Skip to content

පටුනට යන්න

අෂූරියයන්ට භය නොවන්න

අෂූරියයන්ට භය නොවන්න

දොළොස්වන පරිච්ඡේදය

අෂූරියයන්ට භය නොවන්න

යෙසායා 10:5-34

1, 2. (අ) මිනිස් කෝණයෙන් ගත් කල, අෂූරියයන්ට දේශනා කිරීමට ලැබුණු මෙහෙය පිළිගැනීමට පසුබට වීම සඳහා යෝනාට හොඳ හේතු තිබුණායයි කිව හැක්කේ කෙසේද? (ආ) යෝනාගේ පණිවිඩයට නිනිවයේ වැසියන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

 පොදු යුගයට පෙර නවවන සියවසේ මැද භාගයේදී අමිත්තයිගේ පුත්‍ර හෙබ්‍රෙව් අනාගතවක්තෘ වූ යෝනා අෂූරිය අධිරාජ්‍යයේ අගනුවර වන නිනිවය බලා පිටත් වුණා. බැරෑරුම් පණිවිඩයක් ප්‍රකාශ කිරීමට ඔහුට තිබුණා. යෙහෝවා ඔහුට මෙසේ කිව්වා. “නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේ.”—යෝනා 1:2, 3.

2 මේ මෙහෙය ලැබුණු විගස යෝනා විරුද්ධ දිශාවෙහි වූ තර්ෂිෂ් වෙත පලා ගියා. මිනිස් දෘෂ්ටියෙන් ගත් කල යෝනාට පසු බසින්ට සාධාරණ හේතු තිබුණා. අෂූරියයන් කෲර මිනිසුන්. අෂූරියේ සිටි එක් අධිරාජයෙක් තම සතුරන්ව සැලකූ ආකාරය ගැන මෙසේ පවසා තිබෙනවා. “මම නිලධාරීන්ගේ අත් පා කපා දැමුවෙමි . . . වහලුන්ගෙන් වැඩිදෙනෙකුව පුලුස්සා දැමුවෙමි, තවත් බොහෝදෙනෙකුව වහලුන් සේ තබාගත්තෙමි. සමහරුන්ගේ අත් හා ඇඟිලි කපා දැමුවෙමි. අනිකුන්ගේ නාස් කැපුවෙමි.” ඒ වුණත්, යෝනා යෙහෝවාගේ පණිවිඩය ප්‍රකාශ කළාට පසු නිනිවයේ වැසියන් ඔවුන්ගේ පව්වලට පසුතැවුණු අතර, යෙහෝවා ඒ අවස්ථාවේදී නගරය විනාශ නොකර ඉතිරි කළා.—යෝනා 3:3-10; මතෙව් 12:41.

යෙහෝවා “පොල්ල” අතට ගනියි

3. යෙහෝවා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දුන් අනතුරු ඇඟවීම්වලට ඉශ්‍රායෙල්වරුන් දැක්වූ ප්‍රතිචාරයට වඩා නිනිවයේ වැසියන්ගේ ප්‍රතිචාරය වෙනස් වන්නේ කොහොමද?

3 යෝනාගේ දේශනාවට සවන් දුන් ඉශ්‍රායෙල්වරුනුත් හොඳ ප්‍රතිචාරයක් දක්වයිද? (2 රාජාවලිය 14:25) නැහැ. ඔවුන් නිර්මල නමස්කාරයට පිටුපෑවා. ඇත්තෙන්ම, ඔවුන් ‘මුළු අහස් සේනාවටම නමස්කාර කරමින්, බාල්ට සේවය කළා.’ තවදුරටත් “ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, [යෙහෝවා] උදහස්කරවන ලෙස [ඔහුගේ] ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණෝය.” (2 රාජාවලිය 17:16, 17) නිනිවයෙහි වැසියන්ට වෙනස්ව, අනතුරු ඇඟවීම සඳහා යෙහෝවා එවන අනාගතවක්තෘවරුන්ට ඉශ්‍රායෙල්වරුන් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා වඩා දැඩි පියවර ගැනීමට යෙහෝවා අධිෂ්ඨාන කරගන්නවා.

4, 5. (අ) මෙහිදී “අෂූරිය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම, යෙහෝවා එය ‘පොල්ලක්’ ලෙස පාවිච්චි කරන්නේ කෙසේද? (ආ) සමාරිය වැටුණේ කවදාද?

4 යෝනා නිනිවයට ගොස් ටික කලකට පසු, අෂූරීය ආක්‍රමණවල පසුබෑමක් දක්නට ලැබෙනවා. * කෙසේවෙතත්, පො.යු.පෙ. අටවන සියවසේ මුලදී අෂූරිය, හමුදා බලයක් හැටියට යළිත් කල එළි දකිනවා පමණක් නොව යෙහෝවා ඔවුන්ව පුදුමාකාර ලෙස යොදාගන්ටත් යනවා. අනාගතවක්තෘ යෙසායා ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයට යෙහෝවාගේ අනතුරු ඇඟවීම ප්‍රකාශ කරන්නේ මෙසේයි. “අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නමැති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය! අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනගගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.”—යෙසායා 10:5, 6.

5 ඉශ්‍රායෙල්වරුන්ට මොනතරම් නින්දාවක්ද! ඔවුන්ට දඬුවම් කිරීමට දෙවි මිථ්‍යාදෘෂ්ටික ජාතියක් වන “අෂූරිය” ‘පොල්ලක්’ ලෙස පාවිච්චි කරනවා. පොදු යුගයට පෙර 742දී අෂූරියේ රජ වන Vවන ෂල්මනෙසෙර් ඇදහිල්ල හැර ගිය ඉශ්‍රායෙල්වරුන්ගේ අගනුවර වන සමාරිය නොකඩවාම ආක්‍රමණය කරන්ට පටන්ගත්තා. සමාරිය අඩි 300ක් පමණ උසැති කන්දක් මත පිහිටි නිසා, අවුරුදු තුනක පමණ කාලයක් පුරා එය සතුරන්ගෙන් බේරීමට යුධ මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනුණා. එහෙත්, දෙවිගේ අරමුණට හරස් වෙන්ට කිසිම මිනිස් උපක්‍රමයකට බැහැ. පොදු යුගයට පෙර 740දී සමාරිය වැටී අෂූරියේ පාදවලට පෑගුණා.—2 රාජාවලිය 18:10.

6. යෙහෝවාගේ මනසේ තිබුණු දෙයට ඔබ්බෙන් අෂූරියයන් ගියේ කිනම් ආකාරයකටද?

6 තම සෙනඟට පාඩමක් ඉගැන්වීමට යෙහෝවා අෂූරියයන්ව පාවිච්චි කළත්, යෙහෝවා කවුද කියා ඔවුන් දන්නේ නැහැ. ඒ නිසයි යෙහෝවා මෙසේ කියන්නේ. “නුමුත් ඔහු [අෂූරියයන්] එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ.” (යෙසායා 10:7) යෙහෝවා අදහස් කරන්නේ අෂූරිය දිව්‍ය අතකොළුවක් හැටියට පාවිච්චි කරන්ටයි. එහෙත් අෂූරියයන් වෙනත් ආකාරයකට සිතීමට නැඹුරුව සිටිනවා. ඔවුන් ඊට වඩා විශාල දෙයක් කිරීමට සිතාගෙනයි සිටින්නේ. ඒ එවකට දැන සිටි මුළු ලෝකයම ජයගැනීමටයි!

7. (අ) “මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද” යන ප්‍රකාශය පැහැදිලි කරන්න. (ආ) අදදින යෙහෝවාව නොසලකා හරින අය සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

7 අෂූරියයන් අල්ලාගත් ඉශ්‍රායෙල් නොවන බොහෝ නගර කලින් පාලනය කළේ රජවරුන් විසිනුයි. කලින් රජුන්ව සිටි මේ අය දැන් අෂූරියේ රජට කප්පම් ගෙවන නිසා ඔහුට ඇත්තෙන්ම මෙසේ පාරට්ටු කරගත හැකියි. “මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?” (යෙසායා 10:8) ප්‍රසිද්ධ නගර භාර ජාතීන්ගේ බොරු දෙවිවරුන්ට තම නමස්කාරකයන්ව විනාශයෙන් ගළවාගැනීමට හැකි වෙන්නේ නැහැ. සමාරියේ වැසියන් විසින් නමස්කාර කළ බාල්, මොලෙක් සහ රන් වස්සන් වැනි දෙවිවරුන් එම නගරය ආරක්ෂා කරන්නේ නැහැ. සමාරිය යෙහෝවාව නොසලකා හැර තිබෙන නිසා යෙහෝවා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයි කියා ඔවුන්ට බලාපොරොත්තු වෙන්ට කොහෙත්ම බැහැ. අදදිනත් යෙහෝවාව ගණන් ගන්නේ නැති ඕනෑම කෙනෙක් සමාරියට හිමි වූ දරුණු ඉරණම සලකා බැලිය යුතුයි! සමාරිය සහ වෙනත් නගර පරාජය කිරීම ගැන අෂූරියට හොඳ හැටි පාරට්ටු කරගත හැකියි. “කල්නෝ කර්කෙමිෂ් වාගේ නොවේද? හමාත් අර්පද් වාගේ නොවේද? සමාරිය දමස්කය වාගේ නොවේද?” (යෙසායා 10:9) අෂූරියයන්ට මේ කවුරුත් එකයි. ඔවුන් අෂූරිවරුන්ගේ කොල්ලයක් විතරයි.

8, 9. අෂූරියයන් ඕනෑවට වඩා දුරදිග යමින් යෙරුසලම අල්ලාගැනීමට මාන බැලුවේ ඇයි?

8 කෙසේවෙතත්, අෂූරියයාගේ පාරට්ටු කරගැනීම ඕනෑවට වඩා දුරදිග ගිහින්. ඔහු මෙසේ කියනවා. “යෙරුසලමෙත් සමාරියෙත් රූපවලට වඩා රූප ඇති දේවතාවන්ගේ රාජ්‍යයන් මාගේ අතට අසුවුණු ලෙසම, මා විසින් සමාරියටත් එහි පිළිමවලටත් කළ ලෙස යෙරුසලමටත් එහි පිළිමවලටත් නොකරන්නෙම්ද?” (යෙසායා 10:10, 11) අෂූරියා විසින් පරාජය කළ වෙනත් රාජ්‍යයන්වල යෙරුසලමේ හෝ සමාරියේ තිබුණාටත් වඩා දේවතා රූප තිබුණා. ‘ඉතින්, සමාරියට කළ දේම යෙරුසලමටත් කරන්න මට බැරිද’ කියා ඔහු සිතනවා.

9 පුරසාරම් දෙඩීමක මහත! යෙරුසලම අල්ලාගන්ට යෙහෝවා ඔහුට ඉඩ දෙන්නේ නැහැ. ඇත්තෙන්ම, නිර්මල නමස්කාරයට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් යූදාට නිකැළැල් වාර්තාවක් නැහැ. (2 රාජාවලිය 16:7-9; 2 ලේකම් 28:24) යූදා ඇදහිල්ල හැර ගිය නිසා, අෂූරිය ආක්‍රමණය කරද්දී ඇය බොහෝ දුක් විඳින්ට යන බව යෙහෝවා අනතුරු ඇඟෙව්වා. එහෙත් යෙරුසලම ගැළවෙන්ට යනවා. (යෙසායා 1:7, 8) අෂූරියේ ආක්‍රමණය සිදු වන විට යෙරුසලමේ රජකම් කරමින් සිටියේ හෙසකියායි. හෙසකියා තම පියා වූ ආහාස් මෙන් නෙවෙයි. හෙසකියා ඔහුගේ පාලනයේ මුල් මාසයේදීම දේවමාළිගාවේ දොරවල් විවෘත කර නිර්මල නමස්කාරය යළි පිහිටෙව්වා!—2 ලේකම් 29:3-5.

10. අෂූරියයන් සම්බන්ධයෙන් යෙහෝවා සහතික වන්නේ කුමක්ද?

10 ඉතින් අෂූරිය සිතාගෙන සිටි පරිදි යෙරුසලම ආක්‍රමණය කරන්ට යෙහෝවා ඔවුන්ට අනුමැතිය දෙන්නේ නැහැ. ඒ උඩඟු ලෝක අධිරාජ්‍යය ගණන් දීමක් කළ යුතු බවට යෙහෝවා සහතික වෙනවා. “[යෙහෝවා] සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.”—යෙසායා 10:12.

යූදා සහ යෙරුසලම වෙත පියමැනීම

11. යෙරුසලම පහසු ගොදුරක් කියා අෂූරියයන් සිතන්නේ ඇයි?

11 පොදු යුගයට පෙර 740දී උතුරු රාජ්‍යය පෙරළී අවුරුදු අටක් ගිය තැන සෙනකෙරීබ් නම් අලුත් අෂූරිය අධිරාජ්‍යයෙක් යෙරුසලමට විරුද්ධව පැමිණියා. සෙනකෙරීබ්ගේ උඩඟු සැලැස්ම යෙසායා කාව්‍යාකාරයෙන් විස්තර කරනවා. “මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි. ජනයන්ගේ වස්තු පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසුවිය; අත්හැරදැමූ බිජු එකතුකරන්නාක්මෙන් මම මුළු පොළොව එකතුකරගත්තෙමි. පියාපත් සෙලවීමක්වත් කට ඇරීමක්වත් ශබ්ද කිරීමක්වත් නොවීය.” (යෙසායා 10:13, 14) අනිකුත් නගර වැටී ගොස්, සමාරියද විනාශ වී ඇති බැවින් යෙරුසලම පහසු ගොදුරක් කරගත හැකියි කියා සෙනකෙරීබ් සිතනවා! නුවර වැසියන් මුළු හිතින්ම සටන් කරන එකක් නැහැ. එවිට එහි වැසියන්ව කාටත් හොරා යටත් කරගෙන, අත්හැර දමා තිබෙන කුරුළු කූඩුවකින් බිජු එකතු කරන්නාක් මෙන් එහි සම්පත්ද එකතු කරගන්ට පුළුවන්.

12. අෂූරියයන්ගේ පාරට්ටුව සම්බන්ධයෙන් සිතිය යුතු නිවැරදි ආකාරය පිළිබඳව යෙහෝවා කියන්නේ කුමක්ද?

12 කෙසේවෙතත්, සෙනකෙරීබ්ට යමක් අමතක වෙනවා. ඇදහිල්ල අත්හැර ගිය සමාරිය දඬුවම් ලැබීමට වටින බව ඇත්තයි. එහෙත්, හෙසකියා රජ යටතේ යෙරුසලම නිර්මල නමස්කාරයේ බලකොටුවක් බවට නැවතත් පත් වී තිබෙනවා. ඉතින්, යෙරුසලමට අතගසන්ට යමෙකුට උවමනා නම්, යෙහෝවා එක්ක කතා කරගන්න එක හොඳයි! උදහසෙන් යුතුව යෙසායා මෙසේ අසනවා. “පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.” (යෙසායා 10:15) අෂූරිය අධිරාජ්‍යය යෙහෝවා ඉදිරියේ නිකම්ම අතකොළුවක් විතරයි. එය හරියට දර පළන්නෙක්, ලී ඉරන්නෙක් නැත්නම් එඬේරෙක් පාවිච්චි කරන පොරවක්, කියතක්, පොල්ලක් හෝ සැරයටියක් වගෙයි. පොල්ල ඒක පාවිච්චි කරන තැනැත්තාට වඩා උසස් වීමට යෑම මොනතරම් නොහික්මුණුකමක්ද!

13. (අ) “තර අය” (ආ) “කටු ගස් සහ ගොකටු” (ඇ) ‘ඔහුගේ වනයේ අලංකාරය’ කියා හඳුන්වන්නේ කාවද? එමෙන්ම ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?

13 අෂූරියයන්ට සිදු වන්ට යන්නේ කුමක්ද? “සේනාවල ස්වාමිවූ [යෙහෝවා] ඔහුගේ තර අය පිටට කෙට්ටුකම [යවන්නේය]; ඔහුගේ ඉසුර යටද ගිනි ඇවිළීමක් මෙන් ඇවිළීමක් වන්නේය. ඉශ්‍රායෙල්වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ [තැනැත්තා] ගිනි දළුවක් පිණිසද වන්නේය. එය ඔහුගේ කටු ගස් හා ගොකටු එක දවසේදීම දවා නැතිකර දමන්නේය. [ඔහු] ඔහුගේ වනයේද ඔහුගේ සාරවූ කෙතේද අලංකාරය, ශරීර ප්‍රාණ ඇතුළුව [නැති කර දමන්නේය]. ඒක කොඩිය උසුලන්නෙකුගේ ක්ලාන්තභාවය මෙන් වෙයි. ඔහුගේ වනයේ ඉතිරි ගස්වල ගණන ළමයෙකුට ලියන්ට පුළුවන් ලෙස ස්වල්ප වෙයි.” (යෙසායා 10:16-19) ඔව්, යෙහෝවා මේ අෂූරීය “පොල්ල” පතුරු ගසන්ට යනවා! අෂූරීය හමුදාවේ සිටි “තර අය” නම් නිර්භීත හේවායනුයි. ඔවුන්ට ‘කෙට්ටුකමේ’ නැතහොත් ක්ෂය වීමේ රෝගයක් වැළඳෙන්ට යනවා. ඔවුන් එතරම් ශක්තිමත් අය බව පිළිබිඹු වෙන්නේ නැහැ! අෂූරියේ පා බලඇණි ඉශ්‍රායෙල්ගේ ආලෝකයේ උල්පත වන යෙහෝවා දෙවි අතින් කටුගස් සහ ගොකටු මෙන් දැවී යන්ට යනවා. ‘ඔහුගේ වනයේ අලංකාරය’ වන හමුදා නිලධාරීන් තම අවසානය අද්දකිනවා. යෙහෝවා අෂූරියයන්ව විනාශ කළාට පසු හරියට පුංචි ළමයෙකුට ඇඟිලිවලින් ගණන් කළ හැකි ප්‍රමාණයක් වගේ නිලධාරීන් අතළොස්සක් විතරයි ඉතිරි වෙන්ට යන්නේ!—යෙසායා 10:33, 34ත් බලන්න.

14. පොදු යුගයට පෙර 732හි යූදා භූමියේදී අෂූරියයන් ලැබූ සාර්ථකත්වය විස්තර කරන්න.

14 එහෙත්, පො.යු.පෙ. 732දී යෙරුසලමේ සිටින යුදෙව්වන් අතින් අෂූරියයන් පරාජයට පත් වෙනවායයි කියන කාරණය විශ්වාස කිරීමට පුළුවන්කමක් නැහැ. අතිවිශාල අෂූරිය හමුදාව පසු නොබැස ඉදිරියටම ඇදෙනවා. යූදාහි වැටී තිබුණු නගර සලකා බලන්න. “අයාත . . . මිග්‍රෝන . . . මික්මාෂ් . . . ගෙබා . . . රාමා . . . සාවුල්ගේ ගිබෙයා . . . ගල්ලීම් . . . ලයිෂා . . . අනතොත් . . . මද්මේනා . . . ගේබීම් . . . නොබ්.” (යෙසායා 10:28-32අ) * ආක්‍රමණිකයන් අවසානයේදී යෙරුසලමේ සිට කිලෝ මීටර් 50ක් නුදුරින් වූ ලාකීෂ් තෙක් පැමිණියා. වැඩි වේලාවක් යන්ට පළමුවෙන් විශාල අෂූරිය හමුදාවක් යෙරුසලමේ තාප්ප අභියස කඳවුරු බැඳගත්තා. “ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.” (යෙසායා 10:32ආ) අෂූරියයන්ව නවත්වන්ට යන්නේ කවුද?

15, 16. (අ) හෙසකියා රජට ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍ය කරන්නේ ඇයි? (ආ) යෙහෝවා තමන්ගේ සරණට පැමිණෙයි යන හෙසකියාගේ විශ්වාසයට තිබෙන පදනම කුමක්ද?

15 නුවර රජ මාළිගාවේ සිටින හෙසකියා රජ තව තවත් කලබලයට පත් වෙනවා. ඔහු ඔහුගේ ඇඳුම් ඉරාගෙන ගෝනිරෙදි පොරවගන්නවා. (යෙසායා 37:1) යූදා වෙනුවෙන් යෙහෝවාගෙන් විමසන්ට ඔහු අනාගතවක්තෘ යෙසායා වෙතට මිනිසුන්ව යවනවා. ඔවුන් ඉක්මනින්ම යෙහෝවාගේ පිළිතුර රැගෙන පැමිණෙනවා. ‘භය නොවන්න. මම මේ නුවර ගළවන්නෙමි.’ (යෙසායා 37:6, 35) යෙරුසලමේ තාප්ප අසල සිටින අෂූරීය හමුදාව දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව තවමත් තර්ජනය කරමින් සිටිනවා.

16 මේ අර්බුදකාරි තත්වයෙන් හෙසකියා රජව ගොඩගන්නේ ඔහුගේ ඇදහිල්ලයි. ඇදහිල්ල කියන්නේ “නොදක්නා දේවල් ගැන ඔප්පුවය.” (හෙබ්‍රෙව් 11:1) පෙනෙන දෙයට ඔබ්බෙන් බැලීම ඊට අයත් වෙනවා. එහෙත් ඇදහිල්ල පදනම් වන්නේ දැනුම මතයි. යෙහෝවා මේ සහනය ගෙන දෙන වචන කලකට පෙර පැවසුවා හෙසකියාට මතකයි. “සියොන්හි වසන මාගේ සෙනගෙනි, [අෂූරියයාට] . . . භය නොවන්න. මක්නිසාද තව ඉතා ස්වල්ප කලකින් කෝපය හා මාගේ උදහස ඔවුන් විනාශකිරීමෙන් සම්පූර්ණවන්නේය. සේනාවල [යෙහෝවා] ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව කසයක් ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත.” (යෙසායා 10:24-26) * ඔව්, දෙවිගේ සෙනඟ මීට පෙර දුෂ්කර තත්වයන් අද්දැක තිබුණා. හෙසකියාගේ මුතුන්මිත්තන් රතු මුහුද අසලදී මිසර හමුදාව අභියස අසරණ වුණා. ඔහුගේ ආදි පියෙක් වූ ගිඩියොන් ඉශ්‍රායෙල් ආක්‍රමණය කිරීමට පැමිණි මිදියන් සහ අමලෙක්වරුන්ගේ විශාල හමුදාවට මුහුණ දුන්නා. එහෙත්, ඒ අවස්ථා දෙකේදීම යෙහෝවා තම සෙනඟව බේරාගත්තා.—නික්මයාම 14:7-9, 13, 28; විනිශ්චයකාරයන් 6:33; 7:21, 22.

17. අෂූරිය වියගහ “කැඩෙන්නේ” කෙසේද? ඒ ඇයි?

17 යෙහෝවා කලින් වතාවන්හි කළ ආකාරයට නැවතත් කරාවිද? ඔව්. යෙහෝවා මෙසේ පොරොන්දු වෙනවා. “තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම [තෛලය, NW] නිසා වියගහද කැඩෙන්නේය.” (යෙසායා 10:27) දෙවිගේ ගිවිසුම යටතේ සිටි සෙනඟගේ කරෙන් අෂූරිය වියගහ ඉවත් කරන්ටයි යන්නේ. ඇත්තෙන්ම වියගහ ‘කැඩෙන්ට’ යනවා. එය අනිවාර්යයෙන්ම කැඩෙනවාමයි! යෙරුසලම වටලාගෙන සිටින අෂූරියයන් 1,85,000දෙනෙකුව එක රැයකින් යෙහෝවාගේ දූතයෙකු විසින් මරා දමනු ලබනවා. වැටලීම ඉවත් කෙරෙන අතර, අෂූරියයන් යූදා භූමියෙන් සදහටම සමුගන්නවා. (2 රාජාවලිය 19:35, 36) ඒ ඇයි? ‘තෛලය නිසයි.’ දාවිත්ගේ පෙළපතෙන් පැමිණෙන රජෙක් හැටියට හෙසකියාව ආලේප කිරීම සඳහා පාවිච්චි කළ තෛලයට මෙය යොමු දක්වනවා විය හැකියි. මෙසේ, යෙහෝවා “මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර . . . රැකගන්නෙමි” කියා දුන් පොරොන්දුව ඉටු කරනවා.—2 රාජාවලිය 19:34.

18. (අ) යෙසායාගේ අනාවැකියට එක ඉටුවීමකට වඩා තිබෙනවාද? පැහැදිලි කරන්න. (ආ) පුරාණ සමාරිය මෙන් වන්නේ අද තිබෙන කිනම් සංවිධානයද?

18 මේ පරිච්ඡේදයෙහි සාකච්ඡා කළ යෙසායාගේ වාර්තාව සකස් කර තිබෙන්නේ, මීට අවුරුදු 2,700කට වඩා වැඩි කාලයකට පෙර යූදාහි වුණු සිදුවීම් අලළායි. එහෙත් එහි ඇති සිදුවීම්වලින් අද අපිට පාඩම් ඉගෙනගත හැකියි. (රෝම 15:4) මේ සිත් ඇදගන්නා වාර්තාවේ ප්‍රධාන චරිත රඟන්නන් වන සමාරියේ සහ යෙරුසලමේ මෙන්ම අෂූරියේ වැසියන්ට සමාන චරිත අදත් දකින්ට ලැබෙන බවක් ඉන් අදහස් වෙනවාද? ඔව්. රූප නමස්කාර කළ සමාරිය වගේ ක්‍රිස්තියානි ලෝකයත් යෙහෝවාට නමස්කාර කරනවායයි කියා සිටියත් ඇය ඇදහිල්ල අත්හැර යෑමේ අන්තයටම ගොස් සිටිනවා. ක්‍රිස්තියානි මූලධර්මවල වර්ධනය පිළිබඳ රචනයක (ඉංග්‍රීසියෙන්) රෝමානු කතෝලික ජෝන් හෙන්රි කාදිනල් නියූමන් පිළිගන්නේ සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානි ලෝකය භාවිතා කළ දේවල් එනම්, සුවඳ දුම්, ඉටි පන්දම්, බෙන්සාරු වතුර, පූජක ඇඳුම් සහ පිළිම යන “මේ සියල්ලකටම මිථ්‍යා මූලාරම්භයක් තිබෙන” බවයි. සමාරියේ පැවති රූප නමස්කාරයට මෙන් ක්‍රිස්තියානි ලෝකයේ මිථ්‍යා නමස්කාරයටද යෙහෝවා කොහෙත්ම කැමති නැහැ.

19. ක්‍රිස්තියානි ලෝකයට අනතුරු අඟවා තිබෙන්නේ කුමක් ගැනද? කා විසින්ද?

19 ක්‍රිස්තියානි ලෝකය කෙරෙහි යෙහෝවාගේ අප්‍රසාදය පිළිබඳව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් පුරා අනතුරු අඟවා තිබෙනවා. උදාහරණයක් හැටියට, 1955දී “ක්‍රිස්තියානි ලෝකයද ක්‍රිස්තියානි ධර්මයද—‘ලෝකයේ ආලෝකය’ කොයිකද?” යන තේමාවෙන් යුත් ප්‍රසිද්ධ කථාවක් ලෝක ව්‍යාප්තව ඉදිරිපත් කළා. මේ කතාවේදී ක්‍රිස්තියානි ලෝකය, සැබෑ ක්‍රිස්තියානි මූලධර්ම සහ සිරිත් විරිත්වලින් ඉවත්ව මුළාව ගොස් ඇති ආකාරය සිතට කාවදින ආකාරයෙන් විස්තර කළා. ඉන්පසුව, බොහෝ රටවල සිටින පූජකයන්ට මේ ප්‍රබල දේශනයේ පිටපත් තැපැල් කරනු ලැබුවා. සංවිධානයක් හැටියට ක්‍රිස්තියානි ලෝකය අනතුරු ඇඟවීම පිළිපැදීමට අසමත්ව සිටිනවා. ‘පොල්ලකින්’ තරවටු කරනවා ඇරෙන්ට වෙන දෙයක් ඇය යෙහෝවාට ඉතිරි කර නැහැ.

20. (අ) වර්තමානයේදී අෂූරිය මෙන් ක්‍රියා කරන්නේ කුමක්ද? එමෙන්ම එය පොල්ලක් මෙන් ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ලෝකය තරවටු ලබන්නේ කොතරම් දුරටද?

20 කැරලිකාර ක්‍රිස්තියානි ලෝකයට තරවටු කරන්ට යෙහෝවා පාවිච්චි කරන්නේ කාවද? එළිදරව් 17වන පරිච්ඡේදයේ අපට පිළිතුර දැකගන්ට පුළුවන්. එහි “මහා බබිලෝනිය” නම් වේශ්‍යාව පිළිබඳව හැඳින්වීමක් කරන අතර, ඇය ක්‍රිස්තියානි ලෝකය ඇතුළු ලෝකයේ සියලුම බොරු ආගම් නියෝජනය කරනවා. වේශ්‍යාව හිස් සතක්ද අං දසයක්ද ඇති රතු පාට මෘගයෙකු පිට ගමන් කරමින් සිටිනවා. (එළිදරව් 17:3, 5, 7-12) මෘගයා විසින් නියෝජනය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. * පුරාණ අෂූරියයන් සමාරිය විනාශ කළා වගේ රතු පාට මෘගයා “වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් [දවන්ට]” යනවා. (එළිදරව් 17:16) මේ අනුව වර්තමාන දින අෂූරිය (එක්සත් ජාතීන් සමඟ සම්බන්ධ ජාතීන්) ක්‍රිස්තියානි ලෝකයට විරුද්ධව දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇයව මුළුමනින්ම නැති කර දමන්ට යනවා.

21, 22. දෙවිගේ සෙනඟට පහර දීමට මෘගයාව පොලඹවන්නේ කවුද?

21 මහා බබිලෝනිය සමඟ යෙහෝවාගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවනුත් විනාශ වේවිද? නැහැ. දෙවි තුළ ඔවුන් කෙරෙහි අප්‍රසාදයක් නැහැ. නිර්මල නමස්කාරය දිගටම පවතින්ට යනවා. කෙසේවෙතත්, මහා බබිලෝනිය විනාශ කළ වන මෘගයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙසද කෑදර බැල්මක් හෙළාගෙනයි සිටින්නේ. එසේ කිරීමෙන්, මෘගයා ක්‍රියාත්මක කරන්ට යන්නේ දෙවිගේ සිතුවිලි නෙවෙයි. ඒ වෙනුවට වෙනත් කෙනෙකුගේ සිතුවිලියි. ඒ කාගෙද? ඒ සාතන් නමැති යක්ෂයාගෙයි.

22 සාතන්ගේ උඩඟු කුමන්ත්‍රණය යෙහෝවා මෙසේ හෙළි කරනවා. “ඒ කාලයෙහි නුඹේ [සාතන්ගේ] සිතට කාරණා පහළව, නුඹ නපුරු යෝජනාවක් කරගෙන කථාකොට—මම . . . නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම [ආරක්ෂිත] පවුරු නැතුව වාසයකරති, . . . නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් [උදුරාගැනීමටත්ය].” (එසකියෙල් 38:10-12) සාතන් මෙසේ සිතන්ට යනවා. ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පහර දෙන්ට ජාතීන්ව පෙලඹුවොත් කොහොමද? ඔවුන් අසරණයි, ආරක්ෂාවකුත් නැහැ. දේශපාලන ශක්තියකුත් නැහැ. ඔවුන් ආපිට සටන් කරන්නෙත් නැහැ. කිසිම ආරක්ෂාවක් සපයා නැති කුරුළු කූඩුවකින් බිජු ගන්නවා වගේ ඔවුන්ට පහර දෙන එක කිරි කජු වගේ වැඩක්!’

23. ක්‍රිස්තියානි ලෝකයට කරන දෙයම දෙවිගේ සෙනඟට කිරීමට වර්තමානයේ අෂූරියයන්ට බැරි වන්නේ ඇයි?

23 ජාතීනි, බලාගෙනයි! අත තියන්ට එපා යෙහෝවාගේ සෙනඟට! ඒ ගැන ඔබට ගණන් දෙන්ට වෙයි යෙහෝවාට! යෙහෝවා ඔහුගේ සෙනඟට ආදරෙයි. හෙසකියාගේ දවසේදී යෙරුසලම වෙනුවෙන් සටන් කළා වගේ නිසැකවම ඔහු තමන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කරනවා. වර්තමාන දින අෂූරිය යෙහෝවාගේ සේවකයන්ව සමූලඝාතනය කරන්ට උත්සාහ කරද්දී, ඔවුන් ඇත්තෙන්ම සටන් කරන්නේ යෙහෝවා දෙවි සහ බැටළුපැටවා වන යේසුස් ක්‍රිස්තුස් සමඟයි. ඒක අෂූරියයන්ට දිනන්ට බැරි සටනක්. බයිබලය මෙසේ කියනවා. ‘බැටළුපැටවා ස්වාමිවරුන්ගේ ස්වාමීන් සහ රජවරුන්ගේ රජ්ජුරුවෝ නිසා, ඔවුන්ව පරාජය කරනවා.’ (එළිදරව් 17:14; සසඳන්න මතෙව් 25:40.) පුරාණ අෂූරියයන් මෙන් රතු පාට මෘගයා ‘විනාශයට යනවා.’ ඌට භය වෙන්ට කිසිම හේතුවක් නැහැ.—එළිදරව් 17:11.

24. (අ) අනාගතයට සූදානම් වීමක් වශයෙන් සැබෑ ක්‍රිස්තියානීන් කරන්ට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කුමක්ද? (ආ) යෙසායා තවදුරටත් ඉදිරිය දෙස බලන්නේ කෙසේද? (155වන පිටුවේ ඇති කොටුව බලන්න.)

24 සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා සමඟ ඇති තමන්ගේ සම්බන්ධය ශක්තිමත්ව තබාගෙන දෙවිගේ කැමැත්ත කිරීම ඔවුන්ගේ ජීවිතයේ මූලික දෙය කරගන්නවා නම්, කිසිම භයක් නැතුව අනාගතයට මුහුණ දෙන්ට ඔවුන්ට හැකියි. (මතෙව් 6:33) එවිට “කිසි උපද්‍රවයකට [භය වෙන්ට]” ඔවුන්ට කිසිම හේතුවක් නැහැ. (ගීතාවලිය 23:4) ඔවුන්ගේ ඇදහිල්ලේ ඇස්වලින් ඔවුන් දෙවිගේ බලවත් හස්තය ඉහළට එසවී තිබෙනවා දකින අතර, එසේ වී තිබෙන්නේ ඔවුන්ට දඬුවම් කිරීමට නොව, ඔහුගේ සතුරන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමටයි. එමෙන්ම මේ සැනසිලිදායක වචනද ඔවුන්ගේ කන්වලට ඇසෙන්ට යනවා. “භය නොවන්න.”—යෙසායා 10:24.

[පාදසටහන්වල]

^ ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) පළමුවන වෙළුමේ 203වන පිටුව බලන්න.

^ වඩාත් පැහැදිලිව තේරුම්ගැනීම සඳහා යෙසායා 10:20-27ට කලින් යෙසායා 10:28-32 සාකච්ඡා කර තිබෙනවා.

^ යෙසායා 10:20-23 දක්වා කෙරෙන සාකච්ඡාව සඳහා 155වන පිටුවේ ඇති “යෙසායා තවදුරටත් ඉදිරිය දෙස බලයි” යන කොටස බලන්න.

^ වේශ්‍යාවගේ සහ රතු පාට මෘගයාගේ අනන්‍යතාව ගැන වැඩිමනත් තොරතුරු එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! පොතේ 34 සහ 35වන පරිච්ඡේදයන්හි ඇත. එය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ Watchtower Bible and Tract Society of New York, Inc., මගිනි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[155, 156වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෙසායා තවදුරටත් ඉදිරිය දෙස බලයි

යෙසායා 10:20-23

යෙසායා 10වන පරිච්ඡේදය මූලිකව අවධානය යොමු කරන්නේ යෙහෝවා ඉශ්‍රායෙල් විනිශ්චය කිරීමට අෂූරිය යොදාගැනීමත්, යෙරුසලම බේරාගැනීමට පොරොන්දු වීමත් යන කාරණා වෙතයි. යෙසායා 10 විස්සේ සිට විසිතුන දක්වා ඡේද තිබෙන්නේ අනාගතවාක්‍යයේ මැද කොටසේ නිසා, ඒවායේ ඉටුවීම එම කාලපරිච්ඡේදයේ සිදු වූ බවට සිතිය හැකියි. (යෙසායා 1:7-9 සසඳන්න.) කෙසේවෙතත්, එහි වචනවලින් අඟවන්නේ යෙරුසලමේ වැසියන් තම පාපවලට දඬුවම් ලබන කාලපරිච්ඡේදයකටද එය අදාළ වන බවයි.

ආහාස් රජ අෂූරියේ උපකාර පැතීමෙන් ආරක්ෂාව සලසාගන්ට වෑයම් කරනවා. ඉශ්‍රායෙල් වංශයේ ගැළවෙන්නන් මින් ඉදිරියට එවැනි අඥාන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්ට යන්නේ නැති බව පසු කාලයකදී අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළා. යෙසායා 10:20 කියන්නේ ඔවුන් ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා කෙරෙහි සැබෑකමින් පිහිටා’ සිටිනවා කියායි. කෙසේවෙතත් ‘ඉතිරි අය හැරී එනවා ඇත’ කියා යෙසායා 10:21වන පදයෙහි කියන දෙයින් අදහස් කරන්නේ කුඩා කණ්ඩායමක් පමණක් එසේ කරන්ට යන බවයි. මෙය ඉශ්‍රායෙල්හි ලකුණක් ලෙස සිටි යෙසායාගේ පුත්‍රයා වූ ෂෙයාර්-යාෂුබ්ව අපට මතක් කර දෙනවා. ඔහුගේ නමේ අර්ථය වූයේ “කොටසක් පමණක් නැවත පැමිණෙයි” යන්නයි. (යෙසායා 7:3) යෙසායා දහවන පරිච්ඡේදයේ 22වන පදය දැනටමත් නියම කර තිබෙන අනාගතයේදී සිදු වන “නාස්තිය” ගැන අනතුරු අඟවනවා. එය කැරලිකාර සෙනඟට විරුද්ධව ගෙනෙන දඬුවමක් නිසා එවන් නාස්තියක් සිදුවීම යුක්තිසහගතයි. ප්‍රතිඵලයක් හැටියට ‘මුහුදේ වැලි මෙන් වූ’ විශාල ජනගහනයකින් නැවත හැරී යන්නේ ඉතිරි වූ සුළු පිරිසක් පමණයි. පැමිණෙන නාස්තිය මුළු දේශයටම බලපාන බව යෙසායා 10:23වන පදයෙන් අනතුරු අඟවනවා. මේ වතාවේදී යෙරුසලම වුණත් බේරෙන්නේ නැහැ.

යෙහෝවා බබිලෝනිය අධිරාජ්‍යය තම “පොල්ල” ලෙස පො.යු.පෙ. 607දී පාවිච්චි කරද්දී මේ පදවල කියන දෙය හොඳ හැටි පැහැදිලි වුණා. යෙරුසලම ඇතුළු මුළු දේශයම ආක්‍රමණිකයන් අතට පත් වුණා. යුදෙව්වන් වහලුන් ලෙස අවුරුදු 70ක් බබිලෝනියේ ගත කළා. කෙසේවෙතත්, ඉන් පසු “ඉතිරි” වී සිටින්නේ ගණනින් කුඩා සංඛ්‍යාවක් වුණත්, යෙරුසලමේ සැබෑ නමස්කාරය යළි පිහිටුවන්ට ඔවුන් එහි නැවත ගියා.

රෝම 9:27, 28 පෙන්වන ආකාරයට යෙසායා 10:20-23හි සඳහන් අනාවැකියෙහි වැඩිමනත් ඉටුවීමක් මුල් සියවසේදී සිදු වුණා. (යෙසායා 1:9; රෝම 9:29 සසඳන්න.) ආත්මික ආකාරයකින් යුදෙව්වන්ගේ “ඉතිරි” කණ්ඩායමක් පො.යු. මුල් සියවසේදී යෙහෝවා වෙත ‘නැවත හැරී ආවා.’ එය සිදු වූයේ ඇදහිලිවන්ත යුදෙව්වන්ගේ සුළුතරයක් යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වී යෙහෝවාට ‘ආත්මයෙනුත් සැබෑකමෙනුත්’ නමස්කාර කරන්ට පටන්ගැනීමත් සමඟයි. (යොහන් 4:24) අන්‍යජාතික ඇදහිලිවන්තයන් පසුව මොවුන් හා එක් වී ආත්මික ජාතියක් එනම් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ බවට පත් වුණා. (ගලාති 6:16) මේ අවස්ථාවේදී යෙසායා 10:20හි [NW] ඇති වචන ඉටු වුණා. යෙහෝවාට කැප වුණු ජාතියක් “නැවත කිසිදාක” උපකාරය පතා මිනිසුන් වෙතට හැරෙන්නේ නැහැ.

[147වන පිටුවේ පින්තූරය]

ජාතීන්ව රැස් කිරීම කුරුළු කූඩුවකින් බිජු රැස් කරගන්නාක් මෙන් පහසු වැඩක් කියා සෙනකෙරීබ් සිතයි