Skip to content

පටුනට යන්න

6වෙනි පරිච්ඡේදය

‘ඔහු කීකරුකම ඉගෙනගත්තේය’

‘ඔහු කීකරුකම ඉගෙනගත්තේය’

1, 2. තම දරුවාගේ කීකරුකම ගැන පියා සතුටු වන්නේ ඇයි? යෙහෝවා දෙවි සතුටු වන්නේ කුමක් ගැනද?

 සිඟිති පුතෙක් තම මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිනවා. ඔවුන් සෙල්ලම් කරමින් සිටි බෝලය පාරට ගිය නිසා එය රැගෙන එන්න කියා ඔහුගේ මිතුරෙක් ඔහුට පවසනවා. නමුත් එම දරුවා “මට පාරට යන්න එපා කියලයි තියෙන්නේ” කියා පවසද්දී ඒ සිද්ධිය දෙස ජනේලයෙන් බලා සිටින ඔහුගේ පියාට දැනෙන්නේ අපමණ සතුටක්.

2 පියාට එතරම් සතුටක් දැනෙන්නේ ඇයි? ඒ, තනිව පාරට යන්න එපා කියා තම දරුවාට ඔහු පවසා තිබූ දේට දරුවා කීකරු වූ නිසයි. පියා තමා දෙස බලා සිටින බව දරුවා දැන සිටියේ නැහැ. නමුත් ඔහු පියා කී දේට කීකරුකම දැක්වූවා. එයින් පෙන්වන්නේ පියා නැති අවස්ථාවලදීත් කීකරු වීමට දරුවා ඉගෙනගනිමින් සිටින බවයි. පියා ඒ ගැන සතුටු වන්නේ දරුවාගේ ජීවිතයට එය ආරක්ෂාවක් වන නිසයි. ඉදිරියේදී දෙවි ලබා දෙන ප්‍රීතිමත් ජීවිතය භුක්ති විඳීමට නම් අපත් දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඔහුට කීකරු වීම දෙවි අපගෙන් බලාපොරොත්තු වෙනවා. (හිතෝපදේශ 3:5, 6) ඒ නිසා කීකරුකම ගැන අපට ඉගැන්වීමට ඔහු තම පුත්‍රයාව මෙලොවට එව්වා. ඔහු මෙන් ඉගැන්වීමට දක්ෂ ගුරුවරයෙක් මෙලොවේ තවත් නැහැ.

3, 4. යේසුස් ‘කීකරුකම ඉගෙනගත්තෙත්’ “සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු බවට” පත් වූයේත් කෙසේද? උදාහරණයකින් පැහැදිලි කරන්න.

3 යේසුස් පොළොවට පැමිණීමට පෙර බොහෝ කාලයක් ස්වර්ගයේ සිටියා. ඒ කාලයේදී සාතන් හා ඔහුගේ භූතයන් අකීකරුව කටයුතු කරන ආකාරය ඔහු දුටුවත් ඔහු කිසිවිටකත් ඔවුන් සමඟ එකතු වූයේ නැහැ. බයිබලයේ යේසුස් ගැන මෙසේ සඳහන් වෙනවා. “මම මුරණ්ඩු ලෙස ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.” (යෙසායා 50:5) ඔහු ගැන බයිබලයේ මෙවැනි දෙයක්ද සඳහන් වෙනවා. “ඔහු ඒ තැනැත්තාගේ පුත්‍රයා වුණත් විවිධාකාර දුක් පීඩා විඳ කීකරුකම ඉගෙනගත්තේය. ඔහු සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු බවට පත් වූ පසුව තමාට කීකරු වන සියලුදෙනාටම සදාකාලික ගැලවීම ලබාගැනීමට මඟ සලසා දුන්නේය.” (හෙබ්‍රෙව් 5:8, 9) එසේනම් කිසිවිටකත් මුරණ්ඩු නොවූ යේසුස්, “කීකරුකම ඉගෙනගත්තේය” කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? පරිපූර්ණ කෙනෙකු වූ ඔහු, “සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු බවට” පත් වුණා කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 එය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. ධීවරයෙක් ශක්තිමත් රුවල් බෝට්ටුවක් මිල දී ගෙන ඔහුගේ ධීවර කටයුතු සඳහා එය යොදාගන්නවා. දිනක් එය දරුණු චණ්ඩ මාරුතයකට හසු වූ නමුත් එයට කිසිම හානියක් සිදු වුණේ නැහැ. එය සවිශක්තියෙන් ඉහළ රුවල් බෝට්ටුවක් බව ඔහු දැන සිටියත් ඒ බව ඇත්තටම ඔප්පු වුණේ ඒ චණ්ඩ මාරුතයෙන් පසුවයි. පොළොවට පැමිණීමට පෙර යේසුස්ට තිබූ කීකරුකමත් හරියට ඒ මිනිසා සතුව තිබූ ශක්තිමත් රුවල් බෝට්ටුව හා සමානයි. යේසුස් පොළොවට පැමිණි පසු ස්වර්ගයේ අත් නොදුටු පීඩා හා අභියෝග අද්දැක්කා. එයින් ඔහුගේ කීකරුකම සෑම අතින්ම සම්පූර්ණ බව එනම්, මොනයම් තත්වයකදී වුණත් ඔහු මුළුමනින්ම කීකරු වන බව ඔප්පු වුණා.

5. යේසුස් දෙවිට කීකරු වීම ඉතා වැදගත් වූයේ ඇයි? මේ පරිච්ඡේදයෙන් අප සලකා බලන්නේ කුමක්ද?

5 යේසුස්ගේ පැවරුම ඉටු කිරීමට කීකරුකම අත්‍යවශ්‍ය දෙයක් වුණා. ආදම්, යෙහෝවා දෙවිට කීකරු වීමට අසමත් වුණා. නමුත් යේසුස්, “අන්තිම ආදම්” ලෙස මෙලොවට පැමිණ, සාතන්ගේ පීඩා හමුවේ දෙවිට කීකරු වුණා. (1 කොරින්ති 15:45) යේසුස් කීකරු වූයේ මුළු හදවතින්මයි. ඔහුගේ ජීවිතයේ සෑම කාරණයකදීම එය පිළිබිඹු වුණා. දෙවිගේ කැමැත්ත ඉටු කිරීම තම කුසට ආහාර ගැනීමට වඩා වැදගත් දෙයක් ලෙසයි ඔහු සැලකුවේ. (යොහන් 4:34) යේසුස් මෙන් කීකරු වීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? ඒ සඳහා මුලින්ම යේසුස්ගේ කීකරුකමට දායක වූ දේ සලකා බලමු. අපත් ඔහු මෙන් කටයුතු කරනවා නම් සාතන්ගේ උපායන්ට හසු නොවී සිටීමටත් දෙවිගේ කැමැත්ත ඉටු කිරීමටත් හැකි වෙයි. යේසුස් මෙන් අපිද කීකරු වීමෙන් ලැබෙන ආශීර්වාද ගැන පසුව සලකා බලමු.

යේසුස්ගේ කීකරුකමට දායක වූ දේ

6, 7. යේසුස්ගේ කීකරුකමට දායක වූයේ කුමක්ද?

6 යේසුස්ගේ කීකරුකමට ඔහුගේ සිතුවිලි බලපෑවා. ඔහු ඉතාමත් නිහතමානී කෙනෙක් බව අප තුන්වෙනි පරිච්ඡේදයෙන් සලකා බැලුවා. අප නිහතමානී නම් යෙහෝවා දෙවිට කැමැත්තෙන්ම කීකරු වීමට අප පෙලඹෙනවා. නමුත් උඩඟුකම කීකරු වීමට බාධාවක්. (නික්මයාම 5:1, 2; 1 පේතෘස් 5:5, 6) යේසුස් හරි දේට ප්‍රිය කළ නිසාත් වැරදි දේට වෛර කළ නිසාත් දෙවිට කීකරු වීමට එය ඔහුට උපකාරවත් වුණා.

7 ඒ සියල්ලට වඩා යේසුස්ගේ කීකරුකමට විශාල රුකුලක් වූයේ ඔහු තම පියාට දැක්වූ ප්‍රේමයයි. එම ප්‍රේමය ගැන පුළුල් ලෙස අප 13වෙනි පරිච්ඡේදයෙන් සාකච්ඡා කරනවා. යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට කොතරම් ප්‍රේමයක් හා ගෞරවයක් තිබුණාද කිවහොත් දෙවිව අසතුටු කරවන කිසිවක් කිරීමට ඔහු කැමති වුණේ නැහැ. දෙවි ඔහුගේ යාච්ඤාවලට සවන් දීමට හේතු වූයේද ඔහු දෙවිට දැක්වූ ප්‍රේමය හා ගෞරවයයි. (හෙබ්‍රෙව් 5:7) දේවරාජ්‍යයේ රජ වන ඔහුගේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ඔහු දෙවිට දක්වන ගෞරවයයි.—යෙසායා 11:3.

ඔබ නපුරට ද්වේෂ කරන බව විනෝදය සඳහා ඔබ තෝරාගන්නා දේවලින් පෙනෙනවාද?

8, 9. යේසුස්ට ධර්මිෂ්ඨකම හා දුෂ්ටකම ගැන හැඟුණේ කෙසේද? ඒ හැඟීම් ඔහු ප්‍රකාශ කළේ කෙසේද?

8 යෙහෝවා දෙවිට ප්‍රේම කරන කෙනෙක් ඔහු පිළිකුල් කරන දේට පිළිකුල් කරනවා. යේසුස් ක්‍රියා කළේද එලෙසයි. ඔහු ගැන අනාවැකියක මෙසේ සඳහන් වෙනවා. “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර දුෂ්ටකමට වෛර කළෙහිය. එබැවින් ඔබේ දෙවි, ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කළේය. ඔබේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.” (ගීතාවලිය 45:7) යේසුස්ගේ “හවුල්කරුවන්” වූයේ දාවිත් රජුගේ පෙළපතින් පැමිණි අනිකුත් රජවරුන්. යේසුස්ව රජෙකු ලෙස පත් කිරීමේදී නැතහොත් අභිෂේක කිරීමේදී ඒ සියලු රජවරුන්ට වඩා යේසුස්ට ප්‍රීති වීමට හේතු තිබුණා. ඒ, ඔවුන් ලැබූ ආශීර්වාදවලට වඩා යේසුස්ට ලැබෙන ආශීර්වාද උතුම් වන නිසයි. එමෙන්ම ඔහුගේ පාලනයේදී සියලුම යටත්වැසියන්ට අසීමිත ප්‍රයෝජන ලැබෙනවා. යේසුස්ට ආශීර්වාද ලැබෙන්නේ ඔහු සියලු කාරණාවලදී දෙවිට මුළු සිතින්ම කීකරු වූ නිසයි. එවන් කීකරුකමක් දැක්වීමට ඔහු පෙලඹුණේ ඔහු ධර්මිෂ්ඨකමට ප්‍රිය වී දුෂ්ටකමට වෛර කළ නිසයි.

9 ධර්මිෂ්ඨ ක්‍රියා හා දුෂ්ට ක්‍රියා ගැන යේසුස්ට හැඟුණු ආකාරය ඔහු පෙන්නුවේ කෙසේද? එක් අවස්ථාවකදී ඔහුගේ අනුගාමිකයන් ඔහු දුන් උපදෙස් අනුව දේශනා සේවයේ ගොස් යහපත් ප්‍රතිඵල ලැබූ විට යේසුස් ඒ ගැන බොහෝ සෙයින් සතුටු වුණා. (ලූක් 10:1, 17, 21) ඒ වගේම යෙරුසලමේ වැසියන්ට ඔහු උපකාර කිරීමට දැරූ උත්සාහය ඔවුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළ විට යේසුස් ඒ ගැන මහත් සේ දුකට පත් වී ඇඬුවා. (ලූක් 19:41, 42) මිනිසුන් යහපත් ලෙස හැසිරෙන විටත් දුෂ්ට ලෙස හැසිරෙන විටත් යේසුස්ගේ හදවතට එය තදින්ම දැනුණා.

10. හරි දේ හා වැරදි දේ සම්බන්ධයෙන් අපට තිබිය යුතු ආකල්පය කුමක්ද? ඒ සඳහා අපට කුමක් උපකාරවත් වෙයිද?

10 අපත් දෙවිට කීකරු වන්නේ යේසුස් මෙන්ද කියා අප කල්පනා කර බැලිය යුතුයි. පාපය උරුම කරගෙන සිටියත් අපටත් හැකියි හරි දේට ඇලුම් වී වැරදි දේ හෙළා දකින්න. ඒ සඳහා යෙහෝවා දෙවි හා යේසුස් සිතන ආකාරයට සිතන්න අපට උපකාර කරන්න කියා යාච්ඤාවෙන් ඉල්ලා සිටිය හැකියි. (ගීතාවලිය 51:10) නමුත් අප විනෝදය සඳහා තෝරාගන්නා දේවලින් හා අපගේ ආශ්‍රිතයන් නිසා අප තුළ තිබෙන යහපත් සිතුවිලි නැති වී යා හැකියි. ඒ නිසා අපි එවැනි දේවල් ගැන කල්පනාකාරී විය යුතුයි. (හිතෝපදේශ 13:20; ෆිලිප්පි 4:8) අප යේසුස් මෙන් දෙවිට කීකරු වෙනවා නම් අපේ කීකරුකම බොරු මවාපෑමක් වන්නේ නැහැ. හරි දේ කරන්නේ අප ඊට ප්‍රිය කරන නිසයි. වැරදි දේ නොකරන්නේ දඬුවම් විඳීමට සිදු වෙයි යන බිය නිසා නොවෙයි, අප ඊට පිළිකුල් කරන නිසයි.

‘ඔහු කිසි පාපයක් කළේ නැහැ’

11, 12. (අ) යේසුස්ගේ බව්තීස්මයෙන් පසු සිදු වූයේ කුමක්ද? (ආ) සාතන් මුලින්ම යේසුස්ව වරදට හසු කරගැනීමට තැත් කළේ කෙසේද? ඔහු යොදාගත් කපටි උපක්‍රම මොනවාද?

11 යේසුස්ගේ බව්තීස්මයෙන් පසු ඔහු දින 40ක් පුරා ආහාරයක් නොගෙන පාළුකරයේ සිටියා. ඒ කාලය අවසානයේදී සාතන් ඔහුව වරදට හසු කරගැනීමට උත්සාහ කළා. එයට යේසුස් මුහුණ දුන් ආකාරයෙන් ඔහු වැරදි දේට කොතරම් පිළිකුල් කළාද යන්න පැහැදිලි වුණා.—මතෙව් 4:1-11.

12 සාතන් කොතරම් කපටිද කියා සිතා බලන්න. ඔහු මුලින්ම යේසුස්ට පැවසුවේ මෙසේයි. “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම් මේ ගල් රොටි කරන්න.” (මතෙව් 4:3) ඒ අවස්ථාවේ යේසුස් සිටියේ ‘බඩගින්නෙන්’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:2) එයින් පැහැදිලි වන්නේ සාතන්, යේසුස්ව වරදට හසු කරගැනීමට ඔහු ශාරීරිකව දුර්වල වන අවස්ථාවක් එන තුරු බලා සිටි බවයි. සාතන් උත්සාහ දැරුවේ යේසුස්ගේ කුසගින්න තම වාසියට හරවාගැනීමටයි. ඒ විතරක් නොවෙයි, “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්” කියා සාතන් නින්දාසහගත ලෙස පැවසූ වදන් ගැනද ටිකක් සිතා බලන්න. යේසුස්, “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” බව ඔහු හොඳින්ම දැන සිටියා. (කොලොස්සි 1:15) ඒ අවස්ථාවේදී යේසුස්ට කෝප වී තම බලය පෙන්වීමට ඔහු උත්සාහ කළේ නැහැ. දෙවි ලබා දුන් බලය තමාගේ ආශාවන් ඉටු කරගැනීමට පාවිච්චි කිරීම දෙවිගේ කැමැත්ත නොවන බව යේසුස් හොඳින්ම දැන සිටියා. ඒ නිසා ඔහු සාතන් පැවසූ දේ එකහෙළාම ප්‍රතික්ෂේප කළා. එමගින් යේසුස් නිහතමානීව පෙන්නුවේ තමාගේ ජීවිතය රඳා පවතින්නේ යෙහෝවා දෙවිගේ සැපයුම් හා මඟ පෙන්වීම් මත පමණක් බවයි.—මතෙව් 4:4.

13-15. (අ) සාතන්, යේසුස්ව දෙවෙනි හා තුන්වෙනි වතාවටත් වරදට හසු කරගැනීමට කළේ කුමක්ද? යේසුස් ක්‍රියා කළේ කෙසේද? (ආ) යේසුස්ට නිරතුරුවම සුපරීක්ෂාකාරීව සිටීමට සිදු වූයේ ඇයි?

13 දෙවෙනි වතාවටත් යේසුස්ව වරදට හසු කරගැනීමට සාතන් උත්සාහ කළා. එවිට ඔහු යේසුස්ව දේවමාලිගාවේ පවුර මුදුනට ගෙන ගියා. සාතන් දේවවචනයේ සඳහන් දේ වැරදි ලෙස යොදාගනිමින් යේසුස්ට පැවසුවේ දේවමාලිගාවේ රැස්ව සිටින සෙනඟට පෙනෙන සේ පහතට පනින්න කියායි. එවිට දේවදූතයන් ඔහුව වැටෙන්න නොදී උසුලා ගනියි කියා සාතන් පැවසුවා. එවැනි දෙයක් සිදු වුණා නම් යේසුස් ගැලවුම්කරු බව ජනයා අනිවාර්යයෙන්ම පිළිගන්නවා. එවිට ඔහුට බොහෝ කරදරවලින් මිදෙන්න තිබුණා. නමුත් යෙහෝවා දෙවිගේ කැමැත්ත වන්නේ තම සේවය ඉතාමත් නිහතමානී ආකාරයෙන් ඉටු කිරීම බව යේසුස් දැන සිටියා. ඒ නිසා අනවශ්‍ය ලෙස මිනිසුන්ගේ අවධානයට ලක් වීම සඳහා දේවල් කිරීමට අවශ්‍ය නැති බව ඔහු තේරුම්ගත්තා. (යෙසායා 42:1, 2) ප්‍රසිද්ධිය ලැබීමේ ආශාව නමැති උගුල සාතන් යොදාගත්තත් යේසුස් ඊට හසු නොවී දෙවිට මුළුමනින්ම කීකරු වුණා.

14 යේසුස්ව තුන්වෙනි වතාවට වරදට පොලඹවාගැනීම සඳහා සාතන් යොදාගත්තේ බලයට තිබෙන ආශාවයි. සාතන් ඔහුට පැවසුවේ තමන්ට එක් වරක් වැඳ වැටී නමස්කාර කළොත් මේ ලෝකයේ තිබෙන සියලු රාජ්‍යයන් ඔහුට ලබා දෙන බවයි. සාතන් පැවසූ දේ ගැන යේසුස්ට දෙවරක් සිතන්න අවශ්‍ය වුණාද? නැහැ. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’ කියා ලියා තිබෙන” බව යේසුස් ඒ මොහොතේම සාතන්ට පැවසුවා. (මතෙව් 4:10) වෙනත් කෙනෙකුට නමස්කාර කිරීම සඳහා යේසුස්ව පොලඹවාගැනීමට සාතන්ට කිසිසේත් හැකි වුණේ නැහැ. ඔහුට ලෝකයේ තිබෙන සියලු රාජ්‍යයන්වල බලය හා කීර්තිය ඉදිරිපත් කළත් දෙවිට දැක්වූ කීකරුකම කිසි ලෙසකින්වත් බිඳ දැමීමට සාතන්ට හැකි වුණේ නැහැ.

15 සාතන් ඔහුගේ උත්සාහය අත්හැරියාද? නැහැ. යේසුස් ඔහුට අණ කළ පරිදි ඔහු යේසුස්ගෙන් ඉවත්ව ගියත් “ඔහු තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් ඔහුගෙන් අහක්ව ගියේය” කියායි ලූක්ගේ සුවිශේෂයේ සඳහන් වන්නේ. (ලූක් 4:13) එයින් අදහස් කරන්නේ යේසුස් මේ පොළොවේ සිටි කාලය පුරාම ඔහුව වරදට හසු කරගැනීමට සුදුසු අවස්ථාවන් එන තුරු සාතන් බලා සිටිය බවයි. බයිබලයේ යේසුස් ගැන සඳහන් වන්නේ ඔහු “සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට” මුහුණ දුන් බවයි. (හෙබ්‍රෙව් 4:15) ඒ නිසා යේසුස්ට නිරතුරුවම සුපරීක්ෂාකාරීව සිටීමට සිදු වුණා. අපත් එලෙස සිටිය යුතුයි.

16. අපව වරදට හසු කරගැනීමට සාතන් යොදන උපායන් මොනවාද? අප ඒවාට හසු නොවී සිටින්නේ කොහොමද?

16 අපවද වරදට හසු කරගැනීමට සාතන් මාන බලමින් සිටිනවා. අපගේ පව්කාර ස්වභාවය නිසා ඔහුගේ උගුල්වලට පහසුවෙන්ම අපව හසු වන්න පුළුවන්. ඒ සඳහා උඩඟුකම, බලයට තිබෙන ආශාව හා අප ගැන පමණක් සිතීම වැනි නරක ගතිපැවතුම් සාතන් කපටි ලෙස යොදාගන්නවා. ධන සම්පත්වලට අප තුළ ආශාවක් ඇති කිරීමෙන් ඒ සියලු නරක ගතිපැවතුම් එකවර ඉස්මතු කිරීමට ඔහුට හැකියි. ඒ නිසා අපේ සිතුවිලි නිතර සෝදිසි කර බැලීම ඉතා වැදගත්. පළමුවෙනි යොහන් 2:15-17හි සඳහන් වදන් බැරෑරුම්ව කල්පනා කර බැලීම ප්‍රයෝජනදායකයි. එසේ කරද්දී ඉඳුරන් පිනවීමට, ධන සම්පත් රැස් කිරීමට හා අන් අය ඉදිරියේ කැපීපෙනෙන්න තිබෙන ආශාව නිසා දෙවිට දක්වන ප්‍රේමය යම් දුරකට අඩු වී තිබෙනවාද කියා අප සිතා බැලිය යුතුයි. මේ ලෝකයේ පාලකයාත් මේ දුෂ්ට සමාජයත් විනාශ වීමට ආසන්න බව අමතක නොකරමු. සාතන් යොදාගන්නා කපටි උපායන් අප එකහෙළා ප්‍රතික්ෂේප කරමින් ‘කිසි පාපයක් නොකළ’ අපගේ ගුරුවරයාව ආදර්ශයට ගනිමු.—1 පේතෘස් 2:22.

“මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි”

17. යේසුස් තම පියාට කීකරු වීම සැලකුවේ කෙසේද? කීකරුකම ගැන සමහරුන් පවසන්නේ කුමක්ද?

17 කීකරුකම යනු වැරදි ක්‍රියාවලින් වැළකී සිටීම පමණක්ම නොවෙයි. ඊට දෙවිගේ ආඥාවන් පිළිපැදීමත් ඇතුළත්. ඒ සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තැබුවා. ඔහු පැවසුවේ මෙසේයි. “මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි.” (යොහන් 8:29) දෙවිගේ ආඥාවන්ට කීකරු වීම යේසුස්ට ප්‍රීතියක් ගෙන දුන්නා. දෙවිට කීකරු වීම යේසුස්ට එතරම් අමාරු දෙයක් නොවෙන්න ඇති කියා සමහරුන්ට සිතිය හැකියි. මන්ද ඔහුට කීකරු වීමට සිදු වූයේ යෙහෝවා දෙවිට පමණයි කියාත් දෙවි පරිපූර්ණ නිසා ඔහුට කීකරු වීම පහසුයි කියාත් ඔවුන්ට සිතිය හැකියි. නමුත් අපට කීකරු වීමට සිදු වන්නේ වැරදි කිරීමට නැඹුරුවාවක් තිබෙන අයට නිසා එවැනි අයට කීකරු වීම පහසු නැහැයි කියාත් ඔවුන් සිතනවා. නමුත් යේසුස් යම් වගකීම් දැරූ, වැරදි කිරීමට නැඹුරුවාවක් ඇති මනුෂ්‍යයන්ටද කීකරු වුණා.

18. යෞවනයෙක් ලෙස යේසුස් කීකරුකම පෙන්නුවේ කෙසේද?

18 යේසුස් හැදී වැඩුණේ පරිපූර්ණ නොවූ දෙමාපියන් වන මරියා හා යෝසෙප් යටතෙයි. පරිපූර්ණ වූ ඔහුට ඔවුන්ගේ අඩුපාඩු හොඳින් පෙනෙන්න ඇති. ඒ අවස්ථාවේදී ඔහු තම දෙමාපියන්ට යටත් විය යුතු බව අමතක කර මුරණ්ඩු ලෙස ක්‍රියා කරමින්, පවුලක් රැකබලා ගන්නේ කෙසේද කියා ඔවුන්ට උපදෙස් දීමට තැත් කළේ නැහැ. ලූක් 2:51හි සඳහන් වන්නේ 12 හැවිරිදි යේසුස්, “දිගටම ඔවුන්ට කීකරු වී සිටියේය” කියායි. අද දින තම දෙමාපියන්ට කීකරු වීමට හා ගෞරව කිරීමට උත්සාහ දරන යෞවන ක්‍රිස්තියානි දරුදැරියන්ට යේසුස් කදිම ආදර්ශයක්.—එෆීස 6:1, 2.

19, 20. (අ) පරිපූර්ණ නොවූ මිනිසුන්ට කීකරු වීමේදී යේසුස් මුහුණ දුන් අභියෝග මොනවාද? (ආ) අප පෙරමුණ ගන්නා අයට කීකරු විය යුත්තේ ඇයි?

19 පරිපූර්ණ නොවූ මිනිසුන්ට කීකරු වීමේදී යේසුස්ට අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුණා. ඔහු මුහුණ දුන් ආකාරයේ අභියෝගවලට අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට කිසිදා සිදු වන්නේ නැහැ. ඔහු ජීවත් වූ කාලය ගැන සිතා බලන්න. එදා පැවති යුදෙව් ආගමික පිළිවෙතට යෙරුසලමේ දේවමාලිගාව හා පූජක පන්තිය ඇතුළත් වුණා. එය බොහෝ කාලයක් පුරා යෙහෝවා දෙවි අනුමත කළ නමස්කාර පිළිවෙතක්. නමුත් ටික කාලයකින් ඒ පිළිවෙත ඉවත් කර ක්‍රිස්තියානි සභාව පිහිටුවීමට යන බව යේසුස් දැන සිටියා. (මතෙව් 23:33-38) ඒ වගේම ඒ කාලයේ බොහෝ ආගමික නායකයන් උගන්වමින් සිටියේ ග්‍රීක දර්ශනවාදයෙන් උපුටාගත් බොරු අදහස්. දේවමාලිගාව තුළ දූෂිත ක්‍රියාද සිදු වෙමින් තිබුණා. යේසුස් එය හැඳින්වූයේ “කොල්ලකාරයන්ගේ ගුහාවක්” ලෙසයි. (මාක් 11:17) එසේ වුණා කියා යේසුස් දේවමාලිගාවට හා සිනගෝගයට නොගොස් සිටියාද? නැහැ. මන්ද යෙහෝවා දෙවි ඒ වන විට එම සැලැස්ම අහෝසි කර තිබුණේ නැහැ. දෙවි එය වෙනස් කරන තුරු යේසුස් ඊට කීකරුව දේවමාලිගාවේ උත්සවයන්ට හා සිනගෝගයට නොකඩවා ගියා.—ලූක් 4:16; යොහන් 5:1.

20 එවැනි තත්වයන් යටතේදී යේසුස් දෙවිට කීකරුව සිටියා නම් අප ඊටත් වඩා කොතරම් දෙවිට කීකරු විය යුතුද! අප ජීවත් වන්නේ බොහෝ කාලයකට පෙර අනාවැකිවල සඳහන් වූ සැබෑ නමස්කාරය නැවත පිහිටුවනු ලබන කාලයේයි. ඒ වගේම මේ කාලය තුළ දෙවිගේ පිරිසිදු නමස්කාරය දූෂ්‍ය කිරීමට සාතන්ට ඉඩ නොදෙන බව දෙවි පොරොන්දු වී තිබෙනවා. (යෙසායා 2:1, 2; 54:17) ක්‍රිස්තියානි සභාව තුළ සිටින අය අතින්ද වැරදි හා අඩුපාඩු සිදු වන බව ඇත්තයි. නමුත් දෙවිට අකීකරු වීමට එවැනි දේවල් නිදහසට කරුණක් ලෙස අපි යොදාගැනීම සාධාරණද? උදාහරණයකට, එවැනි දේවල් නිසා සභා රැස්වීම්වලට නොයෑමට හෝ වැඩිමහල්ලන්ව විවේචනය කිරීමට අප පෙලඹෙනවාද? එවන් දෙයක් අප අතින් කිසිවිටකත් සිදු නොවිය යුතුයි. අප සභාවේ පෙරමුණ ගන්නා අයට අපගේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. දෙවිට කීකරු වෙමින් රැස්වීම්වලටත් සමුළුවලටත් සහභාගි වී ලැබෙන උපදෙස් අදාළ කරගැනීමටත් අප වෑයම් කළ යුතුයි.—හෙබ්‍රෙව් 10:24, 25; 13:17.

අප දෙවිට කීකරු නම් රැස්වීම්වලින් ඉගෙනගන්නා දේ අදාළ කරගන්නවා

21. දෙවිට අකීකරු වීමට මනුෂ්‍යයන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ යේසුස් ක්‍රියා කළේ කොහොමද? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

21 යේසුස් කිසිවෙකුටවත් එනම් තම හිතෛෂී මිත්‍රයෙකුටවත් දෙවිට තමා දැක්වූ කීකරුකම නැති කිරීමට ඉඩ දුන්නේ නැහැ. තමන් දුක් විඳ මිය යන්න අවශ්‍ය බව එක් අවස්ථාවක යේසුස් පැවසූ විට එවැනි දෙයක් ඔහුට සිදු නොවිය යුතු බව පේතෘස් කියා සිටියා. ඔහු හොඳ චේතනාවෙන් එවැනි දෙයක් කියා සිටියත් එය දෙවිගේ අරමුණට පටහැනි නිසා යේසුස් එය තදින්ම ප්‍රතික්ෂේප කළා. (මතෙව් 16:21-23) අපටද එවැනි බලපෑම්වලට මුහුණ දීමට සිදු විය හැකියි. එවැනි බලපෑම් අපගේ යහපත ගැන සිතන නෑදෑ හිතමිතුරන්ගෙන් පැමිණිය හැකියි. ඒ අය දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් කිරීමට අපට බලපෑම් කළත් යේසුස්ගේ මුල් අනුගාමිකයන් මෙන් “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29.

ක්‍රිස්තුස් මෙන් කීකරු වීමෙන් ලැබෙන ආශීර්වාද

22. යේසුස් පිළිතුරක් ලබා දුන්නේ කිනම් ප්‍රශ්නයටද? ඒ කෙසේද?

22 යේසුස්ගේ මරණය ඔහුගේ කීකරුකම උපරිම අන්දමින් සෝදිසියට ලක් වූ අවස්ථාවක්. එම දුක්බර මොහොතේදී පවා තම කැමැත්තට වඩා තම පියාගේ කැමැත්තට මුල් තැන දීම තුළින් ඔහු පූර්ණ ලෙස ‘කීකරුකම ඉගෙනගත්තා.’ (ලූක් 22:42) දෙවිට විශ්වාසවන්තව සිටීම පිළිබඳ විශිෂ්ටතම ආදර්ශය තැබුවේ ඔහුයි. (1 තිමෝති 3:16) එමගින් සාතන් යොදන උපායන් හමුවේ පරිපූර්ණ මිනිසෙකුට දෙවිට විශ්වාසවන්තව සිටිය හැකිද කියා කාලයක් පුරා පැවති ප්‍රශ්නයට ඔහු පිළිතුරක් ලබා දුන්නා. පරිපූර්ණ වූ ආදම් සහ ඒව දෙවිට විශ්වාසවන්තව සිටීමට අසමත් වුණා. නමුත් යේසුස් මෙලොවට පැමිණ, මිනිසෙකු ලෙස ජීවත් වී මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියා. කීකරු වීම අතිශයින් දුෂ්කර අවස්ථාවේදී පවා ඔහු දෙවිට කීකරු වුණා. එසේ කිරීමෙන් දෙවිගේ නිර්මාණ අතරින් උතුම්ම නිර්මාණය වූ ඔහු සාතන් කළ චෝදනාවට පිළිතුරක් ලබා දුන්නා.

23-25. (අ) දෙවිට කීකරු වීම හා විශ්වාසවන්ත වීම අතර ඇති සම්බන්ධය කුමක්ද? උදාහරණයකින් එය පැහැදිලි කරන්න. (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්නේ කුමක්ද?

23 යමෙකු තුළ දෙවිට තිබෙන විශ්වාසවන්තකම දැකගත හැකි වන්නේ ඔහු පෙන්වන කීකරුකම තුළිනුයි. යේසුස්ගේ කීකරුකමෙන් දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය ඔප්පු වූ අතර එමගින් මුළු මිනිස් වර්ගයාටම ප්‍රයෝජන ලැබුණා. (රෝම 5:19) ඒ වගේම යෙහෝවා දෙවි යේසුස්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා. අපත් අපගේ ස්වාමීන් වන යේසුස්ට කීකරු වෙනවා නම් දෙවි අපටත් ආශීර්වාද කරයි. එමගින් අපට ‘සදාකාලික ගැලවීම’ අත්වෙයි.—හෙබ්‍රෙව් 5:9.

24 දෙවිට විශ්වාසවන්ත වීම ඇත්තෙන්ම ආශීර්වාදයක්. බයිබලයේ හිතෝපදේශ 10:9හි සඳහන් වන්නේ “දෙවිට විශ්වාසවන්තව සිටින තැනැත්තා සුරක්ෂිතව ගමන් කරයි” කියායි. අප දෙවිට දක්වන විශ්වාසවන්තකම විශාල මන්දිරයකට සමාන කළ හැකියි. මන්දිරයක් තැනීමට සවිමත් ගඩොල් කැට විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නා සේම අප දෙවිට විශ්වාසවන්ත පුද්ගලයන් බව හඳුනාගනු ලබන්නේ කාලයක් පුරා අප කළ කීකරු ක්‍රියා තුළිනුයි. එක ගඩොල් කැටයක් එතරම් වටින්නේ නැහැ කියා අපට සිතුණත් මන්දිරය සම්පූර්ණ කිරීමට ඒ ගඩොල් කැටයත් අත්‍යවශ්‍යයි. ඒ හා සමානව අප දිනක් දිනක් පාසා වසරක් වසරක් පාසා කරන සෑම කීකරු ක්‍රියාවක්ම එකතු වීමෙන් අප දෙවිට විශ්වාසවන්ත පුද්ගලයන් බව ඔප්පු වෙනවා.

25 සෑමදාටම කීකරු ජීවිතයක් ගත කිරීමට නම් කෙනෙකුට විඳදරාගැනීමේ ශක්තිය තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය අප ඊළඟ පරිච්ඡේදයෙන් සාකච්ඡා කරනවා.