Skip to content

පටුනට යන්න

“බබිලෝනිය වැටුණාය”

“බබිලෝනිය වැටුණාය”

දහහත්වන පරිච්ඡේදය

“බබිලෝනිය වැටුණාය”

යෙසායා 21:1-17

1, 2. (අ) බයිබලයේ සමස්ත මාතෘකාව කුමක්ද? එහෙත්, යෙසායා පොතේ දකින්ට තිබෙන අමතර වැදගත් උපමාතෘකාව කුමක්ද? (ආ) බයිබලයෙහි බබිලෝනියේ වැටීම පිළිබඳ උපමාතෘකාව ගොඩනඟා ඇත්තේ කෙසේද?

 බයිබලය, එක් ප්‍රධාන මාතෘකාවක් යටතේ සකස් කළ ගීතයකට සමාන කළ හැකියි. එම ප්‍රධාන මාතෘකාව වඩාත් පැහැදිලිව විස්තර කිරීමට බයිබලයේ උපමාතෘකා ගණනාවක් තිබෙනවා. බයිබලයේ ප්‍රධාන මාතෘකාව නම් මෙසියානු රාජ්‍ය ආණ්ඩුව මගින් යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමයි. යළි යළිත් ඉස්මතු වෙන තවත් උපමාතෘකා ගණනාවක්ද ඊට සම්බන්ධයි. ඉන් විශේෂ එකකි බබිලෝනියේ වැටීම.

2 මෙම උපමාතෘකාව යෙසායා 13වන සහ 14වන පරිච්ඡේදවල දකින්ට පුළුවන්. එය නැවත වරක් යෙසා 21වන පරිච්ඡේදයේත්, පසුව යෙසා 44 සහ 45වන පරිච්ඡේදවලත් දකින්ට තිබෙනවා. සියවසකට පමණ පසුව, යෙරෙමියා මෙය තවත් පුළුල්ව සාකච්ඡා කරන අතර, එළිදරව් පොත එහි අතිබියකරු අවසානය ගැන කතා කරනවා. (යෙරෙමියා 51:60-64; එළිදරව් 18:1–19:4) දේවවචනයේ මේ අමතර වැදගත් උපමාතෘකාවට සෑම බයිබල් ශිෂ්‍යයෙක්ම අවධානය යොමු කළ යුතුයි. මහා ලෝක බලයේ පුරෝකථනය කළ වැටීම ගැන චිත්තාකර්ෂණීය තොරතුරු යෙසායා 21වන පරිච්ඡේදයේ සපයනවා. යෙසායා 21වන පරිච්ඡේදයේ තවත් වැදගත් බයිබල් උපමාතෘකාවක් කාවද්දන බව අපි පසුව දකින්ට යනවා. එය ක්‍රිස්තියානීන් හැටියට අපි කොතරම් දුරට අවදියෙන් සිටිනවාද යන්න මැනගැනීමට උපකාර කරනවා.

“දයා විරහිත දර්ශනයක්”

3. බබිලෝනිය “මුහුදු කාන්තාරය” ලෙස හඳුන්වන්නේ මන්ද? එලෙස හැඳින්වීම ඇගේ අනාගතය ගැන අඟවන්නේ කුමක්ද?

3 යෙසායා 21වන පරිච්ඡේදය ඇරඹෙන්නේ විපත්තිදායක සිතුවිල්ලකින්. “[මුහුදු කාන්තාරයට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය, NW]. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය.” (යෙසායා 21:1) යුප්‍රටීස් ගංගාව බබිලෝනිය හරහා ගමන් කරන නිසා එම දේශය දෙකට බෙදෙනවා. මෙසේ නැඟෙනහිර දිශාවෙන් පිහිටි දේශයේ එක් පැත්තක් යුප්‍රටීස් ගඟෙන්ද, අනෙක් පැත්ත තවත් ප්‍රසිද්ධ ගංගාවක් වන ටයිග්‍රීස් ගඟෙන්ද වටව තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ මුහුදේ සිට සෑහෙන දුරකින්. එසේනම්, එය “මුහුදු කාන්තාරය” ලෙස හඳුන්වන්නේ මන්ද? බබිලෝනියේ වාර්ෂික ජලගැලීම් සිදු වන අතර, ඒ හේතුවෙන් ‘මුහුදක්’ මෙන් තෙත් වගුරු බිම් ඇති වෙනවා. කෙසේවෙතත්, බබිලෝනියේ වැසියන් සංකීර්ණ අගල්, සොරොව් සහ ඇළ මාර්ග ඉදි කිරීමෙන් මේ ජල කාන්තාරය පාලනය කළා. නගරයේ ආරක්ෂක වළල්ල තර කිරීමට ඔවුන් මේ ජලධාරා දක්ෂ ලෙස පාවිච්චි කළා. ඒ වුණත්, බබිලෝනිය දිව්‍ය විනිශ්චයෙන් ගළවන්ට කිසිම මිනිසෙකුට හැකියාවක් නැහැ. ඇය කාන්තාරයක්ව සිටි අතර නැවත කාන්තාරයක් බවට පත් වන්ට යනවා. ඉශ්‍රායෙලයට දකුණු දෙසින් පිහිටි බියකරු කාන්තාරයේ සිට විටින් විට හමන බිහිසුණු කුණාටු හා සමාන විපත්තියක් ඇය මත කඩා වැටෙන්ට ආසන්නයි.—සෙකරියා 9:14 සසඳන්න.

4. එළිදරව් පොතෙහි ඇති “මහා බබිලෝනිය” පිළිබඳ දර්ශනයට “කාන්තාරය” සහ “ජලය” සම්බන්ධ කර තිබෙන්නේ කෙසේද? ‘ජලයෙන්’ අර්ථවත් වෙන්නේ කුමක්ද?

4 මේ පොතේ 14වන පරිච්ඡේදයේ අපි දුටු ආකාරයට, පුරාණ බබිලෝනියේ නවීන දින සමානකාරියෙක් සිටිනවා. ඒ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනියයි.’ එළිදරව් පොතේ මහා බබිලෝනිය “කාන්තාරය” සහ “ජලය” සමඟ සම්බන්ධ කර තිබෙනවා. මහා බබිලෝනිය පෙන්වීම සඳහා ප්‍රේරිත යොහන්ව කාන්තාරයකට රැගෙන ගියා. ඇය ‘ජල පිට හිඳිමින්’ ‘මනුෂ්‍යවර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද’ යන අයව නියෝජනය කරන බව ඔහුට පවසනු ලැබුවා. (එළිදරව් 17:1-3, 5, 15) මහජන අනුබලය බොරු ආගමේ පැවැත්මට සෑමවිටම ප්‍රධාන හේතුව වී තිබෙනවා. එහෙත් එයාකාරයේ “ජලය” ඇයව සැමදා රකින්ට යන්නේ නැහැ. ඇගේ පුරාණ සමානකාරිය මෙන් හිස්, අත්හළ, පාළු ඉරණමක් ඇයත් අද්දකින්ට යනවා.

5. බබිලෝනිය “වංචාකාර” සහ “නාස්තිකාර” යන නාමය ඈඳාගත්තේ කෙසේද?

5 යෙසායාගේ දවසේදී ප්‍රධාන ලෝක බලය වූයේ බබිලෝනිය නෙවෙයි. එහෙත් ඇගේ කාලය පැමිණි විට ඇය ඇගේ බලය අයුතු ලෙස පාවිච්චි කරන බව යෙහෝවා දකිනවා. යෙසායා මෙසේ කියනවා. “දුඃඛිත [දයා විරහිත, NW] දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය.” (යෙසායා 21:2අ) බබිලෝනිය ඇත්තෙන්ම යූදා ඇතුළුව තමා අල්ලගන්නා සෑම ජාතියක්වම කොල්ලකමින් ඔවුන් සමඟ වංචාකාර ලෙස ක්‍රියා කරන්ට යනවා. බබිලෝනියේ පාලකයන් යෙරුසලම අල්ලා කොල්ලකා, එහි දේවමාළිගාවෙහි තිබූ වටිනා භාණ්ඩ පැහැරගෙන සෙනඟව වහලුන් ලෙස බබිලෝනියට ගෙන යනවා. එහිදී, මේ අසරණ වහලුන්ට අසාධාරණ විදිහට සලකනු ලබනවා. ඔවුන්ගේ ඇදහිල්ලට සමච්චල් කරනවා. ඔවුන්ගේ මව්බිම කරා යෑම ගැන කිසිම බලාපොරොත්තුවක් තබාගන්න ඔවුන්ට හැකියාවක් නැහැ.—2 ලේකම් 36:17-21; ගීතාවලිය 137:1-4.

6. (අ) යෙහෝවා නවත්වන්ට යන සුසුම්ලෑම කුමක්ද? (ආ) පුරෝකථනය කළ පරිදි බබිලෝනිය ආක්‍රමණය කරන්ට යන්නේ කුමන ජාතීන් විසින්ද? එය ඉටු වන්නේ කෙසේද?

6 ඔව්, බබිලෝනිය මේ “දයා විරහිත දර්ශනය” ලබන්ට වටිනවා. එයින් අදහස් කරන්නේ ඇයට දැරීමට අමාරු, ඉතා කරදර කාලයක් පැමිණෙන බවයි. යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.” (යෙසායා 21:2ආ) එම වංචනික අධිරාජ්‍යය යටතේ පීඩා විඳි අයට සහනය ලැබෙන්ට යනවා. ඇති යන්තම්, ඔවුන්ගේ සුසුම්ලෑම්වලට කෙළවරක් ඇවිත්! (ගීතාවලිය 79:11, 12) මේ සහනය ලැබෙන්ට යන්නේ කිනම් ආකාරයෙන්ද? බබිලෝනිය ආක්‍රමණය කරන ජාතීන් දෙකක් ගැන යෙසායා සඳහන් කරනවා. ඒ ඒලාම් සහ මේදියාවයි. සියවස් දෙකකට පසුව, ඒ කියන්නේ පො.යු.පෙ. 539දී පර්සියාවේ කෝරෙෂ්, පර්සියානු සහ මේදීය මිත්‍ර හමුදාව බබිලෝනියට එරෙහිව මෙහෙයවනවා. ඒලාම් සම්බන්ධයෙන් කියනවා නම්, පර්සියානු රජවරුන් පො.යු.පෙ. 539ට කලින් මේ දේශයෙන් කොටසක්වත් අත් කරගෙන තිබෙන්ට යනවා. * මෙසේ පර්සියානු හමුදාවේ ඒලාම්වරුද සිටින්ට යනවා.

7. යෙසායාට තමා දුටු දර්ශනය බලපෑවේ කෙසේද? එහි අදාළ වීම කුමක්ද?

7 මේ දර්ශනය තමාට බලපෑ ආකාරය ගැන යෙසායා කියන දේ බලන්න. “එබැවින් මාගේ ඉඟටිය වේදනාවෙන් පිරී තිබේ; බිහිකරන ස්ත්‍රියෙකුගේ විළිරුජා මෙන් රුජා මට අල්ලා තිබේ. කන් නොඇසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැලඹී සිටිමි. මාගේ සිත තිගැස්සිවන්නේය, භයංකරය මා භයගැන්නෙවුවේය. මා ආශාවූ සැන්දෑ කාලය මට වෙවුලුම වී තිබේ.” (යෙසායා 21:3, 4) නිසසල රැය මෙනෙහි කිරීමට සුදුසු අවස්ථාවක් වූ නිසා අනාගතවක්තෘවරයා ඊට ඇලුම් කළ බව පෙනෙනවා. එහෙත් දැන් රාත්‍රියේ සුන්දරත්වය නැති වී ගිහින්. ඒ වෙනුවට එය උපදවන්නේ භය, සාංකාව සහ තිගැස්මයි. ඔහු දරුවෙකු බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාව මෙන් වේදනාවකින් පසු වන අතර, ඔහුගේ සිත ‘තිගැස්සී’ තිබෙනවා. එක් විශාරදයෙක් මේ කියමන දක්වන්නේ, “මගේ හෘදය තදින් ගැහෙනවා” කියායි. ඔහු තවදුරටත් කියන්නේ එය හරියට “උණෙන් ගැහෙන ගතිය තිබෙන විට සහ ශීඝ්‍රයෙන් නාඩි වැටෙන” විට සිදු වෙනවා වගෙයි කියායි. එවැනි කාංසාවකට හේතුව කුමක්ද? යෙසායාගේ හැඟීම් පෙනෙන විදිහට අනාවැකිමය ආකාරයක් ගන්නා අතර, පො.යු.පෙ. 539 ඔක්තෝබර් 5/6දා රාත්‍රියේදී බබිලෝනියේ වැසියන්ද එවැනිම ත්‍රාසයක් අද්දකින්ට යනවා.

8. තම සතුරන් පවුරුවලින් එහා සිටියත් පුරෝකථනය කළ ආකාරයට බබිලෝනියේ වැසියන් ක්‍රියා කරන්නේ කෙසේද?

8 ඒ ඉරණම විසඳෙන රාත්‍රියේ අඳුරු වැටුණු යාමයේ බබිලෝනියයන්ට ඉතිරි වන්නේ ත්‍රාසය පමණයි. මේ ගැන සියවස් දෙකකට පමණ පෙර යෙසායා පුරෝකථනය කරන්නේ මෙසේයි. “ඔව්හු මේසය සූදානම් කෙරෙති, මුර සිටුවති, කමින් බොමින් සිටිති.” (යෙසායා 21:5අ) ඔව්, උඩඟු බේල්ෂශර් රජ මංගල්‍යයක් පිළියෙළ කර තිබෙනවා. ඔහුගේ අධිපතීන් දහස් ගණනකටත් බොහෝ භාර්යාවන් සහ උපභාර්යාවන්ටත් ආසන සූදානම් කර තිබෙනවා. (දානියෙල් 5:1, 2) ඔවුන්ගේ නුවරින් පිට හමුදාවක් සිටින බව මංගල්‍යයට පැමිණි අය දැනගෙන සිටියත් ඔවුන් සිතුවේ ඔවුන්ගේ නගරය අපරාජිතයි කියායි. ඇගේ දැවැන්ත පවුරු සහ ගැඹුරු අගල ඔවුන්ව පරාජයේ මායිමකටවත් ගෙනාවේ නැහැ. ඇයට බොහෝ දෙවිවරුන් සිටි නිසා පරාජය ගැන සිතීම උගහටයි. ඉතින් “කමින් බොමින්” හිටියයි කියල මොකද වෙන්නේ! වෙරි වී සිටියේ බේල්ෂශර් පමණක්ම නොවෙයි. යෙසායාගේ මීළඟ වදන්වලින් කියන්නේ රජගේ නිලධාරීන්ව පිබිදවිය යුතු බවයි. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් ඒ අවස්ථාවේදී මත්ව සිටියා කියන එකයි.

9. “පලිහ ආලේපකරන්න” අවශ්‍ය වන්නේ මන්ද?

9 “අධිපතිවරුනි, නැගිට පලිහ ආලේපකරන්න.” (යෙසායා 21:5ආ) හදිසියේම උත්සවය අවසන් වන නිසා, අධිපතීන්ට ඇහැරෙන්ට සිදු වෙනවා! මහලු අනාගතවක්තෘ දානියෙල්ව දර්ශන පථයට ගෙනෙනවා. යෙසායාගේ පොතේ විස්තර කර තිබෙන ආකාරයට බබිලෝනියේ රජුව යෙහෝවා ත්‍රාසයට පත් කර තිබෙන ආකාරය දානියෙල් සියැසින් දකිනවා. මේදිය, පර්සියානු සහ ඒලාම් මිත්‍ර හමුදා නුවරේ ආරක්ෂක බැමි කඩාගෙන පැමිණෙනවා දැකීමෙන් රජුගේ අධිපතීන් හොඳටම ව්‍යාකූල වෙලා. බබිලෝනිය ඉක්මනටම වැටීයයි! එහෙත්, “පලිහ ආලේපකරන්න” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ජාතියේ ආරක්ෂකයා සහ රැකවලා රජු නිසා සමහර අවස්ථාවලදී බයිබලය ඔහුව ජාතියේ පලිහ ලෙස හඳුන්වනවා. * (ගීතාවලිය 89:18) ඉතින් යෙසායාගේ පොතේ මේ ඡේදය අලුත් රජෙකුගේ අවශ්‍යතාව පුරෝකථනය කරනවා විය හැකියි. ඒ මන්ද? ඊට හේතුව බේල්ෂශර්ව ‘එම රාත්‍රියේම’ මරණයට පත් කිරීමයි. මෙසේ, ‘පලිහ ආලේප කිරීමට’ හෝ අලුත් රජෙකු පත් කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා.—දානියෙල් 5:1-9, 30.

10. වංක කොල්ලකාරයා සම්බන්ධයෙන් යෙසායා පැවසූ අනාවැකියේ ඉටුවීමෙන් යෙහෝවාගේ නමස්කාරකයන් සහනය අත් කරගන්නේ කෙසේද?

10 මේ වාර්තාවෙන් සැබෑ නමස්කාරයට ප්‍රේම කරන සියල්ලන් සැනසීමක් ලබනවා. වර්තමාන බබිලෝනිය එනම්, මහා බබිලෝනිය තම පැරණි සමානකම් කියන්නිය මෙන් වංක කොල්ලකන්නියක් බව ඔප්පු කර තිබෙනවා. මේ දක්වා ආගමික නායකයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කිරීමට කුමන්ත්‍රණ දියත් කර තිබෙන අතර, පීඩා හෝ දණ්ඩනීය බදු පනවා තිබෙනවා. එහෙත් මේ අනාවැකිය අපිට මතක් කර දෙන්නාක් මෙන් යෙහෝවාට මේ සියලුම වංක දේවල් පෙනෙන අතර, ඔහු වරදකරුවන්ට දඬුවම් නොකර සිටින්ට යන්නේ නැහැ. ඔහුව වරදවා නියෝජනය කර ඔහුගේ සෙනඟට අයුතු විදිහට සලකන සියලුම ආගම්වලට විරුද්ධව දරුණු අවසානයක් ගෙනෙන්ට යනවා. (එළිදරව් 18:8) එවැනි දෙයක් විය හැකිද? අපේ ඇදහිල්ල වර්ධනය කරගැනීමට අපිට අවශ්‍ය වන්නේ පුරාණ බබිලෝනියේත් ඇගේ වර්තමාන සමානකම් කියන්නියගේත් වැටීම පිළිබඳ අනතුරු ඇඟවීම දැනටමත් ඉටු වී ඇති ආකාරය දැකීම පමණයි.

“බබිලෝනිය වැටුණාය”

11. (අ) මුරකරුවෙකුගේ වගකීම කුමක්ද? මුරකරුවෙක් ලෙස අදදින ක්‍රියාශීලීව සිටින්නේ කවුද? (ආ) කොටළුවන් සහ ඔටුවන් බැඳි යුධ රථවලින් නියෝජනය කරන්නේ කුමක්ද?

11 යෙහෝවා දැන් අනාගතවක්තෘවරයාට කතා කරනවා. යෙසායා වාර්තා කරන්නේ, “[යෙහෝවා] මට කථාකොට: නුඹ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා” කියායි. (යෙසායා 21:6) මේ වචන පෙළ තවත් වැදගත් උපමාතෘකාවක් ඉස්මතු කරනවා. ඒ මුරකරුවෙක් ගැනයි. යේසුස් තම අනුගාමිකයන්ගෙන් “අවදිව සිටින්න” කියා උදක්ම ඉල්ලා සිටි නිසා, මෙය අද සිටින සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාටම වැදගත් වෙන්ට යනවා. දෙවිගේ විනිශ්චය දවසේ ආසන්නභාවය ගැනත්, මේ දූෂිත ලෝකයෙන් සිදු විය හැකි හානි ගැනත් දකින දේ ප්‍රකාශ කිරීමෙන් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කිසිදාක නැවතී නැහැ. (මතෙව් 24:42, 45-47) යෙසායාගේ දර්ශනයේ සිටින මුරකරුවා දකින්නේ මොනවාද? “දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිටද කොටළුවන් පිටද [ඔටුවන් පිටද, NW] මනුෂ්‍යයන් නැගී එනවා [ඔහු] දකිනකල ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේය.” (යෙසායා 21:7) දෙන්නා දෙන්නා වශයෙන් එන මේ යුධ රථවලින් සමහරවිට නියෝජනය කළේ යුද්ධයට පුහුණු කරන ලද අශ්වයන්ගෙන් සන්නද්ධ යුධ රථ පෙළයි. කොටළුවන් සහ ඔටුවන් බැඳි යුධ රථ, ආක්‍රමණය සඳහා පැමිණෙන මේද සහ පර්සියානු හමුදා මනාව නියෝජනය කරනවා. එපමණක්ද නොව, යුද්ධය සඳහා පර්සියානු ජාතිකයන් කොටළුවන්ව සහ ඔටුවන්ව යොදාගත් බව ඉතිහාසයත් සනාථ කරනවා.

12. යෙසායා දර්ශනයෙන් දුටු මුරකරුවා විදහාපාන ගුණාංග කවරේද? අදදින මේ ගුණාංග අවශ්‍ය කරන්නේ කාටද?

12 ආරංචියක් දීමට මුරකරුවාව පෙලඹෙනවා. “ඔහු සිංහයෙකු මෙන් මොරගසා: [යෙහෝවා], මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි, අන්න, දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිට මනුෂ්‍යයෝ නැගී එතියි කීවේය.” (යෙසායා 21:8, 9අ) දර්ශනයෙන් දුටු මුරකරුවා “සිංහයෙකු මෙන්” ධෛර්යවත්ව මොරගසනවා. බබිලෝනිය වැනි ප්‍රබල ජාතියකට විරුද්ධව විනිශ්චමය පණිවිඩයක් ප්‍රකාශ කිරීමට මහත් ධෛර්යයක් උවමනා කරනවා. ඒ එක්කම තවත් දෙයක් අවශ්‍යයි. ඒ තමයි විඳදරාගැනීම. මුරකරුවා තම සුපරීක්ෂාකාරිකම නැති කරගන්නේ නැතුව දිවා රෑ මුළුල්ලේම මුරකොටුවට වී සිටිනවා. ඒ හා සමානව, මේ අන්තිම දවස්වල සිටින මුරකරු පංතියට ධෛර්යය සහ විඳදරාගැනීම අවශ්‍යව තිබෙනවා. (එළිදරව් 14:12) ඔවුන්ට පමණක් නොව සැබෑ ක්‍රිස්තියානීන් වන සියලුදෙනාටම මේ ගුණාංග දෙක අවශ්‍ය කරනවා.

13, 14. (අ) පුරාණ බබිලෝනිය වැටෙන්නේ කෙසේද? ඇගේ පිළිම කඩා දමන්නේ කිනම් අර්ථයෙන්ද? (ආ) මහා බබිලෝනිය එවැනිම වැටීමක් අද්දුටුවේ කවදාද? කෙසේද?

13 යෙසායා දර්ශනයෙන් දුටු මුරකරුවා යුධ රථ ටිකෙන් ටික ළං වන හැටි දකිනවා. අලුත් ආරංචියක්ද? ඔව්. “ඔහු උත්තරදෙමින්: බබිලෝනිය වැටුණාය, වැටුණාය; ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම කඩා බිමදමනලද්දේයයි කීවේය.” (යෙසායා 21:9ආ) මෙය සිත්සතන් පුබුදුවන ආරංචියක් නෙවෙයිද! ඇති යන්තම්, රැවටිලිකාර ලෙස දෙවිගේ සෙනඟව කොල්ලකන්නා වැටී සිටිනවා! * බබිලෝනියේ කැපූ රූප සහ පිළිම කඩා දමන්නේ කිනම් ආකාරයෙන්ද? මේද පර්සියානු ආක්‍රමණිකයන් බබිලෝනියේ දේවාල වෙත ගොස් ඒවායේ තිබෙන ගණින්ට බැරි තරම් පිළිම කුඩුපට්ටම් කර දමාවිද? නැහැ. එවැනි දෙයක් වෙන්ට අවශ්‍ය නැහැ. බබිලෝනියේ දේවතා රූප කැඩී යනවා කීමෙන් අදහස් කරන්නේ ඒවා නුවර රැකගැනීමට නොහැකි තරමටම දුබල බව හෙළි වුණා කියන එකයි. එමෙන්ම දෙවිගේ සෙනඟව තවදුරටත් පෙළන්ට බබිලෝනියට බැරි වන විට ඔවුන් තම වැටීම අද්දකින්ට යනවා.

14 මහා බබිලෝනිය ගැන කුමක් කිව හැකිද? පළමුවන ලෝක මහා යුධ සමයේදී දෙවිගේ සෙනඟට විරුද්ධව දක්ෂ ලෙස කුමන්ත්‍රණය කරමින්, ඉතා ඵලදායී ලෙස ඇය කලකට ඔවුන්ව වහල්භාවයේ තබාගෙන සිටියා. ඔවුන්ගේ දේශනා වැඩය මුළුමනින්ම වාගේ නැවතුණා. වොච් ටවර් සමිතියේ සභාපති ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුව බොරු චෝදනා මත සිරගත කළා. එහෙත් 1919දී පුදුමාකාර වෙනසක් අද්දැක්කා. නිලධාරීන්ව හිරෙන් නිදහස් කළ අතර, මූලස්ථාන කාර්යාලය නැවත විවෘත කර, දේශනා වැඩය යළි පණගැන්නුවා. මේ ආකාරයට ඔවුන් මහා බබිලෝනියේ පාද යටින් මිදෙනවාත් සමඟම ඇය ඇගේ තත්වයෙන් පහත වැටුණා. * යෙසායා 21:9හි ඇති නිවේදනය යොදාගනිමින් එළිදරව් පොතේ දේවදූතයා මේ වැටීම ගැන දෙවරක් ප්‍රකාශ කර තිබෙනවා.—එළිදරව් 14:8; 18:2.

15, 16. යෙසායාගේ කාලයේ සිටි සෙනඟ ‘පාවරේ දරුවන්’ වන්නේ කිනම් ආකාරයෙන්ද? ඔවුන් සම්බන්ධයෙන් යෙසායාට තිබූ ආකල්පයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

15 යෙසායා මේ අනාවැකිමය පණිවිඩය අවසන් කරන්නේ තම සෙනඟ කෙරෙහි අනුකම්පාසහගත පණිවිඩයක් ඇතුවයි. ඔහු මෙසේ කියනවා. “අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනගෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල [යෙහෝවාගෙන්] මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.” (යෙසායා 21:10) බයිබලය, පාවරේ හෝ කමතේ කරල් පෑගීම කියද්දී බොහෝවිට යොමු දක්වන්නේ දෙවිගේ සෙනඟට හික්මවීම ලබා දීම සහ ඔවුන්ව ශෝධනය කිරීමටයි. පාවරේදී දැඩි වෑයමක් යොදමින් බොල් තිරිඟුවලින් හොඳ තිරිඟු හොඳින් වෙන් කරනවා. ඉතිරි වන්නේ හොඳ තිරිඟු පමණයි. මේ ආකාරයට දෙවිගේ ගිවිසුම යටතේ සිටින සෙනඟ ‘පාවරේ දරුවන්’ බවට පත් වෙන්ට යනවා. යෙසායා මේ හික්මවීම දෙස නපුරු චේතනාවකින් බලනවා වෙනුවට, මේ අනාගත ‘පාවරේ පුත්‍රයන්’ දෙස අනුකම්පාවෙන් බලන්ට යනවා. ඒ ඔවුන්ගෙන් සමහරෙක් තමන්ගේ මුළු ජීවිත කාලයම වාගේ විදේශ රටක වහලුන් සේ ජීවත් වන්ට යන නිසයි.

16 මෙය අපි සියලුදෙනාටම හොඳ සිහිගැන්වීමක් වේවි. අදදින ක්‍රිස්තියානි සභාව තුළ සිටින සමහරුන් වැරදිකරුවන් දෙස අනුකම්පාවෙන් බැලීමට අපොහොසත් වී තිබෙනවා. එමෙන්ම, බොහෝ අවස්ථාවන්හිදී තමන් කළ වරදකට හික්මවීම ලබන අය ඊට අකමැත්ත පළ කිරීමට නැඹුරුව සිටිනවා. කෙසේවෙතත්, යෙහෝවා ජනයාව හික්මවන්නේ ඔවුන්ව ශෝධනය කිරීමට බව අපි මනසේ තබාගන්නවා නම්, අපි ඒ හික්මවීම ලබන තැනැත්තන්ව සුළු කරන්න යන්නේ නැහැ. හික්මවීම ලැබෙන්නේ අපිට නම් අපි ඊට විරුද්ධ වන්නේද නැහැ. ඒ නිසා දිව්‍ය හික්මවීම කියන්නේ දෙවි තම ප්‍රේමය ප්‍රකාශ කරන තවත් ආකාරයක් බව වටහාගෙන එය පිළිගනිමු.—හෙබ්‍රෙව් 12:6.

මුරකරුගෙන් විමසීම

17. ඒදොමට “දූමා” යන නම ගැළපෙන්නේ මන්ද?

17 යෙසායා 21වන පරිච්ඡේදයේ තිබෙන දෙවන අනාවැකිමය පණිවිඩය මුරකරුගේ චරිතය ඉස්මතු කර දක්වනවා. “[දූමාට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය, NW]. මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයද? මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයදැයි සේයිර් සිට කෙනෙක් මට හඬගසයි.” (යෙසායා 21:11) දූමා තිබෙන්නේ කොහේද? බයිබල් කාලවලදී පෙනෙන විදිහට මේ නමින් නුවරවල් කිහිපයක්ම තිබී ඇතත් මෙතන කතා කරන්නේ ඒ එකක් ගැනවත් නෙවෙයි. සේයිර්හි නැත්නම් තවත් නමකින් කියනවා නම් ඒදොම්හි දූමා කියා නුවරක් තිබුණේ නැහැ. කෙසේවෙතත්, “දූමා” යන්නෙන් “නිහැඬියාව” අදහස් වෙනවා. ඉතින් කලින් කළ දිව්‍ය ප්‍රකාශයන් මෙන් මෙයින්ද පෙන්වන්නේ, අනාගතයේදී සිදු වන්ට යන දේ අඟවන නමක් මේ දේශයටද දී ඇති බවයි. ඒදොම කියන්නේ කාලාන්තරයක් තිස්සේ පළිගැනීමට දෙවිගේ සෙනඟ බලා සිටි දේශයක්. එය නිහඬ වන්ට නැතහොත් මරණීය නිහැඬියාව අද්දකින්ට නියමිතයි. එහෙත්, එය සිදුවීමට පෙර සමහරුන් වෙලාව ගැන එනම් අනාගතය ගැන ඕනෑකමින් සොයා බලන්ට යනවා.

18. ‘උදෑසන එන්නේය, රාත්‍රියත් එන්නේය’ යන දිව්‍ය ප්‍රකාශය පුරාණ ඒදොම කෙරෙහි ඉටු වන්නේ කෙසේද?

18 යෙසායා මෙය ලියන කාලයේදී, ඒදොම තිබුණේ බලවත් අෂූරිය හමුදාවේ ගමන් මඟෙයි. තමන් මුහුණ දෙන පීඩා කෙළවර වන්නේ කවදාද කියා සමහර ඒදොම් වැසියන් මහත් ඕනෑකමින් අසනවා. ඊට පිළිතුර කුමක්ද? “මුරකාරයාද: පහන් වේලාව [උදෑසන, NW] එන්නේය, රාත්‍රියත් එන්නේය” කියා කියනවා. (යෙසායා 21:12අ) ඒදොම පිළිබඳ තිබෙන පෙරනිමිත්ත එතරම් හොඳ නැහැ. අරුණෝදයක් පෙනෙන්ට තිබුණත්, එය ඉතාම කෙටි කාලීනයි. රවටනසුලුයි. රාත්‍රිය, එනම් පීඩාවේ තවත් අඳුරු යාමයක් උදෑසන ගෙවී යන්ටත් පළමුවෙන් පැමිණෙන්ට යනවා. ඒදොමේ අනාගතය සම්බන්ධයෙන් කොතරම් ගැළපෙන පින්තූරයක්ද! ඒදොම කෙරෙහි අෂූරීය පීඩාව අවසන් වුණත්, බබිලෝනිය මහා ලෝක බලය ලෙස අෂූරිය පරාජය කර ඒදොම නැති නාස්ති කරන්ට යනවා. (යෙරෙමියා 25:17, 21; 27:2-8) බබිලෝනියෙන් පසු පර්සියාවත් ඉන්පසු ග්‍රීසියත් ඒදොමට විරුද්ධව එසේම කරන්ට යනවා. එහෙත්, රෝම පාලන සමයේදී ඒදොම් ජාතිකයන්ගෙන් පැවතෙන්නන් වන හෙරෝද්වරුන් ලෙස හැඳින්වූ අය යෙරුසලමේ බලයට පත් වූ විට, ඔවුන් කෙටි කාලීන ‘පහන් වීමක්’ අද්දකිනවා. එහෙත් එම “උදෑසන” වැඩි වේලාවක් තිබෙන්ට යන්නේ නැහැ. අවසානයේදී, ඒදොම සදාකාලයටම නිහඬ වී ඉතිහාසයෙන් මැකී යනවා. මෙසේ දූමා යන නම ඉතා උචිත ලෙස ඒදොමට ගැළපෙනවා.

19. “නුඹලා විභාගකරන්ට නම් කැමති නැවත ඇවිත් විභාගකරන්න” කියා කියද්දී මුරකරු කුමක් අදහස් කරනවා විය හැකිද?

19 මුරකරුවා තම කෙටි පණිවිඩය අවසන් කරන්නේ මේ වදන් පේළියෙන්. “නුඹලා විභාගකරන්ට නම් කැමති නැවත ඇවිත් [නැවත එන්න, NW] විභාගකරන්න.” (යෙසායා 21:12ආ) “නැවත එන්න” යන කියමනෙන් සමහරවිට අඟවන්නේ ඒදොම වැසී තිබෙන නිමක් නැති ‘අඳුර’ ගැන විය හැකියි. එහෙම නැත්නම්, මේ කියමන “හැරී එන්න” කියාද පරිවර්තනය කළ හැකි නිසා එම ජාතිය මත පැමිණෙන්ට යන මහත් විපත්තියෙන් බේරෙන්ට කැමති ඒදොමියයෙක් සිටිනවා නම් පසුතැවිලි වී යෙහෝවා වෙත “හැරී එන්න” කියා අනාගතවක්තෘවරයා අදහස් කරනවා ඇති. කාරණය කුමක් වුණත් තවදුරටත් විභාග කිරීමට මුරකරුවා ඔවුන්ට ආරාධනා කරනවා.

20. යෙසායා 21:11, 12හි වාර්තා කර ඇති දිව්‍ය ප්‍රකාශය අදදින සිටින යෙහෝවාගේ සෙනඟට වැදගත් වන්නේ මන්ද?

20 මේ කෙටි දිව්‍ය ප්‍රකාශය වර්තමානයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වී තිබෙනවා. * මනුෂ්‍යවර්ගයා සිටින්නේ ආත්මික අන්ධකාරයේ ගිලී, දෙවිගෙන් ඈත් වූ තත්වයක බව අපි දන්නවා. එය ඔවුන්ව මඟ පෙන්වන්නේ පවතින මේ ක්‍රමයේ විනාශය කරායි. (රෝම 13:12; 2 කොරින්ති 4:4) මේ රාත්‍රි කාලයේදී, සාමය සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මනුෂ්‍යවර්ගයාට යම් බලාපොරොත්තුවේ සේයාවක් තිබුණත් එය නිකම්ම රැවටිලිකාර එකක්. එය කෙටි කාලීන අලුයමට පසුව තිබෙන්ට යන්නාවූ දැඩි අඳුරට සමානයි. පොළොව කෙරෙහි ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේ ඇරඹුම නමැති සැබෑ අලුයම ළඟා වෙමින් තිබෙනවා. අඳුර පවතිද්දී ආත්මිකව සුපරීක්ෂාකාරිව සිටිමින් මේ දූෂිත ක්‍රමයේ අවසානය ළඟ බව නිර්භීතව ප්‍රකාශ කිරීමෙන් අපි මුරකරු පංතියේ මඟ පෙන්වීම අනුගමනය කළ යුතුයි.—1 තෙසලෝනික 5:6.

කාන්තාරය මත අඳුර වැටේ

21. (අ) “කාන්තාර දේශයට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය” යන කියමන එම දේශයේ අනාගතය පැහැදිලි කිරීමට යොදාගෙන තිබෙන්නේ කෙසේද? (ආ) දෙදාන්වරුන්ගේ ගැල් යනු මොනවාද?

21 යෙසායා 21වන පරිච්ඡේදයේ තිබෙන අවසාන දිව්‍ය ප්‍රකාශය “කාන්තාර දේශයට” විරුද්ධවයි. එය මෙසේ ඇරඹෙනවා. “අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය [කාන්තාර දේශයට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය, NW]. අහෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පඳුරු අතරේ නුඹලා නවාතැන් ගන්නවා [සන්ධ්‍යා කාලය ගත කරනවා, NW] ඇත.” (යෙසායා 21:13) මේ දිව්‍ය ප්‍රකාශය අරාබියේ ගෝත්‍ර ගණනාවකට විරුද්ධව කියැවී ඇති නිසා පෙනෙන විදිහට මෙහි සඳහන් කාන්තාර දේශය යන වචනයෙන් යොමු දක්වන්නේ අරාබියටයි. තවදුරටත් “කාන්තාර දේශය” සඳහා යොදාගත් හෙබ්‍රෙව් වචනය සහ “සන්ධ්‍යාව” යන වචනය බොහෝ දුරට එකිනෙකට සමානයි. ඒ නිසා, ඇතැම්විට “කාන්තාර දේශයට” “සන්ධ්‍යාව” වශයෙන්ද යොමු දැක්වූවා. සමහරුන් කියන්නේ මේ හෙබ්‍රෙව් වචනය දෙයාකාර අර්ථයක් දීමට යොදාගෙන ඇති බවයි. එනම් අඳුරු “සන්ධ්‍යාවක්” හෙවත් කරදර කාලයක්, “කාන්තාර දේශය” හෝ සන්ධ්‍යාව ලෙස හැඳින්වූ මේ ප්‍රදේශය පිට වැටෙන්ට ආසන්න බවයි. දිව්‍ය ප්‍රකාශය ඇරඹෙන්නේ අරාබියේ ප්‍රමුඛ ගෝත්‍රයක් වන දෙදාන්වරුන් රාත්‍රියේ ගැල් පදවන දර්ශනයකින්. එම ගැල් කාන්තාරයේ එක් ක්ෂේම භූමියක සිට තවත් ක්ෂේම භූමියක් දක්වා දිවෙන වෙළඳ මාර්ග ඔස්සේ කුළුබඩු, මුතු සහ වෙනත් වටිනා දේවල් ගෙන යනවා. එහෙත් මෙහිදී අපි දකින්නේ ඔවුන්ගේ සුපුරුදු ගමන් මඟෙන් පිට පැන රාත්‍රිය පුරා සැඟවී සිටීමයි. ඒ කුමන හේතුවක් නිසාද?

22, 23. (අ) අරාබි ගෝත්‍ර මත වැටෙන්ට යන පීඩාකාරි බර කුමක්ද? එය ඔවුන්ට කෙසේ බලපාන්ට යනවාද? (ආ) මේ විපත්තිය පැමිණෙන්ට යන්නේ කොපමණ ඉක්මනින්ද? කාගේ අතින්ද?

22 යෙසායා මෙසේ පැහැදිලි කරනවා. “තේමා දේශයේ වැසියෝ පිපාසා ඇත්තාගේ පෙරමගට වතුර ගෙනාවෝය, පලායන අය වෙතට කෑම රැගෙන ආවෝය. මක්නිසාද ඔව්හු කඩු ඉදිරියෙන්ද ඇදගත් කඩුව ඉදිරියෙන්ද තැත්කැවූ දුන්න ඉදිරියෙන්ද යුද්ධයේ තදකම ඉදිරියෙන්ද පලාගියෝය.” (යෙසායා 21:14, 15) ඔව්, යුද්ධයේ පීඩාකාරි බර මේ අරාබි ගෝත්‍ර විසින් අද්දකින්ට යනවා. තේමා කියන්නේ කාන්තාරයේ පිහිටි ජලයෙන් පිරි ක්ෂේම භූමිවලින් එකකටයි. දැන් යුධ සරණාගතයන්ට කෑම බීම සැපයීමට එයට සිදු වී තිබෙනවා. මේ ගැටලුව පැනනැඟුණේ කවදා සිටද?

23 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “[යෙහෝවා] මට කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තව අවුරුද්දකින් කේදාර්හි මුළු තේජස නැතිව යන්නේය. කේදාර් පුත්‍රයන්ගේ බලවන්තයන්වූ දුනුකාරයන්ගේ ගණනෙන් ඉතිරි අය ස්වල්පවන්නෝය. මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා] එසේ [පැවසීය].” (යෙසායා 21:16, 17) කේදාර් කියන්නේ අරාබියේ තවත් ප්‍රමුඛම ගෝත්‍රයක්. එය කොතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවාද කිවහොත් එම නම සමහර අවස්ථාවලදී මුළු අරාබිකරයම නියෝජනය කිරීමට පාවිච්චි කළා. මේ ගෝත්‍රයේ සිටින දුනුකරුවන් සහ බලවතුන්ගේ ගණන අඩු වී යෑමට සැලැස්වීමට යෙහෝවා ස්ථිර ලෙසම තීරණය කර තිබෙනවා. ඒ කොපමණ කාලයකින්ද? වැඩි කාලයක් යන්ට කලින්, එනම් “තව අවුරුද්දකින්.” යෙහෝවා ඔවුන්ව තබාගන්ට යන්නේ ගෙවන පැය ගණනට පමණක් වැඩ කරන කුලීකරුවන් හා සමානවයි. මේ සෑම දෙයක්ම නිශ්චිතවම සිදු වූයේ කෙසේද යන්න ස්ථිර නැති වුණත්, IIවන සාගොන් සහ සෙනකෙරීබ් යන අෂූරීය රජුන් දෙදෙනා, අරාබිකරය අල්ලාගැනීම ගැන නම් දරා තිබෙනවා. පුරෝකථනය කළ ආකාරයට මොවුන් ඒ උඩඟු ගෝත්‍ර විනාශ කරන්ට ඇති බව සිතිය හැකියි.

24. අරාබියට විරුද්ධව යෙසායාගේ අනාවැකිය ඉටු වූ බව අපට නිසැක විය හැක්කේ කෙසේද?

24 කෙසේවෙතත්, මේ අනාවැකිය තිතටම ඉටු වූ බවට අපිට කිසිම සැකයක් නැහැ. ඒ කාරණය දිව්‍ය ප්‍රකාශයේ අවසන් කොටසේ කියන තරම් නිවැරදි ආකාරයට කියන්ට වෙන කිසිවෙකුට බැහැ. එහි කියන්නේ, ‘ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා එසේ පැවසීය’ කියායි. බබිලෝනිය අෂූරිය පරද්දවයි කියාවත්, ඉන්පසුව දූෂිත මංගල්‍යයක් පවත්වමින් සිටිද්දී එක රැයකින් එහි බලය අනිත් පැත්තට පෙරළෙයි කියාවත් යෙසායාගේ දවසේ සිටි සෙනඟට හිතාගන්නවත් බැරි වුණා. එමෙන්ම ප්‍රබල ඒදොම මාරාන්තික නිහැඬියාවක් අද්දකියි කියා හෝ ධනකුවේර අරාබි ගෝත්‍රවලට දුෂ්කරතා සහ දිළිඳුකම විඳින්ට වෙයි කියා හෝ සිතීම ඔවුන්ට අමාරු වුණා. එහෙත්, එසේ සිදු වන බවයි යෙහෝවා කියන්නේ. එය එසේම සිදුවීමට නියමිතයි. ඒ හා සමානව බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය සුන්නද්දූලි වී යන බව අද යෙහෝවා කියනවා. එය අස්ථිර දෙයක් නොව, ස්ථිරවම සිදු වන දෙයක්. යෙහෝවාම ඒ බව කියා තිබෙනවා!

25. මුරකරුවාගේ ආදර්ශය අනුකරණය කිරීමට අපිට හැක්කේ කෙසේද?

25 ඉතින් අපිත් මුරකරුවා මෙන් වෙමු. ඉතා උස මුරකොටුවක ඉඳිමින් දුර ඈත සිට පැමිණිය හැකි ඕනෑම ආකාරයක අනතුරක් දැකීමට හැකි වන පරිදි අපි අවදිව සිටිමු. පොළොව මත සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන් ඉතිරි කොටස වන ඇදහිලිවන්ත මුරකරු පංතිය සමඟ කිට්ටුවෙන් ඇසුරු කරමු. අද අපි දකින්නේ මොනවාද? ක්‍රිස්තුස් ස්වර්ගයේ සිට පාලනය කිරීමයි. එමෙන්ම දෙවිගෙන් විදේශීව මනුෂ්‍යවර්ගයා ගත කර තිබෙන දිගු, අඳුරු රාත්‍රියට ඔහු ඉක්මනින් ගෙනෙන්ට යන අවසානයයි. ඉන්පසු තිබෙන්නේ සැබෑ අලුයම උදාවීමයි, එනම් පාරාදීස පොළොව කෙරෙහි ඔහුගේ දහස් අවුරුදු පාලනයයි. ඒ නිසා අපි දකින මේ දේ ඇති සැටියෙන්ම ප්‍රකාශ කිරීමට නිර්භීත වෙමු. එසේ කිරීමට ආලේප ලත් අය සමඟ එක් වෙමු!

[පාදසටහන්වල]

^ පර්සියානු රජ වූ කෝරෙෂ්වද සමහර අවස්ථාවල “අන්ෂාන්හි රජ” ලෙස හඳුන්වා තිබෙනවා. අන්ෂාන් කියන්නේ ඒලාම්හි ප්‍රදේශයක් හෝ නගරයක්. යෙසායාගේ දවසේදී එනම් පො.යු.පෙ. අටවන සියවසේ සිටි ඉශ්‍රායෙල්වරුන් ඒලාම් ගැන දැන සිටියත් පර්සියාව ගැන නොදැන සිටියා වෙන්ට පුළුවන්. ඉතින් මෙම අනාවැකිය තේරුම් කර දීමට යෙසායා පර්සියාව නොකියා එය ඒලාම් ලෙස සඳහන් කරන්නේ ඇයි කියා අපිට තේරුම්ගන්ට පුළුවන්.

^ “පලිහ ආලේපකරන්න” කියන වචන පුරාණ හමුදාවන්හි තිබූ පුරුද්දකට සම්බන්ධයි කියා බොහෝ විශාරදයන් සිතනවා. ඊතල වැදෙද්දී එය ඉවතට ලිස්සා යන්ට පැරැන්නන් හම් පලිස්වලට තෙල් ආලේප කළා කියා ඔවුන් සිතනවා. මෙය පිළිගත හැකි විග්‍රහයක් වුණත්, සිහි කළ යුතු විශේෂ කාරණයක් ඇත. බබිලෝනිය වැටුණු ඒ රාත්‍රියේදී සටන් කරන්ට තියා සටනට සූදානම් වීම සඳහා ඔවුන්ගේ පලිස්වල තෙල් ආලේප කරන්ටවත් වෙලාවක් තිබුණේ නැහැ!

^ බබිලෝනියේ වැටීම සම්බන්ධ යෙසායාගේ අනාවැකිය කොතරම් නිරවද්‍යද කිවහොත් එම සිද්ධිය වූවාට පසුව ඒ ගැන ලියන්ට ඇතැයි කියා බයිබල් විවේචකයන් සැක කළා. එහෙත් හෙබ්‍රෙව් විශාරද එෆ්. ඩෙලිට්ෂ් කියන්නේ, යම් සිදුවීමකට අවුරුදු සිය ගණනකට කලින් අනාගතවක්තෘවරයෙකුට දේවානුභාවයෙන් ඒ බව දැන්විය හැකියි කියා අපි විශ්වාස කරනවා නම් එසේ සැක කිරීම අනවශ්‍ය බවයි.

^ එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! පොතේ 164-9 දක්වා පිටු බලන්න.

^ මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාව ප්‍රකාශයට පත් කළ මුල් අවුරුදු 59 පුරාම එහි පිට කවරයෙහි යෙසායා 21:11 දැකිය හැකි වුණා. වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ චාල්ස් ටී. රසල් ලියූ අවසාන දේශනයේද ඒ පදයම සඳහන් වුණා. (කලින් පිටුවේ ඇති පින්තූරය බලන්න.)

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[219වන පිටුවේ පින්තූරය]

“කමින් බොමින්” හිටියයි කියල මොකද වෙන්නේ!

[220වන පිටුවේ පින්තූරය]

මුරකරුවා ‘සිංහයෙකු මෙන් මොරගසන්ට පටන්ගත්තා’

[222වන පිටුවේ පින්තූරය]

‘මම දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් සිටිමි’