Skip to content

පටුනට යන්න

“අපි කාරණය සමථයකට පත් කරගනිමු”

“අපි කාරණය සමථයකට පත් කරගනිමු”

තුන්වන පරිච්ඡේදය

“අපි කාරණය සමථයකට පත් කරගනිමු”

යෙසායා 1:10-31

1, 2. යෙරුසලමේ සහ යූදාහි සිටි පාලකයන්වත් සෙනඟවත් යෙහෝවා සමාන කරන්නේ කාටද? එමෙන්ම එය යෝග්‍ය මන්ද?

 යෙසායා 1:1-9හි වාර්තා කර ඇති ලෙස තමන්ව ප්‍රසිද්ධියේ හෙළා දැකීමෙන් අනතුරුව, යෙරුසලමේ වැසියන් තමන් අත වරදක් නැති බව පෙන්වන්ට නැඹුරු වෙන්ට ඇති. ඔවුන් යෙහෝවා වෙනුවෙන් කරන සියලුම පූජා ගැන උඩඟු ලෙස කතා කරන්ට කැමති බවට සැකයක් නැහැ. කෙසේවෙතත්, එවැනි ආකල්පයක් නිෂ්ප්‍රභා කරන්නාවූ යෙහෝවාගේ ප්‍රබල පිළිතුර යෙසායා 1:10 සිට 15 දක්වා පදවල සඳහන් වෙනවා. එය ඇරඹෙන්නේ මෙසේයි. “සොදොමේ ආණ්ඩුකාරයෙනි, [යෙහෝවාගේ] වචනය අසන්න; ගොමොරාවේ සෙනගෙනි, අපේ [දෙවිගේ] ව්‍යවස්ථාවට කන්දෙන්න.”—යෙසායා 1:10.

2 සොදොම සහ ගොමොරාව විනාශ කළේ දූෂිත ලිංගික හැසිරීම නිසාම පමණක් නොව, ඔවුන්ගේ සිත් දැඩිකම සහ අහංකාර ආකල්ප නිසයි. (උත්පත්ති 18:20, 21; 19:4, 5, 23-25; එසකියෙල් 16:49, 50) තමන්ව එම ශාප ලත් නුවරවල සිටි ජනයාට සමාන කිරීම ගැන යෙසායාගේ වචන ඇසූ අය කම්පාවට පත් වූවා විය යුතුයි. * එහෙත්, යෙහෝවා තම සෙනඟගේ තත්වය ඇති සැටියෙන්ම දන්නවා. ඒ නිසා, ඔවුන්ගේ “කනට මිහිරි” වන අයුරින් එම පණිවිඩයේ බරපතළකම බාල කරන්ට යෙසායා උත්සාහ කරන්නේ නැහැ.—2 තිමෝති 4:3, NW.

3. සෙනඟගේ පූජාවලින් “කම් කිම්ද” කියා ඇසීමෙන් යෙහෝවා අදහස් කළේ කුමක්ද? ඊට හේතුව කුමක්ද?

3 තම සෙනඟ පිටාතර ඔපයට පමණක් කරන නමස්කාරය ගැන යෙහෝවාට හැඟුණු ආකාරය සලකා බලන්න. “නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි [යෙහෝවා කියන්නේය]. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.” (යෙසායා 1:11) යෙහෝවා ඔවුන්ගේ පූජා මත යැපෙන්නේ නැති බව සෙනඟට අමතක වී තිබුණා. (ගීතාවලිය 50:8-13) මිනිසුන්ගේ කිසිම පූජාවක් ඔහුට අවශ්‍ය නැහැ. ඉතින්, අඩ සිතින් ඔප්පු කරන පූජා යෙහෝවාට උදව්වක් වශයෙන් කරන ඒවායයි සෙනඟ සිතනවා නම්, ඔවුන්ට වෙලා තියෙන්නේ ලොකු වැරදීමක්. යෙහෝවා මෙහිදී ප්‍රබල භාෂාලංකාරයක් පාවිච්චි කරනවා. “මට කම් කිම්ද” යන කියමන “මට ඇති වෙලා” හෝ “මට කාලා ඇති වෙලා” යන්නත් අඟවනවා. කෑම කාලා ඇති වුණාම, ඒ කෑමම අප්‍රිය වෙනවා ඔබ අද්දැක තිබෙනවාද? පූජා සම්බන්ධයෙන් යෙහෝවාට හැඟුණෙත් ඒ ආකාරයටමයි. කොහොමටවත් පේන්ට බැරි තත්වයක්!

4. යෙරුසලමේ පිහිටි දේවමාළිගාවට පැමිණි සෙනඟගේ කුහකකම යෙසායා 1:12 හෙළි කරන්නේ කෙසේද?

4 යෙහෝවා තවදුරටත් මෙසේ කියනවා. “නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද?” (යෙසායා 1:12) ‘පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටින’ ලෙස, ඒ කියන්නේ, යෙරුසලමේ දේවමාළිගාවට පැමිණෙන්ට කියා සෙනඟට කීවේ යෙහෝවාම නෙවෙයිද? (නික්මයාම 34:23, 24) යෙහෝවාම තමයි. හැබැයි, ඔවුන් එහි පැමිණෙන්නේ නිකම්ම චාරිත්‍රයක් හැටියට සලකායි. ඔවුන් නිර්මල නමස්කාරය කිසිම නිර්මල චේතනාවක් නැතුව ඔහේ කරන්නන් වාලේ කරගෙන ගියා. මෙසේ බොහෝ වාරයක් දෙවිගේ මළුවට පැමිණීම මිදුල ‘පෑගීමට’ සමාන කළ අතර, ඒක පොළොව ගෙවීයෑමට ලක්වීමක් ලෙසයි යෙහෝවා සැලකුවේ.

5. යුදෙව්වන්ගේ නමස්කාරයේ ක්‍රියාවන් සමහරක් මොනවාද? එමෙන්ම මේවා යෙහෝවාට “බරක්” වූයේ මන්ද?

5 එසේ නම්, යෙහෝවා ඊටත් වඩා ප්‍රබල භාෂා ශෛලියක් පාවිච්චි කිරීම පුදුමයක්ද! “නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම [අද්භූත බලයන්, NW] සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය [ප්‍රාණය, NW] ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.” (යෙසායා 1:13, 14) ධාන්‍ය පූජා, සුවඳ දුම්, සබත් සහ එක්රැස්වීම් යනාදි සියල්ල දෙවි ඉශ්‍රායෙල්ට දුන් ව්‍යවස්ථාවේ අංග. “අමාවක” හෙවත් නව සඳ දවස් ගැන කියනවා නම්, ඒවා පැවැත්විය යුතුයි කියා ව්‍යවස්ථාවේ කෙළින්ම කියා තිබුණා. ක්‍රමානුකූලව එම උත්සවය හා බැඳි සුවදායක චාරිත්‍ර බිහි වෙන්ට පටන්ගත්තා. (ගණන් කථාව 10:10; 28:11, 13ආ) අමාවක දවස්වලදී සෙනඟ වැඩපළ නොකළ අතර, අනාගතවක්තෘවරුන්ගේ සහ පූජකයන්ගේ උපදෙස් අසන්ට එක්රැස් වුණා. එම දවස මාසික සබතක් ලෙස සලකන්ට පටන්ගත්තා. (2 රාජාවලිය 4:23; එසකියෙල් 46:3; ආමොස් 8:6) එවැනි උත්සව වැරදි නැහැ. ගැටලුව වූයේ, ඔවුන් නිකම්ම පිටාතර ඔපය සඳහා පමණක්ම ඒවා පැවැත්වීමයි. එපමණක්ද නොව, යුදෙව්වන් දෙවිගේ ව්‍යවස්ථාවේ චාරිත්‍ර වාරිත්‍ර පවත්වන අතරේ “අද්භූත බලයන්” හෙවත් ආත්ම බන්ධන ක්‍රියාවන්ගේ සරණ පතනවා. * මෙසේ, ඔවුන් යෙහෝවාට කළ නමස්කාරය ඔහුට “බරක්” බවට පත් වෙනවා.

6. යෙහෝවා ‘වෙහෙසට’ පත් වූයේ කිනම් ආකාරයෙන්ද?

6 කෙසේවෙතත්, යෙහෝවාට “වෙහෙස” දැනෙන්නේ කොහොමද? ‘ශක්තියෙන් බලවත්ම තැනැත්තා ඔහු’ නොවේද? ‘ඔහු වෙහෙසට පත් වන්නේ නැහැ.’ (යෙසායා 40:26, 28) යෙහෝවා තමන්ගේ හැඟීම් තේරුම්ගැනීමට අපිට උපකාර කිරීම සඳහා පැහැදිලි භාෂාලංකාරයක් පාවිච්චි කරනවා. ඔබ කවදා හරි දරාගන්ටම බැරි, හොඳටම වෙහෙසකාරි විශාල බරක් ඉක්මනින්ම ඉවත් කරන්ට බලාගෙන ඉඳල තියෙනවාද? තම සෙනඟගේ කුහක නමස්කාරක ක්‍රියා පිළිවෙත ගැන යෙහෝවාට දැනෙන්නෙත් ඒ ආකාරයටමයි.

7. යෙහෝවා ජනයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දීම නැවැත්වූයේ මන්ද?

7 සියලුම නමස්කාර ක්‍රියා පිළිවෙත් අතරින් වඩාත්ම පෞද්ගලික පිළිවෙත ගැන යෙහෝවා දැන් කතා කරනවා. “නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.” (යෙසායා 1:15) අල්ල දිගහැර, එය ඉහළට සිටින සේ අත් විහිදීම කන්නලව් කිරීමේ එක් ඉරියව්වක්. මේ සෙනඟගේ අත් ලෙයින් නැහැවී තිබූ නිසා, යෙහෝවා ඉදිරියේ එම ඉරියව්වෙන් සිටීමෙන් කිසිම ඵලක් වුණේ නැහැ. සැහැසියාව දේශය පුරාම පැතිර තිබුණා. දුර්වලයන්ව පාගා දැමීම පොදු දෙයක්ව තිබුණා. එවන් නින්දාසහගත, ආත්මාර්ථකාමී සෙනඟක් යෙහෝවාගෙන් ආශීර්වාද ඉල්ලීම කොහෙත්ම ශිෂ්ට නැහැ. “මම නොඅසන්නෙමි” කියා යෙහෝවා කීම ගැන පුදුම වෙන්ට දෙයක් නැහැ!

8. අදදින ක්‍රිස්තියානි ලෝකය කරමින් සිටින වරද කුමක්ද? එමෙන්ම, සමහර ක්‍රිස්තියානීන් ඒ හා සමාන උගුලකට වැටෙන්නේ කෙසේද?

8 ඒ හා සමානව, අපගේ කාලයේ සිටින ක්‍රිස්තියානි ලෝකය නිමක් නැති නිරර්ථක යාච්ඤාවන් ජප කළත්, වෙනත් ආකාර ආගමික “ක්‍රියා” කළත්, දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අසමත්ව සිටිනවා. (මතෙව් 7:21-23) අපිත් එම උගුලටම නොවැටෙන්ට වගබලා ගැනීම ඉතා වැදගත්. ක්‍රිස්තියානිවරයෙක් විටින් විට බරපතළ පාපයක යෙදෙමින්, එම පාපය සඟවාගෙන ක්‍රිස්තියානි සභාව තුළ තම ක්‍රියාකාරකම් වැඩි කරගැනීමෙන් පාපතර ක්‍රියාවේ බරපතළකම තරමක් දුරට අඩු කරගත හැකියි කියා සිතන්ට පුළුවන්. පෙනුමට පමණක් කරන එවැනි ක්‍රියාවලින් යෙහෝවාව ප්‍රසන්න කරන්ට ඔවුන්ට පුළුවන්කමක් නැහැ. යෙසායා පොතේ ඊළඟ පද පෙන්වන ආකාරයට, ආත්මික රෝගීභාවය සඳහා ඇත්තේ එකම එක සුවයක් පමණයි.

ආත්මික රෝගීභාවය සඳහා සුවය

9, 10. යෙහෝවාට කරන අපේ නමස්කාරයේදී පවිත්‍රව සිටීම කොතරම් වැදගත්ද?

9 අනුකම්පාවේ දෙවි වන යෙහෝවා, ඔහුගේ හඬ දැන් වඩා උණුසුම් සහ ආයාචනාත්මක ස්වරූපයකට හරවනවා. “නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න. යහපත්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය [පීඩා කරන්නන්, NW] මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.” (යෙසායා 1:16, 17) මෙහි කිරීමට අත්‍යවශ්‍ය දේවල් හෝ ආඥා නවයක් දකින්ට තිබෙනවා. පළමු සතර, පාපය ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා කරන නිසා නිෂේධාත්මක ස්වරූපයක් ගන්නවා. අවසාන පහ ඒකාන්ත වන්නේ, යෙහෝවාගේ ආශීර්වාදවලට මඟ පාදන නිසයි.

10 සේදීම සහ පවිත්‍ර කිරීම සෑමවිටම යෙහෝවාගේ නිර්මල නමස්කාරයේ කොටසක් වුණා. (නික්මයාම 19:10, 11; 30:20; 2 කොරින්ති 7:1) එහෙත්, පවිත්‍ර කිරීම ගැඹුරටම එනම්, තම නමස්කාරකයන්ගේ හදවතේ අභ්‍යන්තරය දක්වාම කිරීමට යෙහෝවාට අවශ්‍ය කරනවා. වඩාත්ම වැදගත් දෙය නම්, සදාචාර පිරිසිදුකම සහ ආත්මික පවිත්‍රකමයි. එයටයි යෙහෝවා මෙහි යොමු දක්වන්නේ. යෙසායා 1:16හි සඳහන් ආඥා නිකම්ම නැවත නැවත කීමක් නෙවෙයි. හෙබ්‍රෙව් ව්‍යාකරණඥයෙක් මෙසේ අදහස් දක්වනවා. මුලින්ම, ‘සෝදාගන්න’ කියා යොමු දක්වන්නේ, පවිත්‍ර කිරීමේ මුල්ම ක්‍රියාවලියටයි. දෙවනුව, ‘පවිත්‍ර වෙන්න’ කියා යොමු දක්වන්නේ, පවිත්‍රකම දිගටම පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියටයි.

11. පාපය සමඟ සටන් කිරීම සඳහා අපි කුමක් කළ යුතුද? කුමක් නොකළ යුතුද?

11 යෙහෝවාගෙන් කිසිවක් සඟවන්ට අපිට බැහැ. (යෝබ් 34:22; හිතෝපදේශ 15:3; හෙබ්‍රෙව් 4:13) එමනිසා ‘ඔබගේ ක්‍රියාවල නපුරුකම මගේ ඇස් ඉදිරියෙන් පහ කරන්න’ යන යෙහෝවාගේ ආඥාවෙන් අදහස් විය හැකි එකම දෙය වන්නේ නපුර කිරීම නැවැත්වීමයි. බරපතළ පාප රහසිගතව තබාගැනීමට වෑයම් කිරීමම පාපයක් නිසා එසේ නොකර සිටීම ඉන් අදහස් කරනවා. හිතෝපදේශ 28:13 මෙසේ අනතුරු අඟවනවා. “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.”

12. (අ) ‘යහපත්කම් කරන්ට ඉගෙනගැනීම’ වැදගත් වන්නේ මන්ද? (ආ) ‘යුක්තිය සොයන්න’ සහ ‘පීඩා කරන්නන් මැඩපවත්වන්න’ යන මඟ පෙන්වීම් විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට අදාළ කරගත හැක්කේ කෙසේද?

12 යෙසායා පළවන පරිච්ඡේදයේ 17වන පදයේ කිරීමට යෙහෝවා ආඥා කරන ඒකාන්ත ක්‍රියාවලින් අපිට බොහෝ දේවල් ඉගෙනගන්ට පුළුවන්. නිකම්ම “යහපත්කම් කරන්න” කියනවා වෙනුවට එහි කියන්නේ, “යහපත්කම්කරන්ට ඉගෙනගන්න” කියායි. දෙවිගේ ඇස් ඉදිරියේ යහපත් දෙය කුමක්ද කියා තේරුම්ගන්ටත්, එය කිරීමට ආශාවීමත් සඳහා දෙවිගේ වචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. තවදුරටත්, යෙහෝවා නිකම්ම “යුක්තිය ඉටු කරන්න” කියා කියන්නේ නැතුව, ‘යුක්තිය සොයන්න’ කියා කියනවා. සමහර සංකීර්ණ කාරණාවලදී යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් ගැනීමට නම්, අද්දැකීම් ලත් වැඩිමහල්ලන් පවා දෙවිගේ වචනය ගැඹුරට අධ්‍යයනය කිරීම අවශ්‍යයි. යෙහෝවා ඊළඟට අණ කරනවා වගේ, ‘පීඩා කරන්නන්ව මැඩපැවැත්වීමේ’ වගකීම පැවරී තිබෙන්නෙත් ඔවුන්ටයි. ‘රෞද්‍ර වෘකයන්ගෙන්’ රැළ ආරක්ෂා කරගන්ට අදදින සිටින ක්‍රිස්තියානි එඬේරුන්ට අවශ්‍ය නිසා මේ මඟ පෙන්වීම් ඔවුන්ට වැදගත් වෙනවා.—ක්‍රියා 20:28-30.

13. අනාථ දරුවා සහ වැන්දඹුව සම්බන්ධ ආඥා අදාළ කරගන්ට අපට හැක්කේ කෙසේද?

13 අවසාන ආඥා දෙකට අයත් වන්නේ, දෙවිගේ සෙනඟ අතරින් වඩාත්ම අනාරක්ෂිත අය වන අනාථ දරුවන්ව සහ වැන්දඹුවන්වයි. මුළු ලෝකයම එවැනි අයව සූරාකෑමට සූදානමින් සිටින අතර, දෙවිගේ සෙනඟ අතරේ එසේ නොවිය යුතුයි. ප්‍රේමනීය වැඩිමහල්ලන් සභාවේ සිටින පියා නැති පිරිමි සහ ගැහැනු දරුවන්ට ‘යුක්තිය ඉටු කළ’ යුතුයි. ඔවුන්ව සූරාකන්ට සහ ඔවුන්ව දූෂිත තත්වයට හෙළන්ට මාන බලන ලෝකයක ඔවුන්ට යුක්තිය සහ ආරක්ෂාව ලබාගැනීම සඳහා උපකාර කළ යුතුයි. වැඩිමහල්ලන් වැන්දඹුවගේ ‘නඩුව ඇසිය’ යුතුයි. නැතහොත් හෙබ්‍රෙව් වචනයෙනුත් අදහස් කළ හැකි ආකාරයට ඇය වෙනුවෙන් ඔවුන් “පොරබැදීමක්” කළ යුතුයි. ඇත්තෙන්ම, නැති බැරි අය යෙහෝවා ඉදිරියේ ඉතා අනර්ඝ නිසා, අපි අතරේ සිටින එවැන්නන් සඳහා සරණයේ, සැනසිල්ලේ සහ යුක්තියේ උල්පතක් වන්ට සියලුම ක්‍රිස්තියානීන් කැමති විය යුතුයි.—මීකා 6:8; යාකොබ් 1:27.

14. යෙසායා 1:16, 17හි ඉදිරිපත් කර ඇති ඒකාන්ත පණිවිඩය කුමක්ද?

14 මේ ආඥා නවයෙන් යෙහෝවා මොනතරම් ස්ථිරසාර, ඒකාන්ත පණිවිඩයක් ඉදිරිපත් කරනවාද! හරි දෙය කරන්ට තමන්ට කිසිම හැකියාවක් නැතැයි පව් කරන සමහරුන් විශ්වාස කරනවා. එවැනි අදහසක් ඇතුව සිටීම අධෛර්යය කරවනසුලුයි. ඊටත් වඩා ඒ අදහස වැරදියි. ඕනෑම පව්කාරයෙකුට තම ක්‍රියාකලාපය නවතා, ආපසු හැරී, දෙවිගේ උපකාරයෙන් හරි දේ කිරීමට හැකි බව යෙහෝවා දන්නවා. එපමණක්ද නොවෙයි. ඒ බව අපි දැනගන්නවාටත් ඔහු කැමතියි.

දයානුකම්පිත සහ යුක්තිසහගත ආයාචනයක්

15. “අපි කාරණය සමථයකට පත් කරගනිමු” යන කියමන සමහර අවස්ථාවලදී වරදවා තේරුම්ගෙන ඇත්තේ කෙසේද? ඇත්තෙන්ම එයින් අදහස් කරන්නේ කුමක්ද?

15 යෙහෝවාගේ ස්වරය දැන් තව තවත් උණුසුම් සහ අනුකම්පාසහගත තත්වයට පත් වෙනවා. “ඉතින් එන්න, ‘අපි කාරණය සමථයකට පත් කරගනිමු’ යයි යෙහෝවා කියන්නේය. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නමුත් සුදු ලොම් මෙන් වන්නේය.” (යෙසායා 1:18, NW) මේ පදය ආරම්භයේ ඇති උණුසුම් ආරාධනාව බොහෝ අවස්ථාවලදී වරදවා තේරුම්ගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට, හරියට දෙපක්ෂයම සම්මුතියකට පැමිණෙන්ට නම් යම් දේවල් නොසලකා හැරිය යුතුවාක් මෙන්, ද නියූ ඉංග්ලිෂ් බයිබල් කියන්නේ, “අපි තර්ක කර විසඳාගනිමු” කියායි. එහෙත්, මේ සෙනඟට එහෙම කියන්ට පුළුවන්කමක් නැහැ! මේ කැරලිකාර සහ කුහක ක්‍රියා කරන සෙනඟ සමඟ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් යෙහෝවාට දොස් නඟන්ට කොහෙත්ම බැහැ. (ද්විතීය කථාව 32:4, 5) ඉහත පදයේ කතා කරන්නේ, පුද්ගලයන් අතර සිදු වන, නිකම්ම අදහස් බෙදාගැනීමක් ගැන නොව, යුක්තිය ඉෂ්ට කිරීමේ අදහසින් අධිකරණයක් පිහිටුවීම ගැනයි. එය හරියට යෙහෝවා උසාවියට පැමිණෙන්ට කියා ඉශ්‍රායෙල්වරුන්ට අභියෝග කරනවා වගෙයි.

16, 17. බරපතළ පාපවලට පවා සමාව දීමට යෙහෝවා කැමතියි කියා අප දන්නේ කෙසේද?

16 එම සිතුවිල්ල බියකරු වුවත්, දයාවන්තකමෙන් සහ අනුකම්පාවෙන් පූර්ණම විනිශ්චයකරුවා යෙහෝවායි. සමාව දීමට ඔහුට ඇති හැකියාව අසමසමයි. (ගීතාවලිය 86:5) ඉශ්‍රායෙල්ගේ “රතු පාට” මෙන් තිබෙන පාප ඉවත් කර, “හිම මෙන්” සුදු කරන්ට ඔහුට පුළුවන්. කිසිම මිනිස් වෑයමකට, වතාවකට, පූජාවකට හෝ යාච්ඤාවකට බැහැ පාපයේ කැළැල් මකන්න. පාපය සෝදාහැරිය හැක්කේ යෙහෝවාගෙන් ලැබෙන සමාවට පමණයි. දෙවි එවැනි සමාවක් දෙන්නේ ඔහු නියම කරන කොන්දේසි මත පමණයි. නියම හෘදයාංගම පසුතැවිල්ල ඊට ඇතුළත්.

17 මේ සත්‍යය කොයිතරම් වැදගත් වන්නේද කිවහොත්, යෙහෝවා එය කාව්‍යාලංකාරයෙන් නැවතත් වෙනත් ආකාරයකින් ගෙනහැර දක්වනවා. එනම්, “ලාක්ෂා මෙන්” රතුව තිබෙන පාප ඔහු අලුත්, සායම් නොකළ, සුදු ලොම් මෙන් කරන්ට යනවා. පාපය කොතරම් බරපතළ වුණත්, අවංකවම පසුතැවිලි වෙනවා නම්, සැබවින්ම පව්වලට සමාව දෙන්නා ඔහු බව අපි දැනගන්නවාට යෙහෝවා කැමතියි. තමා සම්බන්ධයෙන් මෙවැනි දෙයක් සිදු විය නොහැකියයි සිතන අය මනස්සේගේ උදාහරණය සලකා බැලීම වටිනවා. ඔහු අවුරුදු ගණනාවක් තිස්සේ ඉතා දරුණු විදිහට පව් කළා. එහෙත්, ඔහු පසුතැවිලි වූ අතර ඔහුට සමාව දෙනු ලැබුවා. (2 ලේකම් 33:9-16) බරපතළ පාප කර ඇති අය ඇතුළුව, අපි සියලුදෙනාම ඔහු සමඟ ‘කාරණය සමථයකට පත් කරගැනීමට’ ප්‍රමාද නැති බව දැනගන්නවාට යෙහෝවා කැමතියි.

18. තම කැරලිකාර සෙනඟ ඉදිරියේ යෙහෝවා තබන තේරීම කුමක්ද?

18 ඔවුන්ට තේරීමක් කරන්ට තිබෙන බව යෙහෝවා තම සෙනඟට මතක් කරනවා. “නුඹලා කැමතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය [ආහාර කන්නහුය, NW]. නුඹලා අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද [යෙහෝවාගේ] මුඛය එය [කීවේය.] (යෙසායා 1:19, 20) මෙහිදී යෙහෝවා අවධානය යොමන්නේ ආකල්පවලටයි. මේ කාරණය කාවද්දන්ට ඔහු තවත් විචිත්‍ර භාෂාලංකාරයක් යොදාගන්නවා. යූදා කළ යුතු තේරීම මෙපමණයි. කෑම නැත්නම් මැරුම්කෑම. යෙහෝවාට ඇහුම්කන් දෙන්ටත් කීකරු වෙන්ටත් කැමති ආකල්පයක් ඔවුන්ට තිබෙනවා නම්, ඔවුන් දේශයේ සාරවත්කම භුක්ති විඳින්ට යනවා. කෙසේවෙතත්, ඔවුන් දිගටම ඔවුන්ගේ කැරලිකාර ආකල්පයේම රැඳී සිටියොත්, තම සතුරන්ගේ කඩුවෙන් මැරුම්කන්ට යනවා. බොහෝ සේ සමාව දෙන, දයාන්විත දෙවි කෙනෙකු වෙත යොමු වෙනවා මිස තම සතුරන්ගෙන් මැරුම්කන්ට යම් ජාතියක් තෝරාගනීවියයි සිතීම උගහටයි. කෙසේවෙතත්, යෙසායාගේ පොතේ ඊළඟ පද පෙන්වන ආකාරයට ඔවුන් තෝරාගත්තේ දෙවැන්නයි.

දයාබර නුවර ගැන විලාපයක්

19, 20. (අ) තමන්ට ද්‍රෝහි වුණා යන හැඟීම යෙහෝවා අඟවන්නේ කෙසේද? (ආ) ‘යෙරුසලම ධර්මිෂ්ඨකමෙන් පිරී තිබුණේ’ කිනම් ආකාරවලින්ද?

19 මෙවකට යෙරුසලමේ පැවති දුෂ්ටකමේ තරම යෙසායා 1:21-23හි අපට දක්නට ලැබෙනවා. යෙසායා දැන් විලාපයක ආකාරයක් ගන්නා දේවානුභාවය ලත් කාව්‍යයක් ගයන්නයි යන්නේ. “අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.”—යෙසායා 1:21.

20 යෙරුසලම් නුවර වැටුණු හැටි! වතාවක් විශ්වාසවන්ත භාර්යාවක්ව සිටි ඈ දැන් වේශ්‍යාවක් බවට පත් වෙලා. යෙහෝවාට ද්‍රෝහි වී ඇති නිසාත්, බලාපොරොත්තු සුන් වී ගොස් ඇති නිසාත්, ඔහුගේ හැඟීම් කොතරම් ප්‍රබලද කියා සිතා බලන්න. මේ නුවර ‘ධර්මිෂ්ඨකමෙන් පිරී තිබුණා.’ ඒ කොයි කාලයේද? ඉශ්‍රායෙල් පැවතෙන්නත් කලින්, ආබ්‍රහම්ගේ කාලයේදී මේ නුවර හැඳින්වූයේ සාලෙම් කියායි. එහි රජෙක් සහ පූජකයෙක් ලෙස පාලනය කළ මිනිසෙක් සිටියා. ඔහුගේ නම, “ධර්මිෂ්ඨකමේ රජ” යන අරුත ඇති මෙල්කිසදෙක්. ඒ නම ඔහුට හොඳින් ගැළපුණා. (හෙබ්‍රෙව් 7:2; උත්පත්ති 14:18-20) මෙල්කිසදෙක්ගෙන් අවුරුදු 1,000කට පමණ පසු, යෙරුසලම එහි දියුණුවේ හිණිපෙත්තටම නැග්ගා. ඒ දාවිත් සහ සාලමොන් යන රජුන්ගේ පාලන කාලයේදියි. ‘ඇය ධර්මිෂ්ඨකමින් පිරී සිටියේ,’ විශේෂයෙන්ම ඇගේ රජවරුන් යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමෙන් සෙනඟට ආදර්ශයක් තැබූ විටයි. කෙසේවෙතත්, යෙසායාගේ දවස වන විට එවැනි කාලයක් අතීතය සමඟ වැළලී ගොස් තිබුණා.

21, 22. බොර සහ වතුර කලවම් කළ බීරවලින් ඇඟවූයේ කුමක්ද? එමෙන්ම, යූදාහි නායකයන්ව එයාකාරයට හැඳින්වීම යෝග්‍ය වන්නේ මන්ද?

21 සෙනඟ අතරේ සිටින නායකයන් ගැටලුවට ප්‍රධාන වරදකරුවන් බව පෙනෙනවා. යෙසායා දිගටම විලාප කියනවා. “නුඹේ රිදී බොරවිය, නුඹේ මුද්‍රිකපානයෙහි [තිරිඟු බීරවලට, NW] වතුර මිශ්‍රවී තිබේ. නුඹේ අධිපතීහු කැරළිකාරයෝය [හිතුවක්කාරයෝය, NW], සොරුන්ගේ සමාගම්කාරයෝය; සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.” (යෙසායා 1:22, 23) ඊළඟට සිදු විය යුතු දෙය සඳහා පාඨකයාගේ මනස සූදානම් කරන නිදර්ශන දෙකක් ඔහු පාවිච්චි කරනවා. රිදීකරුවා තම උදුනෙහි ඇති උණු කළ රිදීවලින් බොර සහ කුණු කන්දල් ඉවත් කරනවා. ඉශ්‍රායෙල්හි සිටින අධිපතීන් සහ විනිශ්චයකරුවන්ව සැලකුණේ බොර මෙන් මිස, රිදී මෙන් නොවේ. ඔවුන්ව ඉවතට දැමීමට නියමිතයි. ඔවුන් හා වතුර කලවම් කළ සැර මැකුණු බීර අතරේ, කිසිම වෙනසක් නැති තරම්. එවැනි මත්පැනක් සුදුසු වන්නේ හළා දමන්ට විතරයි!

22 නායකයන්ට එවන් විස්තරයක් ගැළපුණේ ඇයිදැයි යෙසායා 1:23වන පදය පෙන්වනවා. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දෙවිගේ සෙනඟව, වෙනත් ජාතීන්ගෙන් වෙන් කර උසස් තත්වයකට පත් කළා. උදාහරණයක් හැටියට අනාථ දරුවන් සහ වැන්දඹුවන්ට ආරක්ෂාව සැපයීමට සැලසුම් කිරීම මගින් එසේ කළා. (නික්මයාම 22:22-24) එහෙත්, යෙසායාගේ දවසේදී, තමන්ට සාධාරණ විනිශ්චයක් ලැබෙයි කියා පියා නැති දරුවෙකුට බලාපොරොත්තුවක් තිබුණේම නැති තරම්. වැන්දඹුව සම්බන්ධයෙන් කිවහොත්, ඇගේ නඩුව අසන්ට තියා ඇය වෙනුවෙන් පෙනී සිටින්ටවත් කෙනෙක් සිටියේ නැහැ. ඒ වෙනුවට, එම විනිශ්චයකරුවන් සහ නායකයන් අල්ලස් ගනිමින් තෑගි පස්සේ දුවමින් හොරුන්ගේ සමාගම්කාරයන් වෙමින් තමන්ගේම ආත්මාර්ථකාමී ඕනෑ එපාකම් පිටුපස්සේ ලුහුබඳිමින් ඒවායෙහි ගැලී සිටියා. අපරාධයට ගොදුරු වූවන් දුක් විඳිද්දී, අපරාධකාරයන්ව ආරක්ෂා කරගත්තා. එහි නරකම දෙය වූයේ, තමන්ගේ වැරදි ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ඔවුන් “හිතුවක්කාර” හෝ දැඩි ස්වභාවයක් විදහාපෑමයි. මොනතරම් කනගාටුදායක තත්වයක්ද!

යෙහෝවා තම සෙනඟව ශෝධනය කරයි

23. යෙහෝවා තම සතුරන් සම්බන්ධයෙන් පළ කරන හැඟීම් මොනවාද?

23 බලය අයුතු ලෙස පාවිච්චි කිරීම යෙහෝවා හැමදාටම ඉවසන්ට යන්නේ නැහැ. යෙසායා මෙසේ කියනවා. ‘එබැවින් සේනාවල යෙහෝවාද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාද වන [සැබෑ, NW] ස්වාමීන් කියන්නේ: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස් වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.’ (යෙසායා 1:24) මෙහිදී යෙහෝවාට තනතුරු තුනක් දී තිබෙනවා. ඒ එක් එක් තනතුර ඔහුගේ ස්වාමීත්වය පිළිබඳ නිවැරදි අයිතිය සහ ඔහුගේ අතිමහත් බලය කාවද්දනවා. “අහෝ” යන විස්මයාර්ථය, පෙනෙන විදිහට යෙහෝවා තුළ ඔවුන් කෙරෙහි තිබූ අනුකම්පාව, දැන් ඔවුන්ට විරුද්ධව උදහස පැමිණවීම සඳහා ඇති අධිෂ්ඨානය හා මුසුව තිබෙනවා යන්න අඟවනවා. මෙසේ වීමට හොඳ හේතු තිබෙනවා.

24. තම සෙනඟ සඳහා යෙහෝවා අරමුණු කර ඇති ශෝධන ක්‍රියාවලිය කුමක්ද?

24 යෙහෝවාගේම සෙනඟ තමන්ව ඔහුගේ සතුරන් බවට පත් කරගෙන. ඔවුන් දිව්‍ය උදහස ලබන්ට සම්පූර්ණයෙන්ම වටිනවා. පීඩාකාරි බරක් වන ඔවුන්ගෙන් යෙහෝවා තමන්ව “නිදහස්” කරගනියි. නැතහොත්, ඔවුන්ව බැහැර කරයි. මෙයින් තම නාමය දරන සෙනඟව සහමුලින්ම මකා දැමීමක් අදහස් කරනවාද? නැහැ. ඒ ගැන යෙහෝවා මෙසේ කියනවා. “මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත් කර, නුඹේ තුත්තනාගම් [අපද්‍රව්‍ය, NW] සියල්ලම පහකරන්නෙමි.” (යෙසායා 1:25) යෙහෝවා දැන් ශෝධනය කිරීමේ ක්‍රියාවලිය නිදර්ශනයක් ලෙස පාවිච්චි කරනවා. පුරාණ කාලවල සිටි ශෝධකයෙකු වටිනා ලෝහවලින් බොර ඉවත් කිරීම සඳහා සෝඩා වැනි ද්‍රව්‍යයක් එකතු කළා. ඒ හා සමාන ආකාරයකට යෙහෝවා, තම සෙනඟ සම්පූර්ණයෙන්ම දුෂ්ට අය ලෙස දකිනවා වෙනුවට, ‘ඔවුන්ට සුදුසු ප්‍රමාණයට දඬුවම් කරන්ට’ යනවා. ඔහු ඔවුන්ගෙන් වෙන් කරන්ට යන්නේ “අපද්‍රව්‍ය” එනම්, ඉගෙනගැනීම සහ කීකරු වීම ප්‍රතික්ෂේප කරන හිතුවක්කාර, නුසුදුසු අයව පමණයි. * (යෙරෙමියා 46:28, NW) මේ වචන ඇතුළුව ඉතිහාසයේ පසුව සිදු වූ දේවල් කල් ඇතුව ලිවීමේ වරප්‍රසාදය යෙසායාට ලැබෙනවා.

25. (අ) පොදු යුගයට පෙර 607දී, යෙහෝවා තම සෙනඟව ශෝධනය කළේ කෙසේද? (ආ) යෙහෝවා තම සෙනඟව වර්තමානයේදී ශෝධනය කළේ කිනම් කාලයේදීද?

25 යෙහෝවා ඇත්තෙන්ම තම සෙනඟව ශෝධනයට ලක් කළා. ඒ, බොර සහ කුණු කන්දල් වැනි දූෂිත නායකයන් සහ අනිත් කැරලිකාරයන්ව ඉවත් කිරීමෙන්. යෙසායාගේ දවසෙන් බොහෝ කාලයකට පසු, එනම් පො.යු.පෙ. 607දී, යෙරුසලම විනාශ කර, එහි වැසියන්ව බබිලෝනියේ අවුරුදු 70ක වහල්භාවයට යවනු ලැබුවා. පසු කාලයකදී දෙවි ගත් ක්‍රියාමාර්ගයකට මෙය යම් ආකාරයකට සමාන වෙනවා. බබිලෝනියේ වහල්භාවයෙන් බොහෝ කාලයකට පසු ලියූ මලාකී 3:1-5 දක්වා ඇති අනාවැකිය, දෙවි නැවතත් ශෝධනය කිරීමේ වැඩක් කරන්ට යන බව පෙන්නුවා. යෙහෝවා තම ආත්මික මාළිගාවට තම “ගිවිසුමේ දූතයා” වන යේසුස් සමඟ පැමිණෙන කාලයට එය යොමු දැක්වූවා. තිබෙන සාක්ෂිවලට අනුව මෙය Iවන ලෝක මහා යුද්ධයේ නිමාව සමඟම සිදු වුණා. බොරුවෙන් සැබෑව පෙරමින්, ක්‍රිස්තියානීන්යයි කියාගත් සියලුදෙනාවම යෙහෝවා පරීක්ෂණයට ලක් කළා. ප්‍රතිඵලය කුමක් වුණාද?

26-28. (අ) යෙසායා 1:26 සඳහා කිනම් මුල් ඉටුවීමක් තිබුණාද? (ආ) මේ අනාවැකිය අපේ කාලයේදී ඉටු වෙමින් තිබෙන්නේ කෙසේද? (ඇ) මේ අනාවැකිය අදදින සිටින වැඩිමහල්ලන්ට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

26 යෙහෝවා මෙසේ පිළිතුරු දෙනවා. “මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය. සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවි වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය.” (යෙසායා 1:26, 27) පුරාණ යෙරුසලම මේ අනාවැකියේ මුල් ඉටුවීම අද්දැක්කා. වහලුන් පො.යු.පෙ. 537දී තම දයාබර මව්බිමට නැවත පැමිණි විට, අතීතයේදී සිටියාක් මෙන් නැවත වරක් විශ්වාසවන්ත විනිශ්චයකරුවන් සහ උපදේශකයන් එහි සිටියා. අනාගතවක්තෲන් වූ හග්ගයි සහ සෙකරියාද, පූජක යෝෂුවාද, ලියන්නා වූ එස්රාද, ආණ්ඩුකාරයා වූ සෙරුබ්බාබෙල්ද යන සියලුදෙනාම නැවත පැමිණෙන ඇදහිලිවන්ත ඉතිරි අයට දෙවිගේ මාවත්වල ගමන් කරන්ට මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දීමට මහන්සි වී වැඩ කළා. කෙසේවෙතත්, 20වන සියවසේදී ඊට වඩා වැදගත් ඉටුවීමක් අද්දැක්කා.

27 වර්ෂ 1919දී, යෙහෝවාගේ නවීන දින සෙනඟ පරීක්ෂණාත්මක කාලයකින් ගොඩ ආවා. ඔවුන්ව මහ බබිලෝනියේ එනම්, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ ආත්මික බැඳුම්වලින් ගළවාගත්තා. එම ඇදහිලිවන්ත ආලේප ලත් ඉතිරි කොටස සහ ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ල අත් හළ පූජක පක්ෂය අතර වෙනස මනාව පැහැදිලි වෙන්ට පටන්ගත්තා. මිනිසුන්ගේ පරම්පරාගත නියෝගවලට අනුව නොව, දෙවිගේ වචනයට එකඟව දෙවිගේ සෙනඟට උපදෙස් දෙන විශ්වාසවන්ත ‘විනිශ්චයකාරයන්ද මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවීමෙන්’ දෙවි තම සෙනඟට නැවතත් ආශීර්වාද කළා. අදදිනත්, අඩු වෙමින් පවතින “කුඩා රැළ” සහ වැඩි වෙමින් පවතින මිලියන ගණන් ‘වෙනත් බැටළුවන්’ අතරේ එවැනි පුරුෂයන් දහස් ගණනක් සිටිනවා.—ලූක් 12:32; යොහන් 10:16; යෙසායා 32:1, 2; 60:17; 61:3, 4.

28 සභාව සදාචාරමයව සහ ආත්මිකව පවිත්‍රව තබාගැනීමටත්, වැරදිකරුවාව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත් තමන් විටින් විට “විනිශ්චයකාරයන්” ලෙස ක්‍රියා කරන බව වැඩිමහල්ලන් මතකයේ තබාගත යුතුයි. සෑම දෙයක්ම දෙවිගේ ක්‍රමයට කිරීම සඳහා ඔවුන් ඉතා සැලකිල්ලෙන් සිටින අතර, ඔවුන් දෙවිගේ දයාන්විත සහ සමබර වූ යුක්තිය අනුකරණය කරනවා. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී, ඔවුන් “මන්ත්‍රීවරුන්” නොහොත් උපදේශකයන් සේ ක්‍රියා කරනවා. ඇත්තෙන්ම, මෙය අධිපතියෙකුට හෝ ඒකාධිපතියෙකුට වඩා බොහෝ වෙනස් තත්වයක්. කිසිවිටෙකත් “දෙවිගේ උරුමය වූ අය කෙරෙහි අධිපතිකම් කරන” බව පෙන්වන හැඟීමක්වත් නොදීමට ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දරනවා.—1 පේතෘස් 5:3, NW.

29, 30. (අ) ශෝධනය වීමෙන් ප්‍රයෝජන ලැබීම ප්‍රතික්ෂේප කළ අයට යෙහෝවා නියම කරන්නේ කුමක්ද? (ආ) තම ගස් සහ උයන් නිසා සෙනඟ ‘ලජ්ජාවට’ පත් වන්නේ කිනම් අර්ථයෙන්ද?

29 යෙසායාගේ අනාවැකියේ සඳහන් “බොර” ගැන කුමක් කිව හැකිද? දෙවිගේ ශෝධනය කිරීමේ ක්‍රියාවලියෙන් ප්‍රයෝජන ගැනීම ප්‍රතික්ෂේප කරන අයට සිදු වන්නේ කුමක්ද? යෙසායා මෙසේ කියනවා. “නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, [යෙහෝවා] අත්හරින්නෝ විනාශවන්නෝය. මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය.” (යෙසායා 1:28, 29) දෙවිගේ අනාගතවක්තෘවරුන්ගේ අනතුරු ඇඟවීම හොඳටම ප්‍රමාද වන තුරු නොසලකා හරිමින් යෙහෝවාට විරුද්ධව කැරලිගසමින් පව් කරන අය මතට “විනාශය එකවිටම” පැමිණෙනවා. මෙය පො.යු.පෙ. 607දී සිදුවීමට නියමිතයි. කෙසේවෙතත්, මෙහි ගස්වලින් සහ උයන්වලින් අදහස් කරන්නේ කුමක්ද?

30 යුදෙව්වන්ට රූප වන්දනාව සම්බන්ධයෙන් නිරන්තර ගැටලුවක් තිබෙනවා. ගස්, උයන් සහ කුඩා ගස් ගොන්න බොහෝවිට ඔවුන්ගේ මෙම දූෂිත වූ ක්‍රියාවන් හා සම්බන්ධයි. උදාහරණයක් හැටියට, වියළි කාලයේදී බාල් සහ ඔහුගේ දේවිය වන අෂ්ටාරොත් මැරී වළලනු ලැබ ඇති බව එම නමස්කාරකයන් අදහනවා. ඔවුන්ව පුබුදුවා සංවාසයෙහි යොදවා, දේශයට සශ්‍රීකත්වය කැඳවීම සඳහා රූප නමස්කාරකයන් උයන් හෝ අරඹෙහි රැස් වී ඒවායේ “පරිශුද්ධ” ගස් යටට වී දූෂිත ලිංගික ක්‍රියාවල නියැලෙනවා. දේශයට වර්ෂාව සහ සශ්‍රීකත්වය පැමිණි විට, ප්‍රශංසාව බොරු දෙවිවරුන් වෙත යනවා. මෙසේ, තම මිථ්‍යා විශ්වාසයන් කෙරෙහි මෙම රූප නමස්කාරකයන්ගේ ඇදහිල්ල තහවුරු වෙනවා. එහෙත්, යෙහෝවා එම කැරලිකාර රූප නමස්කාරකයන් මතට හදිසි විනාශය පමුණුවන විට, කිසිම පිළිම දෙවියෙක් ඔවුන්ව ආරක්ෂා කරන්නේ නැහැ. මේ අප්‍රාණික ගස් සහ උයන් නිසා, කැරලිකරුවන් ‘ලජ්ජාවට’ පත් වෙනවා.

31. රූප නමස්කාරකයන් මුහුණ දීමට යන ලජ්ජාවට වඩා අන්ත දෙය කුමක්ද?

31 කෙසේවෙතත්, රූප නමස්කාරයේ යෙදුණු යුදෙව්වන් ලජ්ජාවට වඩා නපුරු තත්වයකට මුහුණ දුන්නා. නිදර්ශනය වෙනස් කරමින්, දැන් යෙහෝවා රූප නමස්කාර කරන්නාව ගසකට සමාන කරනවා. “නුඹලා කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දිය නැති උයනක් මෙන්ද වෙනවා ඇත.” (යෙසායා 1:30) වියළි, උෂ්ණ දේශගුණයක් ඇති මැද පෙරදිගට මෙම නිදර්ශනය හොඳ හැටි ගැළපෙනවා. කිසිම ගසක් හෝ උයනක් හොඳ ජල සැපයුමක් නැතුව රැකගන්ට බැහැ. වියළී ගිය එවැනි ගස්කොළන් විශේෂයෙන්ම ලැව්ගිනි හමුවේ අසරණ වෙනවා. එමනිසා, යෙසායා 1:31වන පදයේ ඇති නිදර්ශනය හරිම තාත්විකයි.

32. (අ) යෙසායා 1 තිස්එක්වන පදයේ යොමු දක්වා ඇති “බලවතා” කවුද? (ආ) ඔහු ‘හණ නූලක්’ මෙන් වන්නේ කිනම් අර්ථයෙන්ද? ඔහුව අවුළවන ගිනි “පුපුර” කුමක්ද? එමෙන්ම කිනම් ප්‍රතිඵල ඇතුවද?

32 ‘බලවතා හණ නූලක් මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇත.’ (යෙසායා 1:31) කවුද මේ “බලවතා”? හෙබ්‍රෙව් යෙදුම, යම් ශක්තියක් සහ වස්තුකාරකමක් අඟවනවා. එයින් බොරු දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටෙන සමෘද්ධිමත්, ආත්ම-විශ්වාසී නමස්කාරකයෙකුට යොමු දැක්වුවා විය හැකියි. අපේ දවසේදී මෙන් යෙසායාගේ දවසේදීත්, යෙහෝවාව සහ ඔහුගේ නිර්මල නමස්කාරය ප්‍රතික්ෂේප කරන මිනිසුන්ගෙන් අඩුවක් තිබුණේ නැහැ. සමහරුන් සාර්ථකත්වයක් ලබන බවකුත් පෙනෙනවා. එහෙත්, එවැනි මිනිසුන් හරියට ගිනි උෂ්ණය දැනුණු ගමන්ම දැවී යන දුර්වල, වියැළුණු ‘හණ නූලක්’ වගේ කියා යෙහෝවා අනතුරු අඟවනවා. (විනිශ්චයකාරයන් 16:8, 9) රූප නමස්කාරකයා ඒ සඳහා යොදාගන්නා දේ කුමක් වුවත්, එය දේවරූපයක් හෝ වේවා, වස්තුව හෝ වේවා, යෙහෝවාට හැර කරන්නාවූ වෙන ඕනෑම නමස්කාරයක් හෝ වේවා, එය ගිනි “පුපුරක්” මෙන් වෙන්ට යනවා. කිසිවෙකුටවත් නිවන්ට බැරි වන ආකාරයට ගිනි පුපුරත්, නූල් පොටත් ගින්නෙන් දැවී අළු වී යනවා. යෙහෝවාගේ පරිපූර්ණ විනිශ්චය ආපස්සට හරවන්ට විශ්වයේ කිසිම බලයකට බැහැ.

33. (අ) පැමිණෙන විනිශ්චය පිළිබඳ දෙවිගේ අනතුරු ඇඟවීම තුළත් ඔහුගේ දයාව දකින්නේ කෙසේද? (ආ) මනුෂ්‍යවර්ගයා වෙත දෙවි දැන් දිගු කරන ප්‍රස්තාව කුමක්ද? මෙය අපි එක් එක්කෙනාට බලපාන්නේ කෙසේද?

33 මේ අවසාන පණිවිඩය, යෙසායා 1:18වන පදයේ සඳහන් දයාවේ සහ සමාව දීමේ පණිවිඩය සමඟ එකඟයි කියා පැවසිය හැකිද? නිසැකවම! යෙහෝවා එවැනි අනතුරු ඇඟවීම් ලියා තම සේවකයන් මගින් ඒවා බෙදාහරිනු ලබන්නේ, ඔහුගේ දයාව නිසයි. මන්දයත්, ‘සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ.’ (2 පේතෘස් 3:9) පසුතැවිලි වන අයට දෙවිගේ ඉමහත් සමාව ලබාගැනීමට සහ ඉන් ලැබෙන ප්‍රයෝජනවලින් සදාකාල ජීවනය අත් කරගැනීම සඳහා දෙවිගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය මනුෂ්‍යවර්ගයාට ප්‍රකාශ කිරීම සෑම සැබෑ ක්‍රිස්තියානිවරයෙකුගේම වරප්‍රසාදයයි. ඕනෑවට වඩා ප්‍රමාද වීමට පෙර, තමන් සමඟ ‘කාරණය සමථයකට පත් කරගැනීමට’ යෙහෝවා මනුෂ්‍යවර්ගයාට ප්‍රස්තාවක් දීම, යෙහෝවාගේ පැත්තෙන් මොනතරම් කරුණාවන්තකමක්ද!

[පාදසටහන්වල]

^ පුරාණ යුදෙව් සම්ප්‍රදායේ කියැවෙන පරිදි, දුෂ්ට මනස්සේ රජ යෙසායාව කැබලිවලට ඉරා මරා දැමුවා. (හෙබ්‍රෙව් 11:37 සසඳන්න.) එක් මූලාශ්‍රයකට අනුව, යෙසායාට මේ මරණ දඬුවම ගෙන ඒම සඳහා බොරු අනාගතවක්තෘවරයෙක් යෙසායාට විරුද්ධව මේ ආකාර චෝදනාවක් එල්ල කර තිබුණා. “ඔහු යෙරුසලම සොදොම කියා හඳුන්වා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, යූදාහි සහ යෙරුසලමේ අධිපතීන් ගොමොරාවේ සෙනඟ (බව) ප්‍රකාශ කර තියෙනවා.”

^ “අද්භූත බලයන්” යන්නට දී ඇති හෙබ්‍රෙව් වචනය “වේදනාවට හේතු වන දෙය,” “අද්භූත දෙය” සහ “වැරදිසහගත දෙය” ලෙසද පරිවර්තනය කළ හැකියි. පැරණි ගිවිසුමේ දේවධර්මානුකූල ශබ්දකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව, “බලයේ අනිසි භාවිතය හේතුවෙන් ඇති වූ නපුර” හෙළා දැකීම සඳහා හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුන් මේ කියමන භාවිතා කළා.

^ “මාගේ අත නුඹ පිටට හරවා” යන කියමනෙන් අදහස් කරන්නේ, තම සෙනඟට සහයෝගය දීමේ සිට ඔවුන්ට දඬුවම් කිරීම දක්වා යෙහෝවා කටයුතු කරනවා යන්නයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]