Skip to content

පටුනට යන්න

කැරලිකරුවන්ට දුක් වේ!

කැරලිකරුවන්ට දුක් වේ!

එකළොස්වන පරිච්ඡේදය

කැරලිකරුවන්ට දුක් වේ!

යෙසායා 9:8–10:4

1. යෙරොබොවම් සිදු කළ දරුණු වරද කුමක්ද?

 යෙහෝවාගේ ගිවිසුම යටතේ සිටි මිනිසුන් රාජ්‍යයන් දෙකකට බෙදී සිටියා. උතුරු ගෝත්‍ර දසය යෙරොබොවම්ගේ පාලනයට නතු වුණා. මේ අලුත් රජ හැකියාවන්ගෙන් පිරි, ක්‍රියාශීලී පාලකයෙක්. එනමුත් යෙහෝවා කෙරෙහි නියම ඇදහිල්ලක් ඔහුට තිබුණේ නැහැ. මේ හේතුව නිසා ඔහු උතුරු රාජ්‍යයේ මුළු ඉතිහාසයටම නපුරු විදිහට බලපාන දරුණු වරදක් කළා. යූදාහි දකුණු රාජ්‍යයේ පිහිටි යෙරුසලමේ දේවමාළිගාවට අවුරුද්දකට තුන් වතාවක් යන ලෙස මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අණ කර තිබුණා. (ද්විතීය කථාව 16:16) තම යටත්වැසියන් නිතර නිතර එහි යෑම, ඔවුන්ගේ දකුණු දිශාවේ සහෝදරයන් සමඟ යළි සමඟි වීමට හේතුවක් වේයයි යෙරොබොවම් තුළ බියක් ඇති වුණා. ඒ නිසා ඔහු “රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය. ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.”—1 රාජාවලිය 12:28, 29.

2, 3. යෙරොබොවම් කළ වරද ඉශ්‍රායෙල් මත ගෙනාවේ කිනම් ප්‍රතිඵලද?

2 යෙරොබොවම්ගේ සැලැස්ම සාර්ථක වුණේ කෙටි කලකට පමණයි. මිනිසුන් යෙරුසලමට යෑම ක්‍රමානුකූලව නවතා දමා රන් වස්සන් දෙදෙනා ඉදිරියේ නමස්කාර කිරීමට පටන්ගත්තා. (1 රාජාවලිය 12:30) කෙසේවෙතත්, මේ ඇදහිල්ල අත්හළ ආගමික ක්‍රියා පිළිවෙත් ගෝත්‍ර දසයේ රාජ්‍යය දූෂ්‍යයට ලක් කළා. පසු අවුරුදුවලදී, යේහු ඉශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය ඉවත් කර දැමීම සඳහා ප්‍රශංසනීය ජ්වලිතයක් විදහාපෙන්නුවත්, රන් වස්සන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කිරීම ඔහුද අත්හැරියේ නැහැ. (2 රාජාවලිය 10:28, 29) යෙරොබොවම්ගේ ඛේදනීය තීරණයේ වෙනත් ප්‍රතිඵල වුණේ, දේශපාලනික අස්ථාවරත්වයක් සහ දුක් විඳින ජනතාවක් බිහිවීමයි.

3 යෙරොබොවම් ඇදහිල්ල අත්හළ කෙනෙක් වූ නිසා, ඔහුගේ වංශය දේශය පාලනය කරන්නේ නැති බව යෙහෝවා කියා සිටියා. එමෙන්ම අවසානයේදී උතුරු රාජ්‍යය දරුණු විනාශයක් අද්දකින්ට යන බවත් හෙළි කළා. (1 රාජාවලිය 14:14, 15) ඇත්තෙන්ම, යෙහෝවාගේ වචන සත්‍යය බව ඔප්පු වුණා. ඉශ්‍රායෙල්හි රජවරුන් හත්දෙනෙකුටම අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් පාලනය කරන්ට ලැබුණේ නැහැ. සමහරුන් පාලනය කළේ දවස් කිහිපයකට විතරයි. එක් රජෙක් සියදිවි නසාගත් අතර අනිත් හයදෙනා සිංහාසනයට කෑදරකමෙන් සිටි මිනිසුන් අතින් ඝාතනයට ලක් වුණා. විශේෂයෙන්ම පො.යු.පෙ. 804දී පමණ අවසන් වූ IIවන යෙරොබොවම්ගේ පාලනයෙන් පසු, උස්සියා යූදාහි රජු ලෙස ඒ වන විටත් පාලනය කරමින් සිටියදී ඉශ්‍රායෙල් දේශය නොසන්සුන්භාවයෙන්, සැහැසියාවෙන් සහ මිනිස් ඝාතන හේතුවෙන් පීඩා වින්දා. යෙහෝවා තම ඍජු අනතුරු ඇඟවීම හෝ “වචනය” උතුරු රාජ්‍යයට විරුද්ධව ගෙනාවේ මෙවැනි පසුබිමකයි. ‘යෙහෝවා යාකොබ්ට වචනයක් එවුවේය. ඒක ඉශ්‍රායෙල් වෙතට බැස්සේය.’—යෙසායා 9:8. *

දේවඋදහසට අත වැනූ උඩඟුකම සහ ගරුසරු නැතිකම

4. යෙහෝවා ඉශ්‍රායෙල්ට විරුද්ධව ගෙනෙන “වචනය” කුමක්ද? ඒ කුමක් නිසාද?

4 අනිවාර්යයෙන්ම යෙහෝවාගේ “වචනය” ඉටු වෙනවාමයි. “සිතේ එඩිතරකමෙන්ද අහංකාරයෙන්ද කියන්නාවූ එප්‍රායිම් සහ සමාරියේ වැසියෝද වන මුළු සෙනග ඒක දැනගන්නෝය.” (යෙසායා 9:10) “යාකොබ්,” “ඉශ්‍රායෙල්,” “එප්‍රායිම්” සහ ‘සමාරිය’ යන මේ සියල්ලම යොමු දක්වන්නේ ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයටයි. එහි බලවත්ම ගෝත්‍රයව සිටින්නේ එප්‍රායිම් ගෝත්‍රයයි. එහි අගනුවර සමාරියයි. ඔවුන් කිසිම තැකීමකින් තොරව ඇදහිල්ල අත්හැර ගිය නිසත්, යෙහෝවා කෙරෙහි කිසිදු ගරුසරුවකින් තොරව හැසුරුණු නිසත්, එම රාජ්‍යයට විරුද්ධව පැවසූ යෙහෝවාගේ වචනය ඉතා ප්‍රබල විනිශ්චයමය ප්‍රකාශයක් වුණා. ඔවුන්ගේ දුෂ්ට මාර්ගවල ප්‍රතිවිපාකවලින් යෙහෝවා ඒ මිනිසුන්ව ආරක්ෂා කරන්ට යන්නේ නැහැ. එමගින්, දෙවිගේ වචනයට ඇහුම්කන් දීමේ නැතහොත් ඊට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට ඒත්තුගන්වනවා.—ගලාති 6:7.

5. යෙහෝවාගේ විනිශ්චමය ක්‍රියා තමන්ට බලපාන්නේ නැති බව ඉශ්‍රායෙල්වරුන් පෙන්වන්නේ කෙසේද?

5 තත්වයන් එන්ට එන්ටම නරක අතට හැරෙද්දී, සෙනඟට බොහෝ දේවල් අහිමි වෙන්ට පටන්ගන්නවා. මැටි ගලෙන් සහ ලාභ ලීයෙන් තැනූ ඔවුන්ගේ නිවෙස් පවා ඔවුන්ට අහිමි වෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ හෘද මොළොක් වෙනවාද? ඔවුන් යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ට කන් දී සැබෑ දෙවි වෙතට හැරේවිද? * මිනිසුන්ගේ කිසිදු ගරුසරුවක් නොමැති ප්‍රතිචාරය ගැන යෙසායා මෙසේ වාර්තා කරනවා. “ගඩොල් වැටීගිය නුමුත් අපි කැපූ ගල්වලින් ගොඩනගන්නෙමුව; අත්තික්කා ගස් කපාදැමූ නුමුත් අපි ඒ වෙනුවට කිහිරි ගස් වවන්නෙමු.” (යෙසායා 9:9) ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාව නොසලකා හැරියා. ඔවුන් මෙවැනි දුෂ්කරතා විඳින්නේ ඇයි කියා ඔවුන්ට පැවසූ දෙවිගේ අනාගතවක්තෘවරුන්වත් ප්‍රතික්ෂේප කළා. ඔවුන් මෙසේ කියනවා. ‘කැඩෙන මැට්ටෙන් හදපු ගඩොලුයි ලාභ ලීයෙන් හදපු ගෙවලුයි අපිට නැති වෙලා ගියාට කමක් නැහැ. අපි කවදහරි අපිට අලාභ වුණු දේවලට වඩා වැඩියෙන් දේවල් ලබාගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි කපපු ගලුයි කිහිරි වගේ වඩා වටිනා අමුද්‍රව්‍යයි පාවිච්චි කරල ආයෙත් ගෙවල් හදාගන්නවා.’ (යෝබ් 4:19 සසඳන්න.) යෙහෝවා විසින් තමන්ව තවදුරටත් තරවටුවට ලක් කරනවා ඇරෙන්ට වෙන දෙයක් ඔවුන් ඔහුට ඉතිරි කළේ නැහැ.—යෙසායා 48:22 සසඳන්න.

6. යූදාට විරුද්ධව කළ සිරීය-ඉශ්‍රායෙල් කුමන්ත්‍රණය යෙහෝවා නිෂ්ප්‍රභ කරන්නේ කෙසේද?

6 යෙසායා දිගටම මෙසේ කියනවා. ‘යෙහෝවා රෙශීන්ගේ එදිරිකාරයන් ඔවුන්ට විරුද්ධව උසස් කරන්නේය.’ (යෙසායා 9:11අ) ඉශ්‍රායෙල්හි පෙකා රජත්, සිරියාවේ රෙශීන් රජත් මිත්‍ර පාක්ෂිකයන්. යූදාහි ගෝත්‍ර දෙකේ රාජ්‍යය පරාජය කර යෙරුසලමේ යෙහෝවාගේ සිංහාසනයේ රූකඩ රජෙක්, එනම් ‘ටාබෙයෙල්ගේ පුත්‍රයෙකුව’ තබන්ට ඔවුන් කුමන්ත්‍රණය කරමින් සිටිනවා. (යෙසායා 7:6) එහෙත් එම කුමන්ත්‍රණය අසාර්ථක වෙනවා. රෙශීන්ට බලවත් සතුරන් සිටිනවා. යෙහෝවා එම සතුරන්ව “ඔවුන්ට” එනම් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ‘උසස් කරන්ට’ යනවා. මෙහි ‘උසස් කරනවා’ කීමෙන් අදහස් කරන්නේ මිත්‍ර සන්ධානය සහ එහි අරමුණු සුනු විසුනු කිරීම සඳහා ඵලදායක යුද්ධයකට ඉඩහරිනවා යන්නයි.

7, 8. අෂූරිය විසින් සිරියාව පරාජය කිරීම ඉශ්‍රායෙල්ට බලපාන්නේ කෙසේද?

7 අෂූරිය විසින් සිරියාව ආක්‍රමණය කරද්දී, මේ මිත්‍ර සන්ධානයේ කැඩී යෑම ඇරඹුණා. “අෂූර්හි රජ . . . දමස්කයට [සිරියාවේ අගනුවරට] විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන්කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.” (2 රාජාවලිය 16:9) තමන්ගේ බලවත් මිත්‍ර පාක්ෂිකයා නැති වූ විට, යූදා සම්බන්ධයෙන් පෙකාගේ සැලසුම ගැස්සී ගිය බව ඔහු දැනගත්තා. ඇත්තෙන්ම රෙශීන්ගේ මරණයෙන් ටික කාලයකට පසු හෝෂෙයා විසින් පෙකාව ඝාතනය කර ඔහු වෙනුවට සමාරියේ සිහසුන හිමි කරගත්තා.—2 රාජාවලිය 15:23-25, 30.

8 ඉශ්‍රායෙල්හි කලින් මිත්‍ර පාක්ෂික සිරියාව දැන් එම දිසාභාගයේම මහා බලවතා වූ අෂූරියට කප්පම් ගෙවන රාජ්‍යයක් බවට පත් වෙලා! යෙහෝවා මේ අලුත් දේශපාලනික සැලැස්ම පාවිච්චි කරන්ට යන්නේ කෙසේද කියා යෙසායා අනාවැකි පළ කරනවා. ‘[යෙහෝවා] ඔවුන්ගේම [ඉශ්‍රායෙල්වරුන්ගේම] සතුරන්ද පොලඹවන්නේය; සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නමුත් ඔහුගේ උදහස පහ නොවී, ඔහුගේ හස්තය තවම දිඟු කර තිබේ.’ (යෙසායා 9:11ආ, 12) ඔව්, සිරියාව දැන් ඉශ්‍රායෙල්ගේ සතුරෙක්. ඉශ්‍රායෙලය දැන් අෂූරියෙන් සහ සිරියාවෙන් පැමිණෙන ආක්‍රමණවලට සූදානම් විය යුතුයි. ආක්‍රමණය සාර්ථකයි. අෂූරිය බලහත්කාරයෙන් රජ වූ හෝෂෙයාව තමාගේ සේවකයා කරගෙන අතිවිශාල කප්පමක් ඔහුට නියම කරනවා. (දශක කිහිපයකට පෙර ඉශ්‍රායෙල්හි මෙනහෙම් රජගෙන් අෂූරියට විශාල මුදල් සම්භාරයක් ලැබුණා.) “විදේශියෝ ඔහුගේ [එප්‍රායිම්ගේ] සවිය නාස්තිකළෝය” යන අනාගතවක්තෘ හොෂෙයාගේ වචන මොනතරම් සැබෑද!—හොෂෙයා 7:9; 2 රාජාවලිය 15:19, 20; 17:1-3.

9. පිලිස්තිවරුන් “පස්සෙන්” පැමිණ ආක්‍රමණය කරනවායයි කිව හැක්කේ කෙසේද?

9 පිලිස්තිවරුන් “පස්සෙන්” පැමිණ ආක්‍රමණය කරන බව යෙසායාත් පුරෝකථනය කළේ නැද්ද? පුරෝකථනය කළා. චුම්බක මාලිමා යන්ත්‍ර හඳුන්වා දීමට පළමුවෙන් හෙබ්‍රෙව්වන් දිශාව සඳහන් කළේ හිරු නඟින දිශාවලට මුහුණ ලා සිටීම පදනම් කරගෙනයි. මේ අනුව, ඉදිරි දෙස වූයේ ‘නැඟෙනහිරයි.’ බස්නාහිර නැත්නම් ‘පිටිපස්සෙන්’ තිබුණේ පිලිස්තිවරුන්ගේ වෙරළබඩ ප්‍රදේශයයි. පිලිස්තිවරුන් යූදා ආක්‍රමණය කළ නිසා, යෙසායා 9:12 සඳහන් “ඉශ්‍රායෙල්” යන වචනය මේ අවස්ථාවේදී යූදා දේශය සම්බන්ධයෙන් යොදාගත්තා විය හැකියි. මෙසේ, ඔවුන් යූදා දේශය ආක්‍රමණය කර එය අල්ලා එහි නගර සහ බලකොටු ගණනාවක් යටත් කරගන්නේ පෙකාගේ සමකාලීනයා වූ ආහාස්ගේ පාලන කාලයේදීයි. යූදාද ඇදහිල්ල අත්හැර යෑම නිසා උතුරේ එප්‍රායිම් මෙන් යෙහෝවාගේ තරවටුව ලැබීමට වටින අය වුණා.—2 ලේකම් 28:1-4, 18, 19.

‘හිසේ සිට වල්ගය’ දක්වා කැරලිකාර ජාතියක්

10, 11. ඉශ්‍රායෙල්වරුන් නොනවත්වාම කැරලිගසන නිසා ඔවුන්ට විරුද්ධව යෙහෝවා ගෙනෙන දඬුවම කුමක්ද?

10 උතුරු රාජ්‍යය මත පැමිණි සියලුම දුක් වේදනා හමුවේ සහ යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ගේ ප්‍රබල ප්‍රකාශයන් මධ්‍යයේ ඔවුන් දිගටම යෙහෝවාට විරුද්ධව කැරලිගැසුවා. ‘සෙනඟ තමුන්ට පහර දුන් තැනැත්තා වෙතට නොහැරී, සේනාවල යෙහෝවා නොසෙවුවෝය.’ (යෙසායා 9:13) ප්‍රතිඵලයක් හැටියට අනාගතවක්තෘවරයා මෙසේ කියනවා. “[යෙහෝවා] හිස සහ වල්ගයද තල්අත්ත සහ පන්ගසද එක දවසේදීම ඉශ්‍රායෙල්ගෙන් [කපා දමන්නේය]. හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය. මක්නිසාද මේ සෙනගට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.”—යෙසායා 9:14-16.

11 ‘හිසෙන්’ සහ ‘තල් අත්තෙන්’ නියෝජනය කරන්නේ ‘මහලු සහ උසස් ගෞරවයක් හිමි තැනැත්තාවයි.’ ‘වල්ගයෙන්’ සහ ‘පන් ගසෙන්’ යොමු දක්වන්නේ තම පාලකයන්ව සතුටු කරන චාටු බස් දොඩන බොරු අනාගතවක්තෘවරුනුයි. බයිබල් විශාරදයෙක් මෙසේ ලියනවා. “බොරු අනාගතවක්තෘවරුන්ව වල්ග ලෙස හඳුන්වා තිබෙන්නේ, සදාචාරමය වශයෙන් පහත් අඩියටම වැටී සිටින මිනිසුන්ගේ මෙන්ම දුෂ්ට පාලකයන්ගේ වංක අනුගාමිකයන් සහ පන්දම්කාරයන් වූ නිසයි.” මහාචාර්ය එඩ්වඩ් ජේ. යං මේ බොරු අනාගතවක්තෘවරුන් ගැන මෙසේ කියනවා. “ඔවුන් ජනයාට මඟ පෙන්වීම දීමේ පෙරමුණ ගන්නවා වෙනුවට නිකම් චාටු කතා කියමින් පාලකයන්ට පන්දම් අල්ලමින් බල්ලන් වගේ වලිගෙ වනමින් හිටියා.”—2 තිමෝති 4:3 සසඳන්න.

‘වැන්දඹුව සහ පියා නැත්තා’ පවා කැරලිගසයි

12. ඉශ්‍රායෙල් සමාජය තුළ දූෂණය කොපමණ ගැඹුරට මුල් බැස තිබෙනවාද?

12 වැන්දඹුව සහ පියා නැත්තා වෙනුවෙන් සටන්කරන්නා යෙහෝවායි. (නික්මයාම 22:22, 23) එහෙත් යෙසායා දැන් කියන දෙයට ඇහුම්කන් දෙන්න. “[යෙහෝවා] ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති [නොවන්නේය], ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා [නොකරන්නේය]. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් [ඔහුගේ] උදහස පහ නොවී, [ඔහුගේ] හස්තය තවම දිඟුකර තිබේ.” (යෙසායා 9:17) ඇදහිල්ල හැර යෑම, වැන්දඹුව සහ පියා නැත්තා ඇතුළු සමාජයේ සෑම මට්ටමකම සිටින අයව දූෂ්‍ය කර තිබෙනවා! සෙනඟ තම මාර්ග වෙනස් කරගනියි කියා බලාපොරොත්තුවෙන් යෙහෝවා ඉවසිලිවන්තව තම අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙත යවනවා. උදාහරණයක් හැටියට, හොෂෙයා මෙසේ ආයාචනා කළා. “ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ [යෙහෝවා] වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.” (හොෂෙයා 14:1) වැන්දඹුවන්ව සහ පියා නැත්තන්ව පවා මරණයට පත් කිරීමට සිදුවීම ගැන ඔවුන් වෙනුවෙන් සටන්කරන්නාට මොනතරම් වේදනාවක් දැනෙන්ට ඇද්ද!

13. යෙසායාගේ දවසේ තිබූ තත්වයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

13 යෙසායා මෙන් අපත් ජීවත් වන්නේ දුෂ්ටයන්ට විරුද්ධව පැමිණෙන්ට යන යෙහෝවාගේ විනිශ්චයේ දවසට කලින් පවතින දුෂ්කර කාලයකයි. (2 තිමෝති 3:1-5) එසේ නම්, සැබෑ ක්‍රිස්තියානීන් ජීවිතයේ කිනම් තත්වයකට මුහුණ දෙමින් සිටියත් දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා ආත්මිකව, සදාචාරමයව සහ මානසිකව පවිත්‍රව සිටීම කොතරම් වැදගත්ද! අප එක් එක්කෙනා යෙහෝවා සමඟ තිබෙන සම්බන්ධය ජ්වලිතයෙන් රැකගනිමු. ‘මහා බබිලෝනියෙන්’ ඉවතට පැමිණි සෑම කෙනෙක්ම නැවත කිසිදාක ‘ඇගේ පාපවලට හවුල් නොවීමට’ වගබලා ගත යුතුයි.—එළිදරව් 18:2, 4.

බොරු නමස්කාරය සැහැසියාව උපදවයි

14, 15. (අ) භූත නමස්කාරයේ ප්‍රතිඵල මොනවාද? (ආ) යෙසායා අනාවැකි පළ කරන්නේ ඉශ්‍රායෙල් අද්දකින්ට යන කිනම් දුක් පීඩා ගැනද?

14 බොරු නමස්කාරය කියන්නේ භූත නමස්කාරයටයි. (1 කොරින්ති 10:20) ජලගැල්මට කලින් වූවාක් මෙන් භූත බලපෑම සැහැසියාවට මඟ පාදනවා. (උත්පත්ති 6:11, 12) එසේ නම්, ඉශ්‍රායෙල් ඇදහිල්ල අත්හැර ගොස් භූත නමස්කාරයේ යෙදීමට පටන්ගත් විට සැහැසියාවෙන් සහ දුෂ්ටකමෙන් දේශය පිරී යෑම ගැන පුදුම විය යුතු නැහැ.—ද්විතීය කථාව 32:17; ගීතාවලිය 106:35-38.

15 ඉශ්‍රායෙල්හි පැතිර තිබූ දුෂ්ටකම සහ සැහැසියාව පැහැදිලි චිත්‍රයක් සේ යෙසායා මෙසේ විස්තර කරනවා. “දුෂ්ටකම ගින්න මෙන් දවයි; ඒක කටුගස්ද ගොකටුද නාස්ති කරයි; එසේය, එය කැලෑවේ අකුල්වල ඇවිළී, ඝනවූ දුම්-වලාකුල් ඉහළට නගිති. සේනාවල [යෙහෝවාගේ] උදහසින් දේශය දාලා ගියාය. සෙනගද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි. කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය. මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් [ඔහුගේ] උදහස පහ නොවී [ඔහුගේ] හස්තය තවම දිඟුකර තිබේ.”—යෙසායා 9:18-21.

16. යෙසායා 9:18-21හි වචන ඉටු වන්නේ කෙසේද?

16 සැහැසියාව පාලනය කරගැනීමට නොහැකි තැන, පඳුරෙන් පඳුරට පැතිරෙන්නාවූ ගින්නක් මෙන් එය වේගයෙන් ‘කැලෑව පුරා ඇවිළෙන්ට’ යනවා. එය විශාල ලැව්ගින්නක් බවට පත් වෙනවා. බයිබල් විචාරකයන් වන කයිල් සහ ඩෙලිට්ෂ් මේ සැහැසියාවේ තරම විස්තර කරන්නේ මෙසේයි. “එය ආණ්ඩුවක බලපෑමට යටත් නොවී කළ සිවිල් යුද්ධ අතරින් සිදු වූ අතිඅමානුෂිකම විනාශයක්. කිසිදු ස්නේහයේ හැඟීමක් නැතුව ඔවුන් එකිනෙකාව විනාශ කර දැමුවත් ඔවුන් තෘප්තියට පැමිණුණේ නැහැ.” පෙනෙන විදිහට, එප්‍රායිම් සහ මනස්සේ යන ගෝත්‍ර වෙන් කර දක්වා තිබෙන්නේ, ඔවුන් උතුරු රාජ්‍යයේ බලවත්ම නියෝජිතයන් වූ නිසයි. මොවුන් යෝසෙප්ගේ පුත්‍රයන් දෙදෙනාගෙන් පැවතෙන්නන් හැටියට ගෝත්‍ර දසයේ අනෙකුත් ගෝත්‍රවලට වඩා එකිනෙකාට ඉතාම සමීප විය යුතුව තිබුණා. එහෙත්, ඔවුන් තම තමන්ගේ සහෝදරයන්ව ඝාතනය කිරීමේ සැහැසික ක්‍රියාව නවත්වන්නේ දකුණෙන් පිහිටි යූදා දේශයට විරුද්ධව යුද්ධ කරද්දී පමණයි.—2 ලේකම් 28:1-8.

දූෂිත විනිශ්චයකරුවන්ව විනිශ්චය කරයි

17, 18. ඉශ්‍රායෙල්හි නීතික සහ පරිපාලන ක්ෂේත්‍රවල පවතින්නේ කෙබඳු දූෂිත තත්වයක්ද?

17 යෙහෝවා තම විනිශ්චයමය දෑස මීළඟට ඉශ්‍රායෙල්ගේ දූෂිත විනිශ්චයකරුවන් සහ වෙනත් නිලධාරීන් වෙත යොමු කරනවා. යුක්තිය සොයා මොවුන් වෙතට එන පහත් සහ පීඩිත ජනයාව කොල්ලකමින් ඔවුන් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. යෙසායා මෙසේ කියනවා. “දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනගගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්, අධර්මිෂ්ඨ නියෝග නියම කරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!”—යෙසායා 10:1, 2.

18 යෙහෝවාගේ ව්‍යවස්ථාව සියලුම ආකාරයේ අයුක්තිසහගත දේවල් තහනම් කරනවා. “විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න” කියා එහි පවසනවා. (ලෙවී කථාව 19:15) ඇත්තෙන්ම ඉතා දරුණු ආකාරයේ සොරකමක් සිදු වී ඇති බව සක් සුදක් සේ පෙනෙන්ට තිබුණත්, මේ නිලධාරීන් ඔවුන්ගේම “අධර්මිෂ්ඨ නියෝග” ලියා දෙවිගේ ව්‍යවස්ථාව නොසලකා හැරියේ වැන්දඹුවට සහ පියා නැත්තාට ඇති දේපොළ ටික පවා කොල්ල කන අටියෙනුයි. ඇත්තවශයෙන්ම ඉශ්‍රායෙල්හි බොරු දෙවිවරුන් අයුක්තිය ඉදිරියේ අන්ධයි. එහෙත් යෙහෝවා එහෙම නෙවෙයි. යෙසායා තුළින් යෙහෝවා දැන් මේ දුෂ්ට විනිශ්චයකරුවන්ට කතා කරනවා.

19, 20. දූෂිත ඉශ්‍රායෙල් විනිශ්චයකරුවන්ගේ තත්වය වෙනස් අතට හැරෙන්ට යන්නේ කෙසේද? එමෙන්ම, ඔවුන්ගේ ‘තේජසට’ සිදු වන්ට යන්නේ කුමක්ද?

19 “පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද? ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත.” (යෙසායා 10:3, 4අ) වැන්දඹුවන් සහ පියා නැත්තන් විසින් කරන ඉල්ලීම් අසන්ට අවංක විනිශ්චයකරුවන් එහි සිටියේ නැහැ. එසේනම්, දැන් තම අවධානයට ලක්ව සිටින ඉශ්‍රායෙල්හි දූෂිත විනිශ්චයකරුවන් තමන්ට ගණන් දිය යුතුයි කියා යෙහෝවා කීම කොතරම් කාලෝචිතද! ඔව්, “ජීවමානවූ [දෙවිගේ] අත්වලට අසුවීම භයානක දෙයක්” බව වටහාගැනීමට ඔවුන්ට වැඩි කාලයක් ඉතුරු වී නැහැ.—හෙබ්‍රෙව් 10:31.

20 මේ දුෂ්ට විනිශ්චයකරුවන්ගේ “තේජස” එනම්, වස්තුව සහ තත්වය නිසා ඇති කරගෙන තිබෙන ලෞකික මහන්තත්වය, ගෞරවය සහ බලය කෙටි කාලීන වෙන්ට යනවා. සමහරුන් යුධ සිරකරුවන් බවට පත් වෙන්ට යනවා. ඔවුන් අනිත් සිරකරුවන් අතරේ ‘පහත් වී’ නැතහොත් නැමී ගමන් කරන්ට යනවා. ඔවුන්ගේ තවත් අය මරණයට පත් වෙන්ට යනවා. ඔවුන්ගේ මළකඳන් යුද්ධයෙන් වැටුණු අයගෙන් වැසෙන්ට යනවා. ඔවුන්ගේ ‘තේජසට’ නීති විරෝධී අන්දමින් රැස් කළ මුදල්ද ඇතුළත් වෙනවා. ඒවා සතුරන් විසින් කොල්ලකන්ට යනවා.

21. ඉශ්‍රායෙල්වරුන් දැනටමත් විවිධ දඬුවම් විඳ තිබුණත්, ඔවුන්ට විරුද්ධව යෙහෝවාගේ උදහස නැවතී තිබෙනවාද?

21 යෙසායා මේ අවසාන ගී පදය භයානක අනතුරු ඇඟවීමකින් නිම කරනවා. ‘මේ සියල්ල වූ නමුත් [ජාතිය මේ දක්වා විඳි සියලුම දුක් ගාවිනා] ඔහුගේ උදහස පහ නොවී ඔහුගේ හස්තය තවම දිඟු කර තිබේ.(යෙසායා 10:4ආ) ඔව්, ඉශ්‍රායෙල්වරුන්ට කීමට තව බොහෝ දේ යෙහෝවාට තිබෙනවා. මේ කැරලිකාර උතුරු රාජ්‍යයට අවසාන සහ විනාශකාරි පහර ගසන තුරු යෙහෝවා තමන් දිගහැරිය හස්තය නවාගන්නේ නැහැ.

බොරුව සහ අනුන්ගේ වාසිය සඳහා ඉත්තෙක් නොවන්න

22. ඉශ්‍රායෙල්වරුන්ට සිදු වූ දෙයින් අපට ඉගෙනගැනීමට තිබෙන පාඩම කුමක්ද?

22 යෙසායා තුළින් ප්‍රකාශ කළ යෙහෝවාගේ වචනය ඉශ්‍රායෙල් මත දරුණු ප්‍රහාරයක් එල්ල කර මිස, ‘ප්‍රතිඵල නැතුව නැවත ඔහු වෙත පැමිණියේ නැහැ.’ (යෙසායා 55:10, 11) ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයේ ඛේදනීය අවසානය ගැන දැන් තිබෙන්නේ ඉතිහාස වාර්තාවක් පමණයි. එහි වැසියන්ට විඳීමට සිදු වූ දෙය ගැන සිතාගැනීම පමණයි අපිට කළ හැක්කේ. ඒ ආකාරයටම දෙවිගේ වචනය දැන් පවතින ක්‍රමය මත, විශේෂයෙන්ම ඇදහිල්ල හැර ගිය ක්‍රිස්තියානි ලෝකය මත ඉටු වෙන්ට යනවා. එසේනම්, දේවවිරෝධී බොරු ප්‍රචාරයන්ට ක්‍රිස්තියානීන්ගේ කන නොනමා සිටීම කොතරම් වැදගත්ද! දෙවිගේ වචනයට ස්තුතිවන්ත වන්ට, සාතන්ගේ කූට උපක්‍රම බොහෝ කලකට පෙර සිට හෙළි වී තිබෙනවා. පුරාණයේ ඉශ්‍රායෙල්වරුන් මෙන් ඒවාට හසුවීමෙන් අපි වැළකී සිටිය යුතුයි. (2 කොරින්ති 2:11) යෙහෝවාට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීම කවරදාකවත් නවතා නොදමන්ට අපි වගබලා ගත යුතුයි. (යොහන් 4:24) එවිට, කැරලිකාර එප්‍රායිම්ට පහර දුන්නාක් මෙන් ඔහු තම නමස්කාරකයන්ට තමන් දිගහැරිය හස්තයෙන් පහර දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ හස්තය ඔවුන්ව උණුසුම් ලෙස වැලඳගනීවි. එමෙන්ම, පාරාදීස පොළොවක සදාකාල ජීවනය සඳහා යන මාර්ගයේ ගමන් කිරීමට ඔවුන්ට අත දේවි.—යාකොබ් 4:8.

[පාදසටහන්වල]

^ යෙසායා 9:8–10:4 සෑදී තිබෙන්නේ ගී පද හතරකින්. මේ සෑම එකක්ම අවසන් වන්නේ එකම ආකාරයේ අශුභ ගී කාණ්ඩයකින්. එනම් “මේ සියල්ල වූ නුමුත් [ඔහුගේ] උදහස පහ නොවී [ඔහුගේ] හස්තය තවම දිඟුකර තිබේ” යනුවෙනි. (යෙසායා 9:12, 17, 21; 10:4) මේ සාහිත්‍යමය උපක්‍රමය යෙසායා 9:8–10:4 එකට බැඳ තබන “වචන කාණ්ඩයක්” බවට පත් කරනවා. (යෙසායා 9:8) මෙයත් මතක තබාගන්න! යෙහෝවාගේ “හස්තය තවම දිඟුකර” තිබෙන්නේ සමාව දීමට නොව විනිශ්චය කිරීමටයි.—යෙසායා 9:13.

^ ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයට යැවූ යෙහෝවාගේ අනාගතවක්තෲන්ට යේහු (යේහු රජ නෙවෙයි), එලියා, මීකායා, එලිෂා, යෝනා, ඕදෙද්, හොෂෙයා, ආමොස් සහ මීකා යන අය අයත් වුණා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[139වන පිටුවේ පින්තූරය]

දුෂ්ටකම සහ සැහැසියාව ඉශ්‍රායෙල් හරහා පැතුරුණේ ලැව්ගින්නක් හා සමානවයි

[141වන පිටුවේ පින්තූරය]

අනිත් අයව ගොදුරට ගන්න අයට සිදු වෙනවා යෙහෝවාට ගණන් දෙන්ට