Skip to content

පටුනට යන්න

මෙසියස්ගේ පාලන සමයේ ගැළවීම සහ ප්‍රීතිවීම

මෙසියස්ගේ පාලන සමයේ ගැළවීම සහ ප්‍රීතිවීම

දහතුන්වන පරිච්ඡේදය

මෙසියස්ගේ පාලන සමයේ ගැළවීම සහ ප්‍රීතිවීම

යෙසායා 11:1–12:6

1. යෙසායාගේ දවසේදී දෙවිගේ ගිවිසුම යටතේ සිටි සෙනඟගේ ආත්මික තත්වය විස්තර කරන්න.

 යෙසායාගේ දවසේදී, දෙවිගේ ගිවිසුම යටතේ සිටි සෙනඟගේ ආත්මිකත්වය පිරිහී තිබුණා. උස්සියා සහ යෝතාම් වැනි ඇදහිලිවන්ත රජවරුන්ගේ කාලයේ පවා බොහෝදෙනෙක් උස් තැන්වල වැඳ නමස්කාර කළා. (2 රාජාවලිය 15:1-4, 34, 35; 2 ලේකම් 26:1, 4) එහෙත් හෙසකියා රජ බවට පත් වූ විට, ඔහු දේශයෙන් බාල් නමස්කාරයට අයත් සෑම දෙයක්ම, සෑම චාරිත්‍රයක්ම ඉවත් කළා. (2 ලේකම් 31:1) තමා වෙතට හැරී එන්ට කියා යෙහෝවා තම සෙනඟගෙන් උදක්ම ඉල්ලා සිටීමත්, ඔවුන් පිටට පැමිණෙන්ට යන දැඩි තරවටුව ගැන අනතුරු ඇඟවීමත් පුදුමයක් නොවෙයි!

2, 3. ව්‍යාප්තව පවතින අභක්තිකකම මධ්‍යයේ යෙහෝවාට සේවය කිරීමට කැමති අයට දෙන දිරිගැන්වීම කුමක්ද?

2 එහෙත් සියලුදෙනාම කැරලිකරුවන් වූයේ නැහැ. යෙහෝවාට ඇදහිලිවන්ත අනාගතවක්තෲන් සිටි අතර, සමහර යුදෙව්වන් ඔවුන්ට ඇහුම්කන් දුන්නා. මේ අයට යෙහෝවා සැනසිලිදායක ආකාරයෙන් කතා කළා. අෂූරියයන්ගේ ආක්‍රමණයේදී යූදා අද්දකින්ට යන තදබල කොල්ලකෑම ගැන විස්තර කළාට පසු බයිබලයේ ඇති අතිසුන්දරම කොටසක් දේවානුභාවයෙන් ලියන්ට අනාගතවක්තෘ යෙසායා පියවර ගන්නවා. එය මෙසියස්ගේ රාජ්‍ය පාලනය යටතේ පැමිණීමට නියමිත ආශීර්වාද ගැන විස්තරයයි. * මේ ආශීර්වාදවල සමහර අංග, බබිලෝනියේ වහල්භාවයෙන් යුදෙව්වන් නැවත පැමිණි විට සුළු පරිමාණයෙන් ඉෂ්ට වුණා. එහෙත් සමස්තයක් හැටියට අනාවැකියේ ප්‍රධාන ඉටුවීමක් අද තිබෙන්ට යනවා. එම ආශීර්වාද ඉටු වෙනවා දකින්ට යෙසායාත් අනෙකුත් ඇදහිලිවන්ත යුදෙව්වනුත් සිටියේ නැති බව ඇත්තයි. එහෙත්, ඔවුන් එම ආශීර්වාදවල ඉටුවීම ඔවුන්ගේ නැවත නැඟිටීමෙන් පසුව සිදුවීමට යන ආකාරය දෙස ඇදහිල්ලෙන් බලා සිටියා.—හෙබ්‍රෙව් 11:35.

3 යෙහෝවාගේ වර්තමාන සෙනඟටද දිරිගැන්වීම අවශ්‍යයි. ලෝකයේ වේගයෙන් හීන වේගන යන සාරධර්ම, රාජ්‍ය පණිවිඩය කෙරෙහි පැමිණෙන තියුණු විරෝධතා සහ පෞද්ගලිකත්වයේ දුර්වලකම් ඔවුන් සියලුදෙනාටම අභියෝගයන් වී තිබෙනවා. මෙසියස් සහ ඔහුගේ පාලනය සම්බන්ධව යෙසායා ලියූ සිත්ගන්නාසුලු වචන එම අභියෝග ජයගන්ට යෙහෝවාගේ සෙනඟට ශක්තිය සහ උපකාරය ලබා දෙනවා.

මෙසියස්—කාර්යශූර නායකයෙක්

4, 5. පැමිණෙන්නාවූ මෙසියස් සම්බන්ධයෙන් යෙසායා කියන්නේ මොනවාද? පෙනෙන විදිහට මතෙව් ගෙනහැර දක්වන්නේ යෙසායාගේ වචනවල ඇති කුමන අදාළ වීමද?

4 යෙහෝවා ඉශ්‍රායෙල් වෙතට එවන සැබෑ නායකයා වූ මෙසියස්ගේ පැමිණීම පිළිබඳව යෙසායාගේ කාලයට සියවස් ගණනාවකට කලින් වෙනත් හෙබ්‍රෙව් බයිබල් ලේඛකයන් පෙන්නුම් කර තිබෙනවා. (උත්පත්ති 49:10; ද්විතීය කථාව 18:18; ගීතාවලිය 118:22, 26) එහෙත්, යෙසායා තුළින් යෙහෝවා දැන් අමතර කරුණුත් ඊට එකතු කරනවා. “යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.” (යෙසායා 11:1; සසඳන්න ගීතාවලිය 132:11.) “අංකුරය” සහ “පැළය” යන මේ දෙකෙන්ම අඟවන්නේ මෙසියස් කියන්නේ ඉශ්‍රායෙල්හි රජ ලෙස තෙලෙන් ආලේප කළ දාවිත්ගේ පියා වූ යෙස්සේගෙන් පැවතෙන්නෙක් බවයි. (1 සාමුවෙල් 16:13; යෙරෙමියා 23:5; එළිදරව් 22:16) දාවිත්ගේ පෙළපතෙන් වූ මේ “පැළය” නැතහොත් සැබෑ මෙසියස් පැමිණෙන විට යහපත් ඵල දරන්ට යනවා.

5 පොරොන්දු වූ මෙසියස් වනාහි යේසුස්ය. “නාසරියයෙක්” කියා අනාගතවක්තෲන් යේසුස් ගැන කී වචනවල ඉටුවීම සුවිශේෂ ලේඛක මතෙව් ලියද්දී, යෙසායා 11:1හි සඳහන් වචනවලට ඔහු වක්‍රාකාරව යොමු දැක්වුවා. යේසුස්ව නාසරියයෙක් ලෙස හැඳින්වූයේ ඔහු නාසරෙත් නම් නුවරේ හැදී වැඩුණු නිසයි. පෙනෙන විදිහට එම නම යෙසායා 11:1හි සඳහන් “පැළය” යන අර්ථය දෙන හෙබ්‍රෙව් වචනයට නෑකම් කියනවා. *මතෙව් 2:23, NW පාදසටහන; ලූක් 2:39, 40.

6. මෙසියස් කුමන ආකාරයේ පාලකයෙක් වන බවද අනාවැකිවල සඳහන් කළේ?

6 මෙසියස් කුමන ආකාරයේ පාලකයෙක් වේවිද? ඔහු ඉශ්‍රායෙල්හි උතුරු ගෝත්‍ර දසයේ රාජ්‍යය විනාශ කළ අෂූරියයා මෙන් කෲර, හිතුවක්කාර කෙනෙක් වේවිද? කොහෙත්ම නැහැ. මෙසියස් ගැන යෙසායා මෙසේ කියනවා. ‘යෙහෝවාගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා යෙහෝවා කෙරෙහි භයවීමේ ආත්මයද, ඔහු කෙරෙහි පිහිටන්නේය. යෙහෝවා කෙරෙහි භයින් සිටීම ඔහුගේ ප්‍රීතිය වන්නේය.’ (යෙසායා 11:2, 3අ) මෙසියස්ව ආලේප කර තිබෙන්නේ තෙලින් නොව දෙවිගේ ශුද්ධාත්මයෙන්ය. මෙය සිදු වන්නේ යේසුස්ගේ බව්තීස්මයේදී යොහන් බව්තීස්ත දෙවිගේ ශුද්ධාත්මය පරවියෙකුගේ ස්වරූපයෙන් බැසීම දකින අවස්ථාවේදීයි. (ලූක් 3:22) මෙසේ යෙහෝවාගේ ආත්මය යේසුස් ‘කෙරෙහි පිහිටන’ අතර, යේසුස් ප්‍රඥාවන්තව, තේරුම්ගැනීමෙන් යුතුව, උපදේශාත්මකව, බලවත්ව සහ දැනුමෙන් යුතුව ක්‍රියා කිරීමෙන් ඒ බවට සාක්ෂි සපයනවා. ඒවා පාලකයෙකුට කොතරම් හොඳින් ගැළපෙන ගුණාංගද!

7. යේසුස් තම ඇදහිලිවන්ත අනුගාමිකයන්ට දුන් පොරොන්දුව කුමක්ද?

7 යේසුස්ගේ අනුගාමිකයන්ටත් ශුද්ධාත්මය ලබාගත හැකියි. යේසුස් තමන්ගේ ප්‍රසිද්ධ අනුශාසනාවකදී මෙසේ ඇසුවා. “මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය [පියා තමන්ගෙන්] ඉල්ලන්නන්ට ශුද්ධාත්මය [නොදෙන්නේද?]” (ලූක් 11:13) මේ නිසා දෙවිගෙන් ශුද්ධාත්මය ඉල්ලන්ට අප කිසිදා පසුබට නොවිය යුතුයි. “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” වැනි එහි හිතකර ඵල වගා කිරීම නවතා දමන්ට අප කිසිදා නොසිතිය යුතුයි. (ගලාති 5:22, 23, NW) ජීවිතයේ ගැටලු අබියස සාර්ථකව කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා යේසුස්ගේ අනුගාමිකයන් “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඉල්ලනවා නම්, එය ලබා දෙන බවට යෙහෝවා පොරොන්දු වෙනවා.—යාකොබ් 1:5; 3:17.

8. යෙහෝවා කෙරෙහි භයවීමෙන් යේසුස් සතුටක් භුක්ති වින්දේ කෙසේද?

8 මෙසියස් විදහාපෑවේ යෙහෝවා කෙරෙහි කුමන ආකාරයේ භයක්ද? නිසැකවම යේසුස්ට දෙවි විසින් තමාව ප්‍රතික්ෂේප කරයි කියා භයෙන් වෙව්ලන්ට අවශ්‍ය වුණේ නැහැ. ඒ වෙනුවට දෙවි කෙරෙහි මෙසියස්ට තිබුණේ ගෞරවනීය භයක්, එනම් ඔහු කෙරෙහි ආදරණීය ගෞරවයක්. ඒ හා සමානව දේවභයැති පුද්ගලයෙක් යේසුස් මෙන් සෑමවිටම ‘දෙවිට ප්‍රසන්න වූ දේවල්ම’ කරන්ට ආශා විය යුතුයි. (යොහන් 8:29) දිනපතාම යෙහෝවා කෙරෙහි හිතකර භයකින් යුතුව ඇවිදීම තරම් තවත් මහත් ප්‍රීතියක් නැති බව යේසුස් තම වචනයෙන් සහ ආදර්ශයෙන් උගන්වනවා.

ධර්මිෂ්ඨ සහ දයාන්විත විනිශ්චයකරුවෙක්

9. ක්‍රිස්තියානි සභාවේ විනිශ්චමය කාරණා හසුරුවන්ට පත් කරන අයට යේසුස් තබන ආදර්ශය කුමක්ද?

9 යෙසායා මෙසියස්ගේ ගතිගුණ තවදුරටත් පුරෝකථනය කරන්නේ මෙසේයි. “[ඔහු] තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චයකරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චයකරන්නේවත් [නැත].” (යෙසායා 11:3ආ) ඔබට උසාවියක් ඉදිරිපිට පෙනීසිටීමට සිදු වූවායයි සිතන්න. විනිශ්චයාසනයේ ඉඳගන්නේ එවැනි ගතිගුණ තිබෙන විනිශ්චයකරුවෙකු නම්, එය ඔබට මහත් සැනසීමක් නෙවෙයිද? බොරු තර්ක විතර්ක, උසාවිවල ක්‍රියාත්මක වන කපටි ක්‍රම සහ විධි, කට කතා හෝ අල්ලස් වැනි බාහිර දේවල්වලට, සියලු මනුෂ්‍යවර්ගයාගේ විනිශ්චයකරුවා වන මෙසියස්ගේ විනිශ්චය සොලවන්ට හැකි වන්නේ නැහැ. ඔහු කපටිකම් හොඳින් හඳුනනවා. පිටාතර පෙනුමට වහල් වෙන්නේ නැහැ. “සිතේ ඇතුල් මනුෂ්‍යයා” නැතහොත් “සැඟවුණු මනුෂ්‍යයාව” දකින්ට ඔහුට හැකියි. (1 පේතෘස් 3:4, NW පාදසටහන) යේසුස්, ක්‍රිස්තියානි සභාවේ විනිශ්චමය කාරණා හැසිරවීමට ඇරයුම් ලබන සියලුදෙනාටම අතිඋතුම් ආදර්ශයක්.—1 කොරින්ති 6:1-4.

10, 11. (අ) යේසුස් තම අනුගාමිකයන්ව නිවැරදි කරන්නේ කොයි ආකාරයෙන්ද? (ආ) යේසුස් දුෂ්ටයන්ට දෙන විනිශ්චය කුමක්ද?

10 මෙසියස්ගේ අතිඋතුම් ගුණාංග ඔහුගේ විනිශ්චමය තීරණ කෙරෙහි බලපාන්නේ කොහොමද? යෙසායා මෙසේ පැහැදිලි කරනවා. “ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් [නිශ්චය කරන්නේය]. ස්වකීය මුඛය නමැති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් [මරන්නේය]. ධර්මිෂ්ඨකම [ඔහුගේ] ඉඟපටියද විශ්වාසකම [ඔහුගේ] බඳපටියද වන්නේය.”—යෙසායා 11:4, 5.

11 යේසුස්ගේ අනුගාමිකයන්ව නිවැරදි කිරීමට සිදු වන විට, ඔහු එසේ කරන්නේ එය ලබන්නාට වැඩියෙන්ම ප්‍රයෝජනවත් වන ආකාරයකින්. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට එය විශිෂ්ට ආදර්ශයක්. අනිත් අතට, දුෂ්ටකමේ නියැලී සිටින අයට දරුණුම ආකාරයේ විනිශ්චයක් පැමිණිය හැකියි. දෙවි මේ පවතින ක්‍රමය විනිශ්චය කරද්දී, මෙසියස් තම බලය පතුරුවමින් සියලුම දුෂ්ටයන්ට විනාශය නියම කර “පොළොවට පහර” දෙන්ට යනවා. (ගීතාවලිය 2:9; සසඳන්න එළිදරව් 19:15.) අවසානයේදී, මනුෂ්‍යවර්ගයාගේ සාමයට බාධා කිරීමට කිසිම දුෂ්ටයෙක් ඉතිරි වෙන්ට යන්නේ නැහැ. (ගීතාවලිය 37:10, 11) යේසුස් තම ඉඟටිය සහ බඳ ධර්මිෂ්ඨකමෙන් සහ විශ්වාසවන්තකමෙන් බැඳගෙන සිටින නිසා මෙසේ කිරීමට ඔහුට බලය තිබෙනවා.—ගීතාවලිය 45:3-7.

පොළොව මත වෙනස් වූ තත්වයන්

12. බබිලෝනියෙන් පොරොන්දු දේශය වෙත නැවත පැමිණෙන යුදෙව්වෙකු මොනවා ගැන කල්පනා කරන්ට ඇද්ද?

12 යුදෙව්වන් යෙරුසලමට ගොස් දේවමාළිගාව නැවත ගොඩනැඟිය යුතුයි කියා කෝරෙෂ් දුන් ආඥාව දැනගත් ඉශ්‍රායෙල්වරයෙකුව මනසට නඟාගන්න. ඔහු බබිලෝනියේ තිබෙන ආරක්ෂාව පසෙකලා මව්බිම බලා දුර ගමනකට පිටත්ව යයිද? ඉශ්‍රායෙල් දේශය අවුරුදු 70ක් පුරා පාළුවීම හේතුවෙන් කෙත් කැලෑ වෙලා. ඒවා දැන් වල් වැදිලා. වෘකයන්, දිවියන්, සිංහයන් සහ වලසුන් නිදහසේ එහි ගොදුරු සොයමින් සිටිනවා. නයි පවා එහි සිටිනවා. නැවත යන යුදෙව්වන්ට කිරි, ලොම් සහ මස් සඳහා බැටළු සහ එළු රැළවල් මතද, නගුල් ඇදීම සඳහා ගොනුන් වැනි හීලෑ සතුන් මතද යැපෙන්ට සිදු වෙනවා. මේ මිනිසුන්ව ගොදුරු කන සතුන් අතට පත් වෙයිද? කුඩා දරුවන්ට සර්පයින් දෂ්ට කරාවිද? ගමනේදී මං පහරන්නන්ට හසු වුණොත් තත්වය කුමක් වේවිද?

13. (අ) යෙසායා සිතුවම් කරන හද උණුසුම් කරවන චිත්‍රය කුමක්ද? (ආ) යෙසායා විස්තර කරන සමාදානය වන මෘගයන්ගෙන් ආරක්ෂාවට වඩා වැඩි යමක් බව අප දන්නේ කෙසේද?

13 දෙවි දේශයට ගෙනෙන්ට යන තත්වය සම්බන්ධයෙන් යෙසායා හද උණුසුම් කරන චිත්‍රයක් සිතුවම් කරනවා. ඔහු මෙසේ කියනවා. “වෘකයා බැටළුපැටවා සමග වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමග ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය. එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරි වැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:6-9) මේ වචන සිත්ගන්නේ නැද්ද? මෙහි විස්තර කර ඇති සමාදානය හටගන්නේ යෙහෝවා ගැන දැනගැන්මෙන් බව සැලකිල්ලට ගන්න. ඒ නිසා, වනමෘගයන්ගෙන් ආරක්ෂාව ලැබීමට වඩා වැඩි යමක් මීට අයත් වෙනවා. යෙහෝවා ගැන දැනගැන්ම සතුන්ව වෙනස් කරන්ට යන්නේ නැහැ. එහෙත් එය මිනිසුන්ට බලපාන්ට යනවා. නැවත ගෙදර දොර බලා එන විට පමණක් නොව නැවත පිහිටෙවූ දේශයේදීද වනමෘගයන්ටවත්, මෘග ගති ඇති මිනිසුන්ටවත් ඉශ්‍රායෙල්වරුන් භය විය යුතු නැහැ.—එස්රා 8:21, 22; යෙසායා 35:8-10; 65:25.

14. යෙසායා 11:6-9හි සඳහන් මහත් ඉටුවීම කුමක්ද?

14 කෙසේවෙතත්, මේ අනාවැකියට මහත් ඉටුවීමක් තිබෙනවා. වර්ෂ 1914දී මෙසියස් වන යේසුස් ස්වර්ගීය සියොන් කන්දේදී සිංහාසනාරූඪ වුණා. වර්ෂ 1919දී ‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ ඉතිරි අය බබිලෝනීය වහල්භාවයෙන් මිදීම ලබා සැබෑ නමස්කාරය යළි පිහිටුවීමේ හවුල් වුණා. (ගලාති 6:16) ප්‍රතිඵලයක් හැටියට යෙසායාගේ පාරාදීසයක් පිළිබඳ අනාවැකිය නවීන දින ඉටුවීමකට පාර කැපුණා. “නිවැරදි දැනුම [NW]” හෙවත් දෙවි පිළිබඳ දැනුම පුද්ගලයන්ව වෙනස් කර තිබෙනවා. (කොලොස්සි 3:9, 10) කලින් දරුණු මිනිසුන් දැන් සාමකාමී අය බවට පත් වී තිබෙනවා. (රෝම 12:2; එපීස 4:17-24) භූමික අපේක්ෂාව ඇති ශීඝ්‍රයෙන් වර්ධනය වන්නාවූ ක්‍රිස්තියානීන් රැසකටම යෙසායාගේ අනාවැකිය සම්බන්ධ නිසා, මේ සිදුවීම් දැන් දශලක්ෂ ගණනකට බලපා තිබෙනවා. (ගීතාවලිය 37:29; යෙසායා 60:22) දෙවිගේ මුල් අරමුණට එකඟව මුළු පොළොවම සුරක්ෂිත සාමකාමී තත්වයකට නැවත ගෙනෙන කාලය එන තෙක් බලා සිටීමට ඔවුන් ඉගෙනගෙන තිබෙනවා.—මතෙව් 6:9, 10; 2 පේතෘස් 3:13.

15. අලුත් ලෝකයේදී අපි යෙසායාගේ වචනවල පදගතාර්ථ ඉටුවීමක් බලාපොරොත්තු වීම සාධාරණද? පැහැදිලි කරන්න.

15 යළි පිහිටුවන පාරාදීසය තුළ යෙසායාගේ අනාවැකියට වැඩිමනත් ඉටුවීමක්, සමහරවිට පදගතාර්ථ ඉටුවීමක් තියේවිද? එසේ සිතීම සාධාරණයි. අනාවැකිය තුළ නැවත පැමිණි ඉශ්‍රායෙල්වරුන්ට දුන් ආකාරම සහතිකයක් මෙසියස්ගේ පාලනය යටතේ සිටින සියලුදෙනාටද ලබා දෙනවා. ඔවුනුත් ඔවුන්ගේ දරුවනුත් මිනිසුන්ගේ හෝ සතුන්ගේ කිසිම ආකාරයක හානිකර තර්ජනයකට මුහුණ දෙන්ට යන්නේ නැහැ. ආදම් සහ ඒව ඒදන් උයනේදී භුක්ති වින්දා හා සමාන සාමකාමී වාතාවරණයක් මෙසියස්ගේ රාජ්‍ය පාලනය යටතේ සිටින්ට යන පොළෝ වැසි සියල්ලන්ම භුක්ති විඳින්ට යනවා. ඇත්තවශයෙන්ම, ඒදන් උයනේ ගත කළ ජීවිතයේ සහ පාරාදීස පොළොවේ ගත කරන්ට යන ජීවිතයේ සෑම අංගයක්ම බයිබලයේ හෙළි කර නැහැ. කෙසේවෙතත්, රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ ඥානවන්ත සහ ප්‍රේමනීය පාලනය යටතේ සියලුම දේවල් උපරිම මට්ටමෙන් තිබෙන්ට යන බවට නම් නිසැක විය හැකියි.

මෙසියස් තුළින් නිර්මල නමස්කාරය යළි පිහිටුවයි

16. පොදු යුගයට පෙර 537දී දෙවිගේ ජනයාට කොඩියක් ලෙස තිබුණේ කුමක්ද?

16 ඒදන් උයනේදී යෙහෝවාට අකීකරු වීමට සාතන් ආදම් සහ ඒවව සාර්ථක ලෙස පෙලඹූ විට නිර්මල නමස්කාරය මුල්ම වතාවට තර්ජනයට ලක් වුණා. අද වන තුරු හැකි සෑම කෙනෙකුවම දෙවිගෙන් ඉවත් කරගැනීමට වූ ඔහුගේ ඉලක්කය අතහැර දමා නැහැ. එහෙත් නිර්මල නමස්කාරය පොළොවෙන් තුරන් වීමට යෙහෝවාද කිසිදාක ඉඩහරින්නේ නැහැ. ඒ ඔහුගේ නාමය ඊට සම්බන්ධව තිබෙන නිසාත්, යෙහෝවා තමන්ට සේවය කරන අයව ආදරයෙන් රැකබලා ගන්න නිසාත්ය. මේ නිසා ඔහු යෙසායා තුළින් මේ සිත්ගන්නා පොරොන්දු ඉදිරිපත් කරනවා. “තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ [ඔහු] වෙතට ජාතීහු රැස්වන්නෝය; [ඔහුගේ] නිවාසස්ථානයද තේජවත් වන්නේය.” (යෙසායා 11:10) පොදු යුගයට පෙර 537දී විසිරී සිටි යුදෙව් ඇදහිලිවන්ත ඉතිරි කොටස නැවත පැමිණ දේවමාළිගාව යළි ගොඩනැඟුවා. දාවිත් ජාතියේ අගනුවර බවට පත් කළ යෙරුසලම ඒ සඳහා කොඩියක් හෙවත් ලකුණක් මෙන් වුණා.

17. යේසුස් මුල් සියවසේදී සහ අපේ කාලයේදී ‘ජාතීන්ව පාලනය කිරීමට නැඟිටුණේ’ කෙසේද?

17 කෙසේවෙතත්, අනාවැකිය ඊට වඩා දෙයකට යොමු දක්වනවා. දැනටමත් දැක තිබෙන ආකාරයට, එය සියලු ජාතීන්ට අයත් ජනයාගේ එකම සැබෑ පාලකයා වන මෙසියස්ගේ පාලනයට යොමු දක්වනවා. ප්‍රේරිත පාවුල්ගේ දවසේ සිටි අන්‍යජාතීන්ට ක්‍රිස්තියානි සභාව තුළ තිබෙන ස්ථානය පෙන්වීමට ඔහු යෙසායා 11:10 උපුටා දක්වනවා. මේ කාරණය ඔහු ලියන්නේ මෙසේයි. ‘යෙසායා: යෙස්සේගේ මුල වූද අන්‍යජාතීන් කෙරෙහි රජකම් කරන්ට නැඟිටින්නාවූද තැනැත්තා එන්නේය; ඔහු කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තු තබන්නෝය.’ (රෝම 15:12) අපගේ කාලයේ මෙසියස්ගේ ආලේප ලත් සහෝදරයන්ට සහයෝගය දීමෙන් අන්‍යජාතීන් යෙහෝවාට ඇති ප්‍රේමය පෙන්වන අතර, අනාවැකියේ අදාළ වීම තවදුරටත් ඉදිරියට දිවෙනවා.—යෙසායා 61:5-9; මතෙව් 25:31-40.

18. යේසුස් අපගේ කාලයේදී රැස් වෙන ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ කෙසේද?

18 එහි නවීන දින ඉටුවීම වශයෙන් යෙසායා යොමු දැක්වූ ‘ඒ දවස’ 1914දී දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයේ රජු හැටියට මෙසියස් සිංහාසනාරූඪ වීමත් සමඟ ඇරඹුණා. (ලූක් 21:10; 2 තිමෝති 3:1-5; එළිදරව් 12:10) එතැන් පටන් ධර්මිෂ්ඨ ආණ්ඩුවක් බලා සිටින ආත්මික ඉශ්‍රායෙල් සඳහා සහ සියලු ජාතීන්ට අයත් ජනයා සඳහා යේසුස් ක්‍රිස්තුස් පැහැදිලිව පෙනෙන කොඩියක් හෝ රැස් වෙන ස්ථානයක් බවට පත්ව සිටිනවා. යේසුස් පුරෝකථනය කළ පරිදි මෙසියස්ගේ මඟ පෙන්වීම යටතේ සියලුම ජාතීන් වෙත රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගෙන ගොස් තිබෙනවා. (මතෙව් 24:14; මාර්ක් 13:10) මේ ශුභාරංචියට ප්‍රබල බලපෑමක් කිරීමට හැකියාවක් තිබෙනවා. ‘සියලු ජාතීන්ගෙන් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ නිර්මල නමස්කාරය සඳහා ආලේප ලත් අය හා හවුල් වීමෙන් මෙසියස් යටතට පැමිණ තිබෙනවා. (එළිදරව් 7:9) යෙහෝවාගේ ආත්මික “යාච්ඤා-ගෘහයෙහි” සිටින ඉතිරි කොටස සමඟ ඇසුරු කිරීමට නවකයන් බොහෝදෙනෙක් පැමිණෙන විට, ඔවුන් මෙසියස්ගේ “නිවාසස්ථානය” වන දෙවිගේ මහත් ආත්මික දේවමාළිගාවට තේජස ගෙනෙන්ට යනවා.—යෙසායා 56:7; හග්ගයි 2:7.

එක්සත් සෙනඟක් යෙහෝවාට සේවය කරයි

19. පොළොව පුරා විසිරී සිටි තම සෙනඟව යෙහෝවා ඉතිරි කොටසක් ලෙස නැවත පිහිටෙවූ අවස්ථා දෙක මොනවාද?

19 යෙසායා මීළඟට ඉශ්‍රායෙල්වරුන්ට මතක් කර දෙන්නේ, ප්‍රබල සතුරෙකුගේ දැඩි පීඩිතභාවයෙන් මීට පෙර වතාවක් යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය ගළවාගත් බවයි. ඉශ්‍රායෙල්වරුන්ගේ එම ඉතිහාසය, එනම් මිසරයේ වහල්භාවයෙන් යෙහෝවා ජාතියව මුදවාගැනීම සියලුම ඇදහිලිවන්ත යුදෙව්වන් කෘතඥපූර්වකව මතක් කරන දෙයක්. යෙසායා මෙසේ ලියනවා. “ඒ දවසෙහි [යෙහෝවා] අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනග මුදාගන්ට දෙවෙනි වර තමන් අත [දිඟු කරන්නේය. ඔහු] ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් [එකතු කරන්නේය].” (යෙසායා 11:11, 12) හරියට අතින් අල්ලගෙන යනවා වගේ, යෙහෝවා ඉශ්‍රායෙල් සහ යූදාගේ ඇදහිලිවන්ත ඉතිරි අයව ඔවුන් විසිරී සිටි ජාතීන් අතරින් ඉවතට ගෙන, නැවත නිවෙස් වෙත ගෙනෙන්ට යනවා. පොදු යුගයට පෙර 537දී සුළු පරිමාණයකින් මෙය ඉෂ්ට වෙනවා. කෙසේවෙතත් මෙහි ප්‍රධාන ඉටුවීම මොනතරම් තේජාන්විත වේවිද! වර්ෂ 1914දී යෙහෝවා “ජාතීන්ට කොඩියක්” ලෙස සිංහාසනාරූඪ යේසුස් ක්‍රිස්තුස්ව නැඟිටෙව්වා. ‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ ඉතිරි අය 1919 සිට මේ කොඩිය වටා එක් රොක් වෙන්ට පටන්ගත්තේ දෙවිගේ රාජ්‍යය යටතේ නිර්මල නමස්කාරයේ හවුල් වීමට මහත් ආශාවෙන්. මේ අද්විතීය ආත්මික ජාතිය පැමිණෙන්නේ ‘සියලු ගෝත්‍රවලින්, භාෂාවන්ගෙන්, සෙනඟගෙන් සහ ජාතීන්ගෙනුයි.’—එළිදරව් 5:9.

20. බබිලෝනියෙන් නැවත පැමිණීමත් සමඟම දෙවිගේ සෙනඟ භුක්ති විඳින්ට යන්නේ කුමන ආකාරයේ එක්සත්කමක්ද?

20 නැවත පිහිටෙවූ ජාතියේ එක්සත්කම ගැන දැන් යෙසායා විස්තර කරනවා. උතුරු රාජ්‍යය එප්‍රායිම් සහ දකුණු රාජ්‍යය යූදා ලෙස හඳුන්වමින් ඔහු මෙසේ කියනවා. “එප්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව පහවයන්නේය, යූදාට හිංසාකරන්නෝ සිඳ දමනු ලබන්නෝය. එප්‍රායිම් යූදාට ඊර්ෂ්‍යාකරන්නේවත් යූදා එප්‍රායිම්ට හිංසාකරන්නේවත් නැත. ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිඟුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.” (යෙසායා 11:13, 14) යුදෙව්වන් බබිලෝනියෙන් නැවත පැමිණි විට ඔවුන් තවදුරටත් ජාතීන් දෙකක් ලෙස වෙන්ව සිටින්ට යන්නේ නැහැ. ඉශ්‍රායෙල්හි සියලුම ගෝත්‍රවල සාමාජිකයන් ඔවුන්ගේ දේශයට නැවත එක්සත්ව පැමිණෙන්ට යනවා. (එස්රා 6:17) ඔවුන් තවදුරටත් එකිනෙකාට අමනාපය සහ සතුරුකම පෙන්වන්ට යන්නේ නැහැ. එක්සත් ජනතාවක් වශයෙන් ඔවුන් අවට සිටින සතුරු ජාතීන්ට විරුද්ධව ජයග්‍රාහී ලෙස නැඟී සිටින්ට යනවා.

21. අදදින සිටින දෙවිගේ සෙනඟගේ එක්සත්කම සැබවින්ම විශිෂ්ට වන්නේ කෙසේද?

21 එහෙත් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ අතර තිබෙන එක්සත්කම ඊටත් වඩා සිත්ගන්නාසුලුයි. ආත්මික ඉශ්‍රායෙල්හි සංකේතාත්මක ගෝත්‍ර 12 දැනට අවුරුදු 2,000ක පමණ කාලයක් පුරා දෙවි කෙරෙහි සහ ඔවුන්ගේ ආත්මික සහෝදර සහෝදරියන් කෙරෙහි ඔවුන්ට ඇති ප්‍රේමය මත පදනම් එක්සත්කමක් භුක්ති විඳිමින් සිටිනවා. (කොලොස්සි 3:14; එළිදරව් 7:4-8) අදදින, ආත්මික ඉශ්‍රායෙල් සහ භූමික බලාපොරොත්තුවක් ඇති යෙහෝවාගේ සෙනඟ ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල නැති ආකාරයේ සමාදානයක් සහ ලෝක ව්‍යාප්ත එක්සත්කමක් මෙසියස්ගේ පාලනය යටතේ භුක්ති විඳිමින් සිටිනවා. තම නමස්කාරයට සාතන් ගෙනෙන බාධාවලට එරෙහිව සිටීමට හැකි වන පිණිස යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්සත් ආත්මික හමුදාවක් ලෙස සකස් වෙමින් සිටිනවා. මේ සෙනඟ යේසුස් භාර දුන් වැඩය, එනම් සියලුම ජාතීන්ට මෙසියස්ගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩය එකා මෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.—මතෙව් 28:19, 20.

බාධක ජයගනු ඇත

22. යෙහෝවා ‘මිසර මුහුදේ අත්ත සහමුලින්ම නැතිකර දමන්නේ’ කෙසේද? එමෙන්ම, ඔහු “ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිඟු” කරන්නේ කෙසේද?

22 ඉශ්‍රායෙල්වරුන් වහල්භාවයෙන් මිදී නැවත එන විට වචනයේ පරිසමාප්තියෙන්ම මෙන්ම සංකේතාත්මක ආකාරයෙන් ඔවුන්ට බොහෝ බාධක තිබෙන්ට යනවා. ඔවුන් ඊට මුහුණ දෙන්නේ කොහොමද? යෙසායා මෙසේ කියනවා. “[යෙහෝවා] මිසර මුහුදේ අත්ත සහමුලින්ම නැතිකර [දමන්නේය; ඔහු] තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිඟුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට [ගසන්නේය].” (යෙසායා 11:15) තම සෙනඟට නැවත ඒම සඳහා තිබෙන බාධක සියල්ල නැති කර දමන්ට යන්නේ යෙහෝවායි. කෙනෙකු ඉදිරියේ රතු මුහුදේ අත්තක් වැනි (සූවස් ඇළ වැනි) භයානක බාධකයක් හෝ යුප්‍රටීස් වැනි එගොඩට ගමන් කිරීමට නොහැකි ගඟක් තිබුණත් භය වෙන්ට අවශ්‍යතාවක් නැහැ. මන්ද ඔහුට ඒ හරහා පාවහන් ගළවන්නේ නැතුව වුණත් ගමන් කිරීමට අවශ්‍ය නම් ඒ ජල කඳන් වියළවා දමන්ට වුණත් යෙහෝවාට පුළුවන්!

23. ‘අෂූරෙන් මහ මාවතක්’ පැමිණෙන්නේ කුමනාකාරයෙන්ද?

23 මෝසෙස්ගේ දවසේදී, මිසරයෙන් ගැළවී පොරොන්දු දේශය කරා ඒමට යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට මාර්ගය සැලැස්සුවා. ඒ හා සමාන දෙයක් ඔහු නැවතත් කරන්ට යනවා. “ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ [ඔහුගේ] සෙනගට මහ මාවතක් වන්නේය.” (යෙසායා 11:16) වහල්භාවයේ සිටියවුන්ව හරියට මහා මාර්ගයක් ඔස්සේ ගෙනයන්නාක් මෙන් නැවත ඔවුන්ගේ මව්බිම කරා පැමිණීමට යෙහෝවා ඔවුන්ට මඟ පෙන්වන්න යනවා. විරුද්ධවාදීන් ඔවුන්ව වළක්වන්න මාන බැලුවත් ඔවුන්ගේ දෙවි යෙහෝවා ඔවුන් සමඟයි. එලෙසම, ආලේප ලත් අය සහ ඔවුන්ගේ සහකාර සාමාජිකයන් අදදින කෲර තර්ජනවලට ගොදුරු වුණත් ඔවුන් ධෛර්යවත්ව ඉදිරියටම යනවා! ඔවුන් නවීන දින අෂූරිය වන සාතන්ගේ ලෝකයෙන් පිටතට පැමිණ සිටින අතර, එසේම කිරීමට අනිත් අයට උදව් කරමින් සිටිනවා. නිර්මල නමස්කාරය දිගටම සඵල වන බව ඔවුන් දන්නවා. එය මිනිසුන්ගේ වැඩක් නොව දෙවිගේ වැඩක්.

මෙසියස්ගේ යටත් වැසියන්ට අසීමිත ප්‍රීතියක්!

24, 25. යෙහෝවාගේ සෙනඟ හඬ නඟා ප්‍රශංසාවත් කෘතඥතාවත් ප්‍රකාශ කරන්නේ කෙසේද?

24 යෙහෝවාගේ වචනයේ ඉටුවීම හේතුවෙන් සෙනඟගේ උතුරා යන ප්‍රීතිය, සතුට උපදවන ආකාරයට යෙසායා විස්තර කරන්නේ මෙසේයි. “ඒ දවසෙහි නුඹ කථාකොට: [යෙහෝවා], ඔබට ස්තුතිකරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා [සනසන්නේය].” (යෙසායා 12:1) තම හිතුවක්කාර සෙනඟට යෙහෝවා දුන් තදබල හික්මවීමේ ප්‍රතිඵලයක් හැටියට ජාතිය සමඟ යෙහෝවාගේ සම්බන්ධය යථා තත්වයට පත් වන අතර, නිර්මල නමස්කාරයද දේශයේ යළි පිහිටුවනවා. අවසානයේදී යෙහෝවා තම ඇදහිලිවන්ත නමස්කාරකයන්ව ගළවාගන්නා බවට සහතික වෙනවා. එසේ නම් ඔවුන්ගේ අගය ප්‍රකාශ කිරීම ගැන පුදුම වෙන්ට දෙයක් නැහැ!

25 නැවත පිහිටුවනු ලැබූ ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා කෙරෙහි විශ්වාසය තිබෙන අතර, ඔවුන් ඒ ගැන මෙසේ සහතික කරනවා. “බලව, [දෙවි] මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ [යාහ්, NW] [යෙහෝවා] මාගේ සවියත් ගීතිකාවත්ය; [ඔහු] මාගේ ගැළවීම [වූයේයයි] කියන්නෙහිය. එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.” (යෙසායා 12:2, 3) යෙසායා 12 දෙවන පදයෙහි එන “ගීතිකාව” යන හෙබ්‍රෙව් වචනය සෙප්ටූඅජින්ට් අනුවාදයේ එන්නේ “ප්‍රශංසාව” ලෙසයි. නමස්කාරකයන් ‘යාහ් යෙහෝවාගෙන්’ ලද ගැළවීම ගැන මහත් හඬින් ප්‍රශංසා ගී ගයනවා. ප්‍රශංසාවේ සහ කෘතඥතාවේ උපරිමය දැක්වීමට බයිබලයෙහි යෙහෝවා යන නාමයේ කෙටි ස්වරූපයක් වන “යාහ්” නම් වචනය පාවිච්චි කරනවා. එබැවින් දිව්‍ය නාමය දෙවරක් භාවිතා කරමින් “යාහ් යෙහෝවා” යයි කීමෙන් දෙවිට ප්‍රශංසා කිරීම වඩා ඉහළම තලයකට ගෙනෙනවා.

26. අදදින ජාතීන් අතර දෙවිගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ කවුද?

26 යෙහෝවාගේ සැබෑ නමස්කාරකයන්ට ඔවුන්ගේ ප්‍රීතිය තමන් තුළම තබාගෙන සිටීමට පුළුවන්කමක් නැහැ. යෙසායා මෙසේ පුරෝකථනය කරනවා. ‘ඒ දවසෙහි නුඹලා කතා කොට: යෙහෝවාට ස්තුති කරන්න, ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න, ඔහුගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, ඔහුගේ නාමය උසස් බව සඳහන් කරන්න. යෙහෝවාට ගායනා කරන්න; මක්නිසාද ඔහු උතුම් දේ කළේය. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවායි කියන්නහුය.’ (යෙසායා 12:4, 5) වර්ෂ 1919 සිට ආලේප ලත් ක්‍රිස්තියානීන්, පසු කාලයේදී ‘වෙනත් බැටළුවන්ගේ’ සහයෝගයද ඇතුව, ‘අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට ඔවුන්ව කැඳවාගත් තැනැත්තාගේ උත්කෘෂ්ටතාවන් ප්‍රකාශ’ කර තිබෙනවා. එම අරමුණ ඉටු කරගැනීම සඳහා ඔවුන් “තෝරාගත් වංශයක්ද . . . ශුද්ධවූ ජාතියක්ද” වී තිබෙනවා. (යොහන් 10:16; 1 පේතෘස් 2:9) යෙහෝවාගේ ශුද්ධ නාමය උත්කෘෂ්ටවත් කර තිබෙන බව ආලේප ලත් අය ප්‍රකාශ කරන අතර, පොළොව පුරාම එය පතළ කරමින් සිටිනවා. යෙහෝවාගේ ගැළවීමේ සැපයුම කෙරෙහි ප්‍රීතිවීමට ඔවුන් දෙවිගේ සියලුම නමස්කාරකයන්ට මඟ පෙන්වනවා. එය යෙසායා හඬ නඟා මෙසේ කියනවා හා සමානයි. “එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] උතුම්ව [සිටින්නේය].” (යෙසායා 12:6) ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වෙන කවුරුත් නොව යෙහෝවා දෙවිමයි.

විශ්වාසයෙන් යුතුව අනාගතය දෙස බැලීම

27. ක්‍රිස්තියානීන් ඔවුන්ගේ බලාපොරොත්තුව දෙස ඇස් යොමා සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාසයෙන්ද?

27 අදදින දශලක්ෂ ගණන් ජනයා “ජාතීන්ට කොඩියක්” සේ දෙවිගේ රාජ්‍යයේ සිංහාසනාරූඪ වී සිටින යේසුස් ක්‍රිස්තුස් වටා එක් රොක් වී තිබෙනවා. එම රාජ්‍යයේ යටත් වැසියන් වීමට ඔවුන් ප්‍රීතියෙන් සිටින අතර, යෙහෝවා දෙවිවත් ඔහුගේ පුත්‍රයාවත් දැනගැනීමට ලැබීම ගැන ඔවුන් සතුටු වෙනවා. (යොහන් 17:3) ඔවුන් තමන්ගේ එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ මහත් ප්‍රීතියක් අත් කරගෙන තිබෙනවා. එමෙන්ම යෙහෝවාගේ සැබෑ සේවකයන්ගේ ලකුණ වන සමාදානය ආරක්ෂා කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරනවා. (යෙසායා 54:13) යාහ් යෙහෝවා තමන් විසින් දුන් පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක් බව ඔවුන් ඒත්තුගෙන තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව ගැන ඔවුන්ට නිසැකයි. ඔවුන් එය අන්‍යයන් සමඟ බෙදාගැනීම තුළින් මහත් සතුටක් අද්දකිනවා. යෙහෝවාගේ සෑම නමස්කාරකයෙක්ම තමන්ගේ සෑම ශක්තියක්ම දෙවිට සේවය කිරීමට දිගටම පාවිච්චි කරාවා. එසේ කිරීමට අන්‍යයන්ට උපකාර කරාවා. අපි යෙසායාගේ වචන හෘදයට ගෙන යෙහෝවාගේ මෙසියස් තුළින් ලැබෙන ගැළවීමෙහි ප්‍රීති වෙමු!

[පාදසටහන්වල]

^ “මෙසියස්” යන්න පැමිණෙන්නේ ම·ෂි’අක් යන හෙබ්‍රෙව් වචනයෙන්. එහි තේරුම “ආලේප ලත් තැනැත්තා” යන්නයි. එහි ග්‍රීක් සමානාර්ථය වන්නේ ක්‍රි·ස්ටොස්ʹ හෙවත් “ක්‍රිස්තුස්” යන්නයි.—මතෙව් 2:4, NW පාදසටහන.

^ “පැළය” යන්නට හෙබ්‍රෙව් වචනය නෙʹට්සර් වේ. ‘නාසරියයා’ යන්නට නොට්ස්·රිʹ වේ.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[158වන පිටුවේ පින්තූර]

මෙසියස් දාවිත් රජුගෙන් පැමිණෙන යෙස්සේගේ “අංකුරයක්”

[162වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

[170වන පිටුවේ පින්තූරය]

යෙසායා 12:4, 5 මළ මුහුදේ අකුළන ලියවිලිවල ඇති ආකාරය (දෙවිගේ නාමය සඳහන් අවස්ථා උලුප්පා දක්වා ඇත)