Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

‘මා නිහතමානී කෙනෙක්’

‘මා නිහතමානී කෙනෙක්’

‘ඔබේ රජ ඔබ වෙතට එන්නේය’

1-3. යේසුස් යෙරුසලමට පැමිණියේ කොහොමද? සමහරුන් ඒ ගැන පුදුමයට පත් වෙයි කියා සිතිය හැක්කේ ඇයි?

 යෙරුසලමට ශ්‍රේෂ්ඨ මිනිසෙක් පැමිණෙන බවට ආරංචියක් පැතිරී තිබෙනවා. ඒ නිසා නගරයට පිවිසෙන මාර්ගය දෙපස ජනයා රැස් වී සිටින්නේ මහත් උද්‍යෝගයකින්. ඔවුන්ගෙන් සමහරෙක් කියා සිටින්නේ ඊශ්‍රායෙලය පාලනය කිරීමට දාවිත්ගේ පෙළපතෙන් පැමිණීමට නියමිත රජු ඔහු කියායි. බොහෝදෙනෙක් තාල ගස්වල අතු රැගෙන ඔහුව පිළිගැනීමට සැරසී සිටිනවා. තවත් සමහරෙක් ගස්වල අතු සහ තමන්ගේ පිටත වස්ත්‍ර මඟ දිගේ ඇතුරුවේ ඔහුට ඒ මතින් ගමන් කිරීම සඳහායි.—මතෙව් 21:7, 8; යොහන් 12:12, 13.

2 ඔහු මහත් උත්සවශ්‍රීයෙන් නගරයට ඇතුල් වෙයි කියා සමහරෙක් සිතන්න ඇති. මන්ද බලවත් පාලකයන් තම නගරයට පැමිණි ආකාරය ඔවුන්ගේ මතකයට නැඟෙන්න ඇති. උදාහරණයකට, දාවිත්ගේ පුත් අබ්සලොම් රජෙකු ලෙස නගරයට ඇතුල් වූ අවස්ථාවේදී ඔහුගේ අශ්ව රථයට ඉදිරියෙන් දිවීමට ධාවකයන් 50දෙනෙකු සිටියා. (2 සාමුවෙල් 15:1, 10) එමෙන්ම රෝමයේ පාලකයා වූ ජූලියස් සීසර් ඊටත් වඩා ජය කෙහෙලි නැංවීමට මහත් ආශාවක් දැක්වූවා. එක් අවස්ථාවකදී ඔහු ජුපිටර්ගේ දේවස්ථානය දක්වා මහත් හරසරින් ගමන් කළේ පහන් රැගත් ඇතුන් 40දෙනෙකු පිරිවරාගෙනයි! නමුත් දැන් යෙරුසලමේ ජනයා බලා සිටින්නේ ඊටත් වඩා ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ පැමිණීමයි. එහි සිටි ජනයා අවබෝධ කරගෙන සිටියත් නැතත් පැමිණීමට යන්නේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මිනිසා වන යේසුස් ක්‍රිස්තුස්. නමුත් මේ අනාගත රජ පැමිණෙන ආකාරය දුටු විට සමහරෙකු පුදුමයට පත් වන බව නම් නිසැකයි.

3 ඔහු පැමිණෙන්නේ අශ්ව රථයක නොවෙයි. ඔහු ඉදිරියෙන් දිවීමට ධාවකයෝ නැහැ. අලි ඇතුන්ද නැහැ. යේසුස් පැමිණියේ සාමාන්‍යයෙන් බර ඇදීමට යොදාගන්නා බූරුවෙකු පිට නැඟිලයි. * ඔහු මිල අධික වස්ත්‍රවලින් සැරසී සිටියේවත් ඔහු ගමන් ගත් සතාව සරසා තිබුණේවත් නැහැ. සතුන්ගේ පිට මත දමන මිල අධික සෑදලයක් වෙනුවට උගේ පිට මත දමා තිබුණේ ඔහුගේ සමීප මිතුරන්ගේ පිටත වස්ත්‍රයි. යේසුස් තරම් ශ්‍රේෂ්ඨ නොවූ නායකයෝ මහත් හරසරින් නගරයට ඇතුල් වීමට ආශා කළත් යේසුස් යෙරුසලමට ඇතුල් වූයේ ඒ කිසිදු හරසරයක් නොමැතිවයි. ඔහු එසේ ක්‍රියා කළේ ඇයි?

4. දෙවි විසින් පත් කළ රජු යෙරුසලමට පැමිණෙන ආකාරය ගැන බයිබලයේ කලින්ම සඳහන් වුණේ කුමක්ද?

4 එලෙස පැමිණීමෙන් යේසුස් අනාවැකියක් ඉටු කළා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ප්‍රීතියෙන් ඉපිල යන්න. යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න. මන්ද ඔබේ රජ බූරුවෙකු පිට නැඟී ඔබ වෙතට එන්නේය. ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.” (සෙකරියා 9:9) එම අනාවැකියෙන් පෙන්වූයේ දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වන යේසුස් යම් දිනක යෙරුසලමේ ජනයා ඉදිරියේ දෙවි විසින් පත් කළ රජු ලෙස පෙනී සිටින බවයි. එමෙන්ම ඔහු පැමිණෙන ආකාරය හා ඔහු ගමන් කිරීමට තෝරාගන්නා සත්වයා මගින් ඔහුගේ කැපීපෙනෙන ගුණාංගයක් වන නිහතමානිකම පිළිබිඹු වන බවත් එහි සඳහන් වුණා.

5. යේසුස් පෙන්වූ නිහතමානිකමට අපගේ සිත වැඩියෙන්ම ඇදී යන්නේ ඇයි? යේසුස් මෙන් සෑමවිටම නිහතමානී වීමට අප උත්සාහයක් දැරිය යුත්තේ ඇයි?

5 යේසුස් තුළ තිබූ ගුණාංග අතරින් අපේ සිත වැඩියෙන්ම ඇදී යන්නේ ඔහුගේ නිහතමානිකමටයි. අප කලින් පරිච්ඡේදයේ සලකා බැලූ ලෙස “මාර්ගයත් සත්‍යයත් ජීවනයත්” වන්නේ යේසුස් පමණයි. (යොහන් 14:6) ඒ වගේම යේසුස් තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේ දක්වා ජීවත් වී නැහැ. ඒත් ඔහු කිසිවිටක තමන් ගැන උඩඟු ලෙස සිතුවේ නැහැ. සාමාන්‍යයෙන් පාපය උරුම කරගෙන සිටින මිනිසුන් බොහෝදෙනෙකු තුළ උඩඟුකම වැනි නරක ගතිගුණ දක්නට ලැබෙනවා. නමුත් යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වීමට නම් ඒ නරක ගතිගුණ අපෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට අපි දැඩි වෑයමක් දැරිය යුතුයි. (යාකොබ් 4:6) යෙහෝවා දෙවි උඩඟුකමට ද්වේෂ කරන නිසා යේසුස් මෙන් සෑමවිටම නිහතමානී වීමට අප දැඩි උත්සාහයක් දැරීම අත්‍යවශ්‍යයි.

පොළොවට පැමිණීමට පෙර

6. නිහතමානී කෙනෙක් කොයි වගේද? යේසුස් නිහතමානීව කටයුතු කරයි කියා යෙහෝවා දෙවි දැන සිටියේ කොහොමද?

6 සැබවින්ම නිහතමානී පුද්ගලයෙක් තමන් ගැන උඩඟු ලෙස සිතන්නේ නැහැ. ඔහුගේ කතාවෙන්, හැසිරීමෙන් හා අන් අයට සලකන ආකාරයෙන් ඔහු කොතරම් නිහතමානී කෙනෙක්ද කියා දැනගත හැකියි. යේසුස් නිහතමානීව කටයුතු කරයි කියා යෙහෝවා දෙවි දැන සිටියේ කොහොමද? ඒ, තම පුත්‍රයා සෑමවිටම තමා මෙන් නිහතමානීව කටයුතු කරන ආකාරය ඔහු දැක තිබූ නිසයි. (යොහන් 10:15) එවැනි අවස්ථාවක් ගැන දැන් අපි සලකා බලමු.

7-9. (අ) සාතන් සමඟ ඇති වූ මතභේදයේදී මිකායෙල් නිහතමානීව කටයුතු කළේ කොහොමද? (ආ) ක්‍රිස්තියානීන්ට මිකායෙල්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

7 බයිබලයේ යූද් පොතේ මෙසේ සඳහන් වෙනවා. “මෝසෙස්ගේ මළ සිරුර ගැන අග්‍රදේවදූත මිකායෙල් සහ යක්ෂයා අතර මතභේදයක් ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත. ඒ වෙනුවට, ‘ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි’ කියා ඔහු පැවසුවේය.” (යූද් 9) එහි මිකායෙල් ලෙස හඳුන්වා තිබෙන්නේ පොළොවට පැමිණීමට පෙරත් ස්වර්ගයට ගිය පසුත් අග්‍රදේවදූතයා නැතහොත් දේවදූත සේනාවේ අධිපති වන යේසුස්වයි. * (1 තෙසලෝනික 4:16) සාතන් සමඟ ඇති වූ ඒ මතභේදය යේසුස් හැසිරෙවූ ආකාරය සැලකිල්ලට ගන්න.

8 සාතන්ට මෝසෙස්ගේ මළ සිරුර සම්බන්ධයෙන් කිරීමට අවශ්‍ය වූයේ කුමක්ද කියා යූද් පොතේ වාර්තා වන්නේ නැහැ. නමුත් ඔහුට යම් දුෂ්ට අරමුණක් තිබූ බව නම් ස්ථිරයි. සමහරවිට මෝසෙස්ගේ මළ සිරුර බොරු නමස්කාරය සඳහා යොදාගැනීමේ අදහසක් ඔහුට තිබෙන්න ඇති. මිකායෙල් සාතන්ගේ කූට සැලසුමට විරුද්ධ වුණත් ඔහු එම කාරණය තමන්ගේ අතට ගෙන විසඳීමට වෑයම් කළේ නැහැ. සාතන් දඬුවමක් ලැබීමට සුදුසුව සිටියත් මිකායෙල්ට ඒ වන විට “විනිශ්චය කිරීමේ වගකීම පවරා” නොතිබුණු නිසා එම දඬුවම දිය යුත්තේ යෙහෝවා දෙවි බව මිකායෙල් තේරුම්ගත්තා. (යොහන් 5:22) එම අවස්ථාවේදී මිකායෙල් නිහතමානීව කටයුතු කරනවාට අමතරව තමාගේ සීමාව අවබෝධ කරගෙන ක්‍රියා කළා. අග්‍රදේවදූතයා ලෙස මිකායෙල්ට විශාල බලයක් තිබුණත් ඔහු තමන්ට අයිති නැති දේ කිරීමට වෑයම් කළේ නැහැ. ඔහු නිහතමානී ලෙස ඒ කාරණය යෙහෝවා දෙවිට භාර දුන්නා.

9 මෙම සිද්ධිය වාර්තා කිරීමට දෙවි තම සේවකයෙකු වූ යූද්ව පෙලඹුවේ එවකට සිටි සමහර ක්‍රිස්තියානීන් නිහතමානී නොවූ නිසයි. එම ක්‍රිස්තියානීන් උඩඟු ලෙස, “තමන්ට කිසි අවබෝධයක් නැති සෑම දෙයක් ගැනම නින්දාසහගතව කතා” කිරීමට තරම් එඩිතර වුණා. (යූද් 10) පාපය උරුම වී තිබෙන නිසා අපටත් උඩඟු ස්වභාවයක් ඇති විය හැකියි. උදාහරණයකට, සභාවේ සිටින වැඩිමහල්ලන් විසින් ගනු ලබන යම් තීරණයක් ගැන අපට නිසි අවබෝධයක් නැති විට අප ක්‍රියා කරන්නේ කොහොමද? අප ඒ තීරණය පිළිබඳ සියලු තොරතුරු නොදැන විවේචනාත්මකව කතා කරනවා නම් අප ක්‍රියා කරන්නේ නිහතමානී අය ලෙසද? එවැනි අවස්ථාවල මිකායෙල් හෙවත් යේසුස් මෙන් අපගේ සීමාව තේරුම්ගෙන අපට දෙවි පවරා නැති කාර්යයන් ගැන විවේචනය කිරීමෙන් හෝ ඊට මැදිහත් වීමට උත්සාහ දැරීමෙන් අපි වැළකී සිටිමු.

10, 11. (අ) යේසුස් පොළොවට පැමිණීමට වූ පැවරුම කැමැත්තෙන්ම පිළිගැනීම විශේෂ දෙයක් කියා කිව හැක්කේ ඇයි? (ආ) අපට යේසුස් මෙන් නිහතමානී විය හැක්කේ කෙසේද?

10 යේසුස් පොළොවට ඒම සඳහා ලැබූ පැවරුම භාරගැනීමෙන්ද ඔහු නිහතමානී කෙනෙක් බව පෙන්නුවා. ඒ සඳහා ඔහු මොන තරම් කැප කිරීමක් කළාද කියා සිතා බලන්න. ඔහු ස්වර්ගයේ සිටියේ අග්‍රදේවදූතයා ලෙසයි. දෙවිගේ “වචනය නමැති තැනැත්තා” ලෙසද ඔහුව හැඳින්වූවා. එනම් යෙහෝවා දෙවි වෙනුවෙන් කතා කළේ ඔහුයි. (යොහන් 1:1-3) ඔහු ජීවත් වූයේ යෙහෝවා දෙවිගේ ‘තේජසින් පිරි ශුද්ධ වාසස්ථානයේයි.’ (යෙසායා 63:15) නමුත් යේසුස් ඒ “සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය. ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු” ලෙසයි. (ෆිලිප්පි 2:7) ඔහුට පොළොවේදී ඉටු කිරීමට තිබූ පැවරුමට ඇතුළත් වූ දේවල් ගැන දැන් ටිකක් සිතන්න. ඔහුට සිදු වුණා යුදෙව් කාන්තාවකගේ ගර්භාෂයේ මාස නවයක් පුරා හැදී වැඩෙන්න. පසුව දුප්පත් වඩුවෙකුගේ නිවසේ අසරණ බිලිඳෙකු ලෙස ඉපදී ළමා විය හා යොවුන් විය පසු වන තුරු, ඔහුට බලා සිටීමට සිදු වුණා. ඔහු පරිපූර්ණව සිටියත් පාපය උරුම කරගෙන සිටි දෙමාපියන්ට ඔහුගේ යෞවන කාලය පුරා කීකරුව සිටියා. (ලූක් 2:40, 51, 52) ඔහු මොන තරම් නිහතමානීද!

11 අප ගැන කුමක් කිව හැකිද? එතරම් වැදගත් නැහැයි කියා අපට සිතෙන පැවරුමක් ලැබෙන විට එය කැමැත්තෙන් පිළිගෙන යේසුස් මෙන් නිහතමානී වීමට අපට හැකිද? උදාහරණයකට, දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට අපට ලැබී තිබෙන පැවරුම ඉටු කිරීමේදී මිනිසුන් ඊට උනන්දුවක් නොදක්වන විට, අපහාස කරන විට හෝ ඊට විරුද්ධ වන විට, අප කරන කාර්යය එතරම් වැදගත් නැහැයි කියා අපට සිතෙනවාද? (මතෙව් 28:19, 20) එසේ සිතුණත් අප දිගටම ඒ කාර්යයේ නියැලීමෙන් මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීමට අපට හැකියාවක් ලැබෙයි. ජීවිත ගලවාගැනීමට අපට නොහැකි වුණත් නිහතමානීව කටයුතු කිරීමට ඉගෙනගත හැකියි. එමගින් අපට හැකි වෙයි අපේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස් මෙන් වීමට.

මිනිසෙකු ලෙස

12-14. (අ) මිනිසුන් යේසුස්ට ප්‍රශංසා කළ විට ඔහු කළේ කුමක්ද? (ආ) යේසුස් අන් අය සමඟ නිහතමානීව කටයුතු කළේ කෙසේද? (ඇ) යේසුස් නිහතමානීව හැසිරුණේ අන් අයගේ සිත් දිනාගැනීමට නොවන බව අප දන්නේ කොහොමද?

12 යේසුස් පොළොවේ සේවය කළ කාලය පුරාම නිහතමානීව කටයුතු කළා. ඔහු කිසිවිටකත් තමන්ට ගෞරවය ලබාගත්තේ නැහැ. ඔහුගේ ප්‍රඥාවන්ත වදන්, ආශ්චර්යවත් ක්‍රියා සහ යහපත්කම ගැන මිනිසුන් ඔහුට ප්‍රශංසා කළ සෑමවිටකම ඔහු ඒ ගෞරවය හා ප්‍රශංසාව ලබා දුන්නේ තම පියාණන්ටයි.—මාක් 10:17, 18; යොහන් 7:15, 16.

13 යේසුස් මිනිසුන්ට සැලකූ ආකාරයෙන්ද ඔහු කොතරම් නිහතමානී කෙනෙක්ද කියා පැහැදිලි වුණා. ඔහු පැවසුවේ තමා පැමිණියේ සේවය ලබන්න නොව සේවය කරන්න කියායි. (මතෙව් 20:28) ඔහු සාධාරණව හා මෘදු ලෙස කටයුතු කළා. තම අනුගාමිකයන් ඔහු බලාපොරොත්තු වූ ලෙස ක්‍රියා නොකළ විට ඔවුන්ට බැණවැදුණේ නැහැ. යේසුස් නිතරම උත්සාහ කළේ ඔවුන්ගේ සිතට කාවදින ආකාරයෙන් කාරණා අවබෝධ කර දීමටයි. (මතෙව් 26:39-41) එක් අවස්ථාවකදී යේසුස් නිස්කලංක ස්ථානයක විවේකීව සිටීමට ගිය විට සමූහයා එතැනටද පැමිණියා. ඔවුන්ව පිටත් කර හරිනවා වෙනුවට ඔවුන්ට “බොහෝ දේ” ඔහු ඉගැන්නුවා. (මාක් 6:30-34) තවත් අවස්ථාවකදී ඊශ්‍රායෙලිත නොවන කාන්තාවක් තම දුවව සනීප කරන්න කියා ඉල්ලා සිටි විට, මුලින්ම ඔහු එම ඉල්ලීම ඉටු කිරීමට අකමැති වුණා. නමුත් ඔහු එසේ කළේ කෝපයෙන් නොවෙයි. පසුව ඇය තුළ තිබූ විශ්වාසය යේසුස් දුටු නිසා ඔහු ඇගේ ඉල්ලීම ඉටු කළා. ඒ ගැන අප 14වෙනි පරිච්ඡේදයෙන් පුළුල්ව සාකච්ඡා කරනවා.—මතෙව් 15:22-28.

14 යේසුස් තමා ගැන පැවසුවේ, “මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු” කියායි. ඔහු සෑමවිටම ඊට එකඟව ජීවත් වුණා. (මතෙව් 11:29) ඔහු නිහතමානීව හැසිරුණේ අන් අයගේ සිත් දිනාගැනීමට නොවෙයි. එය හදවතින්ම පැමිණි සැබෑ නිහතමානිකමක්. ඔහු තම අනුගාමිකයන්ටත් නිහතමානී වීම කොතරම් වැදගත්ද කියා ඉගැන්වීමට දැඩි වෑයමක් දැරීම ඇත්තෙන්ම පුදුමයක් නොවෙයි.

නිහතමානී වීමට ඉගැන්වීම

15, 16. ලෝකයේ පාලකයන් ක්‍රියා කරන ආකාරය හා තම අනුගාමිකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

15 යේසුස්ගේ නියෝජිතයන්ට නිහතමානීව හැසිරීම පහසු දෙයක් වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඒ ගැන ඉගැන්වීමට යේසුස්ට මහත් වෑයමක් දරන්න සිදු වුණා. එක් අවස්ථාවකදී යාකොබ් සහ යොහන් තම මව මාර්ගයෙන් යේසුස්ගෙන් ඉල්ලා සිටියේ දෙවිගේ රාජ්‍යයේදී තමන්ට උසස් තනතුරු ලබා දෙන්න කියායි. එවිට යේසුස් නිහතමානී ලෙස මෙසේ පිළිතුරු දුන්නා. “මගේ දකුණු පැත්තේද මගේ වම් පැත්තේද ඉඳගන්න ලැබීමේ වරප්‍රසාදය ලබා දෙන්නේ කාටද කියා තීරණය කරන්න මට අයිතියක් නැහැ. එය හිමි වන්නේ මගේ පියාණන් ඒ සඳහා සූදානම් කර තිබෙන අයටයි.” අනික් නියෝජිතයන්ට ඒ ගැන ආරංචි වූ විට යාකොබ් සහ යොහන් කෙරෙහි ඔවුන්ට කෝපයක් ඇති වුණා. (මතෙව් 20:20-24) ඒ අවස්ථාවේදී යේසුස් ක්‍රියා කළේ කොහොමද?

16 යේසුස් කාරුණිකව ඔවුන්ට මෙසේ අවවාද කළා. “විවිධ ජාතීන්ව පාලනය කරන අය තම තනතුරුවල වැජඹෙමින් සිටින බවත් බලධාරීන් තමන් යටතේ සිටින්නන් කෙරෙහි දැඩි ලෙස තම අණසක පතුරුවන බවත් ඔබ දන්නවා. නමුත් ඔබ අතරේ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි. ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි. ඔබ අතරෙහි ප්‍රථමයා වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ දාසයා විය යුතුයි.” (මතෙව් 20:25-27) “ජාතීන්ව පාලනය කරන අය” කොතරම් උඩඟු, බලයට කෑදර මෙන්ම තමන් ගැන පමණක් සිතන අයද කියා යේසුස්ගේ නියෝජිතයන් හොඳින් දැන සිටින්න ඇති. ඒ කුරිරු පාලකයන්ට වඩා තම අනුගාමිකයන් වෙනස් විය යුතුයි කියා යේසුස් ඔවුන්ට පෙන්වා දුන්නා. යේසුස්ට අවශ්‍ය වුණේ ඔවුන් නිහතමානීව කටයුතු කරනවා දැකීමටයි. ඔවුන්ට එම කාරණය අවබෝධ වුණාද?

17-19. (අ) යේසුස්ගේ මරණයට පෙර දා රාත්‍රියේදී නිහතමානී වීමට ඔහු තම නියෝජිතයන්ට ඉගැන්වූයේ කෙසේද? (ආ) යේසුස් විශිෂ්ටතම ආකාරයකින් නිහතමානී වීම යනු කුමක්ද කියා පෙන්වූයේ කෙසේද?

17 යේසුස් තම අනුගාමිකයන්ට නිහතමානී වීම පිළිබඳව අවබෝධ කර දුන් මුල් අවස්ථාවත් අන්තිම අවස්ථාවත් එය නොවෙයි. නමුත් ඔවුන් එම කාරණය මුළුමනින්ම අවබෝධ කරගත්තේ නැහැ. මීට පෙර අවස්ථාවකදීද ඔවුන් අතරින් උතුම් තැනැත්තා කවුද කියා මතභේදයක් පැනනැඟුණා. එවිට යේසුස් කුඩා දරුවෙකුව පෙන්වා, දරුවන් මෙන් කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මන්ද සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර උස් පහත් භේද, උඩඟුකම හා අන් අයව පාලනය කිරීම වැනි නරක ගතිලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ. (මතෙව් 18:1-4) ඒ කෙසේවෙතත් යේසුස්ගේ මරණයට පෙර දා රාත්‍රියේදීත් ඔවුන් හැසිරුණු ආකාරයෙන් ඔවුන් තුළ උඩඟුකම තිබූ බව යේසුස් දුටුවා. එවිට යේසුස්, සාමාන්‍යයෙන් නිවසට පැමිණි අමුත්තෙකුව පිළිගැනීමේදී සේවකයෙකු විසින් කරනු ලබන දෙයක් කළා. ඔහු තම ඉණ වටා තුවායක් බැඳගෙන, තමාව පාවා දීමට සිටි යූදස් ඇතුළු තම නියෝජිතයන් සෑම කෙනෙකුගේම පාද සේදුවා. එය මොන තරම් කදිම ආදර්ශයක්ද!—යොහන් 13:1-11.

18 ඒ තුළින් යේසුස් ඉගැන්වීමට වෑයම් කළ දේ කුමක්ද කියා මෙසේ පැහැදිලි කළා. “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි.” (යොහන් 13:15) ඒ සිද්ධියෙන් පසුවත් ඔවුන් නිහතමානීව හැසිරෙන්නේ කෙසේද කියා අවබෝධ කරගත්තාද? නැහැ! එදින රාත්‍රියේම නැවතත් තමන් අතරේ උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් වාද කළා! (ලූක් 22:24-27) ඒ අවස්ථාවේදී යේසුස්ට කෝපයක් ඇති වුණා නම් එය සාධාරණයි. නමුත් ඔහු දිගටම නිහතමානීව හා ඉවසිලිවන්තව කටයුතු කළා. පසුව ඔහු විශිෂ්ටතම ආකාරයකින් නිහතමානී වීම යනු කුමක්ද කියා පෙන්නුවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “ඔහු මිනිසෙකු ලෙස සිටියදී බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට තරම් ඔහු දෙවිට කීකරු වූයේය.” (ෆිලිප්පි 2:8) අපරාධකරුවෙක් සහ දෙවිට අපහාස කරන්නෙක් ලෙස බොරු චෝදනා ලබා නින්දිත මරණයකට මුහුණ දීමට යේසුස්ට සිදු වුණත් ඔහු ඊට සිය කැමැත්තෙන්ම යටත් වුණා. යෙහෝවා දෙවිගේ සියලුම නිර්මාණ අතරින් නිහතමානිකම පරිපූර්ණ අන්දමින් විදහා පෑ එකම තැනැත්තා ඔහුයි.

19 ඒ සිද්ධියෙන් පසු නිහතමානිකම යනු කුමක්ද කියා යේසුස්ගේ විශ්වාසවන්ත නියෝජිතයන්ට හොඳින්ම අවබෝධ වන්න ඇති. යේසුස්ගේ මරණයෙන් පසු ඒ නියෝජිතයන් වසර ගණනාවක් පුරා ඉතාමත් නිහතමානී ලෙස සේවය කළ බව බයිබලයේ වාර්තා වෙනවා. අප ගැන කුමක් කිව හැකිද?

යේසුස්ව ආදර්ශයට ගන්න ඔබ සූදානම්ද?

20. අප ඇත්තටම නිහතමානීද කියා දැනගන්නේ කොහොමද?

20 යේසුස් මෙන් අපත් නිහතමානී පුද්ගලයන් විය යුතුයි. පාවුල් අප සැමට දෙන අවවාදය මෙයයි. “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු ආකල්පයම ඔබ තුළත් තිබිය යුතුයි.” (ෆිලිප්පි 2:5) අප නිහතමානී පුද්ගලයන්ද කියා දැනගන්නේ කොහොමද? පාවුල් පවසන දෙය සලකා බලන්න. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.” (ෆිලිප්පි 2:3) අප ඇත්තෙන්ම නිහතමානී අය නම් අප අන් අයට සලකන ආකාරයෙන් එය පෙනෙනවා. අප සෑමවිටම සිතිය යුත්තේ අන් අය අපට වඩා උතුම්, වැදගත් අය කියායි. ඔබ පාවුල් දුන් එම උපදෙස පිළිපදින්න සූදානම්ද?

21, 22. (අ) සභාව රැකබලා ගන්නා එඬේරුන් නිහතමානී විය යුත්තේ ඇයි? (ආ) අප නිහතමානිකම පැළඳගෙන සිටින බව පෙන්විය හැක්කේ කෙසේද?

21 යේසුස්ගේ මරණයෙන් වසර ගණනාවකට පසුවත් නිහතමානී වීමේ වැදගත්කම පේතෘස්ට අමතක වී තිබුණේ නැහැ. සභාව රැකබලා ගන්නා එඬේරුන්ට ඔහු ඉගැන්නුවේ දෙවිගේ රැළ කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා තම වගකීම නිහතමානීව ඉටු කරන්න කියායි. (1 පේතෘස් 5:2, 3) යමෙකුට සභාවේ වගකීම් ලැබීම උඩඟු වීමට හේතුවක් නොවිය යුතුයි. වගකීම් ලැබෙන විට ඔහු තව තවත් නිහතමානී විය යුතුයි. (ලූක් 12:48) කොහොමවුණත් නිහතමානී විය යුත්තේ සභාව රැකබලා ගන්නා එඬේරුන් පමණක් නොවෙයි. සියලුම ක්‍රිස්තියානීන් නිහතමානී විය යුතුයි.

22 තමන්ගේ අකමැත්ත මැද යේසුස් තම පාද සේදූ රාත්‍රිය පේතෘස්ට කිසිසේත් අමතක නොවෙන්න ඇති! (යොහන් 13:6-10) පේතෘස් මේ දේ ලිව්වේ සියලුම ක්‍රිස්තියානීන්ටයි. “ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.” (1 පේතෘස් 5:5) “නිහතමානීව හැසිරීමට පුරුදු වන්න” යන වදන් පේතෘස් ග්‍රීක භාෂාවෙන් ලියද්දී ඔහු යොදාගත්තේ, “නිහතමානිකම පැළඳගන්න” යන්න ලෙසයි. ඔහු උත්සාහ දැරුවේ පාඨකයාගේ මනසේ යම් චිත්‍රයක් මවන්නයි. එනම් නිවසක මෙහෙකාරකම් කරන කෙනෙක් වැඩ කිරීමට පෙර පිළිවැස්මක් හෙවත් ඒප්‍රනයක් පැළඳගැනීමයි. ඔබ පේතෘස් පැවසූ දේ කියවන විට යේසුස් තම ගෝලයන්ගේ පාද සේදීමට පෙර තම ඉණ වටා තුවායක් බැඳගත් ආකාරය සමහරවිට ඔබේ සිතේ මැවෙන්නට පුළුවන්. අපි යේසුස්ව අනුකරණය කරනවා නම් දෙවිගෙන් ලැබුණු කිසිම පැවරුමක් අපේ තත්වයට ගැළපෙන්නේ නැහැ කියා අපි සිතන්නේ නැහැ. අප සැබවින්ම නිහතමානී නම් අප පැළඳ සිටින ඇඳුම අන් අයට පෙනෙනවා හා සමානව, අප නිහතමානී නම් එය අන් අයට පෙනෙනවා.

23, 24. (අ) අහංකාර වීමට තිබෙන නැඹුරුවාවෙන් අප වැළකී සිටිය යුත්තේ ඇයි? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් නිවැරදි කරනු ලබන්නේ කුමන වැරදි ආකල්පයද?

23 අහංකාරකම විනාශයට මුලයි. එය හරියට ජීවිතයක් විනාශ කරන විෂ හා සමානයි. යම් පුද්ගලයෙක් හැම අතින්ම දක්ෂ වුවත් ඔහු නිහතමානී නැත්නම් දෙවිට ඔහුව වටින්නේ නැහැ. යමෙකුට දක්ෂකම් නැති වුණත් ඔහු සැබවින්ම නිහතමානී නම් යෙහෝවා දෙවිට ඔහුව බොහෝ සෙයින් වටිනවා. අප සෑම දිනකම යේසුස්ව අනුගමනය කිරීමට දැඩි වෑයමක් දරමින් මෙම අනගි ගුණාංගය විදහාපෙන්වනවා නම් අපට නිමක් නැති ආශීර්වාද ලැබෙයි. ඒ ගැන පේතෘස් මෙසේ පැවසුවා. “එහෙයින් මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.” (1 පේතෘස් 5:6) යේසුස් පරිපූර්ණ ලෙස නිහතමානීව කටයුතු කළ නිසා යෙහෝවා දෙවි ඔහුව උසස් කළා. එලෙසම ඔබත් නිහතමානී ලෙස කටයුතු කරනවා නම් අපේ දෙවි ඔබටත් ආශීර්වාද කරන බව නිසැකයි.

24 සමහරෙකු සිතන්නේ නිහතමානී වීම දුර්වලකමේ ලක්ෂණයක් කියායි. යේසුස් තැබූ ආදර්ශයෙන් එසේ සිතීම මොන තරම් වැරදිද කියා පැහැදිලි වෙනවා. මිනිසුන් අතරින් නිහතමානීම පුද්ගලයා ඔහුයි. ඒ වගේම නිර්භීතම පුද්ගලයාත් ඔහුයි. ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා.

^ 3 ඡේ. එක් මූලාශ්‍රයක පවසන්නේ, බූරුවන් “අලස, මුරණ්ඩු, එතරම් වටිනාකමක් හා ගාම්භීර පෙනුමක් නැති, සාමාන්‍යයෙන් දුගී ජනයා ප්‍රයෝජනයට ගන්නා සතුන්” කියායි.

^ 7 ඡේ. මිකායෙල් යනු යේසුස් බව තහවුරු කරගැනීමට, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 218-219 දක්වා පිටු බලන්න.