Skip to content

පටුනට යන්න

පියෙක් සහ ඔහුගේ කැරලිකාර පුත්‍රයන්

පියෙක් සහ ඔහුගේ කැරලිකාර පුත්‍රයන්

දෙවන පරිච්ඡේදය

පියෙක් සහ ඔහුගේ කැරලිකාර පුත්‍රයන්

යෙසායා 1:2-9

1, 2. යෙහෝවාට කැරලිකාර පුත්‍රයන් ලැබුණේ කෙසේද කියා පැහැදිලි කරන්න.

 ඕනෑම ආදරවන්ත පියෙක් මෙන් ඔහුත් තම දරුවන්ට හොඳින් සැපයුවා. වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට නිසි පිළිවෙළට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම් හිටුම් ලැබෙන බවට ඔහු වගබලා ගත්තා. අවශ්‍ය වූ විට ඔහු ඔවුන්ව හික්මෙව්වා. එහෙම කළත්, ඔවුන්ට දුන් දඬුවම් කිසිම දවසක සීමාව ඉක්මවා ගියේ නැහැ. සැමවිටම එය ‘නිසි ප්‍රමාණයට’ දුන්නා. (යෙරෙමියා 30:11) මේ සෑම දෙයක්ම කළ පසු, “මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය” කියා මේ ආදරණීය පියාට කියන්ට සිදු වුණා. ඒ අවස්ථාවේදී ඔහුට දැණුනු වේදනාව මොනතරම්ද කියා සිතීම පමණයි අපිට කළ හැක්කේ.යෙසායා 1:2ආ.

2 කැරලිකාර පුත්‍රයන් ලෙස මෙහි හඳුන්වන්නේ යුදෙව් සෙනඟවයි. සන්තාපයට පත් පියා යෙහෝවා දෙවියි. ඔහුගේ වේදනාව මොනතරම්ද! යෙහෝවා යුදෙව්වන්ව පෝෂණය කර ජාතීන් අතරේ ඔවුන්ව උසස් තත්වයකට ගෙනැවිත් තිබෙනවා. “විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි” කියා යෙහෝවා පසු කාලයක අනාගතවක්තෘ එසකියෙල් මාර්ගයෙන් ඔවුන්ට මතක් කර දෙනවා. (එසකියෙල් 16:10) කෙසේ හෝ සමස්තයක් ලෙස ගත් කල, යෙහෝවා ඔවුන් වෙනුවෙන් කර තිබූ දෙය යුදෙව් සෙනඟ අගය කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් ඔහුට විරුද්ධව නැඟී සිටිනවා නැත්නම් කැරලිගසනවා.

3. යූදාහි කැරලිගැසීම සම්බන්ධයෙන් සාක්ෂිදරන්ට යෙහෝවා අහසටත් පොළොවටත් හඬගසන්නේ මන්ද?

3 යෙහෝවා තම කැරලිකාර පුත්‍රයන් සම්බන්ධයෙන් පවසන මෙම වදන්වලට කලින් මෙසේ කියන්නේ හොඳ හේතු ඇතුවයි. “ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද [යෙහෝවා කතා කරන්නේය].” (යෙසායා 1:2අ) සියවස් ගණනාවකට කලින් අකීකරුකමේ ප්‍රතිවිපාක ගැන ඉශ්‍රායෙල්වරුන් පැහැදිලි අනතුරු ඇඟවීම් ලබද්දී අහසටත් පොළොවටත් ඇසුණා කියා කිව හැකියි. මෝසෙස් මෙසේ කිව්වා. “නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි.” (ද්විතීය කථාව 4:26) එහෙත් දැන් යෙසායාගේ දවසේදී, යූදාහි කැරලිගැසීම සම්බන්ධයෙන් සාක්ෂිදැරීමට යෙහෝවා දෘශ්‍යමාන අහසටත් පොළොවටත් හඬගසනවා.

4. යෙහෝවා යුදෙව්වන් ඉදිරියේ පෙනී සිටින්ට තෝරාගන්නේ කවුරු හැටියටද?

4 තත්වයේ බරපතළකම ඍජු එළඹීමකට මඟ පාදනවා. යෙහෝවා මේ ඉතා දුඃඛිත තත්වයේදී පවා යුදෙව් ජාතිය මිල දී ගෙන ඇති එහි අයිතිකරුවා ලෙස පෙනී සිටිනවා වෙනුවට, ආදරණීය පියෙක් ලෙස පෙනී සිටීම සැලකිය යුතු මෙන්ම, හද උණුසුම් කරවන දෙයක්. කෙටියෙන්ම කියනවා නම්, යෙහෝවා තම සෙනඟට ආයාචනා කළේ, තම හිතුවක්කාර පුත්‍රයන් ගැන දැඩි සන්තාපයට පත් පියෙකුගේ කෝණයෙන් කාරණාව දිහා බලන ලෙසයි. සමහරවිට, යූදාහි සිටි සමහර දෙමාපියන් පෞද්ගලිකවම එම තත්වයට මුහුණ දී සිටින්ට ඇති. එම නිදර්ශනය ඔවුන්ගේ හදවතට තට්ටු කරන්ට ඇති. එහෙත් කාරණය කුමක් වුණත්, යෙහෝවා දැන් සූදානම් වෙන්නේ යූදාට විරුද්ධව තම චෝදනාව ඉදිරිපත් කරන්ටයි.

වඩා හොඳින් මෘගයෝ දනිති

5. ඉශ්‍රායෙල් මෙන් නොව ගවයාත් කොටළුවාත් යම් පක්ෂපාතකමක් දක්වන්නේ කෙසේද?

5 යෙසායා තුළින් යෙහෝවා මෙසේ කියනවා. “ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද [ස්වාමියා සාදා ඇති කෑම ඔරුවද, NW] දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනග කල්පනාකරන්නේ නැත.” (යෙසායා 1:3) * ගොනා සහ කොටළුවා මැදපෙරදිග ජීවත් වන අයට හුරු පුරුදු බර අදින සතුන්. මෙපමණ පහත් මෘගයන් පවා උන් ස්වාමියෙකුට අයිති බව හොඳහැටි දන්නා බවත් උන් ස්වාමියාට යම් ආකාරයක පක්ෂපාතකමක් දක්වන බවට වූ කාරණයත් අහක දමන්ට යුදෙව්වන්ට කොහෙත්ම පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ ගැන කතා කරද්දී, මැදපෙරදිග නගරයක දිනයක වැඩ අවසානය පිළිබඳව එක් බයිබල් පර්යේෂකයෙකු නිරීක්ෂණය කළ දෙය සලකා බලන්න. “පට්ටිය නුවරට ආ සැණින්ම, විසිරෙන්ට පටන්ගත්තා. හැම ගවයෙක්ම උගේ ස්වාමියාව ඉතා හොඳින් දැන සිටි අතර, නිවසට යන පාරද දැන සිටියා. නිවාස පේළි අතරින් එහාට මෙහාට වැටී ඇති සංකීර්ණ පටු මාවත් ඔස්සේ ගමන් කළත්, මොහොතකටවත් උන් මං මුළා වුණේ නැහැ. කොටළුවන් ගැන කියනවා නම්, ඌ කෙළින්ම ස්වාමියාගේ නිවසට ගොස්, ‘ස්වාමියා උන්ට සාදා තිබුණු මඩුවටම’ ගියා.”

6. යුදෙව් සෙනඟ ‘කල්පනාකාරිව’ කටයුතු කිරීමට අසමත් වුණේ කෙසේද?

6 යෙසායාගේ දවසේදී එවැනි දසුන් සාමාන්‍ය දෙයක් වූ බවට සැකයක් නැති නිසා, එවකට යෙහෝවාගේ පණිවිඩය පැහැදිලියි. මෘගයෙකුට උගේ ස්වාමියාවත්, උගේ කෑම ඔරුවත් හඳුනාගන්ට පුළුවන් නම්, යෙහෝවාව අහක දැමීම සම්බන්ධයෙන් යුදෙව් සෙනඟට දිය හැකි නිදහසට කරුණ කුමක්ද? ඇත්තෙන්ම, ඔවුන් ‘කල්පනා කරන්නේ නැතුව’ ක්‍රියා කර තිබුණා. එය හරියට ඔවුන්ගේ සමෘද්ධිය සහ ඔවුන්ගේ ජීවිත පවා යෙහෝවා මත රඳා පවතින බව ගණන් නොගෙන කටයුතු කළා හා සමානයි. මෙවන් තත්වයන් යටතේදී පවා යුදෙව්වන්ට “මාගේ සෙනග” කියා යෙහෝවා ආමන්ත්‍රණය කිරීම ඇත්තවශයෙන්ම දයාවන්තකමේ සාක්ෂියක්!

7. යෙහෝවාගේ සැපයුම් අගය කරන බව පෙන්වීමට අපිට හැකි ක්‍රම මොනවාද?

7 යෙහෝවා අපි වෙනුවෙන් කර තිබෙන දේවලට අගය පෙන්වීමට අසමත් වීම හේතුවෙන්, කල්පනා කරන්නේ නැතුව ක්‍රියා කරන්ට අපිට කිසිදාක උවමනාවක් නැහැ! ඒ වෙනුවට, මෙසේ ගැයූ ගීතිකාකාර දාවිත්ව අපි අනුකරණය කළ යුතුයි. “[යෙහෝවාට] මාගේ මුළු සිතින් [හෘදයෙන්, NW] ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.” (ගීතාවලිය 9:1) එසේ කිරීමට අපිව පොලඹවන්නේ යෙහෝවා පිළිබඳව නොකඩවා අත් කරගනු ලබන දැනුමයි. ඒ නිසයි, “අතිශුද්ධ තැනැත්තා පිළිබඳ දැනුම වනාහි තේරුම්ගැනීම වේ” කියා බයිබලයේ කියන්නේ. (හිතෝපදේශ 9:10, NW) අපේ ස්වර්ගීය පියාට ස්තුතිපූර්වක වීමටත්, ඔහුව සුළු කිරීමෙන් වැළකීමටත් යෙහෝවා සපයා ඇති ආශීර්වාද දිනපතාම මෙනෙහි කිරීම අපිට උදව් වෙනවා. (කොලොස්සි 3:15) “ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි” කියා යෙහෝවා කියනවා. එමෙන්ම, “ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට [දෙවිගෙන්] ලැබෙන ගැළවීම දක්වන්නෙමි” කියාද ඔහු ඊට එකතු කරනවා.—ගීතාවලිය 50:23.

‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාව’ කම්පිත කරවන නිග්‍රහයක්

8. යුදෙව් සෙනඟව “පාපිෂ්ඨ ජාතිය” කියා හැඳින්විය හැක්කේ මන්ද?

8 යෙසායා යුදෙව් ජාතියට බලවත් ලෙස තම පණිවිඩය ප්‍රකාශ කරනවා. “අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනගක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු [යෙහෝවා] අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.” (යෙසායා 1:4) අධික වේදනාකාරි බරක් බවට පත් වන තරමටම දුෂ්ට ක්‍රියාවන් එකට එකතු විය හැකියි. ආබ්‍රහම්ගේ දවසේදී, සොදොමේ සහ ගොමොරාවේ පාපය ගැන යෙහෝවා කිව්වේ එය “ඉතා බර” බවයි. (උත්පත්ති 18:20) යුදෙව් සෙනඟ ‘අයුතුකමින් බර වී’ සිටිනවා කියා යෙසායා කී නිසා, සොදොමට සහ ගොමොරාවට සමාන තත්වයක් යුදෙව් සෙනඟ අතරේද පැහැදිලිව පෙනෙන්ට තිබුණා. ඊට අමතරව, ‘නපුරුකම් කරන වංශයක්, දූෂ්‍ය ලෙස ක්‍රියා කරන දරුවෝ’ කියා ඔහු ඔවුන්ව අමතනවා. ඔව්, යුදෙව්වන් හරියට යුතුකම් පැහැරහරින දරුවන් වගෙයි. ඔවුන් “පස්සට හැරී” ගියා. එසේත් නැතහොත්, නියූ රිවයිස්ඩ් ස්ටෑන්ඩඩ් වර්ෂන් බයිබලය කියන්නේ, ඔවුන් තම පියා සමඟ ඇති සම්බන්ධයෙන් “මුළුමනින්ම කැඩී වෙන් වුණා” කියායි.

9. ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා’ යන යෙදුමේ ඇති වැදගත්කම කුමක්ද?

9 යුදෙව් සෙනඟ තම හිතුවක්කාර ක්‍රියා මාර්ගය හේතුවෙන්, ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාව’ බරපතළ ලෙස නින්දාවට පත් කරමින් සිටියා. යෙසායාගේ පොතේ 25 වතාවක් දක්නට තිබෙන මෙම යෙදුමේ ඇති වැදගත්කම කුමක්ද? ශුද්ධ වීම කීමෙන් අදහස් කරන්නේ, පවිත්‍ර වීම සහ නිර්මලව සිටීමයි. ශුද්ධකම සම්බන්ධයෙන් ඉහළින්ම සිටින්නේ යෙහෝවායි. (එළිදරව් 4:8) උත්තම පූජකයාගේ කිරීටයේ දිලිසෙන රන් තහඩුව මත කොටා තිබූ වචන දකින මොහොතක් මොහොතක් පාසා, එම කාරණය ඉශ්‍රායෙල්වරුන්ට සිහිගැන්වෙනවා. එහි කොටා තිබුණේ, “ශුද්ධකම අයිති යෙහෝවාටය” කියායි. (නික්මයාම 39:30, NW) මෙසේ ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා’ ලෙස යෙහෝවාට යොමු දැක්වීම මගින්, යුදෙව් සෙනඟගේ පාපයේ බරපතළකම යෙසායා උලුප්පා දැක්වුවා. ඒ තත්වයට මේ කැරලිකාරයන් පත් වූයේ තම පියවරුන්ට දී තිබූ මෙම ආඥාව කෙළින්ම උල්ලංගනය කර තිබූ නිසයි. “මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටින්න.”—ලෙවී කථාව 11:44.

10. ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාට’ අගෞරවය පෙන්වීමෙන් වැළකී සිටීමට අපිට හැක්කේ කෙසේද?

10 ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාට’ අගෞරව කළ යුදෙව් සෙනඟගේ අවාදර්ශය අනුකරණය නොකිරීමට අදදින ක්‍රිස්තියානීන් තමන්ට හැකි සෑම දෙයක්ම කළ යුතුයි. ඔවුන් යෙහෝවාගේ ශුද්ධකම අනුකරණය කළ යුතුයි. (1 පේතෘස් 1:15, 16) එමෙන්ම, ඔවුන් “නපුරට වෛර” කළ යුතුයි. (ගීතාවලිය 97:10) ලිංගික දුරාචාරය, රූප වැඳීම, සොරකම සහ බේබදුකම වැනි අපවිත්‍ර ක්‍රියා ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය කළ හැකියි. මේ දේවල් නතර කිරීම ප්‍රතික්ෂේප කරන අයව සභා ඇසුරෙන් කපාහරින්නේ ඒ නිසයි. පසුතැවිලි නොවී අපවිත්‍රකමේ ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන අයට අවසානයේදී, දෙවිගේ රාජ්‍ය ආණ්ඩුවේ ආශීර්වාද නොලැබී යනවා. ඇත්තෙන්ම, එවැනි සියලුම දුෂ්ට ක්‍රියා ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාව’ කම්පිත කරවන නිග්‍රහයක් වෙනවා.—රෝම 1:26, 27; 1 කොරින්ති 5:6-11; 6:9, 10.

පතුලේ සිට හිස දක්වා ලෙඩ වී

11, 12. (අ) යූදාහි පැවති අයහපත් තත්වය විස්තර කරන්න. (ආ) යුදෙව් සෙනඟ කෙරෙහි අපිට අනුකම්පාවක් ඇති නොවිය යුත්තේ මන්ද?

11 යුදෙව් සෙනඟගේ රෝගී තත්වය මීළඟට තර්කයෙන් ඔවුන්ට ඒත්තුගන්වන්ට යෙසායා වෑයම් කරනවා. ඔහු මෙසේ කියනවා. “නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද?” වෙනත් විදිහකින් කියනවා නම්, යෙසායා ඔවුන්ගෙන් අසන්නේ ‘ඔබ දුක් වින්දා මදිද? දිගටම කැරලිගහල තවත් දුක් විඳින්නේ ඇයි?’ කියායි. යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “මුළු හිස රෝගාතුරව, මුළු සිත [හෘදය, NW] දුර්වලව තිබේ. පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් [නැත].” (යෙසායා 1:5, 6අ) යූදාව සිටින්නේ, පිළිකුල්සහගත රෝගී තත්වයක, එනම් හිසේ සිට අඩි පතුල දක්වා ආත්මික ලෙඩ තත්වයකයි. එය ඇත්තෙන්ම දරුණු රෝග නිශ්චයක්!

12 යූදා කෙරෙහි අපිට අනුකම්පාවක් ඇති විය යුතුද? කොහෙත්ම නැහැ! අකීකරුකමට ලැබෙන දඬුවම පිළිබඳව මුළු ඉශ්‍රායෙල් ජාතියටම සියවස් ගණනාවකට කලින් අනතුරු අඟවා තිබුණා. ඔවුන්ට කී දෙයින් කොටසක් සඳහන් කරනවා නම් එය මේ ආකාරයි. “නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස [යෙහෝවා] නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට [පහර දෙන්නේය].” (ද්විතීය කථාව 28:35) සංකේතවත් ආකාරයෙන් ගත් කල, යුදෙව්වන් තමන් ගත් මුරණ්ඩු ක්‍රියා මාර්ගවල ප්‍රතිවිපාක දැන් විඳිමින් සිටිනවා. යුදෙව් සෙනඟ යෙහෝවාට කීකරු වුණා නම්, මේ සියල්ලක්ම වළක්වාගන්ට තිබුණා.

13, 14. (අ) යූදා කෙරෙහි පැමිණි හානි මොනවාද? (ආ) යූදාහි දුක් විඳීම ඇගේ කැරලිකාර ජීවන මාර්ගය ගැන යළි සලකා බැලීමට හේතු වුණාද?

13 යූදාහි දුක්ඛිත තත්වය යෙසායා දිගටම විස්තර කරනවා. “තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.” (යෙසායා 1:6ආ) මෙහිදී අනාගතවක්තෘවරයා තුන් ආකාරයක තුවාල ගැන සඳහන් කරනවා. තුවාල (කඩුවකින් හෝ පිහියකින් කැපුණු ඒවා වැනි කැපීම්), තැලීම් (පහරකෑමෙන් වූ කැළැල්) සහ පැසවන වණ (මෑතකදී, හටගත් සුව වේයයි සිතිය නොහැකි වණ). මෙහිදී අපේ මනසේ මැවෙන්නේ, හිතාගන්ට බැරි තරමටම දරුණු දඬුවම් ලැබූ මිනිසෙකුගේ පින්තූරයක්. ඔහුගේ සිරුරේ සෑම තැනක්ම තුවාල වී තිබෙනවා. යූදා දේශය තිබෙන්නේ ඇත්තෙන්ම බලාපොරොත්තු සුන් වූ තත්වයකයි.

14 යුදෙව් සෙනඟගේ මේ කාලකණ්ණි තත්වය යෙහෝවා වෙත හැරෙන්ට ඔවුන්ව පෙලඹුවාද? නැහැ! යූදා හරියට හිතෝපදේශ 29:1හි විස්තර කර ඇති කැරලිකාරයා වගෙයි. “බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.” ජාතියම සිටියේ සුවයක් ලැබිය නොහැකි තත්වයකයි. යෙසායා කියන විදිහට, ඇගේ තුවාල “මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.” * එක් ආකාරයකට, යුදෙව් සෙනඟ ඇර තැබූ, නොබැන්ද තුවාල ඇති, හැම තැනම පැතුරුණු වණයකට සමානයි.

15. ආත්මිකව ලෙඩවීමෙන් අපිව ආරක්ෂා කරගැනීමට හැකි ක්‍රම මොනවාද?

15 යුදාවරුන්ගෙන් පාඩමක් ඉගෙනගෙන අපිත් ආත්මිකව ලෙඩවීමට එරෙහිව ආරක්ෂා විය යුතුයි. ශාරීරික අසනීපයක් හා සමානව, අපගෙන් ඕනෑම කෙනෙකුට එය වැළඳිය හැකියි. කොටින්ම කියනවා නම්, අපෙන් කවුද මාංශික ආශාවන්ට නැඹුරු නොවන්නේ? කෑදරකම සහ පමණ ඉක්මවූ සැප සෙල්ලමට ඇති ආශාව අපගේ හදවත් තුළ මුල් බසින්ට ඉඩ තිබෙනවා. ඒ නිසා, ‘නපුර පිළිකුල්’ කිරීම සහ ‘යහපතට ඇලුම් වීම’ සඳහා අපිවම පුහුණු කරගන්ට අවශ්‍ය වෙනවා. (රෝම 12:9) අපි අපගේ දෛනික ජීවිතයේදී දෙවිගේ ආත්මයේ ඵල වගා කරගැනීමද අවශ්‍යයි. (ගලාති 5:22, 23) එසේ කිරීමෙන්, යූදාට ශාප කිරීමට හේතු වූ තත්වයට අපව පත්වීමෙන් වැළකෙන්ට යනවා. ඒ කියන්නේ හිසේ සිට පාදය දක්වා අපි ආත්මිකව ලෙඩවීමෙන් වළකින්ට යනවා.

පාළු වූ දේශයක්

16. (අ) යූදාහි පැවති වාතාවරණය ගැන යෙසායා විස්තර කරන්නේ කුමක්ද? (ආ) මේ වචන කියනු ලැබුවේ ආහාස්ගේ පාලන සමයේදී කියා සමහරුන් කියන්නේ මන්ද? එහෙත්, අපි එය තේරුම්ගන්නේ කෙසේද?

16 ඊළඟට යෙසායා තම වෛද්‍යමය සමාන්තරය පැත්තක දමා, යූදාහි පැවති වාතාවරණය කෙරෙහි අවධානය යොමු කරනවා. ඒක හරියට ඔහු පහර ලැබූ යුධ බිමක් දෙස බලාගෙන මෙසේ කියනවා හා සමානයි. “නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.” (යෙසායා 1:7) මේ වචන යෙසායාගේ පොතේ මුල් කොටසේ තිබුණත්, ඒවා කියනු ලැබුවේ අනාගතවක්තෘවරයාගේ ජීවිතයේ පසු කාලයේදී එනම්, දුෂ්ට ආහාස් රජුගේ පාලන සමයේදී බව සමහර විශාරදයන් පවසනවා. එවන් අසතුටුදායක විස්තරයක් දීමට බැරි තරම් උස්සියාගේ පාලන සමය සමෘද්ධිමත්ව තිබුණා කියා ඔවුන් තරයේ කියා සිටිනවා. යෙසායාගේ පොත ගොනු කළේ, කාල පිළිවෙළ අනුව කියා ස්ථිරවම කියන්ට පුළුවන්කමක් නැති බව ඇත්තයි. කෙසේවෙතත්, කලින් සඳහන් කළ පාළු කිරීම පිළිබඳ යෙසායාගේ වචන සමහරවිට අනාවැකිමය ස්වරූපයක් ගන්නවා විය හැකියි. එමෙන්ම යෙසායා ඉහත විස්තරය දෙද්දී, බයිබලයේ අනිත් තැන්වලද දකින්ට තිබෙන ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ අනාවැකියක ඉටුවීමේ නිසැකභාවය තහවුරු කරන අනාගතික ඉටුවීම් දැනටමත් සිදු වී ඇති ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයයි.—එළිදරව් 11:15 සසඳන්න.

17. පාළු කිරීම පිළිබඳ අනාවැකිමය විස්තරය යුදෙව් සෙනඟට පුදුමයක් නොවිය යුත්තේ මන්ද?

17 කාරණය කුමක් වුණත්, යූදාහි පාළුවීම පිළිබඳ අනාවැකිමය විස්තරය, මුරණ්ඩු සහ අකීකරු සෙනඟට පුදුමයට හේතුවක් නොවිය යුතුයි. ඔවුන් කැරලිගැසුවොත් ඔවුන්ට සිදු වන දෙය ගැන සියවස් ගණනාවකට කලින් යෙහෝවා අනතුරු අඟවා තිබුණා. ඔහු මෙසේ කිව්වා. “මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය. මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.”—ලෙවී කථාව 26:32, 33; 1 රාජාවලිය 9:6-8.

18-20. යෙසායා 1:7, 8හි ඇති වචන ඉටු වූයේ කවදාද? එමෙන්ම, යෙහෝවා මේ වතාවේදී ‘ස්වල්පදෙනෙකුව ඉතිරි කරන්නේ’ කිනම් ආකාරයෙන්ද?

18 යෙසායා 1:7, 8 පදවල ඇති වචන පෙනෙන විදිහට, ඉශ්‍රායෙලයේ විනාශය මෙන්ම යූදා දේශයටද ව්‍යාප්ත වූ විනාශය සහ පීඩිත තත්වයක් ඇති කළ අෂූරිය ආක්‍රමණය සිදු වූ කාලයේදී ඉටු වෙන්ට ඇති. (2 රාජාවලිය 17:5, 18; 18:11, 13; 2 ලේකම් 29:8, 9) කෙසේවෙතත්, යූදාව සහමුලින්ම අතුගා දැමුවේ නැහැ. යෙසායා මෙසේ කියනවා. “සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.”—යෙසායා 1:8.

19 මේ පාළු කිරීම්වලදී, “සියොන් දුව” හෙවත් යෙරුසලම ඉතිරි කළා. එහෙත්, ඇය තුළ මිදි වත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද බොහොම අනාරක්ෂිත තත්වයක් දිස් වෙන්ට යනවා. නයිල් ගඟ දිගේ ගමන් කරද්දී, 19වන සියවසේ සිටි විශාරදයෙකුට මේ හා සමාන මඩු දකින්ට ලැබීමෙන් යෙසායාගේ වචන මතකයට නැඟුණා. ඔහු ඒවා විස්තර කළේ, “උතුරු සුළඟ ඉදිරියේ කිසිම ආරක්ෂාවක් නැති තැන්” හැටියටයි. යූදාහි අස්වනු නෙළූ පසු, මේ මඩු කඩා වැටෙන්ට ඉඩහැරියා. එහෙත් විජයග්‍රාහී අෂූරිය හමුදාව ඉදිරියේ යෙරුසලම ලෙහෙසියෙන්ම බිඳ වැටෙන බවක් පෙනෙන්ට තිබුණත්, ඇය දිගටම පවතින්ට යනවා.

20 යෙසායා මෙම අනාවැකිමය ප්‍රකාශය අවසන් කරන්නේ මෙසේයි. “සේනාවල [යෙහෝවා] අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර [නුදුන්නේ] නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමු.” (යෙසායා 1:9) * අෂූරියේ මහත් බලයට එරෙහිව සිටිද්දී, අවසානයේදී යූදාහි ආධාරයට යෙහෝවා පැමිණෙනවා. සොදොම සහ ගොමොරාව මෙන් යූදාව අතුගා දමන්ට යන්නේ නැහැ. එය දිගටම පවතින්ට යනවා.

21. බබිලෝනිවරුන් යෙරුසලම විනාශ කළාට පසුව, යෙහෝවා ‘ස්වල්පදෙනෙකුව ඉතිරි කළේ’ මන්ද?

21 අවුරුදු 100කට පමණ පසුව යූදා නැවතත් තර්ජනයට ලක් වුණා. අෂූරිය මගින් ලැබූ හික්මවීමෙන් ජනයා පාඩමක් ඉගෙනගෙන තිබුණේ නැහැ. “ඔව්හු [දෙවිගේ] පණිවිඩකාරයන්ට සරදම්කර, [ඔහුගේ] වචන සුළුකර, [ඔහුගේ] ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.” ප්‍රතිඵලයක් හැටියට, “සුවයක් නැතිතරම් [යෙහෝවාගේ] කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව [පැමිණුණේය].” (2 ලේකම් 36:16) බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් යූදාව පරාජය කළ විට, “මිදිවත්තක මඩුවක් මෙන්” කිසිවක් ඉතිරි වූයේ නැහැ. යෙරුසලම පවා විනාශ වුණා. (2 ලේකම් 36:17-21) එහෙත්, යෙහෝවා ‘ස්වල්පදෙනෙකුව ඉතිරි කළා.’ යූදා අවුරුදු 70ක් වහල්භාවයේ සිටියත්, ජාතියේ අඛණ්ඩ පැවැත්ම, විශේෂයෙන්ම පොරොන්දු වූ මෙසියස්ව බිහි කරන දාවිත්ගේ පෙළපත යෙහෝවා රැකගත්තා.

22, 23. පළමුවන සියවසේදී, යෙහෝවා ‘ස්වල්පදෙනෙකුව ඉතිරි කළේ’ මන්ද?

22 පළමු සියවසේදී, ඉශ්‍රායෙල් සෙනඟ, දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටින සෙනඟ හැටියට තම අවසාන අර්බුදකාරි කාලය ගත කළා. යේසුස් පොරොන්දු වූ මෙසියස් හැටියට ඉදිරිපත් වූ විට, සෙනඟ ඔහුව ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. (මතෙව් 21:43; 23:37-39; යොහන් 1:11) පොළොව මත යෙහෝවාට විශේෂ ජාතියක් සිටීම මෙයින් අවසන් වුණාද? නැහැ. යෙසායා 1:9 සඳහා තවත් ඉටුවීමක් ඉදිරියට තිබෙන බව ප්‍රේරිත පාවුල් පෙන්නුවා. සෙප්ටූඅජින්ට් අනුවාදයෙන් උපුටා දක්වමින් ඔහු මෙසේ ලිව්වා. “පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල [යෙහෝවා] අපට වංශයක් ඉතිරි [නොකළා] නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුය.”—රෝම 9:29.

23 මේ වතාවේදී ගැළවුණේ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබූ ආලේප ලත් ක්‍රිස්තියානීන්. ඔවුන්ගෙන් මුල්ම අය වුණේ ඇදහිලිවන්ත යුදෙව්වන්. පසුව ඇදහිලිවන්ත අන්‍ය ජාතිකයන්ද ඔවුන්ට එකතු වුණා. දෙගොල්ලන්ම එක්ව ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ හෙවත් අලුත් ඉශ්‍රායෙලයක් සෑදුවා. (ගලාති 6:16; රෝම 2:29) මේ “වංශය” පො.යු. 70දී සිදු වූ යුදෙව් ක්‍රමයේ විනාශයෙන් ගැළවුණා. ඇත්තෙන්ම, ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ තවමත් අප සමඟ සිටිනවා. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” සාදන දශලක්ෂ ගණන් ඇදහිලිවන්තයන් දැන් ඔවුන්ට හවුල් වී සිටිනවා.—එළිදරව් 7:9.

24. මනුෂ්‍යවර්ගයා මුහුණ දීමට යන අතිවිශාලම අර්බුදයෙන් ගොඩ එන්ට අපි කැමති නම්, සියලුදෙනාම සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

24 ඉතාම ඉක්මනින් මේ ලෝකය අර්මගෙදොන් යුද්ධයට මුහුණ දෙන්ට යනවා. (එළිදරව් 16:14, 16) ඊට මුහුණ දීම යූදා දේශයට එරෙහි වූ අෂූරීය හෝ බබිලෝනීය ආක්‍රමණවලට වඩා අර්බුදකාරි වුණත්, පො.යු. 70දී රෝමය විසින් යූදා දේශය පාළු කිරීමට වඩා භයානක වුණත්, එහිදී බේරී ජීවත්වන්නන් සිටින්ට යනවා. (එළිදරව් 7:14) එසේ නම්, සියලුදෙනාම යූදාට කියූ යෙසායාගේ වචන පරෙස්සමින් සෝදිසි කර බැලීම මොනතරම් වැදගත් වෙනවාද! එකල එම වචනවලට අවනත වීමෙන් අදහස් කළේ බේරී ජීවත් වීමයි. ඒ හා සමානව, අදදින සිටින ඇදහිලිවන්තයන්ටත් එම වචනම බේරී ජීවත් වීම අදහස් කරන්ට යනවා.

[පාදසටහන්වල]

^ මෙහි පද සම්බන්ධය බලද්දී ‘ඉශ්‍රායෙලය’ යන වචනය යොමු දක්වන්නේ යූදාහි ද්වී-ගෝත්‍ර රාජ්‍යයටයි.

^ යෙසායාගේ වචන ඔහුගේ දවසේ පැවති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබිඹු කළා. බයිබල් පර්යේෂක ඊ. එච්. ප්ලම්ප්ට්‍ර මෙසේ සඳහන් කරනවා. “පැසවූ තුවාලය ‘වැසීම’ හෝ ‘මිරිකාහැරීම’ වනාහි තුවාලයකින් වෑස්සෙන සැරව ඉවත් කිරීමට ගත් ක්‍රියා මාර්ගයයි. හෙසකියාගේ සිද්ධියේදී (යෙසායා 38වන පරිච්ඡේදයේ 21වන පදය) ඔහුගේ තුවාලයට බෙහෙත් පත්තුවක් ‘බැඳ,’ විෂ උරන තෙලක් හෝ ආලේපනයක් හෝ සමහරවිට ලූක් 10:34හි කියන විදිහට, තුවාලය පිරිසිදු කිරීමට තෙල් සහ මුද්‍රිකපානය යොදාගන්ට ඇති.”

^ පුරාණ ගිවිසුම පිළිබඳ විවරණය (ඉංග්‍රීසියෙන්) ලියූ සී. එෆ්. කයිල් සහ එෆ්. ඩෙලිට්ෂ් මෙසේ කියනවා. “අනාගතවක්තෘවරයා කළ ප්‍රකාශය මෙහිදී අවසානයකට පත් වෙනවා. මෙහිදී කොටස් දෙකකට බෙදා වෙන් කළ කාරණය යෙසායා 1 නවවන සහ දහවන පද අතර ඇති හිදැසෙන් ඇඟවෙනවා. විශාල හෝ කුඩා කොටස් වෙන් කිරීමේ මෙම ක්‍රමය එනම්, හිදැසක් තැබීමේ හෝ පේළිය එතැනින් නතර කිරීමේ ක්‍රමය, ප්‍රාණාක්ෂරයක් ඇති බව ඇඟවීමට යොදන ලකුණු සහ උච්චාරණ ලකුණු තැබීමේ ක්‍රමයට වඩා පැරණියි. මෙය ඉතාම පැරණි සම්ප්‍රදායක් මත පදනම් වෙනවා.”

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

සොදොම සහ ගොමොරාව මෙන් නොව යූදාව සදාකාලයටම ජනාවාස නොවී තියෙන්ට යන්නේ නැහැ