Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

“වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාව”

“වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාව”

1-3. යේසුස් තම දේශනය ඉදිරිපත් කිරීමට පෙර සිදු වූ දේවල් කුමක්ද? ඔහුට සවන් දුන් අය මවිතයට පත් වුණේ ඇයි?

 ක්‍රිස්තු වර්ෂ 31 වසන්ත සමය උදා වෙලා. යේසුස් දැන් සිටින්නේ ගලීල වෙරළ තීරයේ වයඹ දෙසට පිහිටි නගරයක් වූ කපර්ණවුමට ආසන්නවයි. පෙරදා රාත්‍රිය පුරා ඒ අසල පිහිටි කන්දක යේසුස් තනිවම යාච්ඤා කළා. ඉන්පසු තම ගෝලයන් අතරින් නියෝජිතයන් 12දෙනෙකුව ඔහු තෝරාගත්තා. මේ අතර යේසුස්ව සොයාගෙන පැමිණි මහත් සමූහයක් එහි තැනිතලා බිමක රැස් වී සිටිනවා. ඔවුන්ගෙන් සමහරෙක් දුර ඈත ප්‍රදේශවලින් පැමිණි අයයි. ඔවුන් යේසුස්ව සොයාගෙන ආවේ ඔහුට සවන් දීමටයි. ඔවුන්ගේ රෝග සුව කරගැනීමටත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා. යේසුස් ඒ සියල්ලන්ගේ බලාපොරොත්තු ඉටු කරනවා.—ලූක් 6:12-19.

2 මුලින්ම යේසුස් ඔවුන් ළඟට ගොස් අසනීපයෙන් සිටින අයව සුව කරනවා. ඒ නිසා ඔවුන් අතර කිසිවෙක් දැන් වේදනාවෙන් සිටින්නේ නැහැ. ඉන්පසු යේසුස් ඔවුන්ට උගන්වන්න පටන්ගන්නවා. ඔහු ඒ සඳහා එවකට ජනප්‍රියව තිබූ යුදෙව් සම්ප්‍රදායන්වත් රබ්බිවරුන්ගේ ඉගැන්වීම්වත් යොදා නොගත් නිසා ඔවුන් පුදුමයට පත් වන්න ඇති. ඔහු ඉගැන්නුවේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අදහස්. ඔහු කතා කළේ සෘජුව, සරලව හා පැහැදිලිවයි. ඔහු මෙන් හදවතට කාවදින ආකාරයෙන් කතා කරන කිසිවෙකුට ඔවුන් මින් පෙර සවන් දී තිබුණේ නැහැ. ඔහු උගන්වා අවසන් වූ විට අසා සිටි සියල්ලන්ම මවිතයට පත් වුණා. * ඇත්තෙන්ම එසේ විය යුතුයි. ඊට හේතුව ඔවුන් සවන් දෙමින් සිටියේ මේ ලෝකයේ ජීවත් වූ ප්‍රඥාවන්තම මිනිසාටයි.—මතෙව් 7:28, 29.

‘සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත වුණා’

3 යේසුස්ගේ එම දේශනයත් ඔහු කළ කී වෙනත් බොහෝ දේ පිළිබඳ තොරතුරුත් බයිබලයේ වාර්තා වී තිබෙනවා. අප එම වාර්තා සෝදිසි කර බැලීම ඇත්තෙන්ම වටිනවා. මන්ද “වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාව” තිබෙන්නේ යේසුස්ටයි. (කොලොස්සි 2:3) ඔහුට එම ප්‍රඥාව එනම්, දැනුම හා අවබෝධය භාවිත කරමින් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ලැබුණේ කොහොමද? ඔහු එම ප්‍රඥාවට අනුව ක්‍රියා කළේ කොහොමද? අපට ඔහුව අනුගමනය කළ හැක්කේ කෙසේද?

‘මේ මිනිසාට මෙතරම් ප්‍රඥාවක් කොහෙන්ද?’

4. නාසරෙත් නුවරේදී යේසුස්ට සවන් දුන් අය ඇසූ ප්‍රශ්නය කුමක්ද? එසේ ඇසීමට හේතුව කුමක්ද?

4 යේසුස් දේශනා කිරීමට ගමින් ගමට යමින් සිටියදී එක් අවස්ථාවක තමා හැදී වැඩුණු නාසරෙත් නම් නුවරට ගියා. එහි සිනගෝගයේ උගන්වමින් සිටියදී ඔහුට සවන් දුන් බොහෝදෙනෙක් මවිතයට පත් වී මෙසේ ඇසුවා. ‘මේ මිනිසාට මෙතරම් ප්‍රඥාවක් කොහෙන්ද?’ ඔවුන් එසේ ඇසුවේ යේසුස්ගේ සහෝදර සහෝදරියන් ගැනත් ඔහු හැදී වැඩුණු පවුල් පසුබිම ගැනත් හොඳින් දැන සිටි නිසයි. (මතෙව් 13:54-56; මාක් 6:1-3) යේසුස් දක්ෂ ලෙස කතා කළත් ඔහු වඩුවෙක් මිස රබ්බිවරුන්ගේ ඉහළ පෙළේ පාසැල්වලින් අධ්‍යාපනය ලැබූ කෙනෙකු නොවන බවත් ඔවුන් දැන සිටියා. (යොහන් 7:15) ඇත්තෙන්ම ඔවුන් යේසුස්ගේ ප්‍රඥාව ගැන පුදුමයට පත් වීම සාධාරණයි.

5. යේසුස් තම ප්‍රඥාව ගැන හෙළි කළේ කුමක්ද?

5 යේසුස්ට තිබූ ප්‍රඥාවට හේතුව ඔහු පරිපූර්ණ කෙනෙක් වීම නොවෙයි. පසු කාලයකදී දේවමාලිගාවේ උගන්වන විට ඔහුට එම ප්‍රඥාව ලැබුණේ තමාට වඩා ඉතා උසස් කෙනෙකුගෙන් බව යේසුස් කියා සිටියා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්.” (යොහන් 7:16) යේසුස්ට එම ප්‍රඥාව ලැබුණේ ඔහුව පොළොවට එවූ තම පියාණන්ගෙන්. (යොහන් 12:49) පියාණන් එම ප්‍රඥාව ඔහුට ලබා දුන්නේ කොහොමද?

6, 7. යේසුස්ට තම පියාගෙන් ප්‍රඥාව ලැබුණේ කුමන ආකාරවලින්ද?

6 යේසුස් නිතරම සිතුවෙත් ක්‍රියා කළෙත් යෙහෝවා දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟවයි. පැමිණීමට සිටි ගැලවුම්කරු වන යේසුස් එසේ ක්‍රියාකරන බව යෙසායා කලින්ම පවසා තිබුණා. “ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද දැනුමද තේරුම්ගැනීමේ හැකියාවද නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.” (යෙසායා 11:2) යේසුස් දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව තම සිතුවිලි සකස් කරගනිමින් තීරණ ගත්තා නම් ඔහු කළ කී දේවලින් අසීමිත ප්‍රඥාවක් පිළිබිඹු වීම පුදුමයක්ද?

7 යේසුස් තම පියා සමඟ අසීමිත කාලයක් පුරා ජීවත් වූ බව අප දෙවෙනි පරිච්ඡේදයෙන් සලකා බැලුවා. ඒ කාලයේදී දෙවි සිතන ආකාරය යේසුස් හොඳින් අවබෝධ කරගත්තා. ජීවි හා අජීවි සියලු දේ නිර්මාණය කිරීමේදී දෙවි තම “ප්‍රධාන සේවකයා ලෙස” යේසුස්ව යොදාගත් නිසා ඔහුට මොන තරම් ප්‍රඥාවක් ලැබෙන්න ඇද්ද! යේසුස් පොළොවට පැමිණීමට පෙර ඔහුව ප්‍රඥාව ලෙස හැඳින්වූයේ ඒ නිසයි. (හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:15, 16) යේසුස් තම පියාගෙන් ලද ප්‍රඥාව මේ පොළොවේ සේවය කළ කාලය තුළ ප්‍රයෝජනයට ගත්තා. * (යොහන් 8:26, 28, 38) එසේනම් යේසුස්ගේ ඉගැන්වීම්වල තිබූ ඉමහත් දැනුම හා අවබෝධය ගැනත් නිවැරදි තීරණ ගැනීමට ඔහු සතුව තිබූ හැකියාව ගැනත් අප පුදුම විය යුතු නැහැ.

8. අපට යේසුස්ගේ අනුගාමිකයන් ලෙස ප්‍රඥාවන්ත විය හැක්කේ කෙසේද?

8 යේසුස්ගේ අනුගාමිකයන් ලෙස අපත් ප්‍රඥාවන්ත වීමට දෙවිගේ උපකාරය පැතිය යුතුයි. (හිතෝපදේශ 2:6) අද දින යෙහෝවා දෙවි ආශ්චර්යවත් ලෙස අපට ප්‍රඥාව ලබා දෙන්නේ නැහැ. ඒ වුණත් ජීවිතයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අප ප්‍රඥාව අයැදින විට දෙවි අපට එය ලබා දෙනවා. (යාකොබ් 1:5) නමුත් එය ලබාගැනීමට නම් අපි වෑයමක් දැරිය යුතුයි. “සැඟවුණු නිධාන සොයන්නාක් මෙන්” අප අත්නෑර එය සෙවිය යුතුයි. (හිතෝපදේශ 2:1-6) අප ප්‍රඥාව අඩංගු දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කළ යුතු අතර ඒ අනුව අපගේ ජීවිතයද හැඩගස්වා ගත යුතුයි. ප්‍රඥාවන්තව ක්‍රියා කිරීම සඳහා දෙවිගේ පුත්‍රයාගේ ආදර්ශය අපට ඉතා වැදගත්. යේසුස් ප්‍රඥාවෙන් ක්‍රියා කළ අවස්ථා කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

ප්‍රඥාවන්ත වදන්

බයිබලයේ ඇත්තේ දෙවිගේ ප්‍රඥාවයි

9. යේසුස්ගේ ඉගැන්වීම් තුළින් එතරම් ප්‍රඥාවක් පිළිබිඹු වුණේ කොහොමද?

9 මිනිසුන් බොහෝදෙනෙක් යේසුස්ට සවන් දීමට ඔහුව සොයාගෙන ආවා. (මාක් 6:31-34; ලූක් 5:1-3) ඔවුන් එසේ පැමිණීම පුදුමයක් නොවෙයි. මන්ද යේසුස්ගේ මුවින් සැමවිටම පිට වුණේ ප්‍රඥාවන්ත වදන්. දෙවිගේ වචනය ගැන ඔහුට තිබූ පුළුල් අවබෝධය ඔහුගේ ඉගැන්වීම්වලින් පැහැදිලිව දක්නට ලැබුණා. ඒ වගේම යම් වැරදි ක්‍රියා ගැන උගන්වන විට ඊට මුල් වන හේතුව පහදා දීමටද ඔහුට විශේෂ හැකියාවක් තිබුණා. ඔහුගේ ඉගැන්වීම් ලෝකයේ සිටින කොයි කාගෙත් සිත්ගන්නා අතර ඒවා එදා මෙන් අදටත් ප්‍රයෝජනවත්. “උතුම් උපදේශකයාණන්” ලෙස හඳුන්වනු ලබන යේසුස්ගේ ඉගැන්වීම් තුළ කොතරම් ප්‍රඥාවක් අඩංගුද කියා දැනගැනීමට උදාහරණ කිහිපයක් සලකා බලමු.—යෙසායා 9:6..

10. යේසුස් අපට ඇති කරගැනීමට උනන්දු කළේ කුමන ගුණාංගද? ඒ ඇයි?

10 මෙම පරිච්ඡේදය පටන්ගැන්මේදී සඳහන් වී තිබෙන කන්ද උඩ දේශනය යේසුස්ගේ දීර්ඝතම දේශනයයි. එය ලේඛකයෙක් ලියන ආකාරයට නොව යේසුස් පැවසූ ලෙසම වාර්තා කර තිබෙනවා. එම දේශනයෙන් යේසුස් උත්සාහ කළේ අප කතාබහ කළ යුතු හා හැසිරිය යුතු ආකාරය ගැන යම් උපදෙස් ලබා දීම පමණක් නොවෙයි. අපේ මුවින් පිට වන වදන්වලට හා අපගේ හැසිරීමට සිතුවිලි බලපාන බව යේසුස් හොඳින් දැන සිටියා. ඒ නිසා සිතුවිලි යහපත්ව තබාගැනීමේ අවශ්‍යතාව ඔහු කාවැද්දුවා. ඒ සඳහා මෘදු ස්වභාවයක් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් සාමය ඇති කිරීමට ආශාවක් මෙන්ම අන් අයට දයාව හා ප්‍රේමය පෙන්වීමට කැමැත්තක් වැනි හොඳ ගතිගුණ ඇති කරගන්නා මෙන් ඔහු උනන්දු කරනවා. (මතෙව් 5:5-9, 43-48) අපි එසේ හොඳ ගතිගුණ ඇති කරගන්නා විට අපේ කතාබහ මෙන්ම අපේ හැසිරීමද යෙහෝවා දෙවිට ප්‍රසන්න වෙනවා. ඒ විතරක් නොවෙයි, අන් අය සමඟ පෑහී කටයුතු කිරීමටද අපට හැකි වෙනවා.—මතෙව් 5:16.

11. වැරදි ක්‍රියාවන් ගැන යේසුස් උපදෙස් දුන්නේ කෙසේද?

11 වැරදි ක්‍රියා ගැන උපදෙස් දෙන විට එවන් ක්‍රියාවලට මුල් වන හේතුව යේසුස් පෙන්වා දුන්නා. උදාහරණයකට සැහැසික ක්‍රියාවලින් වැළකීම පමණක් නොව වෛරයේ හැඟීම් සිතේ තබාගෙන සිටීම පවා වැරදි බව ඔහු පෙන්වා දුන්නා. (මතෙව් 5:21, 22; 1 යොහන් 3:15) අනාචාරයේ යෙදීම තහනම් ක්‍රියාවක් බව පෙන්වා දීමේදී තම සහකරුට හෝ සහකාරියට ද්‍රෝහි වීමට මඟ පාදන රාගික සිතුවිල්ල ගැන පවා ඔහු අනතුරු ඇඟෙව්වා. ඒ නිසා වැරදි ආශාවකින් යමෙකු දෙස බැලීමවත් සුදුසු නැති බව ඔහු කියා සිටියා. (මතෙව් 5:27-30) එලෙස යේසුස් වැරදි ක්‍රියාවකට තුඩු දෙන සිතුවිලි හා ආශාවන් ගැන උපදෙස් දුන්නා.—ගීතාවලිය 7:14.

12. යේසුස් දුන් උපදෙස් ඔහුගේ අනුගාමිකයන් සලකන්නේ කෙසේද? ඒ ඇයි?

12 යේසුස්ගේ වදන්වල තිබුණේ මොන තරම් ප්‍රඥාවක්ද! “සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත” වීම පුදුමයක් නොවෙයි. (මතෙව් 7:28) ඔහුගේ අනුගාමිකයන් ලෙස අප ඔහුගේ ප්‍රඥාවන්ත උපදෙස් සලකන්නේ අපගේ ජීවිතයට ලැබුණු මඟ පෙන්වීම් ලෙසටයි. අප උත්සාහ දරන්නේ මෘදුකම, සාමකාමී බව හා ප්‍රේමය වැනි යහපත් ගුණාංග වර්ධනය කරගැනීමටයි. එවිට අපට හැකි වෙයි දෙවිව සතුටු කරන ආකාරයෙන් හැසිරීමට. ඒ විතරක් නොවෙයි, වෛරසහගත හැඟීම් හා දුරාචාරමය සිතුවිලි අපගේ සිත්වලින් උදුරා දැමීමට දැඩි වෑයමක් දැරීමෙන් වැරදි හැසිරීමෙන් වැළකී සිටීමට අපට හැකි වෙයි.—යාකොබ් 1:14, 15.

ඔහු ජීවිතය ගත කළේ ප්‍රඥාවන්තවයි

13, 14. යේසුස් ගත කළ ජීවිතයෙන් ඔහුට ප්‍රඥාව තිබූ බව පැහැදිලි වන්නේ කොහොමද?

13 යේසුස්ගේ ප්‍රඥාව ඔහුගේ කතාබහ තුළින් පමණක් නොව ඔහු ක්‍රියා කළ ආකාරයෙන්ද පිළිබිඹු වුණා. ඔහුගේ මුළු ජීවිතයෙන්ම එනම් ඔහු ගත් තීරණවලින්, තමා ගැන දැරූ ආකල්පයෙන් හා අන් අය සමඟ කටයුතු කළ ආකාරයෙන් ප්‍රඥාවන්තව කටයුතු කිරීමේ වටිනාකම ඔහු විදහාපෙන්නුවා. ‘ප්‍රඥාවද සිතීමේ හැකියාවද’ යේසුස්ගේ ජීවිතයට පහනක් වූ ආකාරය ගැන දැන් අපි සලකා බලමු.—හිතෝපදේශ 3:21.

14 ප්‍රඥාවන්ත කෙනෙකුට හොඳින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා. යේසුස් තම ජීවිතය ගත කළ ආකාරයෙන් ඔහු ප්‍රඥාවන්ත කෙනෙක් වූ බව පැහැදිලියි. මෙලොව ගත කළ ජීවිතය උපරිම අන්දමින් භුක්ති විඳීමට යේසුස්ට හැකියාව තිබුණා. එනම් සුඛෝපභෝගී නිවසක් තැනීමට, ව්‍යාපාරික ලොවේ හිණිපෙත්තටම නැඟීමට හෝ ලොව සුපතළ කෙනෙකු වීමට ඔහුට හැකියාව තිබුණා. නමුත් එවැනි දේවලට තම ජීවිතය කැප කිරීම ‘සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමක්’ කියා ඔහු දැන සිටියා. (දේශනාකාරයා 4:4; 5:10) එසේනම් අපත් අපගේ ජීවිතය එවැනි දේවලට කැප කිරීම අඥාන ක්‍රියාවක්. යේසුස් මුදල් සෙවීමටවත් දේපළ රැස් කිරීමටවත් කාලය යෙදෙව්වේ නැහැ. ඔහු තීරණය කළේ සරල ජීවිතයක් ගත කිරීමටයි. (මතෙව් 8:20) ඔහු ඉගැන්වූ දේට එකඟව තම අවධානය මුළුමනින්ම යොමු කළේ එක් දෙයක් වෙතටයි. ඒ දෙවිගේ කැමැත්ත කිරීමටයි. (මතෙව් 6:22) වස්තුව හා දේපළවලට වඩා දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට මුල් තැන දීම වැදගත් බවත් එසේ කිරීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙන බවත් යේසුස් දැන සිටියා. ඒ නිසා ඔහු තම කාලය හා ශක්තිය ප්‍රඥාවන්තව ඒ වෙනුවෙන් කැප කළා. (මතෙව් 6:19-21) ඔහු අප වෙනුවෙන් තැබුවේ අනුගමනය කිරීමට වටිනා ආදර්ශයක්.

15. යේසුස්ගේ අනුගාමිකයන් තම ජීවිතය සරලව ගත කිරීමට තීරණය කර තිබෙන බව පෙන්වන්නේ කොහොමද? එය නැණවත් තීරණයක් වන්නේ ඇයි?

15 අද දින සිටින යේසුස්ගේ අනුගාමිකයන්ද සරල ජීවිතයක් ගත කිරීම කොතරම් ඥානවන්තද කියා තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් අනවශ්‍ය ලෙස ණය වීමෙන් හා ජීවිතයේ එදිනෙදා කටයුතුවලට තම කාලයත් ශක්තියත් මුළුමනින්ම වැය කිරීමෙන් වැළකී සිටිනවා. (1 තිමෝති 6:9, 10) බොහෝදෙනෙක් දේවසේවයේ වැඩි කාලයක් ගත කිරීමට තම ජීවන රටාවේ යම් වෙනස්කම් කර තිබෙනවා. සමහරුන් පූර්ණකාලීන දේවසේවකයන් වීමටද පියවර ගෙන තිබෙනවා. ජීවිතය එලෙස ගත කිරීම තරම් නැණවත් දෙයක් තවත් නැහැ. මන්ද දේවරාජ්‍යයේ කටයුතු සඳහා මුල් තැන දීමෙන් ලැබෙන සතුට හා සැනසීම වෙනත් කිසිම දෙයකින් ලැබෙන සතුට හා සැනසීමට සමාන කළ නොහැකි නිසයි.—මතෙව් 6:33.

16, 17. (අ) තම සීමාවන් පිළිබඳව යේසුස්ට හොඳ අවබෝධයක් තිබුණ බව ඔහු පෙන්නුවේ කෙසේද? (ආ) අපත් යේසුස් මෙන් ක්‍රියා කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

16 ප්‍රඥාවන්ත කෙනෙක් නිහතමානී බව බයිබලයේ සඳහන් වෙනවා. එවැනි කෙනෙක් සිටින්නේ තම සීමාවන් ගැන හොඳ අවබෝධයකින්. (හිතෝපදේශ 11:2) තමන්ට කළ හැකි හා කළ නොහැකි දේ පිළිබඳව යේසුස්ට හොඳ අවබෝධයක් තිබුණා. රාජ්‍යය පණිවිඩය ඇසූ සියල්ලන්ම තම අනුගාමිකයන් නොවන බව යේසුස් දැන සිටියා. (මතෙව් 10:32-39) තමාට මුළු මිනිස් වර්ගයා වෙතටම පණිවිඩය රැගෙන යා නොහැකි බවත් ඔහු දැන සිටියා. ඒ නිසා ඔහු නැණවත්ව එම කාර්යය තම අනුගාමිකයන්ට පැවරුවා. (මතෙව් 28:18-20) තම අනුගාමිකයන් තමන්ට “වඩා මහත් ක්‍රියා” කරන බව යේසුස් නිහතමානීව පිළිගත්තා. ඊට හේතුව තමන් සේවය කළාට වඩා වැඩි ප්‍රදේශවල ඔවුන් සේවය කරන බවත් තමන්ට වඩා වැඩි පිරිසකට ඔවුන් පණිවිඩය දේශනා කරන බවත් තමන්ට වඩා වැඩි කාලයක් පුරා ඔවුන් එම සේවයේ නිරත වන බවත් යේසුස් දැන සිටි නිසයි. (යොහන් 14:12) යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් ඔහුට උපකාර අවශ්‍ය බව ඔහු පිළිගත්තා. පාළුකරයේ සිටියදීත් ගෙත්සෙමනය උයනේදීත් ඔහුව ශක්තිමත් කිරීමට දේවදූතයන් පැමිණි විට ඔහු එම උපකාර ප්‍රතික්ෂේප කළේ නැහැ. ජීවිතයේ දුෂ්කරතම අවස්ථාවට මුහුණ දෙන විට දෙවිගේ පුත්‍රයා වූ ඔහු තම පියාගෙන් උපකාර පැතුවේ කඳුළු සලමිනුයි.—මතෙව් 4:11; ලූක් 22:43; හෙබ්‍රෙව් 5:7.

17 අපත් අපට කළ හැකි හා කළ නොහැකි දේවල් මොනවාද කියා නිහතමානීව අවබෝධ කරගත යුතුයි. අන් අයට දේශනා කිරීමේදී හා යේසුස්ගේ අනුගාමිකයන් වීමට ඔවුන්ට උපකාර කිරීමේදී අපේ මුළු හදවතින්ම ඊට දායකත්වය ලබා දීම අපේ එකම ආශාවයි. (ලූක් 13:24; කොලොස්සි 3:23) නමුත් යෙහෝවා දෙවි අපව අන් අය සමඟ සසඳන්නේ නැති නිසා අපත් එසේ කිරීමෙන් වැළකිය යුතුයි. (ගලාති 6:4) අප ප්‍රඥාවන්ත අය නම් ජීවිතයේ යම් කාරණා සැලසුම් කරන විට අපේ හැකියාවන් හා තත්වයන් සැලකිල්ලට ගන්නවා. ඊට අමතරව වගකීම් දරන අය තමන්ට සීමාවන් තිබෙන බවත් යම් කාරණාවලදී උපකාරය අවශ්‍ය බවත් තේරුම්ගන්නවා නම් ඉන් පෙන්වන්නේ ඔවුන් ප්‍රඥාවන්ත අය බවයි. එමෙන්ම ඔවුන්ට “ශක්තියක් හා ධෛර්යයක්” ලබා දීමට යෙහෝවා දෙවි සෙසු නමස්කාරකයෙකුව යොදාගන්නා විට ඔවුන් එම උපකාරය සතුටින් පිළිගන්නේ ඔවුන් තුළ නිහතමානිකම තිබෙනවා නම් පමණයි.—කොලොස්සි 4:11.

18, 19. (අ) යේසුස් තම අනුගාමිකයන් සමඟ සාධාරණව හා කාරුණිකව කටයුතු කළ බව අප දන්නේ කොහොමද? (ආ) අප අන් අය සමඟ සාධාරණව හා කාරුණික විය යුත්තේ ඇයි? අප එසේ කරන්නේ කොහොමද?

18 ‘ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු සාධාරණ ලෙස කටයුතු කරයි’ කියා යාකොබ් 3:17හි සඳහන් වෙනවා. යේසුස් තම අනුගාමිකයන් සමඟ කටයුතු කළේ සාධාරණව හා කාරුණිකවයි. යේසුස් ඔවුන් තුළ තිබූ දුර්වලකම් පැහැදිලිව දුටුවත් ඔහු වැඩි අවධානයක් යොමු කළේ ඔවුන් තුළ තිබූ යහපත් ගතිගුණවලටයි. (යොහන් 1:47) තමන්ව අත්අඩංගුවට ගන්නා රාත්‍රියේදී අනුගාමිකයන් තමන්ව අත්හැර යන බව යේසුස් දැන සිටියා. නමුත් තමන් කෙරෙහි ඔවුන්ට තිබූ ළැදිකම ඔහු කිසිවිටකත් සැක කළේ නැහැ. (මතෙව් 26:31-35; ලූක් 22:28-30) පේතෘස් තුන් වතාවක්ම යේසුස්ව හඳුනන්නේ නැහැයි කියා පවසන බව යේසුස් දැන සිටියත් ඔහු පේතෘස් වෙනුවෙන් යාච්ඤා කළා. එමෙන්ම ඔහු විශ්වාසවන්තව කටයුතු කරයි කියා තමන්ට නිසැක බවත් යේසුස් ඔහුට ප්‍රකාශ කළා. (ලූක් 22:31-34) යේසුස් මේ පොළොව මත ගත කළ අන්තිම රාත්‍රියේ තම පියාණන්ට කළ යාච්ඤාවේදී තම අනුගාමිකයන් අතින් සිදු වූ වැරදි සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට “ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා” කියා පවසමින් ඒ දක්වා ඔවුන් විශ්වාසවන්තව ක්‍රියා කළ ආකාරය ගැන ඔහු සඳහන් කළා. (යොහන් 17:6) ඔවුන්ගේ අතින් අඩුපාඩු සිදු වුණත් දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය ඔහු ඔවුන්ට භාර දුන්නා. (මතෙව් 28:19, 20) යේසුස් ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය නිසා ඔහු ආඥා කළ දේ දිගටම කරගෙන යෑමට ඔවුන්ට දිරියක් ලැබූ බව ස්ථිරයි.

19 අද දින යේසුස්ගේ අනුගාමිකයන්ද ඔහුගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් තම අනුගාමියකන් සමඟ ඉවසීමෙන් කටයුතු කළා. එසේනම් පව්කාර අප එකිනෙකා සමඟ කටයුතු කිරීමේදී ඉවසිලිවන්ත හා සාධාරණ වීම කොයි තරම් වැදගත්ද! (ෆිලිප්පි 4:5) අපගේ සහෝදර සහෝදරියන් අතින් සිදු වන වැරදි දෙසම බලනවා වෙනුවට ඔවුන් තුළ තිබෙන හොඳ ගුණාංග දැකීමට වෑයම් කරමු. දෙවිට සේවය කිරීම සඳහා ඔවුන්ගේ සිතේ ආශාවක් ඇති කළේ යෙහෝවා දෙවි බව අප කිසිවිටකත් අමතක නොකරමු. (යොහන් 6:44) යෙහෝවා දෙවි එසේ කළේ ඔවුන්ගේ හොඳ ගුණාංග ඔහු දුටු නිසයි. අපත් යෙහෝවා දෙවි මෙන් අන් අයගේ හොඳ ගුණාංග දැකීමට උත්සාහ කළ යුතුයි. එලෙස ක්‍රියා කරද්දී “වරද අමතක කර දැමීම” පමණක් නොව ඔවුන්ගේ හොඳ ගුණාංග ගැන ඔවුන්ට ප්‍රශංසා කිරීමටද අපව පෙලඹෙයි. (හිතෝපදේශ 19:11) අපේ සහෝදර සහෝදරියන් කෙරෙහි අපට තිබෙන විශ්වාසය ගැන ඔවුන්ට පවසන විට යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්නත් ඉන් සතුටක් ලබන්නත් ඔවුන් දිරිගැන්වෙනවා.—1 තෙසලෝනික 5:11.

20. සුවිශේෂ පොත්වල ඇති වාර්තා අප අගය කරන බව පෙන්වන්නේ කොහොමද? එසේ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 යේසුස්ගේ ජීවිතය හා සේවය පිළිබඳ වාර්තා ඇතුළත් සුවිශේෂ පොත් ඇත්තෙන්ම ප්‍රඥාව අඩංගු නිධානයක්! අප මෙම අමිල නිධානය අගය කරන බව පෙන්වන්නේ කොහොමද? කන්ද උඩ දේශනය අවසානයේදී යේසුස් තමන්ට සවන් දෙමින් සිටි අයට උනන්දු කළේ එම ප්‍රඥාවන්ත ඉගැන්වීම් ඇසීමට පමණක් නොව ඒවා ක්‍රියාවට යොදවන්න කියායි. (මතෙව් 7:24-27) අපගේ සිතුවිලි හා ක්‍රියා යේසුස්ගේ ප්‍රඥාවන්ත වදන් හා ක්‍රියාවලට අනුව හැඩගැස්වීමෙන් අපගේ ජීවිතය සාර්ථක කරගැනීමටත් අනාගතයේදී සදාකාල ජීවිතය උරුම කරගැනීමටත් හැකි වෙයි. (මතෙව් 7:13, 14) ජීවිතය ගත කළ හැකි හොඳම ක්‍රමය එයයි!

^ 2 ඡේ. එම දේශනය පසු කාලයේදී හඳුන්වනු ලැබුවේ කන්ද උඩ දේශනය ලෙසයි. එය බයිබලයේ මතෙව් 5:3–7:27 දක්වා වාර්තා වී තිබෙන අතර එහි පද 107ක් අඩංගුයි. එය ඉදිරිපත් කිරීමට විනාඩි 20ක පමණ කාලයක් ගත වන්න ඇති.

^ 7 ඡේ. යේසුස් බව්තීස්ම වන අවස්ථාවේදී “අහස විවර” වූ විට ස්වර්ගයේ ගත කළ ජීවිතය පිළිබඳ මතකයන් ඔහුට නැවත ලැබෙන්න ඇති.—මතෙව් 3:13-17.