Skip to content

පටුනට යන්න

ජාතීන්ට විරුද්ධව යෙහෝවා දුන් උපදෙස්

ජාතීන්ට විරුද්ධව යෙහෝවා දුන් උපදෙස්

පහළොස්වන පරිච්ඡේදය

ජාතීන්ට විරුද්ධව යෙහෝවා දුන් උපදෙස්

යෙසායා 14:24–19:25

1. අෂූරියට විරුද්ධව කුමන විනිශ්චය ප්‍රකාශයද යෙසායා වාර්තා කරන්නේ?

 තම සෙනඟගේ දුෂ්ටකම්වලට තරවටු කිරීම සඳහා වෙනත් ජාතීන්ව පාවිච්චි කරන්ට යෙහෝවාට පුළුවන්. එසේ වුණත්, සැබෑ නමස්කාරයට විරුද්ධව දරුණු කෲරකම්, උඩඟුකම් සහ සතුරුවාදිකම් කිරීමට යෙහෝවා ඒ ජාතීන්ට නිදහස දී නැහැ. මෙසේ කිරීම නිසා, යෙහෝවා බොහෝ කාලයකට ප්‍රථම ‘බබිලෝනියට විරුද්ධව දිව්‍ය ප්‍රකාශයක්’ කරන්ට යෙසායාට ආනුභාවය දෙනවා. (යෙසායා 13:1, NW) කෙසේවෙතත්, බබිලෝනිය අනාගතයේදී තර්ජනයක් වෙන්ට යනවා. එහෙත්, යෙසායාගේ කාලයේදී යෙහෝවාගේ ගිවිසුම යටතේ සිටි සෙනඟට පීඩා කරමින් සිටියේ අෂූරියයි. අෂූරිය ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය විනාශ කර, යූදාහි බොහෝ ප්‍රදේශ නාස්ති කර තිබුණා. එනමුත් අෂූරියේ ජයග්‍රහණ සීමා සහිත වුණා. යෙසායා මෙසේ ලියනවා. “සේනාවල [යෙහෝවා] දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය. . . . මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේය.” (යෙසායා 14:24, 25) යෙසායා මේ අනාවැකිය ප්‍රකාශ කර වැඩිකල් යන්ට මත්තෙන් අෂූරීය තර්ජනය යූදා කෙරෙන් ඉවත් වුණා.

2, 3. (අ) පුරාණ කාලයේදී යෙහෝවා තම හස්තය දිඟු කළේ කාට විරුද්ධවද? (ආ) යෙහෝවා තම හස්තය ‘සෑම ජාතීන්ටම’ විරුද්ධව දිඟු කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

2 එසේනම්, දෙවිගේ ගිවිසුම යටතේ සිටින සෙනඟට එරෙහි වන අනිකුත් ජාතීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්වද විනිශ්චය කළ යුතුයි. යෙසායා මෙසේ ප්‍රකාශ කරනවා. “මුළු පොළොව කෙරෙහි අදහස්කර තිබෙන අදහස [මුළු පොළොව උදෙසා දී තිබෙන උපදෙස, NW] මේය. සෑම ජාතීන් කෙරෙහි දිඟුකර තිබෙන හස්තයත් මේය. මක්නිසාද සේනාවල [යෙහෝවා අදහස් කළේය], එය අවලංගුකරන්නේ කවුද? [ඔහු] අත දිඟුකර තිබේ, එය ආපසු හරවන්නේ කවුද?” (යෙසායා 14:26, 27) යෙහෝවාගේ ‘උපදෙස්’ නිකම්ම මඟ පෙන්වීමකට වඩා වැඩි යමක් අදහස් කරනවා. එය ඔහුගේ ස්ථිර අධිෂ්ඨානයයි. ඔහුගේ ආඥාවයි. (යෙරෙමියා 49:20, 30) දෙවිගේ “හස්තය” නම් ඔහු යොදාගන්නා බලයයි. යෙසායා දහහතරවන පරිච්ඡේදයේ 29 සිට 32 අවසාන පද කිහිපය තුළ සහ යෙසායා 15 සිට 19 දක්වා පරිච්ඡේදවල පිලිස්තියට, මෝවබ් දේශයට, දමස්කයට, ඉතියෝපියාවට සහ මිසරයට විරුද්ධව යෙහෝවාගේ ප්‍රකාශයන් විස්තර කරනවා.

3 කෙසේවෙතත්, යෙහෝවාගේ හස්තය ‘සෑම ජාතීන්ටම’ විරුද්ධව දිඟු කර තිබෙන බව යෙසායා පවසනවා. යෙසායාගේ මේ අනාවැකි මුලින්ම ඉටු වුණේ පුරාණ කාලවලදීය. එහෙත්, පොළොවේ තිබෙන සියලුම රාජ්‍යයන්වලට විරුද්ධව යෙහෝවා තම හස්තය දිඟු කරන මේ ‘අන්තිම කාලයටත්’ එම ප්‍රතිපත්තියම අදාළ වෙන්ට යනවා. (දානියෙල් 2:44, 45; 12:9; රෝම 15:4; එළිදරව් 19:11, 19-21) බොහෝ කාලයකට පෙර සර්වබලධාරි දෙවි වන යෙහෝවා ඔහුගේ අරමුණ ඒකාන්ත ලෙස හෙළි කර තිබෙනවා. ඔහු දිගහැරිය හස්තය නවන්ට කිසිම කෙනෙකුට බැහැ.—ගීතාවලිය 33:11; යෙසායා 46:10.

පිලිස්තියට එරෙහිව “ඉගිලෙන ගිනි සර්පයෙක්”

4. පිලිස්තියට විරුද්ධව කළ යෙහෝවාගේ දිව්‍ය ප්‍රකාශයේ සමහර තොරතුරු මොනවාද?

4 යෙහෝවාගේ අවධානය මුලින්ම යොමු වන්නේ පිලිස්තිවරුන් වෙතටයි. “ආහාස් රජු මැරුණු අවුරුද්දේ මේ දිව්‍ය ප්‍රකාශනය විය. අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.”—යෙසායා 14:28, 29.

5, 6. (අ) උස්සියා පිලිස්තිවරුන්ට සර්පයෙක් මෙන් වූයේ කෙසේද? (ආ) පිලිස්තියට එරෙහිව හෙසකියා කවරෙකු බව ඔප්පු වුණාද?

5 පිලිස්තියෙන් පැමිණි තර්ජන ගර්ජන මැඩපවත්වන්ට උස්සියා රජුගේ ශක්තිය ප්‍රමාණවත් වුණා. (2 ලේකම් 26:6-8) ඔහු ඔවුන්ට සර්පයෙක් මෙන් වූ අතර, ඔහුගේ යෂ්ටියෙන් ඒ සතුරු අසල්වැසි ජාතිය පහර කෑවා. උස්සියා මිය ගිය විට, ‘ඔහුගේ යෂ්ටිය කැඩී ගියා.’ ඇදහිලිවන්ත යෝතාම් පාලනය කළත්, “සෙනඟ දුෂ්ටකම්” කළා. ඊළඟට ආහාස් රජ බවට පත් වුණා. තත්වය වඩාත් නරක අතට හැරුණා. මේ කාලයේදී පිලිස්තිවරුන් සාර්ථක ලෙස යූදා ආක්‍රමණය කළා. (2 ලේකම් 27:2; 28:17, 18) කෙසේවෙතත් දැන් තත්වය නැවතත් වෙනස් අතට හැරෙමින් තිබෙනවා. පොදු යුගයට පෙර 746දී ආහාස් රජ මිය යන අතර තරුණ හෙසකියා සිංහාසනාරූඪ වෙනවා. පිලිස්තිවරුන් සිතනවා නම් තවමත් හැම දෙයක්ම සිදු වෙන්ට යන්නේ තමන්ට ඕනෑ විදිහට කියලා, ඔවුන්ට වෙලා තියෙන්නේ ලොකු වැරදීමක්. හෙසකියා ඔවුන්ගේ මාරාන්තික සතුරෙක් බව ඔප්පු වෙනවා. උස්සියාගෙන් පැවතෙන්නෙක් (එනම්, ඔහුගේ “මුලෙන්” පැමිණි “ඵලය”) වන හෙසකියා “ඉගිලෙන ගිනි සර්පයෙක්” හා සමානයි. අධිවේගයෙන් එනම් විදුලි සැරෙන් පහර දෙන ඔහු සර්පයෙක් උගේ ගොදුරකට විෂ දෂ්ට කරද්දී ඇති වන ආකාරයේ දැඩි පිලිස්සුම් වේදනාවක් ඇති කරනවා.

6 අලුත් රජු සම්බන්ධයෙන් මෙය උචිත විස්තරයක්. “[හෙසකියා] ගාසා සහ එහි සීමාවල් දක්වා . . . පිලිස්තිවරුන්ට පහර දුන්නේය.” (2 රාජාවලිය 18:8) අෂූරියේ රජු වූ සෙනකෙරීබ්ගේ ඓතිහාසික වාර්තාවලට අනුව පිලිස්තිවරුන් හෙසකියාගේ යටත් වැසියන් බවට පත් වුණා. පිලිස්තිය සාගතයකින් පෙළෙද්දී, “පහත් අය [NW] එනම් දුර්වල යූදා රාජ්‍යය සුරක්ෂිතභාවය සහ ද්‍රව්‍යමය සමෘද්ධිය භුක්ති විඳින්ට යනවා.—යෙසායා 14:30, 31 කියවන්න.

7. යෙරුසලමේ සිටින තානාපතීන්ට හෙසකියා විසින් පැවසිය යුතු ඇදහිල්ලේ ප්‍රකාශය කුමක්ද?

7 යූදා දේශයට තානාපතීන් පැමිණ සිටින බව පෙනෙන්ට තිබෙනවා. ඒ සමහරවිට අෂූරියට විරුද්ධව මිත්‍ර සන්ධානයක් ඇති කරගැනීමටයි. ඔවුන්ට කුමක් පැවසිය යුතුද? “ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද?” හෙසකියා විදේශ හමුදාවන්ගේ ආරක්ෂාව පැතිය යුතුද? නැහැ! ඔහු තානාපතීන්ට මෙසේ කිව යුතුයි. “[යෙහෝවා] සියොන් පිහිටුවා තිබේ, [ඔහුගේ] සෙනග අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය.” (යෙසායා 14:32) රජ යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය යුතුයි. සියොන්හි අත්තිවාරම ස්ථිරයි. අෂූරියේ තර්ජන අබියස නගරය සුරක්ෂිත ස්ථානයක් සේ දිගටම රැකෙන්ට යනවා.—ගීතාවලිය 46:1-7.

8. (අ) අදදින සිටින සමහර ජාතීන් පිලිස්තිය හා සමාන වන්නේ කෙසේද? (ආ) යෙහෝවා පුරාණයේදී කළා සේ අදදින සිටින තම සෙනඟට සහය වීම සඳහා ඔහු කුමක් කර තිබෙනවාද?

8 පිලිස්තිය වගේ අදදිනත් සමහර ජාතීන් දෙවිගේ නමස්කාරකයන්ට දරුණු විරුද්ධවාදිකම් පමුණුවනවා. යෙහෝවාගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ව සිරගත කර තිබෙනවා. ගාල් කඳවුරුවල දමා තිබෙනවා. ඔවුන්ගේ වැඩය තහනම් කර තිබෙනවා. බොහෝදෙනෙකුව ඝාතනය කොට තිබෙනවා. විරුද්ධවාදීන් දිගටම ‘ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව දරුණු හානි පමුණුවනවා.’ (ගීතාවලිය 94:21, NW) ඔවුන්ගේ සතුරන්ට ඔවුන්ව සමහරවිට පෙනෙන්නේ, “පහත් අය” සහ “දිළින්දෝ” හැටියට වෙන්ට ඇති. කෙසේවෙතත්, ඔවුන්ගේ සතුරන් ආත්මික සාගින්නෙන් පෙළෙද්දී ඔවුන් යෙහෝවාගේ උපකාරය ඇතුව ආත්මික සමෘද්ධිය අද්දකින්ට යනවා. (යෙසායා 65:13, 14; ආමොස් 8:11) නවීන දින පිලිස්තිවරුන්ට විරුද්ධව යෙහෝවා තම හස්තය දිගහරින විට මේ “පහත් අය” සුරක්ෂිතව සිටින්ට යනවා. ඒ කොහේද? යේසුස් ස්ථිරසාර වූ කොනේ ප්‍රධාන ගලව සිටින ‘දෙවිගේ පවුලේ අය’ අතරෙයි. (එපීස 2:19, 20) ඔවුන් රජු වන යේසුස් ක්‍රිස්තුස් පාලනය කරන “ස්වර්ගීය යෙරුසලම” යටතේ එනම් යෙහෝවාගේ ස්වර්ගීය රාජ්‍යය යටතේ ආරක්ෂාව ලබන්ට යනවා.—හෙබ්‍රෙව් 12:22; එළිදරව් 14:1.

මෝවබ් නිහඬයි

9. මීළඟ ප්‍රකාශය කරන්නේ කාට විරුද්ධවද? මේ සෙනඟ දෙවිගේ සෙනඟගේ සතුරෙක් බව ඔප්පු වී තිබෙන්නේ කෙසේද?

9 මළ මුහුදෙන් නැඟෙනහිරට වෙන්ට සිටින්නේ ඉශ්‍රායෙල්ගේ තවත් අසල්වැසියෙක්. ඒ මෝවබ්. පිලිස්තිවරුන් මෙන් නොව මෝවබ්වරුන් ඉශ්‍රායෙල්වරුන්ට නෑයන් වෙනවා. ඊට හේතුව ඔවුන් ආබ්‍රහම්ගේ ඥාතියෙක් වන ලොත්ගෙන් පැවතෙන්නන් වන නිසයි. (උත්පත්ති 19:37) ඒ හැරෙන්ට මෝවබ්වරුන් අතීතයේ සිට ඉශ්‍රායෙල්වරුන්ගේ සතුරන්. උදාහරණයක් හැටියට, මෝසෙස්ගේ දවස්වලදී, මෝවබ්හි රජු ඉශ්‍රායෙල්වරුන්ට ශාප කරයි යන බලාපොරොත්තුව උඩ බාලාම් නමැති අනාගතවක්තෘව කුලියට ගත්තා. එය අසාර්ථක වූ විට ඉශ්‍රායෙල්වරුන්ව හසු කරගැනීමට වේශ්‍යාකම සහ බාල් නමස්කාරය යොදාගත්තා. (ගණන් කථාව 22:4-6; 25:1-5) එසේනම්, යෙහෝවා දැන් “මෝවබ්ට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය” වාර්තා කිරීමට යෙසායාට ආනුභාවය දීම පුදුමයක් නෙවෙයි!—යෙසායා 15:1අ, NW. 

10, 11. මෝවබ්ට කුමක් සිදු වේවිද?

10 යෙසායාගේ අනාවැකිය යොමු වන්නේ, ආර්, කීර් (හෝ කීර්-හරෙසෙත්) සහ දීබොන් ඇතුළු මෝවබ්හි නගර සහ ස්ථාන ගණනාවකට විරුද්ධවයි. (යෙසායා 15:1ආ, 2අ) සමහරවිට කීර්-හරෙසෙත්හි ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන වියළි මිදිවලින් තැනූ කේක් නැතුව යෑම ගැන මෝවබ්වරුන් දුක් වෙන්ට ඉඩ තිබෙනවා. (යෙසායා 16:6, 7) මිදි වගාව සඳහා සුපතළ සිබ්මා සහ යාසෙර්ට තද පහරක් වදින්ට යනවා. (යෙසායා 16:8-10) සමහරවිට “තුන් අවුරුදු ගොන් නෑම්බියක්” යන අර්ථය ඇති එග්ලත්-ෂෙලිෂිය හරියට තදබල වේදනාවකින් මොර දෙන ගොන් නෑම්බියක් වගේ හඬ තළන්ට යනවා. (යෙසායා 15:5) මෝවබ්වරුන්ව ඝාතනය කරන නිසා “දීමොන්හි ජලවල්” ලෙයින් පිරී යන්ට යනවා. දේශයේ තෘණ වියළී යනවා. සතුරු හමුදා වේලි බැඳ “නිම්රිම්හි ජලවල්” සැබවින්ම හෝ සංකේතාත්මකව නවතා දමන විට ඒවා ‘පාළු වී’ යනවා.—යෙසායා 15:6-9.

11 මෝවබ්වරුන් ගෝනිරෙදි ඇඳගෙන වැලපෙන්ට යනවා. හිස් බූගෑමෙන් ඔවුන්ගේ ලැජ්ජාව සහ විලාපය පෙන්වනවා. අධික දුක සහ නින්දාව පෙන්වීමට ඔවුන් ’රැවුල් බා’ ගන්නවා. (යෙසායා 15:2ආ-4) මේ විනිශ්චයන් ඉටුවීමේ තිරසාරබව යෙසායාට කොතරම් තදින් දැනෙනවද කිවහොත් ඔහුගේ හැඟීම් පවා සලිත වෙනවා. මෝවබ්ට විරුද්ධව කළ ප්‍රකාශය හේතුවෙන් ඇති වන දුක නිසා ඔහුගේ අභ්‍යන්තරය වීණාවක තත් කැවෙන්නාක් මෙන් කම්පනය වෙන්ට පටන්ගන්නවා.—යෙසායා 16:11, 12.

12. මෝවබ්ට විරුද්ධව යෙසායාගේ වචන සැබෑ වූයේ කෙසේද?

12 මේ අනාවැකිය ඉටු වෙන්ට යන්නේ කවදාද? ඉතාම ඉක්මනින්. “[යෙහෝවා] මෝවබ් ගැන පළමු කී වචනය මේය. නුමුත් දැන් [යෙහෝවා] කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි [කීවේය].” (යෙසායා 16:13, 14) පොදු යුගයට පෙර අටවන සියවසේදී මෝවබ් වින්ද වේදනාත්මක තත්වයත් ජනශුන්‍ය වූ ස්ථානත් සනාථ කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයාගෙන තිබෙනවා. මෝවබ්හි සලමානු තමන්ට කප්පම් ගෙවූ පාලකයෙක්යයි IIIවන තිග්ලත්-පිලෙසෙර් සඳහන් කරනවා. මෝවබ්හි රජු වූ කම්මුසුනඩ්බි සෙනකෙරීබ්ට කප්පම් ගෙව්වා. මුසුරි සහ කමෂල්ටු යන මෝවබීය රජවරුන් තමන් විසින් යටත් කරගත් රජවරුන් කියා අෂූරියේ රජවරුන් වූ එසර්-හද්දොන් සහ අෂුබානිපල් සඳහන් කරනවා. එපමණක්ද නොව සියවස් ගණනාවකට පෙර ජාතියක් හැටියට මෝවබ්වරුන් පොළොවෙන් තුරන් වුණා. මෝවබීය නගරයයි සිතිය හැකි නටබුන් සොයාගෙන තිබුණත් විටෙක ඉශ්‍රායෙල්හි ප්‍රබල සතුරෙක්ව සිටි මොවුන් පිළිබඳ ගොඩගෙන ඇති සාක්ෂි ඉතා අල්පයි.

නවීන දින “මෝවබ්” තුරන් වේ

13. මෝවබ් හා සමාන විය හැක්කේ අදදින තිබෙන කුමන සංවිධානයද?

13 පුරාණ මෝවබ්ට සමාන ලෝක ව්‍යාප්ත සංවිධානයක් අද තිබෙනවා. ඒ ‘මහා බබිලෝනියේ’ ප්‍රධාන කොටස වන ක්‍රිස්තියානි ලෝකයයි. (එළිදරව් 17:5) මෝවබ් සහ ඉශ්‍රායෙල් යන දෙදෙනාම පැවත එන්නේ ආබ්‍රහම්ගේ පියා වූ තේරාගෙන්. ඒ හා සමානව ක්‍රිස්තියානි ලෝකයත් අද සිටින ආලේප ලත් ක්‍රිස්තියානි සභාව මෙන් මුල් සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාවෙන් පැවත එන බව කියා සිටිනවා. (ගලාති 6:16) කෙසේවෙතත්, ක්‍රිස්තියානි ලෝකය මෝවබ් වගේ දූෂ්‍ය වී තිබෙනවා. ආත්මික වේශ්‍යාකමටත්, එකම සැබෑ වූ දෙවි වන යෙහෝවා වෙනුවට වෙනත් දෙවිවරුන්ටත් නමස්කාර කිරීමට එය අනුබල දෙනවා. (යාකොබ් 4:4; 1 යොහන් 5:21) ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් කණ්ඩායමක් හැටියට එකතු වී රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන අයට විරුද්ධව නැඟී සිටිනවා.—මතෙව් 24:9, 14.

14. නවීන දින ‘මෝවබ්ට’ විරුද්ධව යෙහෝවාගේ අනතුරු ඇඟවීම මධ්‍යයෙහි, එම සංවිධානයේ සිටින සාමාජිකයන්ට පෞද්ගලිකව ඇති කරගත හැකි බලාපොරොත්තුව කුමක්ද?

14 අවසානයේදී මෝවබ්ව නිහඬ කළා. ක්‍රිස්තියානි ලෝකයටත් සිදු වන්නේ ඒ දේමයි. යෙහෝවා වර්තමානයේදී අෂූරියට සමාන බලයක් පාවිච්චි කර ඇයව පාළු කරන්ට යනවා. (එළිදරව් 17:16, 17) කෙසේවෙතත්, මේ නවීන දින “මෝවබ්” වැසියන්ට ජීවිතය ගැන බලාපොරොත්තු තබාගන්ට පුළුවන්. මෝවබ්ට විරුද්ධව අනාවැකි පවසන අතරතුර යෙසායා මෙසේ කියනවා. “සිංහාසනයක් කරුණාවෙන් පිහිටෙන්නේය, ඒ පිට දාවිත්ගේ කූඩාරමෙහි කෙනෙක් සැබෑකමෙන් සැරහී හිඳ, විනිශ්චයකර, යුක්තිය පවත්වා, ධර්මිෂ්ඨකම ඉෂ්ටකරන්ට යුහුවන්නේය.” (යෙසායා 16:5) වර්ෂ 1914දී යෙහෝවා දාවිත්ගේ පෙළපතින් එන පාලකයෙක් වූ යේසුස්ගේ සිංහාසනය ශක්තිමත්ව පිහිටෙව්වා. යේසුස්ගේ රජකම යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව ප්‍රකාශ කිරීමක්. එමෙන්ම එය දෙවි දාවිත් රජ සමඟ කළ ගිවිසුමේ ඉටුවීමක්. එම රජකම සදාකාලිකයි. (ගීතාවලිය 72:2; 85:10, 11; 89:3, 4; ලූක් 1:32) බොහෝ මෘදු ගුණ ඇති මනුෂ්‍යයන් නවීන දින ‘මෝවබ්ව’ අතහැර දමා ජීවනය ලබාගැනීමට යේසුස් වෙතට පැමිණ තිබෙනවා. (එළිදරව් 18:4) යේසුස් ‘ජාතීන්ට පැහැදිලිව විනිශ්චය උගන්වන’ බව දැනගන්ට ලැබීම මොනතරම් සහනයක්ද!—මතෙව් 12:18; යෙරෙමියා 33:15.

දමස්කය නටබුන් වේ

15, 16. (අ) දමස්කය සහ ඉශ්‍රායෙලය යූදාට විරුද්ධව ගත් සතුරු පියවර කුමක්ද? ප්‍රතිඵලයක් හැටියට දමස්කයට සිදු වූයේ කුමක්ද? (ආ) දමස්කයට විරුද්ධව කළ ප්‍රකාශයට ඇතුළත් වූයේ කවුද? (ඇ) ඉශ්‍රායෙල්ගේ අවාදර්ශයෙන් අද සිටින ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

15 ඊළඟට යෙසායා වාර්තා කරන්නේ, ‘දමස්කයට විරුද්ධව දිව්‍ය ප්‍රකාශයයි [NW].’ (යෙසායා 17:1-6 කියවන්න.) “සිරියේ ඉස” කියන්නේ දමස්කයටයි. එය පිහිටා තිබෙන්නේ ඉශ්‍රායෙලයේ සිට උතුරට වෙන්ටයි. (යෙසායා 7:8) යූදාහි ආහාස් රජුගේ පාලන සමයේදී, දමස්කයේ රෙශීන් ඉශ්‍රායෙල්හි පෙකා සමඟ එකතු වී යූදා දේශය ආක්‍රමණය කළා. කෙසේවෙතත්, ආහාස්ගේ ඉල්ලීම මත අෂූරියේ IIIවන තිග්ලත්-පිලෙසෙර් දමස්කයට විරුද්ධව යුද්ධ කර එය පරදා එහි වැසියන් බොහෝදෙනෙකුව වහල්භාවයට ගෙන ගියා. ඉන්පසු, දමස්කය යූදාට තර්ජනයක් වීමෙන් වැළකුණා.—2 රාජාවලිය 16:5-9; 2 ලේකම් 28:5, 16.

16 දමස්කය සමඟ ඉශ්‍රායෙලයට තිබෙන මිත්‍ර සම්බන්ධය නිසා, ඊට විරුද්ධව යෙහෝවා ප්‍රකාශයක් කරන අතරම, නොඇදහිලිකාර උතුරු රාජ්‍යයට විරුද්ධවද විනිශ්චයේ ප්‍රකාශයක් එකතු කරනවා. (යෙසායා 17:3) ඉශ්‍රායෙලය හරියට අස්වැන්න නෙළන කාලයේදී සුළු ඵලදාවක් ඇති බිමක් හෝ අතු සොලවා ගෙඩි බිම හෙළන ඔලීව ගසක් හා සමාන වෙන්ට යනවා. (යෙසායා 17:4-6) මෙය යෙහෝවාට කැප වූ සෙනඟට මොනතරම් බරපතළ පාඩමක්ද! ඔහු තනි භක්තිය බලාපොරොත්තු වන අතර, පිළිගන්නේ හෘදයාංගම පරිශුද්ධ සේවය පමණයි. එමෙන්ම තම සහෝදරයන්ට විරුද්ධ වන අයට ඔහු වෛර කරනවා.—නික්මයාම 20:5; යෙසායා 17:10, 11; මතෙව් 24:48-50.

යෙහෝවා මත පූර්ණ විශ්වාසය

17, 18. (අ) ඉශ්‍රායෙල්හි සිටින සමහරුන් යෙහෝවාගේ දිව්‍ය ප්‍රකාශයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? නමුත් පොදු ප්‍රතිචාරය කුමක්ද? (ආ) අදදින සිදුවීම් හෙසකියාගේ දවසේ ඒවාට සමාන වන්නේ කෙසේද?

17 යෙසායා දැන් මෙසේ කියනවා. “ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තමාගේ අත් වැඩය වන පූජාසන දෙස බලා නොසිට, තමාගේ ඇඟිලිවලින් සෑදූ දේ වන අෂේරා කණුවත් සූර්ය රූපවත් නොසලකා, තමාගේ [මැවුම්කරු] දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] දෙසට හැරෙන්නේය.” (යෙසායා 17:7, 8) ඉශ්‍රායෙල්හි සිටි සමහරුන් යෙහෝවාගේ අනතුරු ඇඟවීමට කීකරු වෙනවා. උදාහරණයක් හැටියට, පාස්කුව පැවැත්වීමට හවුල් වෙන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල්හි වැසියන්ට ආරාධනාවක් යැව්වා. ඊට සමහරුන් හොඳ ප්‍රතිචාරයක් දක්වා, තම සහෝදරයන් හා නිර්මල නමස්කාරයේ හවුල් වීමට දකුණු ප්‍රදේශය බලා පිටත් වුණා. (2 ලේකම් 30:1-12) ඒ වුණත් ආරාධනය ගෙනා පණිවිඩකරුවන්ට ඉශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙක් සමච්චල් කළා. සුව කිරීමට නොහැකි වන තරමට ඇදහිල්ල අත්හැර යෑම හේතුවෙන් දේශය අසාධ්‍ය වෙලා. එමනිසා, ඇයට විරුද්ධව තිබෙන යෙහෝවාගේ ප්‍රකාශය ඉටු වෙන්ට යනවා. අෂූරිය ඉශ්‍රායෙල් නගර විනාශ කරනවා. දේශය ජරා ගොඩක් බවට පත් වන අතර, තණබිම් වියළී යන්ට යනවා.යෙසායා 17:9-11 කියවන්න.

18 අද ගැන කුමක් කිව හැකිද? අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද සංවිධානයක් හැටියට ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ලෝකයේ සමහරුන්ට උපකාර කරනවා. එසේ කිරීම, ඇදහිල්ල අත්හළ ජාතියක් වූ ඉශ්‍රායෙල් ජාතියේ සිටි අයට උපකාර කරන්ට හෙසකියා උත්සාහ කළ ආකාරය අපිට මතක් කර දෙනවා. වර්ෂ 1919 සිට ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ ක්‍රිස්තියානි ලෝකය වෙත ගොස් තම නිර්මල නමස්කාරය වැලඳගන්ට කියා ඔවුන්ට ආරාධනා කරමින් සිටිනවා. (ගලාති 6:16) බොහෝදෙනෙක් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවත් අය පණිවිඩකරුවන්ව සමච්චලයට ලක් කර තිබෙනවා. එහෙත්, සමහරුන් හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඔවුන්ගේ සංඛ්‍යාව දැන් දශලක්ෂ ගණනක් දක්වා වැඩි වී තිබෙනවා. ඔවුන් තමන්ගේ ‘ඇස් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා’ දෙස හරවා, ඔහුගෙන් ඉගෙනගැනීමට ආශාවෙන් සිටිනවා. (යෙසායා 54:13) ඒ අය තමන්ගේ නමස්කාරය මිනිසුන් සෑදූ දෙවිවරුන්ට නොදීමෙන් සහ අශුද්ධ පූජාසනවලින් ඉවත් වීමෙන් පසු මහත් ඕනෑකමින් යෙහෝවා දෙසට හැරී තිබෙනවා. (ගීතාවලිය 146:3, 4) යෙසායාගේ සමකාලීනයෙක් වූ මීකාත් යෙසායා මෙන් මෙසේ කියනවා. “මම වනාහි [යෙහෝවා] දෙස බලා සිට, මාගේ ගැළවීමේ [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ [දෙවි] මාගේ වචන අසනවා ඇත.”—මීකා 7:7.

19. යෙහෝවා තරවටු කරන්නේ කාටද? ඉන් ඔවුන්ට කියා පාන්නේ කුමක්ද?

19 මිය යන මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන අයට වඩා කොතරම් වෙනසක්ද! සැහැසියාවේ සුළි සුළං සහ උද්ඝෝෂණ මේ අන්තිම දවස්වලදී මිනිස් සංහතියට තදින් පහර දෙනවා. කැලඹුණු, කැරලිකාර මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත “මුහුද” අතෘප්තිය සහ විප්ලව ඇති කරනවා. (යෙසායා 57:20; එළිදරව් 8:8, 9; 13:1) යෙහෝවා මේ ඝෝෂාකාරි සෙනඟට ‘සැර කරන්ට’ හෝ “තරවටු [NW]” කරන්ට යනවා. ඔහුගේ ස්වර්ගීය රාජ්‍යය සෑම කරදරකාරි සංවිධානයක්ම මෙන්ම පුද්ගලයෙක්වම විනාශ කර දමනවා. ඔවුන් ‘බොල් සුළඟටත් රොඩු සුළි සුළඟටත් ගහගෙන යන්නාක් මෙන් ඈතට පලා යන්ට’ යනවා.යෙසායා 17:12, 13; එළිදරව් 16:14, 16.

20. ජාතීන්ගේ ‘කොල්ලකෑමට’ ලක් වුණත්, සැබෑ ක්‍රිස්තියානීන්ට ඇති නිසැකකම කුමක්ද?

20 එහි ප්‍රතිඵලය කුමක්ද? යෙසායා මෙසේ කියනවා. “බලව, සවස් වේලේ භීතියක්ය; පහන්වන්ට පළමුවෙන් ඔව්හු නැත. අප නාස්තිකරන්නන්ගේ කොටසද අපෙන් කොල්ලකන්නන්ගේ විපාකයද ඒකය.” (යෙසායා 17:14) බොහෝදෙනෙක් යෙහෝවාගේ සෙනඟව කොල්ලකනවා. ඔවුන්ට රළු මෙන්ම අගෞරවනීය ලෙස සලකනවා. සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ පවතින ආගමික ප්‍රවාහයේ කොටසක් නොවන නිසාත්, එසේ වීමට බලාපොරොත්තු නොවන නිසාත් ඔවුන්ව පක්ෂග්‍රාහී විවේචකයන්ගේ සහ උමතු විරුද්ධවාදීන්ගේ පහසු ගොදුරක් කරගත හැකියයි ඔවුන් සිතනවා. එහෙත් දෙවිගේ සෙනඟ තමන්ට පැමිණෙන පීඩා අවසන් වන ‘පහන් යාමය’ ඉතා ඉක්මනින් එළඹෙන බවට විශ්වාසයෙන් සිටිනවා.—2 තෙසලෝනික 1:6-9; 1 පේතෘස් 5:6-11.

ඉතියෝපියාව යෙහෝවාට තෑග්ගක් ගෙනෙයි

21, 22. මීළඟට විනිශ්චයේ ප්‍රකාශය ලබන්නේ කුමන ජාතියද? යෙසායාගේ දේවානුභාවය ලත් වචන ඉටු වූයේ කෙසේද?

21 අඩුම තරමින් අවස්ථා දෙකකදීවත්, මිසරයට දකුණින් පිහිටි ඉතියෝපියාව යූදාට විරුද්ධව හමුදා මෙහෙයවා තිබෙනවා. (2 ලේකම් 12:2, 3; 14:1, 9-15; 16:8) දැන් යෙසායා එම ජාතිය මත විනිශ්චය ප්‍රකාශ කරනවා. ‘එම්බා සේනා පියාපත්වල ශබ්ද ඇත්තාවූ [පියාපත් ගසන කෘමීන් ඇති, NW], ගංගාවලට එගොඩින් සිටින්නාවූ කූෂ් දේශය [ඉතියෝපියාව, NW].’ (යෙසායා 18:1-6 කියවන්න.) * යෙහෝවා ප්‍රකාශ කරන්නේ ඉතියෝපියාව ‘කපා පහ කර දමන්ට’ යන බවයි.

22 ලෞකික ඉතිහාසය පවසන්නේ පො.යු.පෙ. අටවන සියවසේ අග භාගයේදී මිසරය පරාජය කළ ඉතියෝපියාව එය අවුරුදු 60ක පමණ කාලයක් පාලනය කළ බවයි. ඒ සමඟම අෂූරියේ අධිරාජ්‍යවාදීන් වන එසර්-හද්දොන් සහ අෂුබානිපල් අනුපිළිවෙළට මිසරය ආක්‍රමණය කළා. අෂුබානිපල් තේබ්ස් නගරය විනාශ කිරීමත් සමඟම අෂූරිය විසින් මිසරය අල්ලාගත්තා. මෙසේ නයිල් නිම්නය කෙරෙහි පැවති ඉතියෝපීය බලපෑම අවසන් වුණා. (යෙසායා 20:3-6ත් බලන්න.) අද කාලය ගැන කුමක් කිව හැකිද?

23. නවීන දින “ඉතියෝපියාව” කරමින් සිටින්නේ කුමක්ද? එය විනාශ වන්නේ මන්ද?

23 ‘අන්තිම කාලය’ සම්බන්ධයෙන් දානියෙල්ගේ අනාවැකියේ, ඉතියෝපියානුවන් සහ ලිබියානුවන් තරඟකාරි ‘උතුරු දිශාවේ රජගේ අඩිපාරේ යන’ බව ප්‍රකාශ කර තිබෙනවා. එයින් අදහස් කරන්නේ ඔවුන් ඔහුගේ මඟ පෙන්වීමට කීකරු වන බවයි. (දානියෙල් 11:40-43) ඉතියෝපියාව ‘මාගොග් දේශයේ ගොග්ගේ’ යුධ හමුදාවේ සිටින බවද සඳහන් කරනවා. (එසකියෙල් 38:2-5, 8) උතුරු දිශාවේ රජ ඇතුළු ගොග්ගේ හමුදා යෙහෝවාගේ ශුද්ධ ජාතියට පහර දෙන විට ඔවුන්ගේ අවසානය සිදු වෙන්ට යනවා. යෙහෝවාගේ පරමාධිපත්‍යයට විරුද්ධව සිටින නිසා යෙහෝවාගේ හස්තය නවීන දින ඉතියෝපියාවට එරෙහිව තිබෙන්ට යනවා.—එසකියෙල් 38:21-23; දානියෙල් 11:45.

24. යෙහෝවා ජාතීන්ගෙන් ‘තෑගි’ ලබන්නේ කුමන අර්ථයෙන්ද?

24 එහෙත්, අනාවැකිය තවදුරටත් පවසන්නේ මෙසේයි. ‘ඒ කාලයෙහි මුල පටන් මේ දක්වා භයානක සෙනඟක්ව, මනින්නාවූ, පාගා දමන්නාවූ, ජාතියක්ව සිටින තැනැත්තන්ගෙන් සේනාවල යෙහෝවාගේ නාම-ස්ථානය වන සියොන් කන්දට සේනාවල යෙහෝවා වෙතට තෑග්ගක් ගෙනෙනු ලබන්නේය.’ (යෙසායා 18:7) ජාතීන් යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළි නොගත්තත්, ඔවුන් සමහර අවස්ථාවලදී ක්‍රියා කර තිබෙන්නේ යෙහෝවාගේ සෙනඟට ප්‍රයෝජන අත් වන ආකාරයටයි. සමහර දේශවල බලධාරීන් යෙහෝවාගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්ට නීතික අයිතිය දීම සඳහා නීති රීති සහ අධිකරණ තීරණ පනවා තිබෙනවා. (ක්‍රියා 5:29; එළිදරව් 12:15, 16) වෙනත් තෑගිත් ලැබෙන්ට තිබෙනවා. ‘රජවරු ඔබට පඬුරු ගෙනෙන්නෝය. මිසරයෙන් ලෝකඩ භාණ්ඩ පැමිණෙන්නේය. දෙවිට පඬුරු දීමට කූෂ් දේශය [ඉතියෝපියාව] ඉක්මනින් අත දිඟු කරන්නේය.’ (ගීතාවලිය 68:29-31, NW) අදදින සිටින යෙහෝවාට භයැති දශලක්ෂ ගණන් නවීන දින “ඉතියෝපියානුවන්” නමස්කාරය මාර්ගයෙන් දෙවිට “තෑග්ගක්” ගෙනෙනවා. (මලාකී 1:11, NW) එමෙන්ම, පොළොව පුරා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ දැවැන්ත කර්තව්‍යයේ ඔවුන් හවුල් වෙනවා. (මතෙව් 24:14; එළිදරව් 14:6, 7) යෙහෝවාට ඉදිරිපත් කිරීම සඳහා මොනතරම් වටිනා තෑග්ගක්ද!—හෙබ්‍රෙව් 13:15.

මිසරයේ හදවත දිය වේ

25. යෙසායා 19:1-11හි ඉෂ්ට වීමක් වශයෙන් පුරාණ මිසරයට සිදු වන්නේ කුමක්ද?

25 යූදාහි දකුණට වෙන්ට සිටින අසල්වැසියා මිසරයයි. දෙවිගේ ගිවිසුම යටතේ සිටින සෙනඟගේ අතීත සතුරායි. යෙසායා 19වන පරිච්ඡේදය යෙසායාගේ කාලයේදී මිසරයේ පැවති නොසන්සුන් වාතාවරණය විස්තර කරනවා. “නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධව” සටන් කරන නිසා මිසරයේ රට අභ්‍යන්තර යුද්ධයක් සිදු වෙනවා. (යෙසායා 19:2, 13, 14) එකිනෙකට විරුද්ධ රාජවංශ එකම කාලයේදී රටේ විවිධ කොටස් පාලනය කළ බවට ඉතිහාසඥයන් සාක්ෂි සපයනවා. මිසරය ප්‍රඥාව ගැන පාරට්ටු කරගත්තත්, ‘පිළිම හා මතුරන්නන්’ එහි සිටියත්, ‘කෲර ස්වාමියෙකුගේ අතින්’ ඔවුන්ව බේරාගන්ට ඒ කිසිම දෙයකට හැකි වන්නේ නැහැ. (යෙසායා 19:3, 4) මිසරය අෂූරිය විසින්ද, පසුව බබිලෝනිය, පර්සියාව, ග්‍රීසිය සහ රෝමය විසින්ද යටත් කරගන්නවා. මේ සෑම සිද්ධියක්ම යෙසායා 19:1-11 ඇති අනාවැකියේ ඉටුවීමක්.

26. මහ පරිමාණයේ ඉටුවීමක් හැටියට, නවීන දින “මිසරවරුන්” යෙහෝවාගේ විනිශ්චයට ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද?

26 කෙසේවෙතත්, බයිබලයේ බොහෝ අවස්ථාවලදී මිසරයෙන් නියෝජනය කරන්නේ සාතන්ගේ ලෝකයයි. (එසකියෙල් 29:3; යෝවෙල් 3:19; එළිදරව් 11:8) එමනිසා යෙසායා “මිසරයට විරුද්ධව කළ දිව්‍ය ප්‍රකාශයට [NW] වඩාත් විශාල ඉටුවීමකුත් තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්! අනාවැකියේ මුල් වචන කිහිපය සියලුදෙනාගේ අවධානයට යොමු විය යුතුයි. “බලව, [යෙහෝවා] ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට [එන්නේය]. මිසරයේ පිළිම [ඔහු] ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.” (යෙසායා 19:1) යෙහෝවා ඉක්මනින් සාතන්ගේ සංවිධානයට විරුද්ධව කටයුතු කරන්ට යනවා. එවිට මේ පවතින ක්‍රමයේ පිදුම් ලබන දෙවිවරුන් නිෂ්ප්‍රයෝජන බව පෙනෙන්ට යනවා. (ගීතාවලිය 96:5; 97:7) භය හේතුවෙන් “මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ [දිය වෙන්ට]” යනවා. එසේ වන කාලය ගැන යේසුස් පුරෝකථනය කළේ මෙසේයි. ‘මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක් වේදනාද වන්නේය. මක්නිසාද භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්ත වන්නේය.’—ලූක් 21:25, 26.

27. ‘මිසරයේ’ අභ්‍යන්තරික බෙදීම් ගැන පුරෝකථනය කර තිබෙන්නේ කුමක්ද? මෙය අදදින සිදු වන්නේ කෙසේද?

27 විනිශ්චය ක්‍රියාත්මක කරන කාලය ගැන සඳහන් කරමින් යෙහෝවා අනාවැකිමය ලෙස මෙසේ කියනවා. “එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.” (යෙසායා 19:2) වර්ෂ 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටුවීමත් සමඟම “[යේසුස්] පැමිණ සිටින කාලය පිළිබඳ ලකුණ” ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැඟී සිටීම මගින් සනිටුහන් වෙනවා. ගෝත්‍රික සමූලඝාතන, ලේ පිපාසිත මහා සංහාරයන් සහ වාර්ගික ශුද්ධීකරණ මේ අන්තිම දවස්වලදී දශලක්ෂ ගණනකගේ ජීවිත බිලිගෙන තිබෙනවා. අවසානය ළඟා වෙත්ම එවැනි “ගාවිනා” තව තවත් උග්‍ර වෙන්ට යනවා.—මතෙව් 24:3, NW, 7, 8.

28. විනිශ්චය දවසේදී, මේ පවතින ක්‍රමය බේරාගැනීම සඳහා බොරු ආගම්වලට කළ හැක්කේ කුමක්ද?

28 “මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.” (යෙසායා 19:3) මෝසෙස් ඵාරාවෝ ඉදිරියේ පෙනී සිටිද්දී බලයෙන් යෙහෝවා හා සමාන වීමට වෑයම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මිසරයේ සිටි පූජකයන්ව ලැජ්ජාවට පත් වුණා. (නික්මයාම 8:18, 19; ක්‍රියා 13:8; 2 තිමෝති 3:8) ඒ හා සමානව විනිශ්චය දවසේදී, බොරු ආගම්වලටත් තමන්ගේ දූෂිත ක්‍රමය බේරාගැනීමට හැකි වෙන්නේ නැහැ. (යෙසායා 47:1, 11-13 සසඳන්න.) අවසානයේදී මිසරය “කෲර ස්වාමියෙකු” වන අෂූරිය අතට පත් වුණා. (යෙසායා 19:4) මෙය පූර්වාදර්ශනය කරන්නේ වර්තමානයේ පවතින ක්‍රමය මුහුණ දෙන අඳුරු අනාගතයයි.

29. යෙහෝවාගේ දවස පැමිණෙද්දී, දේශපාලනඥයන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක් වේවිද?

29 දේශපාලන නායකයන් ගැන කුමක් කිව හැකිද? උපකාරයක් වෙන්ට ඔවුන්ට හැකි වෙයිද? “ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ.” (යෙසායා 19:5-11 කියවන්න.) විනිශ්චය දවසේදී මිනිස් අධිපතීන් කෙරෙහි බලාපොරොත්තු තැබීම මොනතරම් මෝඩකමක්ද! ලෝකයේ ඇති සෑම දෙයක් ගැනම හසළ දැනුමක් ඔවුන් සතු වුණත් ඔවුන් දිව්‍ය ප්‍රඥාවෙන් ඌණයි. (1 කොරින්ති 3:19) ඔවුන් යෙහෝවාව ප්‍රතික්ෂේප කර විද්‍යාව, දර්ශනවාදය, මුදල්, සුඛවිහරණය සහ වෙනත් දෙවිවරුන් වෙත හැරී තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට, ඔවුන්ට දෙවිගේ අරමුණු පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඔවුන් රැවටී, වියවුලට පත්ව සිටිනවා. ඔවුන්ගේ ක්‍රියා අපතේ ගොස් තිබෙනවා. (යෙසායා 19:12-15 කියවන්න.) “ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු [යෙහෝවාගේ] වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?”—යෙරෙමියා 8:9.

යෙහෝවාට ලකුණක් සහ සාක්ෂියක්

30. “යූදා දේශය මිසරවරුන්ට භීතියක් [වන්ට]” යන්නේ කිනම් ආකාරයෙන්ද?

30 කෙසේවෙතත්, “මිසර” නායකයන් “ස්ත්‍රීන් මෙන්” දුර්වල තත්වයක සිටින අතරේ, සමහර පුද්ගලයන් දිව්‍ය ප්‍රඥාව සොයමින් සිටිනවා. යෙහෝවාගේ ආලේප ලත් අය සහ සෙසු ඇදහිලිවන්තයන් ‘දෙවිගේ විස්මපත් ආලෝකය’ ප්‍රකාශ කරනවා. (යෙසායා 19:16; 1 පේතෘස් 2:9) පැමිණෙමින් තිබෙන සාතන්ගේ සංවිධානයේ විනාශය ගැන අනතුරු ඇඟවීම සඳහා ඔවුන් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. මේ තත්වය කල් ඇතුව දකිමින් යෙසායා මෙසේ කියනවා. “යූදා දේශය මිසරවරුන්ට භීතියක් වන්නේය, එය සඳහන්කරනවා අසන සියල්ලෝම සේනාවල [යෙහෝවා] ඔවුන්ට විරුද්ධව නියමකර තිබෙන නියමයට වෙවුලන්නෝය.” (යෙසායා 19:17) යෙහෝවාගේ ඇදහිලිවන්ත පණිවිඩකරුවන් යෙහෝවා විසින් පුරෝකථනය කළ පීඩාද ඇතුළත් සත්‍යතාවන් මිනිසුන්ට ප්‍රකාශ කරමින් සිටිනවා. (එළිදරව් 8:7-12; 16:2-12) මෙය ලෝකයේ සිටින ආගමික නායකයන්ට බාධාවක්.

31. (අ) පුරාණ කාලයේදී, (ආ) වර්තමානයේදී මිසරයේ නුවරවල “කානාන් භාෂාව” කතා කළේ හා කරන්නේ කුමන ආකාරයෙන්ද?

31 මේ ප්‍රචාරක වැඩයේ පුදුමාකාර ප්‍රතිඵලය කුමක්ද? “ඒ දවසෙහි කානාන් භාෂාව කථාකරන්නාවූ, සේනාවල [යෙහෝවාට] දිවුරුම් දෙන්නාවූ නුවරවල් පහක් මිසර දේශයෙහි වන්නේය; එකකට විනාශයේ නුවරයයි කියනු ලබන්නේය.” (යෙසායා 19:18) පෙනෙන විදිහට පුරාණ කාලවලදී මේ අනාවැකිය ඉටු වූයේ, හෙබ්‍රෙව් භාෂාව කතා කරන්නන් මිසරයේ නගරවලට පලා ගොස් වාසය කිරීමට පටන්ගත් විටයි. (යෙරෙමියා 24:1, 8-10; 41:1-3; 42:9–43:7; 44:1) අදදිනත්, වර්තමාන “මිසර” ප්‍රදේශයේ සිටින සමහර ජනයා බයිබල් සත්‍යය පිළිබඳ ‘නිර්මල භාෂාව’ කතා කරන්ට ඉගෙනගෙන තිබෙනවා. (ශෙපනියා 3:9, NW) සංකේතාත්මක නගර පහෙන් එකක් තමයි “විනාශයේ නුවර.” එයින් අදහස් වන්නේ ‘නිර්මල නමස්කාරයෙන්’ කොටසක් සාතන්ගේ සංවිධානය හෙළි කිරීමටත් “විනාශ” කර දැමීමටත් සම්බන්ධය යන්නයි.

32. (අ) මිසර දේශය මැද පිහිටි “පූජාසනය” කුමක්ද? (ආ) ආලේප ලත් අය මිසරයේ සීමාව ළඟ ‘කණුවක්’ මෙන් වන්නේ කෙසේද?

32 යෙහෝවාගේ සෙනඟගේ ප්‍රචාරය කිරීමේ වැඩයට ස්තුතිවන්ත වන්ට මේ පවතින ක්‍රමය තුළත් ඔහුගේ මහත් නාමය නිසැකවම ප්‍රසිද්ධ වෙන්ට යනවා. “ඒ දවසෙහි [යෙහෝවාට] මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ [යෙහෝවාට] කණුවකුත් වන්නේය.” (යෙසායා 19:19) දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ට එම වචන අදාළ වෙනවා. (ගීතාවලිය 50:5) ඔවුන් දෙවිට පූජා ඔප්පු කරන ‘පූජාසනයක්ව’ සිටිනවා. ‘සැබෑවේ කණුව සහ අත්තිවාරමක්’ හැටියට ඔවුන් යෙහෝවා වෙනුවෙන් සාක්ෂි දරනවා. (1 තිමෝති 3:15; රෝම 12:1; හෙබ්‍රෙව් 13:15, 16) “දේශය මැද” ඔවුන් සිටින්ට යන්නේ රටවල් සහ දූපත් 230කට වඩා වැඩි ප්‍රමාණයක සිටින ඔවුන්ගේ සෙසු සහකරුවන් වන ‘වෙනත් බැටළුවන්’ සමඟයි. එහෙත් ඔවුන් “මේ ලෝකයේ කොටසක්” නොවෙයි. (යොහන් 10:16; 17:15, 16, NW) එය හරියට මේ ලෝකයත් දෙවිගේ රාජ්‍යයත් අතර සීමාවේ සිටිනවා වගෙයි. ඔවුන් එය පසු කර ඔවුන්ගේ ස්වර්ගික උරුමය ලබාගැනීමට සූදානමින් සිටිනවා.

33. ආලේප ලත් අය ‘මිසරයේ’ “ලකුණක්” සහ “සාක්ෂියක්” වන්නේ කුමනාකාරයෙන්ද?

33 යෙසායා මෙසේ කියනවා. “ඔවුන් පීඩාකාරයින් නිසා [යෙහෝවාට] යාච්ඤා කරන විට [ඔහු] බලවත් ගැළවුම්කාරයෙකු ඔවුන් වෙතට යවා ඔවුන් ගළවනවා ඇත. සේනාවල [යෙහෝවා] උදෙසා එය මිසර දේශයෙහි ලකුණක්ද සාක්ෂියක්ද වන්නේය.” (යෙසායා 19:20) ආලේප ලත් අය පවතින මේ ක්‍රමය තුළ “ලකුණක්” සහ “සාක්ෂියක්” ලෙස දේශනා වැඩයේ මූලිකත්වය ගැනීමේත් යෙහෝවාගේ නාමය උත්කර්ෂවත් කිරීමේත් යෙදී සිටිනවා. (යෙසායා 8:18; හෙබ්‍රෙව් 2:13) පීඩිත ජනයාගේ අඳෝනා ලොව වටෙන්ම ඇසෙනවා. එහෙත් පොදුවේ ගත් කල ඔවුන්ට උපකාර කරන්ට මිනිස් ආණ්ඩුවලට පුළුවන්කමක් නැහැ. කෙසේවෙතත්, මොළොක් ගුණැති සියලුදෙනාවම මුදවාගැනීමට යෙහෝවා ශ්‍රේෂ්ඨ ගැළවුම්කරුවා වන යේසුස් ක්‍රිස්තුස් රජව එවනවා. මේ අන්තිම දවස් අර්මගෙදොන් යුද්ධයත් සමඟ උච්චාවස්ථාවකට පැමිණි විට දේවභයැති මිනිසුන්ට සැනසුම සහ සදාකාලික ආශීර්වාද ලැබෙන්ට යනවා.—ගීතාවලිය 72:2, 4, 7, 12-14.

34. (අ) “මිසරවරු” යෙහෝවාව හැඳිනගන්නේ කෙසේද? ඔවුන් ඔහුට දෙනු ලබන යාග සහ ත්‍යාගය කුමක්ද? (ආ) යෙහෝවා “මිසරයට” පහර දෙන්නේ කවදාද? ඒ සමඟ ගෙනෙන්ට යන සුවය කුමක්ද?

34 මේ අතරතුර කාලයේදී සියලු ආකාර ජනයා නිවැරදි දැනුම ලබාගෙන ගැළවෙනවා දැකීම දෙවිගේ කැමැත්තයි. (1 තිමෝති 2:3) එමනිසා යෙසායා මෙසේ ලියනවා. ‘යෙහෝවා මිසරවරුන්ට ප්‍රකාශ වන්නේය, මිසරවරු ඒ දවසේදී යෙහෝවා ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාර කරන්නෝය, යෙහෝවාට භාරයක් වී එය ඉෂ්ට කරන්නෝය. මෙසේ යෙහෝවා මිසරයට පහර දෙන්නේය. පහර දී සුව කරන්නේය; ඔවුන් යෙහෝවා වෙතට හැරෙනවා ඇත, ඔහුද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත් කරනවා ඇත.’ (යෙසායා 19:21, 22) සාතන්ගේ ලෝකයේ සිටින සියලුම ජනයාගෙන්, සමහර ‘මිසර වැසියන්’ පෞද්ගලිකව යෙහෝවාව හඳුනාගෙන ‘දෙවිගේ නාමයට ස්තුති කරන [නාමය ප්‍රකාශ කරන, NW] තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව’ ඔප්පු කරමින් සිටිනවා. (හෙබ්‍රෙව් 13:15) තමන්ව යෙහෝවාට කැප කිරීම තුළින් ඔවුන් යෙහෝවාට භාරයක් වෙනවා. ඔවුන් එම භාරය ගෙවන්නේ පක්ෂපාත ජීවිතයක් ගත කිරීම තුළිනුයි. අර්මගෙදොන්හිදී යෙහෝවා මේ පවතින ක්‍රමයට ‘පහර දුන්නාට’ පසු, මනුෂ්‍යවර්ගයාව සුව කිරීම සඳහා තම රාජ්‍යය යොදාගන්ට යනවා. යේසුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී මනුෂ්‍යවර්ගයාව ආත්මික, මානසික, සදාචාරමය සහ ශාරීරික පරිපූර්ණත්වයට ගෙනෙනවා. එය ඇත්තෙන්ම සර්වසම්පූර්ණ සුවයක්!—එළිදරව් 22:1, 2.

‘මාගේ සෙනඟට ආශීර්වාද වේවා!’

35, 36. යෙසායා 19:23, 24 ඉටුවීමක් හැටියට, පුරාණ මිසරය, අෂූරිය සහ ඉශ්‍රායෙලය අතර ඇති වුණු සබඳතා මොනවාද?

35 අනාගතවක්තෘවරයා ඉන්පසුව විශිෂ්ට සිද්ධීන් කල් ඇතුව දකිනවා. “ඒ දවසෙහි මිසරයේ සිට අෂූර්ට මහ මාවතක් වන්නේය, අෂූරියයා මිසරයටත් මිසරයා අෂූර්ටත් පැමිණෙනවා ඇත; මිසරවරුද අෂූර්වරුන් සමග නමස්කාර කරන්නෝය. ඒ දවසෙහි ඉශ්‍රායෙල් මිසරයද අෂූර්ද සමග තුන්වෙනිව සිට පොළොව මැද ආශීර්වාදයක් වන්නේය. මක්නිසාද සේනාවල [යෙහෝවා] කථාකොට: මාගේ සෙනගවූ මිසරයටත් මාගේ හස්තකර්මාන්තයවූ අෂූර්ටත් මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ටත් ආශීර්වාදවේවයි කියා ඔවුන්ට [ආශීර්වාද කළේය].” (යෙසායා 19:23, 24) ඔව්, කවදහරි මිසරයත් අෂූරියත් අතර මිත්‍රත්වයක් තිබෙන්ට යනවා. ඒ කෙසේද?

36 යෙහෝවා අතීතයේදී තම සෙනඟව ජාතීන්ගෙන් ගළවාගත් විට යෙහෝවා ඔවුන්ට නිදහස කරා යෑමට මහ මාවත් විවෘත කළා කියා කිව හැකියි. (යෙසායා 11:16; 35:8-10; 49:11-13; යෙරෙමියා 31:21) බබිලෝනියේ පරාජයෙන් පසු වහලුන් අෂූරියෙන් සහ මිසරයෙනුත්, එමෙන්ම බබිලෝනියෙනුත් නැවතත් පොරොන්දු දේශයට පැමිණි විට මේ අනාවැකියේ සීමිත ඉටුවීමක් අද්දැක්කා. (යෙසායා 11:11) අදදින ගැන කුමක් කිව හැකිද?

37. අදදින ජීවත් වන දශලක්ෂ ගණන් ජනයා ‘අෂූරියත් මිසරයත්’ අතර මහ මාවතක් තිබෙන්නාක් මෙන් ක්‍රියා කරන්නේ කෙසේද?

37 අදදින සිටින ආලේප ලත් ආත්මික ඉශ්‍රායෙල් “පොළොව මැද [ආශීර්වාදයක්ව]” සිටිනවා. ඔවුන් සැබෑ නමස්කාරයට අනුබල දෙන අතර, සියලු ජාතීන්ට අයත් ජනයාට රාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කරමින් සිටිනවා. මේ ජාතීන්ගෙන් සමහරෙක් අෂූරිය වගේ ඉතා යුධකාමීයි. අනිකුත් ජාතීන් දානියෙල්ගේ අනාවැකියේ එන, වතාවක් “දකුණු දිශාවේ රජ” වූ මිසරය මෙන් ලිහිල් ආකාරයෙන් ක්‍රියා කරනවා. (දානියෙල් 11:5, 8) යුධකාමී ජාතීන්ගෙන් මෙන්ම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජාතීන්ගෙන්ද දශලක්ෂ ගණන් සෙනඟක් සැබෑ නමස්කාරය වෙත පිය මැන තිබෙනවා. මෙසේ සියලු ජාතීන්ට අයත් ජනයා ‘නමස්කාරයේ’ එක්සත්ව සිටිනවා. මේ අය අතර ජාතිවාදී අරගල නැහැ. ඔවුන් එකිනෙකාට ප්‍රේම කරනවා. එමනිසා ‘අෂූරියයා මිසරයටත් මිසරයා අෂූරියටත් එනවා’ කියා කිව හැකියි. එය හරියට මේ රටවල් දෙක අතර මහ මාවතක් තිබුණා වැනියි.—1 පේතෘස් 2:17.

38. (අ) ඉශ්‍රායෙලය “මිසරයද අෂූර්ද සමග තුන්වෙනිව” සිටින්ට යන්නේ කෙසේද? (ආ) ‘මාගේ සෙනඟට ආශීර්වාද වේවා’ කියා යෙහෝවා කියන්නේ මන්ද?

38 කෙසේවෙතත්, ඉශ්‍රායෙල් “මිසරයද අෂූර්ද සමග තුන්වෙනිව” සිටියේ කෙසේද? ‘අන්තිම කාලයේ’ මුල් අවදියේදී මේ පොළොව මත යෙහෝවාට සේවය කළ අයගෙන් බොහෝදෙනෙක් ‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ සාමාජිකයන්. (දානියෙල් 12:9; ගලාති 6:16) වර්ෂ 1930 සිට භූමික බලාපොරොත්තුවක් ඇති ‘වෙනත් බැටළුවන්ගේ’ මහත් සමූහයක් පැමිණෙන්ට පටන්ගත්තා. (යොහන් 10:16අ; එළිදරව් 7:9) මිසරය සහ අෂූරිය පූර්වාදර්ශනය කරමින් ජාතීන් අතරින් පැමිණෙන මොවුන් යෙහෝවාගේ නමස්කාරයේ ගෘහයට ඇදී එමින් සිටින අතර, ඔවුන් හා එක් වන ලෙස අන් අයටත් ආරාධනා කරනවා. (යෙසායා 2:2-4) ඔවුන්ද තම ආලේප ලත් සහෝදරයන් සේම දේශනා වැඩයේ යෙදෙනවා. එක හා සමාන පරීක්ෂණ විඳදරාගන්නවා. එකම ඇදහිල්ල සහ අඛණ්ඩතාව විදහා පෙන්වනවා පමණක් නොව එකම ආත්මික මේසයෙන් කෑමද ගන්නවා. ඇත්තෙන්ම කියනවා නම්, ආලේප ලත් අය සහ ‘වෙනත් බැටළුවන් එක එඬේරෙක් යටතේ එක රැළක්’ වෙනවා. (යොහන් 10:16) ඔවුන්ගේ ජ්වලිතය සහ විඳදරාගැනීම නිරීක්ෂණය කරමින් සිටින යෙහෝවා ඔවුන්ගේ ක්‍රියා ගැන සතුටු වෙන්නේ නැහැයි කියා යමෙක් සැක කළ යුතුද? නැහැ. එසේ නොවෙයි. මන්ද ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින් කියන්නේ මෙසේයි. ‘මාගේ සෙනඟට ආශීර්වාද වේවා!’

[පාදසටහන]

^ ‘පියාපත් ගසන කෘමීන් ඇති දේශය’ යන වාක්‍ය ඛණ්ඩයෙන් යොමු දක්වන්නේ ඉතියෝපියාවේ විටින් විට දැකිය හැකි පළඟැටි රංචුවලටය කියා සමහර විශාරදයන් පවසනවා. තවද ‘පියාපත් ගැසීම’ යන්න හැඳින්වීමට හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෙලා·ට්සාල්ʹ යන වචනය පාවිච්චි කරනවා. එමෙන්ම ඉතියෝපියාවේ ගාලා ගෝත්‍රිකයන් ට්සෙට්සෙ මැස්සාට දී ඇති නම ට්සාල්ට්සාල්යා වේ. (ගාලා ගෝත්‍රිකයන් මෙම මැස්සන්ට මේ නම දී ඇත්තේ උන් පියාපත් ගසන විට ඇති කරන ශබ්දයට අනුවය.) ඒ නම් දෙක අතර ඇති සමානත්වය මේ ආකාරයට තවත් සමහරුන් පෙන්වා දෙනවා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[191වන පිටුවේ පින්තූරය]

පිලිස්තියේ හේවායන් ඔවුන්ගේ සතුරන්ව එළවාගෙන එන හැටි (පො.යු.පෙ. 12වන සියවසේදී කළ මිසර කැටයමක්)

[192වන පිටුවේ පින්තූරය]

මෝවබීය හේවායෙකුගේ හෝ දෙවියෙකුගේ ගල් රූපයක් (පො.යු.පෙ. 8වන සියවසත් 11වන සියවසත් අතර කාලයේදී)

[196වන පිටුවේ පින්තූරය]

ඔටුවෙකු පිට සිරියාවේ හේවායෙක් (පො.යු.පෙ. නවවන සියවස)

[198වන පිටුවේ පින්තූරය]

කැරලිකාර මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත “මුහුද” අතෘප්තිය සහ විප්ලව ඇති කරනවා

[203වන පිටුවේ පින්තූරය]

බලයෙන් යෙහෝවා හා සමාන වීමට මිසරයේ පූජකයන් අසමත් වෙයි