Skip to content

පටුනට යන්න

මේ ලෝකයෙන් කිසිම හව්හරණක් නැහැ

මේ ලෝකයෙන් කිසිම හව්හරණක් නැහැ

විසිහතරවන පරිච්ඡේදය

මේ ලෝකයෙන් කිසිම හව්හරණක් නැහැ

යෙසායා 31:1-9

1, 2. (අ) යෙරුසලමේ වැසියන් භයෙන් බිරාන්ත වී සිටින්නේ මන්ද? (ආ) යෙරුසලමේ විනිශ්චය සම්බන්ධයෙන් ගත් කල වඩා උචිත වන්නේ කිනම් ප්‍රශ්න ඇසීමද?

 යෙරුසලමේ වැසියන් භයෙන් බිරාන්තව සිටිනවා. ඒ සඳහා හොඳ හේතු තිබෙනවා! එවකට තිබූ බලවත්ම අධිරාජ්‍යය වන අෂූරිය ‘යූදාහි සියලුම බලකොටු නුවරවල් ආක්‍රමණය කර ඒවා අල්ලන්ට පටන්ගනියි [NW].’ දැන් අෂූරියේ හමුදා බලඇණිය යූදාහි අගනුවරට විරුද්ධව තර්ජනය කරනවා. (2 රාජාවලිය 18:13, 17) හෙසකියා රජත් යෙරුසලමේ වැසියනුත් කුමක් කරාවිද?

2 අනෙකුත් නුවරවල් දැනටමත් වැටී ඇති නිසා අෂූරියේ බලවත් යුධ හමුදාව ඉදිරියේ යෙරුසලම කිසිත් නැති බව හෙසකියා දන්නවා. එපමණක් නෙවෙයි, කෲරකම සහ සැහැසිකකම ගැන අෂූරියයන් තරම් වෙන කවුරුත් නම් දරන්නේ නැහැ. එම ජාතියේ හමුදාව කොතරම් බිය උපදවනසුලුද කිවහොත් ඇතැම් අවස්ථාවලදී විරුද්ධවාදීන් සටනක් නොකරම පලා යනවා! යෙරුසලමේ වැසියන් වැටී ඇත්තේ ගැඹුරු අගාධයකයි. උපකාරය සඳහා ඔවුන් හැරෙන්නේ කා වෙතටද? අෂූරියේ හමුදාවෙන් ඔවුන්ට ගැළවීමක් තිබෙනවාද? දෙවිගේ සෙනඟ එවැනි තත්වයට පත් වුණේ කොහොමද? මේවාට උත්තර සෙවීම සඳහා ආපස්සට ගොස් යෙහෝවා තමා සමඟ ගිවිසුමෙන් බැඳී සිටි ජාතිය සමඟ අතීතයේදී කටයුතු කළ ආකාරය ගැන සොයා බැලිය යුතුයි.

ඉශ්‍රායෙල්ගේ ඇදහිල්ල හැර යෑම

3, 4. (අ) ඉශ්‍රායෙල් ජාතිය රාජ්‍යයන් දෙකකට බෙදුණේ කවදාද? කෙසේද? (ආ) උතුරු දස ගෝත්‍ර රාජ්‍යයට යෙරොබොවම් දුන් නරක ආරම්භය කුමක්ද?

3 ඉශ්‍රායෙල්වරුන් මිසරය හැර ආ දා සිට දාවිත්ගේ පුත්‍ර වූ සාලමොන්ගේ මරණය දක්වා අවුරුදු 500කට ටිකක් වැඩි කාලයක්, ඉශ්‍රායෙල්හි ගෝත්‍ර 12 එක්සත්ව එක ජාතියක් ලෙස පැවතුණා. සාලමොන්ගේ මරණයෙන් පසු දාවිත්ගේ ගෘහයට විරුද්ධව කැරලිගසන්ට යෙරොබොවම් ගෝත්‍ර දසයට සැලැස්සුවා. එතැන් සිට ජාතිය රාජ්‍යයන් දෙකකට බෙදුණා. මෙය සිදු වූයේ පො.යු.පෙ. 997දීයි.

4 ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයේ මුල්ම රජ වූයේ යෙරොබොවම්ය. ඔහු තම යටත් වැසියන්ට ඇදහිල්ල හැරයන්ට සැලැස්සුවා. ඔහු එසේ කළේ, ආරොන්ගේ පූජකතන්ත්‍රය සහ යෙහෝවාට දෙන නීත්‍යනුකූල නමස්කාරය වෙනුවට නීති විරෝධී පූජකතන්ත්‍රයක් සහ වසු නමස්කාර ක්‍රමයක් පිහිටුවීමෙනුයි. (1 රාජාවලිය 12:25-33) යෙහෝවා ඉදිරියේ මෙය මහත් පිළිකුල්සහගත දෙයක් වුණා. (යෙරෙමියා 32:30, 35) මෙය ඇතුළු වෙනත් හේතූන් නිසා ඔහු ඉශ්‍රායෙල් යටත් කරගන්ට අෂූරියට ඉඩහැරියා. (2 රාජාවලිය 15:29) පසුව හෝෂෙයා රජ මිසරය සමඟ කුමන්ත්‍රණය කර අෂූරියේ වියගහෙන් මිදෙන්ට තැත් කළත් උත්සාහය අසාර්ථක වුණා.—2 රාජාවලිය 17:4.

ඉශ්‍රායෙල්වරුන් පාර වරද්දාගනියි

5. උපකාරය සඳහා ඉශ්‍රායෙල් හැරෙන්නේ කා වෙතටද?

5 ඉශ්‍රායෙල්වරුන්ව පියවි සිහියට ගෙනෙන්ට යෙහෝවාට අවශ්‍යයි. * ඒ නිසා ඔහු අනතුරු ඇඟවීමක් කිරීමට අනාගතවක්තෘ යෙසායාව ඔවුන් ළඟට යවනවා. “ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] දෙස බලන්නේවත් [යෙහෝවා] සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් [ඔහුත් ප්‍රඥාවන්තය].” (යෙසායා 31:1) මොනතරම් ඛේදජනකද! ඉශ්‍රායෙල්වරුන් ජීවමාන දෙවි වන යෙහෝවාට වඩා අශ්වයන් සහ යුධ රථ කෙරෙහි මහත් විශ්වාසයක් තබනවා. ඉශ්‍රායෙල්වරුන්ගේ මාංසික සිතුවිල්ලේ හැටියට මිසරවරුන්ට සිටින අශ්වයන් ගණන අතිවිශාලයි, ඒ වගේම ඉතා බලවත්. මිසරය අෂූරීය හමුදාවට විරුද්ධව වටිනා මිතුරෙක් වන බවට සැකයක් නැහැ! කෙසේවෙතත්, මිසරය සමඟ මාංසික මිත්‍රත්වයක් ඇති කරගැනීම නිෂ්ඵල දෙයක් බව වැඩි කල් නොගොස් ඉශ්‍රායෙල්වරුන් තේරුම්ගන්නවා.

6. ඉශ්‍රායෙල් මිසරය වෙත හැරීම, යෙහෝවා කෙරෙහි ඇදහිල්ලේ ඌනතාවක් බව පෙන්වන්නේ මන්ද?

6 ඉශ්‍රායෙල්හි මෙන්ම යූදාහි වැසියන් ව්‍යවස්ථා ගිවිසුම මගින් යෙහෝවා සමඟ කැප වූ සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. (නික්මයාම 24:3-8; 1 ලේකම් 16:15-17) උපකාරය ඉල්ලා මිසරය වෙත හැරීමෙන්, ඉශ්‍රායෙල්වරුන් තුළ යෙහෝවා කෙරෙහි ඇදහිල්ලේ ඌනතාවක් තිබෙන බව හෙළි වෙනවා. එපමණක්ද නොව, දෙවිගේ ශුද්ධ වූ ගිවිසුමේ කොන්දේසියක් වන තමන්ට තනි භක්තිය පුද කරනවා නම් ඔහු තම සෙනඟ ආරක්ෂා කරනවා යන යෙහෝවාගේ පොරොන්දුව නොසලකා හරින බවත් ඉන් හෙළි වෙනවා. (ලෙවී කථාව 26:3-8) එම පොරොන්දුව සැබෑ කරමින් තමන් ‘විපත්ති කාලයේදී බලකොටුවක්’ බව යෙහෝවා නැවත නැවතත් ඔප්පු කළා. (ගීතාවලිය 37:39; 2 ලේකම් 14:2, 9-12; 17:3-5, 10) තවද අශ්වයන් වැඩි කර නොගන්න කියාත් ව්‍යවස්ථා ගිවිසුමේ මැදහත්කරුවා වූ මෝසෙස් තුළින් ඉශ්‍රායෙල්හි අනාගත රජවරුන්ට යෙහෝවා පැවසුවා. (ද්විතීය කථාව 17:16) මේ නියමයන්ට කීකරු වීමෙන් පෙන්වන්නේ මේ රජවරුන් ආරක්ෂාව සඳහා ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා’ දෙස බලන බවයි. එහෙත් ඉශ්‍රායෙල්හි පාලකයන්ට එතරම් ඇදහිල්ලක් නොතිබීම කනගාටුවට කරුණක්.

7. ඉශ්‍රායෙල්ගේ ඇදහිල්ල ඌනතාවෙන් අද සිටින ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

7 මෙයින් අදදින සිටින ක්‍රිස්තියානීන්ට පාඩමක් ඉගෙනගත හැකියි. යෙහෝවා සපයන ඉතා ප්‍රබල උපකාරය වෙනුවට ඉශ්‍රායෙල්වරුන් දෘශ්‍යමාන උපකාරයන් දෙස බැලුවා. මාංසික දේවල් මත විශ්වාසය තබන්ට අද සිටින ක්‍රිස්තියානීන් තුළත් පෙලඹීමක් ඇති විය හැකියි. යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවාට වඩා ඔවුන් බැංකු ගිණුම, සමාජ තත්වය සහ ලෝකය සමඟ සම්බන්ධකම් පැවැත්වීම මත විශ්වාසය තබනවා. ක්‍රිස්තියානි ගෘහ මූලිකයන් තමන්ගේ පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීම සම්බන්ධයෙන් බරපතළ ලෙස සිතිය යුතු බව ඇත්තයි. (1 තිමෝති 5:8) එහෙත් ඔවුන් තම විශ්වාසය ද්‍රව්‍යමය දේවල් මත තබන්නේ නැහැ. එමෙන්ම ඔවුන් “සියලු ආකාර [ලෝභකමට]” විරුද්ධව සිටිනවා. (ලූක් 12:13-21) “විපත්ති කාලවලදී” එකම “උස් කොටුව” යෙහෝවා පමණයි.—ගීතාවලිය 9:9; 54:7.

8, 9. (අ) යුධ උපක්‍රම අතින් ඉශ්‍රායෙල්ගේ සැලසුම් ඥානවන්තයි කියා පෙනුණත්, ප්‍රතිඵලය කුමක් වෙන්ට යනවාද? ඒ මන්ද? (ආ) මිනිසුන්ගේ පොරොන්දු සහ යෙහෝවාගේ පොරොන්දු අතර ඇති වෙනස කුමක්ද?

8 මිසරය සමඟ මිත්‍ර ගිවිසුමක් ඇති කරගත් ඉශ්‍රායෙල්හි නායකයන්ට යෙසායා සමච්චල් කරනවයි කියලත් කියන්න පුළුවන්. “[ඔහු] තමන්ගේ වචන අවලංගු නොකර, විපත පමුණුවා නපුර කරන්නන්ගේ වංශයටත් අයුතුකම් කරන්නන්ගේ උපකාරයටත් විරුද්ධව [නැඟිටින්නේය].” (යෙසායා 31:2) ඉශ්‍රායෙල්හි නායකයන් තමන් මොළකාරයන් කියා සිතනවා විය හැකියි. එහෙත් විශ්වයේ මැවුම්කරුවා ඊටත් වඩා අතිවිශිෂ්ට ලෙස ප්‍රඥාවන්ත නැද්ද? යුධ උපක්‍රම සම්බන්ධයෙන් ගනිද්දී මිසරයේ උපකාරය පැතීම ඥානවන්ත දෙයක් ලෙස පෙනෙන්ට පුළුවන්. කෙසේවෙතත්, එවැනි දේශපාලනික මිත්‍රකම් පැවැත්වීම යෙහෝවා ඉදිරියේ ආත්මික වේශ්‍යාකමක්. (එසකියෙල් 23:1-10) ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා ‘විපත පමුණුවනවා’ කියා යෙසායා කියනවා.

9 මිනිස් පොරොන්දු කෙරෙහි කොහෙත්ම විශ්වාසය තබන්ට බැහැ. ඔවුන්ගේ ආරක්ෂාව ගැන කිව හැක්කේද ඒ ටිකමයි. අනිත් අතට යෙහෝවා පොරොන්දු වන කිසිවක් වෙනස් කිරීමට ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඔහු පොරොන්දු වන දෙය නොවරදවාම ඉටු කරන්ට යනවා. ඔහුගේ එකදු වචනයක්වත් ප්‍රතිඵල නැතුව ඔහු වෙතට හැරී එන්නේ නැහැ.—යෙසායා 55:10, 11; 14:24.

10. මිසරයට සහ ඉශ්‍රායෙලට සිදු වෙන්ට යන්නේ කුමක්ද?

10 ඉශ්‍රායෙල්වරුන්ට මිසර වැසියන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව ඔප්පු වේවිද? නැහැ. යෙසායා ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කියනවා. “මිසරවරු [දෙවි] නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. [යෙහෝවා] තමන් අත දිඟුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.” (යෙසායා 31:3) යෙහෝවා තම හස්තය දිඟු කර අෂූරිය ලවා විනිශ්චය ඉටු කරන විට උපකාර කරන්නා (මිසරය) සහ උපකාර ලබන්නා (ඉශ්‍රායෙලය) යන දෙදෙනාම පැකිල වැටෙන්ට යනවා.

සමාරියේ වැටීම

11. ඉශ්‍රායෙල් සතුව තිබෙන පාපය හා සම්බන්ධ වාර්තාව කුමක්ද? එහි අවසාන ප්‍රතිඵලය කුමක්ද?

11 පසුතැවිලි වී නිර්මල නමස්කාරය වෙත හැරෙන්ට කියා දයාන්විත ලෙස යෙහෝවා තම අනාගතවක්තෲන් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන්ව දිරිගන්වනවා. (2 රාජාවලිය 17:13) එහෙත් වසු නමස්කාර කිරීමේ පාපයට අමතරව පේන කීම, සදාචාර ප්‍රතිපත්ති බිඳීගිය බාල් නමස්කාරය, උස් තැන් සහ අෂේරා කණු වන්දනාව සඳහා යොදාගැනීම යන දේවල් හේතුවෙන් ඉශ්‍රායෙල්වරුන් තම පාපය දෙගුණ තෙගුණ කරගන්නවා. ඉශ්‍රායෙල්වරුන් තමන්ගේ ඵල වන “තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා” මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට පූජා කරනවා. (2 රාජාවලිය 17:14-17; ගීතාවලිය 106:36-39; ආමොස් 2:8) ඉශ්‍රායෙල්හි දුෂ්ටකමට අවසානයක් ගෙන ඒම සඳහා යෙහෝවා මෙසේ ආඥා කරනවා. “සමාරියේ රජ වනාහි සිඳිනලද්දේය, ඔහු ජලය මතුපිට තිබෙන පතුරක් [කඩා දැමූ රිකිල්ලක්, NW] මෙන්ය.” (හොෂෙයා 10:1, 7) පොදු යුගයට පෙර 742දී අෂූරියේ හමුදා ඉශ්‍රායෙල්හි අගනුවර වන සමාරිය ආක්‍රමණය කරනවා. අවුරුදු තුනක වටලෑමෙන් පසු පො.යු.පෙ. 740දී සමාරිය වැටෙන අතර, එසේ ගෝත්‍ර දසයේ රාජ්‍යය පැවැත්මෙන් නැති වී යනවා.

12. යෙහෝවා අද පවරා ඇති වැඩය කුමක්ද? අනතුරු ඇඟවීම පිළි නොගන්නා අයට සිදු වන්නේ කුමක්ද?

12 අපගේ දවසේදීද, “සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට” කියා අනතුරු අඟවමින් යෙහෝවා ලෝක ව්‍යාප්ත දේශනා වැඩක් දියත් කර තිබෙනවා. (ක්‍රියා 17:30; මතෙව් 24:14) ගැළවීම සඳහා දෙවිගේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන අයව ඇදහිල්ල අත්හළ ඉශ්‍රායෙල්වරුන්ට කළා සේ, “කඩා දැමූ රිකිල්ලක් මෙන්” විනාශ කර දමන්ට යනවා. මීට වෙනස්ව, යෙහෝවා කෙරෙහි බලා සිටින්නන් “දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) එසේනම්, පුරාණ ඉශ්‍රායෙල් රාජ්‍යය කළා හා සමාන වැරදිවලින් වැළකී සිටීම කොතරම් ඥානවන්තද! ඒ නිසා ගැළවීම සම්බන්ධයෙන් අපි යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමු.

ගළවාගැනීමට යෙහෝවා සතු බලය

13, 14. සියොන සම්බන්ධයෙන් යෙහෝවාට ඇති සැනසිලිදායක වචන මොනවාද?

13 ඉශ්‍රායෙල්හි දකුණු මායිමේ සිට කිලෝ මීටර් කිහිපයක් එහායිනුයි යූදාහි අගනුවර වන යෙරුසලම පිහිටා තිබෙන්නේ. ඒ නිසා සමාරියට මොකද වුණේ කියා යෙරුසලමේ වැසියන් හොඳහැටි දන්නවා. තම අසල්වැසි උතුරු රාජ්‍යයේ අවසානය ගෙනා බියකරු සතුරාගේම තර්ජනයට දැන් ඔවුන්ද හසු වෙලා. සමාරියට සිදු වූ දෙයින් ඔවුන් පාඩමක් ඉගෙනගනීවිද?

14 යෙසායාගේ ඊළඟ වචන යෙරුසලමේ වැසියන්ට සැනසිල්ලක් ගෙන දෙනවා. යෙහෝවා තවමත් තමන් සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟට ප්‍රේම කරන බව ඔහු සෙනඟට කියන්නේ මෙලෙසයි. “[යෙහෝවා] මට මෙසේ [කියන්නේය]: සිංහයා වුවත් තරුණ සිංහයා වුවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල [යෙහෝවා] සියොන් කන්දද එහි හෙලද පිට සටන්කරන්ට [බසින්නේය].” (යෙසායා 31:4) තරුණ සිංහයෙක් උගේ ගොදුර පිට සිටගෙන සිටින්නාක් මෙන් යෙහෝවා තම ශුද්ධ නුවර වන සියොන ආරක්ෂා කරගැනීමට ඉතා ජ්වලිතයෙන් ක්‍රියා කරනවා. අෂූරිය හමුදාවෙන් එන කිසිම උද්ධච්ච කතාවකට, තර්ජනයකට හෝ ඇති කරන කිසිම කෝලහලයකට යෙහෝවාව ඔහුගේ අරමුණෙන් වෙනස් කරන්ට හැකි වන්නේ නැහැ.

15. යෙහෝවා යෙරුසලමේ වැසියන් සමඟ සානුකම්පාවෙන් කටයුතු කරන්නේ කෙසේද?

15 යෙහෝවා යෙරුසලමේ වැසියන් සමඟ කටයුතු කරන්ට යන මුදු මොළොක් අනුකම්පාසහගත ආකාරය ගැන සලකා බලන්න. “පැටවුන් මත්තෙහි කරන කුරුල්ලන්ගේ පියාසරය මෙන් සේනාවල [යෙහෝවා] යෙරුසලම [ආවරණය කරන්නේය]; ඒක ආරක්ෂාකොට [ගළවන්නේය], එය මතුපිට හැසිරෙමින් [ප්‍රවේසම් කරන්නේය].” (යෙසායා 31:5) කිරිල්ලියක් ඇගේ පැටවුන්ව ආරක්ෂා කරගැනීමට බොහෝ වෙහෙසෙනවා. ඇය ඇගේ පියාපත් විහිදා පැටවුන්ව ආරක්ෂා කරන අතර, අනතුරක් ඇද්දැයි ඉතා සුපරීක්ෂාකාරි ලෙස විපරම් කරනවා. පැටවුන්ට හානි කරන්ට සතෙක් ළං වෙනවා නම්, ඇය ඉක්මනින්ම පැන පැටවුන්ගේ ආරක්ෂාවට සිටිනවා. ඒ ආකාරයටම, යෙහෝවා ආක්‍රමණික අෂූරියයන්ට විරුද්ධ වෙමින් යෙරුසලමේ වැසියන්ව මෘදු ලෙස රැකබලා ගන්නවා.

‘සෙනඟෙනි, හැරෙන්න’

16. (අ) යෙහෝවා තම සෙනඟට කරන ප්‍රේමනීය ආයාචනය කුමක්ද? (ආ) යූදාහි සෙනඟගේ කැරලිගැසීම විශේෂයෙන්ම පැහැදිලිව දිස් වන්නේ කවදාද? විස්තර කරන්න.

16 යෙහෝවා තම සෙනඟ පව් කර ඇති බව මතක් කර දෙන අතර, ඔවුන්ගේ වැරදි මාර්ගවලින් ඉවත් වෙන්ට කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. “සෙනඟෙනි, ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් අන්තයටම කැරලිගසා, විරුද්ධකම් පෑ තැනැත්තා වෙතට හැරෙන්න.” (යෙසායා 31:6, NW) කැරලිගැසීමේ හවුල් වී තිබෙන්නේ ඉශ්‍රායෙල්හි දස ගෝත්‍රික රාජ්‍යය පමණක් නෙවෙයි. “ඉශ්‍රායෙල් පුත්‍රයන්” මෙන්ම යූදාහි සෙනඟද ‘කැරලිගැසීමේ අන්තයටම’ ගොස් තිබෙනවා. මෙය විශේෂයෙන්ම පසක් වුණේ යෙසායා තම අනාවැකිමය පණිවිඩය කියා ටික කලකට පසු හෙසකියාගේ පුත් මනස්සේ රජ බවට පත් වූ කාලයේදීයි. බයිබල් වාර්තාවට අනුව “[යෙහෝවා] ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.” (2 ලේකම් 33:9) මේ ගැන සිතා බලන්න! මිථ්‍යා දෘෂ්ටික ජාතීන් ඒ තරම්ම පිළිකුල්සහගත ලෙස ක්‍රියා කරන නිසා යෙහෝවා ඔවුන්ව මුලිනුපුටා දමනවා. කෙසේවෙතත්, යෙහෝවා සමඟ ගිවිසුමකින් බැඳී සිටින යූදාහි වැසියන් ඒ මිථ්‍යා දෘෂ්ටික ජාතීන්ටත් වඩා හපන්!

17. අද තිබෙන තත්වය යූදාහි මනස්සේ යටතේ පැවති තත්වයට සමාන වන්නේ කිනම් ආකාරවලින්ද?

17 අපි සිටින මේ විසිඑක්වන සියවසට අරුණලු වැටෙන යාමයේදීද තත්වය බොහෝ ආකාරවලින් මනස්සේගේ දවසේ යූදාහි පැවති තත්වයට සමානයි. ලෝකය ඉතා ශීඝ්‍රයෙන් ආගමික, වාර්ගික සහ ජනවාර්ගික වෛරය නිසා බෙදී යමින් පවතිනවා. දශලක්ෂ ගණන් ජනයා අතිකෲර මිනීමැරුම්, වද හිංසා, ස්ත්‍රී දූෂණ සහ වාර්ගික ශෝධන කිරීම්වලට ගොදුරු වී තිබෙනවා. ජනයා සහ ජාතීන් විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයට අයත් ජාතීන් ‘කැරලිගැසීමේ අන්තයටම’ ගොස් තිබෙන බවට සැකයක් නැහැ. කෙසේවෙතත්, දිගටම දුෂ්ටකම පවතින්ට යෙහෝවා ඉඩ නොදෙන බවට අපිට ස්ථිර විය හැකියි. ඒ කොහොමද? ඒ යෙසායාගේ කාලයේදී සිදු වූ දේවල් සලකා බැලීමෙනුයි.

යෙරුසලම ගළවාගැනේ

18. රබ්-ෂාකේ හෙසකියාට දෙන අනතුරු ඇඟවීම කුමක්ද?

18 යුධ ජයග්‍රහණයන් සම්බන්ධයෙන් අෂූරියේ රජවරුන් ඔවුන්ගේ දෙවිවරුන්ට ගෞරවය දුන්නා. ඒන්ෂන්ට් නියර් ඊස්ටන් ටෙක්ස්ට් යන පොතෙහි අෂූරියේ අධිරාජ්‍යයෙක් වූ අෂුබානිපල්ගේ ලියවිල්ලක් අඩංගු වෙනවා. “මහා යුද්ධයකදී . . . ඔහු දක්ෂ සෙබළුන්ව පැරදවූ විට අෂූර්, බෙල්, නෙබෝ, මහා දෙවිවරුන්, [ඔහුගේ] ස්වාමිවරුන් [ඔහු] සමඟ (නිතරම) ගමන් කරමින්” ඔහුට මඟ පෙන්වූ බව ඔහු එහි කියා තිබෙනවා. යෙසායාගේ දවසේදී අෂූරියේ සෙනකෙරීබ් රජව නියෝජනය කරන රබ්-ෂාකේද හෙසකියා රජට කතා කරද්දී මිනිස් යුද්ධවලට දෙවිවරුන්ගේ මැදිහත් වීම පිළිබඳව ඒ හා සමාන විශ්වාසයක් විදහාපානවා. ප්‍රබල අෂූරීය හමුදාවට විරුද්ධව නැඟී සිටි කිසිම සෙනඟකට ගැළවෙන්ට බැරි වූ බව පෙන්වා දෙමින් ගැළවීම සඳහා යෙහෝවා මත රඳා සිටීමේ අන්තරාව ගැන ඔහු යූදාහි රජට දන්වනවා.—2 රාජාවලිය 18:33-35.

19. රබ්-ෂාකේගේ අවමානයට හෙසකියා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

19 හෙසකියා රජ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? බයිබල් වාර්තාව මෙසේ සඳහන් කරනවා. “හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගන [යෙහෝවාගේ] ගෘහයට ඇතුල්වුණේය.” (2 රාජාවලිය 19:1) මේ බියකරු තත්වයේදී තමාට උපකාර කරන්ට සිටින්නේ එකම එක්කෙනයි කියා හෙසකියා තේරුම්ගන්නවා. ඔහු නිහතමානි ලෙස යෙහෝවාගේ මඟ පෙන්වීමට සිත යොමු කරනවා.

20. යූදාහි වැසියන් වෙනුවෙන් යෙහෝවා ක්‍රියා කරන්ට යන්නේ කෙසේද? එමෙන්ම ඔවුන් එයින් ඉගෙනගත යුත්තේ කුමක්ද?

20 යෙහෝවා හෙසකියා විසින් සෙවූ ඒ මඟ පෙන්වීම සපයනවා. ඔහු අනාගතවක්තෘ යෙසායා තුළින් මෙසේ කියනවා. “පාපයක් වන ලෙස නුඹලාගේ අත්වලින් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ [කිසි කමකට නැති දෙවිවරුන්ගේ, NW] රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.” (යෙසායා 31:7) යෙහෝවා තමන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කරද්දී සෙනකෙරීබ්ගේ දෙවිවරුන් මොන වගේද කියා ඔප්පු වේවි. එනම්, ඔවුන් කිසි වැදගැම්මකට නැති බව ඔප්පු වෙයි. එය යූදාහි වැසියන් හිතට ගත යුතු පාඩමක්. හෙසකියා රජ ඇදහිලිවන්තයෙක් වුණත්, යූදා දේශය ඉශ්‍රායෙලය මෙන් පිළිමවලින් පිරී තිබෙනවා. (යෙසායා 2:5-8) යූදාහි වැසියන්ට නැවත දෙවි සමඟ සම්බන්ධය ගොඩනඟා ගන්නවා කීමෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ පව්වලට පසුතැවිලි වීමත් එකිනෙකා තමන්ගේ ‘කිසි කමකට නැති දෙවිවරුන්ව’ ප්‍රතික්ෂේප කිරීමත්ය.—නික්මයාම 34:14, NW බලන්න.

21. අෂූරියට විරුද්ධව සිදු කරන යෙහෝවාගේ විනිශ්චමය ක්‍රියා යෙසායා අනාවැකිමය ලෙස විස්තර කරන්නේ කෙසේද?

21 යූදාගේ බියකරු සතුරාට විරුද්ධව ගෙනෙන්ට යන යෙහෝවාගේ විනිශ්චමය ක්‍රියා යෙසායා දැන් අනාවැකිමය ලෙස විස්තර කරනවා. “එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.” (යෙසායා 31:8) එම විනිශ්චය පැමිණෙන විට යෙරුසලමේ වැසියන්ට ඔවුන්ගේ කොපුවලින් කඩුව ගන්ට අවශ්‍යතාවක් ඇති වන්නේවත් නැහැ. මන්ද අෂූරියේ හොඳම භටයන් මිනිස් කඩුවකින් නොව නමුත් යෙහෝවාගේ කඩුවෙන් විනාශ වෙන නිසයි. අෂූරියේ රජ වූ සෙනකෙරීබ් ගැන කියනවා නම් “ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය.” යෙහෝවාගේ දූතයාගේ අතින් සෙනකෙරීබ්ගේ යුධ භටයන් 1,85,000දෙනාගේ මරණය සිදු වූවායින් පසු ඔහු තම මාළිගාව වෙත පලා යනවා. පසුව ඔහු තම දෙවි වූ නිස්රොක්ට නමස්කාර කරද්දී, ඔහුගේ පුත්‍රයන් ඔහුව ඝාතනය කරනවා.—2 රාජාවලිය 19:35-37.

22. හෙසකියා සහ අෂූරීය හමුදාව සම්බන්ධ සිද්ධීන්වලින් අද සිටින ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

22 යෙහෝවා අෂූරියේ හමුදාවෙන් යෙරුසලම බේරගන්නා ආකාරය ගැන හෙසකියාට තියා කිසි කෙනෙකුට සිතාගන්ට බැරි වුණා. ඒ වුණත්, මේ අර්බුදකාරි තත්වය තුළ හෙසකියා කටයුතු කළ ආකාරය අද පරීක්ෂාවලට මුහුණ දෙන අය සඳහා විශිෂ්ට ආදර්ශයක් සපයනවා. (2 කොරින්ති 4:16-18) කෲරකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ අෂූරියයන් විසින් යෙරුසලමට කළ තර්ජනය ගැන සිතා බලද්දී හෙසකියා බියට පත්වීම පුදුමයක් නෙවෙයි. (2 රාජාවලිය 19:3) එහෙත්, ඔහු යෙහෝවා කෙරෙහි විශ්වාස කරන අතර මනුෂ්‍යයන්ගේ නොව දෙවිගේ මඟ පෙන්වීම දෙස බලාගෙන සිටිනවා. ඔහු එසේ කළ නිසා යෙරුසලමට අත් වූ ආශීර්වාද ගැන සිතා බලන්න! අධික කාන්සාව නිසා අද සිටින දේවභයැති ක්‍රිස්තියානීන් චිත්තවේගීය ලෙස දැඩි පීඩනයකට ලක්ව සිටිනවා විය හැකියි. මෙවන් බොහෝ අවස්ථාවලදී ඇති වන බිය සාධාරණයි. එහෙත් අපි ‘අපේ හැම කරදරයක්ම ඔහු පිට තබනවා’ නම්, දෙවි අප ගැන සලකනවා. (1 පේතෘස් 5:7) ඔහු අපේ භය නැති කරගැනීමට උදව් කරනවා පමණක් නොව කනස්සල්ල ඇති කරන තත්වය සමඟ සාර්ථකව කටයුතු කරන්ට අපිට ශක්තිය පවා ලබා දෙනවා.

23. හෙසකියා නොව, එහෙත් සෙනකෙරීබ් බියෙන් වෙළී ගියේ කිනම් ආකාරයෙන්ද?

23 අන්තිමේදී බියෙන් වෙළී ගියේ සෙනකෙරීබ් මිස හෙසකියා නෙවෙයි. ඔහුට හැරෙන්ට පුළුවන් කා වෙතටද? යෙසායා මෙසේ පුරෝකථනය කරනවා. “ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උදුනක්ද ඇත්තාවූ [යෙහෝවා කියන්නේය].” (යෙසායා 31:9) සෙනකෙරීබ්ගේ දෙවිවරුන්, එනම් ඔහු විශ්වාසය තැබූ “පර්වතය” ඔහුව අතහැරියා. ඔවුන් “භීතිය නිසා පහවී” ගියා කියා කිව හැකියි. එපමණක් නොව සෙනකෙරීබ්ගේ අධිපතීන්ගෙන් පවා එතරම් ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. ඔවුනුත් භීතියෙන් වෙළී ගොස් සිටියා.

24. අෂූරියට සිදු වූ දෙයින් සපයන අනතුරු ඇඟවීම කුමක්ද?

24 යෙසායාගේ අනාවැකියේ මෙම කොටස දෙවිගේ විරුද්ධකාරයෙක් විය හැකි ඕනෑම කෙනෙකුට එරෙහිව පැහැදිලි අනතුරු ඇඟවීමක් සපයනවා. එනම් යෙහෝවාගේ අරමුණු වෙනස් කරන්ට කිසිම ආයුධයකට, බලයකට හෝ උපක්‍රමයකට හැකියාවක් නැහැ. (යෙසායා 41:11, 12) ඒ වගේම දෙවිට සේවය කරනවායයි කියාගන්නා නමුත් දෙවිගෙන් ඉවත් වී මාංසික දේවලින් සුරක්ෂිතභාවය අපේක්ෂා කරන අය කලකිරීමට පත් වෙන්ට යනවා. ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා දෙස බලන්නේ නැති’ අය මත යෙහෝවා ‘විපත පමුණුවන’ ආකාරය ඔවුන් අද්දකින්ට යනවා. (යෙසායා 31:1, 2) ඇත්තෙන්ම සැබෑ සහ සදාකාලික සරණ යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙකු නෙවෙයි.—ගීතාවලිය 37:5.

[පාදසටහන]

^ පෙනෙන විදිහට, යෙසායා 31වන පරිච්ඡේදයේ 1 සිට 3 මුල් ඡේද තුන මූලික අවධානය දෙන්නේ ඉශ්‍රායෙල් කෙරෙහියි. අවසාන පද හය යෙසා 31:4-9 යූදා සම්බන්ධයෙන් අදාළ වෙනවා විය හැක.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[319වන පිටුවේ පින්තූරය]

ද්‍රව්‍යමය දේවල් කෙරෙහි විශ්වාසය තබන අය කනස්සල්ලට පත් වෙන්ට යනවා

[322වන පිටුවේ පින්තූරය]

සිංහයෙක් උගේ ගොදුර පිට සිටින්නාක් මෙන් යෙහෝවා තම ශුද්ධ නුවර වන සියොන රකිනවා

[324වන පිටුවේ පින්තූර]

ලෝකය ආගමික, වාර්ගික සහ ජනවාර්ගික වෛරයෙන් බෙදී පවතිනවා

[326වන පිටුවේ පින්තූරය]

හෙසකියා උපකාරය ඉල්ලා යෙහෝවාගේ ගෘහයට ගියා