Skip to content

පටුනට යන්න

12වෙනි පරිච්ඡේදය

‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’

‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’

1-3. (අ) යේසුස් සමඟ ළඟින් ඇසුරු කළ ගෝලයන්ට ලැබුණු අනගි ප්‍රස්තාව කුමක්ද? යේසුස් ඉගැන්වූ දේ මතකයේ රඳවාගැනීමට තම ගෝලයන්ට උපකාර කළේ කෙසේද? (ආ) උපමාවක් මතකයේ රැඳෙන්නේ ඇයි?

 යේසුස් සමඟ ළඟින් ඇසුරු කළ ගෝලයන්ට අනගි ප්‍රස්තාවක් ලැබුණා. ඒ උතුම් ගුරුවරයා වන යේසුස්ගෙන්ම ඉගෙනගැනීමට ලැබීමයි. දේවවචනයේ ඇති ඉගැන්වීම් යේසුස් විසින්ම පහදා දෙන ආකාරය ඔවුන්ට අසන්න ලැබුණා. ඔවුන් ඇසූ ඒ වටිනා වදන් ඔවුන්ගේ මතකයේ රඳවාගත යුතු වුණා. මන්ද ඒවා ලියා තැබීමට දෙවිගේ මඟ පෙන්වීම් ඒ වන විට ඔවුන්ට ලැබී තිබුණේ නැහැ. * යේසුස් පැවසූ සෑම දෙයක්ම මතකයේ රඳවාගැනීමට ඔවුන්ට හැකි වුණේ ඔහු ඉගැන්වූ කදිම ආකාරය නිසයි. යේසුස් ඉගැන්වීමේදී උපමා භාවිතය කැපීපෙනෙන අංගයක් වුණා.

2 කදිම උපමා මතකයෙන් මැකී යන්නේ නැහැ. ඒ පිළිබඳව කතුවරයෙක් මෙවන් දෙයක් පැවසුවා. උපමාවකින් “සවනට ඇසෙන දේ දකින්න පුළුවන්. එනම් සවන් දෙන තැනැත්තාට මනසේ චිත්‍රයක් මවාගැනීමට හැකි වෙනවා.” තේරුම්ගැනීමට අපහසු කාරණයක් පවා පහසුවෙන් තේරුම් කර දීමට උපමාවක් ප්‍රයෝජනවත් වෙනවා. වචනවලට ජීවයක් දෙන්නත් ඉගැන්වීමට උත්සාහ කරන කාරණය කිසිදා අමතක නොවන සේ මතකයේ රැඳවීමටත් ඊට හැකියි.

3 කිසි ගුරුවරයෙක් යේසුස් මෙන් දක්ෂ ලෙස උපමා භාවිත කර නැහැ. අදටත් යේසුස් භාවිත කළ උපමා අපට මතකයි. යේසුස් උපමා යොදාගෙන ඉගැන්නුවේ ඇයි? ඒවා එතරම් ප්‍රබල වුණේ ඇයි? අප උගන්වන විටත් උපමා භාවිත කළ හැකිද?

යේසුස් උපමා භාවිත කළේ ඇයි?

4, 5. යේසුස් උපමා භාවිත කළේ ඇයි?

4 යේසුස් උපමා භාවිත කිරීමට මූලිකවම හේතු දෙකක් තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා. එක් හේතුවක් නම් එමගින් අනාවැකි ඉටු වීමයි. ඒ ගැන මතෙව් 13:34, 35හි මෙසේ සඳහන් වෙනවා. ‘යේසුස් ඒ සියල්ල සමූහයන්ට පැවසුවේ උපමා යොදාගෙනය. ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැත. ඔහු එසේ කළේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියන ලද, “මම උපමා මගින් ඔබට කතා කරන්නෙමි” යන අනාවැකිය ඉටු වීම සඳහායි.’ මතෙව් උපුටා දැක්වූයේ ගීතාවලිය 78:2හි සඳහන් අනාවැකියයි. ගීතිකාකරු දෙවිගේ මඟ පෙන්වීම් යටතේ එය ලියනු ලැබුවේ යේසුස්ගේ උපතට සියවස් ගණනාවකට පෙරයි. ඉන් අදහස් වන්නේ යේසුස් ඉපදීමට බොහෝ කාලයකට පෙරදීම ඔහු ඉගැන්වීමේදී උපමා භාවිත කළ යුතුයි කියා දෙවි තීරණය කළ බවයි. එසේනම් උපමා භාවිතය යෙහෝවා දෙවි වටිනා යමක් ලෙසට සලකන බව ස්ථිරයි.

5 යේසුස් උපමා භාවිත කිරීමට හේතු වූ දෙවෙනි කාරණය නම් “සිත් දැඩි” වූ අයව හඳුනාගැනීම සඳහායි. (මතෙව් 13:10-15; යෙසායා 6:9, 10) ඔහු භාවිත කළ උපමා තුළින් මිනිසුන්ගේ සිතේ තිබෙන දේ හෙළි වුණේ කෙසේද? සමහර අවස්ථාවල ඔහු පැවසූ කාරණයේ නියම අර්ථය අවබෝධ කරගැනීම සඳහා අසන්නන් ඔහුගෙන් ප්‍රශ්න ඇසීම ඔහු බලාපොරොත්තු වුණා. නිහතමානී අය ඔහුගෙන් ප්‍රශ්න ඇසුවත් ඔහු පැවසූ දේ ගැන උනන්දුවක් නොදැක්වූ උඩඟු අය එසේ කළේ නැහැ. (මතෙව් 13:36; මාක් 4:34) සත්‍යය දැනගැනීමට ආශාවෙන් සිටි අයට යේසුස්ගේ උපමා හොඳින් අවබෝධ වූ නිසා ඔවුන්ට එමගින් සත්‍යය පැහැදිලි වුණා. නමුත් උඩඟු අයට උපමාව අවබෝධ වුණේවත් සත්‍යය පැහැදිලි වුණේවත් නැහැ.

6. යේසුස් භාවිත කළ උපමා තුළින් ඉටු වූ ප්‍රයෝජන මොනවාද?

6 යේසුස් භාවිත කළ උපමා තුළින් තවත් බොහෝ ප්‍රයෝජන ලැබුණා. අසන්නන්ගේ උනන්දුව වැඩි වූ අතර හොඳින් සවන් දීමට ඔවුන් පෙලඹුණා. ඒ වගේම ඔවුන්ගේ මනසේ චිත්‍රයක් මැවුණු නිසා ඔවුන්ට කාරණය හොඳින් වැටහුණා. කලින් කී ලෙස යේසුස්ට සවන් දෙමින් සිටි අයට ඔහු පැවසූ දේවල් මතකයේ රඳවාගැනීමට එමගින් හැකි වුණා. මතෙව් 5:3–7:27 දක්වා සඳහන් කන්ද උඩ දේශනය තුළ සැසඳීම් හා සමාන කිරීම් යන උපමා භාවිතයේ විවිධ ක්‍රම දක්නට ලැබෙනවා. එක් වාර්තාවකට අනුව යේසුස් එම දේශනය තුළ එවැනි උපමාලංකාර 50කට වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබෙනවා. විනාඩි 20කින් කියවිය හැකි එම දේශනයේ සෑම තත්පර 20කදී පමණ උපමාලංකාරයක් භාවිත කර තිබෙනවා! ඉගැන්වීමේදී උපමා යොදාගැනීම කොතරම් වැදගත්ද කියා යේසුස් තේරුම්ගෙන තිබූ බව ඉන් පැහැදිලියි.

7. යේසුස් මෙන් අපත් උපමා භාවිත කළ යුත්තේ ඇයි?

7 යේසුස්ගේ අනුගාමිකයන් වන අපගෙත් ආශාව වන්නේ උපමා භාවිත කර ඔහු ඉගැන්වූ ආකාරය අනුගමනය කිරීමයි. ආහාරයක් රසවත් කිරීමට කුළු බඩු යොදන්නා සේ අන් අයගේ සිතට කාවදින ආකාරයෙන් ඉගැන්වීමට දක්ෂ ලෙස උපමා භාවිත කළ හැකියි. බයිබලයේ සඳහන් වැදගත් ඉගැන්වීම් පහසුවෙන් තේරුම් කර දීම සඳහා ගැළපෙන උපමා යොදාගැනීමට අපට පුළුවන්. යේසුස් යොදාගත් උපමා එතරම් විශේෂ වීමට හේතු අපි දැන් සලකා බලමු. එවිට අපටත් ඉගැන්වීමේදී එය අනුකරණය කිරීමට හැකි වෙයි.

සැසඳීම් හා සමාන කිරීම්

දෙවි අප ගැන දක්වන සැලකිල්ල පෙන්වීමට යේසුස් කුරුල්ලන් හා මල් උපමා ලෙස යොදාගත්තා

8, 9. උපමා භාවිතයට ඇතුළත් සැසඳීමේ හා සමාන කිරීමේ ක්‍රම යේසුස් යොදාගත්තේ කෙසේද? ඒවා එතරම් ප්‍රබල වීමට හේතුව කුමක්ද?

8 යේසුස් උගන්වන විට උපමා භාවිතයට ඇතුළත් එක් ක්‍රමයක් වන සැසඳීම් යොදාගත්තා. ඔහු භාවිත කළ සැසඳීම් සරල වුවත් එයින් මනසේ පැහැදිලි චිත්‍රයක් මවාගැනීමටත් දෙවි පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමටත් අසන්නන්ට හැකි වුණා. උදාහරණයකට තම ගෝලයන්ට එදිනෙදා අවශ්‍යතා ගැන කනස්සලු නොවන්න කියා උපදෙස් දීමේදී යේසුස් ඔවුන්ගේ තත්වය “අහසේ කුරුල්ලන්” සහ “ලිලී මල්” සමඟ සැසඳුවා. කුරුල්ලන් වපුරන්නේවත් කපන්නේවත් නැහැ. ඒ වගේම ලිලී මල් තමන්ට ඇඳුම් සාදාගන්නේවත් නැහැ. නමුත් දෙවි ඒවා රැකබලා ගන්නවා. යේසුස් එවැනි සරල සැසඳීම් යොදාගත් නිසා ඔහු ගෝලයන්ට පෙන්වා දීමට උත්සාහ කළ කාරණය ඔවුන්ට පැහැදිලි වුණා. එනම් දෙවි කුරුල්ලන් සහ මල් ගැන සැලකිලිමත් වෙනවා නම් ‘ඔහුගේ රාජ්‍යයට මුල් තැන දෙන’ තම සේවකයන්ව ඔහු අනිවාර්යයෙන්ම රැකබලා ගන්නවා යන කාරණයයි.—මතෙව් 6:26, 28-33.

9 උපමා භාවිතයට ඇතුළත් තවත් ප්‍රබල ක්‍රමයක් යේසුස් යොදාගත්තා. එම ක්‍රමය නම් යමක් තවත් දෙයකට සමාන කිරීමයි. උදාහරණයකට ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “ලෝකයේ ආලෝකය ඔබයි.” ඉන් යේසුස් ඔවුන්ට කියා දීමට උත්සාහ කළ කාරණය හොඳින්ම පැහැදිලි වුණා. එනම් ඔවුන් කතාවෙන් හා හැසිරීමෙන් දෙවිගේ වචනයේ ඇති ආලෝකය අන් අය ඉදිරියේ බැබළවිය යුතු බවයි. එසේ කිරීමෙන් අන් අය තුළත් දෙවිට ප්‍රශංසා කිරීමට පෙලඹීමක් ඇති වෙයි. (මතෙව් 5:14-16) යේසුස් යොදාගත් තවත් සමාන කිරීම් කිහිපයක් සලකා බලන්න. “ඔබ පොළොවෙහි ලුණු හා සමානයි.” “මමයි මිදිවැල. එහි අතු ඔබයි.” (මතෙව් 5:13; යොහන් 15:5) යේසුස් යොදාගත් එවැනි සමාන කිරීම් සරල මෙන්ම කොයි කවුරුත් හොඳින් දන්නා දේවල් නිසා ඒවා මිනිසුන්ගේ සිතට තදින්ම කාවැදුණා.

10. ඔබ උගන්වන විට යොදාගත හැකි සරල සැසඳීම් සඳහා උදාහරණ දෙන්න.

10 ඉගැන්වීමේදී ඔබටත් උපමා භාවිත කළ හැකියි. ඒ සඳහා සංකීර්ණ හා දීර්ඝ කතන්දර අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතයේ තිබෙන සරල දේවල් සැසඳීම් සඳහා යොදාගත හැකියි. උදාහරණයකට ඔබ නැවත නැඟිටීම ගැන කතා කරනවා කියා සිතන්න. මිය ගිය කෙනෙකුව නැවත ජීවත් කරවීම යෙහෝවා දෙවිට එතරම් දුෂ්කර දෙයක් නොවන බව පෙන්වා දීමට ඔබට කුමක් කිව හැකිද? බයිබලයේ මරණය සමාන කර තිබෙන්නේ නින්දකටයි. ඒ නිසා ඔබට මෙසේ පැවසිය හැකියි. “අපි නිදාගෙන සිටින කෙනෙකුව නැඟිටුවන ආකාරයට දෙවිට මිය ගිය කෙනෙකුව ඉතා පහසුවෙන්ම නැවත නැඟිටුවන්න පුළුවන්.” (යොහන් 11:11-14) දරුවන් හොඳින් හැදී වැඩීමට නම් ඔවුන්ට මාපිය සෙනෙහස අවශ්‍යයි කියා පෙන්වා දීමට ඔබට කුමනාකාරයේ සැසඳීම් යොදාගත හැකිද? බයිබලයේ දරුවන්ව සමාන කර තිබෙන්නේ ‘ඔලීව ගසක රිකිලිවලටයි.’ (ගීතාවලිය 128:3) ඒ නිසා ඔබට මෙසේ කිව හැකියි. “ගසක වර්ධනයට හිරු එළිය සහ වතුර අවශ්‍ය වෙනවා වගේ දරුවෙකුට මාපිය සෙනෙහස අවශ්‍යයි.” ඔබ සැසඳීමට යොදාගන්නා දෙය සරල නම් ඔබ ඉගැන්වීමට අදහස් කරන කාරණය ශිෂ්‍යයාට හොඳින් අවබෝධ වෙනවා.

එදිනෙදා ජීවිතයෙන්

11. යේසුස් ගලීලයේ හැදී වැඩුණු කාලයේදී ඔහු දුටු දේවල් උපමා සඳහා යොදාගත් බව පෙන්වා දෙන්නේ කුමන උදාහරණවලින්ද?

11 ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් උපමා ලෙස යොදාගැනීමට යේසුස්ට විශේෂ හැකියාවක් තිබුණා. ගලීලයේ හැදී වැඩුණු කාලයේදී ඔහු දුටු දේවල් ඔහු උපමාවලට යොදාගත්තා. තම මව ධාන්‍ය අඹරන ආකාරය, පිටිවලට මුහුන් දමන ආකාරය, පහනක් දල්වන ආකාරය හා නිවස අතුගාන ආකාරය ඔහු නිතර නිතර දකින්න ඇති. (මතෙව් 13:33; 24:41; ලූක් 15:8) ගලීල මුහුදේ ධීවරයන් දැල් හෙළා මසුන් අල්ලන ආකාරයත් ඔහුට හුරු පුරුදු දසුනක් වන්න ඇති. (මතෙව් 13:47) ඒ වගේම වෙළඳපොළේ දරුවන් සෙල්ලම් කරන ආකාරයත් ඔහුට සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. (මතෙව් 11:16) බීජ වැපිරීම, විවාහ උත්සව, පලවලින් බර වූ කෙත්වතු වැනි දෑ ඔහුට නුපුරුදු දසුන් නොවෙයි. ඒ සෑම දෙයක්ම යේසුස් උපමා සඳහා යොදාගත්තා.—මතෙව් 13:3-8; 25:1-12; මාක් 4:26-29.

12, 13. “යෙරුසලමේ සිට යෙරිකෝව දක්වා” යන පාර යේසුස් උපමාවට යොදාගත්තේ ඇයි?

12 යේසුස් භාවිත කළ උපමා තුළ අසන්නන් හොඳින් දැන සිටි තොරතුරු ඇතුළත් වුණා. ඊට එක් උදාහරණයක් නම් කාරුණික සමරිතානුවරයාගේ උපමාවයි. ඔහු එම උපමාව පටන්ගත්තේ මෙලෙසයි. ‘එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට යෙරිකෝව දක්වා බැස යන පාර දිගේ ගමන් කරමින් සිටියා. එසේ යන විට ඔහු කොල්ලකරුවන් පිරිසකට හසු වුණා. එම කොල්ලකරුවන් ඔහුට හොඳටම පහර දී ඔහුගේ වස්ත්‍ර හා ඔහු ළඟ තිබුණු හැම දෙයක්ම පැහැරගෙන ගියා. ඔවුන් ඔහුව අත්හැර දමා යන විට ඔහු සිහි නැති තත්වයකයි සිටියේ.’ (ලූක් 10:30) එම උපමාවට යේසුස් “යෙරුසලමේ සිට යෙරිකෝවට” යන පාර යොදාගත්තේ ඇයි? යේසුස් ඒ උපමාව පවසද්දී ඔහු සිටියේ යෙරුසලමට යාබද ප්‍රදේශයක් වූ යුදයෙයි. ඒ නිසා ඔහුට සවන් දෙමින් සිටි අයට උපමාවේ සඳහන් කළ මාර්ගය ගැන හොඳ අවබෝධයක් තිබුණා. එය කොල්ලකරුවන් සැඟවී සිටින පාළු පාරක් බවත් තනිව ඒ මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක බවත් කවුරුත් දැන සිටියා.

13 “යෙරුසලමේ සිට යෙරිකෝව දක්වා” දිව යන මාර්ගය ගැන මිනිසුන් දැන සිටි තවත් තොරතුරුද යේසුස් එම උපමාවට ඇතුළත් කළා. ඒ උපමාවට අනුව මුලින්ම පූජකයෙක්ද ඉන්පසුව ලෙවීවරයෙක්ද ඒ මාර්ගයේ ගමන් කළා. නමුත් ඒ දෙදෙනාගෙන් එක් කෙනෙකුවත් තුවාල ලැබූ තැනැත්තාට උපකාර කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. (ලූක් 10:31, 32) පූජකවරු යෙරුසලමේ දේවමාලිගාවේ සේවය කළ අතර ඔවුන්ට සහාය වුණේ ලෙවීවරුයි. එම පූජකයන් හා ලෙවීවරුන්ගෙන් බොහෝදෙනෙක් සේවය නොකරන කාලයේදී නතර වී සිටියේ යෙරුසලමේ සිට කිලෝමීටර් 23ක් එහායින් පිහිටි නගරයක් වන යෙරිකෝවෙයි. ඒ නිසා පූජකයන් හා ලෙවීවරයන් ඒ මාර්ගයේ නිතර දකින්න ලැබීම යේසුස්ට සවන් දෙමින් සිටි ජනයාට සාමාන්‍ය දසුනක් වුණා. මේ ගැනද සලකා බලන්න. යේසුස් සඳහන් කළේ පූජකයා හා ලෙවීවරයා “යෙරුසලමේ සිට” යෙරිකෝවට යන මාර්ගය දිගේ “බැස යන” බවයි. එම කාරණයද යේසුස්ට සවන් දෙමින් සිටි අයට තේරුම්ගැනීමට පහසු වුණා. මන්ද යෙරුසලම පිහිටා තිබුණේ යෙරිකෝවට වඩා ඉහළින්. ඒ නිසා යෙරුසලමේ සිට පැමිණෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ‘බැස යනවා’ මිස නැඟ යන්නේ නැහැ. * යේසුස් නිතරම ඔහුට සවන් දුන් අයගේ අවබෝධය ගැන සැලකිලිමත් වූ බව ඒ උපමාවෙන් පැහැදිලි වෙනවා.

14. උපමා යොදාගැනීමේදී අපට සවන් දෙන අය ගැන සැලකිලිමත් විය හැක්කේ කෙසේද?

14 අපත් උපමා භාවිත කරන විට අපට සවන් දෙන අයගේ වයස, සංස්කෘතිය, පවුල් පසුබිම හෝ රැකියාව ගැන සැලකිලිමත් විය යුතුයි. උදාහරණයකට අප ගොවිතැනට අදාළ යම් දෙයක් උපමාවකට යොදාගන්නවා නම් එය කෘෂිකාර්මික ගම්මානයක ජීවත් වන කෙනෙකුට පහසුවෙන්ම තේරුම්ගැනීමට හැකි වෙයි. නමුත් නගරයේ සිටින කෙනෙකුට එම උපමාව ගැළපෙන්නේ නැහැ. දරුවන්, ගෙවල් දොරවල්, විනෝදාංශ හා කෑම බීම වැනි එදිනෙදා ජීවිතයට අදාළ දේවල්ද උපමා සඳහා යොදාගත හැකියි.

අවට පරිසරයෙන්

15. යේසුස්ට අවට පරිසරය පිළිබඳව හසළ දැනුමක් තිබීම පුදුමයට කාරණයක් නොවන්නේ ඇයි?

15 ගස් වැල්, සතුන් හා කාලගුණය වැනි දේවල් පිළිබඳව යේසුස්ට හසළ දැනුමක් තිබූ බව ඔහු භාවිත කළ බොහෝ උපමාවලින් පැහැදිලි වෙනවා. (මතෙව් 16:2, 3; ලූක් 12:24, 27) ඔහුට එවැනි දැනුමක් ලැබුණේ කොහොමද? යේසුස් ගලීලයේ හැදී වැඩුණු කාලය තුළ ඔහුට අවට පරිසරය හොඳින් නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබෙන්න ඇති. ඒ විතරක් නොවෙයි, යේසුස් “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” වූ නිසාත් යෙහෝවා දෙවි සියල්ල නිර්මාණය කිරීමේදී ඔහුව “ප්‍රධාන සේවකයා” ලෙස යොදාගත් නිසාත් ඔහුට ඒ සියල්ල ගැන මනා අවබෝධයක් තිබුණා. (කොලොස්සි 1:15, 16; හිතෝපදේශ 8:30, 31) යේසුස් එම දැනුම ඉගැන්වීමේදී භාවිත කළ ආකාරය ගැන අපි දැන් සලකා බලමු.

16, 17. (අ) යේසුස්ට බැටළුවන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබූ බව පෙන්වන්නේ කුමකින්ද? (ආ) බැටළුවන් තම එඬේරාගේ හඬ හඳුනන බව පෙන්වන්නේ කුමන උදාහරණයෙන්ද?

16 යේසුස් තමන්ව “උතුම් එඬේරා” කියාත් තම අනුගාමිකයන්ව “බැටළුවන්” කියාත් හැඳින්වූ බව ඔබට මතකද? ඔහු පැවසූ දෙයින් පැහැදිලි වන්නේ බැටළුවන් හා එඬේරුන් අතර කොතරම් කිට්ටු බැඳීමක් තිබෙනවාද කියා ඔහු දැන සිටි බවයි. බැටළුවන් කැමැත්තෙන්ම තම එඬේරාට කීකරු වී ඔහු මඟ පෙන්වන ඕනෑම තැනකට කිසිදු බියක් සැකක් නොමැතිව යන බව යේසුස් පැවසුවා. බැටළුවන් එසේ එඬේරාගේ පසුපස යන්නේ ඇයි? යේසුස් පැවසුවේ, “බැටළුවන් ඔහුගේ හඬ හඳුනන නිසා” කියායි. (යොහන් 10:2-4, 11) ඇත්තටම බැටළුවන් එඬේරාගේ හඬ හඳුනනවාද?

17 ලේඛකයෙක් වන ජෝර්ජ් ඒ. ස්මිත් මෙවැනි දෙයක් සඳහන් කර තිබෙනවා. “අපි යූදා දේශයේ ළිඳක් අසල දහවල් කාලයේ විවේක ගනිමින් සිටියා. ඒ අතරතුර එඬේරුන් තුන් හතරදෙනෙක් තම බැටළු රැළවල් සමඟ එතැනට පැමිණියා. ඒ අවස්ථාවේදී සියලු බැටළුවන් එකට ගැවසෙමින් සිටියා. අපි කල්පනා කළේ එම එඬේරුන් තම තමන්ගේ බැටළුවන් නැවත එක්කාසු කරගන්නේ කොහොමද කියලයි. නමුත් එම බැටළුවන්ට වතුර බොන්න දී කෙටි විවේකයක් ලබා දීමෙන් පසු එඬේරුන් එක් එක් කෙනා එම තැනිතලාවේ විවිධ පැතිවලට බෙදී ගියා. පසුව ඔවුන් තම තමන්ගේ බැටළුවන්ට හඬ ගැසුවා. එවිට එක එක රැළට අයිති බැටළුවන් තම එඬේරා වටා රොක් වුණා. ඉන්පසු තම එඬේරා සමඟ ඒ බැටළුවන් පැමිණි ලෙසින්ම නැවතත් පිටත්ව ගියා.” ඉන් පැහැදිලි වන්නේ බැටළුවන් තමන්ගේ එඬේරාගේ හඬ හඳුනන බවයි. යේසුස්ට කියා දීමට අවශ්‍ය වූයේ අපත් ඔහුගේ සත්‍ය ඉගැන්වීම් හඳුනාගෙන ඔහුගේ මඟ පෙන්වීම් අනුගමනය කරනවා නම් “උතුම් එඬේරා” වන යේසුස්ගේ සැලකිල්ල අපටත් ලබාගත හැකි බවයි. එය පෙන්වා දීමට ඔහු යොදාගත් එම උපමාව තරම් උචිත උපමාවක් තවත් නැහැ.”

18. යෙහෝවා දෙවිගේ නිර්මාණයන් පිළිබඳව අපට තොරතුරු සොයාගත හැක්කේ කිනම් ප්‍රකාශනවලින්ද?

18 අප අවට පරිසරයේ තිබෙන සරල දේවල් ප්‍රබල උපමා ලෙස යොදාගත හැක්කේ කෙසේද? සතුන් තුළ තිබෙන කැපීපෙනෙන ගතිලක්ෂණ ඒ සඳහා අපට යොදාගත හැකියි. යෙහෝවා දෙවිගේ එවැනි නිර්මාණයන් ගැන උදාහරණ රාශියක් බයිබලයේ සඳහන් වෙනවා. සමහර සතුන්ගේ ගතිලක්ෂණ උපමා ලෙස එහි යොදාගෙන තිබෙන ආකාරය අපට දැකගන්න පුළුවන්. උදාහරණයකට මුවන් හා දිවියන්ගේ වේගය, සර්පයන්ගේ සුපරීක්ෂාකාරී බව හා පරෙවියන්ගේ අහිංසකකම වැනි දේවල් එහි සඳහන් වෙනවා. * (1 ලේකම් 12:8; හබක්කුක් 1:8; මතෙව් 10:16) මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඇතුළු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙනත් ප්‍රකාශන තුළින්ද එවැනි තොරතුරු ලබාගත හැකියි. දෙවිගේ විස්මිත නිර්මාණයන් යොදාගෙන එම ප්‍රකාශන තුළ උපමා සකස් කර තිබෙන ආකාරය කියවා බැලීමෙන් ඔබටද උපමා සකස් කරගැනීමට යම් අවබෝධයක් ලබාගත හැකියි.

කවුරුත් දන්නා සිද්ධීන්

19, 20. (අ) ජනයා අතර තිබූ මතයක් බොරු බව පෙන්වා දීමට යේසුස් සැබෑ සිද්ධියක් යොදාගත්තේ කෙසේද? (ආ) ඉගැන්වීමේදී සැබෑ සිදුවීම් හා අද්දැකීම් උදාහරණ ලෙස අපට යොදාගත හැක්කේ කෙසේද?

19 උපමා භාවිතයට ඇතුළත් තවත් ප්‍රබල ක්‍රමයක් වන්නේ සැබෑ සිද්ධීන් උදාහරණ ලෙස යොදාගැනීමයි. එක් අවස්ථාවකදී යේසුස් සැබෑ සිදුවීමක් උදාහරණයක් ලෙස යොදාගෙන මිනිසුන් තුළ තිබූ වැරදි මතයක් නිවැරදි කළා. මිනිසෙකුට විපතක් සිදු වන්නේ ඔහු කළ වරදකට දඬුවමක් ලෙසයි කියා ඔවුන් විශ්වාස කළා. යේසුස් ඔවුන්ට මෙසේ පැහැදිලි කළා. “සිලෝම් පොකුණ ළඟ තිබුණු ටැඹ කඩා වැටුණු විට දහඅටදෙනෙක් ඊට යට වී මිය ගිය ආකාරය ඔබට මතක ඇති. ඔවුන්ට ඒ දේ සිදු වුණේ යෙරුසලමේ සිටින අන් සියලුම මිනිසුන්ට වඩා ඔවුන් පව්කාරයන් වූ නිසාද?” (ලූක් 13:4) ඒ මිනිසුන් 18දෙනා මිය ගියේ ඔවුන් කළ පාපයකට දෙවිගෙන් ලද දඬුවමක් නිසා නොවෙයි. ඔවුන් මිය ගියේ, “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ” දෙයක් ඔවුන්ට සිදු වූ නිසයි. (දේශනාකාරයා 9:11) එලෙස යේසුස් තමාට සවන් දුන් අය දන්නා සැබෑ සිද්ධියක් යොදාගනිමින් ඔවුන්ගේ බොරු මතයක් බිඳ දැමුවා.

20 අපටත් සැබෑ සිදුවීම් හා අද්දැකීම් උදාහරණ ලෙස යොදාගත හැකියි. ඔබ යේසුස් පැමිණ සිටින කාලය පිළිබඳ අනාවැකියේ සඳහන් ලකුණ ගැන සාකච්ඡා කරනවා කියා සිතන්න. ඔබට පුළුවන් යුද්ධ, ආහාර හිඟකම් හෝ භූමිකම්පා ගැන මෑතක පළ වූ ප්‍රවෘත්තියක් සඳහන් කරමින් එම ලකුණට අයත් යම් අංග ඉටු වන ආකාරය පෙන්වා දෙන්න. (මතෙව් 24:3-14) එසේ නැතහොත් තම පෞද්ගලිකත්වය වෙනස් කරගන්නේ කෙසේද කියා පෙන්වා දීමට යම් අයගේ අද්දැකීම් ගැන පැවසිය හැකියි. (එෆීස 4:20-24) එවැනි අද්දැකීම් ඔබ සොයාගන්නේ කොහෙන්ද? ඒ සඳහා ඔබට විවිධ පසුබිම්වලින් පැමිණි අපගේ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල ඇති අද්දැකීම් යොදාගත හැකියි.

21. දෙවිගේ වචනය දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අත් වන ප්‍රයෝජන මොනවාද?

21 ඇත්තෙන්ම යේසුස් ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්. මෙම පොතේ දෙවෙනි කොටසින් සලකා බැලූ ආකාරයට යේසුස්ගේ ජීවිතයේ වැදගත්ම කාර්යය වූයේ ‘ඉගැන්වීම හා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමයි.’ (මතෙව් 4:23) අපේ ජීවිතයෙත් වැදගත්ම කාර්යය එයයි. දක්ෂ ගුරුවරයෙක් වීමෙන් ලැබෙන ආශීර්වාද කියා නිම කළ නොහැකියි. අප ඉගැන්වීමේදී කරන්නේ වටිනා යමක් අන් අයට දීමයි. එසේ දීමෙන් අපට සතුටක් ලැබෙනවා. (ක්‍රියා 20:35) මන්ද අප අන් අයට ලබා දෙන්නේ සදාකාල ප්‍රයෝජන අත් වන යෙහෝවා දෙවි පිළිබඳ දැනුමයි. මෙලොව ජීවත් වූ උතුම්ම ගුරුවරයා වන යේසුස්ගේ ආදර්ශය අප අනුගමනය කරනවා කියා දන්නා නිසාත් අපට තෘප්තියක් ලැබෙනවා.

^ 1 ඡේ. යේසුස් මෙලොව ගත කළ ජීවිතය පිළිබඳව ලියැවුණු මුල්ම වාර්තාව මතෙව්ගේ සුවිශේෂය විය හැකියි. එය ලියැවුණේ යේසුස්ගේ මරණයෙන් අවුරුදු අටකට පමණ පසුවයි.

^ 13 ඡේ. දේවමාලිගාවේ සේවය කිරීමට යන කෙනෙක් මළ සිරුරක් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු වුණා. (ලෙවී කතාව 21:1; ගණන් කතාව 19:16) එම උපමාවේ පූජකයා හා ලෙවීවරයා “යෙරුසලමේ සිට” ගමන් කරමින් සිටියා කියා පැවසීමෙන් අදහස් කරන්නේ ඔවුන් දේවමාලිගාවේ වැඩ නිමා කර නිවෙස් බලා ගමන් කරමින් සිටි බවයි. ඒ නිසා මැරිලා කියා සිතූ මිනිසාට පූජකයා හා ලෙවීවරයා ළං නොවුණේ දේවමාලිගාවේ සේවයට යමින් සිටි නිසයි කියා කිසිවෙකුට ඔවුන් වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියි.

^ 18 ඡේ. සතුන්ගේ කැපීපෙනෙන ගතිලක්ෂණ උපමා ලෙස බයිබලයේ සඳහන් වන ස්ථාන ඇතුළත් ලැයිස්තුවක් සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද Insight on the Scriptures නමැති පොතේ පළමුවෙනි වෙළුමේ 268, 270-271 දක්වා පිටු බලන්න.