Skip to content

පටුනට යන්න

2වෙනි පරිච්ඡේදය

‘මාර්ගය, සත්‍යය හා ජීවනය’

‘මාර්ගය, සත්‍යය හා ජීවනය’

“මගේ අනුගාමිකයෙක් වෙන්න”

1, 2. අපට තනිව යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත නොහැක්කේ ඇයි? යේසුස් අපට උපකාර කරන්නේ කෙසේද?

 ඔබේ මිතුරෙකු හෝ නෑදෑයෙකු බැලීමට යන විට මාර්ගය සොයාගැනීමට නොහැකිව අතරමං වූ අවස්ථාවක් ඔබට මතකද? ඔබ ඒ නුපුරුදු මාර්ගයේ යන විට කාගෙන් හෝ මඟ පෙන්වීම් පැතුවාද? ඒ අවස්ථාවේදී කරුණාවන්ත පුද්ගලයෙකු, යා යුතු මාර්ගය කියා දෙනවා වෙනුවට “මාත් එක්ක එන්න, මම ඔයාට පාර පෙන්වන්නම්” කියා පැවසුවොත් ඔබට කොයි තරම් සහනයක් දැනෙයිද!

2 යේසුස් අප වෙනුවෙන් කළේද එවැනි දෙයක්. උරුම වූ පාපය නිසා මුළු මිනිස් වර්ගයාම සිටින්නේ “දෙවි ලබා දෙන ජීවනයෙන් ඈත් වී” මංමුළා වූ තත්වයකයි. (එෆීස 4:17, 18) එනම් තනිව දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට නොහැකි අසරණ තත්වයකයි. අපගේ උතුම් ආදර්ශකයා වන යේසුස් අපට මඟ පෙන්නුවා පමණක් නොවෙයි ඔහු අපව නිවැරදි මාර්ගයේ ගෙන යෑමට ඉදිරිපත් වුණා. ඒ නිසයි අප පළමුවෙනි පරිච්ඡේදයේ දුටු ආකාරයට ඔහුගේ “අනුගාමිකයෙක් වෙන්න” කියා ඔහු අපට ආරාධනා කළේ. (මාක් 10:21) ඒ වගේම එම ආරාධනය පිළිගැනීමේ ඇති වැදගත්කම අපට කාවැද්දීම සඳහා යේසුස් එක් අවස්ථාවකදී මෙවැනි දෙයක් පැවසුවා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) මේ පරිච්ඡේදයේ අපි මුලින්ම සාකච්ඡා කරන්නේ පියාණන් වෙතට යා හැක්කේ පුත්‍රයා තුළින් පමණයි කියා පැවසීමට හේතු වූ කාරණා ගැනයි. ඉන්පසු යේසුස් “මාර්ගයත් සත්‍යයත් ජීවනයත්” වන්නේ කෙසේද කියා සලකා බලමු.

යේසුස්ට ලැබුණු විශේෂ කාර්යය

3. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැක්කේ යේසුස් තුළින් පමණයි කියා පවසන්නේ ඇයි?

3 දෙවි වෙතට ළං වීමට හැක්කේ යේසුස් තුළින් පමණයි. ඊට හේතුව යෙහෝවා දෙවි ඔහුගේ සියලු අරමුණු ඉටු කිරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ ඔහුවයි. * (2 කොරින්ති 1:20; කොලොස්සි 1:18-20) යේසුස්ට හිමි ඒ විශේෂ කාර්යය තේරුම්ගැනීම සඳහා ඒදන් උයනේදී මුල් මිනිස් යුවළ සාතන් සමඟ එක් වී යෙහෝවා දෙවිට විරුද්ධ වීම නිසා සිදු වුණේ කුමක්ද කියා අප සලකා බැලිය යුතුයි.—උත්පත්ති 2:16, 17; 3:1-6.

4. ඒදන් උයනේ ඇති වූ කැරැල්ල නිසා ඉස්මතු වූ ප්‍රශ්නය කුමක්ද? එය විසඳීමට යෙහෝවා දෙවි කළේ කුමක්ද?

4 ඒදන් උයනේ ඇති වූ කැරැල්ල නිසා වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු වුණා. එනම් යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය සාධාරණද යන්නයි. එම ප්‍රශ්නය විසඳීමට යෙහෝවා දෙවි තමන්ගේ විශ්වාසවන්ත දේවදූතයන් අතරින් එක් දේවදූතයෙකුව පොළොවට එවීමට තීරණය කළා. එම දේවදූතයාට කිරීමට සිදු වූයේ බැරෑරුම් කාර්යයක්. දෙවිගේ පාලනය සාධාරණ බව ඔප්පු කිරීමටත් මනුෂ්‍ය වර්ගයාව පාපයෙන් ගලවාගැනීම සඳහා ඔහුගේ ජීවිතය පූජා කිරීමටත් ඔහුට සිදු වුණා. එම දේවදූතයා මරණය දක්වාම විශ්වාසවන්තව සිටීමෙන් පමණයි සාතන් කළ සියලු චෝදනා බොරු බව ඔප්පු වන්නේ. (හෙබ්‍රෙව් 2:14, 15; 1 යොහන් 3:8) යෙහෝවා දෙවිට ස්වර්ගයේ දසදහස් වර දසදහසක් දේවදූතයෝ සිටියා. (දානියෙල් 7:9, 10) නමුත් මෙම විශේෂ කාර්යය සඳහා යෙහෝවා දෙවි තෝරාගත්තේ ‘තමාගේ එකම පුත්‍රයාවයි.’ ඔහු පොළොවට පැමිණි පසු ඔහුව හඳුන්වනු ලැබුවේ යේසුස් ක්‍රිස්තුස් ලෙසයි.—යොහන් 3:16.

5, 6. යෙහෝවා දෙවිට තම පුත්‍රයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙන බව පෙන්නුවේ කෙසේද? එම විශ්වාසයට පදනම කුමක්ද?

5 යෙහෝවා දෙවි ගත් තීරණය ගැන අපි පුදුම විය යුතුද? කොහෙත්ම නැහැ. දෙවිට තම පුත්‍රයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. එම පුත්‍රයා සියලු වධ වේදනා හමුවේ විශ්වාසවන්තව සිටියි කියා ඔහු පොළොවට පැමිණීමට සියවස් ගණනාවකට පෙර යෙහෝවා දෙවි පැවසුවා. (යෙසායා 53:3-7, 10-12; ක්‍රියා 8:32-35) මේ ගැන ටිකක් සිතා බලන්න. යේසුස්ටත් අනික් දේවදූතයන්ට මෙන් තමන් කැමති දේ කිරීමට පූර්ණ නිදහස තිබුණා. එසේවුවත් තම පුත්‍රයාගේ විශ්වාසවන්තකම ගැන යෙහෝවා දෙවිට කිසිම සැකයක් තිබුණේ නැහැ. දෙවිට එවැනි නිසැකකමක් ඇති වුණේ කොහොමද? ඒ තම පුත්‍රයාව දෙවි හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසයි. ඒ වගේම තම පුත්‍රයාට තමාව සතුටු කිරීමට කොයි තරම් ආශාවක් තිබෙනවාද කියාත් දෙවි දැන සිටියා. (යොහන් 8:29; 14:31) පුත්‍රයාට පියා කෙරෙහි ඇත්තේ ඉමහත් ප්‍රේමයක්. පියාටද පුත්‍රයා කෙරෙහි ඇත්තේ එවැනිම ප්‍රේමයක්. (යොහන් 3:35) එම ප්‍රේමය කිසිදා බිඳිය නොහැකි බැඳීමකට දායක වී තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර විශ්වාසයක් හා එක්සත්කමක් ඇති වී තිබෙන්නේ ඒ නිසයි.—කොලොස්සි 3:14.

6 අප සාකච්ඡා කළ ආකාරයට දෙවි වෙතට ළං වීමට ඇති එකම මාර්ගය යේසුස් බව පැහැදිලියි. ඊට හේතුව පුත්‍රයාට හිමි විශේෂ කාර්යය, පියාට පුත්‍රයා ගැන ඇති පූර්ණ විශ්වාසය හා ඔවුන් දෙදෙනා අතර ඇති ඉමහත් ප්‍රේමයයි. අපව පියා වෙතට ළං කරවීමට හැක්කේ පුත්‍රයාට පමණයි කියා පැවසීමට තවත් හේතුවක් තිබෙනවා. ඊළඟට අපි ඒ ගැන සලකා බලමු.

පියාණන්ව හොඳින්ම හඳුනන්නේ පුත්‍රයායි

7, 8. ‘පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නේ පුත්‍රයායි’ කියා කීමට යේසුස්ට හැකි වුණේ කොහොමද?

7 යෙහෝවා දෙවි වෙතට ළං වීමට නම් අප විසින් කළ යුතු දේවල් තිබෙනවා. (ගීතාවලිය 15:1-5) ඒ ගැන අපට කියා දීමට සුදුසුම තැනැත්තා යේසුස්. මන්ද දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අප පිළිපැදිය යුතු ඔහුගේ ප්‍රමිති මොනවාද කියා පුත්‍රයාට වඩා දන්නා කෙනෙක් තවත් නැති නිසයි. ඔහු ඒ පිළිබඳව මෙසේ සඳහන් කළා. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්. පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ. පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.” (මතෙව් 11:27) ‘පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නේ පුත්‍රයායි’ කියා යේසුස් පැවසීම නිවැරදි සහ යෝග්‍ය දෙයක් වන්නේ ඇයි කියා දැන් අපි සලකා බලමු.

8 “දෙවිගේ කුලුඳුල් නිර්මාණය ඔහු” නිසා යේසුස්ට යෙහෝවා දෙවි සමඟ ඇත්තේ කිට්ටු බැඳීමක්. (කොලොස්සි 1:15) ස්වර්ගයේ අනික් ජීවීන් නිර්මාණය කිරීමට පෙර, පියා හා පුත්‍රයා පමණක් අපට සිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් පුරා ජීවත් වුණා. ඒ කාලයේදී ඔවුන් දෙදෙනා අතර මොන තරම් කිට්ටු බැඳීමක් ඇති වෙන්න ඇද්ද! (යොහන් 1:3; කොලොස්සි 1:16, 17) යේසුස්ට තම පියා සිතන ආකාරය, ඔහු ආශා කරන දේ හා ඔහුගේ ප්‍රමිති මොනවාද කියා දැනගැනීමට එය කදිම අවස්ථාවක් වූ බව ස්ථිරයි. ඒ අනුව බලන විට යෙහෝවා දෙවිව හොඳින්ම හඳුනන්නේ යේසුස් කියා පැවසීමෙහි කිසිදු වරදක් නැහැ. ඔවුන් අතර තිබූ ඒ කිට්ටු බැඳීම නිසා තම පියාණන් කොයි වගේ කෙනෙක්ද කියා අන් කිසිවෙකුට වඩා හොඳින්ම හෙළි කිරීමට හැකියාව තිබුණේ යේසුස්ටයි.

9, 10. (අ) යේසුස් තම පියාව හඳුන්වා දුන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

9 යෙහෝවා දෙවි සිතන ආකාරය හා තම නමස්කාරකයන්ගෙන් ඔහු බලාපොරොත්තු වන දේ පිළිබඳව යේසුස් හොඳින් දැන සිටියා. ඒ බව ඔහුගේ ඉගැන්වීම් තුළින් පැහැදිලි වෙනවා. * තම පියාව හඳුනාගත හැකි තවත් විශේෂ ආකාරයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.” (යොහන් 14:9) යේසුස් සෑමවිටම තම පියාව මුළුමනින්ම අනුකරණය කළා. ඔහු මිනිසුන්ට ඉගැන්වීම සඳහා යොදාගත් සිතට කාවදින වදන්, රෝගීන්ව සුව කිරීමට ඔහුගේ හදවත පෙලඹුණු ආකාරය සහ දුක්බර අවස්ථාවල ඔහු කඳුළු සැලූ ආකාරය පිළිබඳ වාර්තා බයිබලයෙන් කියවන විට, යෙහෝවා දෙවි මොන වගේ දෙවි කෙනෙක්ද කියා අපට සිතින් මවාගත හැකියි. (මතෙව් 7:28, 29; මාක් 1:40-42; යොහන් 11:32-36) ඇත්තෙන්ම පියා ක්‍රියා කරන ආකාරය හා ඔහුගේ අරමුණු පුත්‍රයා කළ කී දෙයින් මනාව පිළිබිඹු වුණා. (යොහන් 5:19; 8:28; 12:49, 50) ඒ නිසා යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමට නම් අප යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිමින් ඔහුගේ ආදර්ශය අනුකරණය කළ යුතුයි.—යොහන් 14:23.

10 යෙහෝවා දෙවිව හොඳින්ම දැන සිටින හා ඔහුව මුළුමනින්ම අනුකරණය කරන එකම තැනැත්තා යේසුස්. ඒ නිසා මිනිසුන්ට, තමා වෙතට ළඟා වීමට හැක්කේ යේසුස් තුළින් පමණයි කියා දෙවි තීරණය කිරීම පුදුමයට කාරණයක් නොවෙයි. දැන් අපට ඒ කාරණය ගැන යම් අවබෝධයක් තිබෙන නිසා, “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියා යේසුස් පැවසූ දෙයෙහි අර්ථය සොයා බලමු.—යොහන් 14:6.

‘මාර්ගය මමයි’

11. (අ) යේසුස්ගේ කාර්යයෙහි වැදගත්කම යොහන් 14:6හි කාවද්දන්නේ කෙසේද? (ආ) දෙවිගේ අනුමැතිය දිනාගැනීමට හැකි වන්නේ යේසුස් තුළින් පමණක් වීමට හේතුව කුමක්ද?

11 යොහන් 14:6හි සඳහන් පරිදි යේසුස් තුළින් මිස දෙවි වෙතට ළං වීමට මිනිසුන්ට වෙනත් මඟක් නැති බව අප දැනටමත් සාකච්ඡා කළා. නමුත් ‘මාර්ගය මමයි’ කියා යේසුස් පැවසූ විට එහි තවත් වැදගත් කාරණයක් ගැබ්වී තිබෙනවා. යේසුස් ‘මාර්ගය’ වීමෙන් අදහස් කරන්නේ දෙවිගේ අනුමැතිය ලබන්න අපට තිබෙන එකම මඟ ඔහු බවයි. යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක් නිසා පාපය උරුම වූ මිනිසාට කෙදිනකවත් දෙවි සමඟ බැඳීමක් ඇති කරගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. (යෙසායා 6:3; 59:2) නමුත් යේසුස්ගේ ජීවිත පූජාවෙන් දෙවිත් අපත් අතර තිබූ ඒ බාධකය ඉවත් වූ අතර අපගේ පව්වලට සමාව ලබාගැනීමේ හැකියාවද ලැබුණා. (හෙබ්‍රෙව් 10:12; 1 යොහන් 1:7) යේසුස් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිමින් අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළ නිසා අපට දෙවිගේ අනුමැතිය ලබන්න ඔහු ‘මාර්ගය’ විවර කළා. (මතෙව් 20:28) යේසුස් එසේ නොකළා නම් අපට කිසිදාක දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ. අප යේසුස්ගේ ජීවිත පූජාව අගය කරමින් ඒ කෙරෙහි විශ්වාසය තබනවා නම් අපට දෙවිගේ අනුමැතිය දිනාගත හැකියි. අපට “දෙවි සමඟ සමාදාන” වීමට වෙනත් මාර්ගයක් නැහැ.—රෝම 5:6-11.

12. යේසුස් “මාර්ගය” වන්නේ කුමන ආකාරවලින්ද?

12 යාච්ඤාවටද “මාර්ගය” වන්නේ යේසුස්. ඔහු තුළින් පමණයි අපට යෙහෝවා දෙවිට යාච්ඤා කළ හැක්කේ. අප එසේ කරන විට දෙවි අපගේ යාච්ඤා අසන බවට නිසැක විය හැකියි. (1 යොහන් 5:13, 14) යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. ‘ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මගේ නාමයෙන් ඔබට දෙයි. ඉල්ලන්න. එවිට ඔබට ලැබෙයි. ඔබ අද්දකින ප්‍රීතියද පිරී ඉතිරී යයි.’ (යොහන් 16:23, 24) ඒ නිසා යේසුස්ගේ නාමයෙන් යෙහෝවා දෙවිට “අපගේ පියාණෙනි” කියා අමතන්න අපට හැකියාව ලැබෙනවා. (මතෙව් 6:9) යේසුස් අපට තවත් ආකාරයකින් “මාර්ගය” ලෙස කටයුතු කරනවා. කලින් සලකා බැලූ ලෙස යේසුස් තම පියාව මුළුමනින්ම අනුකරණය කළා. එසේ යේසුස්ගේ ආදර්ශයෙන් යෙහෝවා දෙවිව සතුටු කළ හැකි මාර්ගය ඔහු අපට පෙන්වා දුන්නා. ඒ නිසා දෙවිට ළං වීමට නම් අප යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කළ යුතුයි.—1 පේතෘස් 2:21.

‘සත්‍යය මමයි’

13, 14. (අ) යේසුස් සැමවිටම සත්‍යය කතා කළ බව අප දන්නේ කොහොමද? (ආ) යේසුස්ව ‘සත්‍යය’ කියා හැඳින්වීමට නම් ඔහු කළ යුතුව තිබුණේ කුමක්ද? ඒ තුළින් ඉටු වන්නේ කුමක්ද?

13 යේසුස් සෑමවිටම ප්‍රකාශ කළේ පියාගෙන් ඔහු ඉගෙනගත් සත්‍ය වදන්. (යොහන් 8:40, 45, 46) ඔහුගේ මුවේ කිසි දිනක වංචාවක් සම්බ වුණේ නැහැ. (1 පේතෘස් 2:22) ‘දෙවි පෙන්වා දෙන මාර්ගය යේසුස් සත්‍ය කාරණා පදනම් කරගෙන ඉගැන්වූ’ බව ඔහුගේ සතුරෝ පවා පිළිගත්තා. (මාක් 12:13, 14) යේසුස් ඔහුගේ ඉගැන්වීම් හා කතාබහ තුළින් සත්‍යය ප්‍රකාශ කළත් ‘සත්‍යය මමයි’ කියා පැවසූ විට ඊට වඩා වැඩි යමක් ඔහු අදහස් කළා.

14 ශතවර්ෂ ගණනාවකට කලින්ම ගැලවුම්කරු හෙවත් ක්‍රිස්තුස් ගැන අනාවැකි ලිවීමට යෙහෝවා දෙවි බයිබල් ලේඛකයන්ව දැනුවත් කළ ආකාරය ඔබට මතක ඇති. ඒ අනාවැකිවල යේසුස්ගේ ජීවිතය, සේවය හා මරණය පිළිබඳ විස්තර අඩංගු වුණා. ඊට අමතරව මෝසෙස්ට දුන් නීතියේ සඳහන් ඇතැම් දේවල් යේසුස් තුළින් ඉටු වීමට තිබුණා. (හෙබ්‍රෙව් 10:1) මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් තමා ගැන පැවසූ සියලු දේ සත්‍යය බව යේසුස් ඔප්පු කළාද? යෙහෝවා දෙවි පැවසූ අනාවැකි සත්‍යය බව ඔප්පු වන්නේ යේසුස් තුළින් ඒවා එලෙසම ඉටු වුණා නම් පමණයි. යේසුස්ට තිබුණේ භාරදූර වගකීමක්. ඔහු කළ කී සෑම දෙයකින්ම ඒ අනාවැකි සත්‍යය බව ඔප්පු කරමින් ඔහු තම වගකීම නිසි ලෙස ඉටු කළා. (2 කොරින්ති 1:20) ඒ නිසා යේසුස්ව ‘සත්‍යය’ කියා හැඳින්විය හැකියි.යොහන් 1:17; කොලොස්සි 2:16, 17.

‘ජීවනය මමයි’

15. දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එසේ කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

15 අපට “සැබෑ ජීවිතය” ලැබෙන්නේ යේසුස් තුළින් නිසා ඔහුව “ජීවනය” කියා හැඳින්විය හැකියි. (1 තිමෝති 6:19) “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 3:36) පුත්‍රයා කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එනම් යේසුස් නොමැතිව අපට සදාකාල ජීවනය ලබාගත නොහැකි බව පිළිගැනීමයි. නමුත් එසේ පිළිගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අප දිගටම යේසුස් ගැන ඉගෙනගනිමින් ඒ දේවල් ජීවිතයට අදාළ කරගනිමින් ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමට වෑයම් කළ යුතුයි. (යාකොබ් 2:26) එසේ කිරීමෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත ‘කුඩා රැළට’ ස්වර්ගයේ අමරණීය ජීවිතයත් “වෙනත් බැටළුවන්” වන ‘මහත් සමූහයට’ පාරාදීස පොළොවක පරිපූර්ණ ජීවිතයත් උරුම වෙයි.—ලූක් 12:32; 23:43; එළිදරව් 7:9-17; යොහන් 10:16.

16, 17. (අ) මිය ගිය අයට පවා යේසුස් “ජීවනය” වන්නේ කොහොමද? (ආ) අපට නිසැක විය හැක්කේ කුමක් ගැනද?

16 දැනටමත් මිය ගොස් සිටින අය ගැන කුමක් කිව හැකිද? ඔවුන්ටත් “ජීවනය” වන්නේ යේසුස්. උදාහරණයකට තම මිත්‍රයා වූ ලාසරුස්ව නැවත නැඟිටුවීමට කලින් යේසුස් ලාසරුස්ගේ සහෝදරිය වන මාර්තාට මෙසේ පැවසුවා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.” (යොහන් 11:25) “මරණයෙත් මිනී වළෙත් යතුරු” යෙහෝවා දෙවි තම පුත්‍රයාට භාර දී තිබෙන නිසා මිය ගිය අයව නැවත නැඟිටුවීමට යේසුස්ට හැකියි. (එළිදරව් 1:17, 18) දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස යේසුස් එම යතුරු භාවිත කර මිනී වළේ දොරටු විවෘත කරයි. එවිට මිය ගිය සියලුදෙනාම මරණයේ බැඳුම්වලින් නිදහස් වෙයි.—යොහන් 5:28, 29.

17 “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියා පැවසීමෙන් යේසුස් පොළොවට පැමිණීමට හේතුවත් ඔහුගේ සේවයේ අරමුණත් පැහැදිලි කරනවා. එම වදන් කිහිපය තුළ අපේ ජීවිතයට විශාල අර්ථයක් ගැබ්ව තිබෙනවා. පසුව ඔහු මෙසේද පැවසූ බව ඔබට මතක ඇති. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) එම වදන් එදා මෙන් අදටත් අදාළයි. අපි යේසුස්ව අනුගමනය කරනවා නම් අප කිසිදා ජීවන ගමනේ මංමුළා නොවන බව ස්ථිරයි. අපව “පියාණන්” වෙතට ළං කළ හැකි එකම තැනැත්තා යේසුස් පමණයි.

ඔබේ තීරණය කුමක්ද?

18. යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

18 යේසුස්ට දෙවි දුන් විශේෂ කාර්යයත් පියාණන් ගැන ඔහු සතු දැනුමත් සලකා බලන විට යේසුස්ව අනුගමනය කිරීමට අපට හොඳ හේතු තිබෙනවා. අපි පළමුවෙනි පරිච්ඡේදයේ සලකා බැලූ ලෙස යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙකු වීම යනු වචනයට හෝ හැඟීමකට සීමා වන දෙයක් නොවෙයි. එය කෙනෙකු තම ජීවිතය ගත කරන ආකාරයෙන් පෙනෙන්න තිබිය යුතුයි. අප යේසුස්ගේ අනුගාමිකයෙක් නම් ඔහුගේ ඉගැන්වීම් හා ඔහු තැබූ ආදර්ශයට අනුව අපේ ජීවිත හැඩගස්වා ගත යුතුයි. (යොහන් 13:15) ඔබ දැන් කියවමින් සිටින මේ පොත ඒ සඳහා ඔබට මහඟු උපකාරයක් වෙයි.

19, 20. ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට මෙම පොතෙන් ලැබෙන්නේ කුමන උපකාරයක්ද?

19 මේ පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ සිට අප අවධානය යොමු කරන්නේ යේසුස්ගේ ජීවිතය හා සේවය වෙතටයි. ඒවා කොටස් තුනකට වෙන් කර තිබෙනවා. පළමුවෙනි කොටසින් යේසුස්ගේ ගුණාංග හා ඔහු ක්‍රියා කළ ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැකියි. දෙවෙනි කොටසින් සලකා බලන්නේ ඉගැන්වීමේදී හා දේශනා කිරීමේදී ඔහුට තිබූ උද්‍යෝගය ගැනයි. යේසුස් අන් අයට ප්‍රේම කළ ආකාරය තුන්වෙනි කොටසින් සලකා බලනවා. තුන්වෙනි පරිච්ඡේදයේ සිට “ඔබට යේසුස් මෙන් විය හැකිද?” යනුවෙන් කොටුවක් දක්නට ලැබෙනවා. එහි ඇති ප්‍රශ්න හා බයිබල් පදවල අරමුණ වන්නේ අපගේ කතාවෙන් හා හැසිරීමෙන් යේසුස්ව අනුකරණය කළ හැකි ආකාරය ගැන සිතීමට අපව පෙලඹවීමයි.

20 අප පාපය උරුම කරගෙන සිටියත් යෙහෝවා දෙවි අප වෙනුවෙන් බොහෝ දේ කර තිබෙනවා. ඒ නිසා තවදුරටත් ඔහුගෙන් දුරස් විය යුතු නැහැ. යෙහෝවා දෙවිට පාඩුවක් විඳින්න සිදු වුණත් ඔහු තම එකම පුත්‍රයාව අප වෙනුවෙන් දුන්නා. ඒ අපට ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට මඟ විවෘත කර දීම සඳහායි. ඇත්තෙන්ම එය ඔහුගේ ප්‍රේමයේ උතුම්ම ප්‍රකාශයක්. (1 යොහන් 4:9, 10) “මගේ අනුගාමිකයෙක් වන්න” යන යේසුස්ගේ ආරාධනය පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමෙන් යෙහෝවා දෙවි ඔබට පෙන්වූ ඒ උතුම් ප්‍රේමයට අගය පෙන්වීමට ඔබ තුළත් පෙලඹීමක් ඇති වේවා!—යොහන් 1:43.

^ 3 ඡේ. යේසුස්ට හිමි කාර්යයෙහි වැදගත්කම ඔහුට දී ඇති පදවි නාම තුළින් දැනගත හැකියි. ඒ සඳහා 26වෙනි පිටුවේ ඇති කොටුව බලන්න.

^ 9 ඡේ. යේසුස්ගේ ඉගැන්වීම් කිහිපයක් මෙම බයිබල් පදවල සඳහන් වෙනවා. මතෙව් 10:29-31; 18:12-14, 21-35; 22:36-40.