Skip to content

පටුනට යන්න

පාරාදීසය යළි පිහිටුවයි!

පාරාදීසය යළි පිහිටුවයි!

විසිඅටවන පරිච්ඡේදය

පාරාදීසය යළි පිහිටුවයි!

යෙසායා 35:1-10

1. අද තිබෙන බොහෝ ආගම් මොනයම් ආකාරයක හෝ පාරාදීසයක ජීවත් වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඉදිරිපත් කරන්නේ මන්ද?

 “මනුෂ්‍යවර්ගයා සතු ආශාවන් අතරින් බලවත්ම එකක් වන්නේ පාරාදීසයක ජීවත් වීමයි. එය සියල්ල අතරින් ප්‍රබලම සහ දිගු කාලයක් පුරා පැවති ආශාව විය හැකියි. අධ්‍යාත්මික ජීවිතයේ ඕනෑම මට්ටමක ජීවත්වන්නෙකු තුළ පාරාදීසයක ජීවත් වීමේ දැඩි ආශාවක් යම් ආකාරයකින් හෝ පැහැදිලි වේ.” එසේ පවසන්නේ, ආගම් පිළිබඳ විශ්වකෝෂයයි (ඉංග්‍රීසියෙන්). එවැනි ආශාවක් ස්වාභාවිකයි. බයිබලයේ කියන්නේත් මිනිස් ජීවිතය ඇරඹුණේ ලෙඩ සහ මරණයෙන් තොර ලස්සන පාරාදීස උද්‍යානයක බවයි. (උත්පත්ති 2:8-15) එසේනම් ලෝකයේ බොහෝ ආගමික ඉගැන්වීම්වල මොනයම් ආකාරයක හෝ අනාගත පාරාදීසයක ජීවත් වීමේ බලාපොරොත්තුවක් ගැබ්ව තිබීම පුදුම වීමට හේතුවක් නෙවෙයි.

2. අනාගත පාරාදීසයක් පිළිබඳ සැබෑ බලාපොරොත්තුවක් අපිට ඇති කරගත හැක්කේ කොහෙන්ද?

2 අනාගත පාරාදීසය පිළිබඳ සැබෑ බලාපොරොත්තුව ගැන බයිබලයේ බොහෝ ස්ථානවල අපට කියවීමට හැකියි. (යෙසායා 51:3) උදාහරණයක් හැටියට යෙසායා 35වන පරිච්ඡේදයේ කොටසක පුරෝකථනය කරන්නේ වනාන්තර ප්‍රදේශයක් උද්‍යාන සහ පලතුරු වතු බවට හැරෙන ආකාරය ගැනයි. අන්ධ අයට පෙනීම ලැබීමත්, ගොළු අයට කතා කිරීමට හැකිවීමත්, බිහිරි අයට ඇසීමට ලැබීමත් ගැන එහි කතා කරනවා. මේ පොරොන්දු වූ පාරාදීසය තුළ දුකක් හෝ සුසුම්ලෑමක් නැතිවීමෙන් අඟවන්නේ මරණය පවා නැති වන බවයි. එය මොනතරම් මවිතාකාර පොරොන්දුවක්ද! මේ අනාවැකි අප තේරුම්ගත යුත්තේ කෙලෙසද? ඒවායින් අප තුළ අදදින බලාපොරොත්තුවක් ඇති කරනවාද? යෙසායා පොතේ මේ පරිච්ඡේදය සලකා බැලීමෙන් එම ප්‍රශ්නවලට උත්තර ලබාගත හැකියි.

පාළු දේශයක් ගී ගයයි

3. යෙසායාගේ අනාවැකියට අනුව, දේශයට සිදු වන්ට යන වෙනස කුමක්ද?

3 පාරාදීසය යළි පිහිටුවීම ගැන යෙසායාගේ අනාවැකිය ඇරඹෙන්නේ මෙම වචනවලින්. “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය. සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහොසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු [යෙහෝවාගේ] තේජසද අපේ [දෙවිගේ] අලංකාරකමද දකින්නෝය.”—යෙසායා 35:1, 2.

4. යුදෙව්වන්ගේ මව්බිමේ පෙනුම කාන්තාරයක් බඳු වෙන්නේ කවදාද? කෙසේද?

4 යෙසායා පො.යු.පෙ. 732දී පමණ මේ වචන ලියනු ලැබුවා. එතැන් සිට අවුරුදු 125ක් පමණ ගත වූ පසු, බබිලෝනිය විසින් යෙරුසලම විනාශ කර, යූදාවරුන්ව වහල්භාවයට ගෙන යනවා. ඔවුන්ගේ මව්බිම පාළුවටත්, ජනශූන්‍යභාවයටත් පැමිණෙනවා. (2 රාජාවලිය 25:8-11, 21-26) ඉශ්‍රායෙල් ජනයා යෙහෝවා ඉදිරියේ නොඇදහිලිකාර ලෙස ක්‍රියා කළොත්, ඔවුන් වහල්භාවයට යනවා ඇතැයි කියා යෙහෝවා කළ අනතුරු ඇඟවීම මේ ආකාරයට ඉෂ්ට වෙනවා. (ද්විතීය කථාව 28:15, 36, 37; 1 රාජාවලිය 9:6-8) මෙසේ හෙබ්‍රෙව් වැසියන් විදේශ රටක වහලුන් බවට පත්වීම හේතුවෙන් ඔවුන්ගේ සශ්‍රීකව වැඩුණු වගා බිම් සහ පලතුරු වතු අවුරුදු 70කට නොසලකා හැරුණු අතර, ඒවා කැලෑවට ගියා.—යෙසායා 64:10; යෙරෙමියා 4:23-27; 9:10-12.

5. (අ) දේශයේ පාරාදීසමය තත්වයක් යළි පිහිටුවන්නේ කෙසේද? (ආ) ජනයා ‘යෙහෝවාගේ තේජස දකින්නේ’ කිනම් ආකාරයෙන්ද?

5 කෙසේවෙතත් යෙසායාගේ අනාවැකිය පවසන්නේ දේශය සෑමදාම පාළුව තිබෙන්ට යන්නේ නැති බවයි. එය සැබෑ පාරාදීසයක් බවට යළි පිහිටුවන්ට යනවා. “ලෙබනොන්හි තේජස” මෙන්ම “කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත්” ඊට දෙන්ට යනවා. * ඒ කෙසේද? වහල්භාවයෙන් මිදී ආපසු පැමිණීමෙන් පසු, තමන්ගේ භූමිය වගා කර දේශයේ පෙර තිබූ පූර්ණත්වය යළිත් ලබාගැනීමට ඔවුන්ට හැකි වෙනවා. මේ සඳහා ගෞරවය යා යුත්තේ යෙහෝවාටයි. යුදෙව්වන්ට එවන් පාරාදීසමය තත්වයක් භුක්ති විඳින්ට ලැබෙන්නේ දෙවිගේ කැමැත්තත්, උපකාරය සහ ආශීර්වාදයත් නිසයි. සෙනඟ ඔවුන්ගේ දේශයෙහි සිදු වන මෙම මහත් විපර්යාසය යෙහෝවාගේ හස්තය නිසා සිදු වන බව වටහාගත් විටයි ‘යෙහෝවාගේ තේජසත් ඔවුන්ගේ දෙවිගේ අලංකාරකමත්’ ඔවුන් දකින්ට යන්නේ.

6. යෙසායාගේ වචනවල කිනම් වැදගත් ඉටුවීමක්ද දක්නට තිබෙන්නේ?

6 කෙසේවෙතත්, යළි පිහිටෙවූ ඉශ්‍රායෙල් දේශය තුළ යෙසායාගේ වචනවල වඩා වැදගත් ඉටුවීමක් තිබෙන්ට යනවා. ආත්මික ආකාරයකින් ඉශ්‍රායෙලය අවුරුදු ගණනාවකට පැවතුණේ වියළි කාන්තාරයක් බඳු තත්වයකයි. වහලුන් බබිලෝනියේ සිටියදී පවිත්‍ර නමස්කාරයට එරෙහිව බොහෝ වැට කඩොලු තිබුණා. ඔවුන්ට දේවමාළිගාවක් තිබුණේ නැහැ. පූජාසනයක් වගේම ක්‍රමවත් පූජක තන්ත්‍රයක් තිබුණෙත් නැහැ. දෛනික පූජාවන් ඇණහිට තිබුණා. එහෙත් දැන් යෙසායා අනාවැකි පළ කරන්නේ ඊට වෙනස් තත්වයක් ගැනයි. සෙරුබ්බාබෙල්, එස්රා සහ නෙහෙමියා වැනි අයගේ නායකත්වය යටතේ ගෝත්‍ර දොළහේ නියෝජිතයන් නැවත යෙරුසලමට ගොස් දේවමාළිගාව ගොඩනඟා යෙහෝවාට නිදහසේ නමස්කාර කරනවා. (එස්රා 2:1, 2) එවැනි තත්වයක් සැබවින්ම ආත්මික අතින් පාරාදීසයක්මයි!

ආත්මයෙන් බබළමින්

7, 8. යුදෙව් වහලුන්ට ඒකාන්ත ආකල්පයක් අවශ්‍ය වන්නේ මන්ද? යෙසායාගේ වචන දිරිගැන්වීම සපයන්නේ කෙසේද?

7 යෙසායා 35වන පරිච්ඡේදය තුළ මහත් ප්‍රීතියක් ගැබ් වී තිබෙනවා. පසුතැවිලි වූ ජාතිය අද්දකින්ට යන දීප්තිමත් අනාගතයක් ගැන අනාගතවක්තෘවරයා ප්‍රකාශ කරනවා. ඒ හඬට ස්ථිර විශ්වාසයක් සහ ඒකාන්තභාවයක් මුසු වී තිබෙනවා. සියවස් දෙකකට පසු යළි පිහිටුවීම අබියස සිටින යුදෙව් වහලුන්ටද ඒ ආකාරයේම ස්ථිර විශ්වාසයක් සහ ඒකාන්තභාවයක් අවශ්‍ය වෙනවා. යෙහෝවා යෙසායා තුළින් අනාවැකිමය ලෙස ඔවුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටිනවා. ‘බෙලහීන අත් බලවත් කර, වෙවුලන දණහිස් සවි කරන්න. භය සිත් ඇත්තන්ට කතා කොට: භය නොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවි පළිගැනීම වන දෙවිගේ විපාක දීම ඇතුව එන්නේය; ඔහුම ඇවිත් නුඹලා ගළවන්නේයයි කියන්න.’—යෙසායා 35:3, 4.

8 දිගු වහල් කාලපරිච්ඡේදයේ අවසානය ක්‍රියාශීලී වැඩකටයුතු සඳහා ආරම්භයක් වී තිබෙනවා. බබිලෝනියට විරුද්ධව යෙහෝවාගේ උදහසේ අතකොළුව වූ පර්සියාවේ කෝරෙෂ් රජ, යෙරුසලමට ගොස් යෙහෝවාගේ නමස්කාරය යළි පිහිටුවීමට අණ කර තිබෙනවා. (2 ලේකම් 36:22, 23) බබිලෝනියේ සිට යෙරුසලම දක්වා වූ මේ අනතුරුදායක ගමන යෑම සඳහා දහස් ගණන් හෙබ්‍රෙව් පවුල්වලට තමන්ගේ කටයුතු සංවිධානය කරගන්ට සිදු වෙනවා. ඔවුන් එහි පැමිණි විගස, තාවකාලික නිවාස පහසුකම් මෙන්ම දේවමාළිගාව සහ නුවර නැවත ගොඩනැඟීමේ දැවැන්ත කාර්යය සඳහා සූදානම් වීමට අවශ්‍යව තිබෙනවා. බබිලෝනියේ සිටින සමහර යුදෙව්වන්ට නම් මේ හැම දෙයක් ගැනම සිතද්දී එය අධෛර්යයට හේතුවක් වන්ට ඇති. කෙසේවෙතත්, එය දුර්වල වීමටවත් පසුබට වීමටවත් කාලය නෙවෙයි. යුදෙව්වන් එකිනෙකාව දිරිගන්වමින් යෙහෝවා මත විශ්වාසය තැබිය යුතුයි. ඔවුන් ආරක්ෂා වෙන බවට ඔහු සහතික කරනවා.

9. නැවත පැමිණෙන යුදෙව්වන්ට දී ඇති විශිෂ්ට පොරොන්දුව කුමක්ද?

9 යෙරුසලමට යළි පැමිණීමත් සමඟම, විශිෂ්ට අනාගතයක් ඔවුන් ඉදිරියේ අතුරා තිබෙන නිසා, ප්‍රීතියෙන් උද්දාමයට පත්වීමට බබිලෝනියේ වහල්භාවයෙන් මිදුණු අයට හොඳ හේතු තිබෙනවා. ඒ ගැන යෙසායා පුරෝකථනය කරන්නේ මෙසේයි. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.”—යෙසායා 35:5, 6අ.

10, 11. නැවත පැමිණෙන යුදෙව්වන්ට යෙසායාගේ වචනවල ආත්මික අර්ථයක් තිබිය යුත්තේ මන්ද? එමෙන්ම ඒවායින් අඟවන්නේ කුමක්ද?

10 මෙමගින් යෙහෝවාගේ මනසේ තම සෙනඟගේ ආත්මික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් තිබෙන බව පෙනෙන්ට යනවා. ඔවුන් අතීතයේදී ඇදහිල්ල අත්හැර යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනටමත් අවුරුදු 70ක වහල් ජීවිතයකින් දඬුවම් විඳ තිබෙනවා. ඒ වුණත්, ඔහු තම සෙනඟව හික්මවන විට, ඔවුන්ව අන්ධ, බිහිරි, කොර හෝ ගොළු අය බවට පත් වන තරමට දරුණු ලෙස දඬුවම් කළේ නැහැ. මේ අනුව ඉශ්‍රායෙල් ජාතිය යළි පිහිටුවද්දී, අවශ්‍ය වන්නේ ශාරීරික රෝගවලට සුවයක් නෙවෙයි. යෙහෝවා යළි පිහිටුවන්නේ නැති වූ දෙයයි. එනම් ඔවුන්ගේ යහපත් ආත්මික සෞඛ්‍යයයි.

11 පසුතැවිලි වූ යුදෙව්වන් යථා සුවය ලබන්නේ ආත්මික ආකාරයකින්. ඒ ඔවුන්ගේ ආත්මික දසුන සහ යෙහෝවාගේ වචනය ඇසීමට, ඊට කීකරු වීමට සහ කතා කිරීමට තිබෙන ඔවුන්ගේ හැකියාව සම්බන්ධයෙනුයි. යෙහෝවාට සමීපව සිටීමේ අවශ්‍යතාව ඔවුන් වටහාගන්ට යනවා. ඔවුන්ගේ යහපත් හැසිරීම මගින්, ඔවුන් තම දෙවිට ප්‍රශංසා ‘ගී කියන්ට’ යනවා. පෙර කල, ‘කොරව’ සිටි අය යෙහෝවාට නමස්කාර කිරීමේ උනන්දුමත් ජ්වලිතයක් දක්වනවා. සංකේතාත්මකව ගත් කල ඔවුන් ‘මුවෙකු මෙන් පනින්ට’ යනවා.

යෙහෝවා තම සෙනඟ ප්‍රබෝධවත් කරයි

12. යෙහෝවා දේශයට වතුරෙන් ආශීර්වාද කරන්නේ කොතරම් දුරකටද?

12 වතුර නැති පාරාදීසයක් ගැන සිතීම උගහටයි. ඒදන්හි මුල් පාරාදීසයෙහි බහුල ලෙස වතුර තිබුණා. (උත්පත්ති 2:10-14) ඉශ්‍රායෙල්වරුන්ට දුන් දේශය පවා “දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්.” (ද්විතීය කථාව 8:7) එසේනම් යෙසායා මේ ප්‍රබෝධවත් පොරොන්දුව දීම ඉතාමත් යෝග්‍යයි. “කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.” (යෙසායා 35:6ආ, 7) ඉශ්‍රායෙල්වරුන් නැවතත් දේශය කෙරෙහි අවධානය දීමට පටන්ගන්නා විට, කලින් හිවලුන් ලැග්ග තැන් නිල්වන් සාරවත් කෙත් වතුවලින් පිරී යනවා. දූවිලි සහිත වියළි බිම්, පැපිරස් සහ වෙනත් ජලජ පන් වර්ග වැවෙන “මඩ වගුරු” බවට හැරෙන්ට යනවා.—යෝබ් 8:11, නව අනුවාදය.

13. නැවත පිහිටුවන ලද ජාතියට බහුල ලෙස ලබාගත හැකි ආත්මික වතුර මොනවාද?

13 ඊට වඩා වැදගත් වන්නේ යළි මව්බිම බලා පැමිණෙන යුදෙව්වන් බහුල ලෙස භුක්ති විඳින්ට යන සත්‍යතාවේ ආත්මික වතුරයි. යෙහෝවා තම වචනය තුළින් අවශ්‍ය කරන දැනුම, දිරිගැන්වීම සහ සැනසිල්ල සපයනවා. තවදුරටත්, ඇදහිලිවන්ත වැඩිමහල්ලන් සහ අධිපතීන් “වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්” වෙන්ට යනවා. (යෙසායා 32:1, 2) පවිත්‍ර නමස්කාරයේ උන්නතිය වෙනුවෙන් පුරෝගාමීන්ව සිටින එස්රා, නෙහෙමියා, යේෂුවා, සෙකරියා, සෙරුබ්බාබෙල් සහ හග්ගයි වැනි අය යෙසායාගේ අනාවැකියේ ඉටුවීම අරඹයා ජීවමාන සාක්ෂීන් වෙන්ට යනවා.—එස්රා 5:1, 2; 7:6, 10; නෙහෙමියා 12:47.

“ශුද්ධකමේ මාර්ගය”

14. බබිලෝනිය සහ යෙරුසලම අතර තිබෙන ගමනාන්තරය විස්තර කරන්න.

14 වහල්භාවයෙන් පැමිණෙන යුදෙව්වන් එවන් ආකාරයක ආත්මික සහ ශාරීරික පාරාදීසමය තත්වයක් භුක්ති විඳින්ට කලින් ඔවුන් බබිලෝනියේ සිට යෙරුසලම දක්වා වූ දිගු අනතුරුදායක ගමනේ යෙදිය යුතුව තිබෙනවා. ගමනාන්තයට යෑම සඳහා කෙළින් මාර්ගයක් තිබුණත් එම මාර්ගයේ යනවා කියන්නේ අධිවියළි, ශුෂ්ක පාළු ප්‍රදේශයක් හරහා කිලෝ මීටර් 800ක් ගමන් කරනවා කියන එකයි. අනිත් ගමන් මඟ කිලෝ මීටර් 1,600ක් පමණ දිග වන අතර එතරම්ම දුෂ්කර එකක් නෙවෙයි. කිනම් මාර්ගයෙන් ගමන් කළත්, විවිධාකාර දේශගුණික තත්වයන් සහ වන මෘගයන් මෙන්ම මෘගාකාර මිනිසුන්ව මඟහැර යෑමට ඔවුන්ට හැකියාවක් නැහැ. එහෙත්, යෙසායාගේ අනාවැකිය විශ්වාස කරන අය ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඔවුන් අභියෝගය භාරගන්නවා. ඊට හේතුව කුමක්ද?

15, 16. (අ) ඇදහිලිවන්ත යුදෙව්වන් නිවෙස් බලා නැවත යන විට යෙහෝවා සපයන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක්ද? (ආ) යෙහෝවා යුදෙව්වන්ට සුරක්ෂිත මහා මාර්ගයක් සපයන්නේ වෙනත් කිනම් අර්ථයෙන්ද?

15 යෙසායා තුළින් යෙහෝවා පොරොන්දු වෙන්නේ මෙසේයි. “එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත. සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය.” (යෙසායා 35:8, 9) යෙහෝවාම ඔහුගේ සෙනඟව මුදාගෙන තිබෙනවා! ඔවුන් වනාහි ඔහු විසින් ‘මුදනු ලැබූ අයයි.’ ආපසු ඔවුන්ගේ නිවෙස් බලා යන අතරේදී ඔවුන්ව පරෙස්සම් කරන බවට ඔහු සහතික කරනවා. බබිලෝනියේ සිට යෙරුසලම දක්වා පදගතාර්ථයෙන්ම ගල් ඇල්ලූ, උස් කළ, දෙපැත්තෙන් වැට ගැසූ පාරක් තිබෙන්ට යනවාද? නැහැ. එහෙත් යෙහෝවාගේ සෙනඟ නැවත මව්බිම බලා යන ගමනේදී එවැනි ආරක්ෂාවක් ඇති මහා මාර්ගයක යන විට ලැබෙන තරමේ සුරක්ෂිතභාවයක් ඔවුන්ට ලබා දෙන බව නම් ස්ථිරයි.—ගීතාවලිය 91:1-16 සසඳන්න.

16 යුදෙව්වන් ආත්මික අනතුරුවලින්ද බේරී සිටිනවා. කෙසේවෙතත්, දෙවිට කැප කරන ලද දේවලට අගෞරව කරන සහ ආත්මිකව අපවිත්‍රව සිටින අය සංකේතාත්මක මහා මාර්ගයේ ගමන් කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. මන්ද සංකේතාත්මක මහා මාර්ගය කියන්නේ ‘ශුද්ධකමේ මාර්ගයට’ නිසයි. තවදුරටත්, යළි පිහිටුවන දේශයට එවන් අය සුදුසු වෙන්නේ නැහැ. එහෙත්, අනුමැතිය ඇති අය තුළ හරි චේතනාවක් තිබෙනවා. ඔවුන් යූදාට සහ යෙරුසලමට නැවත යන්නේ ජාතිකාභිමානයකින්වත් පෞද්ගලික වාසි ප්‍රයෝජන සඳහාවත් නෙවෙයි. එහි යන මූලික හේතුව දේශයේ යෙහෝවාගේ පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවීම බව ආත්මික මනසකින් යුත් යුදෙව්වන් තේරුම්ගත්තා.—එස්රා 1:1-3.

යෙහෝවාගේ සෙනඟ ප්‍රීතිමත්

17. දිගු කාලීන වහල්භාවය තුළදී ඇදහිලිවන්ත යුදෙව්වන් යෙසායාගේ අනාවැකිය තුළින් සැනසුණේ කෙසේද?

17 යෙසායා 35වන පරිච්ඡේදය නිම වන්නේ ප්‍රීතිමත් වදන් පෙළකින්. “[යෙහෝවා] විසින් නිදහස්කරනලද අය ගී කියමින් [ස්ථිරවම, NW] සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.” (යෙසායා 35:10) සැනසිල්ල සහ බලාපොරොත්තුව සඳහා මේ අනාවැකිය දෙස නෙත් යොමු කළ යුදෙව් වහලුන්, එහි විවිධ කාරණා ඉටු වෙන්නේ කෙසේද කියා සිතුවා වෙන්ට ඇති. සමහරවිට අනාවැකියේ බොහෝ කාරණා ඔවුන්ට නොවැටහුණා වෙන්ටත් පුළුවන්. ඒ කෙසේවෙතත්, ඔවුන් ‘ස්ථිරවම සියොන්ට හැරී එන’ බව නම් සක් සුදක් සේ පැහැදිලියි.

18. බබිලෝනියේ සිටියදී ජාතිය අද්දුටු දුක හා සුසුම්ලෑම්, යළි පිහිටුවන ලද දේශයේදී අධික ප්‍රීතියකට හැරුණේ කිනම් ආකාරයෙන්ද?

18 මේ නිසා, පො.යු.පෙ. 537දී, පුරුෂයන් (මීට වහලුන් 7,000කට වඩා වැඩි ප්‍රමාණයකුත්, දේවමාළිගා ගී ගයන්නනුත් ඇතුළත් වුණා), ස්ත්‍රීන් සහ දරුවන් 50,000දෙනෙක් පමණ, යෙහෝවා කෙරෙහි පූර්ණ නිසැකකමින් යුතුව මාස හතරක් පුරා දුරකතර ගෙවාගෙන යෙරුසලම දක්වා යා යුතු ගමනට හවුල් වුණා. (එස්රා 2:64, 65) ඉන් මාස කිහිපයකට පසුව, යෙහෝවාට නමස්කාර කිරීම සඳහා පූජාසනය නැවත ගොඩනඟා, දේවමාළිගාව සම්පූර්ණයෙන්ම යළි ඉදි කිරීම සඳහා මුල් අඩිතාලම දැමුවා. මෙසේ යෙසායාගේ අවුරුදු 200ක් පරණ අනාවැකිය ඉටු වුණා. බබිලෝනියේ සිටියදී ජාතිය අද්දුටු දුක හා සුසුම්ලෑම්, යළි පිහිටුවන ලද දේශයේදී අධික ප්‍රීතියකට හැරිලා. යෙහෝවා තම පොරොන්දු ඉටු කර තිබෙනවා. සැබෑ මෙන්ම ආත්මික පාරාදීසය යළි පිහිටුවා තිබෙනවා!

අලුත් ජාතියේ උපත

19. යෙසායාගේ අනාවැකිය පො.යු.පෙ. හයවන සියවසේදී ඉටු වුණේ සීමිත ආකාරයකින් පමණක්ය කියා අපිට කිව හැක්කේ මන්ද?

19 ඇත්තවශයෙන්ම, පො.යු.පෙ. හයවන සියවසේදී, යෙසායා 35වන පරිච්ඡේදය සම්බන්ධයෙන් ඉටු වුණු සිදුවීම් ප්‍රමාණය ඉතාම සීමිතයි. ඊට හේතුව වන්නේ, යළි පැමිණ පාරාදීස තත්වය භුක්ති විඳිමින් සිටින යුදෙව්වන් සැමදා එසේ සිටින්ට යන්නේ නැති නිසයි. මන්ද කාලයාගේ ඇවෑමෙන් බොරු ආගමික ඉගැන්වීම් සහ ජාතිවාදය පවිත්‍ර නමස්කාරය අපවිත්‍ර කරන්ට යනවා. ආත්මික ආකාරයෙන් යුදෙව්වන් නැවතත් දුක සහ සුසුම්ලෑම අද්දකින්ට යනවා. අවසානයේදී යෙහෝවා ඔවුන් තමන්ගේ සෙනඟ ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්ට යනවා. (මතෙව් 21:43) ඔවුන් යළිත් අකීකරුකමට වැටෙන නිසා ඔවුන්ගේ ප්‍රීතිය තාවකාලිකයි. මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නේ යෙසායා 35වන පරිච්ඡේදයේ වඩා පුළුල් ඉටුවීමක් තිබිය යුතු බවයි.

20. පොදු යුගයේ මුල් සියවසේදී පැවැත්මට ආවේ කුමන අලුත් ඉශ්‍රායෙලයද?

20 යෙහෝවා නියම කරන ලද කාලයේදී තවත් ඉශ්‍රායෙලයක් එනම්, ආත්මික ඉශ්‍රායෙලයක් ක්‍රියාත්මක වෙන්ට පටන්ගත්තා. (ගලාති 6:16) මේ අලුත් ඉශ්‍රායෙලයේ උපත සඳහා තම භූමික සේවා කාලයේදී යේසුස් අඩිතාලම දැමුවා. ඔහු පවිත්‍ර නමස්කාරය යළි පිහිටෙවූ අතර, ඔහුගේ ඉගැන්වීම් මාර්ගයෙන් සත්‍යතාවේ වතුර නැවත වරක් ගලන්ට පටන්ගත්තා. ඔහු ශාරීරිකවත් ආත්මිකවත් ලෙඩ වී සිටින අයව සුව කළා. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ වෙද්දී ප්‍රීතිය දසත පැතුරුණා. තම මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් සති හතකට පමණ පසු, තේජසට පත් යේසුස් ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළා. එය ඔහු වැගිරූ ලෙයින් මිදීම ලද යුදෙව්වන්ගෙන් සහ වෙනත් අයගෙන් සමන්විත ආත්මික ඉශ්‍රායෙලයක් වුණා. ඔවුන් ශුද්ධාත්මයෙන් ආලේප කරන ලද දෙවිගේ ආත්මික පුත්‍රයන් හැටියට උත්පාදනය වූ අතර, යේසුස්ගේ සහෝදරයන් වුණා.—ක්‍රියා 2:1-4; රෝම 8:16, 17; 1 පේතෘස් 1:18, 19.

21. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව තුළ යෙසායාගේ අනාවැකියේ ඇතැම් අංගවල ඉටුවීමක් අද්දැක්කේ කෙසේද?

21 ආත්මික ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන්ට ලියන විට, ප්‍රේරිත පාවුල් යෙසායා 35:3 වචනවලට යොමු දක්වන්නේ මේ ආකාරයටයි. “එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.” (හෙබ්‍රෙව් 12:12) එසේනම්, පැහැදිලිවම පො.යු. මුල් සියවසේදී යෙසායා 35වන පරිච්ඡේදයේ වචන යම් දුරකට ඉටු වුණා. යේසුස් සහ ඔහුගේ ගෝලයන් ආශ්චර්යවත් ආකාරයට අන්ධ සහ බිහිරි අයව ඇත්තටම සුව කළා. ඔවුන් ‘කොර අයට’ ඇවිදීමටත් ගොළු අයට කතා කිරීමටත් හැකියාව ලබා දුන්නා. (මතෙව් 9:32; 11:5; ලූක් 10:9) ඊටත් වඩා වැදගත් දෙය වුණේ, හරි හදවත් ඇති අය බොරු ආගමෙන් ගැළවී ඇවිත් ක්‍රිස්තියානි සභාවේ තිබෙන ආත්මික පාරාදීසය භුක්ති විඳීමයි. (යෙසායා 52:11; 2 කොරින්ති 6:17) ඒ සඳහා, බබිලෝනියේ සිට යළි පැමිණි යුදෙව්වන්ගේ සිද්ධියේදී මෙන් ඒකාන්ත සහ නිර්භීත ස්ප්‍රීතුවක් අනිවාර්යෙන් අවශ්‍ය බව ගැළවී එන මේ අයද වටහාගත්තා.—රෝම 12:11.

22. වර්තමාන කාලයේදී සත්‍යය සොයන අවංක ක්‍රිස්තියානීන් බබිලෝනීය වහල්භාවයට හසු වුණේ කොහොමද?

22 අපේ කාලය ගැන කුමක් කිව හැකිද? අද තිබෙන ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙන් යෙසායාගේ අනාවැකිය වඩාත් සම්පූර්ණ ආකාරයකින් ඉටු වේවිද? ඔව්. ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, සැබෑ ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ගණන ශීඝ්‍රයෙන් පහළ වැටුණු අතර, බොරු ක්‍රිස්තියානීන් “කිරිඳි” මෙන් ලෝක දසුන තුළ සශ්‍රීකව වැඩෙන්ට පටන්ගත්තා. (මතෙව් 13:36-42; ක්‍රියා 20:30; 2 පේතෘස් 2:1-3) දහනවවන සියවසේදී අවංක බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක් ක්‍රිස්තියානි ලෝකයෙන් තමන්ව වෙන් කරගෙන පවිත්‍ර නමස්කාරය සොයනු ලැබුවද, ඔවුන්ගේ අවබෝධය ශුද්ධ ලියවිල්ලට පටහැනි ඉගැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස්ව තිබුණේ නැහැ. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියා කලාපය මුළුමනින්ම බයිබලයට එකඟ වූයේද නැහැ. වර්ෂ 1914දී යේසුස්ව මෙසියානු රජ ලෙස සිංහාසනාරූඪ කළා. එහෙත් ඒ සමඟම වගේ මේ අවංක සත්‍යය සොයන්නන් මත අඳුරු සෙවණැල්ලක් වැටුණා. අනාවැකියේ ඉටුවීමක් වශයෙන් ජාතීන් “ඔවුන්ට විරුද්ධව යුද්ධකොට, ඔවුන්ගෙන් [ජයගත්]” අතර, රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට මේ අවංක ක්‍රිස්තියානීන් ගත් වෑයම් යටපත් කර දැමුවා. ප්‍රතිඵලයක් හැටියට ඔවුන් බබිලෝනියේ වහල්භාවය යටතට පැමිණුණා.—එළිදරව් 11:7, 8.

23, 24. වර්ෂ 1919 සිට දෙවිගේ සෙනඟ කෙරෙහි යෙසායාගේ අනාවැකිය ඉටු වූයේ කිනම් ආකාරවලින්ද?

23 කෙසේවෙතත්, වර්ෂ 1919දී දේවල් අනිත් අතට පෙරළුණා. යෙහෝවා තම සෙනඟව වහල්භාවයෙන් මුදාගත්තා. කලින් ඔවුන්ගේ නමස්කාරය දූෂ්‍ය කළ බොරු ඉගැන්වීම් ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රතිඵලයක් හැටියට ඔවුන් සුව වෙන්ට පටන්ගත්තා. ඔවුන් ආත්මික පාරාදීසයකට පැමිණුණු අතර, එය අදදිනත් ලොව පුරාම පැතිරෙමින් තිබෙනවා. ආත්මික අර්ථයෙන් ගත් කල, අන්ධ අය පෙනීමටත්, බිහිරි අය ඇසීමටත් ඉගෙනගනිමින් සිටිනවා. එමගින් ඔවුන් දෙවිගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයට සම්පූර්ණයෙන්ම අවනත වෙනවා. යෙහෝවාට වැඩි අවධානයකින් ඇහුම්කන් දීමට ඇති නිරන්තර අවශ්‍යතාවද ඔවුන් හොඳින් වටහාගෙන තිබෙනවා. (1 තෙසලෝනික 5:6; 2 තිමෝති 4:5) සැබෑ ක්‍රිස්තියානීන් තවදුරටත් නිහඬව සිටින්ට යන්නේ නැහැ. ඔවුන් අනිත් අයට බයිබල් සත්‍යයන් කැමැත්තෙන් ප්‍රකාශ කරනවා. (රෝම 1:15) ආත්මිකව දුර්වලව හෝ ‘කොර වී’ සිටි අය දැන් ජ්වලිතය සහ ප්‍රීතිය විදහාපෙන්වනවා. සංකේතාත්මකව ඔවුන් ‘මුවන් මෙන් පැන පැන යනවා.’

24 මේ යළි පිහිටෙවූ ක්‍රිස්තියානීන් ගමන් කරන්නේ ‘ශුද්ධකමේ මාර්ගයෙයි.’ “මාර්ගය” මහ බබිලෝනියේ වහල්කමෙන් මිදීමේ සිට ආත්මික පාරාදීසය දක්වා ගමන් කරනවා. එය සෑම පිරිසිදු ආත්මික නමස්කාරකයෙක් සඳහාම විවෘතව තිබෙනවා. (1 පේතෘස් 1:13-16) ආරක්ෂාව සඳහා ඔවුන්ට යෙහෝවා මත විශ්වාසය තැබිය හැකි අතර, සැබෑ නමස්කාරය මුලිනුපුටා දැමීමට සාතන් ගෙනෙන එකදු මෘගාකාර ආක්‍රමණයක්වත් සාර්ථක නොවන බව අපිට ස්ථිර විය හැකියි. (1 පේතෘස් 5:8) කෑදර වන සතුන් මෙන් හැසිරෙන සහ අකීකරු කිසිවෙකුට දෙවිගේ ශුද්ධකමේ මාර්ගයේ ගමන් කරන්නන්ව දූෂ්‍ය කිරීමට කොහෙත්ම අවසරයක් නැහැ. (1 කොරින්ති 5:11) යෙහෝවා බේරාගත් අය වන ආලේප ලත් අය සහ ‘වෙනත් බැටළුවන්’ මෙවන් සුරක්ෂිත වාතාවරණයක් තුළ සැබෑ වූ එකම දෙවිට නමස්කාර කිරීමේ රසය භුක්ති විඳිනවා.—යොහන් 10:16.

25. යෙසායා 35වන පරිච්ඡේදයේ භෞතික ඉටුවීමක් තියේවිද? පැහැදිලි කරන්න.

25 අනාගතය ගැන කුමක් කිව හැකිද? යෙසායාගේ අනාවැකිය කවදා හෝ භෞතිකව ඉටු වෙයිද? ඔව්. යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් මුල් සියවසේදී කළ ආශ්චර්යවත් සුව කිරීම් මගින්, අනාගතයේදී මහා පරිමාණයකින් එසේ කිරීමට යෙහෝවාට ඇති කැමැත්ත සහ හැකියාව විදහාපෙන්නුවා. යෙහෝවාගේ ආනුභාවයෙන් ලියැවුණු ගීතාවලිය පොතේ, පොළොවේ සාමකාමී තත්වයන් යටතේ සදාකාල ජීවිතය ලැබීම ගැන කතා කරනවා. (ගීතාවලිය 37:9, 11, 29) යේසුස් පාරාදීස පොළොවක ජීවිතයක් පොරොන්දු වෙනවා. (ලූක් 23:43) බයිබලයේ මුල සිට අග දක්වාම පාරාදීසයක ජීවත් වීමේ බලාපොරොත්තුව පුන පුනා කියනවා. ඒ කාලයේදී අන්ධ, බිහිරි, අබ්බගාත හෝ ගොළු සෑම කෙනාවම සදාකාලයටම ශාරීරික ලෙස සුව කරන්ට යනවා. දුක සහ සුසුම්ලෑම ඔවුන් කෙරෙන් පලා යන්ට යනවා. ඔවුන් සදාකාලයෙන් සදාකාලයට ප්‍රීතිමත් වෙනවා.—එළිදරව් 7:9, 16, 17; 21:3, 4.

26. යෙසායාගේ වචන අද සිටින ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කරන්නේ කෙසේද?

26 සැබෑ ක්‍රිස්තියානීන් සැබෑ භූමික පාරාදීසයක යළි පිහිටුවීම දෙස බලා සිටියත්, ඔවුන් දැනටමත් ආත්මික පාරාදීසයකින් පැමිණෙන්නාවූ ආශීර්වාද භුක්ති විඳිමින් සිටිනවා. ඔවුන් පීඩා සහ පරීක්ෂාවලට මුහුණ දුන්නත්, අනාගතය දෙස බලන්නේ ශුභවාදී ආකල්පයකිනුයි. යෙහෝවා කෙරෙහි නොසැලෙන විශ්වාසයකින් යුතුව සිටින ඔවුන්, අනාවැකිමය සහතිකය කෙරෙහිද පූර්ණ නිසැකකමකින් යුතුව සිටිනවා. ඔවුන් එකිනෙකාව දිරිගන්වන්නේ මේ උපදේශයට එකඟවයි. ‘බෙලහීන අත් බලවත් කර, වෙවුලන දණහිස් සවි කරන්න. භය සිත් ඇත්තන්ට කතා කොට, භය නොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවි පළිගැනීම වන දෙවිගේ විපාක දීම ඇතුව එන්නේය. ඔහුම ඇවිත් නුඹලා ගළවන්නේයයි කියන්න.’—යෙසායා 35:3, 4.

[පාදසටහන]

^ පුරාණ ලෙබනොන්, ඒදන් උයනට සමාන කිරීමට හැකි තරම් ප්‍රතාපවත් කිහිරි ගසින්ද සරුවට වැවුණු වනාන්තරවලින්ද යුත් ඵල දරන දේශයක්ව පැවති බව බයිබලය සඳහන් කරනවා. (ගීතාවලිය 29:5; 72:16; එසකියෙල් 28:11-13) දියපාරවල් සහ දැවැන්ත ඕක් ගස් සඳහා ෂාරොන් ප්‍රසිද්ධියක් ඉසිලුවා. කර්මෙල් නම් දරා තිබුණේ එහි තිබූ මිදිවතු, පලතුරු වතු සහ මලින් වැසුණු කඳු බෑවුම් නිසයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[370වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

[375වන පිටුවේ පින්තූර]

කාන්තාර ප්‍රදේශ, පැපිරස් සහ වෙනත් ජලජ පන් වර්ග වැවෙන ජලය සහිත තැන් බවට පත් වේ

[378වන පිටුවේ පින්තූරය]

යේසුස් ශාරීරික මෙන්ම ආත්මික ලෙඩුන්වද සුව කළා