Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

‘එලෙස උගන්වන මිනිසෙකුව අප කවදාවත් දැක නැහැ’

‘එලෙස උගන්වන මිනිසෙකුව අප කවදාවත් දැක නැහැ’

1, 2. (අ) නිලධාරීන් ආපසු හැරී එන්නේ ඇයි? (ආ) යේසුස් දක්ෂ ගුරුවරයෙක් වූයේ කෙසේද?

 යේසුස් තම පියා ගැන දේවමාලිගාවේ උගන්වමින් සිටිනවා. බොහෝදෙනෙක් ඔහු පවසන දේවල් පිළිගන්නවා. නමුත් එතැන සිටි සමහරදෙනෙකුට අවශ්‍ය වන්නේ යේසුස්ව අත්අඩංගුවට ගැනීමටයි. කෝපයෙන් දැවෙන ආගමික නායකයන් හා පරිසිවරුන් යේසුස්ව අල්ලාගැනීමට නිලධාරීන්ව යවනවා. නමුත් ඔවුන් ආපසු හැරී ඇවිත් මෙසේ පවසනවා. “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ.” එම නිලධාරීන්ට යේසුස් ඉගැන්වූ ආකාරය ගැන කොයි තරම් පැහැදීමක් ඇති වුණාද කිවහොත් ඔවුන්ට පැවරූ රාජකාරිය ඉටු කිරීමට ඔවුන් අකමැති වුණා. *යොහන් 7:45, 46.

2 යේසුස් උගන්වන ආකාරය ගැන මවිත වූයේ ඒ නිලධාරීන් පමණක් නොවෙයි. සාමාන්‍ය ජනයා දහස් ගණනින් යේසුස් වෙතට රොක් වුණා. (මාක් 3:7, 9; 4:1; ලූක් 5:1-3) යේසුස් එතරම් දක්ෂ ගුරුවරයෙක් වුණේ කොහොමද? අප අටවෙනි පරිච්ඡේදයේ දුටු ලෙස ඔහුට සත්‍ය ඉගැන්වීම්වලට ඇල්මක් තිබූ අතර ඔහු ජනයාටත් ප්‍රේම කළා. ඒ වගේම ඔහු දක්ෂ ඉගැන්වීමේ ක්‍රම යොදාගත්තා. අප දැන් ඔහු ඉගැන්වීමේදී භාවිත කළ ක්‍රම තුනක් පිළිබඳවත් අපට ඒවා අනුකරණය කළ හැකි ආකාරය පිළිබඳවත් සලකා බලමු.

සරල භාෂා ශෛලියක්

3, 4. (අ) යේසුස් සරල භාෂා ශෛලියක් භාවිත කළේ ඇයි? (ආ) යේසුස් සරල ආකාරයට ඉගැන්වූ බවට කන්ද උඩ දේශනය කදිම උදාහරණයක් වන්නේ කෙසේද?

3 යේසුස්ට පුළුල් දැනුමක් හා ප්‍රඥාවක් තිබූ නිසා ඉගැන්වීමේදී උසස් භාෂා ශෛලියක් භාවිත කිරීමට ඔහුට හැකිකම තිබුණා. එසේවුවත් ඔහු භාවිත කළේ ජනයාට තේරුම්ගත හැකි ඉතා සරල භාෂා ශෛලියක්. මන්ද ඔවුන්ගෙන් බොහෝදෙනෙක් “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” බව යේසුස් දැන සිටියා. (ක්‍රියා 4:13) යේසුස් ඔවුන්ගේ සීමාවන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුන්ට දරාගත නොහැකි තරම් තොරතුරු ලබා දෙන්න ඔහු උත්සාහ කළේ නැහැ. (යොහන් 16:12) ඔහු කාටත් තේරුම්ගත හැකි සරල වචන භාවිත කළත් ඔහුගේ ඉගැන්වීම් ඉතා ප්‍රබලයි.

4 මතෙව් 5:3–7:27 දක්වා වාර්තා කර තිබෙන කන්ද උඩ දේශනය ගැන මදක් සිතා බලන්න. යම් කාරණා ගැන උපදෙස් දීමේදී ඊට මුල් වන හේතුව කුමක්ද කියා සිතා බැලීමට යේසුස් මිනිසුන්ව පෙලඹුවා. එම දේශනය තුළ තේරුම්ගැනීමට අපහසු අදහස් හෝ වචන නැහැ. කුඩා ළමයෙකුට පවා එහි සෑම වචනයක්ම තේරුම්ගත හැකියි! යේසුස් තම දේශනය අවසන් කළ විට එතැන සිටි ගොවියන්, එඬේරුන් හා ධීවරයන් ඇතුළු සාමාන්‍ය ජනයා “ඔහු උගන්වන ආකාරය ගැන මවිත” වීම ඇත්තෙන්ම පුදුමයක් නොවෙයි.—මතෙව් 7:28.

5. යේසුස් පැවසූ, සරල නමුත් පුළුල් අර්ථයක් තිබූ කියමන් සඳහා උදාහරණ දෙන්න.

5 යේසුස් ඉගැන්වීමේදී නිතරම තේරුම්ගැනීමට පහසු කෙටි වාක්‍ය යොදාගත්තා. ඒ වගේම පුළුල් අර්ථයක් තිබූ කියමන්ද ඔහු භාවිත කළා. මුද්‍රණය කිරීමේ තාක්ෂණය එවකට නොතිබුණත් තමන් ඉගැන්වූ දේවල් මිනිසුන්ගේ හදවත්වල නොමැකෙන සේ සටහන් කිරීමට යේසුස්ට හැකි වුණා. උදාහරණ කිහිපයක් සලකා බලන්න. “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ.” “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.” “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.” “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.” “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” * (මතෙව් 7:1; 9:12; 26:41; මාක් 12:17; ක්‍රියා 20:35) යේසුස් ඒවා පවසා වසර 2,000ක් පමණ ගත වී තිබුණත් අදටත් ඒවා මිනිසුන්ගේ මතකයේ රැඳී තිබෙනවා.

6, 7. (අ) ඉගැන්වීමේදී සරල වචන භාවිත කිරීම වැදගත් වන්නේ ඇයි? (ආ) ඉගැන්වීමේදී ශිෂ්‍යයාට තොරතුරු ලබා දිය යුත්තේ කෙසේද?

6 අපටත් යේසුස් මෙන් සරල ආකාරයට ඉගැන්විය හැකිද? ඔව්. ඒ සඳහා වැදගත් වන්නේ සෑමදෙනාටම පහසුවෙන් තේරුම්ගත හැකි සරල වචන භාවිත කිරීමයි. දෙවිගේ වචනයේ සඳහන් ඉගැන්වීම් සරලයි. මන්ද යෙහෝවා දෙවිට අවශ්‍ය වන්නේ අවංක හා නිහතමානී ජනයාට ඔහුගේ අරමුණු ගැන අවබෝධයක් ලබා දීමටයි. (1 කොරින්ති 1:26-28) ඒ නිසා අප හොඳින් සිතා බලා සරල වචන භාවිත කරනවා නම් අප උගන්වන දේ ශිෂ්‍යයාට පහසුවෙන් වැටහෙයි.

සරල ආකාරයට උගන්වන්න

7 ශිෂ්‍යයෙකු සමඟ බයිබලය පාඩම් කරන විට කරුණු රැසක් එකවිට ඉගැන්වීමෙන් අප වැළකිය යුතුයි. එනම් සාකච්ඡා කරන විෂයට අදාළ තොරතුරු මිස සෑම තොරතුරක්ම පැහැදිලි කිරීමට උත්සාහ නොදැරිය යුතුයි. ඒ වගේම ඉක්මනින්ම තොරතුරු පියවනවා වෙනුවට ශිෂ්‍යයාගේ හැකියාව හා තත්වයට අනුව තොරතුරු ලබා දීම වැදගත්. අපගේ අරමුණ විය යුත්තේ ශිෂ්‍යයාට යේසුස්ගේ අනුගාමිකයෙකු හා යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙකු වීමට උපකාර කිරීමයි. ඒ නිසා ඉගෙනගන්නා දේවල් හොඳින් තේරුම්ගැනීමට ශිෂ්‍යයාට අවශ්‍ය කාලය අප ලබා දිය යුතුයි. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ශිෂ්‍යයාගේ හදවතට කාවැදී ඒ අනුව ජීවත් වීමට ඔහු පෙලඹෙන්නේ එවිටයි.—රෝම 12:2.

ඉගැන්වීමේදී ප්‍රශ්න යොදාගැනීම

8, 9. (අ) යේසුස් ප්‍රශ්න යොදාගත්තේ ඇයි? (ආ) බදු ගෙවීම පිළිබඳව පේතෘස්ට හරි නිගමනයකට එළඹෙන්න යේසුස් ප්‍රශ්න යොදාගත්තේ කෙසේද?

8 යේසුස් ප්‍රශ්න යොදාගත් ආකාරය විශිෂ්ටයි. යම් කරුණක් පහසුවෙන් පහදා දීමට ඔහුට හැකිකම තිබුණත් ඔහු ප්‍රශ්න යොදාගත්තා. ඔහු එසේ ප්‍රශ්න යොදාගත්තේ ඇයි? සමහර අවස්ථාවල ඔහු ප්‍රශ්න යොදාගත්තේ සතුරන් තුළ තිබූ වැරදි චේතනා හෙළි කිරීමටයි. (මතෙව් 21:23-27; 22:41-46) නමුත් බොහෝ අවස්ථාවල යේසුස් ප්‍රශ්න යොදාගත්තේ තම අනුගාමිකයන්ගේ සිතේ තිබුණු දේ දැනගැනීමට හා යම් කාරණා පිළිබඳව පුළුල්ව සිතන්න ඔවුන්ට උපකාර කිරීම සඳහායි. යේසුස් මෙවැනි ප්‍රශ්න ඇසුවා. “ඔබ සිතන්නේ කුමක්ද?” “ඔබ මේ දේ විශ්වාස කරනවාද?” (මතෙව් 18:12; යොහන් 11:26) යේසුස් එවැනි ප්‍රශ්න ඇසීමෙන් තම ගෝලයන්ට හොඳින් සිතා බලා හරි නිගමනවලට එළඹීමට උපකාර කළා. ඊට එක් උදාහරණයක් සලකා බලමු.

9 එක් අවස්ථාවකදී බදු එකතු කරන අය, යේසුස් දේවමාලිගා බද්ද ගෙවනවාද කියා පේතෘස්ගෙන් ඇසුවා. * එවිට පේතෘස් කිසිවක් සිතන්නේ බලන්නේ නැතුව “ගෙවනවා” කියා පිළිතුරු දුන්නා. පසුව යේසුස් පේතෘස්ගෙන් මෙසේ ඇසුවා. “සීමොන්, ඔබ හිතන්නේ කුමක්ද? පොළොවේ රජවරුන් තීරු බදු හෝ ඇඟ බදු හෝ ලබාගන්නේ කාගෙන්ද? තම පුතුන්ගෙන්ද නැත්නම් අනුන්ගෙන්ද?” පේතෘස්, “අනුන්ගෙන්” කියා පිළිතුරු දුන්නා. එවිට යේසුස් පැවසුවේ “එසේනම් ඇත්තටම පුතුන් බදු ගෙවීමෙන් නිදහස්” කියායි. (මතෙව් 17:24-27) යේසුස් ඇසූ ප්‍රශ්නයෙන් ඔහු තේරුම් කර දීමට උත්සාහ කළ කාරණය පේතෘස්ට පැහැදිලි වුණා. එනම් රජවරුන්ගේ පවුල්වල සාමාජිකයන් බදු ගෙවීමෙන් නිදහස් නම් දේවමාලිගාවේ නමස්කාරය ලබන ස්වර්ගීය රජු වන යෙහෝවා දෙවිගේ පුත්‍රයා වන යේසුස්, බදු ගෙවීමෙන් නිදහස් බවයි. යේසුස් කෙළින්ම පේතෘස්ට කාරණය පහදා දෙනවා වෙනුවට, ප්‍රශ්න ඇසීම තුළින් ඔහුට හරි නිගමනයකට එළඹීමට උපකාර කළා. ඒ වගේම පිළිතුරු දීමට පෙර හොඳින් සිතා බැලීමේ අවශ්‍යතාවද එමගින් පේතෘස් ඉගෙනගන්න ඇති.

ගෙවැසියාට ගැළපෙන ආකාරයෙන් ප්‍රශ්න අසන්න

10. දේශනා සේවයේ යන විට ගෙවැසියාට ගැළපෙන ආකාරයෙන් ප්‍රශ්න ඇසිය හැක්කේ කෙසේද?

10 දේවසේවයේදී අපත් දක්ෂ ආකාරයෙන් ප්‍රශ්න යොදාගැනීමෙන් ගෙවැසියා තුළ උනන්දුවක් ඇති කළ හැකියි. එසේ කිරීමට නම් ගෙවැසියාට ගැළපෙන ආකාරයේ ප්‍රශ්න ඇසිය යුතුයි. උදාහරණයකට මහලු පුද්ගලයෙක් අප සමඟ කතා කිරීමට පැමිණියා නම් අපට ඔහුගෙන් මෙසේ ඇසිය හැකියි. “ඔයාගේ තරුණ කාලයේ ලෝකයේ තිබුණ තත්වයයි, දැන් තත්වයයි අතර වෙනස කොයි වගේද?” පිළිතුරු දීමට කාලය දී ඊළඟට අපට මෙසේ ඇසිය හැකියි. “මේ ලෝකය වඩා හොඳ තත්වයකට ගෙනෙන්න නම් මොන වගේ වෙනස්කම් කරන්න වෙයිද?” (මතෙව් 6:9, 10) නිවැසියා කුඩා දරුවන් සිටින මවක් නම් මෙසේ ඇසිය හැකියි. “ඔයා හිතන හැටියට, ඔයාගේ දරුවෝ තව ටිකක් ලොකු වෙද්දී මේ සමාජයේ මොන වගේ වෙනස්කම් සිදු වෙලා තියෙයිද?” (ගීතාවලිය 37:10, 11) අපට දක්ෂ ලෙස ප්‍රශ්න යොදාගත හැකි වන්නේ නිවසකට යන විට එහි වටපිටාව ගැනත් නිවැසියන් ගැනත් හොඳ අවධානයකින් සිටිනවා නම් පමණයි.

11. ශිෂ්‍යයෙක් සමඟ බයිබලය පාඩම් කරන විට දක්ෂ ලෙස ප්‍රශ්න යොදාගත හැක්කේ කෙසේද?

11 ශිෂ්‍යයෙකු සමඟ බයිබලය පාඩම් කරන විට දක්ෂ ලෙස ප්‍රශ්න යොදාගත හැක්කේ කෙසේද? අප කල්පනාකාරීව ප්‍රශ්න අසනවා නම් ශිෂ්‍යයා සිතන දේ අපට දැනගත හැකියි. (හිතෝපදේශ 20:5) උදාහරණයකට අප බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * නමැති පොතේ “දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න” යන පරිච්ඡේදය සාකච්ඡා කරනවා කියා සිතන්න. එම පරිච්ඡේදයේ අනාචාරය, බේබදුකම සහ බොරු කීම යන කාරණා ගැන දෙවි පවසන දේ සඳහන් වෙනවා. ශිෂ්‍යයා ඡේදයේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරයෙන් බයිබලයේ උගන්වන දේ ඔහුට වැටහුණාද නැද්ද කියා දැනගත හැකියි. නමුත් බයිබලයෙන් දැනගත් දේට ඔහු එකඟද කියා අප දැනගන්නේ කොහොමද? අපට ඔහුගෙන් මෙසේ ඇසිය හැකියි. “එවැනි කාරණා පිළිබඳව දෙවි කියා තිබෙන දේ සාධාරණයි කියලා ඔයා හිතනවාද?” ඔහුගෙන් මෙසේද ඇසිය හැකියි. “ඔයා ඉගෙනගත් දේවල් ඔයාගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයා හිතනවාද?” කෙසේවෙතත් ප්‍රශ්න ඇසීමේදී අප මතක තබාගත යුතු කාරණයක් තිබෙනවා. එනම් අප ප්‍රශ්න ඇසිය යුත්තේ ශිෂ්‍යයා අපහසුතාවට පත් නොවන ආකාරයෙනුයි.—හිතෝපදේශ 12:18.

තර්කානුකූලව කරුණු පහදා දීම

12-14. (අ) කාරණා තර්කානුකූලව පහදා දීමට යේසුස්ට තිබූ හැකියාව ඔහු යොදාගත්තේ කෙසේද? (ආ) යේසුස් ක්‍රියා කරන්නේ සාතන්ගේ බලයෙන් කියා පරිසිවරුන් චෝදනා කළ විට ඔහු යොදාගත් ප්‍රබල තර්කය කුමක්ද?

12 යේසුස් පරිපූර්ණ කෙනෙක් වූ නිසා තර්කානුකූලව කරුණු පහදා දීමට ඔහුට තිබුණේ විශිෂ්ට හැකියාවක්. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ සතුරන්ගේ බොරු චෝදනා නිෂ්ප්‍රභ කිරීමට ඔහු සතු එම හැකියාව ඔහු යොදාගත්තා. නමුත් බොහෝ අවස්ථාවලදී ඔහු එම ක්‍රමය යොදාගත්තේ වැදගත් කාරණා තම අනුගාමිකයන්ට පැහැදිලි කර දීමටයි. ඊට අපි උදාහරණ කිහිපයක් සලකා බලමු.

13 භූතයෙක් ආවේශ වූ, අන්ධ හා ගොළු මිනිසෙකුව යේසුස් සුව කළ විට පරිසිවරුන් ඒ ගැන පැවසුවේ මෙයයි. “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ [සාතන්ගේ] උපකාරයෙනුයි. ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ.” භූතයන්ව දුරු කිරීමට මිනිසුන්ගේ බලයට වඩා ප්‍රබල බලයක් අවශ්‍ය බව ඔවුන් පිළිගත්තා. ඒ නිසා යේසුස්ට තිබූ බලය සාතන්ගෙන් ලැබූ එකක් බව ඔවුන් කියා සිටියා. ඔවුන් කළේ බොරු චෝදනාවක් පමණක් නොව එයට කිසිදු පදනමක් තිබුණේද නැහැ. ඔවුන්ට තිබුණේ වැරදි මතයක් බව යේසුස් හෙළි කළේ මෙලෙසයි. “යම් රාජ්‍යයක භේද ඇත්නම් ඒ රාජ්‍යය නැති වී යයි. යම් නුවරක් හෝ ගෙයක් ඇතුළත සිටින අය අතරම භේද ඇත්නම් ඒ නුවර හෝ ගෙය වැඩි කල් පවතින්නේ නැහැ. ඒ ආකාරයෙන්ම සාතන්ව දුරු කිරීමට සාතන්ම ක්‍රියා කරනවා නම් ඔහු භේද ඇති කරන්නේ තමන්ටම විරුද්ධවයි. එසේනම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද?” (මතෙව් 12:22-26) ඇත්තෙන්ම යේසුස් කියා සිටියේ මෙයයි. “මම සාතන්ගේ උපකාරයෙන් ඔහුගේ ක්‍රියා ඉවත් කළා නම් සාතන් ක්‍රියා කර තිබෙන්නේ ඔහුටම විරුද්ධවයි.” යේසුස් ගෙනා එවන් ප්‍රබල තර්ක ඔවුන් බිඳ හෙළන්නේ කෙසේද?

14 යේසුස් ඔවුන්ට කරුණු පහදා දීම තවම අවසන් කර තිබුණේ නැහැ. එම පරිසිවරුන්ගේ අනුගාමිකයන්ද භූතයන් දුරු කරන බව දැන සිටි යේසුස් ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවා. එම ප්‍රශ්නය සරලයි. නමුත් ප්‍රබලයි. “මා භූතයන් දුරු කරන්නේ බෙල්සෙබුබ්ගේ උපකාරයෙන් නම් ඔබේ අනුගාමිකයන් භූතයන්ව දුරු කරන්නේ කාගේ උපකාර ඇතුවද?” (මතෙව් 12:27) ඇත්තෙන්ම යේසුස් කියා සිටියේ මෙවැනි දෙයක්. “මම භූතයන්ව දුරු කරන්නේ සාතන්ගේ බලයෙන් නම් ඔබේ අනුගාමිකයන්ද ඒ දේ කරන්නේ එම බලයෙන්ම විය යුතුයි.” පරිසිවරුන්ට කීමට දෙයක් ඉතුරුව තිබුණේ නැහැ. මන්ද ඔවුන්ගේ අනුගාමිකයන් සාතන්ගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරනවා කියා ඔවුන් කිසිදා පිළිගන්නේ නැහැ. යේසුස්, පරිසිවරුන් ගෙනා තර්කයම යොදාගෙන ඔවුන්ට පිළිතුරු දුන්නා. යේසුස් ඔවුන්ට තර්කානුකූලව කරුණු පහදා දුන් ආකාරය පිළිබඳ වාර්තා කියවීම ඇත්තෙන්ම සිත්ගන්නාසුලුයි. එසේනම් යේසුස් ඒ දේවල් කියා දෙන අවස්ථාවේ එතැන සිටි සෙනඟට ඔහුගේ ඉගැන්වීම් කෙරෙහි මොන තරම් පැහැදීමක් ඇති වන්න ඇද්ද! ඔහුගේ කතා විලාසය හා ඉරියව්ද ඔහුගේ ඉගැන්වීම් තවත් ප්‍රබල කරන්න ඇති.

15-17. යේසුස් කරුණු දෙකක් අතර වෙනස පෙන්වා දීමේ ක්‍රමය යොදාගත් අවස්ථාවක් සඳහන් කරන්න.

15 යේසුස් තම පියා කොතරම් යහපත් කෙනෙකුද කියා පෙන්වා දීමටත් කාරණා තර්කානුකූලව පහදා දුන්නා. ඔහු එය කළේ, “ඊට වඩා කොතරම් වැඩියෙන්” යන යෙදුම භාවිත කරමින් කරුණු දෙකක් අතර වෙනස පෙන්වා දීමේ ක්‍රමය යොදාගෙනයි. එමගින් ඔහු අසන්නන් හොඳින් දන්නා කාරණයක් යොදාගෙන ඔවුන්ට තේරුම්ගැනීමට අපහසු දෙයක් තේරුම් කර දුන්නා. ඒ ආකාරයෙන් අපටත් අසන්නන්ගේ සිතට කාවදින ලෙස ඉගැන්විය හැකියි. ඒ සඳහා අප උදාහරණ දෙකක් සලකා බලමු.

16 යාච්ඤා කළ යුතු ආකාරය තමන්ට උගන්වන්න කියා ගෝලයන් යේසුස්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවා. “ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!” (ලූක් 11:1-13) දෙමාපියන් තම දරුවන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන බව කවුරුත් දන්නා කාරණයක්. ඒ කාරණය යොදාගෙන අපගේ පරිපූර්ණ පියා වන යෙහෝවා දෙවි තම සේවකයන් ඔහුගෙන් බලය ඉල්ලා සිටින විට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ඒ ඉල්ලීම ගැන සැලකිලිමත් වෙයිද යන කාරණය යේසුස් ඔවුන්ට තර්කානුකූලව පෙන්වා දුන්නා. ඔහු එය කළේ ඒ කරුණු දෙක අතර වෙනස පෙන්වා දීමට, “ඊට වඩා කොතරම් වැඩියෙන්” යන යෙදුම භාවිත කිරීම තුළිනුයි.

17 කනස්සලු වීම සම්බන්ධයෙන් උපදෙස් දෙන විටද යේසුස් ඒ හා සමාන තර්කයක් ගෙනහැර දැක්වූවා. ඔහු පැවසුවේ මෙසේයි. ‘කපුටන් ගැන ටිකකට සිතන්න. උන් බීජ වපුරන්නේවත් අස්වැන්න නෙළාගන්නේවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. නමුත් දෙවි උන්ව පෝෂණය කරනවා. ඒ කුරුල්ලන්ට වඩා ඔබ කොතරම් වටිනවාද! ලිලී මල් වැවෙන ආකාරය ගැන ටිකක් සිතන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් තමන්ට ඇඳුම් මසාගන්නේවත් නැහැ. අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?’ (ලූක් 12:24, 27, 28) යෙහෝවා දෙවි කුරුල්ලන් හා මල් ගැන සැලකිලිමත් වෙනවා නම් ඔහුට ප්‍රේම කරන හා නමස්කාර කරන අය ගැන ඊට වඩා කොපමණ වැඩියෙන් සැලකිලිමත් වෙයිද! යේසුස් එලෙස තර්කානුකූලව කාරණා පැහැදිලි කළ විට සවන් දුන් අයගේ සිතට එය තදින්ම කාවදින්න ඇති.

18, 19. තමන්ට නොපෙනෙන දෙවි කෙනෙකුව විශ්වාස කිරීමට බැහැයි කියා යමෙකු පවසන විට තර්කානුකූලව ඔහුට කරුණු පහදා දිය හැක්කේ කෙසේද?

18 දේවසේවයේදී අපට හමු වන අයට තිබෙන සමහර විශ්වාසයන් වැරදි බව පෙන්වා දීමටත් යෙහෝවා දෙවි ගැන ඔවුන්ට නිවැරදිව අවබෝධයක් ලබා දීමටත් අප කරුණු තර්කානුකූලව පහදා දිය යුතුයි. (ක්‍රියා 19:8; 28:23, 24) ඒ සඳහා සංකීර්ණ තර්ක විතර්ක භාවිත කිරීමට අවශ්‍ය නැහැ. යේසුස්ගේ ආදර්ශයෙන් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. එනම් කාරණා තර්කානුකූලව හා සරල ආකාරයට ඉදිරිපත් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන බවයි.

19 උදාහරණයකට තමන්ට නොපෙනෙන දෙවි කෙනෙකුව විශ්වාස කරන්න බැහැයි කියා කෙනෙකු පවසන විට අපට කුමක් පැවසිය හැකිද? ඒ සඳහා කොයි කවුරුත් දන්නා හේතුඵලවාදය නමැති සරල නීතිය අපට යොදාගත හැකියි. අපි යම් වස්තුවක් හෝ දෙයක් (එනම් ඵලය) දුටු විට එය ඇති වුණේ යම් කෙනෙකුගේ වෑයමක් (එනම් හේතුව) නිසා කියා පිළිගන්නවා. අපට ගෙවැසියාගෙන් මෙසේ ඇසිය හැකියි. “ඔබ දුෂ්කර පළාතක ගමන් කරන විට එහි ලස්සන නිවසක් දකිනවා කියා සිතන්න. ඒ නිවසේ කෑම බීම හා සියලු පහසුකම් (ඵලය) තියෙනවා. ඒ සියල්ල කළේ කවුරු හරි කෙනෙකු (හේතුව) කියා ඔබ සිතන්නේ නැද්ද? ජීවිතයේ පැවැත්මට අවශ්‍ය සෑම දෙයක්ම තිබෙන අපේ පෘථිවිය (ඵලය) ගැන ඔබ හිතන්නේ මොකක්ද? එය ඉබේම ඇති වුණාද එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් (හේතුව) එය නිර්මාණය කළාද? ඒ ප්‍රශ්නයට පිළිතුර බයිබලයේ මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ‘සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.’” (හෙබ්‍රෙව් 3:4) නමුත් අප කොතරම් හොඳින් කරුණු තර්කානුකූලව ගෙනහැර දැක්වුවත් සියලුදෙනාම අප පවසන දේ පිළිගන්නේ නැති බවද අප තේරුම්ගත යුතුයි.—2 තෙසලෝනික 3:2.

සිතට කාවැදීම සඳහා තර්කානුකූලව කාරණා පැහැදිලි කරන්න

20, 21. (අ) යෙහෝවා දෙවි කොතරම් යහපත් දෙවි කෙනෙකුද කියා පෙන්වීමට, “ඊට වඩා කොතරම් වැඩියෙන්” යන තර්ක කිරීමේ ක්‍රමය භාවිත කළ හැක්කේ කෙසේද? (ආ) අප ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

20 අප දේශනා සේවයේදී හෝ සභාවේදී උගන්වන විට යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ හා ඔහු ක්‍රියා කරන ආකාරය මිනිසුන්ට වඩා උසස් කියා පෙන්වන්න අපට අවශ්‍යයි කියා සිතන්න. ඒ සඳහා කාරණා දෙකක් අතර වෙනස පෙන්වා තර්ක කිරීමේ ක්‍රමය භාවිත කළ හැකියි. උදාහරණයකට යමෙකු වරදක් කළොත් සෑමදා නිරයක වධ වේදනා විඳීමට සිදු වෙනවා කියා ඇතැම් ආගම්වල උගන්වනවා. එයින් සිදු වන්නේ දෙවිට අගෞරවයක් බව පෙන්වා දීමට අපට මෙසේ ඇසිය හැකියි. “තමන්ගේ දරුවන්ට ආදරය කරන පියෙක්, දරුවෙක් වරදක් කළ විට දඬුවමක් ලෙස දරුවාගේ අත පුච්චයිද? නැහැ. කොහෙත්ම නැහැ! එය ඔහුට සිතාගන්නවත් බැරි දෙයක්. එසේනම් මිනිසුන්ව නිරයක දමා වධ වේදනා දීම පමණක් නොව ඒ ගැන සිතීමට පවා දෙවි අකමැති බව ස්ථිරයි.” (යෙරෙමියා 7:31) මානසික පීඩනයෙන් පෙළෙන සෙසු ක්‍රිස්තියානියෙකුට යෙහෝවා දෙවි කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමට අපට මෙසේ පැවසිය හැකියි. “යෙහෝවා දෙවිට පුංචි ගේකුරුල්ලෙක් වටිනවා නම් ඔහුට නමස්කාර කරන ඔබ ඇතුළු අප හැමෝටම ඔහු ඊටත් වඩා කොතරම් වැඩියෙන් සැලකිල්ලක් හා ප්‍රේමයක් දක්වයිද!” (මතෙව් 10:29-31) අප ඒ ආකාරයට තර්කානුකූලව කරුණු පහදා දෙනවා නම් එය ජනයාගේ සිතට කාවදියි.

21 “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ” කියා යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන් විසින් පැවසීම ඇත්තෙන්ම අතිශයෝක්ති කියමනක් නොවෙයි. අප සලකා බැලුවේ යේසුස් ඉගැන්වීමේදී භාවිත කළ ක්‍රම අතරින් ක්‍රම තුනක් ගැන පමණයි. ඒ තුළින් ඔහු කොතරම් ප්‍රබල ආකාරයෙන් ඉගැන්වූවාද කියා පැහැදිලි වෙනවා. ඊළඟ පරිච්ඡේදයෙන් යේසුස් ඉගැන්වීමේදී භාවිත කළ ක්‍රම අතරින් කැපීපෙනෙන ක්‍රමයක් වන නිදසුන් භාවිතය ගැන අප සලකා බලනවා.

^ 1 ඡේ. එම නිලධාරීන් යුදෙව් මන්ත්‍රණ සභාවේ සිටි උත්තම පූජකයන් යටතේ වැඩ කළ අය විය හැකියි.

^ 5 ඡේ. ක්‍රියා 20:35න් රැගෙන තිබෙන මෙම කියමන උපුටා දැක්වූයේ පාවුල් පමණයි. එය ඔහුට දැනගැනීමට ලැබුණේ යේසුස් පැවසූ දේ අසා සිටි කෙනෙකුගෙන් හෝ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ගෙන් හෝ දෙවිගේ බලයේ මඟ පෙන්වීම තුළින් විය හැකියි.

^ 9 ඡේ. දේවමාලිගාවේ බද්ද සඳහා ඩ්‍රැක්මා කාසි දෙකක් ගෙවීමට යුදෙව්වරුන්ට සිදු වුණා. එය ඔවුන්ගේ දින දෙකක වැටුපකට සමානයි. එක් මූලාශ්‍රයක් පවසන්නේ, “මෙම බදු දේවමාලිගාවේ දිනපතා සිදු කරන ලද දවන පූජා සඳහාත් මහජනතාව වෙනුවෙන් සිදු කළ පූජා සඳහාත් වැය කළ බවයි.”

^ 11 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.