Skip to content

පටුනට යන්න

ඉතිරි වූ කොටසකට යෙහෝවා දෙවි දයාව පෙන්වයි

ඉතිරි වූ කොටසකට යෙහෝවා දෙවි දයාව පෙන්වයි

හයවන පරිච්ඡේදය

ඉතිරි වූ කොටසකට යෙහෝවා දෙවි දයාව පෙන්වයි

යෙසායා 4:2-6

1, 2. යූදා සහ යෙරුසලම සම්බන්ධයෙන් අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළේ කුමක්ද?

 චණ්ඩ මාරුතයක් ජනාකීර්ණ ප්‍රදේශයකට හමාගෙන එනවා. සැඩ සුළං, ධාරානිපාත වර්ෂා සහ දරුණු ජලගැලීම් ගෙවල් වනසමින්, අස්වනු පාළු කරමින්, ජීවිත බිලිගනිමින් දේශයෙන් වැඩි හරියක් විනාශ කර දමනවා. එහෙත්, ඉක්මනින්ම මාරුතය නිහඬ වී, අමුතුම සන්සුන්කමක් ඇති වෙනවා. බේරුණු අයට යළි ගොඩනැඟීමට සහ පිහිටුවීමට කාලය එළඹ තිබෙනවා.

2 යෙරුසලම සහ යූදා ගැන අනාගතවක්තෘ යෙසායා ඊට සමාන දෙයක් පුරෝකථනය කරනවා. දිව්‍ය විනිශ්චයේ මේඝ වලා දරුණු ලෙස ළඟා වෙමින් තිබෙනවා. තවද, ඒ හොඳ හේතු ඇතුවයි! ජාතියේ වරදසහගතභාවය ඉතාම බරපතළයි. පාලකයන් සහ සෙනඟ යන දෙපක්ෂයම දේශය අයුක්තියෙන් සහ ලෙයින් පුරවා තිබුණා. යෙසායා තුළින්, යෙහෝවා යූදාගේ වරදසහගතභාවය හෙළි කළ අතර, පිරිහී ඇති ජාතියට එරෙහිව ඔහු විනිශ්චය ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟෙව්වා. (යෙසායා 3:25) මේ මාරුතයේ ප්‍රතිඵලයක් හැටියට යූදා දේශය මුළුමනින්ම පාළු වී යනවා. මේ සිදු වෙන්ට යන දේ යෙසායාව දුකට පත් කළා විය යුතුයි.

3. යෙසායා 4:2-6හි තිබෙන දේවානුභාවය ලත් පණිවිඩයේ ඇති ශුභාරංචිය කුමක්ද?

3 එහෙත්, ශුභාරංචියකුත් තිබෙනවා! යෙහෝවාගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ මාරුතය පහව යන අතර, කොටසක් ඉතිරි වෙනවා. ඔව්, යූදා කෙරෙහි යෙහෝවාගේ විනිශ්චයට දයාව මුසු වෙන්ට යනවා! යෙසායා 4:2-6හි වාර්තා කර ඇති ඔහුගේ ආනුභාවය ලත් පණිවිඩය මේ ආශීර්වාද ලත් කාලය වෙත අවධානය යොමු කරනවා. හදිස්සියේම, වලාකුළු අතරින් හිරු රැස් විහිදෙනවා. දර්ශනය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. දැන් යෙසායා 2:6–4:1 දක්වා විස්තර කර ඇති විනිශ්චයක් අඟවන දර්ශන සහ ගර්ජනා තවත් නැහැ. ඒ වෙනුවට අලංකාරවත් යළි පණගැන්වූ දේශයක් සහ ජාතියක් දක්නට ලැබෙනවා.

4. යෙරුසලමේ ඉතිරි කොටසේ නැවත පිහිටුවීම පිළිබඳ යෙසායාගේ අනාවැකිය අප සාකච්ඡා කළ යුත්තේ මන්ද?

4 යෙරුසලමේ ඉතිරි කොටසේ නැවත පිහිටුවීම සහ ඒ සමඟ පැමිණෙන සුරක්ෂිතභාවය පිළිබඳ යෙසායාගේ අනාවැකියත් අපගේ කාලයේදී එනම්, “කාලවල අවසානයේදී” ඉටුවීමක් අද්දකිනවා. (යෙසායා 2:2-4, NW) ඊට අනාවැකිමය විශේෂත්වයක් තිබෙන නිසාම නොව නමුත් එහි යෙහෝවාගේ දයාව ගැනත්, පෞද්ගලිකව එය අප ලබාගන්නේ කෙසේද යන්න ගැනත් අපට උගන්වන නිසා මේ කාලෝචිත පණිවිඩය අපි සලකා බලමු.

“යෙහෝවාගේ පැළෑටිය”

5, 6. (අ) පැමිණෙන්නාවූ කැලඹිලි සහිත කාලයෙන් පසුව පැමිණෙන සාමදායී කාලය යෙසායා විස්තර කරන්නේ කෙසේද? (ආ) “පැළෑටිය” යන වචනයේ තේරුම කුමක්ද? යූදා දේශය ගැන මෙය අඟවන්නේ කුමක්ද?

5 පැමිණෙන මාරුතයෙන් ඔබ්බට ඇති සාමකාමී කාලය දකිද්දී, යෙසායාගේ හඬ ප්‍රසන්න ස්වභාවයක් ගන්නවා. ඔහු මෙසේ ලියනවා. “ඒ දවසේදී යෙහෝවා පැළ කරන දෙය [“යෙහෝවාගේ පැළෑටිය,” පාදසටහන] අලංකාරය සහ ගෞරවය පිණිස වන්නේය; එමෙන්ම දේශයේ ඵල, ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ආඩම්බර වීමට සහ අලංකාරය සඳහා යමක් වනු ඇත.”—යෙසායා 4:2, NW.

6 යෙසායා මෙහිදී නැවත පිහිටුවීමක් ගැන කතා කරනවා. “පැළෑටිය” යන හෙබ්‍රෙව් නාම පදයෙන් යොමු දක්වන්නේ, ‘රිකිල්ලක් හෝ අත්තක් වැනි රෝපණය වන දෙයකටයි.’ එය සමෘද්ධිය, වර්ධනය සහ යෙහෝවාගේ ආශීර්වාදය සමඟ බැඳී තිබෙනවා. සිදුවීමට යන පාළුවීම දිගටම පවතින්නේ නැහැ කියා යෙසායා පොරොන්දු වෙනවා. යෙහෝවාගේ ආශීර්වාදයෙන්, වරක් සමෘද්ධිමත්ව තිබූ යූදා දේශය නැවතත් බහුලව ඵල දරන්ට යනවා. *ලෙවී කථාව 26:3-5.

7. යෙහෝවාගේ පැළෑටිය “අලංකාරය සහ ගෞරවය පිණිස” වන්නේ කිනම් ආකාරයෙන්ද?

7 යෙසායා ඉතාමත් පැහැදිලි වචනවලින් ඉදිරියේ තිබෙන්ට යන තේජවත් පරිවර්තනය විස්තර කරනවා. යෙහෝවා පැළ කරන දෙය “අලංකාරය සහ ගෞරවය [පිණිසයි].” “අලංකාරය” යන වචනය සියවස් ගණනාවකට ප්‍රථම යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට දුන් පොරොන්දු දේශයේ අලංකාරය මතකයට නංවනවා. එය කොතරම් ශෝභනව තිබුණාද කිවහොත්, එය ‘සියලු දේශවලට වඩා උතුම්වූ [“මැණිකක් වූ,” නියූ අමෙරිකන් බයිබල්] දේශයක්’ ලෙස සැලකුවා. (එසකියෙල් 20:6) යූදා දේශය එහි තිබූ පළමු තේජසට සහ අලංකාරයට යළි පත් වෙන්ට යන බව යෙසායාගේ වචන එම සෙනඟට සහතිකයක් ලබා දෙනවා. ඇත්තෙන්ම, එය පොළොව මත බබළන මැණිකක් මෙන් වෙන්ට යනවා.

8. දේශයේ පිහිටෙවූ අලංකාරය භුක්ති විඳීමට යන්නේ කවුද? යෙසායා ඔවුන්ගේ හැඟීම් විස්තර කරන්නේ කෙසේද?

8 කෙසේවෙතත්, මේ දේශයේ යළි පිහිටෙවූ අලංකාරය භුක්ති විඳීමට යන්නේ කවුද? “ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්” කියා යෙසායා ලියනවා. ඔව්, සමහරෙක් පුරෝකථනය කර තිබූ නින්දාසහගත විනාශයෙන් ගැළවෙන්ට යනවා. (යෙසායා 3:25, 26) ගැළවෙන කොටසක් යූදාවට නැවත ගොස් යළි පිහිටුවීමෙහි හවුල් වෙනවා. නැවත යන මේ අයට, නැතහොත් “ගැළවුණු අයට” නැවත පිහිටෙවූ දේශයේ ඵලදාව “ආඩම්බර වෙන්ට සහ අලංකාරය සඳහා යමක්” වෙන්ට යනවා. (යෙසායා 4:2, NW පාදසටහන) පාළුවීම හේතුවෙන් ඇති වූ නින්දාව දැන් ප්‍රකෘතිමත් වූ අභිමානවත් හැඟීමකට පෙරළිලා!

9. (අ) යෙසායාගේ වචනයේ ඉටුවීමක් වශයෙන් පො.යු.පෙ. 537දී සිදු වූයේ කුමක්ද? (ආ) වහලුන්ව සිටිද්දී උපන් සමහරුන් “ගැළවුණු අයට” ඇතුළත්යයි කිව හැක්කේ මන්ද? (පාදසටහන බලන්න.)

9 යෙසායාගේ වචන සැබෑ කරමින්, පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කර ඉශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙකුව සිඳදැමීමත් සමඟ ඒ විනිශ්චමය මාරුතය පැමිණියා. සමහරුන් බේරුණු අතර ඔවුන්ව බබිලෝනියේ වහල්භාවයට ගෙන ගියා. එහෙත්, දෙවිගේ දයාව නොතිබෙන්ට, කිසිවෙක් ගැළවීම නොදකින්ට ඉඩ තිබුණා. (නෙහෙමියා 9:31) අවසානයේදී, යූදා දේශය සම්පූර්ණයෙන්ම පාළු වෙන්ට ඉඩහැරියා. (2 ලේකම් 36:17-21) ඉන්පසුව, පො.යු.පෙ. 537දී දයාවේ දෙවි “ගැළවුණු අයට” සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා යූදා දේශයට නැවත යෑමට ඉඩහැරියා. * (එස්රා 1:1-4; 2:1) ඇතැම්විට වහල්භාවයේදී නැත්නම් ඉන් ටික කලකට පසු ලියූ ගීතාවලිය 137වන පරිච්ඡේදයෙහි, නැවත පැමිණෙන වහලුන්ගේ හෘදයාංගම පසුතැවිල්ල ලස්සනට විස්තර කර තිබෙනවා. ඔවුන් යූදා දේශයේ භූමිය අස්වද්දා බීජ වැපිරුවා. යෙහෝවා දේශය, “ඒදන් උයන” මෙන් පැළ හටගන්වා ඵල දරන තත්වයකට පත් කර දුන්නා. තමන් දරන වෙහෙසට යෙහෝවා ආශීර්වාද කරන බව සෙනඟ දුටු විට ඔවුන්ට කෙසේ හැඟෙන්ට ඇද්දැයි සිතා බලන්න!—එසකියෙල් 36:34-36.

10, 11. (අ) විසිවන සියවසේ මුල් කාලයේදී, බයිබල් ශිෂ්‍යයන් ‘මහා බබිලෝනියේ’ වහල්භාවය යටතේ සිටියේ කිනම් ආකාරයටද? (ආ) ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසට යෙහෝවා ආශීර්වාද කළේ කෙසේද?

10 අපගේ දවසේදිත් ඒ හා සමානම යළි පිහිටුවීමක් සිදු වී තිබෙනවා. විසිවන සියවස මුලදී, කලින් බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනියේ’ ආත්මික වහල්භාවය යටතට පැමිණියා. (එළිදරව් 17:5) බයිබල් ශිෂ්‍යයන් බොරු ආගමික ඉගැන්වීම් බොහොමයක් ප්‍රතික්ෂේප කර තිබුණත්, ඒ වන විටත් ඇතැම් බබිලෝනීය අදහස් උදහස් සහ වත් පිළිවෙත් සම්පූර්ණයෙන්ම අත්හැර තිබුණේ නැහැ. පූජකයන් විසින් විරෝධතා දියත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සමහරුන්ව ඇත්තටම සිරගත කළා. ඔවුන්ගේ ආත්මික නැතහොත් ආගමික දේශය පාළුවට ගියා.

11 එහෙත්, 1919 වසන්තයේදී මේ ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසට යෙහෝවා දයාව පෙන්නුවා. (ගලාති 6:16) ඔහු ඔවුන්ගේ පසුතැවිල්ල දුටුවා. සැබෑකමෙන් ඔහුට නමස්කාර කරන්ට තිබූ ඔවුන්ගේ ආශාව නිසා දෙවි ඔවුන්ව සැබෑ සිරගෙවලින් නිදහස් කළා. ඊටත් වඩා වැදගත් දෙය වූයේ ඔහු ඔවුන්ව ආත්මික වහල්භාවයෙන් මුදවාගැනීමයි. ‘ගැළවුණු අයව’ දෙවිගෙන් ලද ආත්මික දේශය තුළ යළි පිහිටෙවූ අතර, ඔවුන්ට බහුල ලෙස වර්ධනය වෙන්ට සැලැස්වුවා. සැබෑ නමස්කාරයේ ඉතිරි කොටස හා එක්වීමට තව දශලක්ෂ ගණනක් දේවභයැති මිනිසුන්ව ආකර්ෂණය කරගැනීමට එමගින් හැකි වී තිබෙනවා.

12. යෙහෝවා තම සෙනඟ කෙරෙහි දක්වා ඇති දයාව යෙසායාගේ වචනවලින් පෙන්වා ඇත්තේ කෙසේද?

12 දෙවි තම සෙනඟට දක්වා ඇති ඉමහත් දයාව යෙසායාගේ වචනවලින් මනාව පෙන්වනවා. ඉශ්‍රායෙල්වරුන් ජාතියක් හැටියට යෙහෝවාට පිටුපෑවත්, පසුතැවිලි වූ ඉතිරි කොටස කෙරෙහි ඔහු දයාව පෙන්නුවා. බරපතළ පව් කර තිබෙන අයට පවා බලාපොරොත්තුවක් ඇතුව යෙහෝවා වෙත හැරෙන්ට හැකි බව දැනගැනීමට ලැබීමෙන් අපිට සැනසීමක් අත් කරගත හැකියි. ඔහු තැළුණු හෘද සුළු කරන්නේ නැති නිසා, පසුතැවිලි වුණාවූ අය තමන්ට යෙහෝවාගේ දයාව නොලැබේවි කියා නොසිතිය යුතුයි. (ගීතාවලිය 51:17) බයිබලය අපට මෙසේ සහතික කරනවා. ‘යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින්නේය, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය.’ (ගීතාවලිය 103:8, 13) එවැනි දයාවන්ත දෙවි කෙනෙකු අපේ හෘදයාංගම ප්‍රශංසාව ලබන්ට වටින බව නිසැකයි.

යෙහෝවා ඉතිරි කොටසව ශුද්ධ ලෙස සලකයි

13. යෙසායා 4:4හි වාර්තා කර ඇති ආකාරයට, යෙහෝවා විසින් දයාව දක්වා ඇති ඉතිරි කොටසව යෙසායා විස්තර කරන්නේ කෙසේද?

13 යෙසායා යෙහෝවාගේ දයාව ලබන ඉතිරි කොටසව අපට හඳුන්වා දෙනවා. එතැනින් නොනැවතී ඔහු ඔවුන් පිළිබඳ වැඩිමනත් තොරතුරුද සපයනවා. ඔහු මෙසේ ලියනවා. “සියොන්හි ගැළවී සිටින්නාද යෙරුසලමෙහි ඉතුරුවෙන්නාද, එනම් යෙරුසලමෙහි ජීවනය පිණිස ලියවී සිටින සියල්ලෝ, ශුද්ධයයි කියනු ලබන්නෝය.”—යෙසායා 4:4.

14. ‘ගැළවී සිටින්නන්’ සහ ‘ඉතුරු වෙන්නන්’ කවුද? යෙහෝවා ඔවුන්ට දයාව දක්වන්නේ මන්ද?

14 ‘ගැළවී සිටින්නන්’ සහ ‘ඉතුරු වෙන්නන්’ කවුද? ඒ යෙසායා 4:2හි සඳහන් කළ යූදා දේශයට නැවත යන්ට අවසර ලැබෙන යුදෙව් වහලුන්ගේ ‘ගැළවුණු අයයි.’ යෙහෝවා ඔවුන්ට දයාව පෙන්වන්නේ ඇයි? ඔවුන්ව ‘ඔහු ශුද්ධයයි සලකන්ට’ යන නිසාය කියා යෙසායා කියනවා. ශුද්ධකම කීමෙන් “අධ්‍යාත්මික පවිත්‍රකම හෝ නිර්මලත්වය, එනම් දෙවිටම කැප වූ” යන්න අදහස් කරනවා. තවදුරටත්, වචනයෙන් සහ ක්‍රියාවෙන් පිරිසිදු හෝ නිකැළැල් මෙන්ම, යෙහෝවා නිවැරදියි යෝග්‍යයි කියා කියන ප්‍රමිතීන්ට එකඟව ජීවත් වීම මීට අයත් වෙනවා. ඔව්, යෙහෝවා විසින් “ශුද්ධයයි” සලකන අයට ඔහු දයාව පෙන්වන අතර, “ශුද්ධ නුවර” වන යෙරුසලමට නැවත යන්ට ඔවුන්ට ඉඩහරිනවා.—නෙහෙමියා 11:1.

15. (අ) “යෙරුසලමෙහි ජීවනය පිණිස [ලිවීම]” අපට මතක් කරන්නේ කිනම් යුදෙව් සිරිතද? (ආ) යෙසායාගේ වචනවලින් අඟවන්නේ කිනම් බැරෑරුම් අනතුරු ඇඟවීමද?

15 මේ ඇදහිලිවන්ත ඉතිරි කොටස එහි නැවතී සිටීවිද? ඔවුන්ව “යෙරුසලමෙහි ජීවනය පිණිස [ලියැවෙන]” බව යෙසායා පොරොන්දු වෙනවා. එය ඉශ්‍රායෙල් පවුල් සහ ගෝත්‍ර ඉතා සුපරීක්ෂාවෙන් ලේඛනගත කිරීමේ යුදෙව් සිරිත අපට සිහිගන්වනවා. (නෙහෙමියා 7:5) නම ලේඛනගත වීමෙන් අදහස් කළේ, පුද්ගලයා ජීවතුන් අතර සිටිනවා යන්නයි. මන්ද ඔහු මිය ගිය විට ඔහුගේ නම ඉන් ඉවත් කරන නිසයි. යෙහෝවා ජීවනයේ ත්‍යාගය ලබා දෙන්ට යන අයගේ නම් සඳහන් සංකේතාත්මක නාම ලේඛනයක් හෝ පොතක් ගැන බයිබලයේ අනිකුත් තැන්වලද සඳහන් වෙනවා. එහෙත්, මේ පොතේ නම් ලියවෙන්නේ යෙහෝවාට ඒ නම් නැවත ‘මකා දමන්ට’ හැකියි යන කොන්දේසිය ඇතුවයි. (නික්මයාම 32:32, 33; ගීතාවලිය 69:28) එසේනම්, යෙසායාගේ වචන බැරෑරුම් අනතුරු ඇඟවීමක් සපයනවා. එනම්, නැවත පැමිණෙන අයට ඔවුන්ගේ යළි පිහිටෙවූ දේශයේ දිගටම සිටිය හැක්කේ, ඔවුන් දෙවිගේ ඇස් හමුවෙහි දිගටම ශුද්ධව සිටිනවා නම් පමණයි.

16. (අ) පොදු යුගයට පෙර 537දී, යූදා දේශයට යෑමට යෙහෝවා අවසර දුන් අයගෙන් යෙහෝවාට ඕනෑ කළේ කුමක්ද? (ආ) ආලේප ලත් ඉතිරි කොටස සහ ‘වෙනත් බැටළුවන්’ කෙරෙහි යෙහෝවා දක්වා ඇති දයාව අපතේ යෑමක් නොවන බව අප දන්නේ කෙසේද?

16 පොදු යුගයට පෙර 537දී, යෙරුසලමට නැවත ගිය ඉතිරි කොටස එහි ගියේ පිරිසිදු චේතනාවෙන්. ඒ සැබෑ නමස්කාරය යළි පිහිටුවීමටයි. යෙසායා ඉතා තදින් අනතුරු අඟවනු ලැබූ මිථ්‍යා ආගමික චාරිත්‍රවලින් හෝ අපවිත්‍ර හැසිරීමෙන් කිලිටි වූ කිසිම කෙනෙකුට නැවත යෑමට හැකියාවක් තිබුණේ නැහැ. (යෙසායා 1:15-17) යෙහෝවා ශුද්ධයයි සලකන අයට පමණයි නැවත යුදයට යන්ට ලැබුණේ. (යෙසායා 35:8) ඒ හා සමානව, පොළොව මත සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාවෙන් සිටින ‘වෙනත් බැටළුවන්’ දශලක්ෂ ගණනක් සමඟ හවුල් වී සිටින ආලේප ලත් ඉතිරි කොටස, 1919දී ආත්මික වහල්භාවයෙන් මිදීම ලැබූ දා සිට, දෙවිගේ ඇස් හමුවෙහි ශුද්ධව සිටීමට තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. (යොහන් 10:16) ඔවුන් බබිලෝනීය ඉගැන්වීම් සහ චාරිත්‍රවලින් ඉවත් වී තිබෙනවා. පෞද්ගලිකව, දෙවිගේ සදාචාරමය උසස් ප්‍රමිතීන්ට ඇලී සිටීමට ඔවුන් වෑයම් කරමින් සිටිනවා. (1 පේතෘස් 1:14-16) යෙහෝවා ඔවුන්ට පෙන්වූ දයාව අපතේ ගොස් නැහැ.

17. යෙහෝවා තම ‘ජීවන පොතෙහි’ ලියන්නේ කාගේ නම්ද? එමෙන්ම, අප අධිෂ්ඨාන කරගත යුත්තේ කුමක් කිරීමටද?

17 යෙහෝවා ඉශ්‍රායෙල්හි සිටි ශුද්ධ අයව සොයා ‘ජීවනය සඳහා ඔවුන්ගේ නම් ලියූ’ බව මතක් කරගන්න. අදත් ‘අපේ ශරීර ජීවමාන, ශුද්ධ, දෙවිට පිළිගත හැකි පූජාවක්’ ලෙස ඉදිරිපත් කිරීම සඳහා අපි අපේ මනස් සහ ශරීර පිරිසිදුව තබාගැනීමට වෑයම් කරද්දී, අප දරන වෙහෙස යෙහෝවාට පෙනෙනවා. (රෝම 12:1, NW) එවැනි ජීවිත මාර්ගයක් ගත කරන සියලුදෙනා පිළිබඳ වාර්තාවක් යෙහෝවා තබාගෙන සිටිනවා. ඒ ස්වර්ගයේ හෝ පොළොවේ සදාකාල ජීවනය ලැබීමට යන අයගේ නම් ඇතුළත් සංකේතාත්මක වාර්තාවක් වන දෙවිගේ ‘ජීවන පොතයි.’ (පිලිප්පි 4:3; මලාකී 3:16) ඒ නිසා, දෙවිගේ ඇස් හමුවෙහි ශුද්ධව සිටීම සඳහා අපි අපේ උපරිමය කරමු. ඉන්පසු, එම වටිනා ‘පොතේ’ අපි අපේ නම් දිගටම තබාගනිමු.—එළිදරව් 3:5.

ප්‍රේමනීය සැලකිල්ල ලබන බවට පොරොන්දුවක්

18, 19. යෙසායා 4:3, 5ට එකඟව, යෙහෝවා කරනු ලබන පිරිසිදු කිරීම කුමක්ද? එය සිදු කරන්නේ කෙසේද?

18 ඊළඟට, යළි පිහිටෙවූ දේශයේ වැසියන් ශුද්ධ අය වන්නේ කෙසේද කියාත්, ඔවුන් සඳහා ඇති ආශීර්වාද මොනවාද කියාත් යෙසායා පෙන්වනවා. ඔහු මෙසේ කියනවා. ‘ස්වාමීන් විනිශ්චයේ ආත්මයෙන් සහ දැවීමේ ආත්මයෙන් සියොන් දූවරුන්ගේ කිලුටුකම සෝදා, යෙරුසලම මැදින් රුධිර අපරාධය පහ කළ විට, යෙහෝවා සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක දීප්තියද මවා තබන්නේය. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.’—යෙසායා 4:3, 5.

19 පිටාතර සැරසිලිවලින් තම සදාචාරමය දූෂිතභාවය සඟවාගෙන සිටි ‘සියොන් දූවරුන්ට’ යෙසායා මීට පෙර තරවටු කළා. සෝදාගෙන පවිත්‍ර වෙන්ට කියා ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමින් පොදුවේ ජනයා අතර වූ ලේ වරදද ඔහු හෙළි කළා. (යෙසායා 1:15, 16; 3:16-23) කෙසේවෙතත්, දෙවි “කිලුටුකම සෝදා” දමන හෝ සදාචාර අපවිත්‍රකම සෝදා දමන සහ ‘ලේ අපරාධය පහ කරන’ කාලය දෙස යෙසායා බලා සිටිනවා. (යෙසායා 4:3) මේ පවිත්‍ර කිරීම සිදු කරන්ට යන්නේ කෙසේද? “විනිශ්චයේ ආත්මයෙන්” සහ “දැවීමේ ආත්මයෙන්.” යෙරුසලමට පැමිණෙන්නාවූ විනාශය සහ බබිලෝනියේ වහල්භාවය, මෙම අපවිත්‍ර ජාතිය මත දෙවිගේ විනිශ්චයෙත් ඔහුගේ ඇවිළෙන උදහසෙත් ප්‍රතිඵලයි. මේ විපත්තිවලින් ගැළවී දේශයට නැවත ගිය ඉතිරි අය මෙම අද්දැකීම හේතුවෙන් යටහත් පහත් වූ අතර, ශෝධනයටද ලක් වුණා. යෙහෝවාට ඔවුන් ශුද්ධ වන්නෙත්, ඔවුන් ඔහුගේ දයාව ලබන්නෙත් ඒ නිසයි.—මලාකී 3:2, 3 සසඳන්න.

20. (අ) “වලාකුළක්,” “දුමාරයක්” සහ ‘ඇවිළෙන ගින්නක්’ යන ප්‍රකාශයන් මතක් කළේ කුමක්ද? (ආ) පවිත්‍ර කරන ලද වහලුන් බිය නොවිය යුත්තේ මන්ද?

20 පවිත්‍ර කරන ලද මේ ඉතිරි අයව තම ප්‍රේමනීය භාරයට ගන්නා බව යෙහෝවා යෙසායා තුළින් පොරොන්දු වෙනවා. “වලාකුළක්,” “දුමාරයක්” සහ ‘ඇවිළෙන ගින්නක්’ යන ප්‍රකාශයන්, ඉශ්‍රායෙල්වරුන් මිසරය හැර ආවායින් පසු යෙහෝවා ඔවුන්ව රැකගත් ආකාරය පිළිබඳ සිහිගැන්වීමක් වුණා. මේ ‘ගිනිටැඹ සහ වලාටැඹ,’ ලුහුබඳින මිසර හමුදාවෙන් ඔවුන්ව ආරක්ෂා කළා පමණක් නොව කාන්තාරය හරහා ගමන් කරද්දී ඔවුන්ට මඟ පෙන්වුවා. (නික්මයාම 13:21, 22; 14:19, 20, 24) යෙහෝවා සීනයි කන්දේ පෙනී සිටි විට, කන්ද ‘මුළුමනින්ම ධූමයෙන් වැසී’ ගියා. (නික්මයාම 19:18) එසේනම්, පවිත්‍ර කරන ලද වහලුන්ට භයවීමට හේතුවක් නැහැ. මන්ද ඔවුන්ගේ ආරක්ෂකයා යෙහෝවායි. ඔවුන් තම නිවෙස්වල එක්රැස් වුණත් ශුද්ධ සමුළුවල රැස් වුණත් ඔහු ඔවුන් සමඟ සිටින්ට යනවා.

21, 22. (අ) කූඩාරමක් හෝ පැලක් බොහෝවිට සෑදුවේ කිනම් අරමුණක් සඳහාද? (ආ) පවිත්‍ර කරන ලද ඉතිරි කොටස ඉදිරියේ තැබූ අපේක්ෂාව කුමක්ද?

21 දෛනික ජීවිතය වෙත අවධානය යොමු කරමින් දිව්‍ය ආරක්ෂාව පිළිබඳ තම විස්තරය යෙසායා අවසන් කරනවා. ඔහු මෙසේ ලියනවා. “දවාලේදී ග්‍රීෂ්මයෙන් මුවාවීමට සෙවණක් පිණිසත් රක්ෂාස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක් පිණිසත් කූඩාරමක් වන්නේය.” (යෙසායා 4:6) වියළි කාලයේදී ගිනි ගහන කාස්ටක අව්වෙන් සහ වැසි කාලයේදී ශීතලෙන් බේරීමටත්, කුණාටුවෙන් ආරක්ෂාව ලබන්ටත් මිදිවත්තක හෝ කෙතක බොහෝවිට කූඩාරමක් හෝ පැලක් සෑදුවා.—යෝනා 4:5 සසඳන්න.

22 එසේ ගිනිමය පීඩා සහ කුණාටුමය විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී, ආරක්ෂාවේ, සුරක්ෂිතභාවයේ සහ සරණයේ උල්පත වෙන්ට යන්නේ යෙහෝවා බව පවිත්‍ර කරන ලද ඉතිරි කොටස දැනගන්ට යනවා. (ගීතාවලිය 91:1, 2; 121:5) ඔවුන් ඉදිරියෙහි උදාර අපේක්ෂාවක් තබා තිබෙනවා. ඔවුන් බබිලෝනියේ අපවිත්‍ර විශ්වාසයන් සහ සිරිත් විරිත් පසෙක දමා, යෙහෝවාගේ විනිශ්චයේ පවිත්‍ර කිරීමට යටත් වී, ශුද්ධව සිටීමට උත්සාහ කරනවා නම්, හරියට දිව්‍ය ආරක්ෂාවේ “කූඩාරමක්” තුළ සිටිනවා වගේ, ඔවුන් සුරක්ෂිතව සිටින්ට යනවා.

23. යෙහෝවා ආලේප ලත් ඉතිරි කොටසට සහ ඔවුන්ගේ සහායකයන්ට ආශීර්වාද කර ඇත්තේ මන්ද?

23 මුලින්ම පවිත්‍ර කිරීමත්, පසුව ආශීර්වාදත් පැමිණෙන බව සැලකිල්ලට ගන්න. අපේ කාලයේදී මෙය සැබෑ බව ඔප්පු වී තිබෙනවා. ආලේප ලත් ඉතිරි අය 1919දී ශෝධනය වීමට යටත් වූ අතර, යෙහෝවා ඔවුන්ගේ අපවිත්‍රකම් ‘සෝදාහැරියා.’ එතැන් පටන්, වෙනත් බැටළුවන්ගේ “මහත් සමූහයක්” ඔවුන්ව පවිත්‍ර කිරීමට යෙහෝවාට ඉඩහැර තිබෙනවා. (එළිදරව් 7:9) මෙසේ පවිත්‍ර වීමෙන් පසු, ඉතිරි කොටසත් ඔවුන්ගේ සහායකයනුත් ආශීර්වාද ලබා ඇති අතර, යෙහෝවා ඔවුන්ව ඔහුගේ රැකවරණය යටතට ගෙනැවිත් තිබෙනවා. එහෙත් ඔවුන් මත පැමිණෙන ගිනිමය පීඩා සහ කුණාටුමය විරුද්ධවාදිකම් ආශ්චර්යවත් ලෙස වළක්වන්ට ඔහු යන්නේ නැහැ. එසේ කරනවා වෙනුවට, ඔවුන්ට ඉහළින් ‘මුවාවීමට සෙවණක් සහ කුණාටුවෙන් හා වර්ෂාවෙන් බේරීමට ආවරණයක් හැටියට කූඩාරමක්’ ඉදි කරන්නාක් මෙන් දෙවි ඔවුන්ව ආරක්ෂා කරන්ට යනවා. ඒ කෙසේද?

24. යෙහෝවා තම සෙනඟට සංවිධානයක් හැටියට ආශීර්වාද කර ඇති බව පැහැදිලි වන්නේ කෙසේද?

24 මෙය සලකා බලන්න. ඉතිහාසයේ තිබූ සමහර ඉතා බලවත් ආණ්ඩු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා වැඩය තහනම් කර හෝ මුලිනුපුටා දැමීමට වෑයම් කර තිබෙනවා. එහෙත්, සාක්ෂිකරුවන් ස්ථිරව සිටිමින්, අත් නෑර දේශනා කිරීමේ යෙදෙමින් සිටිනවා! සාපේක්ෂ වශයෙන් කුඩා මෙන්ම අනාරක්ෂිත මෙන් පෙනෙන මෙම ජන කොටසේ ක්‍රියාකාරිත්වය නැවැත්වීමට මේ බලවත් ජාතීන්ට නොහැකි වී තිබෙන්නේ මන්ද? ඒ යෙහෝවා තම පවිත්‍ර සෙනඟව කිසි මනුෂ්‍යයෙකුට කඩා දැමිය නොහැකි ආරක්ෂාවේ “කූඩාරමක්” තුළ තබා තිබෙන නිසයි.

25. යෙහෝවා ආරක්ෂකයා ලෙස සිටීමෙන් පෞද්ගලිකව අපට අදහස් කරන්නේ කුමක්ද?

25 පෞද්ගලිකව අප ගැන කුමක් කිව හැකිද? යෙහෝවා අපේ ආරක්ෂකයා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඇත්තෙන්ම, පවතින වර්තමාන ක්‍රමය තුළ ගැටලුවලින් තොර ජීවිතයක් අප අද්දකින්ට යනවා කියා ඉන් අදහස් කරන්නේ නැහැ. මන්ද, ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් දිළිඳුකම, ස්වාභාවික ආපදා, යුද්ධ, ලෙඩ රෝග සහ මරණය වැනි දරුණු විපත්වලට මුහුණ දෙනවා. එහෙත්, එවැනි ආපදාවන්ට මුහුණ දෙන විට, දෙවි අප සමඟ නැහැ කියා කිසිම විටෙක හිතන්න එපා! ඔහු අප සමඟ සිටිමින් අපට අවශ්‍ය ආත්මික ආරක්ෂාව සපයනවා. පරීක්ෂාවන් විශ්වාසවන්තව විඳදරාගැනීමට “සාමාන්‍ය ඉක්මවූ බලය” පවා දෙනවා. (2 කොරින්ති 4:7, NW) අපි ඔහු සමඟ සිටින විට, භයවීමට කිසිම හේතුවක් නැහැ. ඇරත්, ඔහුගේ ඇස් හමුවෙහි ශුද්ධව සිටීමට අපි අපේ උපරිම වෑයම දරනවා නම්, ‘දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්ට’ කිසිම දෙයකට හැකි වෙන්නේ නැහැ.—රෝම 8:38, 39.

[පාදසටහන්වල]

^ “යෙහෝවාගේ පැළෑටිය” යන වාක්‍ය ඛණ්ඩය යෙරුසලමේ නැවත පිහිටුවීම සිදු වන තුරු මෙසියස් පැමිණෙන්නේ නැති බවට ඉඟියක් සපයනවා කියා සමහර විශාරදයන් යෝජනා කරනවා. ඇරමයික ටාගම්හි මේ කියමනෙහි අදහස විස්තර කර ඇත්තේ “යෙහෝවාගේ මෙසියස් [ක්‍රිස්තුස්]” කියායි. දාවිත්ගේ පෙළපතින් පැමිණි මෙසියස් නමැති “ධර්මිෂ්ඨවූ පැළෑටියක්” ගැන කතා කරද්දී, පසු කාලයේදී යෙරෙමියා එම හෙබ්‍රෙව් නාම පදයම (ට්සෙʹමේඛ්) පාවිච්චි කිරීම සිත්ගන්නා කරුණක්.—යෙරෙමියා 23:5; 33:15.

^ වහලුන්ව සිටිද්දී උපන් සමහරුන්ද “ගැළවුණු අයට” ඇතුළත්. මොවුන් “ගැළවුණු” අයයයි කිව හැක්කේ ඔවුන්ගේ මුතුන් මිත්තන් විනාශයෙන් නොගැළවුණා නම් ඔවුන් කිසිදාක නොඉපදෙන්ට ඉඩ තිබූ නිසයි.—එස්රා 9:13-15; සසඳන්න හෙබ්‍රෙව් 7:9, 10.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[63වන පිටුවේ පින්තූරය]

දිව්‍ය විනිශ්චයේ චණ්ඩ මාරුතයක් යූදා වෙත ළඟා වෙමින් තිබේ