Skip to content

පටුනට යන්න

නූතන පණිවිඩයක් අත දරන පුරාණ අනාගතවක්තෘවරයෙක්

නූතන පණිවිඩයක් අත දරන පුරාණ අනාගතවක්තෘවරයෙක්

පළමුවන පරිච්ඡේදය

නූතන පණිවිඩයක් අත දරන පුරාණ අනාගතවක්තෘවරයෙක්

යෙසායා 1:1

1, 2. (අ) අදදින ලෝකය තුළ අප දකින දුක්ඛිත තත්වය කුමක්ද? (ආ) සමාජයේ පිරිහීම ගැන එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් අදහස් දක්වන්නේ කෙසේද?

 මනුෂ්‍යවර්ගයා අදදින මුහුණ පාන ගැටලුවලින් සහනයක් ලබන්ට අකමැති කවුද? කැමති වුණත් කී වතාවක් අපේ ආශාවන් බොඳ වී ගොස් තිබෙනවාද! සාමය ගැන අපි සිහින මැව්වත් යුද්ධය අපිට ශාපයක් වී තිබෙනවා. නීති රීතිවල පැවැත්ම අපි අගය කරනවා. එහෙත්, සොරකම්, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් වේගයෙන් ඉහළ යද්දී කිසිවක් කර කියාගත නොහැකිව අපි ඒ දෙස බලා සිටිනවා. අපේ අසල්වැසියන්ව විශ්වාස කරන්ට අපි කැමතියි. එහෙත්, අපේ ආරක්ෂාව සඳහා දොරගුල් දමන්ට අපිට සිද්ධ වෙනවා. අපි අපේ දරුවන්ට ආදරෙයි. ඒ වගේම, ඔවුන් තුළ වටිනා සාරධර්ම රෝපණය කරන්ට අපි වෑයම් කරනවා. එහෙත්, ඔවුන් තම තුල්‍යයන්ගේ අනිසි බලපෑමට යටත් වන ආකාරය අපි අසරණව බලා සිටිනවා.

2 මිනිසාගේ කෙටි ආයු කාලය “කරදරයෙන් පූර්ණ” එකක් බව සඳහන් කළ යෝබ් හා අප එකඟ වනවාට සැකයක් නැහැ. (යෝබ් 14:1) සමාජය වෙන කවරදාකටත් වඩා මහා පරිමාණයෙන් පිරිහීමක් අද්දකිද්දී ඉහත කරුණ සැබෑවක් බව අද හොඳින් පෙනී යනවා. මේ ගැන එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් මෙසේ නිරීක්ෂණය කළා. “ශීත යුද්ධය දැන් ඉවරයි. ඒත්, ලෝකය දැන් වාර්ගික, ගෝත්‍රික සහ ආගමික පළිගැනීමේ සහ සැහැසියාවේ තෝතැන්නක් බවට පත් වෙලා තියෙන්නේ ඛේදනීය ආකාරයටයි. . . . අපේ තරුණයන් බොහෝදෙනෙකු ව්‍යාකූල වෙලා. අධෛර්යයට පත් වෙලා. මහත් අමාරුවක වැටිලා. එහෙම වෙලා තියෙන්නේ අපි අපේ සදාචාර ප්‍රමිති බාල කර තියෙන හින්දයි. අද අපි අද්දකිමින් සිටින්නේ දෙමාපිය නොසැලකිල්ල, දික්කසාද, ළමා අපචාර, බාල වයස්කාර යුවතියන්ගේ ගැබ්ගැනීම්, පාසැල්වලින් කට්ටි පැනීම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ සැහැසියාවෙන් පිරි මංමාවත් යනාදියේ දරුණු ප්‍රතිවිපාකයි. ඒක හරියට, අපේ ගෙය ශීත යුද්ධය කියන දරුණු භූමිකම්පාවෙන් බේරුණාට පස්සේ වේයෝ ගැහුවා වගේ වැඩක්.”

3. අනාගතය ගැන විශේෂයෙන්ම බලාපොරොත්තුවක් සපයන්නේ බයිබලයේ කිනම් පොතද?

3 කෙසේවෙතත්, අපිව අඳුරේ තබා නැහැ. දැනට අවුරුදු 2,700කට පමණ පෙර, අපේ කාලයට විශේෂ අදාළ වීමක් ඇති අනාවැකි මාලාවක් ප්‍රකාශ කිරීමට මැද පෙරදිග සිටි මිනිසෙකුට දෙවිගේ ආනුභාවය ලැබුණා. එම අනාගතවක්තෘගේම නාමය දරන බයිබලයේ ඇති පොතක එම පණිවිඩ වාර්තා කර තිබෙනවා. ඔහුගේ නම යෙසායා. ඔහු කවුද? දැනට අවුරුදු තුන්දහසකට පමණ පෙර ඔහු පළ කළ අනාවැකි අද සිටින සියලු මනුෂ්‍යවර්ගයා සඳහා ඥානාලෝකයක් ලබා දෙනවා කියා කිව හැක්කේ මන්ද?

කැලඹුණු කාලයක විසූ ධර්මිෂ්ඨ මිනිසෙක්

4. යෙසායා කියන්නේ කවුද? ඔහු යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළේ කුමන කාලයේදීද?

4 තමා ‘ආමොස්ගේ පුත්‍රයා’ බව යෙසායා තම පොතේ මුල් පදයෙන්ම හඳුන්වා දෙනවා. * එමෙන්ම, තමා “යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී” දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළ බවද ඔහු අපට දන්වනවා. (යෙසායා 1:1) යෙසායා යූදා ජාතිය උදෙසා දෙවිගේ අනාගතවක්තෘවරයා ලෙස අවුරුදු 46කට නොඅඩු කාලයක් සේවය කළ බව මෙයින් අදහස් කරන අතර, පෙනෙන විදිහට පො.යු.පෙ. 778දී පමණ උස්සියාගේ පාලනය අවසානයේදී තම සේවය ආරම්භ කරන්ට ඇති බව සිතිය හැකියි.

5, 6. යෙසායාගේ පවුල් ජීවිතය ගැන කුමක් කිව හැකිද? එසේ කිව හැක්කේ මන්ද?

5 අනිත් අනාගතවක්තෲන් ගැන අප දන්නා දේ සමඟ සසඳද්දී යෙසායාගේ පෞද්ගලික ජීවිතය ගැන අපි දන්නේ ටිකයි. ඔහු විවාහකයෙක් බවත් තම බිරිඳව ‘අනාගතවක්තෘවරිය’ ලෙස හඳුන්වා දෙන බවත් අපි දන්නවා. (යෙසායා 8:3) ම’ක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ ශුද්ධ ලියවිලිමය, දේවධර්මානුකූල සහ විනයානුගත ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ගේ විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) කියන විදිහට, ඇගේ තනතුර යෙසායාගේ විවාහ ජීවිතය ගැන යමක් අඟවනවා. ඒ තමයි “ඔහුගේ දිව්‍ය වෘත්තිය ඇගේ තනතුර සමඟ එකිනෙක ගැළපුණා පමණක් නොව, ඔවුන්ගේ විවාහ ජීවිතය සමඟද එය අත්වැල් බැඳගෙන තිබුණා” යන්නයි. පුරාණ ඉශ්‍රායෙලයේ සිටි සමහර දේවභක්තික ස්ත්‍රීන්ට මෙන්, යෙසායාගේ බිරිඳටත් අනාගතවක්තෘවරියක් ලෙස පැවරුමක් ලැබී තිබුණු බව පැවසිය හැකියි.—විනිශ්චයකාරයන් 4:4; 2 රාජාවලිය 22:14.

6 යෙසායා සහ ඔහුගේ බිරිඳට අඩුම තරමින් පුතුන් දෙදෙනෙකුවත් සිටින්ට ඇති. එමෙන්ම ඔවුන්ට අනාවැකිමය අර්ථයක් ඇති නම් තබා තිබුණා. යෙසායා දුෂ්ට රජ වූ ආහාස්ට දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන්ට යන විට, තම කුලුඳුලා වූ ෂෙයාර්-යාෂුබ්වත් ඔහු කැටුව ගියා. (යෙසායා 7:3) යෙසායා සහ ඔහුගේ බිරිඳ දෙවිගේ නමස්කාරය පවුලේ කොටසක් කරගත් බව පැහැදිලියි. එය අදදින සිටින විවාහකයන්ට මහඟු ආදර්ශයක්!

7. යෙසායාගේ දවසේදී යූදාහි තත්වය විස්තර කරන්න.

7 යෙසායා සහ ඔහුගේ පවුල ජීවත් වූයේ, යූදා ඉතිහාසයේ කැලඹිලිකාර අවධියකයි. දේශපාලනික නොසන්සුන්බව පොදුවේ පැවති අතර, අල්ලස් දීම් මගින් නඩු අසන තැන් දූෂ්‍ය වී තිබුණා. එමෙන්ම, කුහකකම හේතුවෙන් සමාජයේ ආගමික ව්‍යූහය ඉරි තැළී තිබුණා. බොරු දෙවිවරුන්ට සෑදූ පූජාසනවලින් කඳු මුදුන් වැසී තිබුණා. සමහර රජවරුන් මිථ්‍යා දෘෂ්ටික නමස්කාරයට පවා අනුබල දුන්නා. උදාහරණයක් හැටියට, ආහාස් තම යටත්වැසියන්ට රූප වන්දනා කිරීමට ඉඩහැරියා පමණක් නොව, ඔහුම පවා එහි යෙදෙමින්, තම දරුවන්ව ‘ගිනි මැදින් යවා’ කානානීය දෙවි වූ මොලෙක්ට චාරිත්‍රානුකූල බිලි පූජා පැවැත්වීමේ නිරත වුණා. * (2 රාජාවලිය 16:3, 4; 2 ලේකම් 28:3, 4) මේ සෑම දෙයක්ම සිදු වූයේ, යෙහෝවා සමඟ ගිවිසුමකින් බැඳී සිටි සෙනඟක් අතරයි!—නික්මයාම 19:5-8.

8. (අ) උස්සියා සහ යෝතාම් යන රජවරුන් තැබූ ආදර්ශය කුමක්ද? සෙනඟ ඔවුන්ගේ නායකත්වයට යටත් වුණාද? (ආ) කැරලිකාර සෙනඟක් මධ්‍යයේ යෙසායා තම නිර්භීතකම පෙන්වූයේ කෙසේද?

8 කෙසේවෙතත්, පාලකයන් කිහිපදෙනෙකු ඇතුළු යෙසායාගේ සමකාලීනයන් සමහරෙක් නිර්මල නමස්කාරය පතුරුවන්ට වෑයම් කිරීම ප්‍රශංසාත්මක දෙයක්. “[යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු දේ” කළ උස්සියා රජු ඔවුන්ගෙන් කෙනෙක්. කොහොම වුණත්, ඔහුගේ පාලන සමයේදී, ජනතාව ‘උස් තැන්වල පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය දවනු ලැබුවා.’ (2 රාජාවලිය 15:3, 4) යෝතාම්ද “[යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු දේ [කළා].” ඒ වුණත්, “සෙනඟ දුෂ්ටකම් [කළා].” (2 ලේකම් 27:2) ඔව්, යෙසායා අනාවැකි ප්‍රකාශ කළ සේවා කාලයෙන් වැඩිහරියක් තුළ යූදා රාජ්‍යය පැවතුණේ ආත්මික සහ සදාචාරමය වශයෙන් ඛේදනීය තත්වයකයි. සමස්තයක් හැටියට, සෙනඟ තමන්ගේ රජවරුන්ගෙන් පැමිණි ඕනෑම ඒකාන්ත බලපෑමකට පිටුපෑවා. දෙවිගේ පණිවිඩ මේ හිතුවක්කාර සෙනඟට ප්‍රකාශ කිරීම ලෙහෙසි පහසු පැවරුමක් නොවන බව තේරුම්ගැනීම අමාරු නැහැ. කෙසේවෙතත්, “මම යවන්නේ කාවද? අප උදෙසා යන්නේ කවුද?” කියා යෙහෝවා ප්‍රශ්න කරද්දී යෙසායා පසුබට වුණාද? නැහැ. ඒ වෙනුවට යෙසායා මෙසේ හඬනඟා ප්‍රකාශ කළා. “මෙන්න මම මෙහිය! මා යවන්න!”—යෙසායා 6:8, NW.

ගැළවීමේ පණිවිඩයක්

9. යෙසායාගේ නමේ අර්ථය කුමක්ද? ඔහුගේ පොතේ තේමාවට මෙය සම්බන්ධ වන්නේ කෙසේද?

9 “යෙහෝවා දෙන ගැළවීම” යෙසායාගේ නමේ අර්ථයයි. ඔහුගේ පණිවිඩයේ තේමාව එය බව පැහැදිලිවම කිව හැකියි. යෙසායාගේ සමහර අනාවැකි විනිශ්චයන් හා සම්බන්ධ බව ඇත්තයි. ඒ වුණත්, ගැළවීම යන තේමාව පැහැදිලිවම දකින්ට පුළුවන්. යෙහෝවාගේ නියමිත කාලයේදී බබිලෝනියේ වහල්භාවයෙන් ඉශ්‍රායෙල්වරුන්ව මුදාගන්නේ කෙසේද යන්නත් ඒ සෙනඟගෙන් කොටසක් සියොන වෙත ගොස් දේශය පෙර තේජසට පත් කරන ආකාරය ගැනත් යෙසායා නැවත නැවතත් ප්‍රකාශ කළා. තමා ආදරය කළ යෙරුසලමේ යළි පිහිටුවීම ගැන අනාවැකි ප්‍රකාශ කිරීමෙත්, ලිවීමෙත් වරප්‍රසාදය යෙසායාට මහත් ප්‍රීතියක් ගෙනා බවට කිසිම සැකයක් නැහැ!

10, 11. (අ) අදදින සිටින අපට යෙසායාගේ පොත එතරම් සිත්ගන්නේ මන්ද? (ආ) යෙසායාගේ පොත, මෙසියස් වෙත කෙළින්ම අවධානය යොමු කරවන්නේ කෙසේද?

10 එහෙත් මේ විනිශ්චය සහ ගැළවීම පිළිබඳ පණිවිඩවලින් අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද? යෙසායා මේ අනාවැකිය ලියන්නේ යූදාහි තිබූ ගෝත්‍ර දෙකේ රාජ්‍යයේ ප්‍රයෝජනය සඳහාම පමණක් නොවීම ගැන අපිට සතුටු විය හැකියි. එහි අපේ කාලය සඳහාද විශේෂ අදාළත්වයක් තිබෙනවා. දෙවිගේ රාජ්‍යය ඉතා නුදුරු අනාගතයේදී පොළොවට ගෙනෙන්ට යන මහත් ආශීර්වාද පිළිබඳ අලංකාර චිත්‍රයක් යෙසායා සිත්තම් කරනවා. මේ අනුව බලද්දී යෙසායාගේ ලියවිල්ලෙන් වැඩි කොටසක් දෙවිගේ රාජ්‍යයේ රජ ලෙස පාලනය කරන්ට යන පුරෝකථනය කළ මෙසියස්ට යොමු දක්වන බව පෙනෙනවා. (දානියෙල් 9:25; යොහන් 12:41) යේසුස් යන නමේ අර්ථය “යෙහෝවා දෙන ගැළවීම” යන්නයි. යේසුස් සහ යෙසායා යන නම් හරියටම එකම අදහස ප්‍රකාශ කිරීම නිසැකවම අහම්බෙන් සිදු වූ දෙයක් නම් නෙවෙයි.

11 යේසුස් ඉපදුණේ යෙසායාගේ කාලයේ සිට සියවස් හතකට පමණ පසුව බව ඇත්තයි. ඒ වුණත්, යෙසායාගේ පොතේ අඩංගු මෙසියානු පොරොන්දු ඉතා සවිස්තරයි. ඉතා නිවැරදියි. මිහිපිට යේසුස් ගත කළ ජීවිතය ඇසින් දුටුවා හා සමානව එය ලියා තිබෙනවා. මේ හේතුවෙන්, යෙසායාගේ පොත ඇතැම් අවස්ථාවල “පස්වන සුවිශේෂය” ලෙසද හඳුන්වා ඇතැයි එක් මූලාශ්‍රයක් සඳහන් කරනවා. මෙසේ බලන කල, මෙසියස්ගේ අනන්‍යතාව පැහැදිලිව දැක්වීම සඳහා යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් නිතර නිතර උපුටා දැක්වූ බයිබල් පොත යෙසායාගේ පොත වීම පුදුමයට කරුණක් නෙවෙයි.

12. යෙසායාගේ පොත අධ්‍යයනය කිරීම සඳහා අපි දැඩි උනන්දුවක් දැක්විය යුත්තේ මන්ද?

12 ‘ධර්මිෂ්ඨකමින් රජකම් කරන රජෙක්’ සහ යුක්තිසහගත පාලනයක් ගෙනයන අධිපතීන් සිටින “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන යෙසායා දර්ශනීය විස්තරයක් සපයනවා. (යෙසායා 32:1, 2; 65:17, 18; 2 පේතෘස් 3:13) මෙසේ, සිංහාසනාරූඪ වූ රජු හැටියට මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස් යටතේ පවතින දෙවිගේ රාජ්‍යය පිළිබඳ හද උණුසුම් කරවන බලාපොරොත්තුව වෙත යෙසායාගේ පොත යොමු දක්වනවා. දවසක් දවසක් පාසා ‘යෙහෝවාගෙන් වූ ගැළවීම’ පිළිබඳ ප්‍රීතිමත් අපේක්ෂාව ඇතුව ජීවත් වීමට ලැබීම අපට මොනතරම් දිරිගැන්වීමක්ද! (යෙසායා 25:9; 40:28-31) ඒ නිසා, යෙසායාගේ පොතේ ඇති අනර්ඝ පණිවිඩය අපි මහත් උනන්දුවෙන් පරීක්ෂා කරමු. එසේ කරද්දී, දෙවිගේ පොරොන්දු කෙරෙහි අපිට ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් වෙන්ට යනවා. එපමණක්ද නොව, යෙහෝවා ඇත්තෙන්ම අපගේ ගැළවීමේ දෙවි බවට වූ විශ්වාසය වැඩි කරගන්ට එය අපිට උපකාර කරනවා.

[පාදසටහන්වල]

^ උස්සියාගේ පාලනය ආරම්භයේදී අනාවැකි පළ කළ, තම නාමය දරන පොතේ ලේඛකයා වූ ආමොස් සමඟ යෙසායාගේ පියා වූ ආමොස්ව පටලවා නොගත යුතුයි.

^ ‘ගිනි මැදින් යැවීම’ යන්නෙන් හුදෙක් පවිත්‍ර කිරීමේ මංගල්‍යයක් ඇඟවිය හැකි බව සමහරුන් කියනවා. කෙසේවෙතත්, මෙහි පද සම්බන්ධය දෙස බලද්දී එම කියමනෙන් අඟවන්නේ සැබෑ පූජාවක් බව පෙනෙනවා. කානානියවරුන් සහ ඇදහිල්ල අත්හළ ඉශ්‍රායෙල්වරුන් ළදරුවන්ව පූජා කළ බවට සැකයක් නැහැ.—ද්විතීය කථාව 12:31; ගීතාවලිය 106:37, 38.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

යෙසායා කවරෙකු වීද?

නමේ අර්ථය: “යෙහෝවා දෙන ගැළවීම”

පවුල: විවාහකයි. අඩුම තරමින් පුත්‍රයන් දෙදෙනෙකුවත් සිටියා

පදිංචිය: යෙරුසලම

සේවයේ යෙදුණු අවුරුදු ගණන: පො.යු.පෙ. 778 පමණ සිට පො.යු.පෙ. 732 පසු වන තුරු අවුරුදු 46කට නොඅඩු කාලයක්

යූදාහි සමකාලීන රජවරු: උස්සියා, යෝතාම්, ආහාස්, හෙසකියා

සමකාලීන අනාගතවක්තෘවරු: මීකා, හොෂෙයා, ඕදෙද්

[6වන පිටුවේ පින්තූරය]

යෙසායා සහ ඔහුගේ බිරිඳ පවුලක් වශයෙන් දෙවිගේ නමස්කාරයෙහි හවුල් වුණා