Skip to content

පටුනට යන්න

13වෙනි පරිච්ඡේදය

‘මම පියාණන්ට ප්‍රේම කරනවා’

‘මම පියාණන්ට ප්‍රේම කරනවා’

1, 2. යේසුස් තම මරණයට පෙර දා රාත්‍රියේ හෙළි කළ වැදගත් කාරණය කුමක්ද?

 අවුරුදු සියයක් පමණ මහලු වූ මිනිසෙක් තම පන්හිඳ තීන්ත කුප්පියේ පොඟවා යමක් ලිවීමට සැරසෙයි. ඔහුගේ මතකය අවුරුදු 70ක් තරම් දුර ඈත අතීතයට දිව යයි. මේ මිනිසා අන් කිසිවෙක් නොව යොහන් නම් වූ යේසුස්ගේ නියෝජිතයායි. ඔහු පමණයි එවකට ජීවතුන් අතර සිටි එකම නියෝජිතයා. ඔහු ලියන්නට සැරසෙන්නේ ඔහුගේ ජීවිතයේ කිසිදා අමතක නොවන දවසක් ගැනයි. ඒ, ඔහු හා අනිකුත් නියෝජිතයන් යේසුස්ගේ මරණයට පෙර යේසුස් සමඟ ගත කළ අන්තිම දවස ගැනයි. දෙවි ඔහුට මඟ පෙන්වන නිසා ඒ සිදුවීම් ඒ අයුරින්ම ලිවීමට ඔහුගේ මතකය අවදි වෙයි.

2 තව සුළු මොහොතකින් තමාව මරණයට පත් කරනු ලබන බව යේසුස් තම නියෝජිතයන්ට එදින රාත්‍රියේදී පැවසුවා. යේසුස් එවැනි වේදනාකාරී මරණයක් අත්විඳීමට ඉදිරිපත් වූයේ කුමන හේතුවක් නිසාද කියා හෙළි කරන්නේ යොහන් පමණයි. ඒ හේතුව කුමක්ද කියා යේසුස් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මම පියාණන්ට ප්‍රේම කරන බව මුළු ලෝකයම දැනගත යුතුයි. පියාණන් මට අණ කර ඇති දේවල් මම කරන්නේ ඒ නිසයි. දැන් අපි මෙතැනින් යමු.”—යොහන් 14:31.

3. යේසුස් තම පියාට ප්‍රේම කළ බව පෙන්නුවේ කොහොමද?

3 “පියාණන්ට ප්‍රේම” කිරීම තරම් වැදගත් දෙයක් යේසුස්ගේ ජීවිතයේ තවත් තිබුණේ නැහැ. නමුත් ඔහු ඒ බව නිතර නිතර පැවසුවේ නැහැ. තම පියාට තිබෙන ප්‍රේමය ගැන යේසුස් කෙළින්ම ප්‍රකාශ කළ එකම අවස්ථාව යොහන් 14:31 පමණයි. එම ප්‍රේමය ඔහු කළ කී සියල්ලෙන් දක්නට ලැබුණා. ඔහු නිර්භීතව ක්‍රියා කළෙත් සෑමවිටම දෙවිට කීකරුව සිටියෙත් සෑම දෙයක්ම විඳදරාගත්තෙත් දෙවිට තිබූ ප්‍රේමය නිසයි. ඒ විතරක් නොවෙයි, දේවසේවය සඳහා ඔහු තුළ පෙලඹීමක් ඇති වුණෙත් දෙවිට තිබූ ප්‍රේමය නිසයි.

4, 5. බයිබලයේ විශේෂයෙන්ම සඳහන් වන්නේ කුමනාකාරයේ ප්‍රේමයක් ගැනද? යෙහෝවා දෙවි කෙරෙහි යේසුස්ට තිබූ ප්‍රේමය විස්තර කරන්න.

4 ප්‍රේමය දුර්වලකමේ ලක්ෂණයක් කියායි සමහරුන් සිතන්නේ. ප්‍රේමය ගැන පැවසූ පමණින් ඔවුන්ට මතක් වන්නේ ප්‍රේම ගීත මෙන්ම ඒ හා බැඳි කාව්‍යමය නිර්මාණ ගැනයි. එමෙන්ම බොළඳ ප්‍රේමවන්තයන් ගැනද ඔවුන්ට සිහි විය හැකියි. බයිබලයෙත් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර ඇති වන ප්‍රේමය ගැන සඳහන් කර තිබෙනවා. නමුත් එය විස්තර කර තිබෙන්නේ පොදුවේ මිනිසුන් දරන මතවලට වඩා ගෞරවනීය ආකාරයටයි. (හිතෝපදේශ 5:15-21) බයිබලයේ විශේෂයෙන්ම සඳහන් වන්නේ වෙනත් ආකාරයක ප්‍රේමයක් ගැනයි. එම ප්‍රේමය හැඟීම් නිසා ඇති වී විගස නැති වී යන ප්‍රේමයක් නොවෙයි. එය යුතුකමක් ඉටු කිරීම සඳහා පමණක් පෙන්වන ප්‍රේමයක්ද නොවෙයි. එම ප්‍රේමය පෙන්වන කෙනෙක් අන් අය ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වනවා. ඔහු ප්‍රේමය පෙන්වන්නේ මුළු හදවතින්මයි. එවැනි ප්‍රේමයක් පෙන්වීමට යමෙක් පෙලඹෙන්නේ ඔහු දෙවිගේ උසස් ප්‍රතිපත්තිවලට ගරු කරන නිසයි. ඔහු හැසිරෙන ආකාරයෙන් එය දක්නට ලැබෙනවා. එය බොළඳ ප්‍රේමවන්තයන්ගේ ප්‍රේමයට වඩා හාත්පසින්ම වෙනස්. බයිබලයේ එම ප්‍රේමය ‘සදාතනික ගුණාංගයක්’ ලෙස සඳහන් වෙනවා.—1 කොරින්ති 13:8.

5 කිසි මිනිසෙක් යේසුස් තරම් යෙහෝවා දෙවිට ප්‍රේම කර නැහැ. දෙවි දුන් ආඥා අතරින් උතුම්ම ආඥාව කුමක්ද කියා යේසුස් පෙන්වා දුන් විට දෙවි කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමය දැකගන්න ලැබුණා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” යේසුස් තරම් එම ආඥාවට එකඟව ජීවත් වූ කෙනෙක් මෙලොවේ තවත් නැහැ. (මාක් 12:30) යේසුස්ට එතරම් ප්‍රේමයක් දෙවි කෙරෙහි ඇති වුණේ කොහොමද? ඔහු තම ජීවිත කාලය පුරාම එම ප්‍රේමය නොවෙනස්ව තබාගත්තේ කෙසේද? ඔහු මෙන් අපටත් දෙවිට ප්‍රේම කළ හැකිද?

කිසිදා නොබිඳුණු ප්‍රේමයක්

6, 7. හිතෝපදේශ 8:22-31 දක්වා පදවල විස්තර කරන්නේ යමෙකු තුළ තිබෙන ප්‍රඥාව ගැන නොවෙයි කියා අප දන්නේ කොහොමද?

6 ඔබට කවදා හෝ මිතුරෙකු සමඟ වැඩ කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවාද? එලෙස එකතු වී වැඩ කළ නිසා ඒ මිතුදම තවත් ශක්තිමත් වුණාද? යෙහෝවා දෙවි හා යේසුස් අතර ඇති ප්‍රේමය තේරුම්ගැනීමට එවැනි අද්දැකීමක් ඔබට උපකාරවත් වෙයි. හිතෝපදේශ 8:30හි යෙහෝවා දෙවි හා යේසුස් එකට වැඩ කළ ආකාරය සඳහන් වෙනවා. එහි 22වෙනි පදයේ සිට 31වෙනි පදය දක්වා ප්‍රඥාව පුද්ගලයෙකුට සමාන කර තිබෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. එම වදන් දෙවිගේ පුත්‍රයාට යොමු දක්වන ආකාරය දැන් අපි සලකා බලමු.

7 හිතෝපදේශ 8:22හි ප්‍රඥාව මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිගේ මුල්ම නිර්මාණය මමයි. ඈත අතීතයේ අන් සියල්ල සෑදීමට පෙර ඔහු බිහි කළේ මාවයි.” එහි කතා කරන්නේ යමෙකු තුළ තිබෙන ප්‍රඥාව ගැන නොවෙයි. අප එසේ කීමට හේතුව “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” යේසුස් නිසයි. ඈත අතීතයේ අන් සියල්ල සෑදීමට පෙර යෙහෝවා දෙවි නිර්මාණය කළේ ඔහුවයි. (කොලොස්සි 1:15) නමුත් ප්‍රඥාව යෙහෝවා දෙවි නිර්මාණය කළ දෙයක් නොවෙයි. එය ඔහු සතුව තිබූ දෙයක්. යෙහෝවා දෙවිට ආරම්භයක් නැති ලෙසම ප්‍රඥාවටත් ආරම්භයක් නැහැ. (ගීතාවලිය 90:2) පොළොව හා ස්වර්ගය නිර්මාණය කිරීමට පෙර දෙවිගේ පුත්‍රයා වන යේසුස් සිටියා. ඔහුව හඳුන්වන්නේ දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන වචනය නමැති තැනැත්තා ලෙසයි. එසේනම් ඒ පදයට අනුව ප්‍රඥාව කියා හඳුන්වන්නේ යේසුස්වයි. (යොහන් 1:1) යේසුස් තුළින් දෙවිගේ ප්‍රඥාව පැහැදිලිව දැකගැනීමට ලැබුණා.

8. යේසුස් පොළොවට පැමිණීමට පෙර කළේ කුමක්ද? අප දෙවිගේ නිර්මාණයන් අගයන විට අමතක නොකළ යුත්තේ කුමක්ද?

8 යේසුස් පොළොවට පැමිණීමට පෙර දෙවි සමඟ ගත කළ දිගු කාලයේදී කළේ කුමක්ද? හිතෝපදේශ 8:30හි සඳහන් වන්නේ ඔහු දෙවිගේ “ප්‍රධාන සේවකයා” ලෙස කටයුතු කළ බවයි. එයින් අදහස් කරන්නේ කුමක්ද කියා කොලොස්සි 1:16හි මෙසේ පැහැදිලි කරනවා. ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය. දෙවි ඔහුව යොදාගෙන ඒ සෑම දෙයක්ම සෑදුවේ ඔහු වෙනුවෙන්ය.’ එනම් යෙහෝවා දෙවි යේසුස් සමඟ එක් වී දේවදූතයන්වද මුළු මහත් විශ්වයද ගස් වැල් හා සතුන්ගෙන් ගහන පොළොවද එහි උසස්ම නිර්මාණය වන මිනිසුන්වද සෑදූ බවයි. එය හරියට ගෘහ නිර්මාණ ශිල්පියෙක් හා ඉදි කරන්නෙක් එකට වැඩ කරනවා හා සමානයි. ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සැලසුම් ඉදි කරන්නෙකු විසින් ඒ අයුරින්ම තනා නිම කරනවා. යෙහෝවා දෙවි හා යේසුස් වැඩ කළෙත් ඒ ආකාරයටයි. අප අවට තිබෙන අසිරිමත් නිර්මාණයන් දැක පුදුමයට පත් වන විට ඉන් විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වන යෙහෝවා දෙවිට ගෞරවය ලැබෙනවා. (ගීතාවලිය 19:1) නමුත් දෙවි සමඟ “ප්‍රධාන සේවකයා” ලෙස යේසුස් දිගු කාලයක් පුරා සතුටින් හා සහයෝගයෙන් එකට වැඩ කළ ආකාරය ගැනද සිතා බැලීම වටිනවා.

9, 10. (අ) යෙහෝවා දෙවි හා යේසුස් අතර ඇති බැඳීම ශක්තිමත් වූයේ කුමකින්ද? (ආ) ඔබත් දෙවිත් අතර ඇති බැඳීම ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

9 මිනිසුන් එකට වැඩ කරද්දී එකිනෙකාගේ දුර්වලකම් නිසා සමහරවිට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් යේසුස්, යෙහෝවා දෙවි සමඟ දිගු කාලයක් පුරා එකට වැඩ කළත් ඔහු ‘නිතරම දෙවි ඉදිරියේ සතුටින් සිටියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 8:30) යේසුස් තම පියා සමඟ එකට වැඩ කිරීමට දැක්වූයේ ඉමහත් ආශාවක්. යෙහෝවා දෙවිද පුත්‍රයා සමඟ එකට වැඩ කිරීමට ආශාවක් දැක්වූ බව ස්ථිරයි. එසේ වැඩ කරද්දී යේසුස් තම පියා මෙන් කටයුතු කිරීමට ඉගෙනගත් අතර ඔහුගේ ගුණාංගද අනුකරණය කළා. ඔවුන් දෙදෙනා අතර කිසිදා නොබිඳිය හැකි බැඳීමක් ඇති වීම පුදුමයක් නොවෙයි. ඇත්තෙන්ම බැඳීම් අතරින් පැරණිතම බැඳීම යෙහෝවා දෙවි හා යේසුස් අතර ඇති බැඳීමයි.

10 ඔබට කවදාවත් එවැනි බැඳීමක් දෙවි සමඟ ඇති කරගැනීමට බැහැයි කියා සිතෙන්න පුළුවන්. මන්ද දෙවි හා යේසුස් අතර ඇත්තේ පිය පුතු සබඳතාවක්. කෙසේනමුත් දෙවි අපටත් විශේෂ ප්‍රස්තාවක් දී තිබෙනවා. එනම් දෙවිගේ “හවුල් වැඩකරුවන්” ලෙස සේවය කිරීමේ ප්‍රස්තාවයි. (1 කොරින්ති 3:9) යේසුස් හා දෙවි අතර කිට්ටු බැඳීමක් ඇති වූයේ ඔවුන් එකට වැඩ කළ නිසයි. දේවසේවයේ යෙදෙන විට අපත් දෙවි සමඟ එකට වැඩ කරන බව කිසිදා අමතක නොකරමු. එසේ කිරීමෙන් අප හා යෙහෝවා දෙවි අතර ඇති ප්‍රේමණීය බැඳීම තවත් ශක්තිමත් වෙයි. ඊට වඩා උතුම් ප්‍රස්තාවක් අපට නැහැ!

සැමදා නොවෙනස්ව තබාගත් ප්‍රේමයක්

11-13. (අ) ප්‍රේමය පැළයකට සමාන කර තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් කුඩා අවදියේදී දෙවිට තිබූ ප්‍රේමය වැඩෙන්න සැලැස්සුවේ කෙසේද? (ආ) යේසුස් පොළොවට පැමිණීමට පෙරත් පසුවත් දෙවිගෙන් ඉගෙනගැනීමට කැමැත්තක් දැක්වූ බව පෙනෙන්නේ කුමකින්ද?

11 යේසුස් මෙන් සෑමදාම දෙවිට ප්‍රේම කිරීමට නම් අප වෑයමක් දැරිය යුතුයි. අපගේ හදවතේ තිබෙන ප්‍රේමය පැළයකට සමාන කළ හැකියි. පැළය හොඳින් දලු ලා වැඩෙන්න නම් ඊට නිසි පෝෂණය දී රැකබලා ගත යුතුයි. එසේ නොකළොත් ඒ පැළය මලානික වී මිය යයි. දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය දලු ලා වැඩෙන්න නම් ඊට නිසි පෝෂණය අවශ්‍යයි. එය කළ හැකි ආකාරය දැනගැනීමට යේසුස්ගේ ආදර්ශය සලකා බලමු.

12 කුඩා කාලයේදී යේසුස් දේවමාලිගාවට ගිය විට සිදු වූ දේ අපි නැවත සලකා බලමු. ඔහු තම දෙමාපියන්ට පැවසූ දේ ඔබට මතකද? “මාව හොයන්න මේ තරම් මහන්සි වුණේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?” (ලූක් 2:49) ඒ වන විට ස්වර්ගයේ තමා ගත කළ ජීවිතය ගැන යේසුස්ට මතකයක් නොතිබුණා විය හැකියි. නමුත් තම පියා වන යෙහෝවා දෙවිට ඔහුගේ හදවතේ ඉමහත් ප්‍රේමයක් තිබුණා. එම ප්‍රේමය පෙන්විය හැක්කේ දෙවිට නමස්කාර කිරීමෙන් බව යේසුස් දැන සිටියා. ඒ නිසා වෙන කිසිම ස්ථානයකට යනවාට වඩා දේවමාලිගාවට ගොස් එහි රැඳී සිටීමට ඔහු ඉමහත් කැමැත්තක් දැක්වූවා. නමුත් ඔහු එතැනට ගොස් නිකම්ම බලා සිටියේ නැහැ. ඔහු දෙවි ගැන ඉගෙනගැනීමටත් ඔහු දන්නා දේ අන් අය සමඟ බෙදාගැනීමටත් ආශාවක් දැක්වූවා. ඔහුට එවැනි ආශාවක් ඇති වුණේ වයස අවුරුදු 12දී නොවෙයි. කුඩා අවදියේ පටන් තිබූ එම ආශාව ඔහුගේ ජීවිතයේ සෑමදා දකින්න ලැබුණා.

13 යේසුස් මේ පොළොවට පැමිණීමට පෙර බොහෝ දේ තම පියාගෙන් ඉගෙනගත්තා. යේසුස් ගැලවුම්කරු ලෙස ඉටු කළ යුතු වගකීම් පිළිබඳව යෙහෝවා දෙවි ඔහුට විශේෂ පුහුණුවක් ලබා දුන් බව යෙසායා 50:4-6 දක්වා පදවල සඳහන් වෙනවා. ඔහුට මුහුණ දීමට සිදු වන දුෂ්කරතා පිළිබඳවත් දෙවි ඔහුට කියා දුන්නා. ඒ හැම දේටම ඔහු හොඳ අවධානයක් දුන්නා. ඔහු පොළොවට පැමිණ වැඩිහිටියෙකු වූ පසුවත් පියාගේ ගෘහයට ගොස් නමස්කාර කිරීමටත් ඉගෙනගැනීමටත් ආශාවක් දැක්වූවා. යේසුස් දේවමාලිගාවට හා සිනගෝගයට යෑම අතපසු නොකළ බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 4:16; 19:47) යෙහෝවා දෙවි කෙරෙහි අප තුළ ඇති ප්‍රේමය දිනෙන් දින වැඩි වීමට නම් අප රැස්වීම්වලට නොකඩවා යා යුතුයි. එමගින් දෙවිට නමස්කාර කිරීමටත් දෙවි ගැන ඉගෙනගැනීමටත් ඔහුව අගය කිරීමටත් අපට අවස්ථාව උදා වෙනවා.

“යේසුස් යාච්ඤා කිරීම සඳහා තනිව කන්දකට නැංගේය”

14, 15. (අ) යේසුස් තනිව කාලය ගත කිරීමට කැමැත්තක් දැක්වූයේ ඇයි? (ආ) යේසුස් කළ යාච්ඤා තුළින් ඔහුගේ පියාට තිබූ සෙනෙහස හා ගෞරවය පිළිබිඹු වුණේ කෙසේද?

14 දෙවිට තිබෙන තම ප්‍රේමය නොවෙනස්ව තබාගැනීමට නොකඩවා යාච්ඤා කිරීමත් යේසුස්ට උපකාරවත් වුණා. ඔහු අන් අයගේ ඇසුර ප්‍රිය කළ මිත්‍රශීලී කෙනෙක් වුවත් තනිව කාලය ගත කිරීමටත් කැමැත්තක් දැක්වූවා. එසේ ඔහු තනිව සිටීමට කැමැත්තක් දැක්වූයේ තම පියාට යාච්ඤා කරමින් ඔහු සමඟ කාලය ගත කිරීමටයි. ලූක් 5:16හි ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ඔහු නිතරම පාළු ස්ථානවලට ගොස් යාච්ඤා කිරීම සඳහා කාලය වැය කළේය.” මතෙව් 14:23හි සඳහන් වන්නෙත් ඒ හා සමාන දෙයක්. “සමූහයන් පිටත්ව ගිය පසු යේසුස් යාච්ඤා කිරීම සඳහා තනිව කන්දකට නැංගේය. සවස් වී තිබුණත් ඔහු එහි තනිව සිටියේය.”

15 යේසුස් යාච්ඤා කළ සමහර අවස්ථාවලදී තම පියාව ඇමතුවේ “අබ්බා, පියාණෙනි” කියායි. (මාක් 14:36) ඒ කාලයේදී දරුවෙක් තම පියාට සෙනෙහසින් ඇමතුවේ “අබ්බා” කියායි. දරුවෙක් මුලින්ම ඉගෙනගන්නා වචන අතරින් එය එක් වචනයක් වුණා. එසේවුවත් එය ගෞරවයෙන් අඩු වචනයක් නොවෙයි. යේසුස් එම වචනය භාවිත කිරීමෙන් තම පියා වන යෙහෝවා දෙවිට ඔහු තුළ තිබූ ප්‍රේමයත් ගෞරවයත් පෙන්නුවා. බයිබලයේ සඳහන් වන යේසුස්ගේ සෑම යාච්ඤාවකම එම ප්‍රේමය හා ගෞරවය දක්නට ලැබෙනවා. උදාහරණයකට යොහන් 17වෙනි පරිච්ඡේදයේ වාර්තා වී තිබෙන යාච්ඤාව, යේසුස්ගේ මරණයට පෙර දා රාත්‍රියේ ඔහු විසින් කළ දීර්ඝ හා හැඟීම්බර යාච්ඤාවක්. අපත් එම යාච්ඤාව හොඳින් අධ්‍යයනය කර එලෙස යාච්ඤා කිරීමට වෑයම් කළ යුතුයි. නමුත් ඉන් අදහස් කරන්නේ එහි සඳහන් වචන අප කටපාඩමින් කීම නොවෙයි. අපත් යේසුස් මෙන් හැකි සෑම අවස්ථාවකදීම අපගේ හදවතින්ම යෙහෝවා දෙවි සමඟ කතා කිරීමට කාලය සොයාගත යුතුයි. එවිට යෙහෝවා දෙවි කෙරෙහි අපගේ හදවතේ තිබෙන ප්‍රේමය දිනෙන් දින දලු ලා වැඩෙන බව නිසැකයි.

16, 17. (අ) යේසුස් තම පියාට තිබෙන ප්‍රේමය ප්‍රකාශ කළේ කොහොමද? (ආ) යේසුස් තම පියාගේ ත්‍යාගශීලීවන්තකම ගැන කියා දුන්නේ කෙසේද?

16 යේසුස් ‘මම පියාණන්ට ප්‍රේම කරනවා’ කියා නිතර නිතර පැවසුවේ නැති බව අපි කලින් සඳහන් කළා ඔබට මතක ඇති. නමුත් ඔහු තම පියාට තිබෙන ප්‍රේමය වෙනත් ආකාරවලින් ප්‍රකාශ කළා. ඔහු පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලි වෙනවා. ‘ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි.’ (මතෙව් 11:25) ජනයාට දෙවි ගැන කියා දීමෙන් ඔහුට ප්‍රශංසාව ගෙන දීමට යේසුස් මහත් ආශාවක් දැක්වූ බව අප මෙම පොතේ දෙවෙනි කොටසින් ඉගෙනගත්තා. උදාහරණයකට යේසුස් අකීකරු පුත්‍රයෙකු පසුතැවිලි වී එන තුරු බලා සිටින ප්‍රේමණීය පියෙකුට යෙහෝවා දෙවිව සමාන කළා. එම පියා සමාව දීමට කොතරම් ආශාවෙන් සිටිනවාද කිවහොත් තම පුතා දුර ඈත සිට එනවා දැක පියා ඔහු ළඟට දුව ගොස් ඔහුව මහත් ආදරයකින් සිප වැලඳගන්නවා. (ලූක් 15:20) එම කොටස බයිබලයෙන් කියවන විට යෙහෝවා දෙවිගේ ප්‍රේමය හා ඔහු සමාව දීමට දක්වන කැමැත්ත පිළිබඳව මොන තරම් අගයක් අපට දැනෙනවාද!

17 යේසුස් තම පියාගේ ත්‍යාගශීලීවන්තකම ගැනත් නිතර ඔහුට ප්‍රශංසා කළා. අපගේ ස්වර්ගික පියා අපට අවශ්‍ය විට තම බලය අනිවාර්යයෙන්ම ලබා දෙන බව පෙන්වීමට යේසුස් උදාහරණයක් ලෙස දෙමාපියන් තම දරුවන්ගේ ඕනෑ එපාකම් ත්‍යාගශීලීව සපයන ආකාරය පෙන්වා දුන්නා. (ලූක් 11:13) ඒ වගේම තම පියාණන් සෑම කෙනෙකුටම අනාගතයේදී සදාකාල ජීවනය දීමට දක්වන ආශාව ගැනත් යේසුස් කතා කළා. තමන්ට තිබෙන බලාපොරොත්තුව එනම් තම පියා සමඟ නැවත ස්වර්ගයේ සිටීමේ බලාපොරොත්තුව ගැනත් ඔහු අන් අය සමඟ කතා කළේ ඉමහත් ආශාවකිනුයි. (යොහන් 14:28; 17:5) ඒ වගේම “කුඩා රැළ” ලෙස හඳුන්වන පිරිසකට දෙවිගේ රාජ්‍යයේ රජවරුන් ලෙස සේවය කිරීමේ බලාපොරොත්තුව ගැනත් යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. (ලූක් 12:32; යොහන් 14:2) යේසුස් වධකණුවේ සිටි අපරාධකරුවෙකුටද පොළොව පාරාදීසයක් වන විට එහි ජීවත් වීමට හැකි බව පවසමින් ඔහුව සැනසුවා. (ලූක් 23:43) එලෙස යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීවන්තකම ගැන අන් අය සමඟ කතා කිරීමෙන් පියාට තිබෙන ප්‍රේමය තවත් වැඩි කරගන්න යේසුස්ට හැකි වුණා. අද දිනත් යේසුස්ගේ අනුගාමිකයන් බොහෝදෙනෙක් යෙහෝවා දෙවි ගැනත් ඔහුට ප්‍රේම කරන අයට ඔහු ලබා දෙන ආශීර්වාද ගැනත් අන් අය සමඟ කතා කරනවා. දෙවිට තිබෙන ප්‍රේමය හා තම විශ්වාසය ශක්තිමත්ව තබාගැනීමට එය විශාල රුකුලක් වී තිබෙන බව ඔවුන්ගේ අද්දැකීමයි.

ඔබත් යේසුස් මෙන් දෙවිට ප්‍රේම කරයිද?

18. යේසුස්ව අනුගමනය කිරීමේදී වැදගත්ම දේ කුමක්ද? ඒ ඇයි?

18 යේසුස්ව අනුගමනය කිරීමේදී සියලු දේට වඩා වැදගත් වන්නේ ඔහු පැවසූ මේ දේ පිළිපැදීමයි. අප යෙහෝවා දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කළ යුතුයි. ඔහු වෙනුවෙන් අපේ උපරිමය කළ යුතු අතර අපේ මුළු ජීවිතයම කැප කළ යුත්තේ ඔහුටයි. අපේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි. (ලූක් 10:27) එවන් ප්‍රේමයක් හැඟීම්වලට පමණක් සීමා වන්නේ නැහැ. එය ක්‍රියාවෙන්ද පෙනෙන්න තිබිය යුතුයි. යේසුස් තම පියාට තිබූ ප්‍රේමය හැඟීම්වලට සීමා කළේවත් ‘මම පියාණන්ට ප්‍රේම කරනවා’ කියා නිකම්ම වචනයෙන් ප්‍රකාශ කළේවත් නැහැ. ඔහු පැවසුවේ මෙසේයි. “මම පියාණන්ට ප්‍රේම කරන බව මුළු ලෝකයම දැනගත යුතුයි. පියාණන් මට අණ කර ඇති දේවල් මම කරන්නේ ඒ නිසයි.” (යොහන් 14:31) සාතන් අභියෝග කළේ කිසිම මිනිසෙක් අවංක චේතනාවෙන් දෙවිට ප්‍රේම කරන්නේ නැති බවයි. (යෝබ් 2:4, 5) සාතන් නැඟු නින්දිත චෝදනාවට පිළිතුරක් දීමට යේසුස් නිර්භීත ලෙස තමා පියාට කොතරම් ප්‍රේම කරනවාද කියා මුළු ලෝකයටම පෙන්නුවා. ඔහු එය පෙන්නුවේ මරණය දක්වාම දෙවිට කීකරු වීමෙනුයි. ඔබත් දෙවිට ප්‍රේම කරන්නේ එලෙසද? ඔබ ඇත්තටම යෙහෝවා දෙවිට ප්‍රේම කරන බව මුළු ලෝකයටම පෙනෙන්න සලස්වනවාද?

19, 20. (අ) අප රැස්වීම්වලට නිතිපතා යා යුත්තේ කුමන හේතූන් නිසාද? (ආ) අප දේවවචනය අධ්‍යයනය කිරීම, ඉගෙනගත් කාරණා ගැන කල්පනා කිරීම හා යාච්ඤා කිරීම සැලකිය යුත්තේ කෙසේද?

19 අපව නිර්මාණය කර තිබෙන්නේ යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමේ අවශ්‍යතාව ඇතුවයි. ඒ අවශ්‍යතාව සපුරාගැනීමට අවස්ථාව ලැබෙන්නේ දෙවිට කරන නමස්කාරය තුළිනුයි. ඒ සඳහා දෙවි අපට රැස්වීම් සැලසුම් කර තිබෙනවා. ඔබ රැස්වීම්වලට යන්නේ දෙවිට නමස්කාර කිරීමටයි යන කාරණය කිසිවිටක අමතක කරන්න එපා. එහිදී හදවතින්ම කරන යාච්ඤා, ගයන ප්‍රශංසා ගීත, සවන් දීම හා අදහස් ප්‍රකාශ කිරීම වැනි සියලු දේ නමස්කාරයේ විවිධ අංගයන් වෙයි. අපගේ සහෝදර සහෝදරියන් දිරිගැන්වීමටත් අපට රැස්වීම්වලදී අවස්ථාව ලැබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමෙන් දෙවිට තිබෙන ඔබේ ප්‍රේමය වඩ වඩා ශක්තිමත් වන බව ස්ථිරයි.

20 ඒ වගේම ඔබ දේවවචනය අධ්‍යයනය කරන විට ඉගෙනගන්නා කාරණා හොඳින් සිතා බලන විට හා යාච්ඤා කරන විට ඔබ ඇත්තෙන්ම යෙහෝවා දෙවි සමඟ කාලය ගත කරනවා හා සමානයි. තමන් සිතන ආකාරය දෙවි ඔබට හෙළි කරන්නේ ඔබ ඔහුගේ වචනය අධ්‍යයනය කර ඒ ගැන හොඳින් කල්පනා කරන විටදීයි. ඒ වගේම ඔබේ සිතුවිලි දෙවිට හෙළි කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඔබ දෙවිට යාච්ඤා කරන විටයි. නමුත් යාච්ඤා කිරීම යනු ඔබට අවශ්‍ය දේවල් ඉල්ලීම පමණක් නොවෙයි. දෙවිගෙන් ලැබුණු ආශීර්වාදවලට ස්තුති කිරීමත් ඔහුගේ විස්මිත ක්‍රියා ගැන ප්‍රශංසා කිරීමත් ඊට ඇතුළත්. (ගීතාවලිය 146:1) ඔබ යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වන බව හා ඔහුට ප්‍රේම කරන බව පෙන්වීමට හොඳම ක්‍රමය වන්නේ උද්‍යෝගයෙන් ඔහු ගැන අන් අයට කියා දීමයි.

21. යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම කොතරම් වැදගත්ද? අවසාන පරිච්ඡේද කිහිපය තුළ අප සලකා බලන්නේ කුමක්ද?

21 දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය ඔබේ සදාතන සතුටට දායක වෙයි. ආදම් සහ ඒවගේ අසාර්ථකත්වයට හේතුව ඔවුන්ට එවැනි ප්‍රේමයක් නොතිබීමයි. ඔබ දෙවි කෙරෙහි තබන විශ්වාසය බිඳ දැමීමට එල්ල වන පීඩා ජය ගැනීමටත් වැරදි පෙලඹීම්වලින් වැළකී සිටීමටත් දුෂ්කරතා විඳදරාගැනීමටත් දෙවි කෙරෙහි ඉමහත් ප්‍රේමයක් තිබීම ඉතා වැදගත්. එය ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීමට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දෙවිට තිබෙන ප්‍රේමය තවත් වැදගත් කාරණයකට සම්බන්ධයි. එනම් අපේ අසල්වැසියාට දක්වන ප්‍රේමයටයි. (1 යොහන් 4:20) අප අවසාන පරිච්ඡේද කිහිපය තුළ යේසුස් ජනයාට ප්‍රේම කළ ආකාරය සලකා බලනවා. ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ යේසුස් වෙතට එතරම් ජනකායක් ඇදී ආවේ ඇයි කියායි.