Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

“මගේ අනුගාමිකයෙක් වෙන්න” යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

“මගේ අනුගාමිකයෙක් වෙන්න” යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

“සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කළ යුත්තේ කුමක්ද?”

1, 2. මිනිසෙකුට ලැබිය හැකි හොඳම ආරාධනාව කුමක්ද? අප සලකා බැලිය යුත්තේ කුමන ප්‍රශ්නයද?

 ඔබ මෙතෙක් ලැබූ ආරාධනා අතරින් ඔබව වඩාත්ම සතුටට පත් කළ ආරාධනාව කුමක්ද? ඔබ හොඳින් දැන හඳුනන යුවළකගේ විවාහ උත්සවයට ලැබූ ආරාධනාවද? නැතහොත් හොඳ රැකියාවක් සඳහා ලැබූ ආරාධනාවද? එම ආරාධනාව නිසා ඔබට ප්‍රීතියක් හෝ යම් ගෞරවනීය හැඟීමක් දැනෙන්න ඇති. නමුත් ඔබට ඊටත් වඩා විශේෂ ආරාධනාවක් ලැබී තිබෙනවා. එය ඔබට පමණක් නොව අප හැමෝටම ලැබී තිබෙන ආරාධනාවක්. නමුත් එය පිළිගන්නවාද නැද්ද යන්න අපේ ජීවිතයේ අප ගන්නා වැදගත්ම තීරණයයි.

2 එම ආරාධනාව කුමක්ද කියා බයිබලයේ මාක් 10:21හි මෙසේ සඳහන් වෙනවා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” එය සියලු බලැති යෙහෝවා දෙවිගේ එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් කළ ආරාධනාවයි. ඒ නිසා, ‘මම ඒ ආරාධනාව පිළිගන්වාද’ යන ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. සමහරවිට ඔබ මෙසේ සිතයි. ‘මෙතරම් හොඳ ආරාධනාවක් ප්‍රතික්ෂේප කරන්නේ කවුද!’ ඒත් කනගාටුවට කාරණයක් වන්නේ බොහෝදෙනෙක් එය ප්‍රතික්ෂේප කිරීමයි. ඒ ඇයි?

3, 4. (අ) සාමාන්‍යයෙන් මිනිසුන් ආශා කරන කුමන දේවල්ද යේසුස් ළඟට පැමිණි තරුණයා සතුව තිබුණේ? (ආ) යේසුස් ඔහු තුළ දකින්න ඇත්තේ කුමක්ද?

3 එම ආරාධනාව යේසුස්ගෙන් පෞද්ගලිකව ලැබූ පුද්ගලයෙකු ගැන දැන් අපි සලකා බලමු. එය සිදු වුණේ මීට වසර 2,000ට පෙරයි. එම පුද්ගලයා සමාජයේ හොඳ පිළිගැනීමක් තිබූ කෙනෙක්. සෑම කෙනෙකුම මහත් සේ ආශා කරන ධනය, බලය හා තරුණකම ඔහු සතුව තිබුණා. බයිබලයේ ඔහුව විස්තර කරන්නේ “තරුණ,” “ඉතා ධනවත්” “පාලකයෙක්” ලෙසයි. (මතෙව් 19:20; ලූක් 18:18, 23) නමුත් ඒ තරුණයා තුළ විශේෂත්වයක් තිබුණා. ඒ, උතුම් ගුරුවරයා වන යේසුස් ගැන අසා තිබූ දේවල් කෙරෙහි ඔහුට තිබූ ඇල්මයි.

4 එදා සිටි බොහෝ පාලකයෝ යේසුස්ට ගෞරව කළේ නැහැ. (යොහන් 7:48; 12:42) නමුත් එම තරුණ පාලකයා ක්‍රියා කළේ ඊට වෙනස් ආකාරයකටයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “[යේසුස්] එතැනින් පිටත්ව යද්දී මිනිසෙක් ඔහු ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියෙහි දණින් වැටී, ‘යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කළ යුත්තේ කුමක්ද’ කියා ඔහුගෙන් ඇසුවේය.” (මාක් 10:17) එම තරුණයා සියලුදෙනා ඉදිරියේ යේසුස් වෙතට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටුණා. ඔහුට යේසුස් සමඟ කතා කිරීමට කොතරම් ආශාවක් තිබුණාද කියා එයින් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම වෙනත් කෙනෙකු ඉදිරියේ දණින් වැටෙන්නේ දුගී අසරණ අයයි. ඔහු කළ දෙයින් පෙනෙන්නේ ඔහු යටහත්පහත් මෙන්ම දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට ආශාවක් දැක්වූ කෙනෙකු බවයි. (මතෙව් 5:3; 18:4) ‘යේසුස්ට ඔහු කෙරෙහි ආදරයක්’ ඇති වීමට හේතුවත් එය විය හැකියි. (මාක් 10:21) එම තරුණයා ඇසූ ප්‍රශ්නයට යේසුස් දුන් පිළිතුර කුමක්ද?

ලැබිය හැකි හොඳම ආරාධනාව

5. යේසුස් ධනවත් තරුණයාට පැවසුවේ කුමක්ද? ඔහු දුප්පත් කෙනෙකු විය යුතු බව යේසුස් අදහස් කළේ නැති බව අප දන්නේ කොහොමද? (පාදසටහනද බලන්න.)

5 සදාකාල ජීවනය ලැබීමට කළ යුතු දේ කුමක්ද කියා තම පියාණන් පැහැදිලි කර තිබෙන බව යේසුස් එම තරුණයාට පෙන්වා දුන්නා. මෝසෙස්ට දුන් නීතියෙන් යේසුස් එම තරුණයාට කාරණා පෙන්වූ විට ඔහු ඒවා අකුරටම පිළිපදින බව කියා සිටියා. නමුත් යේසුස්ට මිනිසුන්ගේ හදවතේ ඇති දේ දැනගැනීමට හැකි නිසා එම තරුණයාට ගැටලුවක් තිබෙන බව ඔහුට අවබෝධ වුණා. (යොහන් 2:25) ඒ නිසා යේසුස් “ඔබේ එක අඩුපාඩුවක් තිබෙනවා. ගොස් ඔබට තිබෙන හැම දෙයක්ම විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න” කියා ඔහුට පැවසුවා. (මාක් 10:21) යේසුස් ඉන් අදහස් කළේ යමෙකු දෙවිට සේවය කිරීමට නම් ඔහු දුප්පත් විය යුතුයි කියාද? කොහෙත්ම නැහැ. * යේසුස්ට අවශ්‍ය වුණේ ඉතා වැදගත් කාරණයක් ඔහුට වටහා දීමටයි.

6. යේසුස් කළ ආරාධනාව කුමක්ද? ධනවත් තරුණ පාලකයා ඊට දැක්වූ ප්‍රතිචාරයෙන් හෙළි වූයේ කුමක්ද?

6 යේසුස් එම තරුණයාට, “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියා කළ ඒ ආරාධනාව ඇත්තෙන්ම සුවිශේෂි ආරාධනාවක්! ඊට හේතුව මහෝත්තම දෙවිගේ පුත්‍රයා විසින්ම ඔහුට එම ආරාධනාව කිරීමයි. එපමණක්ද නොව ඔහුට ඉන් ලැබෙන ආශීර්වාද ගැන සඳහන් කරමින්, “ඔබට ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න පුළුවන්” කියා යේසුස් ඔහුට පැවසුවා. ඒ වැදගත් ආරාධනාව එම තරුණයා පිළිගත්තාද? එම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු යේසුස් පැවසූ දේ ගැන දුක් වී, ශෝකයෙන් යන්න ගියේය. එයට හේතුව නම් ඔහුට බොහෝ ධන සම්පත් තිබීමය.” (මාක් 10:21, 22) තරුණයා ඇසූ ප්‍රශ්නයට යේසුස් දුන්නේ ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරක්. ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයෙන් ඔහුට තිබූ ගැටලුව නැතහොත් අඩුපාඩුව හෙළි වුණා. ඔහු තම ධන සම්පත්වලට හා ඉන් ලැබෙන කීර්තියට මෙන්ම බලයට බොහෝ සෙයින් ඇලුම් කළා. කනගාටුවට කාරණය නම් ඔහු යේසුස්ට වඩා ධනයට ප්‍රේම කිරීමයි. එසේනම් ඔහුට තිබූ “අඩුපාඩුව,” යේසුස්ට හා යෙහෝවා දෙවිට මුළු හදවතින්ම ප්‍රේම නොකිරීමයි. ඒ නිසයි ඔහු තමන්ට ලැබූ සුවිශේෂී ආරාධනාව ප්‍රතික්ෂේප කළේ. ඒ සිද්ධියෙන් ඔබට යමක් ඉගෙනගත හැකිද?

7. යේසුස්ගේ ආරාධනාවට අපත් ඇතුළත් කියා අප දන්නේ කොහොමද?

7 යේසුස් එම ආරාධනාව කළේ එම තරුණයාට පමණක් නොවෙයි. එය සීමිත කණ්ඩායමකට කළ ආරාධනාවක්ද නොවෙයි. ඒ ආරාධනාව පොහොසත් අයට, දුප්පත් අයට, විශේෂ ජාතියකට හෝ ඒ කාලයේ ජීවත් වූ අයට පමණක් සීමා වුණේද නැහැ. යේසුස් පැවසුවේ, ‘යමෙකුට මා අනුව එන්න කැමති නම් ඔහු දිගටම මා අනුව එන්න අවශ්‍යයි’ කියායි. (ලූක් 9:23) ‘යමෙකුට’ එනම් ඕනෑම කෙනෙකුට ඇත්තටම ‘කැමැත්තක්’ තිබෙනවා නම් යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට හැකි බව ඔබට එයින් අවබෝධ වුණාද? එවැනි අවංක සිත් ඇති අයව දෙවි ඔහුගේ පුත්‍රයා වෙතට ළං කරනවා. (යොහන් 6:44) එම ආරාධනාව සියලුදෙනාටම කළ නිසා ඔබත් ඊට ඇතුළත්. යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට ඔබ කැමති විය යුත්තේ ඇයි? ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද?

අනුගමනය කිරීමට සුදුසුම තැනැත්තා

8. අපි හැමෝටම තිබෙන අවශ්‍යතාව කුමක්ද? ඒ ඇයි?

8 අපට නිසි මඟ පෙන්වීම් දීමට නායකයෙකු අවශ්‍යයි. බොහෝදෙනෙක් එය පිළි නොගත්තත් සැබෑව එයයි. යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ යෙරෙමියා එය මෙසේ තහවුරු කළා. “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.” (යෙරෙමියා 10:23) මිනිසුන්ට තමන්ව පාලනය කිරීමට හැකියාවවත් අයිතියවත් නැති බව ඉන් පැහැදිලි වෙනවා. මිනිස් ඉතිහාසය දෙස බලන විට අසාර්ථක පාලනයන් පිළිබඳ වාර්තාවන් බොහොමයක් දක්නට තිබෙනවා. (දේශනාකාරයා 8:9) යේසුස් ජීවත් වූ කාලයේ සිටි නායකයන්ද මිනිසුන්ව පීඩාවට ලක් කරමින් ඔවුන්ව මුළා කළා. යේසුස්ට පොදු ජනයාව පෙනුණේ, “එඬේරෙකු නැති බැටළුවන් මෙන්” මංමුළා වී සිටින අය ලෙසයි. (මාක් 6:34) අද දිනත් මිනිසුන් සිටින්නේ එවැනිම තත්වයකයි. අපි හැමෝටම විශ්වාසය තැබිය හැකි, ගෞරවයෙන් සැලකිය හැකි, හොඳ නායකයෙකු අවශ්‍යයි. යේසුස් එවැනි නායකයෙක්ද? ඔව්. එසේ කීමට හේතු දැන් අපි සලකා බලමු.

9. යේසුස් අනිකුත් නායකයන්ට වඩා විශේෂ වීමට හේතුව කුමක්ද?

9 යේසුස්ව තෝරාගනු ලැබුවේ යෙහෝවා දෙවි විසින්මයි. සාමාන්‍යයෙන් මිනිසුන් අතර නායකයන්ව තෝරාගන්නේ, ඔවුන් හා සමාන වැරදි කිරීමට නැඹුරුවාවක් ඇති මිනිසුන් විසින්මයි. එවැනි අය බොහෝවිට මුළා වී සිටින අතර ඔවුන් වැරදි තීරණවලටද එළඹිය හැකියි. නමුත් මිනිසුන් විසින් පත් කරගනු ලබන නායකයන්ට වඩා යේසුස් හාත්පසින්ම වෙනස්. ඒ බව ඔහුට ලැබී තිබෙන “ක්‍රිස්තුස්” හා “මෙසියස්” යන පදවි නාමවලින් පැහැදිලි වෙනවා. ඒවායේ අර්ථය වන්නේ “අභිෂේක ලත් තැනැත්තා” යන්නයි. යේසුස්ව අභිෂේක කළේ එනම්, විශේෂ කාර්යයක් සඳහා තෝරාගනු ලැබුවේ මේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි විසින්මයි. ඔහු තම පුත්‍රයා ගැන පැවසුවේ මෙයයි. “මෙන්න! මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය සේවකයා! මා තෝරාගත් සේවකයා මොහුය. මම ඔහුට මාගේ බලය ලබා දෙන්නෙමි.” (මතෙව් 12:18) අපට සුදුසු කුමනාකාරයේ නායකයෙකුද කියා හොඳින්ම දන්නේ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියි. දෙවිගේ අසීමිත ප්‍රඥාව නිසා ඔහුගේ තීරණය ගැන සැක කිරීමට අපට කිසිම හේතුවක් නැහැ.—හිතෝපදේශ 3:5, 6.

10. අනුගමනය කිරීමට වටිනාම ආදර්ශය යේසුස් කියා පැවසිය හැක්කේ ඇයි?

10 යේසුස් අපට අනුගමනය කිරීමට කදිම ආදර්ශයක් තැබුවා. හොඳ නායකයෙකු සතු ගුණාංග ගැන යටත්වැසියන් ප්‍රශංසා කරනවා. ඔහු ආදර්ශවත් ලෙස කටයුතු කරන නිසා යටත්වැසියන්ද ඔහුව අනුගමනය කරමින් වඩාත් හොඳ පුද්ගලයන් බවට පත් වෙනවා. ඔබ නායකයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එඩිතරකමද? ප්‍රඥාවද? කරුණාවන්තකමද? එසේත් නැත්නම් දුෂ්කරතා හමුවේ ඔහුගේ නොසැලෙන ස්ථාවරයද? යේසුස් මේ පොළොවේ ගත කළ කාලය පිළිබඳ වාර්තා අධ්‍යයනය කරන විට ඔහුට ඒ සෑම ගතිලක්ෂණයක්ම උපරිමයෙන් තිබූ බව ඔබ දැනගනිවි. යේසුස් තම ස්වර්ගික පියාව හොඳින්ම අනුගමනය කළ නිසා දෙවිගේ සෑම ගතිලක්ෂණයක්ම ඔහු තුළත් තිබුණා. ඔහු සෑම අතින්ම පරිපූර්ණ පුද්ගලයෙක් වුණා. ඒ නිසා ඔහුගේ හැඟීම්වලින්ද ඔහු කළ කී සෑම දෙයකින්මද අපට යමක් ඉගෙනගත හැකියි. බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. ‘ක්‍රිස්තුස් ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහායි.’—1 පේතෘස් 2:21.

11. යේසුස් තමා “උතුම් එඬේරා” කියා ඔප්පු කළේ කොහොමද?

11 යේසුස් තමන් “උතුම් එඬේරා” කියා පැවසූ අතර ඊට එකඟව ජීවත් වුණා. (යොහන් 10:14) යේසුස් ජීවත් වූ කාලයේ සිටි මිනිසුන්ට උතුම් එඬේරෙකු කොයි ආකාරයේ කෙනෙක්ද කියා හොඳ අවබෝධයක් තිබුණා. සාමාන්‍යයෙන් එඬේරෙක් වෙහෙස මහන්සි වී තම රැළ රැකබලා ගන්නවා. නමුත් ‘උතුම් එඬේරෙක්’ තම රැළ රැකබලා ගැනීමේදී තම සුව පහසුව හා ආරක්ෂාව ගැන නොසිතා බැටළුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනවා. උදාහරණයකට යේසුස්ගේ මුතුන්මිත්තෙක් වූ දාවිත් එවැනි එඬේරෙක් වුණා. ඔහු යෞවනයෙක්ව සිටි කාලයේදී අවස්ථා කිහිපයකදීම බැටළුවන්ව දරුණු වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න තම ජීවිතය පරදුවට තැබුවා. (1 සාමුවෙල් 17:34-36) නමුත් යේසුස් තම අනුගාමිකයන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබනවාට වඩා වැඩි යමක් කළා. ඔහු ඔවුන් වෙනුවෙන් දිවි පිදුවා. (යොහන් 10:15) එලෙස ක්‍රියා කරන නායකයෙක් අද දින සිටිනවාද?

12, 13. (අ) එඬේරෙක් තම බැටළුවන්ව හඳුනනවා කියා කීමෙන් හා බැටළුවන් තම එඬේරාව හඳුනනවා කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ඔබ උතුම් එඬේරාගේ නායකත්වය පිළිගැනීමට හේතු මොනවාද?

12 තවත් ආකාරයකින් යේසුස් තමා ‘උතුම් එඬේරෙක්’ කියා පෙන්නුවා. ඔහු පැවසුවේ, “මම මගේ බැටළුවන්ව හඳුනනවා. මගේ බැටළුවනුත් මාව හඳුනනවා” කියායි. (යොහන් 10:14) යේසුස් අදහස් කළ දේ සිතින් මවාගන්න ඔබට පුළුවන්ද? සාමාන්‍යයෙන් බැලූ බැල්මට බැටළු රැළක සෑම බැටළුවෙක්ම එක හා සමානයි. නමුත් එඬේරෙකුට නම් ඒ රැළේ එක් එක් බැටළුවා පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. උදාහරණයකට, ළඟදීම පැටවුන් බිහි කිරීමට සිටින බැටළුදෙනුන් ගැනත් තවම හරි හැටි ඇවිදීමට නොහැකි නිසා උසුලාගෙන යා යුතු බැටළු පැටවුන් ගැනත් මෑතකදී රෝගාතුර වූ හෝ අනතුරකට ලක් වූ බැටළුවන් ගැනත් ඔහු හොඳින් දන්නවා. බැටළුවන්ද උන්ගේ එඬේරාව හොඳින් හඳුනනවා. උන් එඬේරාගේ හඬ හඳුනන අතර වෙනත් එඬේරෙකුට රැවටෙන්නේ නැහැ. තම එඬේරා අනතුරු ඇඟවීමක් කළ විට උන් ඊට විගස ප්‍රතිචාරය දක්වනවා. එඬේරා මඟ පෙන්වන ස්ථානයට උන් ඔහු පසුපස යන්නේ කිසිදු බියක් සැකක් නොමැතිවයි. බැටළුවන්ව ගෙන යා යුතු හොඳම ස්ථාන ඔහු දන්නවා. තණකොළ සරුවට වැඩී තිබෙන ස්ථානවලට හා පිරිසිදු දිය දහරා තිබෙන සුරක්ෂිත ස්ථානවලට ඔහු උන්ව ගෙන යනවා. ඒ වගේම එඬේරා උන් සමඟ සිටින නිසා බැටළුවන්ටද සුරක්ෂිතබවක් දැනෙනවා.—ගීතාවලිය 23.

13 එවැනි සැලකිල්ලක් දක්වන නායකයෙකුට ඔබ කැමති නැද්ද? වෙනත් නායකයන්ට වඩා උතුම් එඬේරා වන යේසුස් එලෙස තම අනුගාමිකයන්ට සැලකූ බවට සාක්ෂි බොහොමයක් තිබෙනවා. ඔහු ඔබට මේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන අතර අනාගතයේදී ජීවිතය සදාකාලයටම ප්‍රීතියෙන් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද ලබා දීමට පොරොන්දු වෙනවා. (යොහන් 10:10, 11; එළිදරව් 7:16, 17) යේසුස්ගේ අනුගාමිකයෙක් වීම ඇත්තෙන්ම භාග්‍යයක්! ඒ සඳහා අප කුමක් කළ යුතුද?

යේසුස්ගේ අනුගාමිකයෙකුට තිබිය යුතු සුදුසුකම්

14, 15. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීමට, තමා ක්‍රිස්තියානියෙකුයයි කියා සිටීම හෝ ඔහුට භක්ත්‍යාදරයෙන් සැලකීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

14 අද දින දහස් ගණන් ජනයා තමන් ක්‍රිස්තියානීන් බව කියා සිටිනවා. ඒ නිසා ඔවුන් සිතන්නේ තමන් ක්‍රිස්තුස්ගේ ආරාධනාව පිළිගෙන තිබෙන බවයි. සමහරවිට ඔවුන්ව තම දෙමාපියන් විසින් යම් පල්ලියක සාමාජිකයන් ලෙස බව්තීස්ම කර තිබෙනවා විය හැකියි. එසේත් නැත්නම් ඔවුන් යේසුස්ව තම ගැලවුම්කරු ලෙස පිළිගෙන ඔහු කෙරෙහි මහත් භක්ත්‍යාදරයක් දක්වනවා විය හැකියි. නමුත් යේසුස්ගේ අනුගාමිකයෙක් වීම යන්නෙන් අදහස් කරන්නේ එයද? යේසුස් තම අනුගාමිකයෙකුගෙන් බලාපොරොත්තු වුණේ එයද? ඇත්තෙන්ම යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට ඊට වඩා බොහෝ දේ ඇතුළත්.

15 ක්‍රිස්තියානි ආගම අදහන රටවල් ගැන මොහොතකට සිතන්න. එහි සිටින ජනයා පවසන්නේ තමන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් කියායි. ඇත්තෙන්ම එම රටවල වැසියන් ජීවත් වන්නේ යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟවද? එසේත් නැත්නම් ලෝකයේ වෙනත් රටවල දක්නට තිබෙන වෛරය, අපරාධ හා අයුක්තිය වැනි දේවල් එම රටවලත් දක්නට ලැබෙනවාද? බොහෝදෙනෙක් ගෞරවාදරයෙන් සලකන මොහාන්දාස් ගාන්ධි මෙසේ පැවසුවා. “යේසුස් තරම් මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප වූ කෙනෙක් ගැන මම අසා නැහැ. ඇත්තෙන්ම ක්‍රිස්තියානි ආගමේ දෝෂයක් නැහැ. වරද තියෙන්නේ ක්‍රිස්තියානි ආගම අදහන අය තුළයි. ඔවුන් ඒ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්නේ නැහැ.”

16, 17. තමන් ක්‍රිස්තියානීන්යයි හඳුන්වා දෙන අය තුළ නැත්තේ කුමක්ද? ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක්ව හඳුනාගත හැක්කේ කොහොමද?

16 යේසුස් පැවසුවේ ඔහුගේ අනුගාමිකයෙකු ලෙස යමෙකුව හඳුනාගනු ලබන්නේ ඔහු හැසිරෙන ආකාරයෙන් මිස ඔහුගේ භක්තිය ගැන ඔහු පවසන දේ හෝ ක්‍රිස්තියානි යන නාමය ඔහු දරා සිටීමෙන් පමණක් නොවන බවයි. උදාහරණයකට ඔහු පැවසුවේ, “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ” කියායි. (මතෙව් 7:21) බොහෝදෙනෙක් යේසුස්ව තමන්ගේ ස්වාමීන් ලෙස පිළිගත්තත් ඔහුගේ පියාගේ කැමැත්ත කිරීමට අසමත් වන්නේ ඇයි? කලින් සඳහන් කළ ධනවත් තරුණයාට මෙන් ක්‍රිස්තියානීන් ලෙස තමන්ව හඳුන්වා දෙන බොහෝදෙනෙකුට “එක අඩුපාඩුවක් තිබෙනවා.” ඒ, යේසුස් හා ඔහුව එවූ තැනැත්තා කෙරෙහි හද පත්ලෙන් නැඟෙන ප්‍රේමයක් ඔවුන්ට නොතිබීමයි.

17 එහෙත් ක්‍රිස්තියානීන් ලෙස තමන්ව හඳුන්වා දෙන මිලියන ගණන් දෙනා තමන් ක්‍රිස්තුස්ට ප්‍රේම කරන බව කියා සිටින විට අප එසේ පැවසීම සාධාරණද? ඔව්. ඊට හේතුව යේසුස්ට හා යෙහෝවා දෙවිට දැක්විය යුතු ප්‍රේමය වචනයට සීමා නොවන නිසයි. යේසුස් පැවසුවේ, “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා” කියායි. (යොහන් 14:23) එමෙන්ම ඔහු මෙලෙසද පැවසුවා. “මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා. මම ඔවුන්ව හොඳින් හඳුනනවා. ඔවුන්ද මා අනුව එනවා.” (යොහන් 10:27) ඇත්තෙන්ම යේසුස්ට දක්වන සැබෑ ප්‍රේමය වචනවලින්වත් හැඟීම්වලින්වත් නොව මූලිකවම අප හැසිරෙන ආකාරයෙන් දක්නට ලැබිය යුතුයි.

18, 19. (අ) යේසුස් ගැන ඉගෙනගැනීම අපගේ ජීවිතයට බලපෑ යුත්තේ කෙසේද? (ආ) මෙම පොතේ අරමුණ කුමක්ද? තමන් දැනටමත් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි සිතන අයට මෙම පොත ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

18 අප කෙබඳු පුද්ගලයන්ද කියා හෙළි වන්නේ අප හැසිරෙන ආකාරයෙනුයි. අපේ හැසිරීමට බලපාන්නේ අපේ සිතුවිලියි. අප යේසුස් ගැන ඉගෙනගෙන ඔහු ගැන ගැඹුරින් කල්පනා කරන විට අපේ සිතුවිලි ඒ අනුව සකස් වෙනවා. යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) එසේ යේසුස් ගැන දැනුම ලබාගැනීමෙන් ඔහු කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වැඩි වී ඔහුව වඩාත් කිට්ටුවෙන් අනුගමනය කිරීමටද අප තුළ ආශාවක් ඇති වෙයි.

19 මෙම පොතේ අරමුණ වන්නේ යේසුස්ගේ ජීවිතය හා ඔහු කළ සේවය පිළිබඳ වාර්තාවක් සැපයීම නොව, අප යේසුස්ව වඩා හොඳින් අනුගමනය කරන්නේ කෙසේද කියා පැහැදිලි අවබෝධයක් ලබා දීමටයි. * එය සකස් කර තිබෙන්නේ දේවවචනය නමැති කැඩපත දෙස බලා ‘ඇත්තෙන්ම මම යේසුස්ව අනුගමනය කරනවාද’ යන ප්‍රශ්නය ගැන සිතා බැලීමට ඔබට උපකාර කිරීමටයි. (යාකොබ් 1:23-25) ‘මම දැනටමත් උතුම් එඬේරාගෙන් මඟ පෙන්වීම් ලබන බැටළුවෙක්’ කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. ඒත් අප හැමෝටම දියුණු වීමට පැති තිබෙනවා. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.” (2 කොරින්ති 13:5) අපේ නායකයා ලෙස යෙහෝවා දෙවි පත් කර තිබෙන අපගේ ප්‍රේමණීය උතුම් එඬේරාගේ මඟ පෙන්වීම්වලින් අප ප්‍රයෝජන ගන්නවාද කියා සොයා බැලීම බොහෝ සෙයින් වටිනවා.

20. ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ කුමක්ද?

20 මේ පොත අධ්‍යයනය කිරීමෙන් යේසුස් හා යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වේවා! එවැනි ප්‍රේමයක් මෙම දුෂ්ට සමාජයේ පවා සතුට හා සාමය පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරවත් වෙයි. ඒ වගේම උතුම් එඬේරාව ලබා දීම ගැන සදාකාලයටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමටද ඔබට හැකි වෙයි. ඒ සඳහා අප ක්‍රිස්තුස් ගැන නිවැරදි අවබෝධයක් ලබාගත යුතුයි. යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස්ට හිමි කාර්යය පිළිබඳව දෙවෙනි පරිච්ඡේදය තුළින් කරන සාකච්ඡාව ඊට උපකාරයක් වෙයි.

^ 5 ඡේ. යේසුස් ඔහුගේ අනුගාමිකයන් වූ සියලුදෙනාටම ඔවුන් සතු ධන සම්පත් අත්හරින්න කියා පැවසුවේ නැහැ. ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම පහසු නැති බව ඔහු පැවසුවත් “දෙවිට සෑම දෙයක්ම කරන්න පුළුවන්” බව ඔහු පැහැදිලි කළා. (මාක් 10:23, 27) ඒ කාලයේ සිටි ක්‍රිස්තියානීන් අතර ධනවත් පුද්ගලයන්ද සිටියා. සභාවෙන් යම් මඟ පෙන්වීම් ඔවුන්ට ලැබුණත් ඔවුන් සතු දේපළ විකුණා දිලිඳුන්ට දෙන්න කියා පැවසුවේ නැහැ.—1 තිමෝති 6:17.

^ 19 ඡේ. යේසුස්ගේ ජීවිතය හා සේවය සම්බන්ධ සෑම සිද්ධියක්ම අනුපිළිවෙළට දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත බලන්න.