Skip to content

පටුනට යන්න

7වෙනි පරිච්ඡේදය

යේසුස් විඳදරාගත් ආකාරය හොඳින් සිතා බලන්න

යේසුස් විඳදරාගත් ආකාරය හොඳින් සිතා බලන්න

1-3. (අ) යේසුස් ගෙත්සෙමනය උයනේදී කොතරම් මානසික පීඩනයක් අද්දැක්කාද? (ආ) විඳදරාගැනීම සම්බන්ධයෙන් යේසුස් තැබුවේ කිනම් ආදර්ශයක්ද? අප සලකා බැලිය යුත්තේ කුමන ප්‍රශ්නද?

 යේසුස් දැන් සිටින්නේ ඔහු මෙලොව ගත කිරීමට නියමිත ජීවිතයේ අවසාන මොහොතට ළං වෙලා. ඔහුට දැනෙන පීඩනය මෙතැකයි කියා කිව නොහැකියි. ඔහු එවන් පීඩනයක් මින් පෙර කිසිදා අද්දැක නැහැ. ඔහු නිතර දෙවේලේ ආ ගිය ස්ථානයක් වන ගෙත්සෙමනය උයනට තම නියෝජිතයන් සමඟ ඔහු එම රාත්‍රියේදී පැමිණෙනවා. ඒ අවස්ථාවේදී තනිව සිටීමට කැමැත්තක් දක්වන ඔහු, උයනේ ටික දුරක් ඇවිද ගොස් දණින් වැටී තම පියාට යාච්ඤා කරනවා. ඔහු ඉතා ඕනෑකමින් යාච්ඤා කරන අතර ඔහුට දැනුණු පීඩනය නිසා ඔහුගේ දහඩිය “ලේ බිංදු මෙන් වී පොළොවට” වැටෙනවා.—ලූක් 22:39-44.

2 යේසුස්ට එතරම් පීඩනයක් දැනෙන්නේ ඇයි? ඒ, තව සුළු මොහොතකින් තමා ශාරීරිකව වධ හිංසා විඳීමට යන බව ඔහු දැන සිටි නිසාද? නැහැ! ඊට වඩා බැරෑරුම් කාරණා ඔහුගේ මනසේ තිබුණා. එනම් ඔහුට මුහුණ දීමට සිදු වන සියල්ල විඳදරාගැනීමෙන් පමණයි තම පියාගේ නාමයට ගෞරවයක් ලැබෙන්නේ කියා ඔහු දැන සිටියා. මුළු මිනිස් වර්ගයාගේ අනාගතය රඳා පවතින්නේ තමා දෙවිට දක්වන විශ්වාසවන්තකම මත බවත් ඔහු දැන සිටියා. එදින ඔහු විඳදරාගැනීම සම්බන්ධයෙන් මුළු මිනිස් වර්ගයා ඉදිරියේම තැබුවේ විශිෂ්ට ආදර්ශයක්. ඔහු අවසන් හුස්ම හෙළන්න සුළු මොහොතකට පෙර, “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියා පවසන්නේ හද පිරී තෘප්තියකිනුයි.—යොහන් 19:30.

3 යේසුස් ‘විඳදරාගත් ආකාරය හොඳින් කල්පනා කර බලන්න’ කියා බයිබලය අපට දිරිගන්වනවා. (හෙබ්‍රෙව් 12:3) ඒ නිසා අප මෙම ප්‍රශ්නවලට අවධානය දීම වැදගත්. යේසුස්ට විඳදරාගැනීමට සිදු වූ පීඩා මොනවාද? ඔහුට විඳදරාගැනීමට උපකාරවත් වූයේ කුමක්ද? අපට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කොහොමද? එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට පෙර විඳදරාගන්නා පුද්ගලයෙක් කටයුතු කරන්නේ කෙසේද කියා අපි සලකා බලමු.

විඳදරාගැනීම යනු කුමක්ද?

4, 5. (අ) විඳදරාගන්නා පුද්ගලයෙක් කටයුතු කරන්නේ කෙසේද? (ආ) විඳදරාගන්නවා යනු දුෂ්කරතාවලට මුහුණ දීමම නොවෙයි කියා උදාහරණයකින් පැහැදිලි කරන්න.

4 අප සැමට, කලින් කලට “විවිධ පීඩා හා දුෂ්කරතාවලට මුහුණ” දීමට සිදු වෙනවා. (1 පේතෘස් 1:6) පීඩාවලට මුහුණ දුන් පමණින් අප විඳදරාගන්නා පුද්ගලයන් වෙනවාද? නැහැ. බයිබල් ලේඛකයන් විඳදරාගැනීම යන වචනය යෙදීමේදී අදහස් කළ දෙය එක් විද්වතෙක් මෙසේ පැහැදිලි කරනවා. ‘විඳදරාගන්නා පුද්ගලයෙක් පීඩා හමුවේදී බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. ඔහුගේ ජීවිතයේ සියලු බාධා කම්කටොලු හමුවේ නොසැලී ඉදිරිය දෙස බැලීමේ හැකියාවක් ඔහු සතුයි. ඉතාමත් දුෂ්කර පීඩාවක් අද්දැක්කත් ඒ පීඩාවට සාර්ථකව මුහුණ දීමෙන් සිදු වන යහපත දැකීමට එවැනි කෙනෙකුට හැකියි.’

5 එසේනම් විඳදරාගන්නවා කීමෙන් අදහස් කරන්නේ අපට කිසිසේත් වළක්වාගත නොහැකි දුක් පීඩාවලට මුහුණ දීමම නොවෙයි. බයිබලයට අනුව විඳදරාගන්නා පුද්ගලයෙක් පීඩා හමුවේ ස්ථිරව සිටිනවා. ඔහු අවබෝධයෙන් ක්‍රියා කරන අතර බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. මේ උදාහරණය සලකා බලන්න. එකම දඬුවම ලැබූ සිරකරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන්ට විරුද්ධව තිබෙන චෝදනා එකිනෙකට වෙනස්. එක් සිරකරුවෙක් දඬුවම් විඳින්නේ ඔහු කළ අපරාධයක් නිසයි. අනික් සිරකරුවා දඬුවම් විඳින්නේ සැබෑ ක්‍රිස්තියානියෙක් ලෙස විශ්වාසවන්තව සිටි නිසයි. ඔහු ඒ දඬුවම තමන්ගේ විශ්වාසවන්තකම ඔප්පු කිරීමට ලද අවස්ථාවක් ලෙස සලකන නිසා ඔහු සියල්ල දරාගන්නේ සතුටින්. ඔහු විඳදරාගැනීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. නමුත් අපරාධකරුවා සිටින්නේ කලකිරුණු, බලාපොරොත්තු සුන් වූ තත්වයකයි.—යාකොබ් 1:2-4.

6. අප විඳදරාගන්නා පුද්ගලයන් වන්නේ කොහොමද?

6 ගැලවීම ලැබීමට නම් අපට අනිවාර්යයෙන්ම විඳදරාගැනීමේ හැකියාව තිබිය යුතුයි. (මතෙව් 24:13) නමුත් කිසිවෙකුටවත් උපතින්ම ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. එය අත් කරගත යුතු දෙයක්. එය අත් කරගන්නේ කෙසේද කියා රෝම 5:3හි මෙසේ සඳහන් වෙනවා. “පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.” විඳදරාගන්නා පුද්ගලයන් වීමට නම් දෙවිට විශ්වාසවන්තව සිටීමේදී අත්විඳින්න සිදු වන පීඩාවලට නිර්භීතව මුහුණ දී ඒවා දරාගත යුතුයි. අප එක් පීඩාවකට සාර්ථකව මුහුණ දෙන විට ඊළඟ පීඩාවට මුහුණ දෙන්න අපට දිරිය ලැබෙනවා. අපි අද්දකින සුළු හෝ දරුණු පීඩාවලට එලෙස සාර්ථකව මුහුණ දෙන විට අප විඳදරාගන්නා පුද්ගලයන් බවට පත් වෙනවා. නමුත් එය අපගේම ශක්තියෙන් ඇති වන දෙයක් නොව, ‘දෙවි සපයා දෙන ශක්තිය මත රඳා සිටීමෙන්’ අත්වන්නා වූ දෙයක්. (1 පේතෘස් 4:11) පීඩා හමුවේ නොසැලී සිටීමට යෙහෝවා දෙවි අපට දිය හැකි හොඳම උපකාරය ලබා දී තිබෙනවා. ඒ තම පුත්‍රයාගේ ආදර්ශයයි. යේසුස් විඳදරාගැනීම සම්බන්ධයෙන් තැබූ අනගි ආදර්ශය අපි දැන් සලකා බලමු.

යේසුස් විඳදරාගත් පීඩා

7, 8. යේසුස්ගේ ජීවිතයේ අවසන් මොහොතේ ඔහුට විඳදරාගැනීමට සිදු වූයේ කුමන පීඩාද?

7 යේසුස් පොළොව මත ජීවිතය අවසන් කිරීමට ළං වෙමින් සිටියදී බොහෝ කුරිරුකම්වලට මුහුණ දුන්නා. ඔහු ගත කළ අවසාන රාත්‍රියේදී ඔහු සිටියේ වචනයෙන් කිව නොහැකි තරම් මානසික පීඩනයකින්. ඒ විතරක් නෙවෙයි ඔහුගේම මිත්‍රයෙක් ඔහුව පාවා දුන් විටත් ඔහු ළඟින් ඇසුරු කළ මිත්‍රයන් ඔහුව අත්හැර ගිය විටත් ඔහුට මොනතරම් දුකක් දැනෙන්න ඇද්ද! ඊට අමතරව ඔහුට විඳින්න සිදු වූ නින්දා අපහාස ගැන මොහොතකට සිතා බලන්න. ප්‍රධාන ආගමික මන්ත්‍රණ සභාවේදී අසාධාරණ නඩු විභාගයකට පෙනී සිටින්න ඔහුට සිදු වුණා. එහි සාමාජිකයන් ඔහුට නින්දා අපහාස කර, ඔහුගේ මුහුණට කෙළ ගසා, අත මිටමොළවා ඔහුට පහර දුන්නා. නමුත් යේසුස් ඒ සියල්ලට මුහුණ දුන්නේ එඩිතරව හා සන්සුන්වයි.—මතෙව් 26:46-49, 56, 59-68.

8 යේසුස් ගත කළ අවසන් පැය කිහිපය තුළ ඔහු ශාරීරිකව ඉමහත් වේදනාවක් වින්දා. ඔහුට ගැසූ දරුණු කස පහරවල් නිසා ඔහුගේ සම “ගැඹුරට පැලී සෑහෙන රුධිර ප්‍රමාණයක් ගැලූ” බව ප්‍රසිද්ධ වෛද්‍ය සඟරාවක සඳහන් වෙනවා. ඔහුව වධකණුවට තියා ඔහුගේ අත්හා පාද පසාරු කරගෙන යන සේ විශාල ඇණ ගසද්දී ඔහුට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! (යොහන් 19:1, 16-18) කණුව ඉහළට ඔසවද්දී ඔහුගේ ශරීරයේ බරට ඔහුගේ අත්වල හා පාදවල තුවාල පෑරෙන්න ඇති. ඔහුගේ පිටේ පැළුණු සම කණුවේ ඇතිල්ලෙද්දී ඔහුට දැනුණු වේදනාව මෙතැකයි කියා කිව නොහැකියි. යේසුස්ව වධකණුවක එල්ලා මරන්න තීන්දු කළ නිසා “ඔහුට දීර්ඝ වේලාවක් පුරා දරුණු වේදනාවක් විඳිමින් මිය යෑමට සිදු වුණා” කියා එම සඟරාවේම සඳහන් වෙනවා. ඒ සියලු වේදනා ඔහු දරාගත්තේ මෙම පරිච්ඡේදයේ මුල සඳහන් කළ අනිකුත් මානසික පීඩනයන්ද සමඟයි.

9. “වධකණුව” රැගෙන යේසුස්ව අනුගමනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

9 යේසුස්ගේ අනුගාමිකයන් ලෙස අපට විඳදරාගැනීමට සිදු වන්නේ කුමනාකාරයේ පීඩාවන්ද? ඔහු පැවසුවේ මෙයයි. ‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම වධකණුව රැගෙන දිගටම මා අනුව එන්න අවශ්‍යයි.’ (මතෙව් 16:24) එම පදයේ “වධකණුව” යන යෙදුම භාවිත කර තිබෙන්නේ වධ වේදනා, නින්දා අපහාස හෝ මරණයට පවා අපට මුහුණ දීමට සිදු වෙයි යන්න ඇඟවීමටයි. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීම පහසු දෙයක් නොවෙයි. ක්‍රිස්තියානීන් ලෙස අප පිළිපදින ප්‍රතිපත්ති නිසා අප කටයුතු කරන්නේ අවට සිටින අයට වඩා වෙනස් ආකාරයටයි. ඒ නිසා ඔවුන් අපට වෛර කරනවා. (යොහන් 15:18-20; 1 පේතෘස් 4:4) එසේවුණත් අපගේ වධකණුව අප රැගෙන යන්නේ සතුටින්. එනම් කුමන වධ වේදනාවකට මුහුණ දීමට සිදු වුණත්, මරණය පවා අද්දැකීමට සිදු වුණත් ඒ සියල්ල අපි විඳදරාගැනීමට සූදානම්. අප නිරතුරුවම අනුගමනය කරන්නේ ක්‍රිස්තුස්ගේ ආදර්ශයයි.—2 තිමෝති 3:12.

10-12. (අ) තමා අවට සිටි අයගේ අඩුපාඩු නිසා යේසුස්ට දුකක් ඇති වුණේ ඇයි? (ආ) යේසුස්ට මුහුණ දීමට සිදු වූ පීඩාකාරී තත්වයන් මොනවාද?

10 යේසුස් මෙලොව සේවය කළ කාලය තුළ ඔහු අවට සිටි අය අතින් සිදු වූ අඩුපාඩුකම්ද ඔහුට දරාගැනීමට සිදු වුණා. පොළොව හා ඒ මත ඇති සියලුම ජීවීන්ව නිර්මාණය කිරීමේදී යෙහෝවා දෙවිගේ “ප්‍රධාන සේවකයා” ලෙස යේසුස් කටයුතු කළ බව අපි කලින් සාකච්ඡා කළා ඔබට මතක ඇති. (හිතෝපදේශ 8:22-31) යෙහෝවා දෙවි මිනිස් වර්ගයා සඳහා අරමුණු කළ දේ කුමක්ද කියා යේසුස් දැන සිටියා. එනම් ඔවුන් දෙවිගේ ගතිලක්ෂණ විදහාපාමින්, සතුටින් පිරි නිරෝගී ජීවිතයක් ගත කිරීමයි. (උත්පත්ති 1:26-28) නමුත් යේසුස් මෙලොවට පැමිණි විට, මිනිසුන්ගේ ජීවිත කොතරම් පිරිහීමට ලක් වී තිබුණාද කියා ඔහුට හොඳින් වැටහුණා. ඔහු මිනිසෙකු වූ නිසා මිනිසුන් අත්විඳි දුක්ඛිත තත්වය තේරුම්ගැනීම ඔහුට අමාරු වුණේ නැහැ. ආදම් සහ ඒව සිටි තත්වයත් තමා පොළොවට පැමිණි විට මිනිසුන්ගේ තත්වයත් අතර තිබූ විශාල වෙනස දුටු විට යේසුස්ට කොතරම් දුකක් දැනෙන්න ඇද්ද! එයත් යේසුස්ගේ විඳදරාගැනීම පරීක්ෂාවට ලක් කළ දෙයක්. මිනිසුන් වෙනුවෙන් මහන්සි වීම පලක් නැහැ කියා සිතමින් ඔහු අධෛර්යයට පත් වුණාද? අපි ඒ ගැන දැන් සලකා බලමු.

11 යුදෙව්වන් ඔහුගේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් නොදැක්වූ විට යේසුස් ඒ ගැන කොයි තරම් දුක් වුණාද කිවහොත් ඔහු ඇඬුවා. නමුත් ඒ දේවල් නිසා ඔහු තම උද්‍යෝගය නැති කරගත්තේවත් දේශනා කිරීම නතර කළේවත් නැහැ. “ඔහු දිනපතාම දේවමාලිගාවේ ඉගැන්වූවේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 19:41-44, 47) තවත් අවස්ථාවකදී පරිසිවරු යේසුස්ට චෝදනා කිරීමේ අටියෙන්, ඔහු සබත් දවසක මිනිසෙකුව සුව කරන තුරු බලා සිටියා. ඔවුන්ගේ සිත්වල දැඩිකම දුටු යේසුස් ‘බොහෝ සෙයින් දුක් වුණා.’ තමන් ධර්මිෂ්ඨයි කියා සිතූ ඒ විරුද්ධවාදීන්ට ඔහු භය වුණාද? කොහෙත්ම නැහැ! ඔහු කිසිම භයක් නැතුව සිනගෝගය මැදදීම ඒ මිනිසාව සුව කළා.—මාක් 3:1-5.

12 යේසුස් ළඟින්ම ඇසුරු කළ ගෝලයන්ගේ දුර්වලකම්ද ඔහුට පීඩාකාරී දෙයක් වන්නට ඇති. අපි තුන්වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කළ පරිදි ඔවුන් නිතරම ආශා කළේ ප්‍රසිද්ධිය ලබාගැනීමටයි. (මතෙව් 20:20-24; ලූක් 9:46) යේසුස් ඔවුන්ට නිහතමානී වීමේ වැදගත්කම කිහිප වතාවක්ම කියා දුන්නා. (මතෙව් 18:1-6; 20:25-28) නමුත් ඔවුන් ඒ කාරණය විගස අවබෝධ කරගත්තේ නැහැ. යේසුස් ඔවුන් සමඟ ගත කළ අවසාන රාත්‍රියේදී පවා තමන් අතර උතුම් තැනැත්තා කවුද යන්න ගැන ඔවුන් අතර ‘ඉතා උණුසුම් විවාදයක් ඇති වුණා.’ (ලූක් 22:24) ඔවුන් වෙනුවෙන් මහන්සි වෙලා පලක් නැහැ කියා සිතමින් යේසුස් බලාපොරොත්තු අත්හැරියාද? නැහැ. ඔහු ඔවුන් සමඟ දිගටම ඉවසිලිවන්තව කටයුතු කළා. ඔවුන්ගේ යහපත් ගුණාංග ඔහු දුටුවා. ඔවුන්ගේ හදවතේ යෙහෝවා දෙවිට ප්‍රේමයක් තිබෙන බවත් දෙවිගේ කැමැත්ත කිරීමට ඔවුන් තුළ ආශාවක් තිබෙන බවත් යේසුස් දැන සිටියා.—ලූක් 22:25-27.

විරුද්ධවාදිකම් හමුවේ අප අධෛර්යයට පත් වෙනවාද නැත්නම් උද්‍යෝගයෙන් දේශනා සේවයේ යෙදෙනවාද?

13. යේසුස්ට මෙන් කුමන පීඩාවන්ට මුහුණ දීමට අපට සිදු වෙයිද?

13 අපටත් යේසුස් මෙන් විඳදරාගැනීමට සිදු විය හැකියි. උදාහරණයකට, ශුභාරංචියට සවන් දෙන්න අකමැති හෝ ඊට විරුද්ධ වන අයව අපට හමු විය හැකියි. එවැනි අයගේ විරුද්ධවාදිකම් නිසා අප අධෛර්යයට පත් වෙනවාද? නැත්නම් අප දිගටම උද්‍යෝගයෙන් දේශනා කරනවාද? (තීතස් 2:14) සභාවේ සිටින අපගේ සහෝදර සහෝදරියන් අතින් සිදු වන අඩුපාඩුද අපට පීඩාවක් විය හැකියි. ඔවුන් නොසැලකිලිමත් ලෙස කියන හෝ කරන යමක් නිසා අපේ සිත රිදෙන්න පුළුවන්. (හිතෝපදේශ 12:18) ඔවුන් කවදාවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්නේ නැහැයි කියා අප සිතන්න පෙලඹෙනවාද? එහෙමත් නැත්නම් ඔවුන් තුළ තිබෙන යහපත් ගතිගුණ දකින්න වෑයම් කරමින් ඔවුන්ගේ අඩුපාඩු ඉවසා දරාගන්න අප සූදානම්ද?—කොලොස්සි 3:13.

යේසුස්ට උපකාරවත් වූ දේ

14. යේසුස්ට පීඩා හමුවේ ස්ථිරව සිටීමට උපකාරවත් වූ කාරණා දෙක කුමක්ද?

14 යේසුස්ට විඳින්න සිදු වූ මානසික පිඩනය, නින්දා අපහාස හා දුක් වේදනා හමුවේ ස්ථිරව සිටීමටත් දෙවිට විශ්වාසවන්තව සිටීමටත් ඔහුට උපකාරවත් වූයේ කුමක්ද? ඊට කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් දායක වුණා. පළමුවෙනි කාරණය නම් ‘විඳදරාගැනීමට උපකාරය ලබා දෙන දෙවිට’ කන්නලව් කරමින් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීමයි. (රෝම 15:5) දෙවෙනි කාරණය නම් විඳදරාගැනීමෙන් අත්වන ප්‍රයෝජන ගැන කල්පනා කර බැලීමයි. අපි දැන් එම කාරණා එකිනෙක සලකා බලමු.

15, 16. (අ) විඳදරාගැනීම සඳහා යේසුස් තම ශක්තිය මත රඳා නොසිටි බව අප දන්නේ කොහොමද? (ආ) යේසුස්ට තම පියා කෙරෙහි කුමනාකාරයේ නිසැකකමක් තිබුණාද? ඒ ඇයි?

15 යේසුස් දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වුණත් ඔහු දේවල් විඳදරාගැනීම සඳහා තමාගේම ශක්තිය මත පමණක් රඳා සිටියේ නැහැ. ඔහු දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළා. පාවුල් ඒ ගැන සඳහන් කළේ මෙසේයි. ‘ක්‍රිස්තුස් තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළා.’ (හෙබ්‍රෙව් 5:7) යේසුස් “ඉදිරිපත් කළේ” ඉල්ලීම් පමණක් නොවෙයි. ඔහු කන්නලව් කළ බවත් එහි සඳහන්ව ඇති බව ඔබ දුටුවාද? “කන්නලව්” කිරීම යනු ඉතා ඕනෑකමින්, බැගෑපත් ලෙස අයැදීමයි. “කන්නලව්” කියා බහු වචනයෙන් යොදා තිබීමෙන් පැහැදිලි වන්නේ යේසුස් නැවත නැවත එසේ යෙහෝවා දෙවිට යාච්ඤා කළ බවයි. ගෙත්සෙමනය උයනේදීත් යේසුස් එලෙස නැවත නැවත ඉතා ඕනෑකමින් යාච්ඤා කළා.—මතෙව් 26:36-44.

16 යෙහෝවා දෙවි තම කන්නලව්වලට සවන් දෙන බව යේසුස් දැන සිටියා. තම පියා “යාච්ඤා අසන තැනැත්තා” නිසා ඒ ගැන ඔහුට කිසිම සැකයක් තිබුණේ නැහැ. (ගීතාවලිය 65:2) යේසුස් තම පියා සමඟ ස්වර්ගයේ සිටි කාලයේදී දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවන්ට පිළිතුරු දුන් ආකාරය යේසුස් දැක තිබුණා. උදාහරණයකට, අනාගතවක්තෘ දානියෙල් යෙහෝවා දෙවිට ඉතා ඕනෑකමින් යාච්ඤා කළ අවස්ථාවකදී ඔහුගේ යාච්ඤාව අවසන් කරන්නත් කලින් ඊට පිළිතුරු සැපයීමට දෙවි දේවදූතයෙකුව පිටත් කළ ආකාරය යේසුස් සියැසින්ම දුටුවා. (දානියෙල් 9:20, 21) එසේනම් තම එකම පුත්‍රයා ‘බලවත් ලෙස හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත්’ කළ විට, පියා පිළිතුරු නොදී සිටීද? තම පුත්‍රයා කන්නලව් කළ විට ඊට සවන් දුන් යෙහෝවා දෙවි එම දුෂ්කර අවස්ථාවේදී දේවදූතයෙකුව එවා ඔහුව ශක්තිමත් කළා.—ලූක් 22:43.

17. විඳදරාගැනීමට අප දෙවිගෙන් උපකාරය පැතිය යුත්තේ ඇයි? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද?

17 එසේනම් අපත් විඳදරාගැනීම සඳහා “බලය දෙන තැනැත්තා” වන යෙහෝවා දෙවි කෙරෙහි අපගේ විශ්වාසය තැබිය යුතුයි. (ෆිලිප්පි 4:13) දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා උපකාරය පතා දෙවිට කන්නලව් කළා නම් අප ඊටත් වඩා කොතරම් දෙවිට කන්නලව් කළ යුතුද! යේසුස් කළා හා සමානව අපටත් දෙවිට නැවත නැවත ආයාචනා කරන්න සිදු විය හැකියි. (මතෙව් 7:7) අද දින දේවදූතයන් අප ළඟට ඇවිත් උපකාර කරන්නේ නැහැ. නමුත් “රෑ දවල් කන්නලව් කරමින් ඔහුට නොකඩවා යාච්ඤා” කරන ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආයාචනාවලට අපගේ ප්‍රේමණීය දෙවි සවන් දී පිළිතුරු දෙන බව අපට ස්ථිර විය හැකියි. (1 තිමෝති 5:5) අප සෞඛ්‍ය ගැටලුවලින්, වියෝදුකින් හෝ විරුද්ධවාදීන්ගෙන් එල්ල වන පීඩාවලින් දුක් විඳිනවා විය හැකියි. නමුත් ඒවාට ප්‍රඥාවන්තව, නිර්භීතව හා විඳදරාගැනීමෙන් යුතුව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා අප යාච්ඤා කරද්දී යෙහෝවා දෙවි ඒ යාච්ඤාවලට අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා.—2 කොරින්ති 4:7-11; යාකොබ් 1:5.

විඳදරාගැනීමට උපකාරය ඉල්ලා යාච්ඤා කරන විට යෙහෝවා දෙවි පිළිතුරු දෙයි

18. යේසුස් පීඩා විඳිද්දී බලාපොරොත්තුව ඔහුට ශක්තියක් වුණේ කොහොමද?

18 යේසුස්ට උපකාරවත් වූ දෙවෙනි කාරණය නම් අනාගතයේ සිදු වන යහපත ගැන කල්පනා කිරීමයි. “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 12:2) බලාපොරොත්තුව, ප්‍රීතිය හා විඳදරාගැනීම එකිනෙකට අත්වැල් බැඳගන්නා ආකාරය යේසුස්ගේ ආදර්ශයෙන් අපට පැහැදිලි වෙනවා. එනම්, යම් දෙයක් ගැන බලාපොරොත්තුවක් අපට තිබෙන විට අප සිටින්නේ ප්‍රීතියෙන්. එවිට ඒ බලාපොරොත්තුව ඉටු වන තුරු ඕනෑම පීඩාවක් විඳදරාගැනීමට ඒ ප්‍රීතිය අපට උපකාරවත් වෙනවා. (රෝම 15:13; කොලොස්සි 1:11) යේසුස්ට අනාගතය සඳහා ප්‍රීතිමත් බලාපොරොත්තු රැසක් තිබුණා. තම පියාට විශ්වාසවන්තව සිටීමෙන් මුළු විශ්වයම පාලනය කිරීම සඳහා දෙවිට තිබෙන අයිතිය තහවුරු කිරීමට දායක විය හැකි බව ඔහු දැන සිටියා. ඒ වගේම මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් මුදවාගැනීමට හැකි වන්නෙත් එමගින් බව ඔහු දැන සිටියා. කීකරු මිනිසුන්ට ආශීර්වාද ලබා දීම සඳහා රජෙක් හා උත්තම පූජකයෙක් ලෙස සේවය කිරීමේ බලාපොරොත්තුවද යේසුස්ට තිබුණා. (මතෙව් 20:28; හෙබ්‍රෙව් 7:23-26) තමා ඉදිරියේ තිබූ ඒ බලාපොරොත්තු ගැන නිතරම කල්පනා කිරීමෙන් යේසුස් කියා නිම කළ නොහැකි ප්‍රීතියක් අද්දැක්කා. දුෂ්කරතා විඳදරාගැනීමට එම ප්‍රීතිය ඔහුට මහත් රුකුලක් වුණා.

19. පීඩාවන්ට මුහුණ දෙන විට බලාපොරොත්තුව, ප්‍රීතිය හා විඳදරාගැනීම අපේ ජීවිතයට ශක්තියක් කරගත හැක්කේ කෙසේද?

19 යේසුස් මෙන් අපත් බලාපොරොත්තුව, ප්‍රීතිය හා විඳදරාගැනීම යන කාරණා එකට අත්වැල් බැඳගැනීමට ඉඩහැරීමෙන් අපේ ජීවිතයට ශක්තියක් ලබාගත යුතුයි. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න. පීඩා පැමිණෙන විට විඳදරාගන්න.” (රෝම 12:12) ඔබේ විශ්වාසය නිසා ඔබ දැන් දරුණු පීඩාවන්ට මුහුණ දෙනවාද? එසේනම් අනාගතය සඳහා ඔබට තිබෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන සිතන්න. පාරාදීසයක් වූ පොළොවේ ඔබ ජීවත් වන ආකාරය සිතින් මවාගන්න. විඳදරාගැනීමෙන් යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසාවක් ලැබෙන බවත් අමතක නොකරන්න. දෙවිට විශ්වය පාලනය කිරීමට තිබෙන අයිතිය තහවුරු වන ආකාරයත් මේ දුෂ්ට සමාජය තුරන් වී යන ආකාරයත් අසනීප හා මරණය නැති ජීවිතයක් මිනිසුන්ට උරුම වන ආකාරය පිළිබඳවත් දෙවි දී තිබෙන පොරොන්දු ගැන නිතර කල්පනා කිරීම ඔබේ හදවතට ප්‍රීතියක් ගෙන දෙයි. එවිට ඔබ කුමනාකාරයේ පීඩාවකට මුහුණ දුන්නත් එම ප්‍රීතිය ඔබට ශක්තියක් වේවි. දෙවිගේ රාජ්‍යය තුළින් ඉටු වීමට යන දේවල් ගැන සිතද්දී, අප දැන් අද්දකින්නේ ‘සුළු පීඩාවන්. ඒවා පවතින්නෙත් කෙටි කලකටයි’ කියා කිව හැකියි.—2 කොරින්ති 4:17.

‘ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න’

20, 21. අප කෙසේ විඳදරාගන්නවාටද යෙහෝවා දෙවි කැමති? අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

20 තම අනුගාමිකයෙකු වීමට නම් කෙනෙකුට විඳදරාගැනීමේ හැකියාව තිබිය යුතුයි කියා යේසුස් දැනගෙන සිටියා. (යොහන් 15:20) ඒ වගේම තමන්ගේ ආදර්ශය අන් අයට දිරියක් වන බව ඔහු දැන සිටියා. (යොහන් 16:33) අප යේසුස් මෙන් පරිපූර්ණ නොවන නිසා ඔහු විඳදරාගත් ආකාරයටම අපට විඳදරාගැනීමට නොහැකි බව ඇත්තයි. නමුත් යෙහෝවා දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා පේතෘස් මෙසේ පැහැදිලි කරනවා. “ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.” (1 පේතෘස් 2:21) යේසුස් පීඩා විඳදරාගත් ආකාරය අපට “ආදර්ශයක්.” * ඒ ආදර්ශය ‘පිය සටහන්වලට’ සමාන කළ හැකියි. එම පිය සටහන් අපට එලෙසින්ම අනුගමනය කිරීමට නොහැකි වුවත් ඒවා “කිට්ටුවෙන්” අනුගමනය කළ හැකියි.

21 එමනිසා අපත් යේසුස්ගේ ආදර්ශය අපට හැකි උපරිමයෙන්ම අනුගමනය කිරීමට අදිටන් කරගනිමු. අප යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුකරණය කිරීමට උපරිම උත්සාහයක් දැරුවොත් අපට “අවසානය දක්වා” විඳදරාගැනීමට හැකි වෙයි. එනම් මේ දුෂ්ට සමාජයේ අවසානය දක්වා හෝ අපගේ ජීවිතයේ අවසානය දක්වා අපට විඳදරාගැනීමට හැකි වෙයි. එයින් කුමන දේ මුලින් සිදු වෙයිද කියා අප දන්නේ නැහැ. ඒ කෙසේවෙතත් අප විඳදරාගන්නවා නම් සදාකාලයටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය අපට ලැබෙන බව ස්ථිරයි.—මතෙව් 24:13.

^ 20 ඡේ. “ආදර්ශය” යන වචනයට තිබෙන ග්‍රීක වචනයේ මූලික අර්ථය ගුරුවරයෙකු ලියූ අකුරු බලා ඊට යටින් ශිෂ්‍යයෙකු විසින් ලිවීමයි. එම ශිෂ්‍යයා ඒ අකුරු ගුරුවරයා ලියූ ආකාරයටම ලිවීමට පුරුදු විය යුතුයි. එම වචනය ග්‍රීක ශුද්ධ ලියවිලිවල යොදාගෙන තිබෙන එකම ලේඛකයා පේතෘස්.”