Skip to content

පටුනට යන්න

15වෙනි පරිච්ඡේදය

ඔහුගේ සිතට මහත් අනුකම්පාවක් දැනුණා

ඔහුගේ සිතට මහත් අනුකම්පාවක් දැනුණා

“ස්වාමීනි, අපේ ඇස් පාදන්න”

1-3. (අ) අන්ධ හිඟන්නන්ගේ කන්නලව්වට යේසුස් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) “මහත් අනුකම්පාවක් ඇති වී” යන යෙදුමේ ග්‍රීක වචනයට ඇතුළත් වන්නේ කුමන අදහසද? (පාදසටහන බලන්න.)

 යෙරිකෝවට පිවිසෙන දොරටුව අසල අන්ධ මිනිසුන් දෙදෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඔවුන් සෑම දිනකම එතැනට ඇවිත් ජනයා ගැවසෙන තැනක ඉඳගෙන යන එන අයගෙන් සිඟමන් යදිනවා. කෙසේවෙතත් මෙදින ඔවුන්ගේ ජීවිතයට ඔවුන් නොසිතන ආකාරයේ වෙනසක් සිදු වීමටයි යන්නේ.

2 ඒ හිඟන්නන් දෙදෙනාට හිටිහැටියේම මහත් ඝෝෂාවක් ඇසෙනවා. සිදු වන දේ දැකගැනීමට නොහැකි නිසා ඔවුන්ගෙන් එක් අයෙක් ඒ මහත් ඝෝෂාව කුමක්ද කියා ළඟ සිටින කෙනෙකුගෙන් අසනවා. “දැන් ඔබ අසලින් යන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්” කියා ඔහු පවසනවා. යේසුස් ගමන් කරමින් සිටියේ යෙරුසලමටයි. ඒ, ඔහු යෙරුසලමට යන අවසාන වතාවයි. ඔහු සමඟ විශාල සමූහයක් ගමන් කරමින් සිටිනවා. එතැනින් යන්නේ යේසුස් බව දැනගත් හිඟන්නන් මහා හඬින් කෑගසමින් මෙසේ පවසනවා. “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න.” සමූහයා කෝප වී ඔවුන්ව නිහඬ කිරීමට තැත් කළත් ඔවුන් තම උත්සාහය අත්හරින්නේ නැහැ.

3 යේසුස් ඒ අවස්ථාවේ සිටින්නේ මහත් පීඩනයකින්. මන්ද ඔහු මිනිසෙකු ලෙස ජීවත් වීමට තිබූ අවසාන සතියයි එළඹෙමින් තිබුණේ. යෙරුසලමේදී ඔහුට අත්විඳීමට සිදු වන වේදනාකාරී මරණය ගැනද ඔහු දැනගෙන සිටියා. එසේවුණත් එම හිඟන්නන් දෙදෙනාගේ හඬ එම මහත් ඝෝෂාව මැද යේසුස්ට ඇසෙනවා. ඔහු එය ගණන් නොගෙන සිටින්නේ නැහැ. ඔහු නතර වී කෑගසන මිනිසුන්ව තමන් ළඟට ගෙනෙන්න කියා පවසනවා. “ස්වාමීනි, අපේ ඇස් පාදන්න” කියා ඔවුන් යේසුස්ට කන්නලව් කරනවා. “යේසුස්ට මහත් අනුකම්පාවක් ඇති වී” ඔහු ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරන අතර ඔවුන්ට පෙනීම ලැබෙනවා. * එතැන් පටන් ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන් වෙනවා.—ලූක් 18:35-43; මතෙව් 20:29-34.

4. ‘ඔහු අසරණයාට අනුකම්පා කරන්නේය’ කියා යේසුස් ගැන සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

4 යේසුස් අනුකම්පාවෙන් ක්‍රියා කළ එකම අවස්ථාව එය නොවෙයි. ඔහු බොහෝ අවස්ථාවල විවිධ තත්වයන් යටතේ මහත් අනුකම්පාවකින් පෙලඹී ක්‍රියා කළා. එමගින් ‘ඔහු අසරණයාට අනුකම්පා කරන්නේය’ කියා බයිබලයේ සඳහන් අනාවැකිය සත්‍යයක් බව ඔප්පු කළා. (ගීතාවලිය 72:13) යේසුස්ට අන් අයගේ හැඟීම් තේරුම්ගැනීමට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ඔහු යමෙකුට උපකාර කළේ සිය කැමැත්තෙන්මයි. ඔහු දේශනා කිරීමට පෙලඹුණු එක් හේතුවක් වූයෙත් ජනයා කෙරෙහි ඔහුට තිබූ අනුකම්පාවයි. යේසුස් තුළ තිබූ මහත් අනුකම්පාව ඔහු කළ කී දේවලින් මනාව පැහැදිලි වුණා. ඒ පිළිබඳව සුවිශේෂ පොත්වල තිබෙන විස්තර සොයා බලා ඔහුව අනුකරණය කළ හැකි පැති ගැන දැන් අපි සලකා බලමු.

අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වීම

5, 6. යේසුස්ට අන් අයගේ වේදනාව දැනුණ බව අප දන්නේ කොහොමද?

5 යේසුස්ට අන් අයගේ හැඟීම් තේරුම්ගැනීමට පුදුමාකාර හැකියාවක් තිබුණා. ඔහු අන් අයගේ දුක දැක්කා පමණක් නොවෙයි, එම දුක ඔහුටත් දැනුණා. මිනිසුන් අත්විඳි සියලු තත්වයන් ඔහු අද්දැක්කේ නැතත් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගැනීම ඔහුට අපහසු වුණේ නැහැ. (හෙබ්‍රෙව් 4:15) උදාහරණයකට අවුරුදු 12ක් පුරා ලේ ගැලීමක් නිසා රෝගී වූ ස්ත්‍රියක්ව සුව කිරීමෙන් පසුව යේසුස් ඇගේ රෝගය හැඳින්වූයේ ‘බරපතළ රෝගයක්’ ලෙසයි. එයින් පැහැදිලි වන්නේ ඒ රෝගය නිසා ඇයට කොතරම් අසහනයක් හා වේදනාවක් දැනුණාද කියා යේසුස් තේරුම්ගත් බවයි. (මාක් 5:25-34) ලාසරුස් මිය ගිය අවස්ථාවේදී මරියා සහ ඇය සමඟ සිටි අය වැලපෙනවා දුටු විට යේසුස්ටද ඒ වේදනාව දැනුණා. ලාසරුස්ව නැවත නැඟිටුවන්න යන බව දැන සිටියත් යේසුස්ගේ හදවතට දැනුණු ඉමහත් ශෝකය නිසා ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා.—යොහන් 11:33, 35.

6 තවත් අවස්ථාවක යේසුස් ළඟට ලාදුරු රෝගියෙක් ඇවිත් මෙසේ කන්නලව් කළා. “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න.” දෙවි මෝසෙස්ට දුන් නීතියට අනුව ලාදුරු රෝගීන්ව සලකනු ලැබුවේ අපවිත්‍ර අය ලෙසයි. ඒ නිසා ඔවුන්ට මිනිසුන්ගෙන් වෙන්ව සිටීමට සිදු වුණා. (ලෙවී කතාව 13:45, 46) යේසුස් පරිපූර්ණ වූ නිසා ඔහු කිසිදා අසනීප වී තිබුණේ නැහැ. නමුත් යේසුස්ට එම ලාදුරු රෝගියාගේ වේදනාව දැනුණා. ඔහු කෙරෙහි යේසුස්ට ඇති වුණේ “මහත් අනුකම්පාවක්.” (මාක් 1:40-42) යේසුස්ට එම මිනිසාව ස්පර්ශ නොකර සුව කිරීමට හැකියාව තිබුණා. (මතෙව් 8:5-13) නමුත් යේසුස් ඔහුව අතින් අල්ලා, “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසුවා. ඒ මොහොතේම ඔහුට සුවය ලැබුණා. යේසුස් පෙන්නුවේ මොන තරම් අනුකම්පාවක්ද!

‘අනුකම්පාව පෙන්වන්න’

7. අන් අයගේ වේදනාව තේරුම්ගන්න නම් අප කුමක් කළ යුතුද? සමහර අවස්ථාවල අපට දැනෙන දුක ප්‍රකාශ කළ හැක්කේ කොහොමද?

7 අපත් යේසුස් මෙන් අන් අයට අනුකම්පාව පෙන්විය යුතුයි. බයිබලයේ අපට දිරිගන්වන්නේ ‘එකිනෙකාට අනුකම්පාව පෙන්වන්න’ කියායි. * (1 පේතෘස් 3:8) යමෙකු දරුණු රෝගයකින් හෝ මානසික පීඩනයෙන් පෙළෙනවා කියා සිතන්න. අප කවදාවත් එවැනි තත්වයකට මුහුණ දී නැති නිසා අපට ඔහුගේ වේදනාව තේරුම්ගැනීමට අපහසු විය හැකියි. නමුත් අන් අය කෙරෙහි අනුකම්පාවක් දැනීමට අප අනිවාර්යයෙන්ම ඔවුන් අත්විඳින තත්වයම අද්දැකිය යුතු නැහැ. යේසුස් කිසිදා අසනීප නොවුණත් ඔහුට අසනීපයෙන් සිටි අයගේ වේදනාව දැනුණා. යේසුස් මෙන් අනුකම්පාව පෙන්වන්න අපට පුළුවන් කොහොමද? වේදනාවෙන් සිටින අය තමන්ගේ සිතේ තිබෙන දේ අපට පවසද්දී ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න අපට පුළුවන්. ඒ වගේම අපට මෙසේ කල්පනා කර බැලිය හැකියි. ‘මම එවැනි තත්වයකට මුහුණ දුන්නා නම් මට කොහොම හැඟෙයිද?’ (1 කොරින්ති 12:26) අන් අයගේ හැඟීම් තේරුම්ගැනීමට අප දැඩි වෑයමක් දරනවා නම් “කලකිරී සිටින අයව සනසවන්න” අපට හැකියාව ලැබෙනවා. (1 තෙසලෝනික 5:14) සමහර අවස්ථාවල වදනින් පමණක් නොවෙයි අපේ කඳුළුවලින්ද අන් අයගේ වේදනාව අපට දැනුණු බව පෙන්විය හැකියි. රෝම 12:15හි සඳහන් වන්නේ “හඬන අයත් සමඟ හඬන්න” කියායි.

8, 9. යේසුස් අන් අයගේ හැඟීම් ගැන සැලකිල්ලක් දැක්වූයේ කෙසේද?

8 යේසුස් අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වූ බව ඔහු ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වුණා. බිහිරි මෙන්ම කතා කිරීමේ අපහසුතාවක් තිබූ මිනිසෙකුව යේසුස් සුව කළ අවස්ථාව ගැන මොහොතකට සිතන්න. වෙනත් අයව සුව කිරීමේදී නොකළ දෙයක් යේසුස් ඒ අවස්ථාවේදී කළා. අන් අයගේ අවධානයට ලක් නොවීම සඳහා, “ඔහු ඒ මිනිසාව රැස්ව සිටි සමූහයාගෙන් මදක් ඈතට ගෙන ගොස්” ඔහුව සුව කළා. ඔහු එසේ කළේ සමහරවිට එම මිනිසා තුළ තිබූ ලැජ්ජාශීලීකම නිසා විය හැකියි.—මාක් 7:31-35.

9 තවත් අවස්ථාවකදී අන්ධ මිනිසෙකුව යේසුස් ළඟට ගෙනැවිත් සුව කරන මෙන් මිනිසුන් ඉල්ලා සිටි විටද ඔහු එවැනිම සැලකිල්ලක් පෙන්නුවා. යේසුස් “ඒ අන්ධ මිනිසාව අතින් අල්ලාගෙන ගමෙන් මදක් පිටතට” ගෙන ගොස් ටිකෙන් ටික ඔහුට පෙනීම ලබා දුන්නා. යේසුස් එලෙස කළේ හිරුගේ දීප්තිමත් ආලෝකය එකවිගස ඔහුගේ ඇස්වලට වැදීම, ඔහුට දරාගැනීමට නොහැකි වෙයි කියා සිතූ නිසා විය හැකියි. (මාක් 8:22-26) යේසුස් අන් අය ගැන මොන තරම් සැලකිල්ලක් දැක්වූවාද!

10. අන් අයගේ හැඟීම් ගැන අපට සැලකිලිමත් විය හැක්කේ කෙසේද?

10 අප යේසුස්ගේ අනුගාමිකයන් වන නිසා අපත් අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් විය යුතුයි. සිතා බලන්නේ නැතුව පවසන වදන් අන් අයට වේදනාවක් ගෙන දෙන බව අප අමතක නොකළ යුතුයි. (හිතෝපදේශ 12:18; 18:21) රළු වචන, අන් අයව පහත් කොට කතා කිරීම, අපහාස කිරීම වැනි දේවල් අප අතර නොතිබිය යුතුයි. (එෆීස 4:31) ඔබ සභාවේ සිටින වැඩිමහල්ලෙක් නම් අන් අයගේ හැඟීම් ගැන ඔබට සැලකිලිමත් විය හැක්කේ කොහොමද? ඔබට හැකියි අන් අයට උපදෙස් දෙන විට ඔවුන්ගේ ගෞරවයට හානියක් නොවන අයුරින් කාරුණිකව එය කිරීමට. (ගලාති 6:1) ඔබ දෙමාපියෙක් නම් දරුවන්ට යම් හික්මවීම් ලබා දෙන විට ඔවුන්ව ලැජ්ජාවට පත් නොවන අයුරින් එසේ කිරීමට ඔබට හැකියි.—කොලොස්සි 3:21.

අන් අයට උපකාර කිරීමට මුල් පියවර ගැනීම

11, 12. අන් අයට අනුකම්පා කරන්න කියා යේසුස්ගෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය නොවූ බව පෙන්වන්නේ කුමන සිද්ධීන්ද?

11 යේසුස් අන් අයට අනුකම්පාව පෙන්වූයේ කිසිවෙකු එසේ කරන්න කියා ඔහුව පෙලඹවූ නිසා නොවෙයි. අනුකම්පාව නමැති ගුණාංගය නිකම්ම හැඟීමකට සීමා වූ දෙයක් නොවෙයි. එය යමෙකුගේ යහපත උදෙසා යමක් කිරීමට අපව පොලඹවන ගුණාංගයක්. එසේනම් යේසුස් අන් අයට උපකාර කිරීම පුදුමයක් නොවෙයි. උදාහරණයකට මහත් සමූහයක් දින තුනක් පුරා හරි හැටි කෑමක් නැතුව සිටි විට ඔවුන් සිටින්නේ කුසගින්නේ කියාවත් ඒ වෙනුවෙන් යමක් කරන්න කියාවත් යමෙකු යේසුස්ට පැවසීමට අවශ්‍ය වුණේ නැහැ. එම වාර්තාවේ සඳහන් වන්නේ මෙසේයි. “යේසුස් තම ගෝලයන්ව තමන් වෙතට කැඳවා මෙසේ කීවේය. මේ සමූහයා ගැන මට මහත් අනුකම්පාවක් දැනෙනවා. මන්ද ඔවුන් දැනටමත් දවස් තුනක් මා සමඟ සිටිනවා. ඔවුන්ට කන්න කිසිවක් නැහැ. ඔවුන්ව කුසගින්නෙන් යවන්නත් මම කැමති නැහැ. එසේ කළොත් සමහරවිට ඔවුන් මඟදී ක්ලාන්ත වී වැටෙන්න පුළුවන්.” ඉන්පසු ඔහු සිය කැමැත්තෙන්ම ඒ සෙනඟට ආශ්චර්යවත් ලෙස කෑම සැපයුවා.—මතෙව් 15:32-38.

12 තවත් සිද්ධියක් සලකා බලන්න. ක්‍රිස්තු වර්ෂ 31දී යේසුස් නායින් නුවරට ළඟා වෙමින් සිටියදී යම් දුක්මුසු දෙයක් ඔහු දුටුවා. ඒ, මිනිසුන් පිරිසක් දේහයක් රැගෙන අසල පිහිටි සොහොන් ගෙයක තැන්පත් කිරීමට නුවරින් පිට වී එන ආකාරයයි. මිය ගොස් සිටියේ ‘වැන්දඹුවකගේ එකම පුත්‍රයායි.’ ඒ මවගේ හදවතේ මොන තරම් වේදනාවක් තිබෙන්න ඇද්ද! ඇගේ දුක බෙදාගන්න ඇගේ ස්වාමිපුරුෂයාවත් ජීවතුන් අතර සිටියේ නැහැ. ඒ සෙනඟ අතරින් යේසුස් දුටුවේ තම එකම දරුවා අහිමි වී සිටි ඒ අසරණ වැන්දඹු ස්ත්‍රියවයි. ‘යේසුස්ට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා.’ ඇය වෙනුවෙන් යමක් කරන්න කියා යේසුස්ට කියන්න කිසිවෙකුටවත් අවශ්‍ය වුණේ නැහැ. ඒ දසුන යේසුස්ගේ සිතට කොතරම් වේදනාවක් ගෙන දුන්නාද කිවහොත් ඔහුම යමක් කිරීමට පෙලඹුණා. ‘ඔහු දේහය තබා තිබූ යහනට අත තබා’ ඒ තරුණයාව නැවත නැඟිට්ටෙව්වා. ඊළඟට සිදු වූයේ කුමක්ද? යේසුස් තමා සමඟ ගමන් කරමින් සිටි අය සමඟ එක් වන්න කියා ඒ තරුණයාට පැවසුවාද? නැහැ. ‘යේසුස් ඔහුව සිය මවට භාර දී’ ඔවුන්ට නැවත සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබා දුන්නා. එසේ කිරීමෙන් යේසුස් එම වැන්දඹුව අසරණ වීමෙන් වැළැක්වූවා.—ලූක් 7:11-15.

අන් අයට උපකාර කිරීමට මුල් පියවර ගන්න

13. අන් අයට උපකාර කිරීමේදී යේසුස් මෙන් අපට මුල් පියවර ගත හැක්කේ කෙසේද?

13 අපට යේසුස් මෙන් ආශ්චර්යවත් ලෙස කෑම සපයන්නවත් මිය ගිය අයව නැවත නැඟිටුවන්නවත් බැහැ. නමුත් යේසුස් මෙන් අන් අයට උපකාර කිරීම සඳහා අපට මුල් පියවර ගත හැකියි. අපගේ ක්‍රිස්තියානි සහෝදරයෙක් හෝ සහෝදරියක් ආර්ථික දුෂ්කරතා නිසා හෝ රැකියාව අහිමි වීම නිසා පීඩා අද්දකිනවා විය හැකියි. (1 යොහන් 3:17) වැන්දඹුවකගේ නිවසක් ඉක්මනින්ම අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා විය හැකියි. (යාකොබ් 1:27) වියෝදුකින් පෙළෙන පවුලකට සැනසීම ලබා දීම හෝ වෙනත් ආකාරයක උපකාරයක් අවශ්‍ය විය හැකියි. (1 තෙසලෝනික 5:11) යමෙකුට සැබෑ අවශ්‍යතාවක් තිබෙන විට ඒ ගැන යමක් කරන්න කියා අපෙන් ඉල්ලන තුරු බලා සිටීමට අවශ්‍ය නැහැ. (හිතෝපදේශ 3:27) අපට අන් අය ගැන අනුකම්පාවක් තිබෙනවා නම් අපේ හැකියාවට අනුව ඔවුන්ට උපකාර කිරීමට අප මුල් පියවර ගන්නවා. පුංචි කාරුණික ක්‍රියාවකින් හෝ සහනය ගෙන දෙන වදන් කිහිපයකින් අන් අය කෙරෙහි අප තුළ තිබෙන අනුකම්පාව ප්‍රබල ආකාරයකින් පෙන්විය හැකි බව අමතක කරන්න එපා.—කොලොස්සි 3:12.

අනුකම්පාවෙන් පෙලඹී දේශනා කිරීම

14. යේසුස් දේශනා සේවයට මුල් තැන දුන්නේ ඇයි?

14 අප මෙම පොතේ දෙවෙනි කොටසින් සලකා බැලූ ලෙස යේසුස් ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. ඔහු මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) යේසුස් එම සේවයට මුල් තැන දුන්නේ ඇයි? මූලිකවම දෙවිට තිබූ ප්‍රේමය නිසයි. සැබෑ දෙවි ගැන නිසි අවබෝධයක් නැතිව මංමුළා වී සිටි ජනයා කෙරෙහි ඔහුට මහත් අනුකම්පාවක් දැනුණ නිසාත් ඔහු එම සේවයට මුල් තැන දුන්නා. යේසුස් ජනයාට පෙන්වූ අනුකම්පාව පිළිබිඹු වන සිද්ධීන් දෙකක් අපි දැන් සලකා බලමු. එය සලකා බැලීම දේශනා කිරීම සම්බන්ධයෙන් අප දරන ආකල්පය සෝදිසි කර බැලීමටත් උපකාරවත් වෙයි.

15, 16. යේසුස්ට ජනයා ගැන හැඟුණු ආකාරය පෙන්වන සිද්ධීන් දෙකක් විස්තර කරන්න.

15 ක්‍රිස්තු වර්ෂ 31දී එනම්, යේසුස් වසර දෙකක පමණ කාලයක් වෙහෙස මහන්සි වී සේවය කළ පසු ගලීලයේ ‘සියලු නුවරවලද ගම්වලද සංචාරය කරමින්’ ඔහුගේ සේවය තවත් පුළුල් කළා. එහිදී ඔහු දුටු දේ ඔහුගේ සිතට මහත් බලපෑමක් ඇති කළා. ඒ ගැන මතෙව් මෙසේ වාර්තා කරනවා. “සමූහයන් දුටු විට ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය බව තේරුම්ගත්තේය. ඒ නිසා ඔහුට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති විය.” (මතෙව් 9:35, 36) සාමාන්‍ය ජනයා දෙවිගෙන් කොතරම් ඈත් වී සිටිනවාද කියා යේසුස් දුටු විට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා. ඔවුන්ට නිසි මඟ පෙන්වීම් ලබා දිය යුතු ආගමික නායකයන් ඔවුන්ට හිරිහැර කරන බවත් ඔවුන්ව නොසලකාහැර තිබෙන බවත් යේසුස් දැන සිටියා. ඒ නිසා යේසුස් ඔවුන්ට බෙහෙවින් අනුකම්පා කළ අතර දේවරාජ්‍යය ගැන ඔවුන්ට කියා දීමට මහත් වෑයමක් දැරුවා. ඔවුන් දේවරාජ්‍යය ගැන දැනගැනීම අත්‍යවශ්‍ය බව යේසුස් දැන සිටියා.

16 ඉන් මාස කිහිපයකට පසු ඒ හා සමාන දෙයක් සිදු වුණා. එය සිදු වුණේ ක්‍රි.ව. 32 පාස්කුවට ආසන්නවයි. ඒ අවස්ථාවේදී යේසුස් හා ඔහුගේ නියෝජිතයන් විවේක ගැනීම සඳහා නිස්කලංක ස්ථානයක් සොයාගැනීමට ගලීල මුහුද හරහා යාත්‍රා කරමිනුයි සිටියේ. ඔවුන් යනවා දුටු සෙනඟ ඔවුන්ට පෙර එතැනට දුවගෙන ගියා. යේසුස් ඒ අවස්ථාවේදී ක්‍රියා කළේ කෙසේද? “ඔහු ගොඩ බැස්ස විට මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි නිසා ඔහුට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් ඇති විය. එහෙයින් ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.” (මාක් 6:31-34) ඒ අවස්ථාවේදීත් ජනයා සිටියේ “එඬේරෙකු නැති බැටළුවන්” හා සමානව මංමුළා වූ තත්වයකයි. ඒ නිසා යේසුස් ඔවුන්ට දේශනා කළේ එය කළ යුතු දෙයක් නිසා නොවෙයි, ඔහුට දැනුණු “මහත් අනුකම්පාව” නිසයි.

අනුකම්පාවෙන් පෙලඹී දේශනා කරන්න

17, 18. (අ) අප දේශනා කිරීමට පෙලඹෙන්නේ කුමක් නිසාද? (ආ) අන් අය ගැන අප තුළ අනුකම්පාවක් ඇති වීමට නම් අප කුමක් කළ යුතුද?

17 යේසුස්ගේ අනුගාමිකයන් වන අප දේශනා සේවයේ නියැලෙන්නේ ඇයි? අප මෙම පොතේ නවවෙනි පරිච්ඡේදයේ සලකා බැලූ පරිදි දේශනා කිරීමට හා යේසුස්ගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කිරීමට අපට අණක් ලැබී තිබෙනවා. (මතෙව් 28:19, 20; 1 කොරින්ති 9:16) අප එය ඉටු කළ යුත්තේ අපට එසේ කිරීමට අණ කර තිබෙන නිසාම නොවෙයි. අප එය කිරීමට ප්‍රධානතම හේතුව යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමයයි. ඒ වගේම දෙවිව නොදන්නා අය ගැන අපට තිබෙන අනුකම්පාවද ඊට දායක විය යුතුයි. (මාක් 12:28-31) අන් අය ගැන අපට අනුකම්පාවක් දැනෙන්න නම් අප කුමක් කළ යුතුද?

18 අප ජනයා දෙස බැලිය යුත්තේ යේසුස් ඔවුන් දෙස බැලූ ආකාරයටයි. එනම්, “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය” ලෙසයි. සිතන්න ඔබට මංමුළා වූ බැටළු පැටවෙක් සම්බ වුණා කියා. ඌට කෑම බීම දීමට එඬේරෙකු නැති නිසා ඌ සිටින්නේ හාමතෙන් හා දැඩි පිපාසයෙන්. එවැනි අවස්ථාවක ඒ අසරණ සතා ගැන ඔබට අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? එම බැටළු පැටවාට අවශ්‍ය කෑම බීම සැපයීමට ඔබ යමක් කරන්නේ නැද්ද? ශුභාරංචිය අසා නැති සියලුම ජනයාත් ඒ බැටළු පැටවා හා සමානයි. ආගමික නායකයන් ඔවුන්ට නිසි මඟ පෙන්වීම් ලබා නොදෙන නිසා ඔවුන්ට සැබෑ දෙවි පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ වගේම ඔවුන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක්ද නැති නිසා ඔවුන් සිටින්නේ අසරණ තත්වයකයි. ඔවුන්ට අවශ්‍ය කරන ජීවනයට මඟ පාදන දැනුම හා සහනය ගෙන දෙන වදන් අප ළඟ තිබෙනවා. (යෙසායා 55:1, 2) ජනයා දෙවිගෙන් ඈත්ව මංමුළා වී සිටින ආකාරය දකින විට ඔවුන්ට උපකාර කිරීමට අප තුළ පෙලඹීමක් ඇති විය යුතුයි. අපටත් යේසුස් මෙන් ජනයා කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා නම් දේවරාජ්‍යය තුළින් ලැබෙන ආශීර්වාද ගැන ඔවුන්ට කියා දීමට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප පෙලඹෙන බව නිසැකයි.

19. දේශනා සේවයේ හවුල් වීමට සුදුසුකම් ඇති බයිබල් ශිෂ්‍යයෙකුව ඒ සඳහා දිරිගැන්වීමට අපට කුමක් කළ හැකිද?

19 යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අප අන් අයට උපකාර කරන්නේ කෙසේද? උදාහරණයකට දේශනා සේවයේ හවුල් වීමට සුදුසුකම් ඇති බයිබල් ශිෂ්‍යයෙකුව ඒ සඳහා දිරිගන්වන්න අවශ්‍යයි කියා සිතන්න. එසේත් නැත්නම් කාලයක් සේවයේ හවුල් නොවූ ප්‍රචාරකයෙකුව නැවත සේවයේ යෑමට දිරිගන්වන්න අවශ්‍යයි කියා සිතන්න. ඔවුන්ට අප උපකාර කරන්නේ කෙසේද? මූලිකවම අවශ්‍ය කරන්නේ ඒ සඳහා ඔවුන්ගේ හදවත් තුළ පෙලඹීමක් ඇති කිරීමයි. යේසුස් ජනයාට ඉගැන්වීමට පෙලඹුණේ ඔහුගේ හදවතේ ඇති වූ “මහත් අනුකම්පාව” නිසයි. (මාක් 6:34) එලෙස ඔවුන්ගේ හදවත් තුළ ජනයා කෙරෙහි අනුකම්පාවක් ඇති වීමට සැලැස්වීමෙන් ශුභාරංචිය ගැන කතා කිරීමට ඔවුන් තුළද පෙලඹීමක් ඇති කළ හැකියි. ඒ සඳහා ඔවුන්ගෙන් අපට මෙසේ අසන්න පුළුවන්. “දේවරාජ්‍යය ගැන දැනගැනීමෙන් ඔයාගේ ජීවිතයට සිදු වුණේ මොන වගේ යහපතක්ද? තවම දේවරාජ්‍යය ගැන අහලා නැති අයටත් ඒ ගැන දැනගන්න ලැබුණොත් එයාලටත් එයින් යහපතක් වෙයි කියලා ඔයා හිතන්නේ නැද්ද? ඔයාට ඒ අය වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන්?” ඒ කෙසේවෙතත් දේශනා කිරීමට අප තුළ දැඩි පෙලඹීමක් ඇති වීමට ප්‍රධාන හේතුව විය යුත්තේ දෙවිට තිබෙන ප්‍රේමය හා ඔහුට සේවය කිරීමට තිබෙන කැමැත්තයි.

20. (අ) යේසුස්ගේ අනුගාමිකයෙක් ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ කුමක්ද?

20 යේසුස්ගේ අනුගාමිකයෙකු වීම යනු ඔහු කී දේ නැවත නැවත කීමවත් ඔහු කළ දේවල් නිකම්ම චාරිත්‍රයක් හැටියට කිරීමවත් නොවෙයි. අප වෑයම් කළ යුත්තේ යේසුස්ට තිබූ “ආකල්පයම” ඇති කරගැනීමටයි. (ෆිලිප්පි 2:5) “ක්‍රිස්තුස්ගේ මනස” එනම් යේසුස් කළ කී දේවල්වලට දායක වූ ඔහුගේ සිතුවිලි බයිබලයේ හෙළි කර තිබීම ගැන අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද! (1 කොරින්ති 2:16) එය දැනගැනීමට උත්සාහ දැරීමෙන් යේසුස් ජනයාට සැලකූ ආකාරයෙන්ම ජනයාගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන්ට අනුකම්පාවෙන් සැලකීමට අපට හැකි වෙයි. ඊළඟ පරිච්ඡේදයේදී යේසුස් ප්‍රේමය පෙන්වූ විවිධ ආකාර, විශේෂයෙන් තම අනුගාමිකයන්ට ප්‍රේමය පෙන්වූ ආකාරය අප සලකා බලනවා.

^ 3 ඡේ. “මහත් අනුකම්පාවක් ඇති වී” යන යෙදුම රැගෙන තිබෙන ග්‍රීක වචනය අනුකම්පාව විස්තර කිරීමට එම භාෂාවේ තිබෙන ප්‍රබලතම වචනයයි. “කෙනෙක් වේදනාවෙන් සිටින විට එය අපට දැනීම පමණක් නොවෙයි, ඒ වේදනාව නැති කිරීමට යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට පෙලඹීමද” එයින් අදහස් කරන බව එක් පොතක සඳහන් වෙනවා.

^ 7 ඡේ. ‘එකිනෙකාට අනුකම්පාව පෙන්වන්න’ යන යෙදුම රැගෙන තිබෙන ග්‍රීක වචනයේ මූලික අර්ථය වන්නේ “පීඩා විඳින කෙනා සමඟ පීඩා විඳීමයි.”