Skip to content

පටුනට යන්න

“මාගේ සෙනඟ සනසන්න”

“මාගේ සෙනඟ සනසන්න”

තිස්වන පරිච්ඡේදය

“මාගේ සෙනඟ සනසන්න”

යෙසායා 40:1-31

1. යෙහෝවා අපිව සනසන එක් ක්‍රමයක් කුමක්ද?

 ‘සැනසීම සපයන දෙවි’ යෙහෝවායි. ඔහුගේ වචනය තුළ වාර්තා කර ඇති පොරොන්දු ඔහු අපිට සැනසීම ලබා දෙන එක් ක්‍රමයක්. (රෝම 15:4, 5) උදාහරණයක් හැටියට, ඔබ ආදරය කරන කෙනෙක් මිය ගිය විට, ඔහු හෝ ඇය දෙවිගේ නව ලෝකයේදී නැවත නැඟිටිනවා කියන අපේක්ෂාවට වඩා වෙනත් සැනසීමක් තවත් තිබෙනවාද? (යොහන් 5:28, 29) එපමණක් නෙවෙයි, යෙහෝවා ඉක්මනින්ම දුෂ්ටකම ඉවත් කර මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා කියන යෙහෝවාගේ පොරොන්දුව ගැන කුමක් කිව හැකිද? පැමිණෙන්නාවූ පාරාදීසය තුළට නොමැරී ඇතුල් වී කිසිදාක මරණය අද්දකින්නේ නැතුව ජීවත් වෙනවා කියන එක සැනසීමක් නෙවෙයිද?—ගීතාවලිය 37:9-11, 29; එළිදරව් 21:3-5.

2. දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට අපිට හැක්කේ මන්ද?

2 දෙවිගේ පොරොන්දු අපිට ඇත්තටම විශ්වාස කරන්ට පුළුවන්ද? ඇත්තෙන්ම පුළුවන්! ඒ පොරොන්දු දෙන තැනැත්තා සම්පූර්ණයෙන්ම විශ්වාසවන්තයි. ඔහුට තමාගේ වචන ඉෂ්ට කරන්ට හැකියාවත් උවමනාවත් තිබෙනවා. (යෙසායා 55:10, 11) යෙරුසලමෙහි සැබෑ නමස්කාරය යළි පිහිටුවන බවට අනාගතවක්තෘ යෙසායා තුළින් ප්‍රකාශ කළ කියමනෙන් මේ කාරණය ප්‍රබල ලෙස සනාථ කළා. මේ අනාවැකිය යෙසායා 40වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එය සලකා බැලීම පොරොන්දු ඉටු කරන්නා වන යෙහෝවා කෙරෙහි අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උපකාරයක් වෙනවා.

සැනසිලිදායක පොරොන්දුවක්

3, 4. (අ) යෙසායා වාර්තා කරන්නේ දෙවිගේ සෙනඟට පසු කාලයේදී අවශ්‍ය වන කිනම් සැනසිලිදායක වචනද? (ආ) යූදාහි සහ යෙරුසලමෙහි වැසියන්ව බබිලෝනියේ වහල්කමට ගෙන යන්නේ මන්ද? එමෙන්ම ඔවුන් එහි කොතරම් කල් වහලුන්ව සිටින්ට යනවාද?

3 යෙහෝවාගේ සෙනඟට පසු කාලයේදී ප්‍රයෝජනවත් වන සැනසිලිදායක වචන රැසක් පො.යු.පෙ. අටවන සියවසේදී අනාගතවක්තෘ යෙසායා විසින් වාර්තා කරනවා. යෙරුසලමට පැමිණෙන්ට යන විනාශය ගැනත් යුදෙව්වන්ව බබිලෝනියට පිටුවහල් කිරීම ගැනත් හෙසකියාට දැන්වූ විගසම, යෙරුසලමේ යළි පිහිටුවීම පිළිබඳ යෙහෝවාගේ පොරොන්දුව යෙසායා පවසනවා. “මාගේ සෙනග සනසන්න, සනසන්නැයි නුඹලාගේ [දෙවි කියන්නේය]. යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට [යෙහෝවා] අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.”—යෙසායා 40:1, 2.

4 යෙසායා 40වන පරිච්ඡේදයේ මුලින්ම කැපීපෙනෙන්ට සලස්වා ඇති “සනසන්න” යන වචනය යෙසායා පොතේ සඳහන් ඥානාලෝකය සහ බලාපොරොත්තුව ගෙන දෙන පණිවිඩය හොඳ හැටි විස්තර කරනවා. ඇදහිල්ල හැර යෑම නිසා යූදාහි සහ යෙරුසලමෙහි වැසියන්ව පො.යු.පෙ. 607දී වහලුන් හැටියට බබිලෝනියට ගෙන යනවා. එහෙත් එම යුදෙව් වහලුන් බබිලෝනියයන්ට සදහටම වහල්කම් කරන්ට යන්නේ නැහැ. ඔවුන්ගේ වහල්භාවය පවතින්ට යන්නේ ඔවුන්ගේ වරද ‘ගෙවී යන තුරු’ පමණයි. ඒ කොපමණ කාලයකටද? අනාගතවක්තෘ යෙරෙමියා කියන විදිහට එය අවුරුදු 70කටයි. (යෙරෙමියා 25:11, 12) ඒ කාලයෙන් පසු, යෙහෝවා පසුතැවිලි වූ ඉතිරි කොටසක් බබිලෝනියේ සිට යෙරුසලමට නැවතත් ගෙන යනු ලබනවා. යූදා දේශය පාළුවට ගොස් තිබූ 70වන අවුරුද්දේදී තමන්ට පොරොන්දු වූ ගැළවීම අත ළඟ බව තේරුම්ගැනීම යුදෙව් වහලුන්ට මොනතරම් සහනයක් ගෙනෙන්ට ඇද්ද!—දානියෙල් 9:1, 2.

5, 6. (අ) බබිලෝනියේ සිට යෙරුසලම දක්වා යන දිගු ගමන දෙවිගේ පොරොන්දු ඉටු කිරීමට බාධාවක් නොවන්නේ මන්ද? (ආ) යුදෙව්වන් ඔවුන්ගේ මව්බිමට යළි පැමිණීම අනෙකුත් ජාතීන් මත කිනම් බලපෑමක් ඇති කරනවාද?

5 බබිලෝනියේ සිට යෙරුසලම දක්වා තිබෙන එක් මාර්ගයක් කිලෝ මීටර් 800ක් වන අතර, අනෙක කිලෝ මීටර් 1,600ක් පමණ වෙනවා. ඒ නිසා, කුමන මාර්ගය තෝරාගත්තත් ගමන දුරයි. මේ දිගු ගමන දෙවිගේ පොරොන්දුව ඉටු කිරීමට බාධාවක් වෙයිද? කොහෙත්ම නැහැ! යෙසායාට ඇහුම්කන් දෙන්න. “කාන්තාරයෙහි [යෙහෝවාගේ] මාර්ගය සාදා, අපේ [දෙවිට] වනයෙහි මාවතක් සමතලාකරන්න. සියලු මිටි තැන් උස්වන්නේය, සියලු කඳු හා හෙල් පහත්කරනු ලබන්නේය. ඇද තැන් ඇදහරිනු ලබන්නේය, රළු තැන් සමතලාකරනු ලබන්නේය. එවිට [යෙහෝවාගේ] තේජස ප්‍රකාශවන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය. මක්නිසාද [යෙහෝවාගේ] මුඛය එය [පැවසීයයි] මොරගසන්නෙකුගේ හඬක් වන්නේය.”—යෙසායා 40:3-5.

6 නැඟෙනහිර දිශාවේ සිටින පාලකයන් සංචාරයක් ආරම්භ කරන්ට කලින් මිනිසුන්ව යවා තමන් ගමන් කිරීමට යන මඟෙහි බාධක ලෙස තිබිය හැකි විශාල ගල් ඉවත් කෙරෙව්වා. සමහර අවස්ථාවලදී, දියපාරවල් උඩින් ගල්වැටි බන්දා, කඳු පවා සමතලා කෙරෙව්වා. ඒ හා සමානව, නැවත යන යුදෙව්වන් සම්බන්ධයෙන් ගත් කල, දෙවි ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් ඔවුන්ගේ මාර්ග බාධා ඉවත් කළා. එසේ කළේ ඔවුන් යෙහෝවාගේ නාමය දරන සෙනඟක් නිසයි. තවද ඔවුන්ව යළි තම මව්බිමට ගෙන යෑමට වූ පොරොන්දුව ඉටු කිරීම සියලු ජාතීන් ඉදිරියේ දෙවිගේ තේජස විදහාපෙන්වීමක්. ඒ ජාතීන් කැමති වුණත් නැතත්, යෙහෝවා කියන්නේ පොරොන්දු ඉටු කරන දෙවි බව, ඔවුන් අනිවාර්යයෙන්ම දැනගන්ට යනවා.

7, 8. (අ) පොදු යුගයේ පළමු සියවසේදී යෙසායා 40:3හි වචන ඉටු වූයේ කෙසේද? (ආ) වර්ෂ 1919දී යෙසායාගේ අනාවැකිය වඩාත් පුළුල් ආකාරයකින් ඉටු වුණේ කෙසේද?

7 මේ යළි පිහිටුවීම පිළිබඳ අනාවැකියේ ඉටුවීම පො.යු.පෙ. හයවන සියවසට පමණක් සීමා වුණේ නැහැ. පොදු යුගයේ පළමු සියවසේදීත් එහි ඉටුවීමක් තිබුණා. යෙසායා 40:3හි සඳහන් ‘වනයෙහි හඬගසන්නා’ වූයේ යොහන් බව්තීස්තයි. (ලූක් 3:1-6) දේවානුභාවයෙන් යොහන් යෙසායාගේ වචන තමාටම අදාළ කරගත්තා. (යොහන් 1:19-23) පොදු යුගයේ 29 සිට යොහන් යේසුස් ක්‍රිස්තුස්ගේ පෙරමඟ සරසන්ට පටන්ගත්තා. * යොහන්ගේ දේශනාව මිනිසුන් තුළ පොරොන්දු වූ මෙසියස් පිළිබඳ අපේක්ෂාවක් ඇති කළා. එසේ කිරීමෙන් ඔහුට අවශ්‍ය කළේ, මිනිසුන් මෙසියස්ට ඇහුම්කන් දී ඔහුව අනුගමනය කරනවා දැකීමටයි. (ලූක් 1:13-17, 76) යෙහෝවා යේසුස් මාර්ගයෙන්, දෙවිගේ රාජ්‍යයට පමණක් ගෙනා හැකි නිදහස්කමට එනම්, පාපයෙන් සහ මරණයෙන් නිදහස වෙතට පසුතැවිලි වූවන්ව මඟ පෙන්වනවා. (යොහන් 1:29; 8:32) වර්ෂ 1919දී ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසේ ගැළවීම සම්බන්ධයෙනුත් සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සම්බන්ධයෙනුත් යෙසායාගේ වචන වඩාත් පුළුල් ආකාරයකින් ඉටු වුණා.

8 කෙසේවෙතත්, මේ පොරොන්දුවේ මුල් ඉටුවීමෙන් ප්‍රයෝජන ලබන්ට යන අය වන බබිලෝනියේ සිටින යුදෙව් වහලුන් ගැන කුමක් කිව හැකිද? තම දයාබර මව්බිමට ඔවුන්ව යළි පමුණුවනවායයි යෙහෝවා දුන් පොරොන්දුව කෙරෙහි සියයට සීයක් විශ්වාසය තබන්ට ඔවුන්ට පුළුවන්ද? ඇත්තෙන්ම ඔවුන්ට එසේ කරන්ට පුළුවන්! යෙසායා විචිත්‍රවත් වචන හා දෛනික ජීවිතයේ සිදුවීම් හා බැඳි නිදසුන් මාර්ගයෙන් ඉතාමත් පැහැදිලිව පොලඹවනසුලු හේතු සපයනවා. එසේ හේතු සපයන්නේ යෙහෝවා තම පොරොන්දු කඩ නොකරන බව පූර්ණ ලෙස විශ්වාස කිරීමට ඔවුන්ට හැකි වන පිණිසයි.

දෙවිගේ වචන සදාකාලිකයි

9, 10. මිනිස් ජීවිතයේ අස්ථිරභාවයත් දෙවිගේ ‘වචනයේ’ සදාකාලිකත්වයත් යෙසායා දක්වන්නේ කෙසේද?

9 යළි පිහිටුවීම ගැන පොරොන්දු වන තැනැත්තාගේ වචනය සදාකල්ම පවතින බව පළමුව කිව යුතුයි. යෙසායා මෙසේ ලියනවා. “මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසම්දැයි කෙනෙක් ඇසීය. මාංසමයවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය. [යෙහෝවාගේ] හුස්ම ඒවාට ගසන බැවින් තණකොළ වියළෙයි, මල පරවෙයි; සැබවින් සෙනග තෘණය. තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ [දෙවිගේ] වචනය සදාකාලේටම පවත්නේය කියාය.”—යෙසායා 40:6-8.

10 තණකොළ සදහටම පවතින්නේ නැති බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් හොඳටම දන්නවා. වියළි කාලයේදී, සැර අව් කාස්ටකේට තණකොළ වේළී දුඹුරු පැහැයක් ගන්නවා. යම් යම් ආකාරවලින් මිනිස් ජීවිතයත් තණකොළ වගේ, හරිම තාවකාලිකයි. (ගීතාවලිය 103:15, 16; යාකොබ් 1:10, 11) යෙසායා මිනිස් ජීවිතයේ අස්ථිරභාවයත් දෙවිගේ ‘වචනයේ’ හෝ ඔහුගේ ප්‍රකාශිත අරමුණේ සදාකාලිකත්වයත් අතර වෙනස පෙන්වනවා. ඔව්, ‘අපේ දෙවිගේ වචනය’ සදාකාලයටම පවතින්ට යනවා. ඉතින් දෙවි යමක් කී විට ඔහුගේ වචනය වෙනස් කරන්ට හෝ ඒවා ඉටුවීමෙන් වළක්වන්ට හෝ කිසිම දෙයකට බැහැ.—යෝෂුවා 23:14.

11. යෙහෝවා තම ලිඛිත වචනයේ තිබෙන පොරොන්දු ඉටු කරන බව අපිට විශ්වාස කළ හැක්කේ මන්ද?

11 අදදින යෙහෝවාගේ ප්‍රකාශිත අරමුණ ලියවිල්ලක ආකාරයෙන් දක්නට තිබෙනවා. එම ලියවිල්ල බයිබලයයි. බයිබලය සියවස් ගණනාවක් පුරා දැඩි විරෝධතාවලට ලක් වී තිබෙනවා. එය රැකගැනීමට අභීත පරිවර්තකයන් සහ වෙනත් අය ඔවුන්ගේ ජීවිත පවා පරදුවට තබා තිබෙනවා. එසේ වුණත්, එය මේ දක්වා රැකී තිබෙන්නේ ඔවුන්ගේ වෑයම පමණකින්මයයි කිව නොහැකියි. එය රැකගැනීම සම්බන්ධයෙන් පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ “ජීවමාන වූ සදාකාලික වූ [NW]” සහ තමන්ගේම වචනයේ ආරක්ෂකයා වන යෙහෝවාටයි. (1 පේතෘස් 1:23-25) මේ ගැන සිතා බලන්න. යෙහෝවා තම ලිඛිත වචනය ආරක්ෂා කර තිබෙන නිසා, එහි තිබෙන පොරොන්දු ඔහු ඉටු කරන බවට ඔහු කෙරෙහි විශ්වාස කරන්ට බැරිද?

තම බැටළුවන් මුදු මොළොක් ලෙස රකින බලවත් දෙවි කෙනෙක්

12, 13. (අ) නැවත පිහිටුවීම පිළිබඳ පොරොන්දුව විශ්වාස කළ හැක්කේ මන්ද? (ආ) යුදෙව් වහලුන්ට තිබෙන ශුභාරංචිය කුමක්ද? ඔවුන්ට ඒ කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ මන්ද?

12 යළි පිහිටුවීම පිළිබඳ පොරොන්දුව විශ්වාස කළ හැකිවීමට තිබෙන දෙවන හේතුව යෙසායා පවසනවා. මේ පොරොන්දුව දෙන තැනැත්තා තම සෙනඟව මුදු මොළොක් ලෙස රකින බලවත් දෙවි කෙනෙක් වීම එම හේතුවයි. යෙසායා ඒ ගැන මෙසේ කියනවා. ‘සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියයි යූදා නුවරවලට කියන්න. බලව, [පරමාධිපති, NW] ස්වාමි වූ යෙහෝවා බලවන්තයෙකු මෙන් [බලයෙන් යුතුව, NW පාදසටහන] එන්නේය, ඔහුගේ හස්තයද ඔහු උදෙසා ආණ්ඩු කරන්නේය. ඔහුගේ බැළය [වැඩට ගෙවන කුලිය] ඔහු සමඟය; ඔහුගේ විපාකය ඔහු ඉදිරියෙහිය. එඬේරෙකු මෙන් ඔහු තමන්ගේ රැළ පෝෂ්‍ය කරන්නේය. බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරි දෙන බැටළුදෙනුන් හෙමින් ගෙන යන්නේය.’—යෙසායා 40:9-11.

13 යුද්ධ ජයගත් විට එම ශුභාරංචිය පැතිරවීමත් ඒ නිසා ඇති වන සහනදායි කාලය පිළිබඳව ප්‍රීති නාද පැවැත්වීමත් බයිබල් කාලවලදී ස්ත්‍රීන්ගේ පුරුද්දක්ව පැවතුණා. (1 සාමුවෙල් 18:6, 7; ගීතාවලිය 68:11) යුදෙව් වහලුන් සඳහා ශුභාරංචියක් තිබෙන බව යෙසායා අනාවැකිමය ලෙස අඟවනවා. ඒ ප්‍රවෘත්තිය භය නැතුව කඳු මුදුන්හි සිට කෑ ගසා කියන්ට පුළුවන් එකක්. ඒ යෙහෝවා තම සෙනඟව ඔවුන්ගේ දයාබර මව්බිම කරා යෑමට මඟ පෙන්වනවා කියන ශුභාරංචියයි! “බලයෙන් යුතුව” ඒමට යෙහෝවාට හැකියි යන කරුණ මත විශ්වාසය තබන්ට ඔවුන්ට පුළුවන්. මේ අනුව බලද්දී, කිසිම දෙයක් තම පොරොන්දු ඉෂ්ට කිරීමෙන් යෙහෝවාව වළක්වන්ට යන්නේ නැහැ.

14. (අ) යෙහෝවා තම සෙනඟට මුදු මොළොක් අයුරින් මඟ පෙන්වන ආකාරය යෙසායා නිදර්ශනය කරන්නේ කෙසේද? (ආ) එඬේරුන් ඔවුන්ගේ බැටළුවන්ව මුදු මොළොක් ලෙස රැකබලා ගන්න බව නිදර්ශනය කරන උදාහරණය කුමක්ද? (405වන පිටුවේ ඇති කොටුව බලන්න.)

14 කෙසේවෙතත්, මේ බලවත් දෙවිට මුදු මොළොක් ස්වභාවයක්ද තිබෙනවා. යෙහෝවා තම සෙනඟව ඔවුන්ගේ මව්බිම වෙත නැවත ගෙන යන්නේ කෙසේද යන්න ගැන හද උණුසුම් කරවන විස්තරයක් යෙසායා සපයනවා. යෙහෝවා හරියට ප්‍රේමනීය එඬේරෙක් වගෙයි. ඔහු තමාගේ බැටළුවන් එකතු කර ‘ළයට’ නැතහොත් තුරුලට ගන්නවා. ‘ළය’ යන වචනය පෙනෙන විදිහට මෙහිදී යොමු දක්වන්නේ ඇඳුමක උඩු කය වැසෙන කොටසටයි. රැළේ අනිත් උන් සමඟ වේගයෙන් ගමන් කරන්ට බැරි අලුත උපන් පැටවුන්ව සමහර අවස්ථාවලදී එඬේරා ගෙන යන්නේ එහි හොවාගෙනයි. (2 සාමුවෙල් 12:3) යෙහෝවා වහල් සෙනඟ කෙරෙහි දක්වන ප්‍රේමනීය සැලකිල්ල, එඬේර ජීවිතය හා බැඳි එම හද උණුසුම් කරන නිදර්ශනයෙන් හුවා දක්වනවා. මෙය ඔවුන්ගේ බිය සැක දුරු කළ බව නොඅනුමානයි. එවැනි බලවත් නමුත් මුදු මොළොක් දෙවිකෙනෙකු ඔවුන් වෙනුවෙන් පොරොන්දු වී තිබෙන දේ ඉෂ්ට කරන බවට නිසැකවම විශ්වාස කිරීමට හැකියි.

15. (අ) යෙහෝවා “බලයෙන් යුතුව” පැමිණියේ කවදාද? එමෙන්ම, ‘ඔහු උදෙසා ආණ්ඩු කරන ඔහුගේ හස්තය’ කුමක්ද? (ආ) නිර්භීතව ප්‍රචාරය කළ යුතු ශුභාරංචිය කුමක්ද?

15 යෙසායාගේ වචන අපේ කාලය සඳහා අනාවැකිමය අර්ථයෙන් පිරී තිබෙනවා. වර්ෂ 1914දී, යෙහෝවා “බලයෙන් යුතුව” ඇවිත්, ඔහුගේ රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටෙව්වා. ‘ඔහු උදෙසා ආණ්ඩු කරන ඔහුගේ හස්තය’ වන්නේ ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රජ බවට පත් කර සිටින යේසුස් ක්‍රිස්තුස්ය. වර්ෂ 1919දී, යෙහෝවා පොළොව මත සිටින ඔහුගේ ආලේප ලත් සේවකයන්ව මහ බබිලෝනියේ බැඳුම්වලින් මුදවාගත්තා. එසේ කිරීමෙන් ජීවමාන වූ සැබෑ දෙවිගේ පවිත්‍ර නමස්කාරය මුළුමනින්ම යළි පිහිටුවන්ට පටන්ගත්තා. මෙය හරියට කඳු මුදුන්වල සිට කෑගසද්දී දසත පැතිරී යන හඬක් මෙන්, පැතිරී යෑම සඳහා නිර්භීතව ප්‍රචාරය කළ යුතු ශුභාරංචියක්. එමනිසා, යෙහෝවා දෙවි පවිත්‍ර නමස්කාරය පොළොව මත යළි පිහිටුවා ඇති බව අපි හඬ නඟා නිර්භීතව අන් අයට දැනගන්ට සලස්වමු!

16. යෙහෝවා අද තම සෙනඟට මඟ පෙන්වන්නේ කිනම් ආකාරයෙන්ද? මෙයින් තබන ආදර්ශය කුමක්ද?

16 යෙසායා 40:10, 11හි ඇති වචනවල අද දවසට ප්‍රායෝගික වටිනාකමකින් යුත් උපදෙස්ද අඩංගු වෙනවා. යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්වන මුදු මොළොක් ආකාරය දැනගැනීම සැනසිල්ලට හේතුවක්. කුඩා බැටළු පැටවෙකුට අනිත් උන් තරම් වේගයෙන් යන්ට තිබෙන නොහැකියාව වැනි, එක් එක් බැටළුවාට ආවේණික ගැටලු එඬේරෙක් හඳුනාගන්නවා වගේ යෙහෝවා තමන්ගේ එක් එක් ඇදහිලිවන්ත සේවකයාගේ සීමාවන්ද හොඳින් තේරුම්ගන්නවා. ඊට අමතරව, යෙහෝවා මුදු මොළොක් එඬේරා හැටියට ක්‍රිස්තියානි එඬේරුන් සඳහා ආදර්ශයක් තබනවා. වැඩිමහල්ලන් යෙහෝවා විසින් දක්වන්නාවූ ආදර සැලකිල්ල අනුකරණය කරමින් ඔවුන් භාරයේ සිටින රැළ මුදු මොළොක් ආකාරයෙන් රැකබලා ගත යුතුයි. යෙහෝවා “තම පුත්‍රයාගේ රුධිරයෙන් මිලේට ගත්” රැළේ එක් එක් සාමාජිකයා සම්බන්ධයෙන් යෙහෝවාට හැඟෙන ආකාරය ගැන වැඩිමහල්ලන් නිතරම මතකයේ තබාගත යුතුයි.—ක්‍රියා 20:28, NW.

සියලු බලයෙන් සහ සියලු ප්‍රඥාවෙන් පූර්ණව

17, 18. (අ) යුදෙව් වහලුන්ට නැවත පිහිටුවීම පිළිබඳ පොරොන්දුව කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ මන්ද? (ආ) යෙසායා අසන්නේ කිනම් භය උපදවන ප්‍රශ්නද?

17 දෙවි සියලු බලයෙන් සහ සියලු ප්‍රඥාවෙන් පූර්ණ නිසා යළි පිහිටුවීම සම්බන්ධයෙන් දුන් පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්ට යුදෙව් වහලුන්ට හැකියි. යෙසායා මෙසේ කියනවා. ‘තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත්, අහස වියතින් මැන්නෙත්, පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත්, තරාදියකින් කඳුද, තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද? යෙහෝවාගේ ආත්මයට මඟ පෙන්නුවෙත්, ඔහුගේ මන්ත්‍රීව සිට ඔහුට ඉගැන්නුවෙත් කවුද? ඔහු කා සමඟ මන්ත්‍රණය කළේද? ඔහුට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන ඔහුට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය ඔහුට පෙන්නුවේ කවුද?’—යෙසායා 40:12-14.

18 මේවා යුදෙව් වහලුන්ට කල්පනා කර බැලීමට තිබෙන ඉතා ගැඹුරු ප්‍රශ්නයි. මිනිසුන්ට පුළුවන්ද මුහුදේ සුළි වෙනස් කරන්ට? කොහෙත්ම බැහැ! එහෙත් යෙහෝවාට පොළොව වැසී තිබෙන මුහුද හරියට ඔහුගේ අල්ලේ තිබෙන වතුර බින්දුවක් හා සමානයි. * දුර්වල මිනිසුන්ට පුළුවන්ද අහසේ දුර මනින්ට, එහෙම නැත්නම් පොළොවේ කඳු සහ හෙල් මනින්ට? බැහැ. එහෙත් මහපට ඇඟිල්ලේ අග සිට සුළැඟිල්ලේ අග දක්වා වියතකින් අහස මනින එක යෙහෝවාට සුළු වැඩක්. කඳු හෙල් තරාදියක දමා කිරන එක යෙහෝවාට මහා වැඩක් නෙවෙයි. ඒ නිසා දැන් පවතින තත්වය තුළ කළ යුත්තේ හෝ අනාගතයේදී කළ යුත්තේ හරියටම කුමක්ද කියා දෙවිට යෝජනා කරන්ට කිසිම බුද්ධිමතෙකුට පුළුවන්ද? උත්තරය පැහැදිලියි.

19, 20. යෙහෝවාගේ මහන්තත්වය කාවැද්දීමට යෙසායා පාවිච්චි කරන නිදර්ශනය කුමක්ද?

19 පොළොවේ සිටින බලවත් ජාතීන් ගැන කුමක් කිව හැකිද? යෙහෝවා තම පොරොන්දු ඉෂ්ට කරන විට ඔහුට විරුද්ධව සිටින්ට ඔවුන්ට හැකිද? ජාතීන් කොයි ආකාරද කියා යෙහෝවා මීළඟට විස්තර කරමින් පිළිතුරු සපයනවා. ‘බලව! ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, ඔහු දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවන්නේය. දැවීමට ලෙබනොන් මදිය, දවන පූජාවකට එහි සත්තුත් මදිය. සියලු ජාතීහු ඔහු ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය. ඔව්හු ඔහුට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.’—යෙසායා 40:15-17.

20 යෙහෝවාට ලොව සිටින සියලුම ජාතීන් කළගෙඩියකින් වැටෙන වතුර බින්දුවක් වගෙයි. ඔවුන් හරියට තරාදියේ බඩු කිරීමට බාධාවක් නොවන, සිහින් දූවිලි තට්ටුවක් වගෙයි. * අපි හිතමු, කෙනෙක් විශාල පූජාසනයක් ගොඩනඟා ලෙබනොන් කන්ද වසාගෙන ඇති සියලුම ගස් කපා දර කළාය කියා. ඊළඟට හිතන්න, ඒ කන්ද පුරාම ගැවසෙන හැම සතෙකුවම ඔහු පූජාවක් ලෙස ඔප්පු කළාය කියා. එය එතරම් විශාල පූජාවක් වුණත් යෙහෝවා ඉදිරියේ එය ප්‍රමාණවත් නැහැ. මේ හැම චිත්ත පින්තූරයක්ම අවසානයේදී යෙසායා මෙවැනි ප්‍රබල කියමනක් පාවිච්චි කරනවා. සියලුම ජාතීන් යෙහෝවා ඉදිරියේ ‘කිසිත් නැතිකම’ මෙන්ය.—යෙසායා 40:17.

21, 22. (අ) යෙහෝවා අසමසම බව යෙසායා පෙන්වන්නේ කෙසේද? (ආ) යෙසායාගේ පැහැදිලි විස්තරය කිනම් නිගමනයකටද අපිව මඟ පෙන්වන්නේ? (ඇ) අනාගතවක්තෘ යෙසායා වාර්තා කරන්නේ කිනම් විද්‍යාත්මක සත්‍යයද? (412වන පිටුවේ ඇති කොටුව බලන්න.)

21 යෙහෝවාගේ අසීමිත වූ අසමසමභාවය තවදුරටත් කාවැද්දීමට යෙසායා රන්, රිදී හෝ ලීවලින් දේවරූප හදන අයගේ මෝඩකම පෙන්නුම් කරනවා. එවැනි කිසිම දේවරූපයක් ‘පෘථිවි චක්‍රය මතුයෙහි ඉන්න තැනැත්තාට’ සහ එහි වැසියන් කෙරෙහි බලය ඇත්තාට සමාන කළ හැකියයි සිතීම මොනතරම් අඥාන දෙයක්ද!—යෙසායා 40:18-24 කියවන්න.

22 මේ සෑම පැහැදිලි විස්තරයකම නිගමනය නම්, සියලු බලයෙන් සහ සියලු ප්‍රඥාවෙන් යුත් අසමසම යෙහෝවාව ඔහුගේ පොරොන්දු ඉටු කිරීමෙන් වැළැක්වීමට කිසිම දෙයකට පුළුවන්කමක් නැහැ යන්නයි. යෙසායාගේ වචන බබිලෝනියේ සිට මව්බිම කරා නැවත යන්ට ආශාවෙන් බලා සිටින යුදෙව් වහලුන්ව කොතරම් ශක්තිමත් කරන්ට ඇද්ද! මොනතරම් සනසන්ටත් ඇද්ද! අපේ අනාගතය සැබෑ වන බවට වූ යෙහෝවාගේ පොරොන්දුව කෙරෙහි අද සිටින අපිටත් විශ්වාසය තැබිය හැකියි.

‘මේවා මැව්වේ කවුද?’

23. යුදෙව් වහලුන්ට ධෛර්යවත් විය හැක්කේ කුමක් නිසාද? එමෙන්ම, යෙහෝවා දැන් තමා ගැන කියන්නේ කුමක්ද?

23 යුදෙව් වහලුන් ධෛර්යවත් විය යුතු තවත් හේතුවක් තිබෙනවා. ඔවුන්ට ගැළවීම පොරොන්දු වෙන්නේ සියලු දේ මැවූ සියලු බලයේ උල්පත වන තැනැත්තා විසිනුයි. එසේ කිරීමට ඇති ඔහුගේ පුදුමාකාර බලය ගැන කාවද්දමින් ඔහුගේ හැකියාව මැවිල්ල තුළින් විදහාපෙන්වා ඇති ආකාරය ගැන යෙහෝවා මෙසේ කියනවා. ‘නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැත්තා අසන්නේය. නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය. ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’—යෙසායා 40:25, 26.

24. තමා ගැන කතා කරද්දී, තමා කාටවත් සමාන නැති බව යෙහෝවා පෙන්වන්නේ කෙසේද?

24 ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා තමා වෙනුවෙන්ම කතා කරනවා. තමන් කිසිවෙකුට සමාන නැති බව පෙන්වීමට යෙහෝවා අපේ අවධානය ස්වර්ගයේ තරු කෙරෙහි යොමු කරනවා. හමුදා අණ දෙන නිලධාරියෙක් තම බලඇණි මෙහෙයවනවා වගේ යෙහෝවා තරුවලට අණ කරනවා. ඔහු ඒවා එකකට හෝ හඬගැසුවා නම්, ඒවායින් ‘එකක්වත් නෑවිත් තියෙන්ට’ යන්නේ නැහැ. තිබෙන තරු සංඛ්‍යාව ඒ තරම්ම විශාල වුණත් ඔහු ඒ එක් එක් තාරකාවට නම් කියා හඬගසනවා. එසේ කරන්නේ ඒ ඒ තරුවට හෝ ඒවායේ ස්වභාවයට අනුව දී ඇති නම් අනුවයි. කීකරු හේවායන් මෙන් ඒවා ඒවාට නියමිත ස්ථානයේ පිළිවෙළකට සිටින්ට යනවා. එසේ වන්නේ ඒවායේ නායකයා “ශක්තියෙන් බලවත්” සහ ‘බලයෙන් මහත්’ නිසයි. එමනිසා, යුදෙව් වහලුන්ට විශ්වාස කිරීමට හොඳ හේතුවක් තිබෙනවා. තම සේවකයන්ට උදව් කරන්ට තාරකාවලට අණ කරන මැවුම්කරුවාට බලය තිබෙනවා.

25. යෙසායා 40:26හි වාර්තා කර තිබෙන දිව්‍ය ආරාධනාවට අපි ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක්ද?

25 යෙසායා 40:26හි සඳහන් දිව්‍ය ආරාධනාව ප්‍රතික්ෂේප කළ හැක්කේ අපෙන් කාටද? එහි කියන්නේ මෙසේයි. “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න.” වර්තමාන තාරකා ශාස්ත්‍රයේ සොයාගැනීම් හේතුවෙන්, යෙසායාගේ කාලයට වඩා තාරකා පිරි අහස ගරුබිය උපදවන බව පෙනෙනවා. තාරකා ශාස්ත්‍රඥයන් අහසට යොමු කරන ඔවුන්ගේ ප්‍රබල දූරේක්ෂ මගින් දැකිය හැකි විශ්වයේ මන්දාකිනි සියකෝටි 125ක් පමණ තිබෙන බව තක්සේරු කරනවා. සමහර තක්සේරු කිරීම්වලට අනුව මේ එක මන්දාකිනියක තාරකා සියකෝටි 100ක් තිබෙන බව සඳහන් කරනවා. එවැනි දැනුමක් අපේ මැවුම්කරුවා කෙරෙහි අපේ හදවත් තුළ ගරුබියක් ජනිත කරන අතර, ඔහුගේ පොරොන්දු කෙරෙහි සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබීමට පොලඹවනවා.

26, 27. බබිලෝනියේ සිටින වහලුන්ගේ හැඟීම් විස්තර කර තිබෙන්නේ කෙසේද? එමෙන්ම ඔවුන් දැනගත යුතු දේවල් මොනවාද?

26 තමන්ට අවුරුදු ගණනාවක් වහල්භාවයේ සිටින්ට සිදු වන බව යුදෙව් වහලුන් දැනගත් විට ඔවුන් අධෛර්යයට පත් වන බව දන්න යෙහෝවා, යෙසායා තුළින් බිය සැක දුරු කරන මේ වචන කල් ඇතුව ඔවුන්ට දන්වනවා. ‘මාගේ මාර්ගය යෙහෝවාගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවි වෙතින් පහ වේය කියාත් එම්බා යාකොබ්, නුඹ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, නුඹ කතා කරන්නෙත් මක්නිසාද? පොළොවේ සීමාවල මැවුම්කාර වූ යෙහෝවා වන සදාකාල දෙවි ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? ඔහුගේ ඥානය දැනගන්ට බැරිය.’—යෙසායා 40:27, 28. *

27 මව්බිමෙන් කිලෝ මීටර් සිය ගණනක් එහායින් ඇති බබිලෝනියේ සිටින වහලුන්ගේ හැඟීම් විස්තර කරන යෙහෝවාගේ වචන යෙසායා වාර්තා කරනවා. සමහර මිනිසුන් සිතන්නේ තමන්ගේ “මාර්ග” එනම් දූෂිත ජීවන රටාවන් දෙවිට පේන්නේ නැහැ හෝ ඔහු ඒ ගැන දන්නේ නැහැ කියායි. යෙහෝවා ඔවුන් විඳින අයුක්තිය ගණන් ගන්නේ නැහැ කියා ඔවුන් සිතනවා. ඔවුන් දැනගත යුතු දේවල් ඔවුන්ගේ පෞද්ගලික අද්දැකීමෙන් හෝ කෙනෙකු මාර්ගයෙන් හෝ දෙවි මතක් කර දෙනවා. යෙහෝවාට තම සෙනඟව ගළවාගැනීමට හැකියාව තිබෙනවා පමණක් නෙවෙයි, ඔහු ඊට කැමැත්තෙනුත් සිටිනවා. සදාකාල දෙවිත් මුළු පොළොවේ මැවුම්කාරයාත් ඔහුයි. ඔහු මැවීම තුළින් විදහාපා ඇති බලය තවමත් ඔහු සතුව ඇති අතර, ප්‍රබල බබිලෝනිය ඒ ළඟින්වත් තියන්ට බැහැ. එවැනි දෙවි කෙනෙකු වෙහෙසට පත් වන්නේවත් ඔහුගේ සෙනඟගේ බලාපොරොත්තු සුන් කරන්නේවත් නැහැ. යෙහෝවා කරන දේවල් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට ලැබේවියයි ඔවුන් අපේක්ෂා නොකළ යුතුයි. ඊට හේතුව වන්නේ යෙහෝවාගේ අවබෝධය එනම්, තීක්ෂ්ණ බුද්ධිය සහ වටහාගැනීමේ ශක්තිය ඔවුන්ට පූර්ණ ලෙස තේරුම්ගැනීමට කිසිසේත් නොහැකි වීමයි.

28, 29. (අ) තමා ක්ලාන්ත වූවන්ගේ උදව්වට පැමිණෙන බව යෙහෝවා තම සෙනඟට මතක් කරන්නේ කෙසේද? (ආ) යෙහෝවා තම සේවකයන්ට බලය දෙන බව පෙන්වීමට පාවිච්චි කර ඇති නිදර්ශනය කුමක්ද?

28 යෙහෝවා යෙසායා තුළින් දිගින් දිගටම අපේක්ෂා භංගත්වයට පත්ව සිටින වහලුන්ව දිරිගන්වනවා. ‘ඔහු ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන්නේය. බලය නැත්තාට සවිය වැඩි කරන්නේය. තරුණයෝ [ළමයි, NW] පවා ක්ලාන්තව වෙහෙස වන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් යෙහෝවා ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නඟින්නෝය. ඔව්හු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවෙති. ඔව්හු ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොවෙති.’—යෙසායා 40:29-31.

29 ක්ලාන්ත වූ අයට ශක්තිය දීම ගැන කතා කරද්දී, නැවත මව්බිම කරා වහලුන්ට යන්ට තිබෙන වෙහෙසකර ගමන ගැන යෙහෝවාගේ සිතේ තියෙන්ට ඇති. වෙහෙස වී තමා දෙස බලන අයගේ උදව්වට පැමිණීම ඔහුගේ ස්වභාවය බව යෙහෝවා සෙනඟට මතක් කර දෙනවා. ‘ළමුන්’ සහ ‘යෞවනයන්’ වැනි ශක්තියෙන් වැඩි අයට පවා, තෙහෙට්ටුවත් අධික වෙහෙසත් නිසා හති වැටෙන්ට පුළුවන්. ඒ වුණත්, ඔහු කෙරෙහි විශ්වාසය තබන අයට දුවන්ටත් ඇවිදින්ටත් ශක්තිය දෙන බවට යෙහෝවා පොරොන්දු වෙනවා. යෙහෝවා තම සේවකයන්ට කොතරම් ශක්තියක් සපයනවාද කියා නිදර්ශනය කිරීමට, ඇතැම් අවස්ථාවලදී පැය ගණන් අහසේ ඉහළට නඟින ශක්තිමත් කුරුල්ලෙක් වන රාජාලියාව යොදාගන්නවා. * දිව්‍ය උපකාරය ලැබෙනවා යන එම අපේක්ෂාව තිබෙන නිසා, යුදෙව් වහලුන්ට කනස්සල්ලට පත් වෙන්ට කිසිම හේතුවක් නැහැ.

30. අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට යෙසායා 40වන පරිච්ඡේදයේ අවසාන ඡේදවලින් සැනසීම අත් කරගත හැක්කේ කෙසේද?

30 යෙසායා 40වන පරිච්ඡේදයේ අවසාන ඡේද කිහිපයෙන් මේ වර්තමාන දුෂ්ට ක්‍රමයේ අවසාන දවස්වල ජීවත් වන සැබෑ ක්‍රිස්තියානීන්ට සැනසිල්ල ලැබෙනවා. බොහෝ පීඩන සහ ගැටලු අපව අධෛර්යයට පත් කරනවා. එහෙත්, අපි විඳදරා ගන්නාවූ දුෂ්කරතා සහ විඳින්නාවූ අසාධාරණකම් දෙවිට නොපෙනී තිබෙන්ට යන්නේ නැති බව දැනගැනීම අපේ බිය සැක දුරු කරනවා. සියලු දේවල මැවුම්කාරයා සහ ‘අනන්ත ඥානයක් [තේරුම්ගැනීමක්, NW]’ ඇති තැනැත්තා ඔහුගේ නියම කර ඇති කාලයේදී, ඔහුගේම ක්‍රමයට සියලුම අසාධාරණකම්වලට දඬුවම් පමුණුවන්ට යනවා. (ගීතාවලිය 147:5, 6) මේ අතරතුරේදී, අපේම ශක්තියෙන් විඳදරා ගැනීමට අපිට අවශ්‍යතාවක් නැහැ. යෙහෝවාගේ ශක්තිය අනන්තයි අප්‍රමාණයි. පරීක්ෂා මධ්‍යයෙහි සිටින ඔහුගේ සේවකයන්ට ඒ ශක්තිය, නැතහොත් “සාමාන්‍ය ඉක්මවූ බලය” පවා දෙන්ට ඔහුට හැකියි.—2 කොරින්ති 4:7, NW.

31. බබිලෝනියේ සිටි යුදෙව් වහලුන්ට යෙසායාගේ අනාවැකියේ අඩංගු වන පොරොන්දුව කුමක්ද? අපිට සම්පූර්ණ විශ්වාසය තැබිය හැක්කේ කුමක් මතද?

31 පොදු යුගයට පෙර හයවන සියවසේදී බබිලෝනියේ සිටි යුදෙව් වහලුන් ගැන සිතන්න. කිලෝ මීටර් සියගණනක් ඈතින් පිහිටි ඔවුන්ගේ දයාබර යෙරුසලම වල් වැදිලා. එහි දේවමාළිගාව නටබුන් වෙලා. ඔවුන්ට නම්, යෙසායාගේ අනාවැකිය තුළ ආත්මික ඥානාලෝකයක් සහ බලාපොරොත්තුවක් පිළිබඳ සැනසිලිදායක පොරොන්දුවක් තිබුණා. යෙහෝවා ඔවුන්ව ඔවුන්ගේ මව්බිමෙහි නැවත පිහිටුවන බව ඔවුන් දැන සිටියා. පොදු යුගයට පෙර 537දී, යෙහෝවා තම සෙනඟව මව්බිම කරා ගෙන යෑමෙන් තමා පොරොන්දු ඉෂ්ට කරන්නා බව ඔප්පු කළා. ඒ හා සමානව අපිටත් යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය හැකියි. යෙසායාගේ පොතේ ඉතා ලස්සනට විස්තර කර ඇති ඔහුගේ රාජ්‍ය පොරොන්දු ඔහු සැබෑ කරන්ට යනවා. එම පණිවිඩය ඇත්තෙන්ම ශුභාරංචියක්. සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහනක්!

[පාදසටහන්වල]

^ යෙසායා පුරෝකථනය කරන්නේ යෙහෝවා ඉදිරියේ මාර්ගය සෑදීම ගැනයි. (යෙසායා 40:3) කෙසේවෙතත්, සුවිශේෂ ලියූවන් යේසුස් ක්‍රිස්තුස්ට පෙරමඟ සෑදීම සඳහා යොහන් බව්තීස්ත කළ දේවල් සමඟ යෙසායාගේ ඉහත අනාවැකිය සම්බන්ධ කරනවා. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ලියූ දේවානුභාවය ලත් ලේඛකයන් එවැනි අදාළ කිරීම් කළේ, යේසුස් තම පියාව නියෝජනය කළ නිසාත්, තම පියාගේ නාමයෙන් පැමිණි නිසාත්ය.—යොහන් 5:43; 8:29.

^ ගණන් බලා ඇති ආකාරයට “සාගර ජලයේ ස්කන්ධය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් දසකෝටි ප්‍රකෝටි 1.35ක් (1.35 X 1018) වන අතර, එය පොළොවේ ස්කන්ධයෙන් 1/4,400කි.”—එන්කාටා 97 විශ්වකෝෂය, ඉංග්‍රීසියෙන්.

^ දි එක්ස්පොසිට’ස් බයිබල් කමෙන්ට්‍රි මෙසේ සඳහන් කරනවා. “මස් හෝ පලතුරු කිරීමට පාවිච්චි කළ කුඩා තරාදියක ඇති දූවිලි ටිකක් නැතහොත් මනින භාජනයකින් හැළෙන කුඩා ජල බින්දුවක් මැද පෙරදිග වෙළඳාමේදී කොහෙත්ම ගණන් ගත්තේ නැහැ.”

^ යෙසායා 40:28හි ‘සදාකාලය’ කීමෙන් අදහස් කරන්නේ නිමක් නැති යන්නයි. මෙසේ කිව හැක්කේ යෙහෝවා “සදාකාල රජ්ජුරුවන්” නිසයි.—1 තිමෝති 1:17.

^ රාජාලියා ඉහළ ආකාශයේ සිටින්නේ ඉතාම සුළු ශක්තියක් වැය කරමිනුයි. එසේ කරන්නේ තාපජ හෝ ඉහළට නඟින උණුසුම් වායු කඳන් ආධාරයෙනි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[404, 405වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යෙහෝවා ප්‍රේමනීය එඬේරෙක්

යෙසායා යෙහෝවාව බැටළුවන් තුරුලේ හොවාගෙන යන ප්‍රේමනීය එඬේරෙකුට සමාන කරනවා. (යෙසායා 40:10, 11) පෙනෙන විදිහට, යෙසායා මේ හද උණුසුම් කරවන නිදර්ශනය ගෙනහැර දක්වන්නේ එඬේරෙකුගේ සැබෑ ජීවිතය අළලායි. මෑතකදී මැද පෙරදිග හෙර්මොන් කඳු බෑවුමේ සිටි බැටළු එඬේරුන්ව නිරීක්ෂණය කළ කෙනෙක් කියන්නේ මෙසේයි. “හැම එඬේරෙක්ම තමාගේ රැළ බොහෝම පරෙස්සමින් රැකබලා ගනිමින් උන්ගේ තත්වය හොඳින් තේරුම්ගන්නවා. පැටියෙක් ඉපදුණු අලුත, ඌට බැටළුදෙනගේ වේගයෙන් ගමන් කරන්ට තරම් ශක්තියක් නැති නිසා, එඬේරා ඌව ඔහුගේ විශාල කබායේ ඉහළ සාක්කුවේ හොවාගන්නවා. ඔහුගේ ළය උන්ගෙන් පිරුණු විට, අනිත් උන්ව ඔහුගේ උරහිසේ තියාගෙන කකුල්වලින් අල්ලාගන්නවා. එහෙම නැත්නම් මල්ලක බහා බූරුවෙක් පිට තියනවා. පැටවුන්ට උන්ගේ මව් සමඟ ගමන් කිරීමට හැකියාව ලැබෙන තුරුම ඔහු එහෙම කරනවා.” ඉතින් අපිත් සේවය කරන්නේ තමාගේ සෙනඟ කෙරෙහි එවැනිම මුදු මොළොක් සැලකිල්ලක් දක්වන දෙවි කෙනෙකුට බව දැනගැනීම සැනසිල්ලට කරුණක් නෙවෙයිද?

[412වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පොළොවේ හැඩය කුමක්ද?

පුරාණ කාලයේ සාමාන්‍යයෙන් ජනයා විශ්වාස කළේ පොළොව පැතලි බවයි. කෙසේවෙතත්, පො.යු.පෙ. හයවන සියවස තරම් අතීතයේදී පයිතගරස් නමැති ග්‍රීක් දර්ශනවාදියා පොළොව ගෝලයක් බව අනුමාන කළා. ඔහු තම මතය ඉදිරිපත් කරන්ට සියවස් දෙකකට කලින්, අනාගතවක්තෘ යෙසායා පැහැදිලි සහ නිශ්චිත ආකාරයෙන් මෙසේ කිව්වා. ‘පෘථිවි චක්‍රය මතුයෙහි සිටින්නේ ඔහුය.’ (යෙසායා 40:22) “චක්‍රය” ලෙස පරිවර්තනය කර ඇති කුග් නමැති හෙබ්‍රෙව් වචනය “ගෝලය” ලෙසද යොමු දැක්විය හැකියි. සෑම කෝණයකින්ම චක්‍රයක් ලෙස පෙනෙන්නේ ගෝලාකාර වස්තුවක් පමණක් වීම උනන්දුව ඇති කරන කරුණක්. * එසේනම්, අනාගතවක්තෘ යෙසායා ඔහු සිටි කාලයේ පොදුවේ පිළිගත් මතයටත් ඔබ්බට යමින් විද්‍යාත්මකව පැහැදිලි සහ පුරාණ මිථ්‍යාවන්ගෙන් නිදහස් කියමනක් වාර්තා කර තිබෙනවා.

[පාදසටහන]

^ රීත්‍යානුකූලව කියනවා නම්, පොළොව ද්‍රැවාසන්නව සමතලා ස්වභාවයක් ගන්න හරස් අතට දිගටි ගෝලයකි.

[403වන පිටුවේ පින්තූරය]

යොහන් බව්තීස්ත ‘වනයෙහි හඬ ගසන්නෙක්’ වුණා