Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

ඔහු ළඟට යන්න මිනිසුන් භය වුණේ නැහැ

ඔහු ළඟට යන්න මිනිසුන් භය වුණේ නැහැ

“කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න”

1-3. දෙමාපියන් තම දරුවන්ව රැගෙන යේසුස් වෙතට පැමිණි විට සිදු වූයේ කුමක්ද? එම සිද්ධියෙන් යේසුස් ගැන හෙළි වන්නේ කුමක්ද?

 යේසුස්ට මිනිසෙකු ලෙස ජීවත් වීමට ඉතිරිව ඇත්තේ තව සති කිහිපයක් පමණයි. නමුත් කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ඔහු දැන් තම නියෝජිතයන් සමඟ යොර්දාන් ගඟේ නැඟෙනහිර දෙසට පිහිටි පෙරයාවේ දේශනා කරමින් සිටිනවා. ඔවුන් අදහස් කරන්නේ එහි සිට යෙරුසලම දක්වා ගමන් කිරීමටයි. එහිදී යේසුස් පාස්කු උත්සවයට සහභාගි වීමට නියමිතයි. එය ඔහුගේ අවසාන පාස්කු උත්සවයයි.

2 දිනක් යේසුස් ආගමික නායකයන් සමඟ වැදගත් සාකච්ඡාවක නියැලෙනවා. එය අවසන් වනවාත් සමඟම මිනිසුන් තම දරුවන්ව රැගෙන යේසුස් ළඟට එනවා. ඒ දරුවන් විවිධ වයස් මට්ටම්වල සිටි අය විය හැකියි. * (ලූක් 18:15, පාදසටහන; මාක් 5:41, 42; 10:13) එම දරුවන් නිසා එතැන ඝෝෂාකාරී බවක් තිබෙනවා. යේසුස්ගේ ගෝලයන් එම දරුවන්ගේ දෙමාපියන්ට තදින් කතා කරනවා. තම ස්වාමියා කාර්යබහුල නිසා ඒ දරුවන් වෙනුවෙන් කාලය දීමට ඔහුට නොහැකියි කියා ඔවුන්ට සිතෙන්න ඇති. යේසුස් ඒ අවස්ථාවේදී කටයුතු කරන්නේ කොහොමද?

3 යේසුස් අසතුටට පත් වෙනවා. ඒ, දරුවන් සමඟවත් දෙමාපියන් සමඟවත් නොවෙයි, තම ගෝලයන් සමඟයි. ඔහු ඔවුන්ට මෙසේ පවසනවා. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කෙනෙක් කුඩා දරුවෙක් මෙන් වී දෙවිගේ රාජ්‍යය පිළිගත යුතු බවයි. එසේ නොකළොත් ඊට ඇතුල් වන්න ඔහුට බැරි වෙයි.” ඉන්පසු යේසුස් දරුවන්ව තමන් ළඟට ගෙන, ඔවුන්ව “තුරුලු කරගෙන” ඔවුන්ට ආශීර්වාද කරනවා. (මාක් 10:13-16) ඉන් පැහැදිලි වන්නේ යේසුස් දරුවන්ට ඉමහත් ආදරයක් පෙන්වූ බවයි. ඒ සිද්ධියෙන් යේසුස් ගැන තවත් කාරණයක් පැහැදිලි වෙනවා. එනම් කුඩා දරුවන් පවා කිසිදු බියක් සැකක් නැතුව ඔහු ළඟට පැමිණි බවයි.

4, 5. (අ) ඕනෑම කෙනෙකුට යේසුස් ළඟට යන්න පුළුවන් වූ බව අප දන්නේ කොහොමද? (ආ) මෙම පරිච්ඡේදයෙන් පිළිතුරු සොයන්නේ කුමන ප්‍රශ්නවලටද?

4 ඔබට ඒ සිද්ධිය සිතින් මවාගත හැකිද? දරුවන්ව යේසුස් ආදරයෙන් තුරුලු කරගෙන ඔවුන්ව දෙවිට වටිනා අය ලෙස අගය කරද්දී දෙමාපියන්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! නමුත් යේසුස් උඩඟු, රළු කෙනෙකු වූවා නම් දරුවන් කිසිවිටකත් ඔහු ළඟට නොයන බව ස්ථිරයි. ඒ වගේම දෙමාපියනුත් තම දරුවන් රැගෙන ඔහු ළඟට යෑමට පසුබට වෙයි. යේසුස්ට දහසකුත් වැඩ රාජකාරි තිබුණත් ඔහු වෙතට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් වුණා.

5 යේසුස් ළඟට කිසිදු බියක් සැකක් නොමැතිව යා හැකි බව තේරුම්ගත්තේ තව කවුරුන්ද? මිනිසුන් යේසුස් ළඟට යන්න පෙලඹුණේ කුමන හේතු නිසාද? යේසුස්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? ඒ ගැන අපි මෙම පරිච්ඡේදයෙන් සලකා බලමු.

යේසුස් ළඟට ගියේ කුමනාකාරයේ අයද?

6-8. යේසුස් නිතර ඇසුරු කළේ කවුරුන් සමඟද? ඔහු මිනිසුන්ට සැලකූ ආකාරය ආගමික නායකයන්ට වඩා වෙනස් වූයේ කෙසේද?

6 සුවිශේෂ වාර්තාවල යේසුස් ගැන මෙසේ සඳහන් වෙනවා. ‘ගලීලයෙන් මහත් ජන සමූහයක් ඔහුගේ අනුගාමිකයෝ වුණා.’ ‘මහත් සමූහයක් ඔහු වටා එක් රොක් වුණා.’ ‘මහත් සමූහයක් යේසුස් වෙතට පැමිණියා.’ ‘විශාල සමූහයක් ඔහු සමඟ ගමන් කරමින් සිටියා.’ (මතෙව් 4:25; 13:2; 15:30; ලූක් 14:25) එලෙස මිනිසුන් කිසිදු බියක් සැකක් නැතුව නිතර යේසුස් වටා රොක් වූ ආකාරය ගැන කියවන විට ඔබ තුළ යම් කුතුහලයක් ඇති වන බව නිසැකයි. එලෙස යේසුස් වෙතට ඇදී ආවේ කුමනාකාරයේ අයද කියා දැන් අපි බලමු.

7 ඔවුන්ගෙන් බහුතරයක් සාමාන්‍ය ජනතාවයි. එවකට සිටි ආගමික නායකයන් ඔවුන්ව හැඳින්වූයේ ‘නූගත් මිනිසුන්’ ලෙසයි. පරිසිවරුන් හා පූජකයන් ප්‍රසිද්ධියේ ඔවුන් ගැන පැවසුවේ, “නීතිය ගැන කිසිම අවබෝධයක් නැති මේ සමූහයා දේවශාපයට ලක් විය යුතු පිරිසක්” කියායි. (යොහන් 7:49) ඒ කාලයේ ඔවුන් අතර එවැනි මතයක් තිබූ බව රබ්බිවරුන්ගේ ලියවිලිවලින් සනාථ වෙනවා. සාමාන්‍ය ජනයාව පහත් නින්දිත ජන කොට්ඨාසයක් ලෙස සැලකූ බොහෝ ආගමික නායකයන් ඔවුන් සමඟ ආහාර ගැනීමටවත් ඇසුරු කිරීමටවත් ඔවුන්ගෙන් යමක් මිල දී ගැනීමටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ. එම ජනයාට නීතිය ගැන අවබෝධයක් නොතිබූ නිසා ඔවුන්ට නැවත නැඟිටීමක් නැති බව සමහර ආගමික නායකයන් තරයේ කියා සිටියා. සාමාන්‍ය ජනයාගෙන් බොහෝදෙනෙක් එම ආගමික නායකයන්ගෙන් මඟ පෙන්වීම් පතනවාට වඩා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට කැමැත්තක් දක්වන්න ඇති. නමුත් යේසුස් එම නායකයන්ට වඩා වෙනස් ආකාරයටයි කටයුතු කළේ.

8 යේසුස් සාමාන්‍ය ජනයා සමඟ සුහදශීලීව ඇසුරු කළා. ඔවුන් සමඟ කමින් බොමින් ඔවුන්ගේ රෝග සුව කරමින් ඔවුන්ට දේවරාජ්‍යය ගැන කියා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් ලබා දුන්නා. එම ජනයාගෙන් බහුතරයක් එම ශුභාරංචිය ප්‍රතික්ෂේප කරයි කියා යේසුස් දැන සිටියා. (මතෙව් 7:13, 14) එසේවුවත් ඒ එක් එක් පුද්ගලයාව යේසුස් සැලකුවේ අනාගතයේදී යෙහෝවා දෙවිගේ සේවකයෙක් විය හැකි කෙනෙකු ලෙසයි. සිත්පිත් නැති පරිසිවරුන් හා පූජකයන්ට වඩා යේසුස් කොයි තරම් වෙනස්ද! පුදුමයට කාරණයක් වන්නේ පරිසිවරුන් හා පූජකයන්ගෙන් සමහරෙක්ද යේසුස්ව සොයාගෙන පැමිණීමයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ජීවිතයේ වෙනස්කම් කරගෙන යේසුස්ගේ අනුගාමිකයන් වුණා. (ක්‍රියා 6:7; 15:5) ඒ විතරක් නොවෙයි, ඇතැම් බලවතුන් හා ධනවතුන්ද යේසුස්ව සොයාගෙන ආවා.—මාක් 10:17, 22.

9. යේසුස් ළඟට එන්න ස්ත්‍රීන් පසුබට නොවුණේ ඇයි?

9 ස්ත්‍රීන්ද යේසුස් ළඟට එන්න පසුබට වුණේ නැහැ. එදා සමාජයේ ආගමික නායකයන් තමන්ව පහත් කොට සලකන බව ස්ත්‍රීන් දැනගෙන සිටියා. රබ්බිවරුන් ස්ත්‍රීන්ට ඉගැන්වීමට පවා අකමැති වුණා. ස්ත්‍රීන්ව සලකනු ලැබුවේ විශ්වාසය තැබිය නොහැකි අය ලෙසයි. ඒ නිසා ඔවුන්ට නඩු විභාගවලදී සාක්ෂි දීමට අවසර තිබුණේද නැහැ. ඒ විතරක් නොවෙයි, තමන් ස්ත්‍රීන් නොවීම ගැන රබ්බිවරු දෙවිට ස්තුති යාච්ඤාවක් පවා සාදා තිබුණා! නමුත් යේසුස් කටයුතු කළේ ඊට වෙනස් ආකාරයකට බව ස්ත්‍රීන් තේරුම්ගත්තා. ඒ නිසයි යේසුස්ගෙන් ඉගෙනගැනීමට බොහෝ ස්ත්‍රීන් මහත් ආශාවෙන් ඔහු ළඟට පැමිණියේ. උදාහරණයකට ලාසරුස්ගේ සහෝදරිය වූ මරියා, යේසුස්ගේ පාමුල ඉඳගෙන ඔහු ඉගැන්වූ දේට හොඳින් සවන් දුන්නා. නමුත් ඇගේ සහෝදරිය වන මාර්තා ඉගෙනගැනීමට වඩා යේසුස්ට ආහාර වේලක් සූදානම් කිරීමට වැඩි අවධානයක් යොමු කළා. යේසුස් ඒ අවස්ථාවේදී මරියාට ප්‍රශංසා කළා. ඔහු ක්‍රියා කළේ රබ්බිවරුන්ට වඩා කොතරම් වෙනස්වද!—ලූක් 10:39-42.

10. රෝගීන්ට සැලකීමේදී යේසුස් ආගමික නායකයන්ට වඩා වෙනස් වූයේ කෙසේද?

10 රෝගීන්ද සුවය පතා යේසුස් ළඟට ආවා. නමුත් ආගමික නායකයන් රෝගීන්ට සමාජයට එන්න නොදී ඔවුන්ව කොන් කළා. ලාදුරු රෝගීන්ව වෙන් කර තබන්න කියා දෙවි මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වී තිබූ බව ඇත්තයි. නමුත් ඔවුන්ට අකාරුණිකව සැලකීමට එය හේතුවක් කරගැනීමට කිසිවෙකුටවත් අයිතියක් තිබුණේ නැහැ. (ලෙවී කතාව 13වෙනි පරිච්ඡේදය) ලාදුරු රෝගීන්ව අපවිත්‍ර, ඉතාමත්ම පිළිකුල් අය ලෙස සැලකිය යුතු බව රබ්බිවරුන්ගේ නීතිවල පසු කාලයේදී සඳහන් වුණා. සමහර ආගමික නායකයන් ලාදුරු රෝගීන්ට ගල් ගසා ඔවුන්ව පන්නා දැමුවා. එවැනි සැලකිල්ලක් ලබන කෙනෙක් කිසිම ආගමික ගුරුවරයෙකු ළඟට යයි කියා සිතිය හැකිද? නමුත් යේසුස් ළඟට යන්න ලාදුරු රෝගීන් කිසිදු බියක් දැක්වූයේ නැහැ. එක් ලාදුරු රෝගියෙක් යේසුස් කෙරෙහි තමාට තිබූ විශ්වාසය පළ කරමින් පැවසූ මේ දෙය ඒ සඳහා තිබෙන හොඳම සාක්ෂියයි. “ස්වාමීනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.” (ලූක් 5:12) යේසුස් ඔහුට දුන් පිළිතුර ඊළඟ පරිච්ඡේදයෙන් දැනගත හැකියි.

11. බරපතළ වැරදි කළ අය පවා යේසුස් ළඟට භය නොවී පැමිණි බව පෙන්වන්නේ කුමන සිද්ධියෙන්ද? එම කාරණය අද දිනට වැදගත් වන්නේ ඇයි?

11 බරපතළ වැරදි කළ අය පවා යේසුස් ළඟට යන්න භය වුණේ නැහැ. යේසුස් පරිසිවරයෙකුගේ නිවසේ ආහාර ගන්නා විට සිදු වූ දේ සලකා බලන්න. පව්කාර තැනැත්තියක් ලෙස ප්‍රසිද්ධව සිටි ස්ත්‍රියක් ඒ අවස්ථාවේදී එතැනට පැමිණ යේසුස්ගේ පාමුල ඉඳගෙන ඇගේ වැරදි ගැන පසුතැවෙමින් අඬන්න පටන්ගත්තා. ඇය තම කඳුළුවලින් යේසුස්ගේ පාද තෙමා ඇගේ හිසකෙස්වලින් ඒ කඳුළු පිස දැමුවා. පරිසිවරයා ඒ දෙස බැලුවේ මහත් පිළිකුලකින්. යේසුස් එවැනි දෙයකට ඉඩහරින්නේ ඇයි කියා ඔහු සිතුවා. නමුත් යේසුස් ඇගේ ක්‍රියාව අගය කරමින් ඇය අවංකව පසුතැවිලි වූ නිසා යෙහෝවා දෙවිගේ සමාව ඇයට ලැබෙන බව පැවසුවා. (ලූක් 7:36-50) අද දින තමන් අතින් සිදු වූ බරපතළ වැරදි නිසා සිත්තැවුලෙන් සිටින අය නැවත දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඉක්මනින් පියවර ගත යුතුයි. එවැනි අය උපකාර ලබාගැනීමට වැඩිමහල්ලන් ළඟට යෑමට නම් වැඩිමහල්ලන් යේසුස් මෙන් ළඟා විය හැකි පුද්ගලයන් විය යුතුයි. ජනයා යේසුස් ළඟට යෑමට හේතු වූ කාරණා මොනවාද කියා ඊළඟට අපි සලකා බලමු.

මිනිසුන් යේසුස් වෙතට යන්න පෙලඹුණේ ඇයි?

12. මිනිසුන් යේසුස් වෙතට ඇදී ඒම පුදුමයට හේතුවක් නොවන්නේ ඇයි?

12 යේසුස් මුළුමනින්ම තම පියාව අනුකරණය කළා. (යොහන් 14:9) බයිබලයේ යෙහෝවා දෙවි ගැන පවසා තිබෙන්නේ ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි’ කියායි. (ක්‍රියා 17:27) යෙහෝවා දෙවි “යාච්ඤා අසන” නිසා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ටත් අවංකව ඔහුව සොයන අන් සියලුදෙනාටත් ඕනෑම වේලාවක ඔහුට යාච්ඤා කරන්න පුළුවන්. (ගීතාවලිය 65:2) විශ්වයේ බලවත්ම හා ශ්‍රේෂ්ඨතම තැනැත්තා වෙතට ළඟා විය හැකි බව දැනගැනීමට ලැබීම ඔබේ සිතට සතුටක් ගෙන දෙන්නේ නැද්ද? යෙහෝවා දෙවි මෙන් යේසුස්ද ජනයාට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. යේසුස්ට ජනයා වෙනුවෙන් කොතරම් ප්‍රේමයක් තිබුණාද කියා ඉදිරි පරිච්ඡේදවලින් දැනගත හැකියි. යේසුස් වෙතට මිනිසුන් ඇදී ඒමට මූලිකවම හේතු වූයේ ඔහු තුළ තිබූ එම ප්‍රේමය ඔවුන් දුටු නිසයි. යේසුස් ප්‍රේමය පෙන්වූ ආකාර කිහිපයක් දැන් අපි සලකා බලමු.

13. දෙමාපියන්ට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

13 යේසුස් තමන් කෙරෙහි සැලකිල්ලක් දක්වන බව මිනිසුන්ට ඉක්මනින්ම තේරුණා. ඔහු මහත් පීඩනයකින් සිටින විට පවා අන් අය කෙරෙහි සැලකිල්ලක් දැක්වූවා. දෙමාපියන් තම දරුවන්ව රැගෙන ඔහු ළඟට පැමිණි අවස්ථාව ගැන සිතන්න. ඒ වන විටත් ඔහුට වගකීම් රැසක් ඉටු කිරීමට තිබූ නිසා ඔහු සිටියේ කාර්යබහුලවයි. නමුත් ඔහු ඒ අය වෙනුවෙන් කාලය හා අවධානය දීමට අදිමදි කළේ නැහැ. යේසුස් දෙමාපියන්ට තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! දරුවන් ඇතිදැඩි කිරීම අභියෝගයක් බව ඇත්තයි. නමුත් තම මව හෝ පියා සමඟ ඕනෑම වේලාවකදී ඕනෑම දෙයක් ගැන කතා කිරීමට පුළුවන් බව දරුවන්ට දැනෙන්න අවශ්‍යයි. ඔබ මවක් හෝ පියෙක් නම් ඔබට තිබෙන දහසකුත් වැඩ රාජකාරී නිසා දරුවෙකුට සෑමවිටම අවධානය දීම පහසු නැති බව ඔබට හැඟෙනවා ඇති. ඔබට පුළුවන් එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් ඔහු වෙනුවෙන් කාලය දෙන බව පවසන්න. ඔබ පොරොන්දු වූ ලෙසම එය ඉටු කරන්න. ඔබ එසේ කටයුතු කරන විට දරුවා ඉවසීමේ ගුණාංගයද දියුණු කරගැනීමට පුරුදු වෙයි. ඒ වගේම ඕනෑම ගැටලුවකදී මව හෝ පියා ළඟට යා හැකි බවත් ඔහු තේරුම්ගන්නවා.

14-16. (අ) යේසුස් පළමු ආශ්චර්යය සිදු කළේ ඇයි? එය පුදුමයක් කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) යේසුස් කළ දෙයින් ඔහු ගැන හෙළි වන්නේ කුමක්ද? එයින් දෙමාපියන්ට කුමක් ඉගෙනගත හැකිද?

14 මිනිසුන්ට වැදගත් වූ දේවල් තමන්ටද වැදගත් වූ බව යේසුස් ඔවුන්ට දැනෙන්න සැලැස්සුවා. යේසුස් සිදු කළ පළමු ආශ්චර්යය ගැන සිතා බලන්න. ඔහු ගලීලයේ පිහිටි කානා නුවරෙහි විවාහ උත්සවයකට සහභාගි වෙමින් සිටියා. ඒ උත්සවය අතරතුර වයින් හිඟයක් ඇති වූ විට යේසුස්ගේ මව වූ මරියා ඔහුට ඒ ගැන පැවසුවා. එවිට යේසුස් එතැන තිබූ විශාල භාජන හයකට වතුර පුරවන්න කියා සේවකයන්ට පැවසුවා. උත්සවය අධීක්ෂණය කළ තැනැත්තා එයින් ටිකක් රස බැලූ විට එය හොඳම වයින් බව ඔහුට තේරුම් ගියා. කුමක්ද සිදු වී තිබුණේ? යේසුස් ආශ්චර්යවත් ලෙස ‘වතුර වයින් බවට හරවා තිබුණා!’ (යොහන් 2:1-11) එලෙස එක් දෙයක් තවත් දෙයක් බවට පත් කිරීමට මිනිසුන් කාලයක් පුරා සිහින මැව්වා. ශතවර්ෂ ගණනාවක් පුරා ඇතැම් විද්‍යාඥයන් විසින් ඊයම් රත්තරන් බවට හැරවීමට මහත් උත්සාහයක් දරා තිබුණා. ඊයම් හා රත්තරන් බොහෝ දුරට සමානකමක් ඇති මූලද්‍රව්‍යයන් වුවත් ඊයම්, රත්තරන් බවට හැරවීමේ උත්සාහය එවකට සාර්ථක වී තිබුණේ නැහැ. * වතුර හා වයින් සෑදී තිබෙන මූලද්‍රව්‍ය ගැන කුමක් කිව හැකිද? වතුර සෑදී තිබෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් එකතු වීමෙනුයි. නමුත් වයින් ඊට වඩා සංකීර්ණයි. එය සෑදී තිබෙන්නේ මූලද්‍රව්‍ය රැසක අණු එකට එකතු වීමෙනුයි. යේසුස් එතරම් සරල දෙයක් වන වතුර, වයින් වැනි සංකීර්ණ දෙයකට මාරු කිරීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. ඒ අවස්ථාවේදී යේසුස් එතරම් පුදුමාකාර ආශ්චර්යයක් කිරීමට පෙලඹුණේ ඇයි?

15 පුරාණ ඊශ්‍රායෙලයේ නිවසට ආරාධනා කළ අයට ආගන්තුක සත්කාරය දැක්වීම ඉතාමත් වැදගත් දෙයක් වුණා. ඒ නිසා විවාහ උත්සවයක් වැනි අවස්ථාවකදී වයින් හිඟයක් ඇති වුණා නම් ඔවුන්ගේ ජීවිත කාලයටම එය අමතක නොවන සිද්ධියක් වීමට ඉඩ තිබුණා. එයින් ඔවුන්ට ඇති වන්නේ ලැජ්ජාවක් හා අගෞරවයක්. එය මනාල යුවළට කොහෙත්ම සුළුපටු කාරණයක් නොවෙයි. එය තේරුම්ගත් නිසයි යේසුස් එතරම් පුදුමාකාර දෙයක් ඔවුන් වෙනුවෙන් කිරීමට පෙලඹුණේ. යේසුස් ළඟට ගොස් තමන්ගේ ප්‍රශ්න ගැටලු කීමට මිනිසුන් පෙලඹුණේ ඇයි කියා දැන් ඔබට තේරුම්ගන්න පුළුවන්ද? ඒ, ඔවුන් වැදගත් ලෙස සැලකූ දේ යේසුස්ටද වැදගත් වූ නිසයි.

ඔබේ දරුවාට වැදගත් වන දේවල් ඔබටත් වැදගත් බව දැනෙන්න සලස්වන්න

16 දෙමාපියෙනි, එයින් ඔබට යමක් ඉගෙනගත හැකිද? ඔබේ දරුවා යම් ප්‍රශ්නයක් ගැන කතා කිරීමට ඔබ වෙතට පැමිණෙන විට ඔබ කටයුතු කරන්නේ කොහොමද? ඔබට තිබෙන ගැටලු සමඟ දරුවාගේ ගැටලුව සසඳන විට එය සුළු එකක් කියා සිතමින් දරුවාට අවශ්‍ය අවධානය නොදී සිටීමට ඔබ පෙලඹෙන්න ඉඩ තිබෙනවා. එසේත් නැත්නම් ඒ ගැන උපහාසාත්මක ලෙස සිනාසීමට පවා ඔබ පෙලඹිය හැකියි. නමුත් ඒ ගැටලුව ඔබට සුළු එකක් වුණත් දරුවාට නම් එය සුළු එකක් නොවෙයි. ඔබ බොහෝ සෙයින් ප්‍රේම කරන ඔබේ දරුවාට වැදගත් කාරණයක් ඔබටත් වැදගත් විය යුතු නොවේද? ඔබේ දරුවාට වැදගත් වන දේවල් ගැන ඔබ සැලකිල්ලක් දක්වන බව දරුවාට දැනෙන්න සලස්වනවා නම් දරුවා ඕනෑම අවස්ථාවකදී ඔබ ළඟට කිසිදු බියක් සැකක් නොමැතිව එන බව ස්ථිරයි.

17. මෘදුකම සම්බන්ධයෙන් යේසුස් තැබුවේ කිනම් ආදර්ශයක්ද? එම ගුණාංගය ශක්තිමත් බවේ ලක්ෂණයක් කියා පැවසිය හැක්කේ ඇයි?

17 අප තුන්වෙනි පරිච්ඡේදයේ සලකා බැලූ ලෙස යේසුස් මෘදු ගුණැති නිහතමානී කෙනෙක් වුණා. (මතෙව් 11:29) මෘදු ගුණය ඇති කෙනෙක් ඉතාමත් ප්‍රියමනාපයි. යමෙක් කොතරම් නිහතමානීද කියා දැනගත හැකි වන්නේ ඔහුගේ හෝ ඇගේ මෘදු ස්වභාවයෙනුයි. ඒ වගේම කෙනෙකුට දෙවිගේ ප්‍රඥාව තිබෙන බවත් ඉන් පැහැදිලි වෙනවා. අප මෘදුකමින් කටයුතු කිරීමට නම් දෙවිගේ බලයේ උපකාරය අපට තිබිය යුතුයි. (ගලාති 5:22, 23; යාකොබ් 3:13) යේසුස් දැඩි පීඩනයට ලක් වූ අවස්ථාවලදීත් තමාව පාලනය කරගැනීමට ඔහුට හැකි වුණා. එම අවස්ථාවලදී ඔහු මෘදුකමින් කටයුතු කළේ ඔහු දුර්වල පුද්ගලයෙක් වූ නිසා නොවෙයි. එක් විද්වතෙක් එම ගුණාංගය ගැන මෙසේ විස්තර කරනවා. “මෘදු ස්වභාවයකින් කටයුතු කරන පුද්ගලයෙක් දුර්වල කෙනෙක් නොවෙයි.” ඇත්තෙන්ම අපට කෝපයක් ඇති වූ විට එය පාලනය කරගෙන අන් අයට මෘදුකමින් සැලකීමට නම් අප තුළ ශක්තියක් තිබිය යුතුයි. එසේ කිරීමට අප වෑයමක් දරනවා නම් යෙහෝවා දෙවි අපට උපකාර කරන අතර යේසුස් මෙන් අපටත් අන් අයට මෘදුකමින් සැලකීමට හැකි වෙයි. අප එසේ කටයුතු කරනවා නම් ඕනෑම කෙනෙක් කිසිදු බියක් සැකක් නැතුව අප ළඟට එන බව නිසැකයි.

18. යේසුස් සාධාරණ පුද්ගලයෙක් බව පෙන්වන්නේ කුමන සිද්ධියෙන්ද? ඕනෑම කෙනෙක් සාධාරණ පුද්ගලයෙකු වෙතට යන්න පසුබට නොවන්නේ ඇයි?

18 යේසුස් කටයුතු කළේ සාධාරණවයි. තීර් නුවරේ සිටියදී ස්ත්‍රියක් ඔහු ළඟට ඇවිත් ‘භූතයෙකු ආවේශ වීමෙන් මහත් සේ පීඩා විඳින’ ඇගේ දියණියව සුව කර දෙන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටියා. නමුත් ඇගේ ඉල්ලීම ඉටු නොකරන බව යේසුස් ආකාර තුනකින් ඇයට පෙන්වා දුන්නා. මුලින්ම ඔහු ඇයට කිසිවක් නොපවසා සිටියා. දෙවනුව ඇගේ ඉල්ලීම ඉටු නොකිරීමට හේතුව පැවසුවා. අවසානයේදී ඔහු උදාහරණයකින් ඇයට කාරණය තේරුම් කර දුන්නා. ඒ කෙසේවෙතත් ඔහු ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ අකාරුණික ලෙස නොවෙයි. තමා වැනි උසස් කෙනෙකුගෙන් එසේ ප්‍රශ්න ඇසීමට ඇයට අයිතියක් නැති බව ඔහු ඇඟෙව්වේවත් නැහැ. ඇයට යේසුස් සමඟ කතා කිරීමට කිසිදු බියක් නොදැනුණේ ඒ නිසයි. ඇය යේසුස්ගෙන් උපකාරය පැතුවා පමණක් නොව, තම දියණියව සුව කිරීමට ඔහු අකමැති බව අඟවද්දීත් දිගින් දිගටම ඔහුට කන්නලව් කිරීමට බිය නොවුණෙත් ඒ නිසයි. ඇය එසේ කළේ ඇය තුළ තිබූ දැඩි විශ්වාසය නිසා බව යේසුස් තේරුම්ගත්තා. ඒ නිසා යේසුස් ඇගේ දියණියව සුව කළා. (මතෙව් 15:22-28) යේසුස් සාධාරණ ලෙස කටයුතු කළ නිසාත් අන් අයට සවන් දීමට කැමැත්තක් දැක්වූ නිසාත් මිනිසුන් ඔහු වෙතට ඇදී ආවා.

ඔබ කොයි වගේ කෙනෙක්ද?

19. ඕනෑම කෙනෙකු අප සමඟ ආශ්‍රය කරන්න කැමතියි කියා අප දැනගන්නේ කොහොමද?

19 අන් අය තමන්ට ප්‍රිය කරන බව සිතීමට හැමෝම කැමතියි. උදාහරණයකට යම් අධිකාරියක් හොබවන අය සිතන්නේ තමන් යටතේ සිටින අයට ඕනෑම වේලාවක තමන් ළඟට එන්න ඔවුන් ඉඩ සලසා තිබෙනවා කියායි. නමුත් බයිබලයේ සඳහන් වන්නේ මෙවන් දෙයක්. “බොහෝ අය තමන්ගේම කරුණාවන්තකම ගැන කතා කරති. එහෙත් විශ්වාසවන්තව කටයුතු කරන මිනිසෙකුව සොයාගත හැක්කේ කාටද?” (හිතෝපදේශ 20:6) කවුරුත් අප සමඟ ආශ්‍රය කරන්න කැමතියි කියා කීම පහසුයි. නමුත් අප ඇත්තටම කටයුතු කරන්නේ යේසුස් කටයුතු කළ ආකාරයටද? මෙහිදී වැදගත් වන්නේ අප, අප ගැන සිතන ආකාරය නොව අන් අය අප ගැන සිතන ආකාරයයි. “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියා පාවුල් පැවසූ දේ අපි නිතර මතක තබාගනිමු. (ෆිලිප්පි 4:5) අප එක් එක් කෙනා මෙම ප්‍රශ්නය ගැන සිතා බැලීම වැදගත්. ‘අනික් අය ඉදිරියේ මට තියෙන්නේ මොන වගේ නමක්ද?’

වැඩිමහල්ලෙනි, ඔබ වෙතට ඒමට මඟ විවර කරන්න

20. (අ) ඕනෑම කෙනෙක් බියක් සැකක් නැතුව වැඩිමහල්ලෙකු ළඟට යා හැකි වීම වැදගත් වන්නේ ඇයි? (ආ) වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන අප සාධාරණ විය යුත්තේ ඇයි?

20 සභාවේ වැඩිමහල්ලන් ඒ කාරණය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙනවා. ඔවුන් අවංක වෑයමක් දරන්නේ යෙසායා 32:1, 2හි සඳහන් මේ දේ පිළිපැදීමටයි. “ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය. ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද වන්නෝය.” වැඩිමහල්ලන්ට තමන්ගේ රැකවරණය යටතේ සිටින අයට ආරක්ෂාව හා සහනය ලබා දීමට හැකි වන්නේ වැඩිමහල්ලන් ළඟට බියක් සැකක් නැතුව ඒ අයට ඒමට හැකි නම් පමණයි. නමුත් වැඩිමහල්ලන්ට මේ කාලයේ සභාව තුළ විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන නිසා එසේ කටයුතු කිරීම සෑමවිටම පහසු දෙයක් නොවෙයි. ඒත් යෙහෝවා දෙවිට අයිති බැටළුවන්ට අවශ්‍ය උපකාරය ලබා දීමට නොහැකි තරමට ඔබ කාර්යබහුලයි කියා කිසිවිටකත් ඔවුන්ට දැනෙන්න සලස්වන්න එපා. (1 පේතෘස් 5:2) සභාවේ සිටින අපද වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන සාධාරණ විය යුතු අතර ඔවුන්ට සහයෝගය දෙමින් නිහතමානීව කටයුතු කිරීමටත් වෑයම් කළ යුතුයි.—හෙබ්‍රෙව් 13:17.

21. දරුවන් දෙමාපියන්ට ළං වීමට නම් දෙමාපියන් කෙසේ ක්‍රියා කළ යුතුද? අප ඊළඟ පරිච්ඡේදයේ සාකච්ඡා කරන්නේ කුමක්ද?

21 දෙමාපියෙනි, ඕනෑම වේලාවක ඔබේ දරුවන්ට ඔබ වෙතට ළං වීමට ඉඩ සලසන්න. එය ඔබ අතපසු නොකළ යුතු දෙයක්. මවට හෝ පියාට විශ්වාසයෙන් ඕනෑම දෙයක් කියන්න පුළුවන් බව ඔබේ දරුවන්ට හැඟෙන්න සලස්වන්න. දරුවන් ඔබ ළඟට එන්න නම් ඔබ සාධාරණව හා මෘදු ස්වභාවයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. දරුවෙක් තමා අතින් සිදු වූ වරදක් ගැන පවසන විට හෝ යම් කාරණයක් ගැන ඔහු දරන මතය වැරදි බව ඔබට හැඟෙන විට කලබල නොවී ඉවසීමෙන් දරුවාට උපකාර කරන්න. ඔබ එලෙස දරුවන් සමඟ කටයුතු කරනවා නම් ඔවුන්ට යම් ගැටලුවක් තිබෙන විට ඔවුන් ඔබ වෙතට බියක් සැකක් නැතුව පැමිණෙන බව ස්ථිරයි. අප හැමෝටම අවශ්‍ය වන්නේ යේසුස් මෙන් අන් අය ප්‍රිය කරන පුද්ගලයන් වීමටයි. ඊළඟ පරිච්ඡේදයේ මිනිසුන් වෙනුවෙන් යේසුස් දැක්වූ අනුකම්පාව ගැන සාකච්ඡා කරනවා. මිනිස්සු ඔහු වෙතට ඇදී ඒමට මූලික වූයේ එයයි.

^ 2 ඡේ. අප එසේ පවසන්නේ මාක්ගේ සුවිශේෂයේ එම දරුවන් ගැනත් අවුරුදු 12ක දැරියක් ගැනත් විස්තර කිරීමට ඔහු යොදාගත්තේ එකම යෙදුම වන නිසයි. නමුත් ලූක් ඒ සිද්ධිය වාර්තා කිරීමේදී යොදාගත් වචනයේ මූලික අර්ථය “ළදරුවන්” යන්නයි.

^ 14 ඡේ. ඊයම් හා රත්තරන් ආවර්තිතා වගුවේ එකිනෙකට ආසන්නව පිහිටි මූලද්‍රව්‍යයන්. රත්තරන් පරමාණුවකට වඩා ඊයම් පරමාණුවක ප්‍රෝටෝන තුනක් වැඩියි. නවීන දින විද්‍යාඥයන් ඊයම්, රත්තරන් බවට හරවා තිබෙනවා. නමුත් එය වියදම් අධික ක්‍රියාවලියක්.