Skip to content

පටුනට යන්න

8වෙනි පරිච්ඡේදය

“මාව එවා තිබෙන්නේ ඒ සඳහායි”

“මාව එවා තිබෙන්නේ ඒ සඳහායි”

1-4. (අ) යේසුස් සමරිතානු ස්ත්‍රියට සිතට කාවදින සේ ඉගැන්වූයේ කෙසේද? ඉන් අත් වූ ප්‍රතිඵලය කුමක්ද? (ආ) ඔහුගේ නියෝජිතයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

 යේසුස් හා ඔහුගේ නියෝජිතයන් යුදයේ සිට ගලීලය දක්වා ඇවිද යනවා. ඔවුන් ගමන් කරන්නේ සමාරිය හරහා යන කෙටි මාර්ගයේයි. එය දින තුනක ගමනක්. දැන් දහවල් කාලයට ආසන්නයි. හිරු රශ්මිය තදින්ම දැනෙනවා. ඔවුන් දැන් සිකාර් නම් ගම්මානයට ළඟා වෙනවා. ඔවුන් එහි මදක් නතර වන්නේ ගමන් විඩාව නිසයි.

2 ඒ අවස්ථාවේදී යේසුස්ගේ නියෝජිතයන් කෑමට යමක් මිල දී ගැනීමට පිටත්ව යනවා. යේසුස් සිටියේ ළිඳක් අසල විවේක ගනිමින්. මේ අතර ස්ත්‍රියක් වතුර ගැනීමට ළිඳ අසලට පැමිණෙනවා. “යේසුස් ගමනින් වෙහෙසට පත්ව සිටි නිසා” ඇයව නොදුටුවාක් මෙන් සිටින්න ඔහුට තිබුණා. (යොහන් 4:6) මෙම පොතේ හතරවෙනි පරිච්ඡේදයේ අප සලකා බැලූ ලෙස යුදෙව්වන් හා සමරිතානුවන් අතර කිසි ගනු දෙනුවක් නොතිබූ නිසා ඇයට සැලකිල්ලක් දක්වයි කියා ඇය බලාපොරොත්තු නොවන්න ඇති. නමුත් යේසුස් ඇය සමඟ කතා කිරීමට මුලපිරුවා.

3 යේසුස් ඇය සමඟ කතා කිරීමට පටන්ගත්තේ ඇය ඒ අවස්ථාවේ කරමින් සිටි දෙය උදාහරණයක් ලෙස යොදාගනිමිනුයි. ඇය පැමිණියේ වතුර රැගෙන යෑමටයි. නමුත් යේසුස් ඇයට ජීවනය ලබා දෙන වතුර ගැන පවසනවා. එමගින් දෙවි ගැන දැනගැනීමට ඇයට තිබෙන ආශාව සන්සිඳුවා ගැනීමට හැකි බව ඔහු ඇයට පෙන්වා දෙනවා. ඒ සාකච්ඡාවේදී ඇය කිහිප වතාවක්ම යම් මතභේදයකට තුඩු දෙන කාරණා ඇසුවත් යේසුස් ඉතා කල්පනාකාරීව සාකච්ඡා කරමින් සිටි විෂයෙන් පිට නොයෑමට වගබලා ගත්තා. * ඔහු කතා කළේ සැබෑ නමස්කාරය හා යෙහෝවා දෙවි ගැන පමණයි. යේසුස් කතා කළ දේ කොතරම් ඇගේ සිතට කාවැදුණාද කිවහොත් ඇය නගරයට ගොස් එහි සිටි පුරුෂයන්ට ඇය ඇසූ දේවල් පැවසුවා. ඔවුන්ටද යේසුස්ගෙන් ඉගෙනගැනීමට ආශාවක් ඇති වුණා.—යොහන් 4:3-42.

4 යේසුස්ගේ නියෝජිතයන් නැවත එන විට යේසුස්, සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දරමින් සිටින ආකාරය ඔවුන් දුටුවා. ඔවුන්ට ඒ ගැන හැඟුණේ කෙසේද? ඔවුන් ඒ ගැන සතුටු වුණාද? නැහැ. යේසුස් එවැනි ස්ත්‍රියක් සමඟ කතා කරමින් සිටි නිසා ඒ ගැන ඔවුන් පුදුමයට පත් වුණා. පෙනෙන විදිහට ඔවුන් ඒ ස්ත්‍රිය සමඟ කිසිවක් කතා කළේ නැහැ. සිදු වූයේ කුමක්ද කියා ඇය එතැනින් පිටත්ව ගිය පසු යේසුස්ගෙන් ඇසීමට ඔවුන්ට කිසිම වුවමනාවක් තිබුණෙත් නැහැ. ඔවුන් ගෙනා ආහාර කන්න කියා ඔවුන් යේසුස්ට පෙරැත්ත කළා. එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නා. “ඔබ නොදන්නා කෑම වර්ගයක් මා ළඟ තිබෙනවා.” යේසුස් කී දෙය ඔවුන්ට තේරුම්ගැනීමට නොහැකි වුණා. එවිට යේසුස් මෙසේ පැහැදිලි කළා. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.” (යොහන් 4:32, 34) යේසුස් ඔවුන්ට කියා දුන්නේ ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම කාර්යය ඉටු කිරීම කෑම ගැනීමට වඩා ඔහුට වැදගත් වූ බවයි. යේසුස්ට අවශ්‍ය වුණේ ඔවුන්ද එසේ සිතනවාටයි. එම කාර්යය කුමක්ද?

5. යේසුස්ගේ ජීවිතයේ වැදගත්ම කාර්යය වූයේ කුමක්ද? මේ පරිච්ඡේදය තුළ අප සලකා බලන්නේ කුමක් ගැනද?

5 යේසුස්ගේ ජීවිතයේ ප්‍රධානතම කාර්යය කුමක්ද කියා ඔහු මෙසේ පැහැදිලි කළා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) යේසුස්ව මෙලොවට එවනු ලැබුවේ දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමට හා ඉගැන්වීමටයි. * යේසුස්ගේ අනුගාමිකයන්ටද එම වගකීම පැවරී තිබෙනවා. එමනිසා යේසුස් දේශනා කළේ ඇයි කියාත් දේශනා කළේ කුමක්ද කියාත් දේවසේවය සැලකුවේ කෙසේද කියාත් සොයා බැලීම වැදගත්.

යේසුස් දේශනා කළේ ඇයි?

6, 7. “ප්‍රසිද්ධියේ අන් අයට උගන්වන සියලුදෙනාම” ශුභාරංචිය පිළිබඳව දැරිය යුතු ආකල්පය ගැන යේසුස් පැවසුවේ කුමක්ද? උදාහරණයකින් පැහැදිලි කරන්න.

6 අපි මුලින්ම යේසුස් ඉගැන්වූ දේවල් ඔහු කොතරම් අගය කොට සැලකුවාද කියා සලකා බලමු. ඉන්පසු ජනයා ගැන ඔහුට තිබූ ආකල්පය සලකා බලමු. යෙහෝවා දෙවි තමන්ට ඉගැන්වූ දේ අන් අයට කියා දීම ඔහු ඉතා වැදගත් කොට සැලකුවා. එය පැහැදිලි කිරීමට යේසුස් මෙම උදාහරණය භාවිත කළා. “ස්වර්ග රාජ්‍යය ගැන ඉගෙනගත් පසු ඒ ගැන ප්‍රසිද්ධියේ අන් අයට උගන්වන සියලුදෙනාම, තම වස්තුව රැස් කර ඇති ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන ගෙහිමියෙකුට සමානයි.” (මතෙව් 13:52) එම උදාහරණයේ සඳහන් ගෙහිමියා තමන්ගේ ගබඩාවෙන් වස්තු පිටතට රැගෙන එන්නේ ඇයි?

7 එම ගෙහිමියා ගබඩාවෙන් වස්තු රැගෙන එන්නේ අන් අයට ඒවා ප්‍රදර්ශනය කිරීමට නොවෙයි. එවැනි ප්‍රදර්ශනයක් කළේ පුරාණයේ සිටි හෙසකියා රජයි. එම ක්‍රියාවට ඔහුට හික්මවීම් ලැබුණා. (2 රාජාවලිය 20:13-20) යේසුස් සඳහන් කළ ගෙහිමියා එසේ කළේ ඇයි කියා තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලමු. ඔබ ගෞරවයෙන් සලකන ගුරුවරයෙකුව හමු වීමට ඔබ ඔහුගේ නිවසට ගියා කියා සිතන්න. ඒ අවස්ථාවේදී ඔහු ලාච්චුවක් ඇර ලිපි දෙකක් එළියට ගන්නවා. එක් ලිපියක් බොහෝ කාලයකට පෙර ලියූ එකක්. අනික මෑතකදී ලියූ එකක්. එම ලිපි ලැබී තිබුණේ ඔහුගේ පියාගෙනුයි. එම ලිපි දෙකෙන් පැරණි ලිපිය ගුරුවරයාට ලැබුණේ ඔහු යෞවනයෙකුව සිටි කාලයේදීයි. ඔහුට එම ලිපි දෙක කොතරම් අගෙයිද කියා ඔහුගේ මුහුණෙන් පෙනෙනවා. එම ලිපිවල ඔහුගේ පියා ලියා තිබූ උපදෙස් ඔහුගේ ජීවිතය හරි මඟ ගෙන යෑමට උපකාරවත් වුණාක් මෙන් ඔබටත් උපකාරවත් වෙයි කියා ඔහු පවසනවා. එම ලිපි ගුරුවරයා සලකන්නේ තමන්ට ලැබුණු නිධානයක් ලෙසයි. (ලූක් 6:45) ගුරුවරයා තම පියා එවූ ලිපි ඔබට පෙන්නුවේ තමන්ට වාසියක් ලබාගැනීමටවත් තමන්ගේ තත්වය පෙන්වීමටවත් නොවෙයි.

8. දෙවිගේ වචනයෙන් ඉගෙනගත් දේ අප අගය කළ යුත්තේ ඇයි?

8 උතුම් ගුරුවරයා වන යේසුස්ටත් දෙවිගෙන් ඉගෙනගත් දේ අන් අයට පැවසීමට තිබුණේ එවැනිම ආශාවක්. ඔහු එම ඉගැන්වීම් සැලකුවේ මිල කළ නොහැකි නිධානයක් ලෙසයි. ඊට ඔහු දැඩි ඇල්මක් දැක්වූ අතර ඒ ගැන අන් අයට කියා දීමටත් මහත් ඕනෑකමක් ඔහුට තිබුණා. “ප්‍රසිද්ධියේ අන් අයට උගන්වන” ඔහුගේ සියලුම අනුගාමිකයන්ද එසේ ක්‍රියා කරනවාට ඔහු කැමතියි. අප ක්‍රියා කරන්නෙත් එලෙසද? දෙවිගේ වචනයෙන් ඉගෙනගන්නා දේ අගය කිරීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා. අප ඒවා දැනගත්තේ කාලයකට ඉහතදී විය හැකියි. නැතහොත් මෑතකදී ඒ ඉගැන්වීම් පිළිබඳ අලුත් අවබෝධයක් අප ලබාගන්න ඇති. ඒ සියල්ල අප බොහෝ සෙයින් අගය කරනවා නම් යේසුස් මෙන් ඒ ගැන උද්‍යෝගයෙන් අන් අයට කියා දෙනවා. එසේ කිරීමෙන් දෙවිගේ ඉගැන්වීම් සඳහා අපට තිබෙන ඇල්ම විදහාපෙන්විය හැකියි.

9. (අ) ජනයා කෙරෙහි තමාට තිබූ සැලකිල්ල යේසුස් පෙන්නුවේ කෙසේද? (ආ) අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

9 යේසුස් ජනයාටත් ඉමහත් සේ ප්‍රේම කළා. ඒ ගැන අප පුළුල් ලෙස මේ පොතේ තුන්වෙනි කොටසින් සාකච්ඡා කරනවා. යේසුස් “අසරණයාටද දිලින්දාටද අනුකම්පා කරන්නේය” කියා ඔහු පොළොවට පැමිණීමට පෙර බයිබලයේ සඳහන් වී තිබුණා. (ගීතාවලිය 72:13) ඔහු මිනිසුන් ගැනත් ඔවුන් සිතන ආකාරය ගැනත් සැලකිලිමත් වුණා. ඔවුන්ට තිබූ ප්‍රශ්න ගැටලු ගැනත් සත්‍යය අවබෝධ කරගැනීමට තිබූ බාධා ගැනත් ඔහු තේරුම්ගත්තා. (මතෙව් 11:28; 16:13; 23:13, 15) සමරිතානු ස්ත්‍රිය ගැන ටිකකට සිතා බලන්න. යේසුස් ඇය කෙරෙහි දැක්වූ උනන්දුව ඇගේ සිතට තදින්ම කාවදින්න ඇති. එමෙන්ම යේසුස් ඇගේ ජීවිතය ගැන තොරතුරු පැවසූ නිසා ඔහු අනාගතවක්තෘවරයෙකු බව ඇය පිළිගත් අතර ඒ ගැන අන් අයටද පැවසුවා. (යොහන් 4:16-19, 39) අප දේශනා කරන විට අන් අයගේ සිත්වල තිබෙන දේ දැනගැනීමට හැකියාවක් අපට නැති බව ඇත්තයි. නමුත් අප මනුෂ්‍යයන් ගැන සැලකිලිමත් බව අපේ ක්‍රියාවලින් පෙන්විය හැකියි. යේසුස් මෙන් අපගේ පණිවිඩය ඔවුන්ගේ තත්වයන්ට හා ඔවුන් මුහුණ දෙන අභියෝගවලට ගැළපෙන සේ දේශනා කිරීමෙන් අපට එය කළ හැකියි.

යේසුස් දේශනා කළේ කුමක්ද?

10, 11. (අ) යේසුස් දේශනා කළේ කුමක් ගැනද? (ආ) දේවරාජ්‍යය අවශ්‍ය වුණේ ඇයි?

10 යේසුස් දේශනා කළේ කුමක්ද කියා දැනගැනීමට ඔබ පල්ලිවල උගන්වන දේ සොයා බැලුවොත් සමහරවිට ඔබ මෙවැනි නිගමනයන්ට පැමිණිය හැකියි. එනම්, යේසුස් සමාජයේ යම් වෙනසක් ඇති කිරීමට උත්සාහ දැරූ කෙනෙකු කියා හෝ දේශපාලන කටයුතුවලට මැදිහත් වී යම් වෙනසක් ඇති කිරීමට වෙර දැරූ කෙනෙකු කියා හෝ මිනිසුන්ට තමන්ගේ ගැලවීම ගැන පමණක් සිතීමට ඉගැන්වූ කෙනෙකු කියා නිගමනය කිරීමට ඉඩ තිබෙනවා. නමුත් කලින් සඳහන් කළ පරිදි යේසුස් පැවසුවේ මම “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුයි” කියායි. ඔහුට දේවරාජ්‍යය ගැන දේශනා කිරීම එතරම් වැදගත් වූයේ ඇයි?

11 දෙවිගේ පාලන ක්‍රමය අසාධාරණයි කියා සාතන් අභියෝග කළ අවස්ථාවේ යේසුස් සිටියේ ස්වර්ගයෙයි. තමන්ගේ ප්‍රේමණීය පියා මිනිසුන්ට යහපතක් නොකරන අසාධාරණ පාලකයෙකු කියා සාතන් යෙහෝවා දෙවිට නින්දා කළ විට යේසුස්ට කෙසේ හැඟෙන්න ඇද්ද! එමෙන්ම මුළු මිනිස් වර්ගයාගේම දෙමාපියන් වීමට සිටි ආදම් සහ ඒව, දෙවිට විරුද්ධව සාතන් කළ බොරු චෝදනාව විශ්වාස කළ විට යේසුස්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! ඒ විතරක් නොවෙයි, එම අකීකරුකම නිසා මුළු මිනිස් වර්ගයාටම පාපය හා මරණය උරුම වූ ආකාරයත් යේසුස් දුටුවා. (රෝම 5:12) එමනිසා තම පියා ඔහුගේ රාජ්‍යය තුළින් මේ සියලු කාරණා නිවැරදි කරන බව යේසුස් දැනගත් විට එය ඔහුගේ හදවතට මොන තරම් ප්‍රීතියක් ගෙන දෙන්න ඇද්ද! දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට ඔහු එතරම් උනන්දුවක් දැක්වූයේ ඒ නිසයි.

12, 13. දෙවිගේ රාජ්‍යය මගින් ඉවත් කරනු ලබන අයුක්තිසහගත ක්‍රියාවන් මොනවාද? යේසුස් තම සේවයේ මූලික අරමුණ දේවරාජ්‍යය ගැන දේශනා කිරීම බව පෙන්නුවේ කොහොමද?

12 මේ සෑම දෙයකටම වඩා වැදගත් දෙයක් තිබුණා. ඒ, සාතන් හා ඔහුගේ පැත්ත ගත් අය විසින් යෙහෝවා දෙවිගේ ශුද්ධ නාමයට සිදු කළ නින්දාව ඉවත් කිරීමයි. ඒ වගේම දෙවිට පාලනය කිරීමට අයිතියක් තිබෙන බවත් ඔහුගේ පාලනය සාධාරණ බවත් ඔප්පු කිරීමයි. කිසි මිනිසෙකුට වඩා යේසුස් මේ සියලු කාරණා හොඳින් අවබෝධ කරගෙන සිටියා. ඔහු තම අනුගාමිකයන්ට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේදී මුලින්ම පැවසුවේ තම පියාගේ නාමය ශුද්ධ තත්වයට පත් වන ලෙස ඉල්ලන්න කියායි. එනම් දෙවිගේ නාමයට සිදු වී තිබෙන නින්දාව ඉවත් කරන්න කියායි. ඉන්පසු පියාගේ රාජ්‍යය පැමිණෙන්න කියාත් ඔහුගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වෙන්න කියාත් ඉල්ලන මෙන් යේසුස් ඔවුන්ට පැවසුවා. (මතෙව් 6:9, 10) දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස පත් කර තිබෙන්නේ යේසුස්වයි. ඔහු මේ පොළොවේ තිබෙන සාතන්ගේ දුෂ්ට පාලනය ඉවත් කිරීමට පියවර ගන්නා අතර දෙවිගේ ධර්මිෂ්ඨ පාලනය සදහටම පැවතීමට සලස්වනවා.—දානියෙල් 2:44.

13 යේසුස්ගේ දේශනා සේවයේ මූලික අරමුණ වූයේ එම රාජ්‍යය ගැන දේශනා කිරීමයි. ඔහු කළ කී සෑම දෙයකින්ම එම රාජ්‍යය තුළින් ලැබෙන ආශීර්වාද ගැන ජනයාට අවබෝධයක් ලැබුණා. එමෙන්ම යෙහෝවා දෙවි තම අරමුණු එම රාජ්‍යය තුළින් ඉටු කරන ආකාරයත් ඔහු පහදා දුන්නා. එම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට කිසිම දෙයකින් බාධාවක් ඇති වීමට යේසුස් ඉඩ දුන්නේ නැහැ. ඔහු සිටි කාලයේ සමාජය තුළ නොයෙකුත් ප්‍රශ්න ගැටලු හා අයුක්තිසහගත ක්‍රියා පැතිර තිබුණා. නමුත් ඔහු තම අවධානය යොමු කළේ රාජ්‍යය ගැන දේශනා කිරීම වෙතටයි. එසේ කටයුතු කළ නිසා අවට සිදු වන කිසිම දෙයක් ගැන තැකීමක් නොකර නිරස ආකාරයෙන් ඔහු දේශනා කළාද? කිසිසේත්ම නැහැ!

14, 15. (අ) තමා “සලමොන්ට වඩා උතුම් කෙනෙක්” බව යේසුස් පෙන්නුවේ කෙසේද? (ආ) දේශනා කරන විට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

14 යේසුස් කොතරම් සිත්ගන්නාසුලු ආකාරයකින් හා විවිධත්වයකින් ඉගැන්වූවාද කියා මෙම කොටසින් දැකගත හැකි වෙයි. ඔහු තම ඉගැන්වීම් තුළින් මිනිසුන්ගේ හදවතට කතා කළා. මේ අවස්ථාවේදී අපගේ මතකයට නැඟෙන්නේ ප්‍රඥාවන්ත සලමොන් රජුවයි. ඔහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියූ දේවල් මිනිසුන්ගේ හදවතට කාවදින ආකාරයෙන් ලිවීමට, ප්‍රසන්න හා නිවැරදි වචන යොදාගත්තා. (දේශනාකාරයා 12:10) සලමොන් රජුට එසේ කිරීමට හැකි වුණේ යෙහෝවා දෙවි ඔහුට “පුළුල් අවබෝධයක්” ලබා දුන් නිසයි. ඔහු ඒ දැනුමට අනුව සත්ව ලෝකය ගැනත් ගස් වැල් ගැනත් බොහෝ තොරතුරු මිනිසුන්ට කියා දුන්නා. ඔහුට සවන් දීමට ඈත ප්‍රදේශවලින් පවා ජනයා පැමිණියා. (1 රාජාවලිය 4:29-34) යේසුස්, “සලමොන්ට වඩා උතුම් කෙනෙක්.” (මතෙව් 12:42) යේසුස්ට තිබූ ප්‍රඥාව හා “අවබෝධය” බෙහෙවින් උසස්. ඔහු ජනයාට උගන්වද්දී දෙවිගේ වචනය ගැන ඔහුට තිබූ දැනුම පමණක් නොවෙයි, පක්ෂීන්, මත්ස්‍යයන්, සතුන්, කෘෂි කර්මාන්තය, ඉතිහාසය, සමාජයේ ගැටලු, කාලගුණය හා එදිනෙදා සිදුවීම්ද ඔහුගේ ඉගැන්වීම්වලට යොදාගත්තා. නමුත් ඔහු කිසිවිටෙකත් තම දැනුම ප්‍රදර්ශනය කර මිනිසුන්ව තමා වෙතට ඇදගැනීමට උත්සාහ කළේ නැහැ. ඔහු ඉගැන්නුවේ සරලව හා තේරුම්ගත හැකි ආකාරයටයි. ඇත්තෙන්ම මිනිසුන් ඔහු උගන්වන ආකාරය ඇසීමට කැමැත්තක් දැක්වීම පුදුමයක් නොවෙයි.—මාක් 12:37; ලූක් 19:48.

15 අද දින සිටින ක්‍රිස්තියානීන්ද යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට වෑයම් කරනවා. යේසුස්ට තිබුණා හා සමාන ප්‍රඥාව හා දැනුම අපට නැති බව ඇත්තයි. නමුත් අප හැමෝටම දෙවිගේ වචනයේ සඳහන් දේ අන් අයට කියා දීමට අවශ්‍ය යම් දැනුමක් හෝ අද්දැකීමක් තිබෙනවා. යෙහෝවා දෙවි අපට දක්වන ප්‍රේමය පැහැදිලි කිරීමට දෙමාපියන්ට හැකියි ඔවුන් තම දරුවන්ට දක්වන ප්‍රේමය හා සැලකිල්ල උදාහරණයක් ලෙස යොදාගන්න. ඒ වගේම වෙනත් අයට හැකියි තමන්ගේ රැකියා ස්ථානයේ හෝ පාසැලේදී ලැබෙන අද්දැකීම්, මිනිසුන් ගැන හෝ එදිනෙදා සිදුවීම් ගැන තිබෙන අවබෝධය උදාහරණ ලෙස යොදාගන්න. නමුත් එසේ කිරීමේදී දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට දිය යුතු අවධානය වෙනතකට යොමු නොකිරීමට අප වගබලා ගත යුතුයි.—1 තිමෝති 4:16.

යේසුස් දේවසේවය සැලකුවේ කෙසේද?

16, 17. (අ) යේසුස් තම දේවසේවය සැලකුවේ කෙසේද? (ආ) තම ජීවිතයේ ප්‍රධානතම කාර්යය දේවසේවය බව යේසුස් පෙන්නුවේ කෙසේද?

16 යේසුස් තම සේවය සැලකුවේ වටිනා වස්තුවක් ලෙසයි. තම පියා කොයි වගේ කෙනෙකුද කියා ජනයාට පෙන්වා දීමට ඔහු තුළ තිබුණේ ඉමහත් ආශාවක්. දෙවි ගැන එවකට පැතිර තිබූ බොරු අදහස් හා අපැහැදිලි මත ඔහුගේ ඉගැන්වීම්වලට ඔහු යොදාගත්තේ නැහැ. මිනිසුන් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්නවාටත් සදාකල ජීවනය ගැන අවබෝධයක් ලබාගන්නවාටත් යේසුස් කැමති වුණා. ඔහුගේ ආශාව වූයේ ජනයා රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අසා ඉන් සතුටක් හා සැනසීමක් ලබනවාටයි. යේසුස්ට එවැනි ආශාවක් තිබුණු බව ඔහු පෙන්නුවේ කෙසේද? ඔහු එය පෙන්වූ ආකාර තුනක් ගැන දැන් අපි සලකා බලමු.

17 යේසුස් තම ජීවිතයේ මුල් තැන දුන්නේ දේවසේවයටයි. ඔහුගේ ජීවිතයේ වැදගත්ම දෙය වුණේ එයයි. ඔහු තම අවධානය මූලිකවම යොමු කළේ රාජ්‍යය ගැන අන් අයට කියා දීමටයි. යේසුස් අන් අයටත් එසේ කිරීමට උපදෙස් දුන්නා. අප පස්වෙනි පරිච්ඡේදයේ සලකා බැලූ ලෙස යේසුස් සරල ජීවිතයක් ගත කිරීමට හේතුවත් එයයි. ඔහු වස්තුව හා දේපළ රැස් කිරීමට තම අවධානය යොමු කළා නම් ඒ දේවල් නඩත්තු කිරීමට හෝ තවත් දේවල් මිල දී ගැනීමට ඔහුගේ කාලය වැය කිරීමට සිදු වෙනවා. යේසුස් ජීවත් වුණේ ඔහුගේ සේවයට කිසිවකින් බාධාවක් නොවන ආකාරයටයි.—මතෙව් 6:22; 8:20.

18. යේසුස් දේවසේවය වෙනුවෙන් තම ජීවිතය කැප කළේ කෙසේද?

18 යේසුස් තම ජීවිතය කැප කළේ දේවසේවය වෙනුවෙනුයි. ඔහු ඒ වෙනුවෙන් තම ශක්තිය යෙදෙව්වා. රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමට ඔහු පලස්තීනය පුරා කිලෝමීටර් සිය ගණනක් ඇවිද ගියා. ජනයාගේ නිවෙස්වලදී ප්‍රසිද්ධ ස්ථානවලදී වෙළඳපොළේදී වැනි ජනයාව හමු විය හැකි ඕනෑම ස්ථානයකදී ඔහු දෙවිගේ රාජ්‍යය ගැන කතා කළා. තම විවේකය හා සමීප මිතුරන් සමඟ ගත කිරීමට තිබූ කාලය පමණක් නොව කුසගින්න හා පිපාසය ගැනවත් නොසිතා ඔහු දේවසේවය වෙනුවෙන් තම ජීවිතයම කැප කළා. ඔහු අවසන් හුස්ම හෙළන මොහොතේදී පවා කතා කළේ දේවරාජ්‍යය ගැනයි.—ලූක් 23:39-43.

19, 20. දේශනා කිරීමේ කාර්යය කල් නොදමා කළ යුතු දෙයක් බව යේසුස් උදාහරණයකින් පෙන්නුවේ කෙසේද?

19 යේසුස් තම සේවය සැලකුවේ කල් නොදමා කළ යුතු දෙයක් ලෙසයි. සිකාර් ගම්මානය අසල සමරිතානු ස්ත්‍රියට යේසුස් දේශනා කළ විට එය පැහැදිලිව දක්නට ලැබුණා. නමුත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය කල් නොදමා කළ යුතු දෙයක් බව යේසුස්ගේ නියෝජිතයන්ට අවබෝධ නොවන්න ඇති. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “සාමාන්‍යයෙන් ඔබ කියන්නේ අස්වැන්න නෙළන්න තව මාස හතරක් තිබෙන බවයි. නමුත් මම දැන් ඔබට කියන්නේ, ඔබේ ඇස් ඇර බලන්න කියායි. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.”—යොහන් 4:35.

20 යේසුස් එම උදාහරණය පැවසූ කාලය පෙනෙන හැටියට කිස්ලෙව් මාසය එනම්, නොවැම්බර් හා දෙසැම්බර් මාස අතර කාලය විය හැකියි. බාර්ලි අස්වැන්න නෙළීම සිදු කරන්නේ නීසාන් 14වෙනිදාට යෙදී තිබෙන පාස්කු උත්සවය පවත්වන කාලයට ආසන්නවයි. ඒ සඳහා තව මාස හතරක පමණ කාලයක් තිබුණා. ඒ නිසා යේසුස් ඒ උදාහරණය පැවසූ කාලයේදී අස්වැන්න නෙළීමට ගොවියන් සූදානමින් සිටියේ නැහැ. නමුත් දෙවිගේ හඬට කීකරු වන මිනිසුන්ව සෙවීමේ කාර්යය ගැන කුමක් කිව හැකිද? ඇත්තෙන්ම බොහෝ මිනිසුන් දෙවිගේ පණිවිඩය ඇසීමටත් යේසුස්ගේ ගෝලයන් වී දෙවි ඔවුන් සඳහා දී තිබෙන බලාපොරොත්තුව අත් කරගැනීමටත් ආශාවෙන් සිටියා. යේසුස් අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත් කියා පැවසුවේ ඒ නිසයි. ඔහු එය දුටුවේ හරියට කෙතක කරල් පැසී අස්වැන්න නෙළන කාලය හා සමානවයි. එය කල් නොදමා කළ යුතු කාර්යයක් වුණා. ඒ නිසා එක් අවස්ථාවක මිනිසුන් යේසුස්ව තම නගරයේ රඳවාගැනීමට තැත් කළ විට, “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියා ඔහු පැවසුවා.—ලූක් 4:43.

21. අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

21 අප ඉහත සාකච්ඡා කළ කාරණා තුනට අනුව කටයුතු කිරීමෙන් යේසුස්ව අනුකරණය කිරීමට අපට හැකියි. දේශනා කිරීමේ කාර්යයට අපේ ජීවිතයේ මුල් තැන දීමට අපට පුළුවන්. පවුලේ හා රැකියා ස්ථානයේ විවිධ වගකීම් අපට තිබුණත් නිතිපතා උද්‍යෝගයෙන් සේවයේ හවුල් වීමෙන් සේවයට මුල් තැන දීමට අපට හැකියි. එසේ කිරීමෙන් අප අනුගමනය කරන්නේ යේසුස්ගේ ආදර්ශයයි. (මතෙව් 6:33; 1 තිමෝති 5:8) දේවසේවය වෙනුවෙන් අපගේ කාලය, ශක්තිය හා අප සතු සම්පත් කැප කිරීමෙන්ද අපට ඊට දායක විය හැකියි. (ලූක් 13:24) ඒ වගේම එම කාර්යය කල් නොදමා කළ යුතු දෙයක් බව අපි අමතක නොකරමු. (2 තිමෝති 4:2) දේශනා කිරීමට ලැබෙන සෑම අවස්ථාවකදීම එය කිරීමට සූදානමින් සිටිමු.

22. ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ කුමක්ද?

22 යේසුස් දේශනා සේවය කොතරම් වැදගත් ලෙස සැලකුවාද කිවහොත් ඔහුගේ මරණයෙන් පසුවත් එම සේවය දිගටම කරගෙන යෑම සඳහා කටයුතු සැලසුම් කළා. ඔහු දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වගකීම තම අනුගාමිකයන්ට භාර දුන්නා. එම කාර්යය ගැන අප ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලනවා.

^ 3 ඡේ. යුදෙව්වෙක් වන යේසුස්, සමරිතානු ස්ත්‍රියක් වන ඇය සමඟ කතා කිරීම ගැන ඇය ප්‍රශ්න කළා. මන්ද ඒ ජාතීන් දෙක අතර කාලාන්තරයක් පුරා මතභේදයක් තිබුණා. (යොහන් 4:9) සමරිතානුවන් යාකොබ්ගෙන් පැවත එන අය බවත් ඇය කියා සිටියා. එය යුදෙව්වරු පිළි නොගත් දෙයක්. (යොහන් 4:12) සමරිතානුවන් විදේශිකයන්ගෙන් පැවත එන අය බව පෙන්වීමට යුදෙව්වරු ඔවුන්ව හැඳින්වූයේ කූතාවරුන් කියායි.

^ 5 ඡේ. දේශනා කිරීම යනු රාජ්‍යය පිළිබඳ පුවත ප්‍රචාරය කිරීම හෝ ප්‍රකාශ කිරීමයි. ඉගැන්වීම යනු රාජ්‍යය පිළිබඳව තොරතුරු විස්තරාත්මකව හා පැහැදිලිව කියා දීමයි. දක්ෂ ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුගේ හදවතට කාවදින ආකාරයෙන් උගන්වනවා. එනම් ශිෂ්‍යයෙකු ඉගෙනගත් දේට අනුව ක්‍රියා කිරීමට පෙලඹෙන ආකාරයෙන් උගන්වනවා.”