Skip to content

පටුනට යන්න

18වෙනි පරිච්ඡේදය

“දිගටම මාව අනුගමනය කරන්න”

“දිගටම මාව අනුගමනය කරන්න”

1-3. (අ) යේසුස් තම නියෝජිතයන්ගෙන් වෙන්ව ගියේ කෙසේද? එම සමුගැනීම දුක්මුසු අවසානයක් නොවන්නේ ඇයි? (ආ) යේසුස් ස්වර්ගයට ගිය පසු ඔහු කරමින් සිටින දේ දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

 දැන් යේසුස්ගේ නියෝජිතයන් 11දෙනා රැස් වී සිටින්නේ ඔලීව කන්දෙයි. ඔවුන් සමඟ තවත් කෙනෙක් සිටිනවා. ඒ අන් කිසිවෙකු නොව ඔවුන් මහත් සේ ආදරය කළ තම ස්වාමියා වන යේසුස්. නැවත නැඟිටුණු යේසුස් තම නියෝජිතයන් ඉදිරියේ මිනිසෙකු සේ පෙනී සිටියත් ඇත්තෙන්ම ඔහු දැන් යෙහෝවා දෙවිගේ බලවත්ම දේවදූතයායි. යේසුස් තම නියෝජිතයන් සමඟ ඔලීව කන්ද මත හමු වන අවසාන වතාව මෙයයි.

2 යෙරුසලමේ සිට බලන කෙනෙකුට කඳු වළල්ලක පිහිටි ඔලීව කන්ද පෙනෙන්නේ කිද්‍රොන් නිම්නයට එහායින්. ඔලීව කන්ද යේසුස් මෙතෙක් ගත කළ ජීවිතය පිළිබඳව ඔහුට බොහෝ මතකයන් අවදි කරන ස්ථානයක්. තමා විසින් නැවත නැඟිටෙවූ ලාසරුස් ජීවත් වූ නගරය වන බෙතානිය පිහිටා තිබෙන්නේ මේ කඳු බෑවුමෙයි. මීට සති කිහිපයකට පෙර ඒ අසල පිහිටි නගරයක් වූ බෙත්පාගයේ සිට දෙවිගේ අභිෂේක ලත් රජු ලෙස තමන් යෙරුසලමට ගිය ආකාරයත් යේසුස්ගේ මතකයට නැඟෙන්න ඇති. ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු මහත් පීඩනයකින් සිටි පැය කිහිපය ගත කළ ගෙත්සෙමනය නම් උයන පිහිටා තිබෙන්නේද මේ කන්දේ විය හැකියි. දැන් ඔහු තම හිතෛෂි මිත්‍රයන් වූ තම නියෝජිතයන්ගෙන් සමුගැනීමට සැරසෙනවා. යේසුස් ඔවුන් සමඟ කතා කරන්නේ ඉමහත් සෙනෙහසකින්. සුළු මොහොතකට පසුව ඔහුව ඉහළට ඔසවාගනු ලබනවා. තම ප්‍රේමණීය ස්වාමියා ස්වර්ගයට නැඟී යන ආකාරය දෙස නියෝජිතයන් බලා සිටින්නේ දෑස් අයාගෙනයි. එවිට වලාකුළකින් ඔහුව වැසී යන අතර ඔහුව නොපෙනී යනවා.—ක්‍රියා 1:6-12.

3 එම සමුගැනීම යේසුස්ගේ ජීවිත කතාවේ දුක්මුසු අවසානයද? නැහැ. එය අවසානයක් නොවෙයි. ඒ බව දේවදූතයන් දෙදෙනෙක් ඔහුගේ නියෝජිතයන්ට පැවසූ දෙයින් සනාථ වෙනවා. (ක්‍රියා 1:10, 11) ඇත්තෙන්ම යේසුස් ස්වර්ගයට නැවත යෑම අවසානයක් නොව ආරම්භයක් කියා පැවසිය හැකියි. ස්වර්ගයට ගිය පසු යේසුස්ට සිදු වූ දේවල් දේවවචනයේ සඳහන් වෙනවා. අප ඒ ගැන දැනගැනීම වැදගත්. මන්ද “දිගටම මාව අනුගමනය කරන්න” කියායි යේසුස් පේතෘස්ට පැවසුවේ. (යොහන් 21:19, 22) අප සියලුදෙනාම ඒ ආඥාවට කීකරු වන බව සෑම දිනකම පෙන්විය යුතුයි. ඒ සඳහා අපගේ ස්වාමියා වන යේසුස් දැන් කරමින් සිටින්නේ කුමක්ද කියාත් ඔහුට ලැබී තිබෙන පැවරුම් කුමක්ද කියාත් දැනගැනීම වැදගත්.

යේසුස් ස්වර්ගයට ගිය පසු

4. යේසුස් ස්වර්ගයට ගිය පසු සිදු වන දේ පිළිබඳව බයිබලයේ සඳහන් වුණේ කුමක්ද?

4 යේසුස් ස්වර්ගයට ගිය විට ඔහුව පිළිගනු ලැබූ ආකාරය හා තම පියාව හමු වීමේදී ඔවුන් දෙදෙනාට දැනුණු සතුට වැනි දේවල් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් යේසුස් නැවත ස්වර්ගයට ගිය පසු සිදු වන දේ ගැන බයිබලයේ කල්තියාම සඳහන් වුණා. ඒ ගැන දැනගත හැකි වන්නේ ඊශ්‍රායෙල් සෙනඟ අවුරුදු 1,500කට වඩා වැඩි කාලයක් පුරා සැමරූ සමඟි කිරීමේ උත්සවය ගැන බයිබලයේ සඳහන් දෙයිනුයි. එදින උත්තම පූජකයා විසින් පූජා කරන ලද සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට ගෙන ගොස් ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ඉසිනු ලැබුවා. එම පූජාවලින් ඔවුන්ගේ පව්වලට දෙවිගෙන් සමාව ලැබුණත් එය සෑම වසරකම කළ යුතු වුණා. එදින එම උත්තම පූජකයා කළ දේ යේසුස් තම ජීවිතය එක් වතාවක් පූජා කිරීමෙන් ඉටු කළා. ඔහු ඔප්පු කළේ සදාකාලයටම වලංගු පූජාවක්. යේසුස් තම ජීවිතය පූජා කර අතිශුද්ධස්ථානය වන ස්වර්ගයට ගොස් තම පියා ඉදිරියේ පෙනී සිටි විට මුළු මිනිස් වර්ගයාගේම පව් සඳහා වන්දිය ගෙවනු ලැබුවා කියා පැවසිය හැකියි. (හෙබ්‍රෙව් 9:11, 12, 24) යෙහෝවා දෙවි එය පිළිගත්තාද?

5, 6. (අ) යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව පිළිගත් බව පෙන්වන්නේ කුමන සිද්ධියෙන්ද? (ආ) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද? ඒ කෙසේද?

5 යේසුස් ස්වර්ගයට ගොස් දින කිහිපයක් ගත වූ පසු සිදු වූ දේ සලකා බැලීමෙන් යෙහෝවා දෙවි තම පුත්‍රයාගේ පූජාව පිළිගත්තාද කියා දැනගත හැකියි. දිනක් යෙරුසලමේ උඩුමහල් කාමරයක ක්‍රිස්තියානීන් 120දෙනෙක් රැස් වී සිටියා. එක විගස තද සුළඟක් හමා යන්නාක් මෙන් හඬක් ඇසෙන අතර ගිනිදලු බෙදී ගොස් ඒවා ඔවුන්ගේ හිසට ඉහළින් දැල්වෙන්න පටන්ගන්නවා. එවිට දෙවිගේ බලය ලැබී ඔවුන් විවිධ භාෂාවලින් කතා කිරීමට පටන්ගන්නවා. (ක්‍රියා 2:1-4) එලෙස දෙවිගේ බලයෙන් ඔවුන්ව අභිෂේක කිරීමෙන් දෙවි ඔවුන්ව විශේෂ කාර්යයක් සඳහා තෝරාගත් බව ඔප්පු වුණා. සැබෑ නමස්කාරය පොළොව පුරා ව්‍යාප්ත කිරීමට දෙවි “තෝරාගත් සෙනඟක්” හා “ශුද්ධ ජාතියක්” ලෙස ඔවුන් අභිෂේක ලැබුවා. (1 පේතෘස් 2:9) එලෙස තම බලය ලබා දීමෙන් දෙවි යේසුස්ගේ ජීවිත පූජාව පිළිගත් බව පැහැදිලි වෙනවා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබූ පළමු ආශීර්වාදය එයයි.

6 එදා පටන් ලොව පුරා සිටින යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ ජීවිත පූජාව නිසා ප්‍රයෝජන අද්දකිනවා. අප යේසුස් සමඟ ඔහුගේ රාජ්‍යයේ පාලනයට හවුල් වන අභිෂේක ලත් ‘කුඩා රැළට’ අයිති අය විය හැකියි. එසේ නැතහොත් යේසුස්ගේ පාලනය යටතේ පාරාදීස පොළොවක ජීවත් වීමට යන ‘වෙනත් බැටළුවන්ට’ අයිති අය විය හැකියි. ඒ කෙසේවෙතත් අප සියලුදෙනාටම එම පූජාවෙන් ප්‍රයෝජන ලැබෙනවා. (ලූක් 12:32; යොහන් 10:16) අපගේ පව්වලට සමාව ලැබෙන්නෙත් සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙන්නෙත් එම පූජාව නිසයි. අප සෑම දිනකම යේසුස්ව අනුකරණය කරමින් ඔහුගේ ජීවිත පූජාව ‘කෙරෙහි විශ්වාසය තබනවා නම්’ අපට දෙවි අනුමත කරන ආකාරයේ නිදොස් හෘදය සාක්ෂියක් හා අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව ජීවත් විය හැකියි.—යොහන් 3:16.

7. යේසුස් ස්වර්ගයට ගිය පසු ඔහුට ලැබුණේ කිනම් පැවරුමක්ද? ඔහුට සහාය දෙන්න ඔබට හැක්කේ කෙසේද?

7 යේසුස්ට දෙවි විශාල බලයක් දී තිබෙනවා. (මතෙව් 28:18) ස්වර්ගයට ගිය පසු යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාව පාලනය කිරීමේ පැවරුම ඔහුට ලබා දුන්නා. එය ඔහු ඉටු කරන්නේ ප්‍රේමයෙන් හා සාධාරණවයි. (කොලොස්සි 1:13) සභාව රැකබලා ගැනීමට යේසුස් එදා සිට වගකීම් ඉසිලිය හැකි පුරුෂයන්ව පත් කර තිබෙනවා. (එෆීස 4:8) උදාහරණයකට දුර ඈත පළාත්වල පවා ශුභාරංචිය දේශනා කිරීම සඳහා “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ නියෝජිතයෙකු ලෙස” ඔහු පාවුල්ව තෝරාගත්තා. (රෝම 11:13; 1 තිමෝති 2:7) පළමු ශතවර්ෂයේ අවසානය ළං වන විට ආසියාවේ පිහිටි සභා සතකට ඔවුන්ගේ සේවය අගයමින් ඔවුන්ට උපදෙස් හා නිවැරදි කිරීම් ලබා දෙමින් ලිපි ලිවීමට යේසුස් මඟ පෙන්වීම් ලබා දුන්නා. (එළිදරව් 2-3වෙනි පරිච්ඡේද) ක්‍රිස්තියානි සභාවේ නායකයා යේසුස් කියා ඔබ තේරුම්ගෙන තිබෙනවාද? (එෆීස 5:23) එසේනම් ඔහුව අනුගමනය කරමින් ඔහුට කීකරුව සභාවේ වැඩවලට සහයෝගය ලබා දෙමින් ආදර්ශවත්ව ක්‍රියා කරන්න.

8, 9. වර්ෂ 1914 සිට යේසුස්ට දී තිබෙන බලතල මොනවද? එය අප ගන්නා තීරණවලට බලපෑ යුත්තේ කෙසේද?

8 වර්ෂ 1914 සිට යේසුස්ට තවත් බලතල ලැබුණා. දේවරාජ්‍යයේ රජු ලෙස ඔහුව පත් කරනු ලැබුවේ එම වසරේදියි. යේසුස් තම පාලනය ආරම්භ කළ විගස ‘ස්වර්ගයෙහි යුද්ධයක් ඇති වුණා.’ එම යුද්ධයෙන් පසු සාතන් හා ඔහුගේ භූතයන්ව පොළොවට පන්නා දැමුවා. එදා පටන් පොළොවේ වැසියන්ට මුහුණ දීමට සිදු වුණේ දුක්ඛිත තත්වයන්ටයි. යුද්ධ, අපරාධ, ලෙඩ රෝග, භූමිකම්පා, වසංගත වැනි පීඩා මිනිසාට අද්දකින්න සිදු වුණා. යේසුස් ස්වර්ගයේ තම පාලනය ආරම්භ කර තිබෙන බවට එය පැහැදිලි සාක්ෂියක්. සාතන් “මේ ලෝකයේ පාලකයා” ලෙස තවමත් කටයුතු කරමින් සිටිනවා. නමුත් ඔහුට තිබෙන්නේ “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” පමණයි. (එළිදරව් 12:7-12; යොහන් 12:31; මතෙව් 24:3-7; ලූක් 21:11) මේ කාලයේදී දේවරාජ්‍යයේ රජ වන යේසුස් ලොව පුරා සිටින ජනයාට තම පාලනය පිළිගැනීමට අවස්ථාවක් දී තිබෙනවා.

9 අප දේවරාජ්‍යයට පක්ෂ වෙනවාද නැද්ද කියා තීරණය කිරීම ඉතා වැදගත්. සෑම දවසකම ගන්නා තීරණවලින් අප යටත් වන්නේ දේවරාජ්‍යයේ රජු වන යේසුස්ට මිස මේ දූෂිත ලෝකයට නොවන බව පෙන්විය යුතුයි. ‘රජවරුන්ගේ රජ හා ස්වාමිවරුන්ගේ ස්වාමියා’ වන යේසුස් මිනිස් වර්ගයා දෙස බලන විට ඔහුගේ හදවතට ප්‍රීතියක් මෙන්ම කෝපයක් දැනෙයි. (එළිදරව් 19:16) අප එසේ පවසන්නේ ඇයි?

යේසුස්ගේ හදවතට දැනෙන ප්‍රීතිය හා කෝපය

10. යේසුස් සාමාන්‍යයෙන් කොයි වගේ කෙනෙක්ද? එහෙත් ඔහුට කෝපයක් දැනෙන්නේ කුමන හේතුව නිසාද?

10 තම පියා මෙන් යේසුස්ද ප්‍රීතිමත් කෙනෙක්. (1 තිමෝති 1:11) මේ පොළොවේ සිටි කාලයේදී ඔහු සතුටු කළ නොහැකි, නිතර අන් අයව විවේචනය කරන කෙනෙක් ලෙස කටයුතු කළේ නැහැ. නමුත් අද දින පොළොවේ සිදු වන දේවල් ගැන ඔහුට කෙසේ හැඟෙයිද? ඔහුට අනිවාර්යයෙන්ම කෝපයක් ඇති වන බව නිසැකයි. උදාහරණයකට ඔහුව අනුකරණය කරන බව බොහෝ අය කියා සිටියත් ඔවුන් ඇත්තෙන්ම එසේ කරන්නේ නැහැ. යේසුස් එවැනි අය ගැන මෙසේ පවසනවා. ‘ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට “ස්වාමීනි, ස්වාමීනි” කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ දවසේදී බොහෝදෙනෙක්, “ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද” කියා මගෙන් අසයි. එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.’—මතෙව් 7:21-23.

11-13. යේසුස්ගේ “නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා” කළ අයට ඔහු එතරම් කෝපයෙන් කතා කිරීම ගැන ඔවුන් පුදුම වන්නේ ඇයි? යේසුස් ඔවුන් සමඟ කෝප වීමට හේතුව උදාහරණයකින් පැහැදිලි කරන්න.

11 ඉහත සඳහන් යේසුස්ගේ වදන් තමන් ක්‍රිස්තියානීන් කියා පවසන බොහෝදෙනෙකුට තේරුම්ගැනීමට අපහසු විය හැකියි. ඊට හේතුව ඔවුන් යේසුස්ගේ “නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා” කරන නිසයි. උදාහරණයකට අසරණ අයට උපකාර කිරීම, රෝහල් හා පාසැල් ගොඩනැඟීම වැනි නොයෙකුත් යහපත් ක්‍රියා ඔවුන් කර තිබෙනවා. එසේනම් එවැනි අය ගැන එතරම් කෝපයකින් යේසුස් කතා කරන්නේ ඇයි? එය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න.

12 යුවළකට තම දරුවන්ව නිවසේ තබා දින කිහිපයකට නිවසින් පිට වී යෑමට සිදු වෙනවා. ඒ නිසා දරුවන්ව රැකබලා ගැනීමේ වගකීම ඔවුන් සේවිකාවකට පවරනවා. එම යුවළ සේවිකාවට මෙසේ උපදෙස් දෙනවා. “අපේ දරුවන්ව හොඳින් බලාගන්න. එයාලට කන්න බොන්න දීලා පිරිසිදුව තියන්න. දරුවන්ට අනතුරක් වෙන්න දෙන්න එපා.” නමුත් එම යුවළ ආපසු නිවසට පැමිණෙන විට ඔවුන්ට දකින්න ලැබෙන්නේ ඔවුන් නොසිතූ දෙයක්. දරුවන් සිටින්නේ හාමතේ. ඔවුන්ව සෝදා පිරිසිදුව තබා නැහැ. ඔවුන් හොඳටම ලෙඩ වෙලා. දකින කෙනෙකුට ඔවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවක්. ඒ දරුවන් කොතරම් ඇඬුවත් සේවිකාව එය ගණනකටවත් ගන්නේ නැහැ. ඇය ඉණිමඟක් උඩ නැඟ ජනේල සෝදනවා! එම යුවළට දැනෙන කෝපය ඔබට සිතාගත හැකිද? ඇගේ නොසැලකිලිමත්කම ගැන ප්‍රශ්න කළ විට ඇය මෙසේ පවසනවා. “මම කොච්චර මහන්සි වෙලා වැඩ කළාද! මම මුළු ගෙදරටම තීන්ත ගෑවා. ජනේලත් සේදුවා. දැන් ගේ කොයි තරම් ලස්සනද කියලා බලන්න. මේ හැම දෙයක්ම කළේ ඔයාලා වෙනුවෙන්.” ඒ යුවළගේ කෝපය නිවෙයිද? කොහෙත්ම නැහැ. ඔවුන් එම කාර්යයන් කරන්න කියා සේවිකාවගෙන් ඉල්ලා සිටියේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ඇය ඔවුන්ගේ දරුවන්ව හොඳින් රැකබලා ගන්නවාටයි. ඔවුන්ගේ උපදෙස් පිළි නොපැදීම ගැන ඔවුන්ට ඇය සමඟ ඇති වන්නේ දැඩි කෝපයක්.

13 ක්‍රිස්තියානි ආගම්වල නායකයන් ක්‍රියා කර තිබෙන්නෙත් එම සේවිකාව ක්‍රියා කළ ආකාරයටයි. යේසුස් තම නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ජනයාට දෙවි ගැන සත්‍යය කියා දී දෙවිගේ නිර්මල නමස්කාරයේ නියැලෙන්න ඔවුන්ට උපකාර කරන්න කියායි. (යොහන් 21:15-17) ඒත් ක්‍රිස්තියානි ආගමික නායකයන් යේසුස්ගේ උපදෙස් ගණන් නොගෙන කටයුතු කර තිබෙනවා. ඔවුන් තම සෙනඟට සැබෑ දෙවි ගැන කිසි අවබෝධයක් ලබා දී නැහැ. ඔවුන් උගන්වන්නේ දේවවචනයට එකඟ නැති බොරු දේවල්. ජනයා සිටින්නේ මංමුළා වෙලයි. ඔවුන්ට දේවවචනයේ සරල ඉගැන්වීම් ගැන පවා දැනුමක් නැහැ. (යෙසායා 65:13; ආමොස් 8:11) මේ සමාජය හොඳ අතට හැරවීමට ආගමික නායකයන් වෑයමක් දරනවා විය හැකියි. නමුත් යේසුස්ගේ උපදෙසට අකීකරු වී එවැනි යහපත් ක්‍රියා කිරීම ප්‍රයෝජනයක් නැහැ. මන්ද මේ සමාජය, කඩා ඉවත් කර දැමීමට නියමිත නිවසක් හා සමානයි. ඇත්තෙන්ම සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ ලෝකය ඉක්මනින්ම විනාශ වන බව දෙවිගේ වචනයේ පැහැදිලිව සඳහන් වෙනවා.—1 යොහන් 2:15-17.

14. අද දින යේසුස්ට සතුටක් ගෙන දෙන්නේ කුමන කාර්යයද?

14 ඒ කෙසේවෙතත් මිනිසුන්ට තම ගෝලයන් වීමට උපකාර කරන්න කියා යේසුස් ස්වර්ගයට යෑමට පෙර දුන් ආඥාව අද මිලියන සංඛ්‍යාත ජනකායක් ඉටු කරමින් සිටිනවා. එය යේසුස්ගේ හදවතට ප්‍රීතියක් ගෙන දෙන බව නිසැකයි. (මතෙව් 28:19, 20) ක්‍රිස්තියානි ආගමික නායකයන්ට වෙනස්ව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායම යේසුස් දුන් ආඥාවට කීකරු වී එම කාර්යය ඉටු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරනවා. ඔවුන් දේවරාජ්‍යය ගැන දේශනා කරන අතර යේසුස්ගේ බැටළුවන්වද පෝෂණය කරනවා. (මතෙව් 24:45) අපත් ඔවුන්ට පූර්ණ සහයෝගය දීමට අදිටන් කරගනිමු. එසේ කටයුතු කරන විට අප දේවරාජ්‍යයේ රජුගේ හදවතට ගෙන දෙන්නේ ඉමහත් ප්‍රීතියක්. එය අපට ලැබී තිබෙන භාග්‍යයක්!

15, 16. (අ) අද දින මිනිසුන් ක්‍රියා කරන ආකාරය ගැන යේසුස්ට හැඟෙන්නේ කෙසේද? ඔහුට එලෙස හැඟෙන බව අප දන්නේ කොහොමද? (ආ) ක්‍රිස්තියානි ආගමික නායකයන් ගැන යේසුස් කෝප වන්නේ ඇයි?

15 මිනිසුන් සිතන්නේ තමන් ගැන පමණයි. ඔවුන් තුළ ප්‍රේමයක් නැහැ. එයත් යේසුස්ව කෝපයට පත් කරන බව ස්ථිරයි. ඔබට මතකද සබත් දිනයක යේසුස් මිනිසුන්ව සුව කළ විට පරිසිවරුන් ඔහුව විවේචනය කළ ආකාරය? එම පරිසිවරුන්ට මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් තිබුණේ නැහැ. දෙවි මෝසෙස්ට දුන් නීතිය ඔවුන් තම හිතුමතේට හා තම වාසියට සකස් කරගත්තා. යේසුස් කළ ආශ්චර්යවත් ක්‍රියා නිසා මිනිසුන්ට සතුටක් හා සහනයක් ලැබුණු අතර දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ විශ්වාසයද තවත් ශක්තිමත් වුණා. නමුත් ඒ දේවල් පරිසිවරුන්ට වැදගත් වුණේ නැහැ. යේසුස්ට ඒ පරිසිවරුන් ගැන හැඟුණේ කෙසේද? ‘ඔවුන්ගේ සිත්වල දැඩිකම ගැන බොහෝ සෙයින් දුක් වූ යේසුස් ඔවුන් දෙස බැලුවේ උදහසින්’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—මාක් 3:5.

16 අද දින දකින්න තිබෙන දේවල් ගැන යේසුස් ඊටත් වඩා “බොහෝ සෙයින් දුක්” වන බව නිසැකයි. ක්‍රිස්තියානි ආගමික නායකයන් කටයුතු කරන්නේ දේවවචනයට විරුද්ධවයි. ඔවුන් සම්ප්‍රදායන්වලින් හා දේවවචනයට පටහැනි ඉගැන්වීම්වලින් මුළා වී සිටිනවා. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම ගැන එම ආගමික නායකයන් වියරු වැටී සිටිනවා. ශුභාරංචිය දේශනා කරන දෙවිගේ සෙනඟට පීඩා කිරීමට ලෝකයේ බොහෝ පැතිවල සිටින ආගමික නායකයන් මිනිසුන්ව උසිගන්වා තිබෙනවා. (යොහන් 16:2; එළිදරව් 18:4, 24) ඒ විතරක් නොවෙයි, අන් අයගේ ජීවිත ගැන කිසි තැකීමක් නැති ඔවුන් තම අනුගාමිකයන්ට යුධ කටයුතුවල නිරත වීමටත් අන් අයව ඝාතනය කිරීමටත් දිරි දෙනවා. එවැනි ක්‍රියා යේසුස්ගේ හදවතට සතුටක් ගෙන දෙයි කියා සිතන්න පුළුවන්ද?

17. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ඔහුගේ හදවත සතුටු කරන්නේ කෙසේද?

17 යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ඊට වඩා වෙනස්ව එකිනෙකාට ප්‍රේමයෙන් සැලකීමට උත්සාහ දරනවා. යේසුස් මෙන් ඔවුන්ද කුමන පීඩාවකට මුහුණ දෙන්න සිදු වුණත් දේවරාජ්‍යයේ ශුභාරංචිය ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට’ ප්‍රකාශ කරනවා. (1 තිමෝති 2:4) ඔවුන් එකිනෙකාට පෙන්වන ප්‍රේමය සුවිශේෂී වන අතර එය ඔවුන්ව හඳුනාගැනීමට තිබෙන ප්‍රධාන ලකුණයි. (යොහන් 13:34, 35) ඔවුන් තම සහෝදර සහෝදරියන්ට ප්‍රේමයෙන් හා ගෞරවයෙන් සලකන නිසා ඔවුන් ඇත්තෙන්ම අනුකරණය කරන්නේ තම ස්වාමියා වන යේසුස්වයි. එමගින් ඔවුන් දේවරාජ්‍යයේ රජු වන ඔහුගේ හදවත සතුටු කරනවා.

18. යේසුස්ට දුකක් දැනෙන්නේ කුමක් නිසාද? අපට ඔහුව සතුටු කළ හැක්කේ කෙසේද?

18 තම අනුගාමිකයන් පීඩා විඳදරාගැනීමට අසමත් වන විට එනම් යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමය නැති කරගෙන ඔහුට තවදුරටත් සේවය නොකරන විට අපගේ ස්වාමියා වන යේසුස්ට දැනෙන්නේ මහත් දුකක්. (එළිදරව් 2:4, 5) නමුත් අප අන්තිමය දක්වා විඳදරාගන්නා විට යේසුස් බොහෝ සෙයින් සතුටු වෙනවා. (මතෙව් 24:13) ඒ නිසා “දිගටම මාව අනුගමනය කරන්න” කියා යේසුස් දුන් ආඥාව සැමදා පිළිපැදීම අපේ අදිටන කරගනිමු. (යොහන් 21:19) අන්තිමය දක්වා විඳදරාගන්නා අයට දේවරාජ්‍යය යටතේ ලැබෙන ආශීර්වාද කිහිපයක් දැන් අපි සලකා බලමු.

විශ්වාසවන්ත සේවකයන්ට ලැබෙන ආශීර්වාද

19, 20. (අ) යේසුස්ව අනුකරණය කිරීමෙන් අපට දැන් ලැබෙන ආශීර්වාද මොනවාද? (ආ) යේසුස්ව අනුගමනය කිරීමෙන් ආදම්ගෙන් උරුම වූ දුක නැති වන්නේ කොහොමද?

19 යේසුස්ව අනුගමනය කිරීමෙන් අප දැන් ගත කරන ජීවිතයත් සාර්ථක කරගත හැකියි. අප යේසුස්ව ආදර්ශයට ගනිමින් ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදිනවා නම් මේ ලෝකයේ මිනිසුන්ට නොලැබෙන ආශීර්වාද අපට ලැබෙන බව ස්ථිරයි. දෙවි අපට කිරීමට පවරා තිබෙන කාර්යය නිසා අපේ ජීවිතයට තෘප්තියක් ලැබෙනවා. එකිනෙකාට අවංක ප්‍රේමයකින් බැඳී සිටින සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත විශාල පවුලක සාමාජිකයන් වීමේ අවස්ථාවද අපට ලැබේවි. ඒ වගේම දෙවි අනුමත කරන ආකාරයේ නිදොස් හෘදය සාක්ෂියක් මෙන්ම සාමකාමී මනසක්ද අපට ලැබෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අපට හැකි වෙයි. ඒ අප සඳහන් කළේ ලැබෙන ආශීර්වාදවලින් කිහිපයක් පමණයි.

20 අද දින මුළු මිනිස් වර්ගයාම අද්දකින දුක උරුම වුණේ මුල් මිනිසා වන ආදම්ගෙන්. ආදම් උරුම කර දුන් දුක නැති කිරීමට යෙහෝවා දෙවි අපට යේසුස්ව “සදාකාල පියාණන්” ලෙස දුන්නා. (යෙසායා 9:6, 7) මේ පොළොවේ සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඔහු නිසා අපට ලැබෙනවා. එම බලාපොරොත්තුව අපට ස්ථිර වන්නේ අපගේ “සදාකාල පියාණන්” වන යේසුස්ව පිළිගෙන ඔහු කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණයි. එසේ කිරීමෙන් අප යෙහෝවා දෙවිට ළං වෙනවා. එවිට “ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියා බයිබලයේ දී තිබෙන ආඥාවට කීකරු වීමට අපට හැකි වෙනවා. (එෆීස 5:1) එය අපට කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සෑම දිනකම යේසුස්ව අනුකරණය කිරීමට වෑයම් කිරීමෙනුයි.

21. යේසුස්ගේ අනුගාමිකයන් අන්ධකාර ලෝකය තුළ ආලෝකය විහිදුවාලන්නේ කෙසේද?

21 අප යේසුස්ව හා ඔහුගේ පියා වන යෙහෝවා දෙවිව අනුකරණය කරනවා නම් ඔවුන්ගෙන් නික්මෙන ආලෝකය අප තුළින් විහිදුවාලන්න අපට හැකි වෙයි. අප ජීවත් වන අන්ධකාර ලෝකයේ බිලියන ගණන් ජනයාව සාතන් මුළා කර තිබෙනවා. ඔවුන් තුළ තිබෙන්නේ ඔහුගේ ගතිලක්ෂණයි. නමුත් යේසුස්ව අනුකරණය කරන අප මේ අන්ධකාර ලෝකයේ දීප්තියෙන් බැබළෙන ආලෝකයක් විහිදුවාලනවා. බයිබලයේ ඇති සත්‍ය ඉගැන්වීම්, යහපත් ගුණාංග, සැබෑ ප්‍රීතිය, ප්‍රේමය හා සාමය වැනි දේ මේ අඳුරු ලෝකයට ආලෝකයක් මෙන් වෙයි. එම ආලෝකය විහිදුවාලීමෙන් අප යෙහෝවා දෙවිට තව තවත් ළං වෙනවා. එයයි මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම ආශීර්වාදය.

22, 23. (අ) විශ්වාසවන්තව යේසුස්ව අනුගමනය කරන අයට අනාගතයේදී ලැබෙන ආශීර්වාද මොනවාද? (ආ) අපගේ අදිටන විය යුත්තේ කුමක්ද?

22 යෙහෝවා දෙවි තමන් විසින් පත් කළ රජු මගින් අනාගතයේදී ඔබට ලබා දෙන ආශීර්වාද ගැන මොහොතකට සිතන්න. ඔහු ළඟදීම සාතන්ගේ දුෂ්ට සමාජයට එරෙහිව යුද්ධ කරනවා. එය කරනු ලබන්නේ ධර්මිෂ්ඨ ආකාරයටයි. එයින් යේසුස්ට නියත වශයෙන්ම ජය අත් වෙනවා. (එළිදරව් 19:11-15) ඉන්පසු යේසුස් වසර දහසකට මේ පොළොව පාලනය කරනවා. ඔහුගේ ජීවිත පූජාව නිසා විශ්වාසවන්තව සිටින ජනයාට ලැබීමට නියමිත ආශීර්වාද එදාට ලැබේවි. අවසානයේදී ඔවුන් පරිපූර්ණ අය ලෙස සදාකාලයටම ජීවිතය භුක්ති විඳියි. ඒ කාලයේදී ඔබ ජීවත් වන ආකාරය සිතින් මවාගන්න. පූර්ණ නිරෝගිකමකින් හා තරුණ ජවයෙන් පිරිපුන් ඔබ මෙම පොළොව පාරාදීසයක් කිරීමට අන් අය සමඟ එකමුතුව හා සතුටින් වැඩ කරන ආකාරය ඔබේ සිතේ මැවෙනවාද? යේසුස් දහස් වසරකට පාලනය කළ පසු ඔහු තම රාජ්‍යය යෙහෝවා දෙවිට භාර දෙනවා. (1 කොරින්ති 15:24) ඔබ දිගටම යේසුස්ව අනුගමනය කරනවා නම් සිතාගත නොහැකි තරම් ආශීර්වාදයක් ඔබට ලැබේවි. එනම්, “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව” ඔබට උදා වෙයි. (රෝම 8:21) ආදම් සහ ඒව අහිමි කරගත් සියලුම ආශීර්වාද එදින අපට ලැබෙන බව ස්ථිරයි. යෙහෝවා දෙවිගේ භූමික දරුවන් ලෙස අප ආදම්ගේ පාපයෙන් සදහටම නිදහස් වේවි. ඒ විතරක් නොවෙයි, ඒ කාලයේදී කිසිවෙක් වියෝදුකින් පෙළෙන්නේ නැහැ. මන්ද ‘මරණය තවත් නොවන්නේය’ යන්න දෙවිගේ පොරොන්දුවයි.—එළිදරව් 21:4.

23 අප මෙම පොතේ පළමුවෙනි පරිච්ඡේදයේ ධනවත් තරුණ පාලකයෙක් ගැන සාකච්ඡා කළා ඔබට මතක ඇති. “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියා යේසුස් ඔහුට දුන් ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළා. (මාක් 10:17-22) එවැනි අඥාන දෙයක් ඔබ කිසිවිටකත් කරන්න එපා. යේසුස්ගේ ආරාධනය මුළු හදවතින්ම පිළිගන්න. මොනයම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණත් විඳදරාගැනීමට අදිටන් කරගන්න. දිනක් දිනක් පාසා වසරක් වසරක් පාසා එනම්, ඔබේ ජීවිතය ඇති තුරා උතුම් එඬේරාව අනුගමනය කරන්න. එවිට යෙහෝවා දෙවිගේ අරමුණු සියල්ලක්ම ඔහු උත්කෘෂ්ට ලෙස ඉටු කරන ආකාරය දැකගැනීමට ඔබට හැකි වේවි. එය මොන තරම් භාග්‍යයක්ද!