත් වැඩි වෙනවා. ඒ නිසා අවස්ථාවක් ලැබුණු ගමන්ම එයා ඒක හොරකම් කරනවා. එතකොටයි එයා හොරෙක් වෙන්නේ.—යාකොබ් 1:13-15 කියවන්න; 8වෙනි අමතර සටහන බලන්න.

6. දේවදූතයෙක් දෙවියන්ගේ සතුරෙක් වුණේ කොහොමද?

6 මුලදී දේවදූතයෙක් විදිහට හිටපු සාතන්ට වුණෙත් ඒකමයි. යෙහෝවා දෙවියන් ආදම්, ඒවව නිර්මාණය කරලා එයාලට කිව්වා දරුවන් බිහි කරලා ‘මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරන්න’ කියලා. (උත්පත්ති 1:27, 28) ඒක දැනගත්තාම ඒ දේවදූතයාට හිතෙන්න ඇති ‘මිනිසුන් හැමෝම යෙහෝවා දෙවියන්ට දෙන නමස්කාරය මට ගන්න පුළුවන් නම් කොච්චර හොඳද’ කියලා. එයා ඒ ගැන දිගටම හිතද්දී යෙහෝවා දෙවියන්ට අයිති දේ ගන්න තිබුණු ආසාව තවත් වැඩි වුණා. අන්තිමේදී බොරු කියලා ඒවව රැවැට්ටුවා. (උත්පත්ති 3:1-5 කියවන්න.) ඒ නිසයි එයාව සාතන් කියලත් යක්ෂයා කියලත් හඳුන්වන්නේ. එදා ඉඳන් එයා දෙවියන්ගේ සතුරෙක් වුණා.

7. (අ) ආදම්, ඒව මැරුණේ ඇයි? (ආ) අපි හැමෝම වයසට යන්නෙත් මැරෙන්නෙත් ඇයි?

7 ආදම්, ඒව දෙවියන්ට අකීකරු වෙලා කන්න එපා කියපු ගහෙන් කෑවා. (උත්පත්ති 2:17; 3:6) එයාලා කරපු ඒ පාපය ඒ කියන්නේ ඒ වරද නිසා දෙවියන් කිව්ව විදිහටම කාලයක් ගිහින් එයාලා මැරුණා. (උත්පත්ති 3:17-19) එයාලගේ දරුවන්ටත් පව්කාර ස්වභාවය උරුම වුණු නිසා එයාලත් මැරුණා. (රෝම 5:12 කියවන්න.) මෙහෙම හිතන්න. පාන් අච්චුවක කඩතොල්ලක් තිබුණොත් ඒකෙන් පුච්චන හැම පාන් ගෙඩියකම ඒ කඩතොල්ල තියෙනවා. ආදම් උරුම කරගත්ත පාපයත් ඒ කඩතොල්ල වගේ. එයාගෙන් පැවතෙන හැමෝටම පව්කාර ස්වභාවය උරුම වුණා. අපි වයසට යන්නෙත් මැරෙන්නෙත් ඒ නිසයි.—රෝම 3:23; 9වෙනි අමතර සටහන බලන්න.

8, 9. (අ) සාතන්ට ඕන වුණේ ආදම්, ඒව මොන දේ විශ්වාස කරනවා දකින්නද? (ආ) යෙහෝවා දෙවියන් කැරලිකරුවන්ව ඒ වෙලාවෙම විනාශ කළේ නැත්තේ ඇයි?

8 ආදම්වයි ඒවවයි දෙවියන්ට විරුද්ධ වෙන්න පොලඹවපු වෙලේ ඉඳන් සාතන් දෙවියන්ට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා. සාතන්ට ඕන වුණේ යෙහෝවා දෙවියන් බොරුකාරයෙක් කියලත් ඔහු මිනිසුන්ගේ යහපත ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති නරක පාලකයෙක් කියලත් ආදම්, ඒව විශ්වාස කරනවා දකින්න. එයා උත්සාහ කළේ ආදම්ටයි ඒවටයි දෙවියන්ගේ පාලනය ඕනෙ නැහැ, හරි වැරැද්ද තීරණය කරන්න එයාලටම පුළුවන් කියලා අඟවන්න. ඕනෙ නම් දෙවියන්ට පුළුවන්කම තිබුණා කැරලිකරුවන්ව ඒ වෙලාවෙම විනාශ කරන්න. ඒත් ඒකෙන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු වෙනවාද? නැහැ.

9 යෙහෝවා දෙවියන් ඒ වෙලාවෙම එයාලව විනාශ කළේ නැහැ. ඒ වෙනුවට යම් කාලෙකට එයාලවම පාලනය කරගන්න මිනිසුන්ට ඉඩ දුන්නා. සාතන් බොරුකාරයෙක් කියලත් මිනිසුන්ව පාලනය කරන්න සුදුසුම කෙනා යෙහෝවා දෙවියන් කියලත් ඒ කාලය ඇතුළතදී ඔප්පු වෙනවා. ඒ ගැන වැඩි විස්තර 11වෙනි පරිච්ඡේදයේ තියෙනවා. ආදම්, ඒව කරපු දේ ගැන ඔයාට මොනවාද හිතෙන්නේ? එයාලා සාතන්ව විශ්වාස කරලා දෙවියන්ට අකීකරු වුණු එක හරිද? කිසිම අඩුවක් නැති ජීවිතයක්, සතුටින් ඉන්න ලස්සන තැනක්, සතුටින් කරන්න පුළුවන් වැඩ වගේ හැම දේම යෙහෝවා දෙවියන් ඒ දෙන්නාට දීලයි තිබුණේ. ඒත් සාතන් එයාලා වෙනුවෙන් කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ඔයා එදා එතන හිටියා නම් ඔයා ගන්නේ කාගේ පැත්තද?

10. අපි එක් එක් කෙනාට ගන්න තියෙන වැදගත් තීරණය මොකක්ද?

10 එදා ආදම්ටයි ඒවටයි ගන්න තිබුණු තීරණය අද අපි ඉස්සරහාත් තියෙනවා. අපේ ජීවිත රැඳිලා තියෙන්නේ ඒ තීරණය මත. අපේ පාලකයා විදිහට යෙහෝවා දෙවියන්ව තෝරාගෙන ඔහුට කීකරු වෙලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න අපිට පුළුවන්. නැත්නම් සාතන්ව අපේ පාලකයා විදිහට තෝරාගන්නත් පුළුවන්. (ගීතාවලිය 73:28; හිතෝපදේශ 27:11 කියවන්න.) දෙවියන්ට කීකරු වෙන්න තෝරාගෙන තියෙන්නේ ටිකදෙනෙක් විතරයි. වැඩිදෙනෙක් තෝරාගෙන තියෙන්නේ මේ ලෝකයේ පාලකයාගේ පැත්ත. ඇත්තටම මේ ලෝකයේ පාලකයා කවුද?

ලෝකය පාලනය කරන්නේ කවුද?

ලෝකයේ තියෙන රාජ්‍යවල් සාතන්ට අයිති නැත්නම් ඒවා යේසුස්ට දෙනවා කියලා කියන්න සාතන්ට පුළුවන්ද?

11, 12. (අ) සාතන් යේසුස්ට දෙන්න හදපු දෙයින් තේරෙන්නේ මොනවාද? (ආ) ලෝකයේ පාලකයා සාතන් කියලා පෙන්වන බයිබල් පද මොනවාද?

11 ලෝකයේ පාලකයා කවුද කියලා යේසුස් දැනගෙන හිටියා. දවසක් සාතන් යේසුස්ට ‘ලෝකයේ සියලු රාජ්‍යයන් පෙන්වලා’ මෙහෙම කිව්වා. “ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා.” (මතෙව් 4:8, 9; ලූක් 4:5, 6) ඒ රාජ්‍යවල් සාතන්ට අයිති නැත්නම් ඒවා යේසුස්ට දෙනවා කියන්න එයාට පුළුවන්ද? බැහැ. ලෝකයේ හැම ආණ්ඩුවක්ම අයිති සාතන්ට කියලා ඒකෙන් පැහැදිලියි.

12 ඒත් සාතන් ලෝකයේ පාලකයා වෙන්නේ කොහොමද? විශ්වය නිර්මාණය කළේ සියලු බලැති යෙහෝවා දෙවියන් නේද? (එළිදරව් 4:11) ඔව්. හැබැයි යේසුස් පැහැදිලිවම කිව්වා “මේ ලෝකයේ පාලකයා” සාතන් කියලා. (යොහන් 12:31; 14:30; 16:11) යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් සාතන්ව හැඳින්නුවෙත් “මේ සමාජයේ දෙවියා” විදිහට. (2 කොරින්ති 4:3, 4) තවත් නියෝජිතයෙක් වුණු යොහන් කිව්වේ “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” කියලයි.—1 යොහන් 5:19.

සාතන්ගේ පාලනයට නිමාවක්!

13. සාතන්ගේ පාලනයට නිමාවක් ලැබෙන්න ඕනෙ ඇයි?

13 සාතන් යටතේ තියෙන දුෂ්ට මිනිස් සමාජය දවසින් දවස පිරිහෙනවා. හැම තැනම තියෙන්නේ යුද්ධ, දූෂණය, කුහකකම, ප්‍රචණ්ඩත්වය වගේ දේවල්. කොච්චර උත්සාහ කළත් මිනිසුන්ට ඒවා නැති කරන්න බැහැ. ඒත් ළඟදීම දෙවියන් දුෂ්ට මිනිස් සමාජය පොළොවෙන් ඉවත් කරනවා. ඔහු ඒක කරන්නේ හර්–මගෙදොන් කියලා හඳුන්වන යුද්ධයේදී. ඊටපස්සේ පොළොවේ ඉතිරි වෙන්නේ ධර්මිෂ්ඨ මිනිසුන් විතරයි.—එළිදරව් 16:14-16; 10වෙනි අමතර සටහන බලන්න.

14. දෙවියන්ගේ ආණ්ඩුවේ රජ විදිහට තෝරාගෙන තියෙන්නේ කාවද? බයිබලයේ යේසුස් ගැන කලින්ම කියලා තිබුණේ මොනවාද?

14 දෙවියන් ඒ දේවල් කරන්නේ ස්වර්ගයේ දැනටමත් පිහිටුවලා තියෙන ආණ්ඩුවකින්. ඒකේ රජ විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව. යේසුස් “සමාදානයේ කුමාරයා” විදිහට පාලනය කරනවා කියලත් ඔහුගේ ආණ්ඩුව සදහටම පවතිනවා කියලත් බයිබලයේ කලින්ම කියලා තිබුණා. (යෙසායා 9:6, 7) “ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤා කරන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවේ ඒ රාජ්‍යය ගැනයි. (මතෙව් 6:10) දෙවියන්ගේ ආණ්ඩුවෙන් මිනිසුන්ගේ ආණ්ඩු ඉවත් කරන්නේ කොහොමද කියලා 8වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්. (දානියෙල් 2:44 කියවන්න.) එහෙම කළාට පස්සේ ඒ ආණ්ඩුව මුළු පොළොවම ලස්සන උයනක් ඒ කියන්නේ පාරාදීසයක් කරනවා.—11වෙනි අමතර සටහන බලන්න.

පාරාදීසය අත ළඟයි!

15. “අලුත් පොළොව” කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

15 “ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු” කියලා බයිබලයේ කියලා තියෙනවා. (2 පේතෘස් 3:13; යෙසායා 65:17) බයිබලයේ “පොළොව” කියලා සඳහන් වෙන සමහර අවස්ථාවලදී ඒකෙන් අදහස් කළේ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ව. (උත්පත්ති 11:1) ඒ නිසා ධර්මිෂ්ඨකම රජයන “අලුත් පොළොව” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන්ගේ ආශීර්වාදය ලබන කීකරු මිනිසුන්වයි.

16. පාරාදීසයේ ජීවත් වෙන අයට දෙවියන් දෙන වටිනා තෑග්ග මොකක්ද? ඒ තෑග්ග ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

16 පාරාදීසයේ ජීවත් වෙන අයට “සදාකාල ජීවනය” දෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා. (මාක් 10:30) ඒ තෑග්ග ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? උත්තරේ දැනගන්න යොහන් 3:16 සහ 17:3 පද කියවලා බලන්න. පාරාදීස පොළොව මොන වගේ තැනක් වෙයිද කියලා අපි බයිබලයෙන් බලමු.

17, 18. පොළොවේ සාමය, සුරක්ෂිතභාවය තියෙයි කියලා කියන්න පුළුවන් ඇයි?

17 දුෂ්ටකම, යුද්ධ, අපරාධ, ප්‍රචණ්ඩත්වය නැහැ. කිසිම දුෂ්ට මිනිසෙක් පොළොවේ ඉතිරි වෙන්නේ නැහැ. (ගීතාවලිය 37:10, 11) දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වනවා.’ (ගීතාවලිය 46:9; යෙසායා 2:4) පොළොවේ ඉන්නේ දෙවියන්ට ආදරේ කරන, කීකරු මිනිසුන් විතරයි. හැමදාටම සාමය තියෙනවා.—ගීතාවලිය 72:7.

18 හැමෝම බයක් සැකක් නැතුව ජීවත් වෙනවා. අතීතයේ ඊශ්‍රායෙල්වරු දෙවියන්ට කීකරුව ජීවත් වෙද්දී දෙවියන් එයාලව ආරක්ෂා කළා. ඒ නිසා කිසි දේකට බය නැතුව ජීවත් වෙන්න එයාලට පුළුවන් වුණා. (ලෙවී කතාව 25:18, 19) ඉස්සරහට පොළොව පාරාදීසයක් වුණාම කිසි දේකටවත් කිසි කෙනෙකුටවත් බය නැතුව නිදහසේ ජීවත් වෙන්න අපිට පුළුවන්.—යෙසායා 32:18; මීකා 4:4 කියවන්න.

19. පාරාදීසයේදී කෑම හිඟ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?

19 හැමෝටම ඇති තරම් කෑම තියෙනවා. ‘පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යනවා. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යනවා.’ (ගීතාවලිය 72:16) අපේ දෙවියන් වන යෙහෝවා ‘අපිට ආශීර්වාද කරන නිසා භූමිය බොහෝ පල දරනවා.’—ගීතාවලිය 67:6.

20. මුළු පොළොවම පාරාදීසයක් වෙනවා කියලා අපි දන්නේ කොහොමද?

20 මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. හැමෝටම ලස්සන ගෙවල්, ගෙවතු තියෙනවා. (යෙසායා 65:21-24; එළිදරව් 11:18 කියවන්න.) එදාට මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන උයනක් වෙනවා. අපිට ඕන කරන හැම දේම දීලා යෙහෝවා දෙවියන් අපිව බලාගන්නවා. දෙවියන් ඔහුගේ ‘හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා.’—ගීතාවලිය 145:16.

21. මිනිසුන් සහ සතුන් සාමයෙන් ඉඳියි කියලා අපි දන්නේ කොහොමද?

21 මිනිසුන් සහ සතුන් සාමයෙන් ඉන්නවා. සත්තු මිනිසුන්ට කිසිම හානියක් කරන්නේ නැහැ. එදාට පුංචි දරුවන් අද හුඟක් දරුණුයි කියලා සලකන සතුන් එක්කත් සෙල්ලම් කරනවා.—යෙසායා 11:6-9; 65:25 කියවන්න.

22. අසනීපෙන් ඉන්න අයට යේසුස් කරන්නේ මොනවාද?

22 කිසිම කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ. යේසුස් පොළොවේ හිටිය කාලෙදී හුඟක් අයව සුව කළා. (මතෙව් 9:35; මාක් 1:40-42; යොහන් 5:5-9) දෙවියන්ගේ ආණ්ඩුවේ රජ විදිහට යේසුස් අසනීපෙන් ඉන්න හැමෝවම අනාගතයේදී සුව කරනවා. එදාට කවුරුත් “මා ලෙඩින්” කියන්නේ නැහැ.—යෙසායා 33:24; 35:5, 6.

23. මිය ගිය අයට දෙවියන් කරන්නේ මොනවාද?

23 මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙනවා. මිය ගිය මිලියන ගාණකට ආයෙත් ජීවිතය දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ ‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා’ කියලයි.—යොහන් 5:28, 29 කියවන්න; ක්‍රියා 24:15.

24. පාරාදීස පොළොවේ ජීවිතය ගැන ඔයා හිතන්නේ මොනවාද?

24 අපි එක් එක් කෙනාට තීරණයක් ගන්න තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරනවාද නැත්නම් අපිට ඕන විදිහට ජීවත් වෙනවාද කියන දේ. දෙවියන්ට නමස්කාර කරන්න තීරණය කළොත් අපිට ලැබෙන්නේ ලස්සන අනාගතයක්. යේසුස් වධකණුවේ ඉද්දී ඔහුට එහායින් හිටිය අපරාධකරුවා ‘මාව අමතක කරන්න එපා’ කියලා කිව්වාම යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට පොරොන්දු වෙනවා.” (ලූක් 23:43) ඔහු කිව්වේ පොළොව පාරාදීසයක් වෙන කාලෙදී ඒ මිනිසාට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලයි. අපිටත් ඒ ලස්සන අනාගතය දෙන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා. යේසුස් ගැනත් දෙවියන් දීපු පොරොන්දු ඔහු ඉටු කරන්නේ කොහොමද කියලත් අපි දැන් බලමු.