Skip to content

පටුනට යන්න

10වෙනි පරිච්ඡේදය

ලියා තිබෙන්නේ මෙලෙසයි

ලියා තිබෙන්නේ මෙලෙසයි

‘මා කියෙවූ එම කොටස දැන් ඉටු වෙනවා’

1-3. නාසරෙත්හි වැසියන්ට කුමන වැදගත් කාරණය අවබෝධ කර දීමටද යේසුස්ට අවශ්‍ය වුණේ? ඒ සඳහා ඔහු යොදාගත්තේ කුමක්ද?

 යේසුස් දේවසේවය ආරම්භ කර වැඩි කලක් ගත වී නැහැ. තමා හැදී වැඩුණු නාසරෙත් නුවරට නැවත වතාවක් ඔහු පැමිණෙනවා. තමා පොරොන්දු වූ ගැලවුම්කරු බව එහි වැසියන්ට අවබෝධ කර දීම ඔහුගේ ගමනේ අරමුණයි. ඔහු එය කරන්නේ කෙසේද?

2 යේසුස් ආශ්චර්යවත් ක්‍රියා කරන බව එම ගම්වාසීන් අසා තිබුණා. එමනිසා ඔවුන් ඉදිරියේද ඔහු එවැනි ක්‍රියාවන් සිදු කරයි කියා ඔවුන් සිතන්න ඇති. නමුත් යේසුස් ඒ අවස්ථාවේදී ආශ්චර්යවත් ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ. ඔහු සුපුරුදු පරිදි සිනගෝගයට යනවා. ශුද්ධ ලියවිල්ලෙන් කොටසක් කියවීමට ඔහු ඉදිරිපත් වූ විට ඔහුට දෙනු ලැබුවේ යෙසායාගේ ලියවිල්ලයි. එය අකුළන ලද ලියවිල්ලක්. අකුළන ලියවිලිවල පරිච්ඡේද හා පද වෙන් වෙන් වශයෙන් සඳහන් කර නැහැ. එමනිසා යේසුස්ට එම ලියවිල්ලේ එක් කෙළවරක් දිගහරින අතරේ අනික් කෙළවර නැවතත් අකුළමින් කියවීමට අවශ්‍ය කොටස සොයාගැනීමට සිදු වුණා. ඔහු තෝරාගත් කොටස අද අප භාවිත කරන බයිබලයේ, යෙසායා 61:1-3 දක්වා සඳහන් වෙනවා.—ලූක් 4:16-19.

3 යේසුස් කියෙව්වේ පැමිණීමට නියමිත ගැලවුම්කරු ගැන ඔවුන් හොඳින් දන්නා අනාවැකියක්. සියලුදෙනාගේම දෑස් යොමු වී තිබුණේ ඔහු දෙසටයි. දසත පැතිර තිබුණේද දැඩි නිහඬතාවක්. ඊළඟට යේසුස් එම අනාවැකිය ගැන මෙසේ පවසනවා. “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා.” යේසුස් එය විස්තරාත්මකව පැහැදිලි කළා විය හැකියි. ඔහු කතා කළේ සවන් දෙන්නන්ගේ සිතට කාවදින ආකාරයටයි. බොහෝදෙනෙක් ඒ ගැන පුදුමයට පත් වුණා. ඒත් සමහරෙක් යේසුස් යම් ආශ්චර්යවත් ක්‍රියාවක් සිදු කරයි කියා බලාපොරොත්තු වූවා විය හැකියි. නමුත් යේසුස් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන්නේ නැහැ. ඔවුන්ට දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් නැති බව පෙන්වා දීමට ඔහු නිර්භීතව ශුද්ධ ලියවිල්ලෙන්ම උදාහරණයක් යොදාගන්නවා. එවිට එම ගම්වාසීන් කෝප වී යේසුස්ව මරා දැමීමට තැත් කරනවා.—ලූක් 4:20-30.

4. යේසුස් තැබූ ආදර්ශය කුමක්ද? මෙම පරිච්ඡේදයෙන් අප සලකා බලන්නේ කුමක්ද?

4 කාරණා ඔප්පු කිරීමට ශුද්ධ ලියවිල්ල යොදාගැනීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක්. ඔහු සේවය කළ කාලය පුරාම ඉගැන්වීම සඳහා එම ක්‍රමය යොදාගත්තා. තමන්ට දෙවිගේ බලය තිබෙන බව පෙන්වීමට යේසුස් ආශ්චර්යවත් ක්‍රියා සිදු කළ බව ඇත්තයි. නමුත් ඔහු ඉතා වැදගත් කොට සැලකුවේ ශුද්ධ ලියවිල්ලෙන්ම කාරණා පැහැදිලි කර දීමටයි. ඔහු එයින් උපුටා දැක්වූ ආකාරය, එය නිවැරදි බව තහවුරු කළ ආකාරය හා එය පහදා දුන් ආකාරය දැන් අපි සලකා බලමු.

ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වීම

5. යේසුස්ට අවශ්‍ය වුණේ තමන්ට සවන් දෙන අය කුමන කාරණය තේරුම්ගන්නවාටද? එය ඔහු පෙන්වූයේ කෙසේද?

5 තමන් දේශනා කරන්නේ කාගේ පණිවිඩයක්ද කියා ජනයා දැනගන්නවාට යේසුස්ට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්.” (යොහන් 7:16) තවත් අවස්ථාවකදී ‘මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැහැ. පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන්නා’ කියා ඔහු පැවසුවා. (යොහන් 8:28) “මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි” කියාද ඔහු පැවසුවා. (යොහන් 14:10) තමා පැවසුවේ පියාණන්ගේ පණිවිඩයක් බව පෙන්වීමට ඔහු යොදාගත් එක් ක්‍රමයක් වන්නේ සෑමවිටම ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වීමයි.

6, 7. (අ) යේසුස් කොතෙක් දුරට හෙබ්‍රෙව් ලියවිලිවලින් උපුටා දැක්වීම් කළාද? එහි තිබෙන විශේෂත්වය කුමක්ද? (ආ) ඉගැන්වීමේදී නීතිය පිටපත් කරන්නන් හා යේසුස් අතර තිබූ වෙනස කුමක්ද?

6 යේසුස්ගේ ඉගැන්වීම් ඔබ අධ්‍යයනය කළා නම් ඔහු හෙබ්‍රෙව් ලියවිලිවලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ සඳහා යොදාගෙන තිබෙන බව ඔබ දකීවි. ඔහු එය කළේ හෙබ්‍රෙව් ලියවිලිවලින් කෙළින්ම හෝ එහි අදහස් පමණක් ගෙනහැර දැක්වීමෙනුයි. නමුත් ඔහු අවුරුදු තුනහමාරක් පුරා සේවය කළ නිසා එවකට තිබූ හෙබ්‍රෙව් ලියවිලි සියල්ලෙන් උපුටා දැක්වීම් නොකළේ ඇයි කියා ඔබට සිතෙන්න පුළුවන්. වාර්තා වී තිබෙන්නේ යේසුස් කළ කී දේවලින් අල්පයක් පමණයි. ඒ නිසා ඔහු එවකට තිබූ හෙබ්‍රෙව් ලියවිලි සියල්ලෙන්ම උපුටා දැක්වීම් කරන්න ඇති. (යොහන් 21:25) මේ ගැනත් සිතා බලන්න. යේසුස් පැවසූ දේවල් පිළිබඳ වාර්තාව කියවන්න සමහරවිට ඔබට ගත වන්නේ පැය කිහිපයක් පමණයි. නමුත් දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් පැය කිහිපයකට කතා කිරීම සඳහා ඔබට අවස්ථාව ලැබුණොත් යේසුස් කළා වගේ හෙබ්‍රෙව් ලියවිලිවලින් අඩකට වැඩි ප්‍රමාණයකින් උපුටා දැක්වීම් කිරීමට ඔබට හැකි වෙයිද? යේසුස් ළඟ සෑමවිටම අකුළන ලියවිලි තිබුණේ නැහැ. ඒත් ඔහුගේ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනයට ඔහු හෙබ්‍රෙව් ලියවිලිවලින් කෙළින්ම උපුටා දැක්වීම් හෝ අදහස් ගෙනහැර දැක්වීම් රාශියක් ඇතුළත් කළා. ඒ සියල්ල ඔහු පැවසුවේ මතකයෙන්!

7 එයින් පෙනෙන්නේ දෙවිගේ වචනය සඳහා යේසුස්ට ඉමහත් ගෞරවයක් තිබූ බවයි. “ඔහු ඉගැන්වූ ආකාරය ගැන රැස්ව සිටි අය මවිතයට පත් වූහ. මන්ද ඔහු නීතිය පිටපත් කරන්නන් මෙන් නොව දෙවි මත රඳා සිටිමින් ඉගැන්වූවේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 1:22) නීතිය පිටපත් කරන්නන් උගන්වන විට මහත් ආශාවක් දැක්වූයේ කලින් සිටි රබ්බිවරුන්ගේ වාචික නීතිරීතිවලින් යම් උපුටා දැක්වීම් කිරීමටයි. නමුත් යේසුස් කිසිවිටකත් එවැනි දෙයක් කළේ නැහැ. ඔහු සෑමවිටම තම ඉගැන්වීම් සඳහා යොදාගත්තේ ශුද්ධ ලියවිල්ලයි. යම් කාරණයක් උගන්වන විට හෝ වැරදි මතයක් නිවැරදි කරන විට ශුද්ධ ලියවිල්ලට යොමු දැක්වීම සඳහා, ‘ලියා තිබේ’ හෝ ඊට සමාන යෙදුම් ඔහු භාවිත කළා.

8, 9. (අ) දේවමාලිගාවේ වෙළෙන්දන්ව පන්නා දැමූ විට තමා කළ ක්‍රියාවට දෙවිගේ අනුමැතිය තිබෙන බව යේසුස් පෙන්නුවේ කෙසේද? (ආ) ආගමික නායකයන් දෙවිටත් ඔහුගේ වචනයටත් අගෞරව කළේ කෙසේද?

8 යෙරුසලමේ දේවමාලිගාවේ සිටි වෙළෙන්දන්ව යේසුස් නිර්භීතව පන්නා දැමූ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවා. “‘මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබන්නේය’ කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් කරනවා.” (මතෙව් 21:12, 13; යෙසායා 56:7; යෙරෙමියා 7:11) ඊට පෙරදා ඔහු දේවමාලිගාව තුළ නොයෙකුත් ආශ්චර්යවත් ක්‍රියා සිදු කර තිබුණා. එය දුටු පිරිමි ළමුන් පුදුමයට පත් වී ඔහුට ප්‍රශංසා කළ විට ආගමික නායකයන් ඒ ගැන කෝපයට පත් වුණා. එම දරුවන් පවසන දේ ඔබට ඇසෙනවාද කියා ඔවුන් යේසුස්ගෙන් විමසූ විට, “ඔව්, මට ඇසෙනවා” කියා ඔහු ඔවුන්ට පැවසුවා. “‘බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබ ප්‍රශංසාව ගෙන දී තිබේ’ යන කොටස ඔබ කවදාවත් කියවා නැද්ද” කියාත් යේසුස් ඔවුන්ගෙන් ඇසුවා. (මතෙව් 21:16; ගීතාවලිය 8:2) යේසුස්ට අවශ්‍ය වුණේ ඒ සිදු වූ සියල්ල ශුද්ධ ලියවිල්ලේ සඳහන් නිසා ඊට දෙවිගේ අනුමැතිය තිබෙන බව ඔවුන්ට පෙන්වා දීමටයි.

9 දින දෙකකට පසුව එම ආගමික නායකයන් සියලුදෙනාම එකට එකතු වී යේසුස් ළඟට පැමිණ, “ඔබට මේ දේවල් කරන්න අවසර තිබෙනවාද? කවුද ඔබට ඒ සඳහා අවසර දුන්නේ” කියා ඔහුගෙන් ඇසුවා. (මතෙව් 21:23) යේසුස් ඒ වන විටත් ඒ කාරණය පැහැදිලිව ඔවුන්ට පෙන්වා දී තිබුණා. ඔහු කෙදිනකවත් තමන්ගේ අදහස් ඇතුළත් අලුත් ඉගැන්වීම් ජනයාට කියා දුන්නේ නැහැ. ඔහු කියා දුන්නේ තම පියාගේ බලයෙන් ලියැවුණු ශුද්ධ ලියවිල්ලේ සඳහන් කාරණායි. එම ආගමික නායකයන් හා නීතිය පිටපත් කරන්නන් යෙහෝවා දෙවිටත් ඔහුගේ වචනයටත් කිසි ගෞරවයක් පෙන්නුවේ නැහැ. ඔවුන් තුළ තිබූ දුෂ්ට චේතනා යේසුස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම සාධාරණයි.—මතෙව් 21:23-46.

10. දේවවචනය භාවිත කිරීම සම්බන්ධයෙන් අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද? එදා යේසුස්ට නොතිබුණු කිනම් පහසුකම්ද අද අපට තිබෙන්නේ?

10 යේසුස් මෙන් අපත් දේවසේවයේදී අන් අයට පවසන්නේ දේවවචනයේ තිබෙන අදහස්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප බයිබලයේ සඳහන් පණිවිඩයක් අන් අයට ප්‍රකාශ කිරීමට මහත් වෑයමක් දරන සෙනඟක් ලෙස ලොව වටා නම් දරා සිටිනවා. අපගේ ප්‍රකාශනවල බයිබලයේ ඇති වගන්ති හා ඒවා රැගෙන තිබෙන ස්ථාන බොහොමයක් සඳහන් වී තිබෙනවා. දේශනා සේවයේදී මිනිසුන් සමඟ කතා කිරීමට ලැබෙන සෑම අවස්ථාවකදීම බයිබලය පෙරළා යම් තොරතුරක් ඔවුන්ට පෙන්වන්න අප වෑයම් කරනවා. (2 තිමෝති 3:16) බයිබල් පදයක් කියවා එහි අර්ථය පහදා දී එය ඔහුට අදාළ වන ආකාරය පෙන්වීමට යමෙකු අපට අවස්ථාව දෙන විට එය අපට මහත් සතුටක්! යේසුස්ට තිබුණා හා සමාන මතක ශක්තියක් අපට නැති බව ඇත්තයි. නමුත් යේසුස්ට නොතිබුණු උපකාර අපට තිබෙනවා. අපට සම්පූර්ණ බයිබලයම තිබෙන අතර එය භාෂා ගණනාවකින්ද ලබාගත හැකියි. ඒ වගේම බයිබල් පදයක් ඉක්මනින්ම සොයාගැනීමට අවශ්‍ය උපකාරත් අපට තිබෙනවා. එසේනම් නිතරම බයිබලයෙන් කාරණා පෙන්වා දීම හා මිනිසුන්ගේ අවධානය ඒ වෙතට යොමු කිරීම අපේ අදිටන විය යුතුයි.

ශුද්ධ ලියවිල්ල නිවැරදි බව තහවුරු කිරීම

11. ශුද්ධ ලියවිල්ල නිවැරදි බව තහවුරු කිරීමට යේසුස්ට සිදු වුණේ ඇයි?

11 මනුෂ්‍යයන් ශුද්ධ ලියවිලි වැරදි ආකාරයට යොදාගන්නා බව යේසුස් දුටුවා. මේ “ලෝකයේ පාලකයා” වන සාතන් ‘බොරුකාරයෙක් හා බොරුවේ පියා’ නිසා එවැනි දෙයක් සිදු විය හැකි බව ඔහු තේරුම්ගත්තා. (යොහන් 8:44; 14:30) නමුත් දෙවි “පවසන දේ සත්‍යය” බව යේසුස් හොඳින්ම දැන සිටියා. (යොහන් 17:17) සාතන් යේසුස්ව වරදට පොලඹවාගැනීමට තැත් කළ අවස්ථාවේදී යේසුස් තුන් වතාවක්ම ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වූවා. එවිට සාතන්ද ශුද්ධ ලියවිල්ලේ ගීතාවලිය පොතෙන් පදයක් උපුටා දැක්වූ නමුත් ඔහු එය අදාළ කළේ වැරදි ආකාරයටයි. ඒ අවස්ථාවේදී ඔහු වැරදි බව යේසුස් පැහැදිලිව පෙන්වා දුන්නා.—මතෙව් 4:6, 7.

12-14. (අ) ආගමික නායකයන් දෙවිගේ නීතියට අගෞරව කළේ කෙසේද? (ආ) යේසුස් දෙවිගේ නීතියේ නියම හරය පහදා දුන්නේ කෙසේද?

12 මිනිසුන් ශුද්ධ ලියවිල්ල වැරදි ලෙස අවබෝධ කරගත් විට යේසුස් ඔවුන්ව නිවැරදි කළා. ඒ වගේම ඔවුන් තම වාසියට ශුද්ධ ලියවිල්ල යොදාගැනීමට වෑයම් කළ විට ඔහු ඊට විරුද්ධ වුණා. ඔහුගේ කාලයේ සිටි ආගමික ගුරුවරුන් දෙවි විසින් මෝසෙස්ට ලබා දුන් නීතියේ නියම හරය වටහාගෙන තිබුණේ නැහැ. එනම් ඔවුන් එම නීතිවල තිබූ ප්‍රතිපත්ති තේරුම් නොගෙන එතරම් වැදගත් නැති කාරණාවලට මුල් තැන දුන්නා. ඒ නිසා ඔවුන් තම නමස්කාරයට අදාළ බාහිර ක්‍රියාකාරකම් වැදගත් කොට සැලකූ අතර යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම වැනි වඩාත් බැරෑරුම් කාරණා නොසලකාහැරියා. (මතෙව් 23:23) යේසුස් දෙවිගේ නීතියේ නියම හරය පැහැදිලි කර දුන්නේ කොහොමද?

13 යේසුස් කන්ද උඩ දේශනයේදී දෙවි දුන් නීති අතරින් යම් නීති ගෙනහැර දැක්වීමෙන් පසු, “පවසා තිබූ බව ඔබ අසා ඇති” යන යෙදුම භාවිත කළා. ඊළඟට ඔහු, “නමුත් මා ඔබට කියන්නේ” කියා පවසමින් නීතිය නිකම්ම පිළිපැදීමට වඩා එහි හරය වටහාගැනීමට ඔවුන්ට උපකාර කළා. එසේ කිරීමෙන් ඔහු කටයුතු කළේ නීතියට විරුද්ධවද? නැහැ. උදාහරණයකට “මිනී නොමරන්න” යන නීතිය සෑම කෙනෙක්ම දැන සිටියා. නමුත් යේසුස් පැවසුවේ ඔවුන් නීතියේ හරය අවබෝධ කරගෙන සිටියා නම් යමෙකු කෙරෙහි වෛරසහගත හැඟීමක් පවා ඔවුන් ඇති කර නොගන්නා බවයි. මන්ද මිනී මැරීමට මුලපුරන්නේ වෛරයයි. එලෙසම තමන්ගේ සහකරු හෝ සහකාරිය නොවන කෙනෙකු ගැන රාගික හැඟීම් ඇති කරගැනීම, අනාචාරයේ යෙදෙන්න එපා කියා දෙවි දුන් නීතිය කැඩීම හා සමාන බව ඔහු පැවසුවා.—මතෙව් 5:17, 18, 21, 22, 27-39.

14 අවසානයේදී යේසුස් මෙසේ පැවසුවා. “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් පවසා ඇති බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න” කියායි. (මතෙව් 5:43, 44) “සතුරාට වෛර කරන්න” යන ආඥාව දේවවචනයේ සඳහන් දෙයක්ද? නැහැ. එය එදා සිටි ආගමික නායකයන්ගේ ඉගැන්වීමක්. ඔවුන් දෙවිගේ නීතියට මිනිසුන්ගේ අදහස් එකතු කිරීමෙන් දෙවිගේ නීතියේ තිබෙන බැරෑරුම්කම බාල කළා. නමුත් යේසුස්, මිනිසුන්ගේ සම්ප්‍රදායන් නිසා දේවවචනයට සිදු විය හැකි හානිය ඉවත් කිරීම සඳහා නිර්භීතව කතා කළා.—මාක් 7:9-13.

15. දෙවිගේ නීතිය පිළිපැදීම සම්බන්ධයෙන් මිනිසුන්ට තිබූ අසාධාරණ අදහස් යේසුස් නිවැරදි කළේ කොහොමද?

15 දෙවිගේ නීතිය අසාධාරණ බව හැඟෙන්න සැලැස්වීමෙන්ද ආගමික නායකයන් ඊට අගෞරව කළා. උදාහරණයකට සබත් දවසක යේසුස්ගේ ගෝලයන් ධාන්‍ය කරල් කිහිපයක් කැඩූ නිසා ඔවුන් සබත් නීතිය උල්ලංගනය කළ බව පරිසිවරු කියා සිටියා. නීතිය පිළිපැදීම සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ අසාධාරණ අදහස් නිවැරදි කිරීමට යේසුස් දේවවචනයේ සඳහන් සිද්ධියක් යොදාගත්තා. පූජකයන් නොවන අය පිදීමේ රොටි අනුභව කිරීම සම්බන්ධයෙන් දේවවචනයේ වාර්තා කර තිබෙන එකම අවස්ථාව ඒ සඳහා යොදාගත්තා. එනම් කුසගින්නෙන් සිටි දාවිත් සහ ඔහුගේ මිත්‍රයන් එම පිදීමේ රොටි කෑමට ගත් අවස්ථාවයි. එම කාරණය ගෙනහැර දැක්වීමෙන් යෙහෝවා දෙවි මොන තරම් දයානුකම්පිත දෙවි කෙනෙකුද යන්න ගැන එම පරිසිවරුන්ට හරි අවබෝධයක් නොතිබූ බව යේසුස් පෙන්වා දුන්නා.—මාක් 2:23-27.

16. දික්කසාදය සම්බන්ධයෙන් දෙවි දුන් නීතිය ආගමික නායකයන් වෙනස් කර තිබුණේ කෙසේද? යේසුස් ඒ සම්බන්ධයෙන් කළේ කුමක්ද?

16 ආගමික නායකයන් දෙවිගේ නීතිය තම වාසියට හරවාගැනීමටද ක්‍රම සොයාගත්තා. උදාහරණයකට, තම භාර්යාව “නොමනා ආකාරයකින් හැසිරෙන බව” දුටුවොත් ඇයව දික්කසාද කිරීමට පුරුෂයෙකුට දෙවිගේ නීතියේ අවසර තිබුණා. ‘නොමනා හැසිරීම’ යන්නෙන් අදහස් කළේ තම පවුලට අගෞරවයක් වන තරම් බරපතළ වරදක නියැලීම විය හැකියි. (ද්විතීය කතාව 24:1) නමුත් ඒ කාලයේ ආගමික නායකයන් නීතියෙන් ලැබුණු එම අවසරය, කෑමක් පිළියෙල කිරීමේදී සිදු වන අතපසු වීමක් වැනි සුළු කාරණයකට පවා තම භාර්යාවව දික්කසාද කිරීමට හේතුවක් කරගත්තා! * මෝසෙස් දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියූ ඒ වදන් ඔවුන් තමන්ගේ වාසියට හරවාගෙන තිබූ බව යේසුස් පෙන්වා දුන්නා. ඉන්පසු ඔහු විවාහය සඳහා යෙහෝවා දෙවි මුලින්ම ඇති කළ ප්‍රමිතිය එනම් එක් ස්වාමිපුරුෂයෙකුට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණයි යන ප්‍රමිතිය යළි පිහිටෙව්වා. එමෙන්ම දික්කසාද වීමට තිබෙන එකම පදනම වේශ්‍යාකම බව ඔහු පෙන්වා දුන්නා.—මතෙව් 19:3-12.

17. අද දින සිටින යේසුස්ගේ අනුගාමිකයන් දේවවචනයේ සඳහන් ඉගැන්වීම් සත්‍යය බව අන් අයට තහවුරු කරන්නේ කෙසේද?

17 අද දින සිටින යේසුස්ගේ අනුගාමිකයන්ද දෙවිගේ වචනයේ සඳහන් ඉගැන්වීම් අන් අයට පහදා දීමෙන් එය සත්‍යය බව තහවුරු කරනවා. බයිබලයේ සඳහන් සදාචාර ප්‍රමිති අද දිනට ගැළපෙන්නේ නැහැ කියා ආගමික නායකයන් පවසනවා නම් ඇත්තටම ඔවුන් කරන්නේ දෙවිගේ වචනයට අගෞරවයක්. ඔවුන්ගේ බොරු ඉගැන්වීම් බයිබලයට එකඟ බව පැවසීමෙන්ද ඔවුන් කරන්නේ ඒ හා සමාන දෙයක්. යේසුස්ගේ අනුගාමිකයන් වශයෙන් දේවවචනයේ සඳහන් සත්‍ය ඉගැන්වීම් ජනයාට පැහැදිලි කර දීමට ලැබීම අප භාග්‍යයක් කොට සලකනවා. උදාහරණයකට සැබෑ දෙවි ත්‍රිත්වයක් නොවන බව අප ජනයාට කියා දෙනවා. (ද්විතීය කතාව 4:39) නමුත් අප ඒ දේ කරන්නේ කාරුණිකව හා ගෞරවනීය ආකාරයටයි.—1 පේතෘස් 3:15.

ශුද්ධ ලියවිලි පහදා දීම

18, 19. ශුද්ධ ලියවිලි පහදා දීමට යේසුස්ට තිබූ විශිෂ්ට හැකියාව පෙන්වන සිද්ධීන් මොනවාද?

18 දෙවිගේ මඟ පෙන්වීම යටතේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ලියන කාලයේදී යේසුස් සිටියේ ස්වර්ගයෙයි. පොළොවට පැමිණ දේවවචනය ගැන මිනිසුන්ට පැහැදිලි අවබෝධයක් ලබා දීමට අවස්ථාව ලැබුණු විට එය ඔහුට මොන තරම් සතුටක් ගෙන දෙන්න ඇද්ද! උදාහරණයකට ඔහු නැවත නැඟිටුණු පසු එම්මාවුස් නගරයට යමින් සිටි තම ගෝලයන් දෙදෙනෙකුව මුණගැසුණු විට සිදු වූ දේ සලකා බලන්න. ඔවුන් යේසුස්ව හඳුනාගත්තේ නැහැ. තමන් බොහෝ සෙයින් ආදරය කළ තම ස්වාමියාගේ මරණය ගැන දුකින් සිටින බව ඔවුන් යේසුස්ට පැවසුවා. යේසුස් ඔවුන්ට පැවසුවේ කුමක්ද? ‘ඔහු මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නා.’ ඔවුන්ට ඒ ගැන හැඟුණු දේ ඔවුන් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!”—ලූක් 24:15-32.

19 එදිනම යේසුස් තමන්ගේ නියෝජිතයන් හා වෙනත් අනුගාමිකයන්ව හමු වී, ‘ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය අවබෝධ කරගැනීමට ඔවුන්ට උපකාර කළා.’ (ලූක් 24:45) එය ඔවුන්ට ප්‍රීතිමත් අවස්ථාවක් වූ බව නිසැකයි. යේසුස් මිය යෑමට පෙරද බොහෝ අවස්ථාවලදී එසේ ශුද්ධ ලියවිලි තේරුම්ගැනීමට උපකාර කළ ආකාරය ඔවුන්ට එදින සිහිපත් වන්න ඇති. ඔවුන් දැනගෙන සිටි ශුද්ධ ලියවිලි පද යේසුස් පැහැදිලි කර දුන් විට ඔවුන්ට ඒ ගැන අලුත් අවබෝධයක් ලැබුණු අතර වඩා පැහැදිලිව එය තේරුම්ගැනීමටද හැකි වුණා.

20, 21. ඇවිළෙන කටු පඳුර අසලදී දෙවි මෝසෙස්ට පැවසූ දේ යේසුස් පැහැදිලි කළේ කෙසේද?

20 යුදෙව් ආගමික නිකායක් වන සද්දුසිවරු නැවත නැඟිටීම පිළිගත්තේ නැහැ. ඒ නිසා යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “මිය ගිය අය නැවත නැඟිටින ආකාරය ගැන දෙවි විසින් ඔබට කී මේ දේ ඔබ කියවා නැද්ද? එනම්, ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය.’ දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි.” (මතෙව් 22:31, 32) එය ඔවුන් හොඳින් දන්නා ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොටසක්. ඒ විතරක් නොවෙයි, එය ලියා තිබුණේ ඔවුන් ගෞරවයෙන් සැලකූ මෝසෙස් විසිනුයි. යේසුස් ශුද්ධ ලියවිලි පැහැදිලි කිරීමට යොදාගත් තර්කය කොතරම් ප්‍රබලද කියා ඔබට තේරුම්ගත හැකිද?

21 ශුද්ධ ලියවිල්ලේ සඳහන් එම සිද්ධිය සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 1514දීයි. ඒ, ඇවිළෙන කටු පඳුර අසලදී යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළ අවස්ථාවයි. (නික්මයාම 3:2, 6) ඒ වන විට ආබ්‍රහම් මිය ගොස් වසර 329කුත් ඊසාක් මිය ගොස් වසර 224කුත් යාකොබ් මිය ගොස් වසර 197කුත් ගත වී තිබුණා. ඒත්, දෙවි පැවසුවේ ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය’ කියායි. යෙහෝවා දෙවි, වෙනත් ජාතීන් නමස්කාර කළ දෙවිවරුන් හා සමාන මළවුන්ගේ දෙවි කෙනෙකු නොවන බව එම සද්දුසිවරු දැන සිටියා. යේසුස් පැවසූ ආකාරයට ඔහු “ජීවත් වන අයගේ දෙවියි.” එසේ පැවසීමෙන් යේසුස් අදහස් කළේ, “ඔවුන් මිය ගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය” ලෙසයි. (ලූක් 20:38) දැනටමත් මිය ගොස් සිටින දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඔහුගේ මතකයේ නොමැකෙන සේ සදාකාලයටම රැඳී සිටිනවා. එවැනි අයව නැවත නැඟිටුවීමට දෙවි දී තිබෙන පොරොන්දුව කොතරම් ස්ථිරද කිවහොත් දෙවිට ඔවුන් ජීවත් වෙනවා හා සමානයි. (රෝම 4:16, 17) යේසුස් මොන තරම් කදිම ආකාරයෙන් ශුද්ධ ලියවිලි පහදා දුන්නාද! “සමූහයෝ ඔහු ඉගැන්වූ දේ ගැන විස්මයට” පත් වීම පුදුමයක්ද!—මතෙව් 22:33.

22, 23. (අ) ශුද්ධ ලියවිලි පහදා දීමේදී අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් අප සලකා බලන්නේ කුමක්ද?

22 යේසුස් ශුද්ධ ලියවිලි පහදා දුන් ආකාරය අපටත් අනුකරණය කළ හැකියි. යේසුස් තරම් තියුණු මතක ශක්තියක් හා හැකියාවක් අපට නැති බව ඇත්තයි. ඒ වුණත් දේශනා සේවයේදී ජනයා හොඳින් දන්නා බයිබල් පදවල, ඔවුන් නොදුටු පැති පෙන්වා දීමට අපට අවස්ථාව ලැබෙනවා. උදාහරණයකට ඔවුන් දෙවිගේ නම හා ඔහුගේ රාජ්‍යය කුමක්ද කියා නොදැන, “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා!” යනුවෙන් ස්වාමීන්ගේ යාච්ඤාව කුඩා කල පටන් කියන්න ඇති. එවැනි අවස්ථාවල දෙවිගේ නම හා ඔහුගේ රාජ්‍යය කුමක්ද කියා ඔවුන්ට පහදා දීමට අපට හැකියි. (මතෙව් 6:9, 10) බයිබලයේ සඳහන් එවැනි වැදගත් කාරණා යමෙකුට පැහැදිලි කර දීමට අවස්ථාවක් ලැබෙන විට අපට දැනෙන්නේ මොන තරම් සතුටක්ද!

23 ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍ය ඉගැන්වීම් අන් අයට පහදා දීමේදී එහි පද උපුටා දැක්වීමෙන්, එය නිවැරදි බව තහවුරු කිරීමෙන් හා එය පහදා දීමෙන් අපට යේසුස්ව අනුකරණය කළ හැකියි. යේසුස් අසන්නන්ගේ හදවතට කාවදින ආකාරයෙන් ඉගැන්වීමට යොදාගත් ක්‍රම කිහිපයක් අපි ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලමු.

^ 16 ඡේ. පළමු ශතවර්ෂයේ විසූ ජොසීෆස්, දික්කසාද වූ පරිසිවරයෙක්. ඔහු පැවසුවේ පුරුෂයෙකුට “ඕනෑම හේතුවක් මත” තම භාර්යාවව දික්කසාද කළ හැකි බවයි.