Skip to content

පටුනට යන්න

4වෙනි පරිච්ඡේදය

යේසුස් ක්‍රිස්තුස් කවුද?

යේසුස් ක්‍රිස්තුස් කවුද?

1, 2. (අ) ප්‍රසිද්ධ කෙනෙක්ගේ නම දැනගත්තා කියලා එයාව හඳුනනවා කියන්න පුළුවන්ද? පැහැදිලි කරන්න. (ආ) සමහරු යේසුස් ගැන හිතන්නේ මොනවාද?

ලෝකේ හුඟක් ප්‍රසිද්ධ අය ඉන්නවා. සමහරුන්ගේ නම් ඔයා දන්නවා ඇති. ඒත් ඔයා ඒ අයව හඳුනනවා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ එයාලගේ හැම විස්තරයක්ම ඔයා දන්නවාද? එයාලා ඇත්තටම මොන වගේ අයද කියලා දන්නවාද? නැහැ නේද?

2 යේසුස් ගැන ඔයා අහලා ඇති. ඔහු පොළොවේ හිටියේ මීට අවුරුදු 2,000කට විතර කලින් වුණත් ඔහු තාමත් ප්‍රසිද්ධයි. ඒත් යේසුස් මොන වගේ කෙනෙක්ද කියලා හුඟක් අය දන්නේ නැහැ. සමහරු කියනවා ඔහු හොඳ කෙනෙක් කියලා. තව අය කියනවා ඔහු අනාගතය ගැන කියපු කෙනෙක් කියලා. තව අය හිතනවා ඔහු දෙවියන් කියලා. ඔයා හිතන්නේ මොකක්ද?—12වෙනි අමතර සටහන බලන්න.

3. ඔයා යෙහෝවා දෙවියන්වත් යේසුස්වත් හොඳින් හඳුනාගන්න ඕනෙ ඇයි?

3 යේසුස් ගැන ඇත්ත තොරතුරු දැනගන්න එක වැදගත්. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) යෙහෝවා දෙවියන්වයි යේසුස්වයි හොඳින් හඳුනාගත්තොත් මේ පොළොව පාරාදීසයක් වුණාම ඒකේ සදාකාලෙටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන් වෙනවා. (යොහන් 14:6) ඒ විතරක් නෙමෙයි ඔයා ජීවත් වෙන්න ඕනෙ කොහොමද, අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද කියලත් යේසුස්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද ඒ කාරණා සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යේසුස්. (යොහන් 13:34, 35) දැන් අපි බලමු යේසුස් ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා.

ගැලවුම්කරු කවුද?

4. “මෙසියස්” සහ “ක්‍රිස්තුස්” කියන වචනවලින් අදහස් වෙන්නේ මොකක්ද?

4 යේසුස් ඉපදෙන්න හුඟ කාලෙකට කලින් පව්කාරකමෙන් මිනිසුන්ව ගලවාගන්න ගැලවුම්කරුවෙක්ව එවනවා කියලා දෙවියන් පොරොන්දු වුණා. හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ කෙනාට “මෙසියස්” කියලත් ග්‍රීක භාෂාවෙන් “ක්‍රිස්තුස්” කියලත් කියනවා. ඒ වචන දෙකෙන් අදහස් වෙන්නේ දෙවියන්, කෙනෙක්ව ගැලවුම්කරු විදිහට තෝරාගෙන ඔහුට විශේෂ පැවරුමක් දෙනවා කියන එකයි. ඒ ගැලවුම්කරු තමයි දෙවියන් දීපු හැම පොරොන්දුවක්ම අනාගතයේදී ඉටු කරන්නේ. යේසුස් ඉපදෙන්න කලින් ඉඳන්ම හුඟක් අය කල්පනා කළා කවුද මේ ගැලවුම්කරු කියලා.

5. යේසුස් ගැලවුම්කරු කියලා ඔහුගේ ගෝලයන් විශ්වාස කළාද?

5 යේසුස් ගැලවුම්කරු කියලා ඔහුගේ ගෝලයන්ට සැකයක් තිබුණේ නැහැ. (යොහන් 1:41) උදාහරණෙකට පේතෘස්, යේසුස්ට කිව්වා “ඔබ ක්‍රිස්තුස්” කියලා. (මතෙව් 16:16) යේසුස් ගැලවුම්කරු කියලා ස්ථිර කරගන්න අපිට පුළුවන් කොහොමද?

6. ගැලවුම්කරුව හඳුනාගන්න ලොකු උනන්දුවකින් හිටිය අයට දෙවියන් උදව් කළේ කොහොමද?

6 යේසුස්ගේ ගෝලයන්ට ගැලවුම්කරුව හඳුනාගන්න පුළුවන් වුණේ කොහොමද? මෙහෙම හිතන්න. කවදාවත් දැකලා නැති කෙනෙක්ව හම්බ වෙන්න සෙනඟ පිරුණු බස් නැවතුම්පොළකට ඔයා යනවා. එයාව හඳුනාගන්න උදව් වෙන තොරතුරු කවුරු හරි ඔයාට කලින්ම කියලා තිබුණා නම් එයාව ලේසියෙන්ම හඳුනාගන්න පුළුවන් නේද? යෙහෝවා දෙවියන් යේසුස් ඉපදෙන්න අවුරුදු ගාණකට කලින්ම ගැලවුම්කරු කරන්නේ මොනවාද, ඔහුට මොනවාද වෙන්නේ වගේ දේවල් බයිබලය ලියපු අයට දැන්නුවා. ඒ හැම දෙයක්ම ඉටු වුණු නිසා ගැලවුම්කරුව හඳුනාගන්න අවංක උනන්දුවක් තිබුණු අයට ලේසි වුණා. අපිත් ගැලවුම්කරු ගැන බයිබලයේ තියෙන අනාවැකි අධ්‍යයනය කළොත් ගැලවුම්කරු යේසුස් කියලා තේරුම්ගන්න පුළුවන් වෙනවා.

7. යේසුස් ගැලවුම්කරු කියලා ඔප්පු වෙන අනාවැකි මොනවාද?

7 ඒ වගේ අනාවැකි දෙකක් ගැන දැන් අපි බලමු. (1) යේසුස් ඉපදෙන්න අවුරුදු 700කට කලින් මීකා කිව්වා ගැලවුම්කරු ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ කියලා. (මීකා 5:2) කිව්වා වගේම යේසුස් ඉපදුණේ ඒ නගරයේ. (මතෙව් 2:1, 3-9) (2) ගැලවුම්කරු ඔහුගේ පැවරුම පටන්ගන්නේ ක්‍රි.ව. 29 කියලා දානියෙල් කිව්වා. (දානියෙල් 9:25) ඒ අනාවැකි දෙක වගේ තවත් ගොඩක් අනාවැකි යේසුස්ට අදාළ වුණු නිසා ගැලවුම්කරු යේසුස් කියලා හොඳටම පැහැදිලියි.—13වෙනි අමතර සටහන බලන්න.

යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ ඉඳන් ගැලවුම්කරු විදිහට ඔහුගේ පැවරුම පටන්ගත්තා

8, 9. යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ ඔහු ගැලවුම්කරු කියලා ඔප්පු වුණේ කොහොමද?

8 යේසුස්ගේ කාලේ යොහන් කියලා කෙනෙක් හිටියා. හුඟක් අය එයා ළඟට ගිහින් බව්තීස්ම වුණා. (බව්තීස්ම කරනවා කියන්නේ කෙනෙක්ව වතුරේ ගිල්වලා උඩට ගන්න එකටයි.) යේසුත් ක්‍රි.ව. 29දී බව්තීස්ම වෙන්න යොර්දාන් ගඟ ළඟ හිටිය යොහන් ළඟට ගියා. ගැලවුම්කරුව හඳුනාගන්න ලකුණක් දෙනවා කියලා යෙහෝවා දෙවියන් යොහන්ට කියලයි තිබුණේ. යේසුස්ව වතුරේ ගිල්වලා උඩට ගද්දීම යොහන් ඒ ලකුණ දැක්කා. ඒ වෙලාවේ අහස විවර වුණා. දෙවියන්ගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිටට ආවා. එතකොටම “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියලා කියපු හඬක් ස්වර්ගයෙන් ඇහුණා. (මතෙව් 3:16, 17) අහන්න දකින්න ලැබුණු ඒ දේවල් නිසා යොහන් තේරුම්ගත්තා යේසුස් තමයි ගැලවුම්කරු කියලා. (යොහන් 1:32-34) එදා යේසුස්ට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබුණා. ඒ වෙලාවේ ඉඳන් යේසුස් ගැලවුම්කරු විදිහට ඔහුගේ පැවරුම පටන්ගත්තා. ඔහු තමයි අනාගත රජු සහ නායකයා.—යෙසායා 55:4.

9 බයිබලයේ තියෙන අනාවැකිවලිනුත් යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ යෙහෝවා දෙවියන් දීපු ලකුණෙනුත් පැහැදිලියි යේසුස් ගැලවුම්කරු කියලා. යේසුස් ආවේ කොහේ ඉඳන්ද කියලත් ඔහු මොන වගේ කෙනෙක්ද කියලත් අපි දැන් බලමු.

යේසුස් ආවේ කොහෙන්ද?

10. පොළොවට එන්න කලින් යේසුස් ගත කරපු ජීවිතේ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

10 යේසුස් පොළොවට එන්න කලින් හුඟ කාලයක් ස්වර්ගයේ හිටියා. ගැලවුම්කරුගේ ‘පටන්ගැන්ම ඈත අතීතයට දිව යනවා’ කියලා බයිබලයේ කියනවා. (මීකා 5:2) මිනිසෙක් විදිහට ඉපදෙන්න කලින් තමන් ස්වර්ගයේ ජීවත් වුණා කියලා යේසුස්ම කිව්වා. (යොහන් 3:13; 6:38, 62; 17:4, 5 කියවන්න.) ඒ කාලේ ඉඳන්ම යේසුස්ට යෙහෝවා දෙවියන් එක්ක තිබුණේ විශේෂ බැඳීමක්.

11. යෙහෝවා දෙවියන් යේසුස්ට ගොඩක් ආදරේ කරන්නේ ඇයි?

11 යෙහෝවා දෙවියන් යේසුස්ට ගොඩක් ආදරෙයි. ඇයි දන්නවාද? දෙවියන් යේසුස්ව නිර්මාණය කළේ අනිත් හැම දේම නිර්මාණය කරන්න කලින්. ඒ නිසයි ඔහුට “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” * කියන්නේ. (කොලොස්සි 1:15) දෙවියන් තනිවම නිර්මාණය කරපු එකම කෙනාත් යේසුස්. දෙවියන්ගේ “එකම පුත්‍රයා” කියලා යේසුස්ට කියන්නේ ඒ නිසයි. (යොහන් 3:16) හැම දේම නිර්මාණය කරන්න දෙවියන් හවුල් කරගත්තෙත් යේසුස්ව. (කොලොස්සි 1:16) යෙහෝවා දෙවියන් යේසුස් මාර්ගයෙන් තමයි දේවදූතයන්ටයි මිනිසුන්ටයි පණිවිඩ, මඟ පෙන්වීම් දුන්නේ. ඒ නිසයි යේසුස්ව “වචනය” කියලා හඳුන්වන්නේ.—යොහන් 1:14.

12. යේසුස් සහ දෙවියන් එකම පුද්ගලයෙක් නෙමෙයි කියලා අපි දන්නේ කොහොමද?

12 සමහරු හිතනවා යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් කියලා. හැබැයි බයිබලයේ කියන්නේ යේසුස්ව නිර්මාණය කළේ දෙවියන් කියලා. ඒ කියන්නේ යේසුස්ට ආරම්භයක් තියෙනවා. ඒත් හැම දේම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන්ට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ. (ගීතාවලිය 90:2) දෙවියන්ගේ තැන තමන්ට ගන්න ඕන කියලා යේසුස් හිතලවත් නැහැ. ඔහු කිව්වේ පියාණන් පුත්‍රයාට වඩා උතුම් කියලයි. (යොහන් 14:28 කියවන්න; 1 කොරින්ති 11:3.) යෙහෝවා දෙවියන් තමයි “සියලු බලැති දෙවි.” (උත්පත්ති 17:1) විශ්වයේ ඉන්න උසස්ම, බලවත්ම කෙනා ඔහුයි.—14වෙනි අමතර සටහන බලන්න.

13. යේසුස්ට “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය” කියන්නේ ඇයි?

13 අහස පොළොව නිර්මාණය කරන්න අවුරුදු බිලියන ගාණකට කලින් ඉඳන්ම යෙහෝවා දෙවියනුත් යේසුත් හුඟක් කිට්ටුවෙන් වැඩ කළා. ඒ දෙන්නා අතරේ මොන තරම් ආදරයක් තියෙන්න ඇද්ද! (යොහන් 3:35; 14:31) යේසුස් ඔහුගේ පියාගේ ගතිලක්ෂණ කොයි තරම් ආදර්ශයට ගත්තාද කියනවා නම් “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය” දකින්නේ යේසුස්ගෙන් කියලා බයිබලයේ තියෙනවා.—කොලොස්සි 1:15.

14. දෙවියන්ගේ පුතා මිනිසෙක් විදිහට ඉපදුණේ කොහොමද?

14 ස්වර්ගයේ ජීවිතය අතහැරලා මිනිසෙක් විදිහට ජීවත් වෙන්න යේසුස් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒත් ස්වර්ගයේ හිටපු කෙනෙක් මිනිසෙක් විදිහට ඉපදුණේ කොහොමද? යෙහෝවා දෙවියන් ආශ්චර්යයක් කරලා තමන්ගේ පුතාව මරියා කියන තරුණියගේ ගර්භාෂයේ වැඩෙන්න සැලැස්සුවා. ඒ පිළිසිඳගැනීමට කිසිම පුරුෂයෙක් සම්බන්ධ වුණේ නැහැ. පව්කාරකම උරුම කරගත්තේ නැති පුතෙක්ව බිහි කරන්න මරියාට පුළුවන් වුණේ ඒ නිසයි. මරියා ඒ පුතාට යේසුස් කියලා නම තිබ්බා.—ලූක් 1:30-35.

යේසුස් මොන වගේ කෙනෙක්ද?

15. යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් හඳුනාගන්න පුළුවන් කොහොමද?

15 මතෙව්, මාක්, ලූක්, යොහන් කියන පොත් කියෙව්වොත් යේසුස් ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. යේසුස් හැම දේම කළේ ඔහුගේ පියා වගේ නිසා යේසුස් ගැන ඒ පොත්වලින් කියවද්දී යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා තවත් හොඳින් තේරුම්ගන්න පුළුවන්. ඒ නිසයි යේසුස් කිව්වේ ‘මාව දැකපු කෙනා පියාණන්වත් දැක තියෙනවා’ කියලා.—යොහන් 14:9.

16. යේසුස් ඉගැන්නුවේ මොනවාද? ඔහු ඉගැන්නුවේ කාගේ අදහස්ද?

16 හුඟක් අය යේසුස්ට කිව්වේ “ගුරුතුමනි” කියලා. (යොහන් 1:38; 13:13) ඒ ඔහු හුඟක් දේවල් උගන්වපු නිසයි. ඒ අතරෙන් ප්‍රධානම දෙයක් තමයි ‘රාජ්‍යය ගැන ශුභාරංචිය.’ මොකක්ද ඒ රාජ්‍යය? ඒ තමයි ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ආණ්ඩුව. ඉදිරියේදී දෙවියන්ගේ ආණ්ඩුවෙන් තමයි පොළොව පාලනය කරන්නේ. එතකොට දෙවියන්ට කීකරු අයට හුඟක් ආශීර්වාද ලැබෙනවා. (මතෙව් 4:23) ඒ ආණ්ඩුව ගැනත් යේසුස් උගන්වපු අනිත් හැම දේමත් ඔහුට කියලා දුන්නේ දෙවියන්. ‘මං උගන්වන්නේ මගේ අදහස් නෙවෙයි මාව එවපු තැනැත්තාගේ අදහස්’ කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (යොහන් 7:16) අනාගතයේදී දෙවියන්ගේ ආණ්ඩුවෙන් පොළොව පාලනය කරනවා කියන ශුභාරංචිය හැමෝම දැනගන්නවාට දෙවියන් කැමතියි කියලා යේසුස් දැනගෙන හිටියා.

17. යේසුස් ඉගැන්නුවේ මොන වගේ තැන්වලද? අනිත් අයට උගන්වන්න ඔහු එච්චර මහන්සි වුණේ ඇයි?

17 මිනිසුන්ට උගන්වන්න යේසුස් ගම්මානවලට, නගරවලට, වෙළඳපොළවල්වලට, නමස්කාර කරන තැන්වලට වගේම ගෙවල්වලටත් ගියා. මිනිසුන් තමන් ළඟට එන කල් ඔහු බලන් හිටියේ නැහැ. හුඟක් අවස්ථාවලදී ඔහු මිනිසුන් ළඟට ගියා. (මාක් 6:56; ලූක් 19:5, 6) මිනිසුන්ට උගන්වන්න යේසුස් එච්චර කාලයක්, ශ්‍රමයක් වැය කළේ ඇයි? දෙවියන් තමන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. ඔහුට ඕන වුණේ හැම වෙලේම දෙවියන්ට කීකරු වෙන්න. (යොහන් 8:28, 29) ඒ වගේම යේසුස්ට මිනිසුන් ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඒකත් ශුභාරංචිය ගැන එයාලට කියන්න තව හේතුවක්. (මතෙව් 9:35, 36 කියවන්න.) ආගමික නායකයන් දෙවියන් ගැන, දෙවියන්ගේ ආණ්ඩුව ගැන මිනිසුන්ට ඇත්ත තොරතුරු උගන්වන්නේ නැහැ කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය ගැන කියන්නයි ඔහුට ඕන වුණේ.

18. ඔයා වැඩියෙන්ම ආස යේසුස්ගේ මොන ගතිලක්ෂණවලටද?

18 යේසුස්ගේ හිතේ මිනිසුන් ගැන ලොකු ආදරයක් සැලකිල්ලක් තිබුණා. ඔහු හුඟක් කරුණාවන්තයි. ඒ නිසා කිසිම කෙනෙක් ඔහු ළඟට යන්න බය වුණේ නැහැ. පුංචි දරුවොත් ඔහු එක්ක කාලේ ගත කළේ හරිම සතුටෙන්. (මාක් 10:13-16) ඔහු සාධාරණ කෙනෙක්. අයුක්තියට, අසාධාරණයට ඔහු කොහොමත්ම කැමති නැහැ. (මතෙව් 21:12, 13) එදා සමාජයේ පිරිමින්ට තිබුණු හුඟක් අයිතිවාසිකම් ගැහැනු අයට තිබුණේ නැහැ. එයාලට ගෞරවයෙන් සැලකුවෙත් නැහැ. ඒත් යේසුස් හැම වෙලාවෙම කාන්තාවන්ට ගෞරවයෙන් සැලකුවා. (යොහන් 4:9, 27) දවසක් ඔහු නියෝජිතයන්ගේ කකුල් හේදුවා. ඒ කාලේ ඒ වගේ දෙයක් කළේ ගෙදරක මෙහෙකරුවන්. යේසුස් මොන තරම් නිහතමානී කෙනෙක්ද කියලා ඒකෙන් පැහැදිලියි.—යොහන් 13:2-5, 12-17.

යේසුස් මිනිසුන් හිටපු හැම තැනකටම ගිහින් දේශනා කළා

19. යේසුස් අනිත් අයගේ හැඟීම් තේරුම් අරන් එයාලට උදව් කරන්න කැමැත්තෙන් හිටියා කියලා අපි දන්නේ කොහොමද?

19 යේසුස් මිනිසුන්ගේ හැඟීම් තේරුම්ගත්ත කෙනෙක්. ඔහුට ඇත්තටම ඕන වුණේ එයාලට උදව් කරන්න. ඒ නිසයි ඔහු හුඟක් ලෙඩ රෝග තිබුණු අයව දෙවියන්ගේ බලයෙන් සුව කළේ. (මතෙව් 14:14) දවසක් ලාදුරු රෝගියෙක් යේසුස් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න.” ඒ කෙනා ගැන ලොකු දුකක්, අනුකම්පාවක් යේසුස්ගේ හිතේ ඇති වුණා. ඒ නිසා යේසුස් එයාව අතින් අල්ලලා කිව්වා “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියලා.—මාක් 1:40-42.

දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා

20, 21. දෙවියන්ට කීකරු වෙන්න ඕන විදිහ ගැන හොඳම ආදර්ශය යේසුස් කියලා කියන්නේ ඇයි?

20 මොන දේ වුණත් සතුරන් මොනවා කළත් යේසුස් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. උදාහරණෙකට සාතන් යේසුස්ව වරදකට පොලඹවන්න උත්සාහ කළත් යේසුස් කිසිම වරදක් කළේ නැහැ. (මතෙව් 4:1-11) ඒ වගේම යේසුස්ගේ නෑදෑයන් ඔහු ගැලවුම්කරු කියලා විශ්වාස කළේ නැහැ. එයාලා කිව්වේ “ඔහු සිහිවිකල් වී” ඇති කෙනෙක් කියලයි. ඒත් යේසුස් දිගටම දෙවියන් භාර දීපු වැඩේ කළා. (මාක් 3:21) ඔහුගේ සතුරන් ඔහුට කුරිරු විදිහට සැලකුවත් යේසුස් ඒ හැම දේම දෙවියන්ට භාර දුන්නා. එකට එක කළේ නැහැ.—1 පේතෘස් 2:21-23.

21 කුරිරු විදිහට වධ හිංසා දීලා යේසුස්ව මරලා දැම්මත් ඔහු අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. (ෆිලිප්පි 2:8 කියවන්න.) ඔහු මිය ගිය දවසේ ඔහුට කොච්චර නම් වේදනාවක් දරාගන්න වුණාද? ඔහුව අත්අඩංගුවට ගත්තා. දෙවියන්ට අපහාස කරනවා කියලා බොරු සාක්ෂි ඉදිරිපත් කළා. විනිසුරුවන් අයුක්තිසහගත විදිහට ඔහුව වරදකරුවෙක් කියලා තීන්දු කළා. හුඟක් අය ඔහුට සමච්චල් කළා. හේවායන් කුරිරු විදිහට ඔහුට වධ දීලා අන්තිමෙදී කණුවකට තියලා ඇණ ගැහුවා. ඒ හැම දේම දරාගෙන අන්තිම හුස්ම පොද පිට කරන වෙලාවේ ඔහු දෙවියන්ට කිව්වේ “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලයි. (යොහන් 19:30) ඔහු මිය ගියත් යෙහෝවා දෙවියන් ඔහුව දවස් තුනකින් නැවත නැඟිට්ටෙව්වා. ඒ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් ශරීරයක් ඇතුවයි. (1 පේතෘස් 3:18) සති කිහිපයකට පස්සේ යේසුස් ආයෙත් ස්වර්ගයට ගිහින් දෙවියන් ඔහුට රජකම භාර දෙන කල් “දෙවිගේ දකුණු පැත්තේ” ඉඳගත්තා.—හෙබ්‍රෙව් 10:12, 13.

22. යේසුස් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිසා අද අපිට ලැබිලා තියෙන්නේ මොන වගේ අවස්ථාවක්ද?

22 මොන තරම් අමාරු තත්වයකදී වුණත් යේසුස් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිසා සදාකාලෙටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මිනිසුන්ව නිර්මාණය කරද්දී දෙවියන්ගේ අරමුණ වුණෙත් ඒකයි. ඒත් යේසුස්ගේ මරණය නිසා අපිට සදාකාලෙටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

^ 11 ඡේ. යෙහෝවා දෙවියන්ව පියාණන් කියලා හඳුන්වන්නේ හැම දෙයක්ම නිර්මාණය කළේ ඔහු නිසයි. (යෙසායා 64:8) යේසුස්ව නිර්මාණය කළෙත් දෙවියන් නිසා ඔහුට දෙවියන්ගේ පුතා කියලා කියනවා. දේවදූතයන්වත්, පළවෙනි මිනිසා වුණු ආදම්වත් දෙවියන්ගේ පුත්‍රයන් විදිහට හඳුන්වලා තියෙනවා.—යෝබ් 1:6; ලූක් 3:38.