Skip to content

පටුනට යන්න

“තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය”

“තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය”

විසිහයවන පරිච්ඡේදය

“තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය”

යෙසායා 33:1-24

1. යෙසායා 33:24හි ඇති වචන සැනසිලිදායක වන්නේ මන්ද?

 “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (රෝම 8:22) අප වෛද්‍ය විද්‍යාවේ හිණිපෙත්තටම නැඟ සිටියත් ලෙඩ රෝග සහ මරණය මිනිස් ජාතියට ශාපයක් වී තිබෙනවා. එහෙත්, ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ කාලය ගැන සිතේ මවාගන්න! එසේනම් යෙසායාගේ අනාවැකියේ මේ කොටස එහි උච්චාවස්ථාවකට පමුණුවන පොරොන්දුව මොනතරම් පුදුමාකාරද! (යෙසායා 33:24) මේ පොරොන්දුව ඉටු වන්නේ කෙසේද? කවදාද?

2, 3. (අ) ඉශ්‍රායෙල් ජාතිය ලෙඩව සිටින්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) හික්මවීම සඳහා යෙහෝවා යොදාගන්නා “පොල්ල” ලෙස අෂූරිය ක්‍රියා කරන්නේ කෙසේද?

2 යෙසායා මෙය ලියන්නේ දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟ ආත්මිකව ලෙඩ වී සිටින අවධියකයි. (යෙසායා 1:5, 6) ඔවුන් ඇදහිල්ල අතහැර දුරාචාරයේ අන්තයටම ගොස් සිටිනවා. ඒ නිසා ඔවුන්ට යෙහෝවා දෙවිගෙන් දැඩි හික්මවීමක් අවශ්‍යයි. යෙහෝවා තම හික්මවීම සපයන “පොල්ල” හෙවත් අතකොළුව හැටියට අෂූරිය පාවිච්චි කරනවා. (යෙසායා 7:17; 10:5, 15) මුලින්ම, පො.යු.පෙ. 740දී ඉශ්‍රායෙල්හි ගෝත්‍ර දසයේ රාජ්‍යය අෂූරිය අතට පත් වෙනවා. (2 රාජාවලිය 17:1-18; 18:9-11) අවුරුදු කිහිපයකට පසු අෂූරියේ සෙනකෙරීබ් රජ දකුණු රාජ්‍යය වන යූදාවට එරෙහිව හතර වටෙන්ම ආක්‍රමණයක් දියත් කරනවා. (2 රාජාවලිය 18:13; යෙසායා 36:1) අනුකම්පා විරහිත අෂූරියයන් දේශය පීරාගෙන යද්දී, යූදා දේශයට සම්පූර්ණ සමූලඝාතනයක් සිදුවීම වැළැක්විය නොහැකි දෙයක් මෙන් පෙනෙන්ට තිබෙනවා.

3 නමුත් අෂූරිය දෙවිගේ සෙනඟව හික්මවීමට ලැබුණු අවසරයෙන් ඔබ්බට යමින් ලෝක බලවතෙක් වීමට තිබෙන තම ගිජු අභිලාෂය ලුහුබඳිමින් සිටිනවා. (යෙසායා 10:7-11) යෙහෝවා තම සෙනඟ කෙරෙහි අෂූරියයන් දක්වන කෲර සැලකිල්ලට දඬුවම් නොදී ඉඳීවිද? ජාතියේ ආත්මික රෝගී තත්වයට සුවයක් ලැබේවිද? මේ ප්‍රශ්නවලට යෙහෝවාගේ උත්තර යෙසායා 33වන පරිච්ඡේදයේ අපිට දකින්ට තිබෙනවා.

කොල්ලකන්නාව කොල්ලකෑම

4, 5. (අ) අෂූරිය අද්දකින පසුබෑම කුමක්ද? (ආ) යෙහෝවාගේ සෙනඟ උදෙසා යෙසායා යෙහෝවාට කරන යාච්ඤාව කුමක්ද?

4 මේ ආකාරයට අනාවැකිය ඇරඹෙනවා. “කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.” (යෙසායා 33:1) කොල්ලකන්නා වන අෂූරියට යෙසායා කෙළින්ම කතා කරනවා. මේ සටන්කාමී ජාතිය එහි බලයේ උච්චාවස්ථාවේ සිටින හෙයින් ඔහුව යටත් කරගන්ට කිසිම කෙනෙකුට නුපුළුවන් බවයි පෙනෙන්නේ. ඔවුන් ‘කොල්ලකා තිබෙන්නේ කොල්ලකෑමකට ලක් වන්නේ නැතුවයි.’ ඔවුන් යූදාහි නුවරවල් කොල්ලකෑවා. යෙහෝවාගේ ගෘහයේ වස්තු කොල්ලකෑවා. එසේ කළේ පෙනෙන විදිහට කිසිම දඬුවමක් නොලැබයි! (2 රාජාවලිය 18:14-16; 2 ලේකම් 28:21) කෙසේවෙතත් දැන් තත්වය අනිත් පැත්තට හැරෙනවා. යෙසායා නිර්භීත ලෙස මෙසේ ප්‍රකාශ කරනවා. “නුඹෙන් කොල්ලකනවා ඇත.” ඇදහිලිවන්තයන්ට මේ අනාවැකිය කොතරම් සැනසිලිදායක වේවිද!

5 ඒ බිය උපදවන කාලපරිච්ඡේදය තුළදී යෙහෝවාගේ පක්ෂපාත නමස්කාරකයන්ට උපකාරය සඳහා ඔහු වෙත හැරෙන්ට සිදු වෙනවා. යෙසායා මෙසේ යාච්ඤා කරනවා. “[යෙහෝවා], අපට දයාවුව මැනව; අපි ඔබ ගැන බලාසිටියෙමුව. උදයක් පාසා ඔවුන්ගේ බල-හස්තයද විපත්ති කාලයේදී අපේ ගැළවීමද වුව මැනව. කෝලාහල හඬට ජනයෝ පලාගියෝය; ඔබගේ උසස්වීමට ජාතීහු විසිර ගියෝය.” (යෙසායා 33:2, 3) යෙහෝවා තම සෙනඟව අතීතයේ බොහෝ අවස්ථාවලදී ආරක්ෂා කරගත්තා වගේම ඔවුන්වත් රැකගන්ට කියා යෙසායා විසින් යාච්ඤා කිරීම උචිතයි. (ගීතාවලිය 44:3; 68:1) ඔහු යාච්ඤා කර අවසන් වූ විගසම යෙහෝවාගේ උත්තරය පැමිණෙනවා.

6. අෂූරියට සිදු වන්නේ කුමක්ද? එමෙන්ම එය උචිත වන්නේ මන්ද?

6 “දළඹුවා එකතුකරන්නාක්මෙන් නුඹලාගෙන් [අෂූරියයන්] කොල්ලය එකතුකරනු ලබන්නේය. පළඟැටියන් පනින්නාක්මෙන් ඔව්හු ඒ පිටට පනින්නෝය.” (යෙසායා 33:4) විනාශකාරි කෘමි ආක්‍රමණවලට යූදාවරුන් හුරු පුරුදුව සිටිනවා. එහෙත් මෙවර විනාශයට ගොදුරු වන්නේ යූදාගේ සතුරන්. අෂූරියයන් නින්දාසහගත පරාජයක් විඳින්ට යනවා. තමන්ගේ කොල්ලය යූදා වැසියන්ට ගන්ට ඉඩහැර පලා යන්ට එම භටයන්ට සිද්ධ වෙනවා! දැඩි කෲරකමකට ප්‍රසිද්ධ අෂූරිය කොල්ලකෑමකට ලක්වීම ඉතාම උචිතයි!—යෙසායා 37:36.

නවීන-දින අෂූරියයන්

7. (අ) ආත්මිකව ලෙඩ වූ ඉශ්‍රායෙල් ජාතියට අද සමාන කළ හැක්කේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානි ලෝකය විනාශ කිරීමට යෙහෝවා “පොල්ල” ලෙස යොදාගන්නේ කාවද?

7 යෙසායාගේ අනාවැකිය අද දවසට අදාළ වන්නේ කෙසේද? ආත්මිකව ලෙඩ වී සිටින ඉශ්‍රායෙල් ජාතිය අභක්තික ක්‍රිස්තියානි ලෝකයට සමාන කළ හැකියි. ඉශ්‍රායෙල්ට දඬුවම් කිරීමට යෙහෝවා අෂූරිය “පොල්ල” හැටියට පාවිච්චි කළා සේ ක්‍රිස්තියානි ලෝකය ඇතුළු “මහා බබිලෝනිය” නමැති බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ ඉතිරි අයටද දඬුවම් කිරීමට ‘පොල්ලක්’ පාවිච්චි කරන්ට යනවා. (යෙසායා 10:5; එළිදරව් 18:2-8) එම “පොල්ල” වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික ජාතීන්ය. ඔවුන්ව හිස් හතක්ද අං දහයක්ද ඇති රතු පාට වන මෘගයෙක් ලෙස එළිදරව් පොතේ සඳහන් කර තිබෙනවා.—එළිදරව් 17:3, 15-17.

8. (අ) අදදින සෙනකෙරීබ්ට සමාන කළ හැක්කේ කාවද? (ආ) නවීන දින සෙනකෙරීබ් කාව ආක්‍රමණය කිරීමට තරම් නිර්භීත වෙයිද? ප්‍රතිඵලය කුමක්ද?

8 නවීන-දින අෂූරිය බොරු ආගමික අධිරාජ්‍යය පාළු කරද්දී, එය නැවැත්විය නොහැකි එකක් සේ දිස් වෙන්ට ඉඩ තිබෙනවා. සෙනකෙරීබ්ගේ ආකල්පය ඇති සාතන් නමැති යක්ෂයා, දඬුවම් ලැබිය යුතු ඇදහිල්ල අත්හළ සංවිධානවලට පමණක් නොව සැබෑ ක්‍රිස්තියානීන්ටද පහර දෙන්ට තරම් නිර්භීත වෙනවා. මහා බබිලෝනිය ඇතුළු සාතන්ගේ ලෝකයෙන් ඉවත්ව සිටින දශලක්ෂ ගණන් ජනයා යෙහෝවාගේ ආලේප ලත් පුත්‍රයන් සමඟ දේවරාජ්‍යය වෙනුවෙන් තමන්ගේ ස්ථාවරය ගෙන තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් “මේ ලෝකයේ දෙවියා” වන සාතන්ට ගරුනම්බු දීම ප්‍රතික්ෂේප කරන නිසා ඔහු ඔවුන්ට විරුද්ධව ප්‍රබල ආක්‍රමණයක් දියත් කරන්ට යනවා. (2 කොරින්ති 4:4; එසකියෙල් 38:10-16) ඔහුගේ ආක්‍රමණය බිහිසුණු එකක් වනවාට සැකයක් නැති මුත් යෙහෝවාගේ සෙනඟ බියෙන් සැලෙන්ට යන්නේ නැහැ. (යෙසායා 10:24, 25) දෙවි ‘විපත්ති කාලයේදී ඔවුන්ගේ ගැළවීම’ වන බවට දී ඇති සහතිකය ඔවුන්ට තිබෙනවා. ඔහු මැදිහත් වී සාතන්ටත් ඔහුගේ සෙනඟටත් මහත් විනාශයක් ගෙනෙන්ට යනවා. (එසකියෙල් 38:18-23) පුරාණ කාලයේදී මෙන් දෙවිගේ සෙනඟව කොල්ලකන්ට එන අයව කොල්ලකනු ලබනවා! (හිතෝපදේශ 13:22ආ සසඳන්න.) යෙහෝවාගේ නාමය විශුද්ධවත් කරන්ට යනවා. ගැළවෙන්නන් ‘ප්‍රඥාවත් දැනගැන්මත් යෙහෝවා කෙරෙහි භයවීමත්’ නිසා විපාක ලබනවා.—යෙසායා 33:5, 6 කියවන්න.

නොඇදහිලිකාරයන්ට අනතුරු ඇඟවීමක්

9. (අ) යූදාහි ‘වික්‍රමාන්විතයන්’ සහ ‘සමාදානයේ තානාපතීන්’ කරන්ට යන්නේ කුමක්ද? (ආ) යූදා සාමය සඳහා කළ යෝජනාවලට අෂූරිය දක්වන ප්‍රතිචාරය කුමක්ද?

9 යූදාහි නොඇදහිලිකාර වැසියන්ගේ ඉරණම කුමක්ද? අෂූරිය අතින් ඔවුන්ට අත් වෙන්ට යන විනාශය ගැන දුක්බර විස්තරයක් යෙසායා සපයනවා. (යෙසායා 33:7 කියවන්න.) යූදාහි යුධ ‘වික්‍රමාන්විතයන්’ අෂූරියේ නැඟීම ගැන භයෙන් මොරගසනවා. සටන්කාමී අෂූරියයන් සමඟ සාමය ගැන කතා කිරීමට යවන ‘සමාදානයේ තානාපතීන්’ වන සාමදූතයන්ව සමච්චලයටත් නින්දාවටත් භාජන වෙනවා. උත්සාහය අසාර්ථක වන නිසා ඔවුන් දුක්ඛිත ලෙස අඬනවා. (යෙරෙමියා 8:15 සසඳන්න.) ම්ලේච්ඡ අෂූරියයන්ට නම් ඒ ගැන කිසිම අනුකම්පාවක් නැහැ. (යෙසායා 33:8, 9 කියවන්න.) ඔවුන් යූදා වැසියන් සමඟ කරගෙන තිබූ ගිවිසුම් කෲර ආකාරයට නොසලකා හරිනවා. (2 රාජාවලිය 18:14-16) අෂූරියයන් යූදාහි ‘නුවරවල් සුළු කරනවා.’ මිනිස් ජීවිතයට කිසි ගෞරවයක් නොදක්වමින් යූදා වැසියන්ව සමච්චලයට ලක් කරනවා. මේ තත්වය කොපමණ දරුණු වුණාද කිවහොත් දේශය පවා දුක් වෙනවා. පාළුවීම හේතුවෙන් ලෙබනොන්, ෂාරොන්, බාෂාන් සහ කර්මෙල් පවා දුක් අඳෝනා නඟනවා.

10. (අ) ක්‍රිස්තියානි ලෝකයේ ‘වික්‍රමාන්විතයන්’ ඵල රහිත බව ඔප්පු වන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ලෝකයට එන විපත්තිමය දවසේදී සැබෑ ක්‍රිස්තියානීන්ව ආරක්ෂා කරන්ට යන්නේ කා විසින්ද?

10 නුදුරු අනාගතයේදී ජාතීන් විසින් ආගම්වලට පහර දීම ආරම්භ කරත්ම ඒ හා සමාන තත්වයන් උද්ගත වන බවට කිසිම සැකයක් නැහැ. හෙසකියාගේ දවසේදී මෙන් මේ විනාශකාරි බලවේගයන්ට ශාරීරික ලෙස විරුද්ධව සිටීම නිෂ්ඵල දෙයක්. ක්‍රිස්තියානි ලෝකයේ පිහිටට එන්ට එහි ‘වික්‍රමාන්විතයන්ට’ එනම් එහි දේශපාලනඥයන්, මූල්‍ය කටයුතු මෙහෙයවන්නන් සහ වෙනත් බලවතුන්ට හැකි වන්නේ නැහැ. ක්‍රිස්තියානි ලෝකයේ අවශ්‍යතා පිරිමැසීම සඳහා කර ඇති දේශපාලනික සහ මූල්‍යමය ‘ගිවිසුම්’ උල්ලංගනය කරන්ට යනවා. (යෙසායා 28:15-18) උපායෙන් විනාශය වළක්වාගැනීමට උමතු උත්සාහයක යෙදුණද එය වරදිනවා. ක්‍රිස්තියානි ලෝකයේ දේපොළ සහ ආදායම් රාජසන්තක හෝ විනාශ කිරීමත් සමඟම ඔවුන්ගේ වාණිජ කටයුතු නවතින්ට යනවා. ඒ වනවිටත් ක්‍රිස්තියානි ලෝකය ගැන සුහද හැඟීමක් තිබෙන කවුරුහරි සිටිනවා නම්, ඔවුන් සෑහෙන දුරින් සිට ක්‍රිස්තියානි ලෝකය පහ වී යන ආකාරය දුකින් බලා සිටිනවා හැර කරන්ට වෙන කිසිවක් ඔවුන්ට ඉතිරි වන්නේ නැහැ. (එළිදරව් 18:9-19) කෙසේවෙතත්, බොරු ක්‍රිස්තියානි ධර්මයත් සමඟ සැබෑ ක්‍රිස්තියානි ධර්මයත් නැති වී යාවිද? එසේ වන්නේ නැහැ. යෙහෝවාම සහතික ලෙස කියන්නේ මෙසේයි. “දැන් නැගිටින්නෙමි; දැන් උසස්වෙන්නෙමි; දැන් උසස්කමට පැමිණෙන්නෙමියි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 33:10) අවසානයේදී හෙසකියා වැනි ඇදහිලිවන්ත අය වෙනුවෙන් යෙහෝවා මැදිහත් වෙන්ට යන අතර අෂූරියයන්ගේ නැඟීම නවතන්ට යනවා.—ගීතාවලිය 12:5.

11, 12. (අ) යෙසායා 33:11-14 දක්වා ඇති වචන ඉටු වන්නේ කවදාද? කොහොමද? (ආ) යෙහෝවාගේ එම වචන අදදින සඳහා සපයන අනතුරු ඇඟවීම කුමක්ද?

11 එවැනි ආරක්ෂාවක් ඇතුව සිටින්ට නොඇදහිලිකාරයන්ට හැකියාවක් නැහැ. යෙහෝවා මෙසේ කියනවා. “නුඹලා බොල් පිළිසිඳගෙන ඉපනැලි බිහිකරනවා ඇත. නුඹලාගේ හුස්මද ගින්නක් මෙන් නුඹලා නාස්තිකරනවා ඇත. ජනයෝ හුණු පිලිස්සීම් මෙන්ද කපා ගින්නෙන් දවාදමනු ලබන කටුගස් මෙන්ද වන්නෝය. දුර සිටින්නෙනි, මා කළ දේ අසන්න; ළඟ සිටින්නෙනි, මාගේ බලපරාක්‍රමය දැනගන්න. සියොන්හි පව්කාරයෝ භයවෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්තිකරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද?” (යෙසායා 33:11-14) පෙනෙන විදිහට යූදාට මෙය බලපාන්ට යන්නේ අනාගතයේදී ඇගේ අලුත් සතුරා වන බබිලෝනියට මුහුණ දෙන විටයි. හෙසකියාගේ මරණයෙන් පසු යූදා වැසියන් නැවතත් දුෂ්ටකමට හැරෙනවා. ඊළඟ දශක කිහිපය තුළදී, දෙවිගේ උදහස් ගින්න ඇවිළී මුළු ජාතියම දැවී යන තරමටම යූදාහි තත්වය අන්තයටම බැස්සා.—ද්විතීය කථාව 32:22.

12 දෙවිගේ විනිශ්චය වෙනස් කිරීමට අකීකරු අය යොදන දුෂ්ට සැලසුම් සහ උපක්‍රමවලින් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඒවා හරියට ඉපනැලි මෙන් වෙනවා. ඇත්තෙන්ම ජාතියේ උඩඟු, කැරලිකාර ස්වභාවය එහි විනාශයට මුලයි. (යෙරෙමියා 52:3-11) දුෂ්ටයන් හරියට ‘හුණු පිලිස්සෙන්නාක් මෙන්’ විනාශ වෙන්ට යනවා! පැමිණෙන්නාවූ මේ විනාශයේදී, යූදාහි සිටින කැරලිකාර යුදෙව්වන් මහත් ත්‍රාසයක් අද්දකිනවා. අභක්තික යූදා දේශයට යෙහෝවා කී වචනවලින් අද සිටින ක්‍රිස්තියානි ලෝකයේ සාමාජිකයන්ගේ තත්වය නිරූපණය කරනවා. ඔවුන් දෙවිගේ අනතුරු ඇඟවීම පිළිගන්නේ නැත්නම් ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ අඳුරු අනාගතයක් පමණයි.

‘දිගටම ධර්මිෂ්ඨ ලෙස හැසිරීම’

13. “දිගටම ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ” අයට දී ඇති පොරොන්දුව කුමක්ද? එමෙන්ම යෙරෙමියා සම්බන්ධයෙන් ගනිද්දී එය ඉටු වූයේ කෙසේද?

13 යෙහෝවා මීළඟට පරස්පර විරෝධී දෙයක් කියනවා. “[දිගටම, NW] ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථාකරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපාකරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසාගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.” (යෙසායා 33:15, 16) පසු කාලයකදී ප්‍රේරිත පේතෘස් ප්‍රකාශ කළ ආකාරයට “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන් . . . දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් [යෙහෝවා දන්නවා].” (2 පේතෘස් 2:9, 10) යෙරෙමියා එවැනි ආකාරයේ ගැළවීමක් අද්දැක්කා. බබිලෝනිය විසින් දේශය වටලා තිබූ විට ජනයාට ‘කෑම කිරා පිරිමසාගෙන කන්ට’ සිදු වුණා. (එසකියෙල් 4:17) සමහර මව්වරුන් තම දරුවන්ව පවා මරාගෙන කෑවා. (විලාප ගී 2:20) එවැනි දේවල් සිදු වුණත්, යෙහෝවා යෙරෙමියාව රැකගත්තා.

14. අදදින සිටින ක්‍රිස්තියානීන්ට ‘දිගටම ධර්මිෂ්ඨකමින් හැසිරිය’ හැක්කේ කෙසේද?

14 අද සිටින ක්‍රිස්තියානීන්ද දිනපතාම යෙහෝවාගේ ප්‍රමිති රකිමින් ‘දිගටම ධර්මිෂ්ඨ ලෙස හැසිරිය’ යුතුයි. (ගීතාවලිය 15:1-5) ඔවුන්ගේ ‘කතාව අවංක විය යුතුයි.’ බොරු කීම සහ වංකකම ප්‍රතික්ෂේප කළ යුතුයි. (හිතෝපදේශ 3:32) සමහර රටවල ප්‍රෝඩාව සහ අල්ලස කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් විය හැකි වුණත්, ‘දිගටම ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන’ අයට එය පිළිකුල්සහගතයි. ක්‍රිස්තියානීන් ව්‍යාපාර කටයුතුවලදී “වංකකමෙන් තොර හෘදය සාක්ෂියක්” ඇතුව සිටිය යුතුයි. ඒ සඳහා පහත් ආකාරයේ හෝ ප්‍රයෝගකාරි කූටෝපායන්ගෙන් වැළකී සිටීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. (හෙබ්‍රෙව් 13:18, NW; 1 තිමෝති 6:9, 10) ‘මිනිමැරීම [ලේ වැගිරීම, NW] ගැන නෑසෙන ලෙස කන් වසාගන්න, නපුර නොදකින ලෙස ඇස් පියාගන්න’ අය සංගීතය සහ විනෝදාස්වාදය සම්බන්ධයෙන් තෝරා බේරාගෙන කටයුතු කරනවා. (ගීතාවලිය 119:37) යෙහෝවා තම විනිශ්චය දවසේදී එවැනි ප්‍රමිතිවලට එකඟව ජීවත් වන තම නමස්කාරකයන්ව ආරක්ෂා කර රැකබලා ගන්ට යනවා.—ශෙපනියා 2:3.

ඔවුන්ගේ රජුව දැකීම

15. ඇදහිලිවන්ත යුදෙව් වහලුන්ට ලැබෙන සැනසිලිදායක පොරොන්දුව කුමක්ද?

15 යෙසායා ඊළඟට අනාගතය ගැන දීප්තිමත් බලාපොරොත්තුවක් සපයනවා. “ස්වකීය ශෝභනකමෙන් යුක්තවූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නෙහිය. විශාලවූ දේශයක් ඔව්හු දකින්නෝය. නුඹේ සිත භීතිය ගැන මෙනෙහිකරන්නේය. ලේකම කොහේද? ආදායම කිරා බලන්නා කොහේද? කොටු ගණන්කරන්නා කොහේද? නුඹට නොදැනෙන ගැඹුරු භාෂාවක්ද නොතේරෙන වික්කල් දිවක්ද ඇති සෙනගක් වන ඒ රෞද්‍ර සෙනග නුඹ තවත් නොදක්නෙහිය.” (යෙසායා 33:17-19) අනාගත මෙසියානු රජ සහ ඔහුගේ රාජ්‍යය ඇදහිලිවන්ත යුදෙව්වන්ගේ දසුනට නොපෙනෙන මායිමේ තිබුණත්, ඒ බලාපොරොත්තුව ඔවුන් බබිලෝනීය වහල්භාවයේ සිටින දශක ගණනාව පුරා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය සපයනවා. (හෙබ්‍රෙව් 11:13) අවසානයේදී මෙසියස්ගේ පාලනය සැබෑවටම ක්‍රියාත්මක වන විට බබිලෝනියේ දුෂ්ට ඒකාධිපති පාලනය වැළලී ගිය අතීතයක් පමණක් වී තිබෙයි. අෂූරියේ ආක්‍රමණයෙන් බේරෙන අය සන්තෝෂයෙන් මෙසේ අසනවා. “අපෙන් බදු අය කළ, හැම දේටම මුදල් අය කළ, කප්පම් ගත් ඒකාධිපතියන් කෝ දැන්?”—යෙසායා 33:18, මොෆට්.

16. මෙසියානු රජව ‘දැකීමට’ දෙවිගේ සෙනඟට හැකි වී තිබෙන්නේ කවදා සිටද? ප්‍රතිඵලය කුමක්ද?

16 යෙසායාගේ වචන මගින් බබිලෝනියේ වහල්භාවයෙන් මිදීම සම්බන්ධයෙන් සහතිකයක් ලබා දුන්නද අනාවැකියේ මේ කොටසේ පූර්ණ ඉටුවීම පෞද්ගලිකව අද්දැකීමට යුදෙව් වහලුන්ට නැවත නැඟිටීම සිදු වන තුරු සිටින්ට වෙනවා. අද සිටින දෙවිගේ සේවකයන් සම්බන්ධයෙන් තත්වය කුමක්ද? වර්ෂ 1914 සිට තම ආත්මික තේජසෙහි වසන මෙසියානු රජ වන යේසුස් ක්‍රිස්තුස්ව ‘දකින්ට’ එනම්, ඔහු ගැන වටහාගැනීමට යෙහෝවාගේ සෙනඟට හැකි වී තිබෙනවා. (ගීතාවලිය 45:2; 118:22-26) ප්‍රතිඵලයක් හැටියට ඔවුන් පීඩාවෙන් සහ සාතන්ගේ දුෂ්ට ක්‍රමයේ බලයෙන් මිදීම අද්දැක තිබෙනවා. සියොන් එනම් දෙවිගේ රාජ්‍යය යටතේ ඔවුන් සැබෑ ආත්මික සුරක්ෂිතභාවය භුක්ති විඳිනවා.

17. (අ) සියොන් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු මොනවාද? (ආ) යෙහෝවාගේ සියොන් පිළිබඳ පොරොන්දු, මෙසියානු රාජ්‍යය සහ පොළොවේ සිටින ඊට සහයෝගය දෙන්නන් සම්බන්ධයෙන් ඉටු වන්නේ කෙසේද?

17 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය. එසේය, එහි [යෙහෝවා] මහිමයෙන් යුක්තව අප සමග [වන්නේය], එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය; හබල්වලින් පදින නැවක් එහි නොයන්නේය, මහ නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය.” (යෙසායා 33:20, 21) දෙවිගේ මෙසියානු රාජ්‍යය උදුරා දමන්ටවත් විනාශ කරන්ටවත් බැරි බවට යෙසායා සහතික වෙනවා. තවදුරටත්, පොළොව මත සිටින එම රාජ්‍යයට සහයෝගය දෙන, වර්තමාන ඇදහිලිවන්තයන්ටත් ආරක්ෂාව ලැබෙන්ට යනවා. ඇදහිලිවන්තයන් බොහෝදෙනෙකුව පෞද්ගලිකවම දැඩි පීඩනයට ලක් කළත්, දෙවිගේ රාජ්‍යයේ යටත් වැසියන්ව සමූහයක් වශයෙන් විනාශ කර දැමීමට දරන කිසිම උත්සාහයක් සාර්ථක වන්නේ නැති බව සහතික කර තිබෙනවා. (යෙසායා 54:17) පස් කණ්ඩියක් හෝ වතුර ඇළක් නුවරක් වටේ තිබෙද්දී ලැබෙන ආරක්ෂාව වගේ යෙහෝවා තම සෙනඟව රැකගන්නවා. ඔවුන්ට විරුද්ධව සිටින කිසිම සතුරෙක් එනම් “හබල්වලින් පදින නැවක්” තියා ‘මහා නෞකාවක්වත්’ සාර්ථක වෙන්ට යන්නේ නැහැ. ඔවුන් විනාශ වෙන්ට යනවා!

18. යෙහෝවා භාරගන්නා වගකීම කුමක්ද?

18 දෙවිගේ රාජ්‍යයට ප්‍රේම කරන්නන් දිව්‍ය ප්‍රඥාව ගැන එතරම් නිසැකභාවයෙන් සිටින්නේ මන්ද? ඊට හේතුව යෙසායා පැහැදිලි කරනවා. ‘මක්නිසාද යෙහෝවාම අපේ විනිශ්චයකාරයාය, යෙහෝවා අපේ නීතිදායකයාය, යෙහෝවා අපේ රජය; ඔහුම අප ගළවන්නේය.’ (යෙසායා 33:22) ශ්‍රේෂ්ඨ පරමාධිපති ලෙස යෙහෝවාව පිළිගන්නාවූ සෙනඟව ආරක්ෂා කිරීම සහ මඟ පෙන්වීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම යෙහෝවා භාරගන්නවා. යෙහෝවාට නීති රීති හදන්ට පමණක් නොව ඒවා පනවන්ටත් බලතල ඇති බව පිළිගනිමින්, මෙසියානු රජු යටතේ වූ යෙහෝවාගේ පාලන ක්‍රමයට මේ අය කැමැත්තෙන්ම යටත් වෙනවා. කෙසේවෙතත්, යෙහෝවා ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රේමකරන්නෙක් නිසා ඔහුගේ පුත්‍රයාගේ පාලනය ඔහුගේ නමස්කාරකයන්ට බරක් නෙවෙයි. එසේ වෙනවා වෙනුවට, එම බලතලවලට යටත් වීමෙන් ඔවුන් පෞද්ගලික ‘ප්‍රයෝජන ලබනවා.’ (යෙසායා 48:17) ඔහු කිසිදාක තමන්ට පක්ෂපාත අයව නොසලකා හරින්නේ නැහැ.—ගීතාවලිය 37:28.

19. යෙහෝවාගේ ඇදහිලිවන්තයන්ගේ සතුරන් අසාර්ථක වෙන්ට යන බව යෙසායා පැහැදිලි කරන්නේ කෙසේද?

19 යෙහෝවාගේ ඇදහිලිවන්ත සෙනඟගේ සතුරන්ට යෙහෝවා මෙසේ කියනවා. “නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය; කොරුත් කොල්ලය ගත්තෝය.” (යෙසායා 33:23) යෙහෝවා වෙත ළඟා වෙන සතුරන් අසාර්ථක, කරකියාගත නොහැකි තත්වයට පත් වෙන්ට යනවා. ඔවුන් හරියට බුරුල් වූ යොත් සහ සෙලවෙන කුඹ ගසක් ඇති එමෙන්ම රුවලක් නැති යුධ නැවක් වගෙයි. දෙවිගේ සතුරන්ගේ විනාශය කොතරම් මහත්ද කියනවා නම් ශාරීරික ආබාධ තිබෙන අය පවා කොල්ලය එකතු කරන්ට යනවා. පැමිණෙන්නාවූ ‘මහත් පීඩාවේදී’ යෙහෝවා යේසුස් ක්‍රිස්තුස් රජ මගින් තම සතුරන්ව පරාජය කරන්ට යන බවට නිසැක වෙන්ට අපිට හැකියි.—එළිදරව් 7:14.

සුවයක්

20. දෙවිගේ සෙනඟ අද්දකින්ට යන්නේ කුමනාකාරයේ සුවයක්ද? එමෙන්ම ඒ කවදාද?

20 යෙසායාගේ අනාවැකියේ මේ කොටස හද උණුසුම් කරන පොරොන්දුවකින් අවසන් වෙනවා. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු ලබන්නේය.” (යෙසායා 33:24) යෙසායා මෙහි කතා කරන ලෙඩ මූලිකව ආත්මික ආකාරයේ ඒවායි. මන්ද එය පාපය හෝ “අයුතුකම” සමඟ සම්බන්ධ කර තිබෙනවා. මේ වචනවල මුල් ඉටුවීමේදී, බබිලෝනියේ වහල්භාවයෙන් ජාතිය මිදුණු පසු ඔවුන් ආත්මික ආකාරයෙන් සුව වන බවට යෙහෝවා පොරොන්දු වෙනවා. (යෙසායා 35:5, 6; යෙරෙමියා 33:6; සසඳන්න ගීතාවලිය 103:1-5.) තම අතීත පව්වලට සමාව ලබාගෙන නැවත පැමිණෙන යුදෙව්වන් යළිත් යෙරුසලමේ නිර්මල නමස්කාරය පිහිටුවනවා.

21. අදදින යෙහෝවාගේ සෙනඟ ආත්මික සුවය අද්දකින්නේ කුමන මාර්ගවලින්ද?

21 කෙසේවෙතත්, යෙසායාගේ අනාවැකියට නවීන දින ඉටුවීමක්ද තිබෙනවා. යෙහෝවාගේ සෙනඟ අදදින එවැනිම ආකාරයේ ආත්මික සුවයක් විඳ තිබෙනවා. ඔවුන් අමරණීය ආත්මය, ත්‍රිත්වය සහ නිරාගින්න වැනි බොරු ඉගැන්වීම්වලින් නිදහස් වී තිබෙනවා. එමෙන්ම, දුරාචාර පුරුදුවලින් වැළකී සිටීමට සහ නිවැරදි තීරණ ගැනීමට සදාචාර මඟ පෙන්වීම් ඔවුන්ට ලැබෙනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව හේතුකොටගෙන දෙවි ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක් තිබෙනවා පමණක් නොව, ඔවුන් පිරිසිදු හෘදය සාක්ෂියක්ද භුක්ති විඳිනවා. (කොලොස්සි 1:13, 14; 1 පේතෘස් 2:24; 1 යොහන් 4:10) මේ ආත්මික සුවය නිසා ශාරීරික ප්‍රයෝජනත් අත් වෙනවා. උදාහරණයක් හැටියට, ලිංගික දුරාචාරයෙන් සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලින් වැළකී සිටීම හේතුවෙන් ලිංගිකව බෝවෙන රෝගවලින් සහ සමහර පිළිකාවන්ගෙන් නිදහස්ව සිටින්ට ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙනවා.—1 කොරින්ති 6:18; 2 කොරින්ති 7:1.

22, 23. (අ) අනාගතයේදී යෙසායා 33:24 සඳහා ඇති විශාල ඉටුවීම කුමක්ද? (ආ) අද සිටින සැබෑ නමස්කාරකයන්ගේ අධිෂ්ඨානය කුමක්ද?

22 මීට අමතරව අර්මගෙදොනයෙන් පසු දෙවිගේ නව ලෝකයේදී යෙසායා 33:24හි විශාල ඉටුවීමක් තිබෙන්ට යනවා. මෙසියානු රජගේ පාලනය යටතේ මිනිසුන් ඔවුන්ගේ ආත්මික සුවය සමඟම උත්කෘෂ්ට ශාරීරික සුවයක්ද අද්දකින්ට යනවා. (එළිදරව් 21:3, 4) සාතන්ගේ මේ ක්‍රමයේ විනාශයත් සමඟම යේසුස් මේ පොළොව මත සිටියදී සිදු කළ ආකාරයේ ආශ්චර්යයන් ලෝක ව්‍යාප්ත පරිමාණයෙන් සිදු කරනවා. අන්ධ අයට පෙනීමද බිහිරි අයට ඇසීමද අබ්බගාත අයට ඇවිදීමේ හැකියාවද ලැබෙනවා! (යෙසායා 35:5, 6) මෙය, මහත් පීඩාවෙන් බේරෙන අයට පොළොව පාරාදීසයක් බවට පත් කිරීමේ මහත් වැඩයේ හවුල් වීමට ප්‍රස්තා සලසා දෙන්ට යනවා.

23 නැවත නැඟිටීම ආරම්භ වන විට, ඔවුන් නැඟිටින්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් ඇතුව බවට කිසිම සැකයක් නැහැ. එහෙත් මිදීමේ මිල පූජාවේ වටිනාකම පූර්ණ ආකාරයකින් අදාළ වන විට, මනුෂ්‍යයා සම්පූර්ණත්වයට පැමිණෙන තුරුම ශාරීරික ප්‍රයෝජන රාශියක් ඔවුන්ට අත් වෙන්ට යනවා. එවිට ධර්මිෂ්ඨ අය පූර්ණ අර්ථයෙන් ‘ජීවත් වෙන්ට’ යනවා. (එළිදරව් 20:5, 6) ඒ කාලයේදී ආත්මික සහ ශාරීරික දෙයාකාරයෙන්ම ‘තමන් ලෙඩින් කියා කිසි වැසියෙක් කියන්ට යන්නේ නැහැ.’ මොනතරම් සිතට කාවදින පොරොන්දුවක්ද! ඒ නිසා අද සිටින සියලුම සැබෑ නමස්කාරකයන් එහි ඉටුවීම අද්දකින අය අතර සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිත්වා!

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[344වන පිටුවේ පින්තූරය]

යෙසායා නිසැකකමින් යුතුව යෙහෝවාට යාච්ඤා කරනවා

[353වන පිටුවේ පින්තූර]

යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව හේතුකොටගෙන යෙහෝවාගේ සෙනඟට ඔහු ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක් තිබෙනවා

[354වන පිටුවේ පින්තූරය]

අලුත් ලෝකයේදී මහත් ශාරීරික සුවයක් ලැබෙන්ට යනවා