Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

ලෝක විනාශය ළං වෙලාද?

ලෝක විනාශය ළං වෙලාද?

1. අනාගතය ගැන අපිට දැනගන්න පුළුවන් කොහෙන්ද?

ලෝකේ සිද්ධ වෙන දේවල් දකිද්දී ‘මොනවාද මේ ලෝකෙට වෙන්න යන්නේ’ කියලා ඔයාට හිතිලා තියෙනවාද? විපත්ති, කුරිරුකම් දවසින් දවස වැඩි වෙනවා දැක්කාම සමහරු හිතනවා මේ ලෝකේ ළඟදීම විනාශ වෙයි කියලා. එහෙම වෙයිද? අනාගතය ගැන දැනගන්න ක්‍රමයක් තියෙනවාද? මිනිසුන්ට නම් අනාගතය ගැන කියන්න බැහැ. ඒත් යෙහෝවා දෙවියන්ට පුළුවන් මිනිසුන්ටත් පොළොවටත් වෙන්නේ මොනවාද කියලා කියන්න. ඔහු ඒක බයිබලය මාර්ගයෙන් අපිට දන්වලා තියෙනවා.—යෙසායා 46:10; යාකොබ් 4:14.

2, 3. යේසුස්ගේ ගෝලයන්ට දැනගන්න ඕන වුණේ මොකක්ද? යේසුස් එයාලට දීපු උත්තරේ මොකක්ද?

2 ලෝක විනාශය ගැන බයිබලයේ කතා කරද්දී ඒකෙන් අදහස් කරන්නේ දුෂ්ට මිනිස් සමාජයේ අවසානය මිසක් පොළොවේ අවසානය නෙවෙයි. දේවරාජ්‍යයෙන් පොළොව පාලනය කරනවා කියලා යේසුස් කිව්වා. (ලූක් 4:43) ඒක වෙන්නේ කවදාද කියලා දැනගන්න ආසාවෙන් හිටිය යේසුස්ගේ ගෝලයන් මෙහෙම ඇහුවා. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙව් 24:3) ඒක වෙන දවස ගැන යේසුස් කිව්වේ නැහැ. ඒත් දුෂ්ට සමාජයේ අවසානය ළං වෙද්දී ලෝකේ වෙන දේවල් ගැන යේසුස් කිව්වා. ඒවා තමයි අද සිද්ධ වෙන්නේ.

3 මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දර අපි ඉන්නවා කියලා කියන්න තියෙන සාක්ෂි මේ පරිච්ඡේදයේ කතා කරනවා. මුලින්ම ස්වර්ගයේ වුණු යුද්ධයක් ගැන අපි බලමු. පොළොවේ මේ තරම් නරක දේවල් වෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න ඒක අපිට උදව් වෙනවා.

ස්වර්ගයේ යුද්ධයක්

4, 5. (අ) යේසුස් රජ වුණ ගමන්ම ස්වර්ගයේ වුණේ මොනවාද? (ආ) සාතන්ව පොළොවට හෙළුවාම වෙන දේ ගැන එළිදරව් 12:12 කියන්නේ මොනවාද?

4 යේසුස් 1914දී ස්වර්ගයේ රජ වුණා කියලා අපි 8වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. (දානියෙල් 7:13, 14) ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් [යේසුස්] සහ ඔහුගේ දූතයෝ මකරාට [සාතන්ට] විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන්ද යුද්ධ කළෝය.’ * යුද්දෙන් පැරදුණු සාතන්වයි භූතයන්වයි යේසුස් පොළොවට හෙළුවා. ඒ ගැන දේවදූතයන්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ඒත් මිනිසුන් ගැන මොනවාද කියන්න පුළුවන්? එදා ඉඳන් මිනිසුන්ට හුඟක් දුක් කරදර ඇති වෙන්න පටන්ගත්තා. මොකද ‘තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් කියලා දන්න’ නිසා යක්ෂයා ඉන්නේ කේන්තියෙන්.—එළිදරව් 12:7, 9, 12.

5 පොළොව පුරාම දුක් කරදර ඇති කරන්න යක්ෂයා පුළුවන් හැම දේම කරනවා. මොකද තව වැඩි දවසක් යන්න කලින් දෙවියන් එයාව කිසි දෙයක් කරකියාගන්න බැරි තත්වයකට පත් කරනවා කියලා යක්ෂයා දන්නවා. දුෂ්ට මිනිස් සමාජයේ අවසාන කාලෙදී පොළොවේ වෙන දේවල් ගැන යේසුස් කිව්වේ මොනවාද කියලා දැන් බලමු.—23වෙනි අමතර සටහන බලන්න.

අවසාන කාලය

6, 7. යුද්ධ, ආහාර හිඟකම් ගැන යේසුස් කියපු දේ අද ඉටු වෙන්නේ කොහොමද?

6 යුද්ධ. “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි” කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:7) ඉතිහාසයේ වෙන කවදාකටත් වඩා මේ කාලේ යුද්ධ නිසා මිනිසුන් මැරිලා තියෙනවා. උදාහරණෙකට 1914 ඉඳන් ඇති වුණු යුද්ධ නිසා මිනිසුන් මිලියන 100කටත් වඩා මැරිලා තියෙනවා කියලා ලෝක සිද්ධීන් ගැන වාර්තා කරන සංවිධානයක් සඳහන් කළා. 1900 ඉඳන් 2000 දක්වා ගෙවුණු අවුරුදු 100දී යුද්ධ නිසා මැරුණු සංඛ්‍යාව ඊට කලින් ගෙවුණු අවුරුදු 1900 තුළ වුණු යුද්ධවලදී මැරුණු සංඛ්‍යාවට වඩා තුන්ගුණයක් වැඩියි. යුද්ධ නිසා මිනිසුන් මිලියන ගාණක් කොයි තරම් දුක් විඳලා තියෙනවාද!

7 කුසගින්න. “ආහාර හිඟකම්ද” වෙනවා කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:7) වෙන කවදාකටත් වඩා වැඩියෙන් අද ආහාර නිෂ්පාදනය කළත් හුඟක් අය තාම ඉන්නේ කුසගින්නේ. මොකද ඒ ආහාර ගන්නවත් වගා කරන්න ඉඩම් ගන්නවත් එයාලට සල්ලි නැහැ. දවසට රුපියල් 150කවත් ආදායමක් ලැබෙන්නේ නැති බිලියනයකට වඩා අද ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වන විදිහට මන්දපෝෂණය නිසා හැම අවුරුද්දෙම දරුවන් මිලියන 5කට වඩා මැරෙනවා.

8, 9. භූමිකම්පා, වසංගත ගැන යේසුස් කියපු අනාවැකි ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

8 භූමිකම්පා. “මහත් භූමිකම්පාත් ඇති වෙයි” කියලා යේසුස් කිව්වා. (ලූක් 21:11) හැම අවුරුද්දකම භූමිකම්පා ඇති වෙන එක දැන් සාමාන්‍ය දෙයක්. 1900 ඉඳන් සිද්ධ වුණු භූමිකම්පාවලින් මිනිසුන් මිලියන 2කටත් වඩා මැරිලා තියෙනවා. නවීන තාක්ෂණය නිසා භූමිකම්පා ගැන කලින්ම දැනගන්න පුළුවන් වුණත් භූමිකම්පා නිසා අදටත් විශාල පිරිසක් මැරෙනවා.

9 ලෙඩ රෝග. ලෝකේ පුරාම “වසංගත” ඇති වෙනවා කියලා යේසුස් කිව්වා. (ලූක් 21:11) ඉක්මනටම පැතිරෙන භයානක ලෙඩ රෝග නිසා අද ගොඩක් අය මැරෙනවා. වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් හොඳ කරන්න බැරි ලෙඩ තාමත් තියෙනවා. එක වාර්තාවකට අනුව ක්ෂය රෝගය, මැලේරියාව, කොලරාව වගේ ලෙඩවලින් හැම අවුරුද්දකම මිනිසුන් මිලියන ගාණක් මැරෙනවා. පහුගිය අවුරුදු 40 ඇතුළත කලින් දැනගෙන හිටපු නැති රෝග 30කටත් වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. ඒවායින් සමහර ඒවාට තවම බෙහෙත් හොයාගෙනත් නැහැ.

අන්තිම කාලේ ඉන්න මිනිසුන් මොන වගේද?

10. 2 තිමෝති 3:1-5 පෙන්වන විදිහට අද මිනිසුන්ට තියෙන්නේ මොන වගේ ගතිපැවතුම්ද?

10 ‘අවසාන කාලයෙදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙනවා’ කියලා 2 තිමෝති 3:1-5 සඳහන් වෙනවා. අවසාන කාලයේ ඉන්න මිනිසුන්ගේ ගතිපැවතුම් ගැන ඒ ඡේදවල විස්තර කරලා තියෙනවා. ඉන් කීපයක් බලන්න.

  • තමන් ගැනම සිතන

  • මුදලට ලොල් වී සිටින

  • දෙමාපියන්ට අකීකරු වන

  • ද්‍රෝහිකම් කරන

  • තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති

  • තමන්වම පාලනය කරගත නොහැකි

  • දරුණු, හිතුවක්කාර

  • දෙවියන්ට වඩා විනෝදයට ඇල්මක් දක්වන

  • දෙවියන්ට ආදරෙයි කියලා මවාපෑවත් දෙවියන්ට අකීකරු වෙන

11. ගීතාවලිය 92:7 කියන විදිහට දුෂ්ට අයට වෙන්නේ මොනවාද?

11 ඔයා ඉන්න ප්‍රදේශයේ මිනිසුන්ටත් ඒ වගේ ගතිපැවතුම් තියෙනවාද? ලෝකේ පුරාම ඒ වගේ අය ඉන්නවා. ඒත් ළඟදීම දෙවියන් එයාලට කරන්න යන දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය. නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය. නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.”—ගීතාවලිය 92:7.

අන්තිම කාලයේ වෙන හොඳ දේවල්

12, 13. අන්තිම කාලෙදී දෙවියන් අපිට උගන්වලා තියෙන්නේ මොනවාද?

12 අන්තිම කාලේ ලෝකේ පුරාම විපත්ති වෙනවා කියලා විතරක් නෙවෙයි ඒ කාලේ සතුටු වෙන්න පුළුවන් දේවලුත් වෙනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. ඒ මොනවාද?

‘රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.’—මතෙව් 24:14

13 බයිබලයේ තොරතුරු නිවැරදිව තේරුම්ගන්නවා. අන්තිම කාලෙදී ‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා’ කියලා දානියෙල් කිව්වා. (දානියෙල් 12:4) වෙන කවදාකටත් වඩා හොඳින් බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න දෙවියන් ඔහුගේ සෙනඟට උදව් කරනවා. විශේෂයෙන්ම 1914 ඉඳන් ඒක පැහැදිලිව දකින්න ලැබුණා. උදාහරණෙකට දෙවියන්ගේ නමේ වැදගත්කම, පොළොව ගැන ඔහුගේ අරමුණ, යේසුස්ගේ ජීවිත පූජාව, මැරුණාම මොනවාද වෙන්නේ, නැවත නැඟිටීම වගේ දේවල් ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් දෙවියන්ගේ සෙනඟට ලැබිලා තියෙනවා. අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා අපි ඉගෙනගත්තා. සතුටින් ඉන්න පුළුවන් කොහොමද, දෙවියන්ව සතුටු කරන විදිහට ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා අපි දැන් දන්නවා. දෙවියන්ගේ සෙනඟ ඒ දේවල් ඉගෙනගන්නවා වගේම තවත් දෙයක් කරනවා. ඒ මොකක්ද කියලා බයිබලයේ අනාවැකියකින් බලමු.—20, 24 අමතර සටහන් බලන්න.

14. ශුභාරංචිය දේශනා කරන්නේ කොහේද? ඒක කරන්නේ කවුද?

14 ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය. අන්තිම කාලෙදී ‘රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි’ කියලා යේසුස් අනාවැකියක් කිව්වා. (මතෙව් 24:3, 14) දැන් ඒ ශුභාරංචිය රටවල් 230කට වඩා වැඩි ගාණක භාෂා 700කට වැඩියෙන් දේශනා කරනවා. ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත්’ අයිති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය කියන්නේ මොකක්ද කියලත් ඒකෙන් ලැබෙන්න යන ආශීර්වාද ගැනත් මිනිසුන්ට කියලා දෙනවා. (එළිදරව් 7:9) ඒකට එයාලා අය කරන්නේ නැහැ. හුඟක් අය එයාලට වෛර කළත් පීඩා කළත් එයාලව නවත්වන්න කාටවත් බැහැ. යේසුස් කිව්වා වගේම ඒ සේවය ලෝකේ පුරාම සිද්ධ වෙනවා.—ලූක් 21:17.

ඔයා කරන්න ඕනෙ මොනවාද?

15. (අ) අපි ඉන්නේ අවසාන කාලේ කියලා ඔයා විශ්වාස කරනවාද, ඒ ඇයි? (ආ) යෙහෝවා දෙවියන්ට කීකරු වෙන අයටත් අකීකරු වෙන අයටත් වෙන්නේ මොනවාද?

15 අපි ඉන්නේ අන්තිම කාලේ කියලා ඔයා විශ්වාස කරනවාද? බයිබලයේ අවසාන කාලය ගැන කියපු හුඟක් අනාවැකි දැන් ඉටු වෙනවා. යෙහෝවා දෙවියන් ළඟදීම ශුභාරංචිය දේශනා කරන එක නතර කරන්න තීරණය කරනවා. ඊටපස්සේ දුෂ්ට සමාජයේ ‘අවසානය පැමිණෙනවා.’ (මතෙව් 24:14) අවසානය කියන්නේ දෙවියන් පොළොවෙන් හැම නපුරක්ම ඉවත් කරන අවස්ථාවයි. ඒක හඳුන්වන්නේ හර්–මගෙදොන් යුද්ධය කියලා. ඒ යුද්ධයේදී යෙහෝවා දෙවියන් යේසුස්වත් බලවත් දේවදූතයන්වත් පාවිච්චි කරලා ඔහුටත් යේසුස්ටත් කීකරු වෙන්නේ නැති හැමෝවම විනාශ කරනවා. (2 තෙසලෝනික 1:6-9) දෙවියන් සාතන්වත් භූතයන්වත් අක්‍රියාශීලි තත්වයට පත් කරන නිසා මිනිසුන්ව රවටන්න එයාලට බැහැ. දෙවියන්ට කීකරු වෙන්න කැමති, දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙන්න කැමති අයට දෙවියන් පොරොන්දු වෙලා තියෙන හැම ආශීර්වාදයක්ම අද්දකින්න ලැබෙනවා.—එළිදරව් 20:1-3; 21:3-5.

16. අවසානය ළඟ නිසා ඔයා කරන්න ඕනෙ මොනවාද?

16 මේ දුෂ්ට මිනිස් සමාජයේ අවසානය අත ළඟයි. ඒ නිසා ‘මං දැන් කරන්න ඕනෙ මොනවාද’ කියලා හිතන්න. යෙහෝවා දෙවියන්ට ඕනෙ ඔයා බයිබලයේ තියෙන දේවල් හොයලා බලලා ඒවා ඉගෙනගන්නවාට. ඒ නිසා තවත් උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරන්න. (යොහන් 17:3) බයිබලයේ තොරතුරු තේරුම්ගන්න මිනිසුන්ට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම සතියකම රැස්වීම් පවත්වනවා. නිතිපතා ඒවාට සහභාගි වෙන්න. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) දෙවියන් කියන විදිහට ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලා හිතුණොත් බය නැතුව ඒ වෙනස්කම් කරන්න. එතකොට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් වෙයි.—යාකොබ් 4:8.

17. විනාශය එද්දී හුඟක් අය පුදුම වෙන්නේ ඇයි?

17 මේ දුෂ්ට සමාජයේ විනාශය සිද්ධ වෙන්නේ හරියට ‘හොරෙක් එනවා වගේ’ කවුරුත් හිතන්නේ නැති වෙලාවක. (1 තෙසලෝනික 5:2) අපි ඉන්නේ අවසාන කාලේ කියන්න සාක්ෂි පේන්න තිබුණත් හුඟක් අය ඒක ගණන් ගන්නේ නැහැ කියලා යේසුස් මෙහෙම පැහැදිලි කළා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ [අවසාන කාලයේ] සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි. ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි.”—මතෙව් 24:37-39.

18. යේසුස් අපිට දුන්නේ මොන අනතුරු ඇඟවීමද?

18 යේසුස් අපිට මේ අනතුරු ඇඟවීම දුන්නා. “අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි. පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි. එමනිසා අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් [යාච්ඤා] කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.” (ලූක් 21:34-36) ඒ අනතුරු ඇඟවීම අපි හිතට ගන්න ඕන ඇයි? ළඟදීම සාතන්ගේ දුෂ්ට මිනිස් සමාජය විනාශ වෙනවා. ඒ විනාශයෙන් බේරිලා පාරාදීස පොළොවේ සදහටම ජීවත් වෙන්න ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙත් යේසුස්ගෙත් අනුමැතිය ලැබෙන අයට විතරයි.—යොහන් 3:16; 2 පේතෘස් 3:13.

^ 4 ඡේ. මිකායෙල් කියන්නේ යේසුස්ව හඳුන්වන තවත් නමක්. තව විස්තර දැනගන්න 22වෙනි අමතර සටහන බලන්න.