Skip to content

පටුනට යන්න

ඇදහිල්ල නැතිකම පිළිබඳ පාඩම්

ඇදහිල්ල නැතිකම පිළිබඳ පාඩම්

දහඅටවන පරිච්ඡේදය

ඇදහිල්ල නැතිකම පිළිබඳ පාඩම්

යෙසායා 22:1-25

1. සතුරු සේනාවක් විසින් වටලා තිබෙන පුරාණ නුවරක් තුළ සිටීමේ හැඟීම කුමනාකාරද?

 ඔබ වාසය කරන්නේ හමුදාවක් විසින් වටලා සිටින පුරාණ නුවරකයයි සිතන්න. කිසිම හිතක් පපුවක් නැති ප්‍රබල සතුරෙක් බලකොටුවෙන් පිටත කඳවුරු බැඳගෙන. වෙනත් නගර ඔහු අතට නතු වූ බව ඔබට දැනගන්න ලැබෙනවා. ඔහු දැන් ඔබේ නුවරත් යටත් කර, එය කොල්ලකා, එහි ස්ත්‍රීන්ව දූෂණය කර, වැසියන්ව මරා දැමීමට දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා. සතුරු හමුදාව සමඟ මුහුණට මුහුණලා සටන් කර මෙල්ල කිරීමට තරම් ශක්තියක් ඔබට නැහැ. ඔබේ එකම බලාපොරොත්තුව නුවර පවුරු ඔබව රකීවි යන්නයි! පවුර උඩින් එබිකම් කරද්දී ඔබ දකින්නේ වටකරින් ඔබට විරුද්ධව සතුරන් ගෙනැවිත් තිබෙන රෝද සහිත උස බලකොටුයි. ඔබේ ආරක්ෂක වළලු කුඩුපට්ටම් කර දැමීමට ගෙනා විශාල ගල්කුට්ටි විසි කරන යන්ත්‍රද ඔවුන් සතුයි. එමෙන්ම පවුරේ හප්පා එය බිඳ දැමීමට ගෙනා ඔවුන්ගේ යුධ යන්ත්‍රද, බලකොටුව තරම් උස ඉණිමංද, දුනුවායන් සහ යුධ රථ ඇතුළු ඔවුන්ගේ අසංඛ්‍යාත හේවා බලඇණිද ඔබ දකිනවා. මොනතරම් බියකරුද ඒ දසුන!

2. යෙසායා 22වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන වැටලීම සිදු වන්නේ කවදාද?

2 යෙසායා 22වන පරිච්ඡේදයේ එවැනි වැටලීමක් ගැන කියවන්ට තිබෙනවා. ඒ යෙරුසලමට විරුද්ධවයි. එය සිදු වන්නේ කවදාද? මෙහි සඳහන් සෑම දෙයක්ම එක විට සිදු වේයයි කීම උගහටයි. තිබෙන සාක්ෂිවලට අනුව යෙරුසලම අනාගතයේදී අද්දකින්ට යන විවිධ වැටලීම් පිළිබඳව කළ සාමාන්‍ය අනතුරු ඇඟවීමක් ලෙසට මේ අනාවැකිය තේරුම්ගත යුතුයි.

3. යෙසායා විස්තර කරන වැටලීම සම්බන්ධයෙන් යෙරුසලමේ වැසියන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද?

3 යෙසායා විස්තර කරමින් සිටි වැටලීම හමුවේ යෙරුසලමේ වැසියන් කුමක් කරාවිද? දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටින ජනයා හැටියට ගැළවීම සඳහා ඔවුන් යෙහෝවාගෙන් උපකාර ඉල්ලාවිද? නැහැ. ඔවුන් සිටින්නේ හරියට දෙවිට නමස්කාර කිරීම වචනෙට පමණක් සීමා කළ අදදින සිටින බොහෝදෙනා වගේ ඉතාමත් මෝඩ ආකල්පයක් විදහාපාමිනුයි.

වැටලූ නුවරක්

4. (අ) “දර්ශන මිටියාවත” යනු කුමක්ද? එයට ඒ නම පටබැඳී ඇත්තේ ඇයි? (ආ) යෙරුසලමේ වැසියන්ගේ ආත්මික තත්වය කුමක්ද?

4 යෙසායා 21වන පරිච්ඡේදයේ සඳහන් විනිශ්චමය පණිවිඩ තුනම ආරම්භ වන්නේ “දිව්‍ය ප්‍රකාශය [NW]” යන කියමනෙන්. (යෙසායා 21:1, 11, 13) යෙසා විසිදෙවන පරිච්ඡේදයත් ආරම්භ වෙන්නේ ඒ ආකාරයටමයි. “[දර්ශන මිටියාවතට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය, NW].” “නුඹ තුළ සිටින සියල්ලන් පියසිවලට නැගීගියේ නුඹට මක්වෙලාද?” (යෙසායා 22:1) “දර්ශන මිටියාවත” කියා යොමු දක්වන්නේ යෙරුසලමටයි. නුවර උස ස්ථානයක පිහිටියත් ඊටත් වඩා උස් කඳුවලින් එය වට වී තිබෙන නිසා ඊට මිටියාවත කියා කියනවා. එය ‘දර්ශනයක්’ හා සම්බන්ධ වන්නේ, දිව්‍ය දර්ශන සහ එළිදරව් කිරීම් බොහොමයක් එම ස්ථානයේදී දෙනු ලැබූ නිසයි. මේ හේතුව නිසා නුවර වැසියන් යෙහෝවාගේ වචනයට ඇහුම්කන් දිය යුතුයි. එසේ කරනවා වෙනුවට, ඔවුන් දෙවිව ගණන් නොගෙන බොරු නමස්කාරය වෙත හැරී ගියා. සතුරන් විසින් නුවර වැටලීම ඇත්තෙන්ම දෙවි තම හිතුවක්කාර සෙනඟට විරුද්ධව දිව්‍ය විනිශ්චය පාවිච්චි කිරීමේ එක් ආකාරයක් වුණා.—ද්විතීය කථාව 28:45, 49, 50, 52.

5. ඇතැම්විට සෙනඟ තමන්ගේ වහලවලට නැග්ගේ ඇයි?

5 යෙරුසලමේ වැසියන් ඔවුන්ගේ නිවෙස්වල ‘පියසිවලට නැඟී ගියා’ යන්න සලකා බලන්න. පුරාණ කාලයේ ඉශ්‍රායෙල් නිවාසවල තිබුණේ සමතලා වහලවල්. බොහෝ අවස්ථාවල පවුලේ උදවිය එහි කාලය ගත කළා. එහෙත් මේ අවස්ථාවේදී ඔවුන් වහලට නැග්ගේ ඇයිද කියා යෙසායා පවසන්නේ නැතත්, ඔහුගේ වචනවලින් පිළිකුලක් ඇඟවෙනවා. එසේ නම් පෙනෙන විදිහට, ඔවුන් වහලවලට නඟින්ට ඇත්තේ බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට විය හැකියි. එතැන් සිට පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ වන තුරු මෙය ඔවුන්ගේ චාරිත්‍රයව තිබුණා.—යෙරෙමියා 19:13; ශෙපනියා 1:5.

6. (අ) යෙරුසලම තුළ ඇති තත්වය කුමක්ද? (ආ) සමහරුන් ප්‍රීති වන්නේ ඇයි? එහෙත් ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?

6 යෙසායා මේ ආකාරයට විස්තර කරනවා. “ඔල්වරහඬවලින් පූර්ණවූ ඝෝෂා ඇති නුවරක්ද ප්‍රීතිමත් නගරයක්ද වූ . . . නුඹ තුළ මැරුම්කෑ අය කඩුවෙන් මරනලද්දෝවත් සටනේදී මැරුණෝවත් නොවෙති.” (යෙසායා 22:1අ, 2) බොහෝදෙනෙක් නගරයට එක්රැස් වී සිටින අතර එතැන එකම ගාල ගෝට්ටියක්. පාරවල් දිගේ සිටින මිනිසුන් හරිම ඝෝෂාකාරියි. ඔවුන් සිටින්නේ භයෙන්. කෙසේවෙතත්, සමහරුන් ප්‍රීතියෙන් සිටිනවා. සමහරවිට ඔවුන් එසේ සිටින්නේ අනතුරක් නැතැයි කියා එහෙම නැත්නම් තමන් සුරක්ෂිතයි කියා සිතාගෙන විය හැකියි. * එහෙත් එවැනි අවස්ථාවක ප්‍රීතිවීම මහ මෝඩකමක්. නුවරේ සිටින බොහෝදෙනෙක් කඩු මුවහතින් වැටෙනවාට වඩා ම්ලේච්ඡ විදිහට මැරෙන්ටයි නියමිත. වටලා ඇති දේශයකට පිටතින් පැමිණෙන ආහාර ද්‍රව්‍ය සියල්ලම කපාහැර තිබෙනවා. නුවර තුළ තිබෙන ආහාර ගබඩාව කෙමෙන් කෙමෙන් අඩු වේගන යනවා. මිනිසුන් සාගින්නෙන් සිටීම හේතුවෙන් සහ පහසුකම් අඩුවීම නිසා ඇති වී ඇති ජනගහන තදබදය හේතුවෙන් ලෙඩ රෝග පැතිරෙනවා. මෙසේ යෙරුසලමේ සිටින බොහෝදෙනෙක් සාගතයෙන් සහ වසංගතයෙන් මියැදෙනවා. මෙය පො.යු.පෙ. 607දීත් පො.යු. 70දීත් සිදු වෙනවා.—2 රාජාවලිය 25:3; විලාප ගී 4:9, 10. *

7. වැටලීම හමුවේ යෙරුසලමේ පාලකයන් කුමක් කරයිද? ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?

7 මේ අර්බුදකාරි තත්වය යටතේ යෙරුසලමේ පාලකයන්ට ඉතිරි වන්නේ මොනවාද? යෙසායා මෙසේ පිළිතුරු දෙනවා. “නුඹේ සියලු අධිපතියෝ එක්ව පලාගිය නුමුත් දුනුකාරයන්ට අසුවුණෝය; දුරට පලාගියාවූ, නුඹ තුළ සම්බවුණු සියල්ලෝ අසුවුණෝය.” (යෙසායා 22:3) පාලකයන් සහ බලවතුන් පැනල ගියත් පසුව අල්ලගත්තා! එක ඊතලයක්වත් විදින්නේ නැතුව ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. මෙය සිදු වන්නේ පො.යු.පෙ. 607දීයි. යෙරුසලමේ තාප්ප කැඩී බිඳී ගිය විට ශෙදෙකියා රජ තම අධිපතීන් සමඟ පලා යනවා. සතුරන්ට මේ බව ආරංචි වී ඔවුන්ව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ සමභූමියේදී ඔවුන්ව අල්ලගන්නවා. අධිපතීන් විසිරී යනවා. ශෙදෙකියාව අල්ලගෙන ඔහුව අන්ධ කර තඹ මාංචු දමා බබිලෝනියට ගෙන යනවා. (2 රාජාවලිය 25:2-7) ඔහුගේ අස්ථිර ඇදහිල්ලේ දුඃඛිත ඵලවිපාක කොතරම් දරුණුද!

විපත්ති හමුවේ කැලඹේ

8. (අ) යෙරුසලම මත පැමිණෙන විපත්තිය පුරෝකථනය කරන අනාවැකියට යෙසායා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) යෙරුසලමේ තත්වය කුමක්ද?

8 මේ අනාවැකිය යෙසායාගේ හදවතට තදින්ම බලපානවා. ඔහු මෙසේ කියනවා. “මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් අඬන්නෙමි; මාගේ සෙනගවූ දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නැයි කීමි.” (යෙසායා 22:4) මෝවබ් සහ බබිලෝනිය ගැන පුරෝකථනය කළ ඉරණම සම්බන්ධයෙන් යෙසායා දුක් වුණා. (යෙසායා 16:11; 21:3) දැන් තමන්ගේ සෙනඟ මත පැමිණෙන විනාශය ගැන කල්පනා කරද්දී ඔහුගේ කැලඹීම සහ විලාපය තදබලයි. ඔහුව කොහොමටවත් සනසන්න බැහැ. ඒ ඇයි? “මක්නිසාද ඒ දවස සේනාවල [යෙහෝවා වන ස්වාමීන්] කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.” (යෙසායා 22:5) යෙරුසලම මුළුමනින්ම කැලඹිලා. භයින් බිරාන්ත වන ජනයා හිස හැරුණු අතේ දුවන්ට පටන්ගන්නවා. සතුරා පවුර බිඳගෙන ඇතුල් වෙන්ට පටන්ගනිද්දී, “කඳුවලට මොරගැසීමක්” ඇසෙන්ට යනවා. නුවර වැසියන් මොරියා කන්ද මත පිහිටි දේවමාළිගාව වෙත ගොස් දෙවිගෙන් උපකාර ඉල්ලනවා කියා මින් අදහස් කරනවාද? සමහරවිට එසේ විය හැකියි. කෙසේවෙතත්, ඔවුන්ගේ ඇදහිල්ල නැතිකම ගැන සිතා බලද්දී ඔවුන් වේදනාවෙන් කෑගැසීම, අවට කඳුවල වැදී නිකම්ම දෝංකාර දීමක් විතරයි වෙන්නේ.

9. යෙරුසලමට තර්ජනය කරන හමුදාව කුමනාකාරයේ එකක්ද?

9 යෙරුසලමට තර්ජනය කරන්නේ කුමනාකාර සතුරෙක්ද? යෙසායා මෙසේ කියනවා. “ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.” (යෙසායා 22:6) සතුරා ආයුධවලින් මුළුමනින්ම සන්නද්ධ වෙලා. ඊකොපුවල ඊතල පුරවාගත් දුනුවායන් සිටිනවා. හේවායන් යුද්ධයට ඔවුන්ගේ පලිස් සූදානම් කරනවා. යුධ රථ මෙන්ම යුද්ධයට පුහුණු කළ අශ්වයන්ද සිටිනවා. එම හමුදාවට පර්සියානු බොක්කේ උතුරට වෙන්ට තිබෙන ඒලාම්හි සොල්දාදුවන්ද, සමහරවිට ඊට ආසන්නව පිහිටි කීර්හි සොල්දාදුවන්ද ඇතුළත් වුණා. එම දේශ ගැන සඳහන් කිරීමෙන් අඟවන්නේ ආක්‍රමණිකයන් කොතරම් දුර කතර ගෙවා පැමිණෙනවාද යන්නයි. එමෙන්ම හෙසකියාගේ දවසේදී යෙරුසලමට තර්ජනය කළ හමුදාවේ ඒලාම්වරුන්ගේ දුනුවායන්ද සිටින්ට ඇති බව මෙයින් අඟවනවා.

රැකගැනීමට වෑයමක යෙදී

10. නුවරට අශුභ පෙරනිමිත්තක් වන්නේ කුමන සිදුවීමද?

10 සිද්ධීන් සිදු වන ආකාරය යෙසායා මෙසේ විස්තර කරනවා. “නුඹේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය. යූදාගේ වැස්ම අහක්කරනලද්දේය.” (යෙසායා 22:7, 8අ) යුධ රථ සහ අශ්වයන් යෙරුසලමෙන් පිටත මිටියාවත වසාගෙන නුවර දොරටුවට පහර දී ආක්‍රමණය කිරීමට පෙළගැසී සිටිනවා. අහක් කළ “යූදාගේ වැස්ම” කුමක්ද? පෙනෙන විදිහට ඒ නුවර දොරටුව විය හැකියි. එවැනි ස්ථානයක් අල්ලගැනීම, ආක්‍රමණයක් වළක්වන්ට උත්සාහ කරන්නෙකුට සුභ නිමිත්තක් නම් නෙවෙයි. * මේ ආරක්ෂක වැස්ම ඉවත් කළ විට නගරය පහසුවෙන්ම ආක්‍රමණය කළ හැකියි.

11, 12. යෙරුසලමේ වැසියන් ගනු ලබන ආරක්ෂිත පියවර මොනවාද?

11 තමන්ගේ ආරක්ෂාව තර කරගැනීම සඳහා ජනයා දරන වෑයමට යෙසායා දැන් අවධානය යොමු කරනවා. ඔවුන්ගේ මනස් මුලින්ම දිව යන්නේ ආයුධ වෙතයි! “නුඹ ඒ දවසෙහි වනය නම් ගෘහයේ යුද්ධායුධ දෙස බැලුවෙහිය. දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව නුඹලා දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.” (යෙසායා 22:8ආ, 9) වනය නම් ගෘහයෙහි අවි ගබඩා කර තිබෙනවා. මේ ආයුධ ගබඩාව සෑදුවේ සාලමොන් විසින්. ලෙබනොනෙන් ගෙනා කිහිරිවලින් එය ගොඩනඟා තිබූ නිසා එය “ලෙබනොන් වනය නම් ගෘහය” ලෙස හඳුන්වනු ලැබුවා. (1 රාජාවලිය 7:2-5) ඔවුන් පවුරේ බිඳී ගිය තැන් පරීක්ෂා කර බලනවා. ආක්‍රමණයේ දුෂ්කරතා බොහෝදුරට වළක්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන ජලය එකතු කරගන්නවා. ජීවත් වෙන්ට මිනිසුන්ට ජලය අවශ්‍යයි. එය නැතුව නුවරක් තියෙන්ට යන්නේ නැහැ. කෙසේවෙතත්, ගැළවීම සඳහා යෙහෝවා දෙස බැලීමක් ගැන නම් එහි කතා කරන්නේ නැති බවද සලකන්න. එසේ කරනවා වෙනුවට ඔවුන් තමන්ගේ ද්‍රව්‍යමය දේවල් මත රැඳී සිටිනවා. අපි කිසිදාක ඒ වරද නම් නොකරමු!—ගීතාවලිය 127:1.

12 නුවර පවුරේ බිඳී ගිය තැන්වලට කුමක් කළ හැකිද? “යෙරුසලමේද ගෙවල් ගණන්කොට පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළූය.” (යෙසායා 22:10) පවුර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා කඩා දැමිය යුත්තේ කුමන නිවෙස්ද යන්න දැනගැනීමට එක එක නිවස තක්සේරු කළා. එය, සතුරා විසින් පවුර කඩා දැමීම වළක්වාගැනීම සඳහා එහි ශක්තිය තර කරගැනීමට ගත් වෑයමක්.

අබමල් රේණුවක තරම්වත් ඇදහිල්ලක් නැති සෙනඟක්

13. ජල සැපයුම රැකගන්ට සෙනඟ වෑයම් කරන්නේ කෙසේද? එහෙත් ඔවුන්ට අමතක වන්නේ කාවද?

13 “පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ [තැනැත්තා] දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ [තැනැත්තා] සැලකුවේවත් නැත.” (යෙසායා 22:11) ජලය රැස් කර තබාගැනීමට ගත් වෑයම මෙහිදීත් මීට පෙර යෙසා 22 නවවන ඡේදයේදීත් විස්තර කරනවා. මේ කාරණය ආක්‍රමණික අෂූරියයන්ගෙන් නුවර ආරක්ෂා කරගැනීමට හෙසකියා රජු ගත් ක්‍රියා මාර්ගය අපිට මතක් කරනවා. (2 ලේකම් 32:2-5) කෙසේවෙතත්, යෙසායාගේ අනාවැකියේ සඳහන් නුවර තුළ සිටින අය නම් අබමල් රේණුවක තරම්වත් ඇදහිල්ලක් නැති සෙනඟක්. ඔවුන් තමන්ගේ නුවර ආරක්ෂා කරගන්ට දරන වෑයමේදී හෙසකියා මෙන් ඇදහිලිවන්තව සිටින්නේ නැහැ. ඔවුන් තම මැවුම්කාරයාව තඹ දොයිතුවකටවත් මායිම් කරන්නේ නැහැ.

14. යෙහෝවාගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය ලැබුණත්, සෙනඟ තුළ තිබෙන මෝඩ ආකල්පය කුමක්ද?

14 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “ඒ දවසෙහි සේනාවල [යෙහෝවා වන ස්වාමීන්] ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් [අඬගැසුවේය]. එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියයන්නෙමුයයි කියති.” (යෙසායා 22:12, 13) යෙරුසලමේ වැසියන් යෙහෝවාට විරුද්ධව කළ කැරලිගැසීම ගැන කිසිම කනගාටුවක් පෙන්වන්නේ නැහැ. පසුතැවීමේ සලකුණක් හැටියට ඔවුන් වැලපෙන්නේවත්, හිස මුඩු කරගන්නේවත්, ගෝනිරෙදි ඇඳගන්නේවත් නැහැ. ඔවුන් එසේ කළා නම්, මුහුණ දෙන්ට තිබූ අධික ත්‍රාසයෙන් යෙහෝවා ඔවුන්ව ආරක්ෂා කරන්ට ඉඩ තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් තමන්ව පාලනය කිරීමට මාංසික දේවලට ඉඩහරිනවා. අදදිනත් දෙවි කෙරෙහි ඇදහිල්ල තබන්නේ නැති බොහෝදෙනා අතර එම ආකල්පයම පවතිනවා. මරණයෙන් නැවත නැඟිටීම ගැන හෝ පාරාදීස පොළොවක ජීවිතය ගැන ඔවුන්ට බලාපොරොත්තුවක් නැති නිසා ඕනෑවට වඩා ආත්මාර්ථයට නැඹුරු වූ ජීවිතයක් ගත කරන්නේ “හෙට මැරෙන බැවින් කමු, බොමු” යන ආකල්පයෙනුයි. (1 කොරින්ති 15:32) මොනතරම් අදූරදර්ශීද! ඔවුන් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම් සදාකාලික බලාපොරොත්තුවක් ඔවුන්ටත් උරුම වෙනවා!—ගීතාවලිය 4:6-8; හිතෝපදේශ 1:33.

15. (අ) යෙරුසලමට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය පණිවිඩය කුමක්ද? එම විනිශ්චය ඉටු කිරීමට භාවිත කරන්නේ කාවද? (ආ) යෙරුසලමට සමාන ඉරණමක් ක්‍රිස්තියානි ලෝකය විඳින්ට යන්නේ මන්ද?

15 යෙරුසලමේ සිටින වැසියන් කිසිම සුරක්ෂිතභාවයක් අද්දකින්න යන්නේ නැති බව යෙසායා මෙසේ කියනවා. ‘සේනාවල යෙහෝවා මාගේ කනට මෙසේ එළිදරව් කළේය. නුඹලා නසින තුරුම සැබවින් මේ අපරාධය නුඹලාගෙන් පහ කරනු නොලබන්නේයයි සේනාවල යෙහෝවා වන [පරමාධිපති, NW] ස්වාමීන් කියන්නේය.’ (යෙසායා 22:14) සෙනඟගේ සිත් ගල් මෙන් දැඩිව තිබෙන නිසා කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. නොවරදවාම ඔවුන් පිටට මරණය පැමිණෙන්ට යනවා. එය නිසැකයි. පරමාධිපති ස්වාමී වූ සේනාවල යෙහෝවාමයි ඒ බව කියන්නේ. යෙසායාගේ අනාවැකිමය වදන්වල ඉටුවීමක් හැටියට ඇදහිල්ල නැති යෙරුසලම මත දෙවතාවක්ම විපත්ති පැමිණෙන්ට යනවා. බබිලෝනියේ හමුදා අතින්ද පසුව රෝමය අතින්ද එය විනාශ වෙන්ට නියමිතයි. ඒ ආකාරයටම අදත් තමන් දෙවිට නමස්කාර කරනවායයි කියාගන්නා නමුත් තමන්ගේ ක්‍රියාවලින් දෙවිව එපා කරන ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ලෝකය මතත් විපත්තිය පැමිණෙන්ට යනවා. (තීතස් 1:16) දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවලට නින්දා පමුණුවමින් ක්‍රිස්තියානි ලෝකය, ලෝකයේ අනිකුත් ආගම් සමඟ පව් කරන අතර, එම පව් “ස්වර්ගය දක්වා [නැඟ]” තිබෙනවා. ඇදහිල්ල අත්හළ යෙරුසලම මෙන් ඔවුන්ගේ පාපද සමාව දීමට නොහැකි තරම් බරපතළ වැඩියි.—එළිදරව් 18:5, 8, 21.

ආත්මාර්ථකාමී ගබඩාකාරයෙක්

16, 17. (අ) මීළඟට යෙහෝවාගෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ලබන්නේ කවුද? ඒ ඇයි? (ආ) ෂෙබ්නාගේ මහත් බලාපොරොත්තු රැස නිසා ඔහුට සිදු වන්නේ කුමක්ද?

16 ඇදහිල්ල නැති සෙනඟක් වෙත තම අවධානය යොමු කර සිටි අනාගතවක්තෘවරයා, ඇදහිල්ල නැති පුද්ගලයෙකු වෙත දැන් අවධානය යොමු කරනවා. යෙසායා මෙසේ ලියනවා. “සේනාවල [යෙහෝවා වන ස්වාමීන් කියන්නේ]: ගෘහාධිපතිවූ ෂෙබ්නා නම්වූ මේ ගබඩාකාරයා ළඟට නුඹ ගොස් මෙසේ කියන්න, එනම්: නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!”—යෙසායා 22:15, 16.

17 ෂෙබ්නා සමහරවිට හෙසකියාගේ මාළිගාවේ ‘ගෘහාධිපතිව සහ ගබඩාකාරයාව’ සිටිනවා විය හැකියි. ඔහුට තිබෙන තනතුරම විතරක් බලපෑම් කළ හැකි තත්වයේ එකක්. ඔහු දෙවෙනියා වන්නේ රජුට පමණයි. ඔහුගෙන් බොහෝ දේවල් අපේක්ෂා කරනවා. (1 කොරින්ති 4:2) ෂෙබ්නා තම මූලික අවධානය ජාතියේ කාරණාවලට දිය යුතුව තිබෙද්දී, ඔහු තමන්ගේම ගෞරවය ලුහුබඳිමින් සිටිනවා. ඔහුත් රජුගේ සොහොනට සමාන මිල අධික සොහොනක් පර්වතයක් උඩ ගොඩනංවමින් සිටිනවා. මේ දේ නිරීක්ෂණය කරමින් සිටින යෙහෝවා ඇදහිල්ල නැති මේ ගබඩාකාරයාට අනතුරු ඇඟවීමට යෙසායාට ආනුභාවය දෙනවා. “බලවත් මනුෂ්‍යය, [යෙහෝවා] නුඹ හෙළාදමා, වැස්මකින් නුඹ වසා, නුඹ අකුළා ගුළියක් කර, විශාල දේශයකට පන්දුවක්මෙන් සැබවින්ම නුඹ [වීසි කර දමන්නේය]; එහිදී නුඹ නසින්නෙහිය, නුඹේ ස්වාමියාගේ වංශයේ ලජ්ජාවට හේතුවූ තැනැත්ත, එහිදී නුඹේ තේජසේ රථ තිබෙන්නේය. මම නුඹේ නිලයෙන් නුඹ නෙරපාදමන්නෙමි, ඔහු නුඹේ ඉඩමෙන්ද නුඹ ඇද දමන්නේය.” (යෙසායා 22:17-19) ෂෙබ්නාට තිබූ ආත්මාර්ථකාමී ආකල්පය නිසා, අඩුම තරමින් යෙරුසලමේ තිබෙන සාමාන්‍ය සොහොනක්වත් ඔහුට සම්බ වන්නේ නැහැ. ඔහුව පන්දුවක් මෙන් දුර ඈත රටකට වීසි කරන අතර, ඔහු එහිදී මැරෙන්ට යනවා. දෙවිගේ සෙනඟ අතරේ විශ්වාසනීයව බලතල පවරා ඇති අයට මේ සිද්ධියෙන් අනතුරු ඇඟවීමක් ලබා දෙනවා. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම බලතල අහිමි වීමට හෝ සමහරවිට පන්නා දැමීමට හෝ හේතු වේවි.

18. ෂෙබ්නා වෙනුවට පත් වන්නේ කවුද? ඔහු ෂෙබ්නාගේ නිල ඇඳුම සහ දාවිත්ගේ ගෘහයේ යතුර හිමි කරගන්නවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

18 කෙසේවෙතත්, ෂෙබ්නාව එම තනතුරෙන් ඉවත් කරන්ට යන්නේ කෙසේද? යෙසායා තුළින් යෙහෝවා මෙසේ පැහැදිලි කරනවා. “තවද ඒ දවසෙහි හිල්කියාගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවූ එලියාකීම් අඬගස්වා, නුඹේ සළුව ඔහුට අඳවා, නුඹේ පටියෙන් ඔහු සවිකොට, නුඹේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය. දාවිත්ගේ වංශයේ යතුරද ඔහුගේ කර පිට තබන්නෙමි; කිසිවෙක් නොපියන ලෙස ඔහු අරින්නේය; කිසිවෙක් නාරින ලෙස ඔහු පියන්නේය.” (යෙසායා 22:20-22) ෂෙබ්නාව ඉවත් කර ඒ වෙනුවට එලියාකීම්ට ගබඩාකරුගේ නිල ඇඳුමත් දාවිත්ගේ ගෘහයේ යතුරත් දෙනු ලබනවා. “යතුර” යන වචනය බලතල, ආණ්ඩුව හෝ බලය සංකේතවත් කිරීමට බයිබලයේ පාවිච්චි කරනවා. (මතෙව් 16:19 සසඳන්න.) පුරාණ කාලවලදී, යතුරු භාර දී තිබුණේ රාජ උපදේශකටයි. සමහරවිට මාළිගාවේ කාමර අධීක්ෂණය කළේ ඔහුයි. රාජ සේවය සඳහා තෝරාගන්නා අපේක්ෂකයන් පිළිබඳ තීරණ ගත්තේද ඔහු විසිනුයි. (එළිදරව් 3:7, 8 සසඳන්න.) මේ අනුව බලන කල, ගබඩාකරුගේ තනතුර ඉතා වැදගත් එකක් වන අතර, ඒ තනතුරේ සේවය කරන අයගෙන් බොහෝ දේ අපේක්ෂා කරනවා. (ලූක් 12:48) ෂෙබ්නා කාර්යශූර පුද්ගලයෙක් වෙන්ට ඇති. එහෙත් ඔහු තුළ ඇදහිල්ල නැතිකම නිසා යෙහෝවා ඔහු වෙනුවට වෙන කෙනෙකුව පත් කළා.

සංකේතාත්මක ඇණ දෙකක්

19, 20. (අ) එලියාකීම් තමාගේම සෙනඟට ආශීර්වාදයක් වන්නේ කෙසේද? (ආ) ෂෙබ්නා කෙරෙහි විශ්වාසය තබන අයට සිදු වන්නේ කුමක්ද?

19 අවසානයේදී, බලතල ෂෙබ්නාගෙන් එලියාකීම් වෙත මාරු කිරීම ගැන යෙහෝවා සංකේතාත්මක භාෂාවකින් විස්තර කරනවා. ඔහු මෙසේ සඳහන් කරනවා. “මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය. ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත. ඒ දවසෙහි සවි තැනක පිහිටුවා තිබුණු ඇණය පහවන්නේය; එය කපා දමනු ලැබ වැටෙන්නේය, ඒ පිට තිබුණ බර සිඳදමනු ලබන්නේයයි සේනාවල [යෙහෝවා කියන්නේය]; මක්නිසාද [යෙහෝවා එසේ පැවසීය].”යෙසායා 22:23-25.

20 මේ පදවල සඳහන් මුල්ම ඇණයෙන් නියෝජනය කරන්නේ එලියාකීම්වයි. ඔහු තම පියා වන හිල්කියාගේ ගෘහයට “ඉසුරුමත් ආසනයක්” වෙන්ට යනවා. ෂෙබ්නා මෙන් නොව, එලියාකීම් තම පියාගේ ගෘහයටවත් ඔහුගේ කීර්ති නාමයටවත් අපකීර්තියක් ගෙනෙන්ට යන්නේ නැහැ. එලියාකීම් නිවසේ ඇති භාජනවලට එනම්, රාජ සේවයේ යෙදී සිටින වෙනත් නිවැසියන්ට දිගු කාලීන සහයකයෙක් වෙන්ට යනවා. (2 තිමෝති 2:20, 21) දෙවන ඇණයෙන් නියෝජනය කරන්නේ ෂෙබ්නාවයි. ඔහු සුරක්ෂිතව සිටින බව පෙනෙන්ට තිබුණත් ඔහුව ඉවත් කරන්ට යනවා. ඔහුගේ පාක්ෂිකයන් සියලුදෙනාම වැටෙන්ට යනවා.

21. වර්තමානයේදී ෂෙබ්නා මෙන් තනතුරෙන් ඉවත් කළේ කාවද? ඒ ඇයි? අලුතෙන් පත් කරනු ලැබුවේ කාවද?

21 දෙවිට නමස්කාර කරනවායයි කියා සිටින මෙන්ම සේවා වරප්‍රසාද පිළිගනු ලබන අය, ඒවා අනිත් අයට සේවය කිරීම සඳහාත්, යෙහෝවාට ප්‍රශංසාව ගෙන ඒම සඳහාත් පාවිච්චි කළ යුතු බව ෂෙබ්නාගේ අද්දැකීම අපිට මතක් කර දෙනවා. සමාජ තත්වයක් උපයාගැනීමට හෝ පෞද්ගලිකව දේවල් රැස් කරගැනීමට ඔවුන් තම තනතුරු අයුතු ලෙස පාවිච්චි නොකළ යුතුයි. උදාහරණයක් හැටියට, පත් කරන ලද ගබඩාකරුවා හෙවත් යේසුස් ක්‍රිස්තුස්ගේ භූමික නියෝජිතයා ලෙස ක්‍රිස්තියානි ලෝකය බොහෝ කාලයක සිට තමන්වම හඳුන්වා දෙමින් සිටිනවා. කෙසේවෙතත්, ෂෙබ්නා තමන්ට ගෞරවය සෙවීමෙන් තම පියා මත අපකීර්තිය ගෙනාවා සේ ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්ද තමන්ටම ධන සම්පත් සහ බලය රැස් කරගනිමින් මැවුම්කරුවා මත අපකීර්තිය ගෙනැවිත් තිබෙනවා. එමනිසා, නියමිත කාලය පැමිණි විට, එනම් 1918දී විනිශ්චය ‘දෙවිගේ ගෘහයෙන් පටන්ගත්’ විට යෙහෝවා ක්‍රිස්තියානි ලෝකය ඔවුන්ගේ ආරූඪ කරගත් තනතුරෙන් ඉවත් කළා. ඉන්පසු වෙනත් ගබඩාකරුවෙකුව පත් කළා. ඒ යේසුස්ගේ භූමික ගෙයි වැසියන් වෙනුවෙන් පත් කර ඇති ‘විශ්වාස වූ නුවණ ඇති ගබඩාකාරයායි.’ (1 පේතෘස් 4:17; ලූක් 12:42-44) දාවිත්ගේ ගෘහයේ රාජකීය “යතුර” දැරීමට තමන් සුදුසු බව මේ සංයුක්ත පංතිය ඔප්පු කර තිබෙනවා. විශ්වාසවන්ත “ඇණයක්” සේ ආත්මික පෝෂණය සඳහා තමන් දෙස බලන විවිධ “භාජන” හෙවත් විවිධ වගකීම් දරන ආලේප ලත් ක්‍රිස්තියානීන්ට සහය වීමෙහි විශ්වාසනීය උපකාරකයෙක් බව එම පංතිය ඔප්පු කර තිබෙනවා. පුරාණ යෙරුසලමේ ‘දොරටුව ළඟට වී සිටි විදේශීන්’ මෙන් ‘වෙනත් බැටළුවන්ද’ නවීන දින එලියාකීම් වන මේ “ඇණය” මත රඳා සිටිනවා.—යොහන් 10:16; ද්විතීය කථාව 5:14.

22. (අ) ෂෙබ්නාව ගබඩාකාර තනතුරෙන් ඉවත් කිරීම කාලෝචිත වූයේ ඇයි? (ආ) වර්තමානයේදී ‘විශ්වාස වූ නුවණ ඇති ගබඩාකරුවාව’ පත් කිරීම කාලෝචිත වූයේ ඇයි?

22 සෙනකෙරීබ් සහ ඔහුගේ හමුදා යෙරුසලමට තර්ජනය කරන කාලයේදී ෂෙබ්නා වෙනුවට එලියාකීම් පත් වුණා. ඒ හා සමානව, සාතන් සහ ඔහුගේ බලවේග විසින් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ සහ වෙනත් බැටළුවන් වෙත අවසාන වරට පහර දීමට රැස් වන මෙම අන්තිම කාලය තුළදී ‘විශ්වාස වූ නුවණ ඇති ගබඩාකාරයාව’ පත් කර තිබෙනවා. (ගලාති 6:16) හෙසකියාගේ දවසේදී මෙන් ආක්‍රමණය අවසන් වන්නේ ධර්මිෂ්ඨකමට වෛරකරන්නන්ගේ අවසානයත් සමඟයි. අෂූරියේ හමුදාව යූදා ආක්‍රමණය කරද්දී යෙරුසලමේ සිටි ඇදහිලිවන්ත වැසියන් බේරුණා සේ, ‘සවි තැනක පිහිටුවා තිබෙන ඇණය’ වන විශ්වාස වූ ගබඩාකරුවාට සහයෝගය දක්වන අය ගැළවෙන්ට යනවා. එසේනම්, ක්‍රිස්තියානි ලෝකයේ අපකීර්තිමත් ‘ඇණයේ’ නොදැවටී සිටීම මොනතරම් ඥානවන්තද!

23. අවසානයේදී ෂෙබ්නාට සිදු වූයේ කුමක්ද? එයින් අපිට උගත හැකි පාඩම කුමක්ද?

23 ෂෙබ්නාට සිදු වෙන්නේ කුමක්ද? ඔහු ගැන යෙසායා 22:18 වාර්තා කර ඇති අනාවැකිය ඉටු වූයේ, කොයි ආකාරයෙන්ද කියා අපි හරියටම දන්නේ නැහැ. ඔහු තේජසට පත් වී පසුව අවනම්බු විඳීම මගින් ක්‍රිස්තියානි ලෝකය නියෝජනය කරනවා. එහෙත් ඔහුට ලැබුණු හික්මවීමෙන් ඔහු යමක් ඉගෙනගන්ට ඇති. එසේ බලද්දී ඔහු ක්‍රිස්තියානි ලෝකයට වඩා ඉතා වෙනස්. අෂූරියේ රබ්-ෂාකේ යෙරුසලමට යටත් වෙන්ට කියා බල කරද්දී, ඔහුව හමුවීමට යන නියෝජිතයන්ගේ මූලිකයා වූයේ හෙසකියාගේ අලුත් ගබඩාකරුවා වන එලියාකීම්. කෙසේවෙතත්, රජුගේ ලේකම් හැටියට ෂෙබ්නාද එලියාකීම්ගේ පසෙකින් සිටිනවා. ඒ අනුව පැහැදිලි වන්නේ ෂෙබ්නා ඒ වන විටත් රාජ සේවයේ යෙදී සිටියා කියන එකයි. (යෙසායා 36:2, 22) දෙවිගේ සංවිධානයේ සේවා වරප්‍රසාද අහිමි වූ අයට මෙය කොතරම් හොඳ පාඩමක්ද! තික්තකමක් හෝ අමනාපයක් ඇති කරගන්නවා වෙනුවට යෙහෝවා දෙන ඕනෑම සේවා වරප්‍රසාදයක දිගටම සේවය කිරීමට තරම් ඔවුන් ඥානවන්ත විය යුතුයි. (හෙබ්‍රෙව් 12:6) එසේ කිරීමෙන් ක්‍රිස්තියානි ලෝකය මත ඇද වැටෙන විපත්තියෙන් ඔවුන් ගැළවෙන්ට යනවා. ඔවුන් සදාකාලයෙන් සදාකාලයට දෙවිගේ අනුමැතිය ලබන්ට යනවා.

[පාදසටහන්වල]

^ පොදු යුගයේ 66දී යෙරුසලම වටලාගෙන සිටි රෝම හමුදා හැරී ගිය විට යුදෙව්වන්ගෙන් බහුතරයක් ප්‍රීති වුණා.

^ මුල් සියවසේ සිටි ඉතිහාසඥ ජොසීෆස් කියන විදිහට පො.යු. 70දී යෙරුසලමේ පැතුරුණු සාගතය කොතරම් දරුණු වීද යත් සෙනඟ පදම් කළ සත්ව හම්, තණකොළ සහ පිදුරු පවා ආහාර පිණිස ගත්තා. මවක් තමාගේම පුත්‍රයාව පුලුස්සා කෑ අවස්ථාවක් ගැනද වාර්තා වෙනවා.

^ මීට අමතරව, ආයුධ ගබඩා කර ඇති සහ සොල්දාදුවන් කණ්ඩායම් වශයෙන් තබා ඇති බලකොටුවලටද, නුවර ආරක්ෂා කළ “යූදාගේ වැස්ම” ලෙස යොමු දැක්වූවා විය හැකියි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[231වන පිටුවේ පින්තූරය]

ශෙදෙකියා පලා යද්දී ඔහුව අල්ලගෙන අන්ධ කරයි

[232, 233වන පිටුවේ පින්තූරය]

යෙරුසලමේ හිර වී සිටි යුදෙව්වන්ගේ අපේක්ෂාවන් අඳුරුයි

[239වන පිටුවේ පින්තූරය]

හෙසකියා විසින් එලියාකීම්ව ‘සවි තැනක ඇණයක් මෙන් පිහිටුවයි’

[241වන පිටුවේ පින්තූරය]

ෂෙබ්නා මෙන් ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් බොහෝදෙනෙක් සීමාවක් නැතුව ධන සම්පත් එක්රැස් කිරීම මගින් මැවුම්කරුවාට අපකීර්තිය ගෙනැවිත් තිබේ

[242වන පිටුවේ පින්තූර]

වර්තමානයේදී යේසුස්ගේ ගෙයි වැසියන් කෙරෙහි විශ්වාස වූ ගබඩාකරුවෙකුව පත් කර ඇත