17වෙනි පරිච්ඡේදය
‘මීට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ’
1-4. (අ) ජනයා ඉදිරියට පිලාත් යේසුස්ව රැගෙන ආ විට සිදු වන්නේ කුමක්ද? (ආ) යේසුස් නින්දා අපහාස හා වේදනාව හමුවේ ක්‍රියා කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් මතු වන්නේ කිනම් ප්‍රශ්නද?
රෝමයේ ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත්ගේ නිවස ඉදිරිපිට මිනිසුන් පිරිසක් වියරුවෙන් මෙන් කෑගසමින් සිටිනවා. එවිට ආණ්ඩුකාරයා යේසුස්ව ඔවුන් ඉදිරියට රැගෙනැවිත් “බලන්න! මේ තමයි ඒ මිනිසා” කියා පවසනවා. (යොහන් 19:5) එය සිදු වන්නේ ක්‍රිස්තු වර්ෂ 33 පාස්කු දවසේදියි. මීට දින කිහිපයකට පෙර යේසුස් දෙවි පත් කළ රජු ලෙස යෙරුසලමට ඇතුල් වූ විට ජනයා ඔහුව පිළිගත්තේ ප්‍රීති ඝෝෂා නඟමිනුයි. එහෙත් අද ඔවුන් යේසුස්ව සලකන්නේ රජෙකු ලෙස නොව සතුරෙකු ලෙසයි.
2 යේසුස්ට අන්දවා තිබෙන්නේ රජෙකුට මෙන් දම් පැහැති වස්ත්‍රයක්. ඔහුගේ හිස මතට ඔටුන්නක්ද දමා තිබෙනවා. නමුත් කස පහරට තුවාල වූ ලේ වැගිරෙන ඔහුගේ ශරීරයට දම් පැහැති වස්ත්‍රයක් අන්දවා තිබෙන්නෙත් හිස තුවාල වන සේ කටු ඔටුන්නක් දමා තිබෙන්නෙත් ඔහුගේ රාජකීය තනතුරට අපහාසයක් ලෙසයි. නායක පූජකයන්ගේ උසිගැන්වීම මත ජනයා යේසුස්ව ප්‍රතික්ෂේප කරනවා. “ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න! ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න” කියා පූජකයන් කෑගසනවා. එවිට වෛරයෙන් දැවෙමින් සිටි ජනයාද ‘ඔහුට මරණ දණ්ඩනය ලැබිය යුතුයි’ කියා එක හඬින් කෑගසනවා.—යොහන් 19:1-7.
3 යේසුස් කිසිවක් නොකියා සන්සුන්ව හා එඩිතරව ඒ සියලු නින්දා අපහාසත් සියලු වේදනාත් දරාගන්නවා. * ඔහු මිය යෑමට සූදානම්. එදින සවස යේසුස් වධකණුවක වේදනාකාරී මරණ දඬුවමකට යටත් වන්නේ කිසිවෙකුගේ බල කිරීම නිසා නොව සිය කැමැත්තෙන්මයි.—යොහන් 19:17, 18, 30.
4 යේසුස් එවැනි මරණයකට යටත් වීමෙන් තම අනුගාමිකයන්ට ඔහු සැබෑ මිත්‍රයෙක් බව පෙන්නුවා. ඔහු පැවසුවේ, “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ” කියායි. (යොහන් 15:13) එසේනම් යේසුස් ගැන අපගේ මනසේ මෙවැනි ප්‍රශ්න පැනනැඟීම සාධාරණයි. යේසුස් අනිවාර්යයෙන්ම එසේ වේදනා විඳ මිය යා යුතු වුණාද? එවැනි දෙයකට ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ ඇයි? ඔහුගේ “මිත්‍රයන්” හා අනුගාමිකයන් ලෙස අපට ඔහුව අනුකරණය කළ හැකිද?
යේසුස් වේදනා විඳ මිය යා යුතු වුණේ ඇයි?
5. ඉදිරියේදී තමාට මුහුණ දීමට සිදු වන තත්වයන් ගැන යේසුස් දැන සිටියේ කෙසේද?
5 පොරොන්දු වූ ගැලවුම්කරු ලෙස තමා කුමන තත්වයන්ට මුහුණ දිය යුතුද කියා යේසුස් දැන සිටියා. හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් අනාවැකි බොහොමයක ගැලවුම්කරු වේදනා විඳ මිය යනවා කියා විස්තරාත්මකව සඳහන් වුණා. (යෙසායා 53:3-7, 12; දානියෙල් 9:26) යේසුස් අවස්ථා බොහොමයක තමා ඉදිරියේදී මුහුණ දීමට යන තත්වයන් පිළිබඳව ගෝලයන්ව දැනුවත් කළා. (මාක් 8:31; 9:31) ඔහුගේ අවසාන පාස්කුව සැමරීම සඳහා යෙරුසලමට යමින් සිටියදී ඒ පිළිබඳව තම නියෝජිතයන්ට පැහැදිලි ලෙස මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන් හා නීතිය පිටපත් කරන්නන් අතට භාර දෙනු ලබනවා. ඔවුන් ඔහුව මරණයට නියම කර වෙනත් ජාතීන්ට භාර දෙයි. ඒ අය ඔහුට කවටකම් කර කෙළ ගසා, කසයෙන් තළයි. අන්තිමේදී ඔහුව මරණයට පත් කරයි.” (මාක් 10:33, 34) ඔහු පැවසූ දේවල් එලෙසම ඉටු වුණා.
6. යේසුස් වේදනා විඳ මිය යා යුතු වුණේ ඇයි?
6 යේසුස් වේදනා විඳ මිය යා යුතු වුණේ ඇයි? ඊට වැදගත් හේතු කිහිපයක් තිබෙනවා. පළමුවෙනි හේතුව නම් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ඔහු දෙවිට ළැදි බවත් දෙවිගේ පාලනයට පක්ෂ බවත් ඔප්පු කිරීමට යේසුස්ට හැකි වීමයි. මනුෂ්‍යයන් දෙවිට සේවය කරන්නේ තම වාසි ප්‍රයෝජනය සඳහායි කියා සාතන් චෝදනා කළ බව ඔබට මතක ඇති. (යෝබ් 2:1-5) සාතන් කළ එම බොරු චෝදනාවට කදිම පිළිතුරක් දීමට යේසුස්ට හැකි වුණේ “වධකණුවක මරණය” දක්වා දෙවිට විශ්වාසවන්තව සිටීමෙනුයි. (ෆිලිප්පි 2:8; හිතෝපදේශ 27:11) දෙවෙනි කාරණය නම් ගැලවුම්කරු වේදනාකාරී මරණයකට මුහුණ දුන් නිසා මිනිසුන්ට තමන්ගේ පාපවලට සමාව ලබාගත හැකි වීමයි. (යෙසායා 53:5, 10; දානියෙල් 9:24) අපටත් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වන්නේ යේසුස්, “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා” කළ නිසයි. (මතෙව් 20:28) තුන්වෙනි කාරණය නම් ඔහුට අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙන උත්තම පූජකයෙක් වීමට හැකි වීමයි. ‘ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති නිසා අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් ඔහුට දැනෙනවා.’—හෙබ්‍රෙව් 2:17, 18; 4:15.
යේසුස් තම ජීවිතය දීමට ඉදිරිපත් වුණේ ඇයි?
7. යේසුස් පොළොවට පැමිණීම සඳහා කුමන කැප කිරීම් කළාද?
7 යේසුස් මොන තරම් කැපවීමක් කළාද කියා තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. එක්තරා මිනිසෙකුට තම පවුලේ අයවත් තමා ජීවත් වූ නිවසත් අත්හැර තමන් නොදන්නා රටකට යන්න සිදු වෙනවා. එහි වැසියන් ඔහුව සතුරෙකු ලෙස සලකන බවත් ඔහුට නින්දා අපහාස කර අවසානයේදී ඔහුව මරා දමන බවත් ඔහුට දැනගන්න ලැබුණොත් ඔහු එම ගමන යන්න ඉදිරිපත් වෙයිද? දැන් යේසුස් ගැන සිතා බලන්න. ඔහු පොළොවට එන්න කලින් ජීවත් වුණේ තම පියාණන් සමඟ ස්වර්ගයේ. ඔහුට තිබුණේ ඉතා උසස් තත්වයක්. එසේවුවත් ඔහු ඒ සියලු දේ අත්හැර මිනිසෙකු ලෙස පොළොවට පැමිණියා. ඔහු එසේ කළේ මිනිසුන්ගෙන් බහුතරයක් තමන්ව පිළි නොගන්නා බවත් නින්දා අපහාස විඳිමින් අවසානයේදී වේදනාකාරී මරණයකට මුහුණ දිය යුතු බවත් දැන සිටියදියි. (ෆිලිප්පි 2:5-7) එවැනි මහත් කැපවීමක් කරන්න යේසුස් පෙලඹුණේ ඇයි?
8, 9. යේසුස් තම ජීවිතය පූජා කිරීමට පෙලඹුණේ ඇයි?
8 එවැනි මහත් කැපවීමක් කරන්න යේසුස් පෙලඹුණේ මූලිකවම තම පියාට තිබූ අසීමිත ප්‍රේමය නිසයි. කොතරම් වේදනා වින්දත් ඒ සියල්ල ඔහු විඳදරාගත්තේ ඒ ප්‍රේමය නිසයි. සෑමවිටම ඔහු සැලකිලිමත් වුණේ තම පියාගේ නාමයට ලැබෙන ගෞරවය ගැනයි. (මතෙව් 6:9; යොහන් 17:1-6, 26) මන්ද තම පියාගේ නාමයට සිදු වී තිබෙන නින්දාව ඉවත් වන ආකාරය දැකගැනීම ඔහුගේ එකම ආශාව වුණා. ඒ නිසා ඕනෑම වේදනාවක් විඳදරාගැනීම ඔහු සැලකුවේ භාග්‍යයක් ලෙසයි. දෙවිට විශ්වාසවන්ත වීමෙන් ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට සහාය විය හැකි බව ඔහු හොඳින් දැන සිටියා.—1 ලේකම් 29:13.
9 ජනයා කෙරෙහි යේසුස්ට තිබූ ප්‍රේමයත් ඔහු කළ කැපවීමට දායක වුණා. ඔහුට එවන් ප්‍රේමයක් ඇති වුණේ මිනිසාව නිර්මාණය කළ දා සිටයි. ඒ ගැන ඔහු පොළොවට පැමිණීමට බොහෝ කාලයකට පෙර බයිබලයේ මෙසේ සඳහන් වුණා. “මා බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.” (හිතෝපදේශ 8:30, 31) ඔහු පොළොවට පැමිණි පසු ජනයාට සැලකූ ආකාරයෙන් එම ප්‍රේමය ඉතා පැහැදිලිව දකින්න ලැබුණා. කලින් පරිච්ඡේද තුන පුරාම යේසුස් පොදු ජනයාටත් විශේෂයෙන් තම අනුගාමිකයන්ටත් ප්‍රේමය පෙන්වූ විවිධ ආකාර අප සලකා බැලුවා. නමුත් ක්‍රි.ව. 33, නීසාන් 14වෙනිදා ඔහු අප සියලුදෙනා වෙනුවෙන් කැමැත්තෙන්ම තම ජීවිතය පූජා කළා. (යොහන් 10:11) ඔහු අප සියලුදෙනාටම කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමට තිබූ උතුම්ම ක්‍රමය එයයි. අපත් අන් අයට ඔහු මෙන් ප්‍රේම කළ යුතුයි. මන්ද එසේ කිරීමට ඔහු අපට අණ කර තිබෙනවා.
“මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න”
10, 11. යේසුස් තම අනුගාමිකයන්ට දුන් අලුත් ආඥාව කුමක්ද? ඊට ඇතුළත් වන්නේ කුමක්ද? ඒ ආඥාව අප පිළිපැදීම වැදගත් වන්නේ ඇයි?
10 යේසුස් තම මරණයට පෙර දා රාත්‍රියේදී තම හිතෛෂි ගෝලයන්ට මෙසේ පැවසුවා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහන් 13:34, 35) දෙවි මෝසෙස්ට දුන් නීතියේ, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියා සඳහන් වී තිබූ නිසා, ‘එකිනෙකාට ප්‍රේම කිරීම’ “අලුත් ආඥාවක්” වන්නේ කොහොමද? (ලෙවී කතාව 19:18) යේසුස් පැවසූ මේ දෙයින් එම ප්‍රශ්නයට පිළිතුර ලැබෙනවා. “මගේ ආඥාව මෙයයි. එනම් මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.” (යොහන් 15:12, 13) වෙනත් විදිහකින් පවසනවා නම් අලුත් ආඥාවේ අර්ථය මෙයයි. “ඔබට මෙන් නොව ඔබටත් වඩා අන් අයට ප්‍රේම කරන්න.” එසේනම් යේසුස් දුන් අලුත් ආඥාවට අනුව අන් අය වෙනුවෙන් අපගේ ජීවිතය දීමට තරම් ප්‍රේමයක් පෙන්විය යුතු වුණා. එවැනි ප්‍රේමයක් පෙන්වන්නේ කෙසේද කියා යේසුස් තම ජීවිතය ගත කළ ආකාරයෙන් හා ඔහුගේ ජීවිතය අන් අය වෙනුවෙන් පූජා කළ ආකාරයෙන් ආදර්ශයක් තැබුවා.
11 අපත් එම අලුත් ආඥාව පිළිපැදීමට බැඳී සිටිනවා. ‘ඔබට වඩා අන් අය කෙරෙහි ප්‍රේමයක් ඔබට ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි’ කියා යේසුස් පැවසූ බව ඔබට මතකද? එයින් පැහැදිලි වන්නේ අප සැබෑ ක්‍රිස්තියානීන් බව හඳුනාගනු ලබන්නේ අපට වඩා අප අන් අයට ප්‍රේම කිරීම තුළින් බවයි. එම ප්‍රේමය බැජ් කාඩ් පතකට සමාන කළ හැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවට පැමිණෙන අය බැජ් කාඩ් පතක් පළඳිනවා. එහි පුද්ගලයාගේ නම හා සභාව සඳහන් වන නිසා ඔහුව පහසුවෙන් හඳුනාගත හැකියි. ඒ හා සමානව අපට වඩා අන් අයට ප්‍රේම කිරීමෙන් අප සැබෑ ක්‍රිස්තියානීන් බව හඳුනාගැනීමට හැකි වෙනවා. බැජ් කාඩ් පතක් පැළඳ සිටින විට එය කොයි කාටත් පැහැදිලිව දැකගැනීමට පුළුවන්. ඒ හා සමානව අප පෙන්වන ප්‍රේමයත් සියල්ලන්ට පැහැදිලිව දැකගැනීමට හැකි විය යුතුයි. ඒ නිසා අප මෙම ප්‍රශ්නය ගැන සිතා බැලීම වැදගත්. ‘මට වඩා මම අන් අයට ප්‍රේම කරන බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවාද?’
ඔබ අන් අයට ප්‍රේම කරන්නේ කෙලෙසද?
12, 13. (අ) අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අප කොතෙක් දුරට කැප කිරීම් කළ යුතුද? (ආ) තමාට වඩා අන් අයට ප්‍රේම කරන කෙනෙක් ක්‍රියා කරන්නේ කෙසේද?
12 යේසුස්ගේ අනුගාමිකයන් ලෙස අපත් ඔහු මෙන් අන් අයට ප්‍රේම කළ යුතුයි. අපත් අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැප කිරීම් කළ යුතුයි. එය කළ යුත්තේ කොතෙක් දුරටද? බයිබලය ඊට මෙසේ පිළිතුරු දෙනවා. “යේසුස් ක්‍රිස්තුස් අප උදෙසා තම ජීවිතය දුන් නිසා ප්‍රේමය කුමක්ද කියා අප දැනගෙන ඇත. අපත් බැඳී සිටින්නේ අපගේ සහෝදරයන් වෙනුවෙන් අපගේ ජීවිතය වුණත් දීමටය.” (1 යොහන් 3:16) විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන අවස්ථාවලදී අපගේ සහෝදර සහෝදරියන්ව අප කිසිවිටකත් පාවා දෙන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් අපගේ ජීවිතය පවා පරදුවට තැබීමට අප සූදානම්. ජාතිවාදී අරගල පවතින අවස්ථාවලදීද අප කුමන ජාතියකට අයත්ව සිටියත් අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අප එලෙසම කටයුතු කරනවා. යුද්ධයක් පවතින විට අපට සිරබත් කෑමට හෝ මරණ දඬුවම විඳීමට පවා සිදු වුණත් අප කිසිදා කිසිම කෙනෙකුට විරුද්ධව ආයුධ අතට ගන්නේ නැහැ.—යොහන් 17:14, 16; 1 යොහන් 3:10-12.
13 එවැනි ප්‍රේමයක් අපට තිබෙන බව පෙන්විය හැක්කේ අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපගේ ජීවිතය දීමෙන් පමණක් නොවෙයි. ඇත්තෙන්ම ජීවිතය දෙන තරම් මහත් කැප කිරීමක් කෙනෙකුට කරන්න සිදු වන්නේ කලාතුරකින්. කෙසේනමුත් අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් ප්‍රේමයක් අපට තිබෙනවා නම් ඔවුන් වෙනුවෙන් දැන් සිටම සුළු පරිත්‍යාගයන් කිරීමට අප වෙර දැරිය යුතු නැද්ද? අප එසේ කරනවා නම් අප නිතරම උනන්දු වන්නේ අන් අයගේ යහපත ගැන සිතීමට මිස අපගේ පහසුව හෝ අපට ලැබෙන වාසිය ගැන සිතීමට නොවෙයි. අසීරු අවස්ථාවලදී වුවත් අප එවැනි ප්‍රේමයක් පෙන්වනවා. (1 කොරින්ති 10:24) අපට එසේ කළ හැක්කේ කිනම් අවස්ථාවලදීද?
සභාව හා පවුල තුළ
14. (අ) වැඩිමහල්ලන්ට කුමනාකාරයේ කැප කිරීම් කරන්න සිදු වෙනවාද? (ආ) ඔබේ සභාවේ සිටින වැඩිමහල්ලන් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
14 වැඩිමහල්ලන් ‘දෙවිගේ රැළ රැකබලා ගැනීමට’ බොහෝ කැප කිරීම් කරනවා. (1 පේතෘස් 5:2, 3) තමන්ගේ පවුල රැකබලා ගන්නවාට අමතරව රැස්වීමේ කොටස් සූදානම් වීමට, එඬේර බැහැදැකීම් කිරීමට සහ සමහර අවස්ථාවලදී විනිශ්චය කමිටුවක කාරණා හැසිරවීම වැනි දේ ඉටු කිරීමට තමන්ගේ විවේක කාලය පවා පරිත්‍යාග කිරීමට ඔවුන්ට සිදු විය හැකියි. ඊට අමතරව බොහෝ වැඩිමහල්ලන් එක්රැස්වීම් හා සමුළු පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහාද රෝහල් සබඳතා කමිටුවල, රෝගීන් බැහැදැකීමේ කණ්ඩායම්වල හා ප්‍රාදේශීය ඉදි කිරීමේ කමිටුවලද වෙහෙස මහන්සි වී සේවය කරනවා. වැඩිමහල්ලෙනි, ඔබ කැමැත්තෙන්ම ඔබේ කාලය, ශක්තිය හා ඔබ සතු දේ දෙවිගේ රැළ රැකබලා ගැනීම වෙනුවෙන් වැය කරන විට ඔබ පෙන්වන්නේ ඔබත් ක්‍රිස්තුස් මෙන් අන් අයට ප්‍රේම කරන බවයි. (2 කොරින්ති 12:15) ඔබ කැපවීමකින් කරන එම සේවය යෙහෝවා දෙවි පමණක් නොවෙයි ඔබේ සභාවේ සිටින සහෝදර සහෝදරියන්ද බොහෝ සෙයින් අගය කරන බව කවදාවත් අමතක කරන්න එපා.—ෆිලිප්පි 2:29; හෙබ්‍රෙව් 6:10.
15. (අ) වැඩිමහල්ලන්ගේ භාර්යාවන් කුමන කැප කිරීමක් කරනවාද? (ආ) සභාවන් වෙනුවෙන් ප්‍රේමයක් පෙන්වන භාර්යාවන් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
15 වැඩිමහල්ලන්ට තම වගකීම් හොඳින් ඉටු කිරීමට ඔවුන්ගේ භාර්යාවන් සහයෝගයක් ලබා දෙනවා. තම පවුල සමඟ ගත කළ හැකි අමතර කාලය සභාවේ කාරණා වෙනුවෙන් ස්වාමිපුරුෂයා වැය කරන විට ඊට සහයෝගය දක්වන භාර්යාව කරන්නේ ඉමහත් කැප කිරීමක්. සංචාරක සේවයේ යෙදෙන සහෝදරයන්ගේ භාර්යාවන් කරන කැපවීම්ද සුළුපටු නොවෙයි. ඔවුන් සෑම සතියකම විවිධ සභාවන් බැහැදැකීමට විවිධ පළාත්වලට තම ස්වාමිපුරුෂයන් සමඟ ගමන් කරනවා. එසේ කරන නිසා තමන්ගේම කියා නිවසක ජීවිතය ගත කරනවා වෙනුවට ඔවුන්ට සෑම සතියකම නවාතැන් ගන්න සිදු වන්නේ වෙනත් අයගේ නිවෙස්වලයි. තමන්ගේ සැප පහසුව ගැන සිතනවාට වඩා සභාවේ අවශ්‍යතාවලට මුල් තැන දෙමින් ක්‍රිස්තුස් පෙන්වූ ප්‍රේමය පෙන්වන භාර්යාවන්ව ප්‍රශංසා කළ යුතුයි.—ෆිලිප්පි 2:3, 4.
16. දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම් මොනවාද?
16 පවුලේ අයට අප තුළ ප්‍රේමයක් තිබෙන බව පෙන්වන්නේ කොහොමද? දෙමාපියෙනි, දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරමින් “යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද” ඔවුන්ව ඇතිදැඩි කරන්න ඔබ මහත් කැපවීමෙන් කටයුතු කරනවා. (එෆීස 6:4) දරුවන්ට කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් ලබා දීමට ඔබ රැකියාවල බොහෝ කාලයක් නිරත වෙමින් වෙහෙස මහන්සි වෙනවා ඇති. ඔබ ඔබේ අවශ්‍යතා පසෙක දමා ඔබේ දරුවන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ ඔවුන්ට තිබෙන ඉමහත් ආදරය නිසයි. ඒ වගේම ඔබේ දරුවන්ට දෙවි ගැන කියා දීමට, ඔවුන්ව රැස්වීම්වලට ගෙන යෑමට හා ඔවුන් සමඟ දේශනා සේවයේ හවුල් වීමට ඔබ මහත් වෑයමක් දරනවා. (ද්විතීය කතාව 6:6, 7) ඔබ එලෙස කරන කැප කිරීම් පවුල් ජීවිතයට ආරම්භයක් ලබා දුන් යෙහෝවා දෙවිගේ හදවතට ප්‍රීතියක් ගෙන දෙයි. ඒ වගේම ඔබේ දරුවන්ගේ සදාකාල ජීවනයටත් ඔබ කරන එවන් කැප කිරීම් දායක විය හැකියි.—හිතෝපදේශ 22:6; එෆීස 3:14, 15.
17. ස්වාමිපුරුෂයන්ට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?
17 ස්වාමිපුරුෂයෙනි, යේසුස් මෙන් ප්‍රේමයක් පෙන්වන්න ඔබට හැකිද? බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.” (එෆීස 5:25) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට තම ජීවිතය දෙන තරම් ප්‍රේම කළා. ඔහු කිසිවිටකත් “තමාගේම සතුට ගැන සිතුවේ” නැහැ. ස්වාමිපුරුෂයන්ද යේසුස් මෙන් ක්‍රියා කළ යුතුයි. (රෝම 15:3) එසේ ක්‍රියා කරන ස්වාමිපුරුෂයෙක් මුල් තැන දෙන්නේ තම අවශ්‍යතාවන්ට වඩා තම භාර්යාවගේ අවශ්‍යතාවන්ටයි. ඔහු කිසිවිටකත් තමන්ගේ කැමැත්ත ලෙස සියල්ල කළ යුතුයි කියා ඇයට බල කරන්නේ නැහැ. බයිබලයේ ප්‍රතිපත්තියක් උල්ලංගනය නොවෙනවා නම් භාර්යාව කැමති දේ කිරීමට ඔහු ඇයට ඉඩහරිනවා. ස්වාමිපුරුෂයෙක් එලෙස ක්‍රිස්තුස් මෙන් ප්‍රේමය පෙන්වනවා නම් ඔහුට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙන අතර තම භාර්යාවගේ හා දරුවන්ගේ ප්‍රේමයත් ගෞරවයත් ඔහුට හිමි වෙනවා.
ඔබේ අදිටන කුමක්ද?
18. අලුත් ආඥාවට කීකරු වීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?
18 අන් අයට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් යේසුස් දුන් අලුත් ආඥාවට කීකරු වීම පහසු දෙයක් නොවෙයි. නමුත් පාවුල් පැවසූ දේ සලකා බලන්න. ‘ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි. සියලුදෙනා උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව අපි පිළිගනිමු. ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහායි.’ (2 කොරින්ති 5:14, 15) යේසුස් මිය ගියේ අප වෙනුවෙන් නම් ඔහු වෙනුවෙන් ජීවත් වීමට අප තුළ මහත් පෙලඹීමක් ඇති වන්නේ නැද්ද? එසේ කළ හැකි හොඳම ක්‍රමය වන්නේ ඔහු මෙන් අපත් අන් අයට ඉමහත් ප්‍රේමයක් දැක්වීමෙනුයි.
19, 20. යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන අගනා ත්‍යාගය කුමක්ද? අප එම ත්‍යාගය පිළිගන්න බව පෙන්විය හැක්කේ කෙසේද?
19 “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ” කියා යේසුස් පැවසූ දේ සත්‍යයක්. (යොහන් 15:13) යේසුස් අපට කොයි තරම් ප්‍රේම කරනවාද කියා පෙන්වූයේ අප වෙනුවෙන් සිය කැමැත්තෙන් තම ජීවිතය දීමෙනුයි. එය අප වෙනුවෙන් ඔහුගේ ප්‍රේමයේ උතුම්ම ප්‍රකාශයයි. කෙසේනමුත් ඊටත් වඩා ප්‍රේමයක් අප වෙනුවෙන් පෙන්වූ තවත් කෙනෙක් සිටිනවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) දෙවි අපට කොතරම් ප්‍රේම කරනවාද කිවහොත් අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට ඔහු තම පුත්‍රයාව අප වෙනුවෙන් දුන්නා. (එෆීස 1:7) යේසුස්ගේ ජීවිත පූජාව යෙහෝවා දෙවි අපට දුන් අගනා ත්‍යාගයක්. නමුත් එය පිළිගැනීමට දෙවි අපට බල කරන්නේ නැහැ.
20 එම ත්‍යාගය පිළිගැනීම හෝ පිළි නොගැනීම අපේ තීරණයක්. එය පිළිගන්න බව පෙන්විය හැක්කේ යේසුස් “කෙරෙහි විශ්වාසය” තැබීමෙනුයි. නමුත් යේසුස් කෙරෙහි විශ්වාසය තිබෙනවා කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ විශ්වාසය අප ජීවිතය ගත කරන ආකාරයෙන් පෙනෙන්න තිබිය යුතුයි. (යාකොබ් 2:26) සෑම දිනකම යේසුස්ව ආදර්ශයට ගැනීමෙන් ඔහු කෙරෙහි අපට විශ්වාසයක් තිබෙන බව පෙන්විය හැකියි. එසේ කිරීමෙන් අපට දැනුත් අනාගතයේදීත් මහඟු ආශීර්වාද නෙළාගත හැකි වෙයි. ඒ ගැන අප මෙම පොතේ අවසාන පරිච්ඡේදයෙන් සලකා බලනවා.
^ 3 ඡේ. එදින ආගමික නායකයන්ද රෝම හමුදා භටයන්ද යේසුස්ගේ මුහුණට කෙළ ගැසුවා. (මතෙව් 26:59-68; 27:27-30) එලෙස තමන්ට අවමන්සහගත ලෙස සලකන විට කිසිවක් නොකියා ඒ සියල්ල දරාගැනීමෙන් යේසුස් ගැන ලියැවුණු මෙම වදන් ඉටු වුණා. “මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.”—යෙසායා 50:6.