Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

විශාල අස්වැන්නක් ලැබූ ගොවියා කරන්නේ කුමක්ද?

1-3. (අ) විශාල අස්වැන්නක් ලැබූ ගොවියා කරන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස්ට මුහුණ දීමට තිබූ තත්වය කුමක්ද? ඔහු ඒ ගැන කළේ කුමක්ද?

 එක්තරා ගොවියෙකු වගා කිරීමට පෙර බිම කොටා පස හොඳින් සකස් කරනවා කියා සිතන්න. ඉන්පසු ඔහු බීජ වපුරා ඒවා පැළ වන තුරු ඉතා ඕනෑකමින් වගාව රැකබලා ගන්නවා. එම පැළ හොඳින් වැඩී පලින් බර වන විට ඔහුට දැනෙන්නේ අපමණ සතුටක්. ඔහු දැරූ වෙහෙසට ප්‍රතිඵල ලැබී තිබෙනවා. දැන් ඔහු අස්වැන්න නෙළාගත යුතුයි. නමුත් ඔහු ගැටලුවකට මුහුණ දෙනවා. ඒ, තනිවම නෙළාගන්න බැරි තරම් විශාල අස්වැන්නක් ඔහුට ලැබී තිබෙන නිසයි. ඊට පිළියමක් ලෙස කුලී සේවකයන්ව යොදාගැනීමට ඔහු තීරණය කරනවා. මන්දයත් අස්වැන්න නෙළීමේ කාර්යය කල් දැමිය නොහැකි නිසයි.

2 ක්‍රිස්තු වර්ෂ 33දී මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ යේසුස් මුහුණ දුන්නෙත් එවැනිම තත්වයකටයි. ඔහු සේවය කළ කාලයේදී සත්‍යය නමැති බීජ වැපුරුවා. එහි අස්වැන්න නෙළන කාලය දැන් උදා වෙලා. එය විශාල අස්වැන්නක්. එනම් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන විශාල පිරිසට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කළ යුතුයි. (යොහන් 4:35-38) යේසුස් එම කාර්යය ඉටු කරන්නේ කෙසේද? ඒ සඳහා ඔහු අස්වැන්න නෙළීමට තවත් සේවකයන්ව එකතු කරගන්න කියා තම අනුගාමිකයන්ට ආඥා කළා. ඔහු ස්වර්ගයට යෑමට මොහොතකට කලින් ගලීලයේ කන්දක සිට ඒ ආඥාව දුන්නේ මෙලෙසයි. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’—මතෙව් 28:19, 20.

3 යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වීම යන්නෙන් අදහස් කරන්නේ එම පැවරුම ඉටු කිරීමයි. දැන් අපි ඒ පිළිබඳ මතු වන ප්‍රශ්න තුනකට අවධානය යොමු කරමු. එනම්, යේසුස් අස්වැන්න නෙළීමට තවත් සේවකයන් රැස් කරන්න කියා අණ කළේ ඇයි? ඔවුන්ව පුහුණු කළේ කෙසේද? ඔහු දුන් ආඥාව අපටත් අදාළද?

බොහෝ සේවකයන් අවශ්‍ය වුණේ ඇයි?

4, 5. යේසුස් ආරම්භ කළ කාර්යය ඔහුට අවසන් කිරීමට නොහැකි වුණේ ඇයි? ඔහු ස්වර්ගයට ගිය පසු ඒ කාර්යය ඉටු කරන්නේ කවුද?

4 යේසුස්, ක්‍රි.ව. 29දී මෙම සේවය ආරම්භ කරන විට එය තනිව සම්පූර්ණ කළ නොහැකි බව ඔහු දැන සිටියා. මන්ද ඔහුට පොළොව මත ගත කිරීමට තිබුණේ කෙටි කාලයක්. ඒ නිසා ශුභාරංචිය සියලුම නගරවල සිටින ජනයාට දේශනා කළ නොහැකි බව ඔහු තේරුම්ගත්තා. යේසුස් දේශනා කළේ විශේෂයෙන් යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයටයි. එනම්, ‘ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන්ටයි.’ (මතෙව් 15:24) නමුත් එම “නැති වුණු බැටළුවන්” ඊශ්‍රායෙල් දේශය පුරා විසිරී සිටියා. ඊශ්‍රායෙලය වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදී ගිය විශාල දේශයක්. ශුභාරංචිය ඒ දේශයේ පමණක් නොව මුළු ලෝකය පුරාම දේශනා කළ යුතු පණිවිඩයක් වුණා.—මතෙව් 13:38; 24:14.

5 තම මරණයෙන් පසුවත් එම කාර්යය කරගෙන යා යුතු බව යේසුස් දැන සිටියා. ඔහු තම විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනාට මෙසේ පැවසුවා. ‘ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාත් මා කරන ක්‍රියා කරන බවයි. දැන් මම පියාණන් ළඟට යන නිසා ඒ තැනැත්තා මීටත් වඩා මහත් ක්‍රියා කරයි.’ (යොහන් 14:12) යේසුස් ස්වර්ගයට නැවත යෑමට සිටි නිසා දේශනා කිරීමේ හා ඉගැන්වීමේ එම කාර්යය ඔහුගේ නියෝජිතයන් විසින් පමණක් නොව ඔහුගේ අනුගාමිකයන් වන සියලුදෙනා විසින්ද ඉටු කළ යුතුව තිබුණා. (යොහන් 17:20) ඔවුන් තමන්ට “වඩා මහත් ක්‍රියා කරයි” කියා යේසුස් නිහතමානීව කියා සිටියේ ඒ නිසයි. ඔවුන් එය ඉටු කළේ කොහොමද?

6, 7. (අ) යේසුස්ගේ අනුගාමිකයන් ඔහුට “වඩා මහත් ක්‍රියා” කරන බව පැවසිය හැක්කේ කෙසේද? (ආ) යේසුස් තම අනුගාමිකයන් කෙරෙහි තැබූ විශ්වාසය අප කඩ කර නැති බව පෙන්වන්නේ කොහොමද?

6 ඔවුන් යේසුස්ට “වඩා මහත් ක්‍රියා කරයි” කියා පැවසීමට හේතු වූ මුල්ම කාරණය නම් ඔවුන් විශාල ප්‍රදේශයක ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. අද දින ඔවුන් යේසුස් දේශනා කළ ප්‍රදේශවලට වඩා වැඩි ප්‍රදේශ ගණනාවක දේශනා සේවය ව්‍යාප්ත කර තිබෙනවා. එනම් ඔවුන් මුළු ලොව පුරාම දේශනා කරනවා. දෙවෙනි කාරණය නම් ඔවුන් වැඩි පිරිසකට දේශනා කිරීමයි. යේසුස් ස්වර්ගයට යන විට අනුගාමිකයන් සිටියේ කුඩා පිරිසක්. එම කුඩා පිරිස විගස දහස් ගණනින් වර්ධනය වුණා. (ක්‍රියා 2:41; 4:4) දැන් ඔවුන්ගේ සංඛ්‍යාව මිලියන ගණනක් දක්වා වැඩි වී තිබෙන අතර සෑම වසරකම නවකයන් දහස් ගණනක් එම කණ්ඩායමට එකතු වෙමින් සිටිනවා. තුන්වෙනි කාරණය නම් ඔවුන් දිගු කාලයක් පුරා සේවය කිරීමයි. යේසුස් අවුරුදු තුනහමාරකින් සේවය නිම කළත් ඔහුගේ අනුගාමිකයන් මේ දක්වා එනම් අවුරුදු 2,000කට ආසන්න කාලයක් පුරා සේවය කරමින් සිටිනවා.

7 තම අනුගාමිකයන් තමන්ට “වඩා මහත් ක්‍රියා කරයි” යනුවෙන් යේසුස් පැවසූ විට ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය ඔහු ප්‍රකාශ කළා. යේසුස් ඔවුන්ට භාර දුන්නේ ඔහු ඉතාමත් වැදගත් කොට සැලකූ “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයයි. (ලූක් 4:43) තම අනුගාමිකයන් එම පැවරුම විශ්වාසවන්තව ඉටු කරයි කියා ඔහුට පූර්ණ නිසැකකමක් තිබුණා. අප එම කාර්යය සැලකිය යුත්තේ කෙසේද? එම කාර්යයෙහි උද්‍යෝගයෙන් හා මුළු හදවතින්ම නියැලීමෙන් යේසුස් තම අනුගාමිකයන් කෙරෙහි තැබූ විශ්වාසය අප කඩ කර නැති බව පෙන්විය හැකියි. ඇත්තෙන්ම මෙම සේවයේ නියැලීම උතුම් දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද?—ලූක් 13:24.

ඔවුන්ව පුහුණු කළේ කෙසේද?

මිනිසුන් සිටින ඕනෑම තැනක දේශනා කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි

8, 9. දේශනා සේවය සම්බන්ධයෙන් යේසුස් තැබුවේ කිනම් ආදර්ශයක්ද? සේවය කිරීමේදී ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට අපට හැක්කේ කෙසේද?

8 යේසුස් තම අනුගාමියන්ව සේවය සඳහා හොඳින් පුහුණු කළා. ඔහු මූලිකවම එය කළේ ඔහුගේ ආදර්ශය තුළිනුයි. (ලූක් 6:40) අප කලින් පරිච්ඡේදයේ යේසුස් තම දේවසේවය කොතරම් වැදගත් කොට සැලකුවාද කියා දැනගත්තා. යේසුස් සමඟ දේශනා සේවයේ හවුල් වූ අනුගාමිකයන් ගැන ටිකකට සිතා බලන්න. ඔවුන් දුටුවා යේසුස් ජනයා සිටින ඕනෑම ස්ථානයක එනම්, වෙරළ තීරයේ, කඳුකරයේ හා නගරවල, වෙළඳපොළවල මෙන්ම නිවෙස්වල සිටින ජනයාට දේශනා කරන ආකාරය. (මතෙව් 5:1, 2; ලූක් 5:1-3; 8:1; 19:5, 6) යේසුස් හිමිදිරි පාන්දර සිට රෑ වන තුරු වෙහෙස මහන්සි වී සේවය කළ කෙනෙකු බව ඔවුන් දුටුවා. ඔහු දේශනා සේවයේ යෙදුණේ ඔහුට විවේකයක් ලැබුණු විට පමණක් නොවෙයි. (ලූක් 21:37, 38; යොහන් 5:17) යේසුස් වෙහෙස මහන්සි වී සේවය කළේ ඔහු ජනයාට ඉමහත් සේ ප්‍රේම කළ නිසා බව ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගන්න ඇති. මිනිසුන් කෙරෙහි ඔහුට දැනුණු අනුකම්පාව ඔහුගේ මුහුණෙන් දිස් වූ ආකාරය ඔවුන් දකින්න ඇති. (මාක් 6:34) යේසුස්ගේ ආදර්ශය ඔහුගේ අනුගාමිකයන්ට කෙසේ බලපාන්න ඇද්ද? ඔබ ඔවුන් අතර සිටියා නම් ඔබට කෙසේ හැඟෙයිද?

9 යේසුස්ගේ අනුගාමිකයන් වශයෙන් අප ඔහුව ආදර්ශයට ගනිමින් ‘සම්පූර්ණ සාක්ෂියක් දැරීමට’ ලැබෙන සෑම ප්‍රස්තාවක්ම ප්‍රයෝජනයට ගන්නවා. (ක්‍රියා 10:42) අපත් යේසුස් මෙන් ජනයාගේ නිවෙස්වලට ගොස් ශුභාරංචිය දේශනා කරනවා. (ක්‍රියා 5:42) අපගේ කාලසටහන අප සකස් කරගන්නේ ඔවුන් නිවෙස්වල සිටින වේලාවන්ට අනුවයි. අප වීථිවල, උද්‍යානවල, කඩසාප්පුවල හා රැකියා ස්ථානවල සිටින ජනයාට දේශනා කිරීමට මං සොයනවා. නමුත් අප එය කරන්නේ නැණවත් ආකාරයෙනුයි. අප දේශනා සේවයේ “බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ” එය ඉටු කළ යුතු බැරෑරුම් වගකීමක් ලෙස අප සලකන නිසයි. (1 තිමෝති 4:10) ජනයා සඳහා අපට තිබෙන ඉමහත් ප්‍රේමය නිසා ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක දේශනා කිරීමට අප පෙලඹෙනවා.—1 තෙසලෝනික 2:8.

‘හැත්තෑදෙනා ප්‍රීතියෙන් ආපසු ආවා’

10-12. යේසුස් තම අනුගාමිකයන්ව දේශනා සේවයට පිටත් කිරීමට පෙර දුන්නේ කිනම් උපදෙස්ද?

10 සේවය කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමෙන්ද යේසුස් තම අනුගාමිකයන්ව පුහුණු කළා. මුලින්ම නියෝජිතයන් 12දෙනාවත් පසුව අනුගාමිකයන් 70දෙනාවත් සේවයේ යැවීමට පෙර යේසුස් එවන් පුහුණුවක් ලබා දුන්නා. (මතෙව් 10:1-15; ලූක් 10:1-12) එම පුහුණුව නිසා හොඳ ප්‍රතිඵල ලැබුණා. ලූක් 10:17හි සඳහන් වන්නේ “හැත්තෑදෙනා ප්‍රීතියෙන් ආපසු” පැමිණියා කියායි. යේසුස් ඔවුන්ව පුහුණු කිරීමේදී කියා දුන් වැදගත් කාරණා දෙකක් ඊළඟට අපි සලකා බලමු. එය සලකා බැලීමේදී පුරාණයේ යුදෙව් සමාජය තුළ තිබූ සිරිත් විරිත්ද අප සැලකිල්ලට ගත යුතුයි.

11 යේසුස් තම අනුගාමිකයන්ට යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න කියා ඉගැන්නුවා. ඔහු මෙසේ පැවසුවා. “ඔබේ ඉඟටියේ බැඳගත් පසුම්බිවල රන් හා රිදී කාසිවත් තඹ කාසිවත් ගෙන යන්න එපා. ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.” (මතෙව් 10:9, 10) සාමාන්‍යයෙන් එදා සිටි ජනයා ගමනක් යන විට පසුම්බියක්, කෑම මල්ලක් හා අමතර පාවහන් යුගළයක් රැගෙන යනවා. එවැනි දේවල් රැගෙන නොයන්න කියා තම අනුගාමිකයන්ට පැවසීමෙන් යේසුස් අදහස් කළේ මෙයයි. “මුළුමනින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔහු ඔබේ සියලුම අවශ්‍යතා ඉටු කරයි.” යෙහෝවා දෙවි ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ ඔවුන්ට ආගන්තුක සත්කාරය දැක්වීමට ශුභාරංචිය පිළිගන්නා අයව පෙලඹවීමෙනුයි. ආගන්තුක සත්කාරය දැක්වීම ඊශ්‍රායෙලයේ තිබූ සිරිතක්.—ලූක් 22:35.

12 යේසුස් තම අනුගාමිකයන්ට කාලය අපතේ යවන කාරණාවලින් වැළකී සිටීමටත් උපදෙස් දුන්නා. ‘මඟදී මුණගැසෙන අයට සුපුරුදු ලෙස ආචාර කිරීමට කාලය නාස්ති කරන්න එපා’ කියා යේසුස් ඔවුන්ට පැවසුවා. (ලූක් 10:4) එසේ පැවසීමෙන් යේසුස් අදහස් කළේ මිත්‍රශීලී නොවී කටයුතු කරන්න කියාද? කොහෙත්ම නැහැ. යේසුස් එසේ කීමට හේතුව එදා සිටි මිනිසුන් ආචාර කිරීමේදී සැප දුක් විමසමින් දීර්ඝ සාකච්ඡාවක නියැලීම සිරිතක් වූ නිසයි. ඒ පිළිබඳව එක් යුරෝපීය ජාතික බයිබල් විශාරදයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “අප ආචාර කරන්නේ අතට අත දී හෝ හිස මදක් නැවීමෙන් පමණයි. නමුත් ඒ ප්‍රදේශවල විසූ අය ආචාර කිරීමේදී කිහිප වතාවක්ම වැලඳගන්නවා. ඒ වගේම හිස පහතටම නමා හෝ දණින් වැටී ආචාර කරනවා. ඒ ආකාරයට ආචාර කිරීමේදී යම් කාලයක් ගත වෙනවා.” තම අනුගාමිකයන්ට පැවරූ කාර්යය කල් නොදමා කළ යුතු දෙයක් නිසා එවැනි දේවලට කාලය නාස්ති නොකළ යුතු බව යේසුස් ඔවුන්ට පැවසුවා. *

13. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන් උපදෙස් අප පිළිපදින බව පෙන්වන්නේ කොහොමද?

13 යේසුස් මුල් ශතවර්ෂයේ සිටි තම අනුගාමිකයන්ට දුන් උපදෙස් අපද සැලකිල්ලට ගත යුතුයි. අප දේවසේවයේ නියැලෙන විට සම්පූර්ණ විශ්වාසය තබන්නේ යෙහෝවා දෙවි මතයි. (හිතෝපදේශ 3:5, 6) අප ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට’ මුල් තැන දෙනවා නම් අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් ලැබෙන බව ස්ථිරයි. (මතෙව් 6:33) දුෂ්කර අවස්ථාවලදී යෙහෝවා දෙවි තමන්ව රැකබලා ගත් ආකාරය ලොව පුරා සිටින පූර්ණකාලීන දේවසේවකයන් අද්දැක තිබෙනවා. (ගීතාවලිය 37:25) අපත් කාලය නාස්ති නොකිරීමට වගබලා ගත යුතුයි. පරෙස්සම් නොවුණොත් අපත් මේ ලෝකයේ තිබෙන අනවශ්‍ය බලපෑම්වලට හසු විය හැකියි. (ලූක් 21:34-36) මිනිසුන්ගේ ජීවිත අනතුරේ තිබෙන නිසා අපගේ පණිවිඩය කල් නොදමා ඔවුන්ට කිව යුතුයි. (රෝම 10:13-15) දේශනා සේවය කල් නොදමා කළ යුතු දෙයක් කියා අප අවබෝධ කරගෙන සිටිනවා නම් අනවශ්‍ය දේවලට අපගේ කාලය හා ශක්තිය යොදවන්නේ නැහැ. තිබෙන්නේ කෙටි කාලයක් බවත් නෙළීමට විශාල අස්වැන්නක් තිබෙන බවත් අප නිතරම මතක තබාගත යුතුයි.—මතෙව් 9:37, 38.

එම ආඥාව අපටත් අදාළද?

14. මතෙව් 28:18-20හි සඳහන් ආඥාව යේසුස්ගේ සියලුම අනුගාමිකයන්ට අදාළ බව පෙන්වන්නේ කුමකින්ද? (පාදසටහනද බලන්න.)

14 ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’ කියා යේසුස් අණ කළ විට ඔහු තම අනුගාමිකයන්ට භාර දුන්නේ බැරෑරුම් වගකීමක්. ඔහු එම වගකීම දුන්නේ එදා ඔහු සමඟ ගලීල කන්දේ සිටි ගෝලයන්ට පමණක් නොවෙයි. * එය යේසුස්ගේ සියලුම අනුගාමිකයන්ට දුන් වගකීමක්. “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට” ශුභාරංචිය දේශනා කරන්න කියාත් එය, “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” කරන්න කියාත් යේසුස් ඔවුන්ට පැවසුවා. එසේනම් අපත් එය ඉටු කළ යුතුයි. මතෙව් 28:18-20හි සඳහන් යේසුස් පැවසූ වදන්වල අර්ථය දැන් අපි සලකා බලමු.

15. මිනිසුන්ට ගෝලයන් වන්න උපකාර කරන්න කියා යේසුස් දුන් අණට කීකරු වීම නැණවත් දෙයක් වන්නේ ඇයි?

15 යේසුස් එම ආඥාව දීමට පෙර මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා.” (18වෙනි පදය) යේසුස්ට එතරම් බලයක් තිබෙනවාද? ඔව්! මන්ද දසදහස් වර දසදහසක් දේවදූත සේනාවට අණ දෙන අග්‍රදේවදූතයා ඔහුයි. (1 තෙසලෝනික 4:16; එළිදරව් 12:7) ඒ වගේම පොළොවේ සිටින ඔහුගේ සියලු අනුගාමිකයන් අයිති ක්‍රිස්තියානි ‘සභාවේ හිස’ ලෙස කටයුතු කරන්නේද ඔහුයි. (එෆීස 5:23) වර්ෂ 1914 සිට දෙවිගේ රාජ්‍යයේ රජු ලෙසත් ඔහු පාලනය ආරම්භ කර තිබෙනවා. (එළිදරව් 11:15) ඒ විතරක් නොවෙයි, මිය ගිය අයව පවා නැවත ජීවනයට ගෙන ඒමට තරම් බලයක් ඔහු සතුව තිබෙනවා. (යොහන් 5:26-28) යේසුස් මුලින්ම ඔහුගේ බලය ගැන සඳහන් කර පසුව එම ආඥාව දීමෙන් පැහැදිලි වන්නේ අප එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු දෙයක් බවයි. ඔහුට ඒ බලය දෙවිගෙන් ලැබී තිබෙන නිසා අප ඔහුට කීකරු වීම ඇත්තෙන්ම නැණවත් දෙයක්.—1 කොරින්ති 15:27.

16. “ගොස්” යන යෙදුම භාවිත කිරීමෙන් යේසුස් අපෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? යේසුස් දුන් ආඥාවේ ඒ අංගය අප ඉටු කරන්නේ කෙසේද?

16 යේසුස් එම ආඥාව දීමේදී “ගොස්” යන වචනය භාවිත කිරීමෙන් ඇඟෙව්වේ දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය රැගෙන මිනිසුන් වෙතට යෑමට අප මුල් පියවර ගත යුතු බවයි. (19වෙනි පදය) එය ඉටු කිරීම සඳහා විවිධ ක්‍රම තිබෙනවා. ඒ සඳහා තිබෙන හොඳම ක්‍රමය වන්නේ ගෙයින් ගෙට ගොස් මිනිසුන්ව පෞද්ගලිකවම මුණගැසීමයි. (ක්‍රියා 20:20) ඒ වගේම සෑම දිනකම සාක්ෂි දැරීමට ලැබෙන අවස්ථාවන්ද අප මඟ නොහැරිය යුතුයි. දේශනා කිරීමේදී අප භාවිත කරන ක්‍රම ප්‍රදේශයට හා තත්වයට අනුව සකස් කරගැනීමටද අපට සිදු විය හැකියි. නමුත් එක් දෙයක් නම් වෙනස් වන්නේ නැහැ. එනම් අප සුදුස්සන් ළඟට “ගොස්” අපගේ පණිවිඩය පැවසිය යුතුයි.—මතෙව් 10:11.

17. යේසුස්ගේ ගෝලයන් වීමට අප මිනිසුන්ට උපකාර කරන්නේ කෙසේද?

17 ඊළඟට, ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට ගෝලයන් වෙන්න උපකාර කරන්න’ කියා පැවසීමෙන් යේසුස් එම ආඥාවේ අරමුණ පැහැදිලි කරනවා. (19වෙනි පදය) අප මිනිසුන්ට යේසුස්ගේ “ගෝලයන් වෙන්න උපකාර” කරන්නේ කොහොමද? මිනිසුන්ට ගෝලයන් වන්න උපකාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ට දැනුම ලබා දීම පමණක් නොවෙයි. අපේ අරමුණ විය යුත්තේ ඔවුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීමයි. ඔවුන්ගේ ගුරුවරයා හා ආදර්ශකයා ඔහුයි. අප සෑමවිටම ශිෂ්‍යයන්ව උනන්දු කළ යුත්තේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමටයි. එවිට ඔවුන්ද යේසුස් ජීවත් වූ ආකාරයට ජීවත් වීමටත් ඔහු කළ සේවය කිරීමටත් පෙලඹෙන බව නොඅනුමානයි.—යොහන් 13:15.

18. කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව බව්තීස්මය කියා පැවසිය හැක්කේ ඇයි?

18 යේසුස් දුන් ආඥාවේ වැදගත්ම අංගය මෙයයි. “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.” (19වෙනි පදය) යේසුස්ගේ ගෝලයෙක් වන කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වන්නේ බව්තීස්මයයි. ඉන් පෙන්වන්නේ ඔහු දෙවිට මුළු හදවතින්ම කැප වී සිටින බවයි. ගැලවීම සඳහා බව්තීස්මය අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඒ නිසයි. (1 පේතෘස් 3:21) බව්තීස්ම වන නවකයන් දිගටම තම උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමට වෙර දැරිය යුතුයි. එවිට ඉදිරියේ පැමිණීමට නියමිත පාරාදීස පොළොවේ බොහෝ ආශීර්වාද භුක්ති විඳීමට ඔවුන්ට හැකියි. ඔබත් යමෙකුට බව්තීස්ම වී ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වීමට උපකාර කර තිබෙනවාද? දේවසේවයේ නියැලෙන කෙනෙකුට ලැබිය හැකි උපරිම සතුට එයයි.—3 යොහන් 4.

19. අප නවක ශිෂ්‍යයන්ට උගන්වන්නේ කුමක්ද? බව්තීස්මයෙන් පසුවත් සමහරවිට යම් පුහුණුවක් ලබා දීමට සිදු වන්නේ ඇයි?

19 යේසුස් දුන් ආඥාවේ ඊළඟ අංගය මෙයයි. “මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (20වෙනි පදය) යේසුස් දුන් ආඥා පිළිපැදීමට අප නවකයන්ට උගන්වනවා. දෙවිට හා අසල්වැසියන්ට ප්‍රේම කිරීම හා යේසුස්ගේ ගෝලයන් වීමට අන් අයට උපකාර කිරීම ඒ ආඥාවලට ඇතුළත්. (මතෙව් 22:37-39) බයිබලයෙන් ඔවුන් ඉගෙනගත් දේ අන් අයට පහදා දෙන ආකාරයත් ඔවුන්ගේ විශ්වාසයන් ගැන යමෙකු ප්‍රශ්න කරන විට ඒ වෙනුවෙන් කතා කළ යුතු ආකාරයත් අප බයිබල් ශිෂ්‍යයන්ට ක්‍රමානුකූලව කියා දෙනවා. ඔවුන් දේශනා සේවයේ නියැලීමට සුදුසුකම් ලබන විට අප ඔවුන් සමඟ සේවයේ හවුල් වෙනවා. එවිට අප පවසන දෙයින් හා අපගේ ආදර්ශයෙන් අර්ථවත් ලෙස සේවය කිරීමට ඔවුන්ට පුහුණුවක් ලැබෙනවා. යේසුස්ගේ අනුගාමිකයෙක් වීමේදී මුහුණ දෙන අභියෝග ජය ගැනීමට බව්තීස්මයෙන් පසුව පවා ඔවුන්ට යම් පුහුණුවක් අවශ්‍ය විය හැකියි.—ලූක් 9:23, 24.

‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’

20, 21. (අ) යේසුස් දුන් ආඥාව ඉටු කිරීමේදී අප බිය නොවිය යුත්තේ ඇයි? (ආ) මේ කාලයේදී සේවය කල් නොදැමිය යුත්තේ ඇයි? අපගේ අදිටන විය යුත්තේ කුමක්ද?

20 “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙව් 28:20) යේසුස් පැවසූ ආඥාවේ එම අවසන් වදන් අපට මහත් දිරිගැන්වීමක්. තමා දුන් පැවරුම ඉටු කිරීම පහසු නැති බව යේසුස් හොඳින්ම දැන සිටියා. එය ඉටු කිරීමේදී විරුද්ධවාදීන්ගෙන් බොහෝ පීඩා පැමිණිය හැකි බවත් යේසුස් දැන සිටියා. (ලූක් 21:12) එසේවුණත් අප බිය විය යුතු නැහැ. මන්ද අපේ නායකයා අපව තනිකර නැහැ. එම ආඥාව ඉටු කිරීම සඳහා, “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය” හිමි තැනැත්තා වන යේසුස්ගේ උපකාරය අපට තිබෙනවා කියා දැන සිටීම ඇත්තෙන්ම සහනයක් නොවෙයිද!

21 “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” තම අනුගාමිකයන් සමඟ සිටිමින් ඔවුන්ගේ සේවයට උපකාරය ලබා දෙන බව යේසුස් පොරොන්දු වී තිබෙනවා. එසේනම් අවසානය එන තුරුම අප එම පැවරුම ඉටු කළ යුතුයි. සේවය කල් දැමීමට කාලය දැන් නොවෙයි. බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට දැන් බොහෝදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දක්වමින් සිටිනවා. ‘ගොස් මිනිසුන්ට ගෝලයන් වෙන්න උපකාර කරන්න’ කියා තම අනුගාමිකයන් වන අපට යේසුස් විශ්වාසයෙන් භාර දී තිබෙන වගකීම ඉටු කිරීමට අපි අදිටන් කරගනිමු. එසේ කිරීමට අපගේ කාලය, ශක්තිය හා සම්පත් නොමසුරුව යොදවමු.

^ 12 ඡේ. වැන්දඹුවකගේ පුත්‍රයා මිය ගිය අවස්ථාවේදී අනාගතවක්තෘ එලිෂා තම සේවක ගෙහාසීව එම නිවසට යැවීමට පෙර ඒ හා සමාන දෙයක් පැවසුවා. ‘ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්න එපා.’ (2 රාජාවලිය 4:29) ගෙහාසීට පැවරූ කාර්යය ඉක්මනින් කළ යුතු දෙයක් වූ නිසා වෙනත් දේවල් සඳහා කාලය නාස්ති නොකිරීම අත්‍යවශ්‍ය වුණා.

^ 14 ඡේ. මිනිසුන්ට තම ගෝලයන් වන්න උපකාර කරන්න කියා යේසුස් ආඥා කරන විට ඔහුගේ අනුගාමිකයන් සිය ගණනක් එතැන රැස්ව සිටින්න ඇති. ඊට හේතුව යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් වැඩි පිරිසක් සිටියේ ගලීලයෙයි. ‘පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ ඔහු පෙනී සිටියා’ කියා 1 කොරින්ති 15:6හි සඳහන් අවස්ථාව, මතෙව් 28:16-20හි සඳහන් අවස්ථාවම විය හැකියි.