Skip to content

පටුනට යන්න

යෙසායා යෙහෝවාගේ “පුදුම ක්‍රියාව” කලින් කියයි

යෙසායා යෙහෝවාගේ “පුදුම ක්‍රියාව” කලින් කියයි

විසිදෙවන පරිච්ඡේදය

යෙසායා යෙහෝවාගේ “පුදුම ක්‍රියාව” කලින් කියයි

යෙසායා 28:1—29:24

1, 2. ඉශ්‍රායෙල් සහ යූදාට සුරක්ෂිතබවක් දැනෙන්නේ මන්ද?

 ඉශ්‍රායෙල්ට සහ යූදාට සුරක්ෂිතභාවයක් දැනෙන්නේ බොහොම ටික කාලයකට පමණයි. ඔවුන්ගේ නායකයන් භයානක තත්වයන්ගෙන් ගැළවීමේ අරමුණෙන් වඩා විශාල සහ ප්‍රබල ජාතීන් සමඟ දේශපාලනික මිත්‍රකම් පවත්වාගන්නවා. ඉශ්‍රායෙල්හි අගනුවර වූ සමාරිය අසල්වැසි සිරියාවත්, යූදාහි අගනුවර වූ යෙරුසලම කෲර අෂූරියත්, තමන්ගේ සරණය කරගෙන සිටිනවා.

2 උතුරු රාජ්‍යයේ සිටින අය අලුත් දේශපාලනික මිත්‍රත්වයන් කෙරෙහි විශ්වාසය තබනවාට අමතරව, රන් වස්සන්ටද නමස්කාර කරනවා. ඒ අතරම සමහරුන් තමන්ව ආරක්ෂා කරගනියි කියා යෙහෝවාගෙන් බලාපොරොත්තු වෙනවාත් විය හැකියි. ඒ හා සමානවම යූදාද යෙහෝවාගේ ආරක්ෂාව කෙරෙහි රඳා පවතින්ට තමන්ට පුළුවන් වෙයි කියා සිතනවා. අනිත් අතට, යෙහෝවාගේ මාළිගාව තිබෙන්නේ අගනුවර වන යෙරුසලමේ නෙවෙයිද? එහෙත්, ජාතීන් දෙකම ඉදිරියේදී අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දෙන්ට යනවා. යෙහෝවා තම හිතුවක්කාර සෙනඟව පුදුමයට පත් කරවිය හැකි ආකාරයේ සිදුවීම් පුරෝකථනය කිරීමට යෙසායාට ආනුභාවය දෙනවා. අද සිටින සියලුදෙනාටම වැදගත් පාඩම් එහි තිබෙනවා.

“එප්‍රායිම්හි බේබද්දන්”

3, 4. ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය උඩඟු වන්නේ කුමක් ගැනද?

3 තිගස්සවන අනාවැකියකින් යෙසායා කතාව අරඹනවා. “එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ! බලව, [යෙහෝවාගේ] බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන් . . . ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය. එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්න පයින් පාගාදමනු ලබන්නේය.”—යෙසායා 28:1-3.

4 උතුරු ගෝත්‍ර දසය හැඳින්වීමට එහි ප්‍රමුඛයා වූ එප්‍රායිම්ගේ නම පාවිච්චි කරනවා. උතුරු ගෝත්‍ර දසයේම අගනුවර වන සමාරිය නෙත් සිත් වශී කරන ස්ථානයක් වන ‘සාරවත් මිටියාවතේ මුදුනෙහි’ පිහිටා තිබෙනවා. එප්‍රායිම්හි නායකයන් යෙරුසලමේ දාවිත්ගේ පාලනතන්ත්‍රයෙන් වෙන්ව කටයුතු කිරීම නමැති ඔවුන්ගේ “උදාරතර ඔටුන්න” ගැන ආඩම්බර වෙනවා. එහෙත් ඔවුන් “බේබද්දන්.” යූදාට විරුද්ධව සිරියාව හා අත්වැල් බැඳගැනීම නිසා ආත්මිකව වෙරි මතෙනුයි ඔවුන් සිටින්නේ. ඔවුන් ඇලුම් කරන සියලුම දේවල් ආක්‍රමණිකයන් විසින් පයින් පාගා දැමීමට නියමිතව තිබෙනවා.—යෙසායා 29:9 සසඳන්න.

5. ඉශ්‍රායෙල් සිටින අස්ථිර තත්වය කුමක්ද? එහෙත් යෙසායා ඔවුන්ට ඉදිරිපත් කරන බලාපොරොත්තුව කුමක්ද?

5 තමන් සිටින අස්ථිර තත්වය ගැන එප්‍රායිම් තේරුම් අරගෙන නැහැ. යෙසායා මෙසේ කියනවා. “සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන අලංකාර දීප්තිමත්කම වන පරවෙන මල නියඟ කලට පෙර පළමුවෙන් ඉදෙන අත්තික්කා ගෙඩියක්මෙන් වන්නේය; ඒක දකින අය එය දුටුවාම අතට ගත් කෙණෙහිම ගිලගන්නේය.” (යෙසායා 28:4) රසවත් කෑමක් එක කටට ගිල දමන්නා සේ එප්‍රායිම් අෂූරිය අතට හසු වෙන්ට යනවා. වෙන බලාපොරොත්තුවක් ඇත්තේම නැද්ද? බොහෝ අවස්ථාවලදී සඳහන් වුණාක් මෙන් යෙසායාගේ විනිශ්චමය අනාවැකිවලට බලාපොරොත්තුවක්ද මුසු වී තිබෙනවා. ජාතිය වැටුණත්, ඇදහිලිවන්ත පුද්ගලයන් යෙහෝවාගේ උපකාරය ඇතුව ගැළවෙන්ට යනවා. “ඒ දවසෙහි සේනාවල [යෙහෝවා] තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක්ද දීප්තිමත් කිරීටයක්ද, විනිශ්චයකිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද [වන්නේය].”යෙසායා 28:5, 6.

‘මොව්හු මුළාව යති’

6. ඉශ්‍රායෙල් ඇගේ විනාශය අද්දකින්නේ කවදාද? එහෙත් යූදා ඒ ගැන සතුටු නොවිය යුත්තේ මන්ද?

6 පොදු යුගයට පෙර 740දී, සමාරියට ගණන් දීමට සිදු වන දවස පැමිණෙන විට අෂූරියන් දේශය පාළු කරන අතර, උතුරු රාජ්‍යය තවදුරටත් ස්වාධීන රාජ්‍යයක්ව තිබෙන්ට යන්නේ නැහැ. යූදා ගැන කුමක් කිව හැකිද? ඇගේ දේශයත් අෂූරිය විසින් ආක්‍රමණය කරන අතර පසුව බබිලෝනිය විසින් ඇගේ අගනුවර විනාශ කරනු ලබනවා. එහෙත් යෙසායාගේ ජීවිත කාලය තුළදී යූදාගේ දේවමාළිගාව සහ පූජකතන්ත්‍රය දිගටම ක්‍රියාත්මක වන අතර, ඇගේ අනාගතවක්තෲන් දිගටම අනාවැකි පළ කරනවා. උතුරෙන් පිහිටි තම අසල්වැසියාගේ විනාශය ගැන යූදා සතුටු විය යුතුද? ඇත්තෙන්ම නැහැ! යෙහෝවාට යූදා සහ එහි අකීකරු මෙන්ම ඇදහිල්ල ඌන නායකයන් සමඟත් කාරණයක් විසඳාගැනීමට තිබෙනවා.

7. යූදාහි නායකයන් බීමත්ව සිටින්නේ කොයි ආකාරයෙන්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

7 මේ පණිවිඩය යූදා වෙත යොමු කරමින් යෙසායා මෙසේ කියනවා. “එහෙත් මොව්හුද මුද්‍රිකපානය කරණකොටගෙන වැනි වැනී යති, සුරාපානය කරණකොටගෙන මුළාව යති; පූජකයාද අනාගතවක්තෘද සුරාපානය කරණකොටගෙන වැනි වැනී යති, මුද්‍රිකපානයෙහි ගිලී මද්‍යපානය කරණකොටගෙන මුළාව යති; ඔව්හු දර්ශනය වරද්දාගන විනිශ්චයේදී පැකිලෙති. මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ.” (යෙසායා 28:7, 8) මොනතරම් පිළිකුල්සහගතද! දෙවිගේ ගෘහය තුළ සිදු වන බේබදුකමම දුෂ්ටකමක්. එහෙත්, මේ පූජකයන් සහ අනාගතවක්තෘවරුන් මිනිස් මිත්‍ර සන්ධාන කෙරෙහි පමණ ඉක්මවා ආත්ම-විශ්වාසයක් ගොඩනඟාගෙන තම මනස් බර කරගැනීම හේතුවෙන් ආත්මික ලෙසත් වෙරි වී සිටිනවා. තමන්ගේ ක්‍රියාමාර්ගය එකම ප්‍රායෝගික ක්‍රියාමාර්ගය කියා සිතීමට තරම් ඔවුන් රැවටී සිටිනවා. යෙහෝවාගේ ආරක්ෂාව මදි වුණොත් තමන්ට අමතර සහයෝගයක් තිබෙනවා කියා සමහරවිට ඔවුන් විශ්වාස කරනවා වෙන්ට ඇති. තම ආත්මික වෙරි වූ තත්වයේ සිටින මේ ආගමික නායකයන් පිළිකුල්සහගත අපවිත්‍ර දේ කියමින් දෙවිගේ පොරොන්දු කෙරෙහි දුක්ඛිත ලෙස ඇදහිල්ලේ ඌනතාවක් පිළිබිඹු කරනවා.

8. යෙසායාගේ පණිවිඩයට දක්වන ප්‍රතිචාරය කුමක්ද?

8 යෙහෝවාගේ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් යූදාහි නායකයන්ගේ ප්‍රතිචාරය කුමක්ද? යෙසායා නිකම් ළදරුවන්ට කතා කරන ආකාරයට ඔවුන්ට කතා කරනවායයි කියමින් ඔවුන් ඔහුට සමච්චල් කරනවා. “[ඔහු] දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද? මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.” (යෙසායා 28:9, 10) යෙසායා කී දේ ඔවුන්ට මොනතරම් නිරස සහ විකාර දෙයක් වුණාද! ඔහු එකම දේ නැවත නැවත මෙසේ කියනවා. ‘යෙහෝවා අණ කළේ මෙසේයි! යෙහෝවා අණ කළේ මෙසේයි! යෙහෝවාගේ ප්‍රතිපත්ති මේවායි! යෙහෝවාගේ ප්‍රතිපත්ති මේවායි!’ * එහෙත් යෙහෝවා ඉක්මනින්ම යූදාහි වැසියන්ට ක්‍රියාවෙන් ‘කතා කරාවි.’ ඔහු ඇත්තෙන්ම වෙනත් භාෂාවක් කතා කරන විදේශීන් වූ බබිලෝනිවරුන්ව ඔවුන්ට විරුද්ධව එවන්ට යනවා. එම හමුදාවන් නිසැකවම යෙහෝවාගේ “අණ පිට අණ” ඉෂ්ට කරන්ට යන අතර, අවසානයේදී යූදා වැටෙන්ට යනවා.—යෙසායා 28:11-13 කියවන්න.

අපේ කාලයේ ආත්මික බේබද්දන්

9, 10. යෙසායාගේ වචන පසු පරම්පරාවලට බලපාන්ට යන්නේ කවදාද? ඒ කෙසේද?

9 යෙසායාගේ අනාවැකි ඉටු වුණේ පුරාණ ඉශ්‍රායෙල් සහ යූදාහිදී පමණක්ද? කොහෙත්ම නැහැ! යේසුස් සහ පාවුල් යන දෙදෙනාම ඔවුන්ගේ කාලයේ සිටි ජාතිය ඉදිරියේ යෙසායාගේ වචන උපුටා දක්වා එය අදාළ කළා. (යෙසායා 29:10, 13; මතෙව් 15:8, 9; රෝම 11:8) අදදින තත්වයත් යෙසායාගේ කාලයේ වගේමයි.

10 අපේ කාලයේදී දේශපාලනය කෙරෙහි තම විශ්වාසය තබන්නේ ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයනුයි. දේශපාලනයට ඇඟිලි ගසමින්, මේ ලෝකයේ සිටින උත්තමයන්යයි කියාගන්නාවූ අය සමඟ ආශ්‍රය කිරීමෙන් ප්‍රීතියක් ලබමින්, ඔවුන් ඉශ්‍රායෙල් සහ යූදාහි සිටි බේබද්දන් මෙන් එහාට මෙහාට වැනෙමින් සිටිනවා. ඔවුන් පවිත්‍ර බයිබල් සත්‍යය ගැන කතා කරනවා වෙනුවට අපවිත්‍ර දේ කතා කරනවා. ඔවුන්ගේ ආත්මික දෘෂ්ටිය බොඳ වී ගිහින්. මනුෂ්‍යවර්ගයාට අනුකරණය කිරීම සඳහා ඔවුන් හොඳ මඟ පෙන්වන්නන් නෙවෙයි.—මතෙව් 15:14.

11. ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

11 යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ එකම සැබෑ බලාපොරොත්තුව හැටියට දෙවිගේ රාජ්‍යය වෙත අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්ගේ ප්‍රතිචාරය කුමක්ද? ඔවුන්ට එය තේරෙන්නේ නැහැ. ඔවුන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පෙනෙන්නේ එකම දේ නැවත නැවත කියන බිළිඳුන් ලෙස විය හැකියි. ආගමික නායකයන් මේ පණිවිඩකරුවන්ව පහත් කර සලකා සමච්චලයට ලක් කරනවා. යේසුස්ගේ දවසේ සිටි යුදෙව්වන් මෙන් ඔවුන්ද දෙවිගේ රාජ්‍යය ගැන අසන්නේවත්, ඔවුන්ගේ රැළේ අයට ඒ ගැන අසන්ට ඉඩ දෙන්නේවත් නැහැ. (මතෙව් 23:13) එමෙන්ම, යෙහෝවා සැමවිටම කතා කරන්ට යන්නේ අනුන්ට හානියක් නැති ඔහුගේ පණිවිඩකරුවන් මාර්ගයෙන්ම නොවන බව ඔවුන්ට දන්වා තිබෙනවා. දෙවිගේ රාජ්‍යයට යටත් නොවන සියලුදෙනාම “පොඩිවී මලපතක වැටී අසුවෙන” එනම් සම්පූර්ණයෙන්ම විනාශ වීමක් අද්දකින කාලයක් පැමිණෙන්ට යනවා.

“මරණය සමඟ ගිවිසුමක්”

12. යූදා වැසියන් ‘මරණය සමඟ කළ ගිවිසුම’ කුමක්ද?

12 යෙසායා ඔහුගේ දිව්‍ය ප්‍රකාශය තවදුරටත් කරගෙන යනවා. “එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, [යෙහෝවාගේ] වචනය අසන්න. අපි මරණය සමඟ ගිවිසුමක් කොට පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.” (යෙසායා 28:14, 15) තම දේශපාලනික මිත්‍රයන් තමන්ව පරාජයෙන් බේරන බවට යූදාහි නායකයන් උදම් අනනවා. ඔවුන්ට පාඩුවේ සිටින්ට ඉඩ දෙන්ට කියා ඔවුන් “මරණය සමඟ ගිවිසුමක්” කරගෙන ඇති බව ඔවුන් සිතනවා. එහෙත් ඔවුන්ගේ දුර්වල පුහු සරණ ඔවුන්ව රකින්ට යන්නේ නැහැ. ඔවුන්ගේ මිත්‍රත්වය බොරුවක්, වංචාවක්. ඒ හා සමානව අදදිනත් ක්‍රිස්තියානි ලෝකයට ගණන් දීමට නියමිත යෙහෝවාගේ කාලය පැමිණි විට ලෝක පාලකයන් සමඟ තිබෙන කිට්ටු සම්බන්ධය ඇයව ආරක්ෂා කරන්නේ නැහැ. ඇත්තෙන්ම එය ඇගේ විනාශය බවට පත් වෙයි.—එළිදරව් 17:16, 17.

13. “පරීක්ෂාකරන ලද ගල” කවුද? එමෙන්ම ක්‍රිස්තියානි ලෝකය ඔහුව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ කෙසේද?

13 එසේනම්, මේ ආගමික නායකයන් බැලිය යුත්තේ කා දෙසද? යෙසායා දැන් යෙහෝවාගේ පොරොන්දු මෙසේ වාර්තා කරනවා. “ඒ නිසා ස්වාමිවූ [යෙහෝවා මෙසේ කියන්නේය]: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරන ලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය. මම විනිශ්චය ලනුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චිකරන්නෙමි. බොරුවේ රක්ෂාස්ථානය ගල් වර්ෂාවට පහවන්නේය, සැඟවෙන ඉඩමද වතුරට යටවන්නේය.” (යෙසායා 28:16, 17) යෙසායා මේ වචන කියා වැඩිකල් යන්ට මත්තෙන්, ඇදහිලිවන්ත හෙසකියා සියොන්හි කිරුළ හිමි කරගන්නවා. ඔහුගේ රාජ්‍යය රැකෙන්නේ අසල්වැසි මිත්‍රයන්ගෙන් නොව, නමුත් යෙහෝවාගේ මැදිහත් වීම තුළිනුයි. කෙසේවෙතත්, දෙවිගේ ඉහත වදන් හෙසකියා තුළින් ඉෂ්ට වෙන්නේ නැහැ. යෙසායාගේ වචන උපුටා දක්වමින් ප්‍රේරිත පේතෘස් කියන්නේ හෙසකියාට ඈතින් නෑයෙක් වන යේසුස් ක්‍රිස්තුස් “පරීක්ෂාකරන ලද ගලක්” බවත් ඔහු කෙරෙහි ඇදහිල්ල පවත්වන කිසිවෙකු කිසිවකට භය විය යුතු නැති බවත්ය. (1 පේතෘස් 2:6) තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නා ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්ගේ තත්වය මොනතරම් දුක්ඛිතද! ඔවුන් යේසුස් ප්‍රතික්ෂේප කළ දෙයම කර තිබෙනවා! රජ වන යේසුස් ක්‍රිස්තුස් යටතේ යෙහෝවා ගෙනෙන්ට යන රාජ්‍යය කෙරෙහි බලා සිටිනවා වෙනුවට, ඔවුන් ලෝකයේ ප්‍රමුඛ ස්ථාන සහ බලය සොයමින් සිටිනවා.—මතෙව් 4:8-10.

14. යූදාගේ ‘මරණය සමඟ තිබෙන ගිවිසුම’ අවලංගු වන්නේ කවදාද?

14 “ගලාඑන විපත” වන බබිලෝනියේ හමුදාව දේශය හරහා යන විට යූදාගේ දේශපාලනික සරණ බොරුවක් බව යෙහෝවා ඔප්පු කරන්ට යනවා. “මරණය සමඟ තිබෙන නුඹලාගේ ගිවිසුම අවලංගුවන්නේය” කියා යෙහෝවා කියනවා. “ගලාඑන විපත පැමිණෙන විට නුඹලා එයින් පාගාදමනු ලබන්නහුය. එය එන එන විට . . . ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.” (යෙසායා 28:18, 19) ඔව්, යෙහෝවාට සේවය කරනවායයි කියමින් ජාතීන්ගේ මිත්‍රත්වයන් කෙරෙහි තම විශ්වාසය තබන අයට සිදු වූ දෙයින් අපිට ප්‍රබල පාඩමක් ඉගෙනගත හැකියි.

15. යූදාට තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව යෙසායා නිදර්ශනය කරන්නේ කෙසේද?

15 යූදාහි නායකයන් සිටින තත්වය ගැන සිතා බලන්න. “යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය.” (යෙසායා 28:20) එහි කියන්නේ කෙනෙක් ටිකක් සැනසීමේ දිගා වී සිටීමට ගියත් ඉන් ඵලක් නොවන බවයි. එක්කෝ කකුල සීතලට හසුවීමක්, නැත්නම් එය උණුසුම්ව තබාගැනීමට වැස්ම දිග මදි නිසා කකුල් වකුටු කරගැනීමක් මෙයින් අඟවනවා. යෙසායාගේ දවසේදී තිබූ දුෂ්කර තත්වය එයාකාරයි. ඒ හා සමානව අදදිනත් ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රෝඩාකාර සරණ මත තම විශ්වාසය තබන සියලුදෙනාම පත් වෙන්ට යන්නේ එවන් තත්වයකටයි. දේශපාලනය සමඟ එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තියානි ලෝකයේ සමහර ආගමික නායකයන් වාර්ගික ශුද්ධීකරණය සහ මහා මිනිස් සංහාරයේ දරුණු සැහැසියාව නමැති පඹ ගාලේ පැටලීම මොනතරම් පිළිකුල්සහගතද!

යෙහෝවාගේ “පුදුම ක්‍රියා”

16. යෙහෝවාගේ “පුදුම ක්‍රියාව” කුමක්ද? එය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේ කෙසේද?

16 යෙහෝවාගේ අවසාන ප්‍රතික්‍රියාව යූදාහි ආගමික නායකයන් බලාපොරොත්තුවෙන් සිටින දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. යෙහෝවා යූදාහි සිටින ආත්මික බේබද්දන් ඉදිරියේ පුදුම ක්‍රියාවක් කරන්ට යනවා. “එසේය, [යෙහෝවා] තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු [පුදුම, NW] ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු [අසාමාන්‍ය, NW] වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් [නැඟිටින්නේය]. ගිබියොන් මිටියාවතේදී මෙන් [කෝප වන්නේය].” (යෙසායා 28:21) දාවිත් රජුගේ දවස්වලදී යෙහෝවා තම සෙනඟට පෙරාශීම් කන්දේදීත්, ගිබියොන් මිටියාවතේදීත් පිලිස්තිවරුන්ට විරුද්ධව විශිෂ්ට ජයග්‍රහණයන් ලබා දුන්නා. (1 ලේකම් 14:10-16) යෝෂුවාගේ දවස්වලදී යෙහෝවා ගිබියොන්හිදී හිරු නැවතීමට සැලැස්වීමෙන් අමෝරිවරුන්ව සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රස්තාව උදා කර දුන්නා. (යෝෂුවා 10:8-14) එය ඉතා අසාමාන්‍ය දෙයක්! දැන් යෙහෝවා නැවතත් සටන් කරන්ට යනවා. එහෙත් මෙවර එසේ කරන්නේ තමන්ගේම සෙනඟයයි කියන්නාවූ අය සමඟයි. ඊට වඩා පුදුම හෝ අසාමාන්‍ය දෙයක් සිදු විය හැකිද? යෙරුසලම යෙහෝවාගේ නමස්කාරයේ මධ්‍යස්ථානය කියාත් එය යෙහෝවාගේ ආලේප ලත් රජුගේ නුවර කියාත් සිතද්දී එය පුදුමසහගතයි. මේ දක්වා යෙරුසලමේ පිහිටි දාවිත්ගේ රාජකීය ගෘහය කිසිදාක මුළුමනින්ම වැටී තිබුණේ නැහැ. කෙසේවෙතත්, යෙහෝවා නිසැකවම ඔහුගේ “පුදුම ක්‍රියාව” ඉෂ්ට කරන්ට යනවා.—හබක්කුක් 1:5-7.

17. යෙසායාගේ අනාවැකියට සමච්චල් කිරීම එහි ඉටුවීම කෙරෙහි යම් බලපෑමක් ඇති කරයිද?

17 එමනිසා යෙසායා මෙසේ අනතුරු අඟවනවා. “නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල [යෙහෝවා වන ස්වාමීන්ගෙන්] ඇසීමි.” (යෙසායා 28:22) නායකයන් යෙසායාව සමච්චලයට ලක් කළත් යෙසායාගේ පණිවිඩය ඇත්තක්. ඔහු එය දැනගත්තේ මේ නායකයන් පවා ගිවිසුමකින් බැඳී සිටින දෙවි වන යෙහෝවාගෙන්. අදදිනත් ක්‍රිස්තියානි ලෝකයේ සිටින ආගමික නායකයන් යෙහෝවාගේ “පුදුම ක්‍රියා” ගැන ඇසූ විට ඒ හා සමානව සමච්චල් කරනවා. ඔවුන් කෝපයෙන් පවා කතා කරනවා. එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රකාශ කරන දෙය ඇත්තයි. එය තිබෙන්නේ එම නායකයන් විසින් අනුගමනය කරනවායයි කියනු ලබන පොත වන බයිබලයේයි.

18. හික්මවීම සපයද්දී යෙහෝවා සමබර බව යෙසායා දක්වන්නේ කෙසේද?

18 එම නායකයන්ව අනුගමනය කරන්නේ නැති අවංක අයව යෙහෝවා යළි සකස් කර ඔහුගේ අනුමැතිය ඔවුන්ට යළි ලබා දෙනවා. (යෙසායා 28:23-29 කියවන්න.) ගොවියෙක් දුරු වැනි තරමක් සියුමැළි ඇටවර්ග පොළන්ට වඩාත් සියුම් ක්‍රමයක් පාවිච්චි කරන්නා සේ පුද්ගලයාට සහ ඔහුගේ තත්වයට අනුව යෙහෝවාද තම හික්මවීම සකස් කරගන්නවා. යෙහෝවා කවදාවත් අසාධාරණ බරක් ඇති වන විදිහට හෝ හිතුවක්කාර විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ක්‍රියා කරන්නේ වැරදි කරන්නාට යළි සකස් වීමට හැකි කරවන ආකාරයෙන්. ඔව්, පුද්ගලයෙක් යෙහෝවාගේ ආයාචනාවට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවොත් ඔහුට බලාපොරොත්තු තබාගත හැකියි. ඒ හා සමානව අදදිනත් සමස්තයක් හැටියට ක්‍රිස්තියානි ලෝකයේ ඉරණම දැනටමත් මුද්‍රා කර තිබුණත්, යෙහෝවාගේ රාජ්‍යයේ යටත් වැසියෙක් වීමට කැමති ඕනෑම කෙනෙකුට පැමිණෙන භයානක විනිශ්චයෙන් ගැළවෙන්ට පුළුවන්.

යෙරුසලමට දුක් වේ!

19. යෙරුසලම ‘ගල් පූජාසනයක්’ වන්නේ කුමන අර්ථයෙන්ද? මෙය සිදු වන්නේ කවදාද? කෙසේද?

19 කෙසේවෙතත් යෙහෝවා මොනවා ගැනද දැන් කතා කරන්නේ? “දාවිත් අන්දායම් බැන්ද නුවරවන අරියෙල්, අරියෙල්, නුඹට දුක් වේ! අවුරුද්දට අවුරුද්ද එකතුකරන්න; නියම මංගල්‍ය පැමිණේවා. එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් [දෙවිගේ ගල් පූජාසනය, NW] මෙන් වන්නේය.” (යෙසායා 29:1, 2) “අරියෙල්” කීමෙන් සමහරවිට අදහස් කරන්නේ “දෙවිගේ ගල් පූජාසනය” විය හැකි අතර, තිබෙන සාක්ෂිවලට අනුව මෙය යොමු දක්වන්නේ යෙරුසලමටයි. මන්ද පූජාසනය පිහිටි දේවමාළිගාව පිහිටා තිබෙන්නේ යෙරුසලමේයි. යුදෙව්වන් මෙහිදී මංගල්‍ය පැවැත්වීම සහ පූජා ඔප්පු කිරීම වැනි චාරිත්‍රයන් පවත්වනවා. එහෙත් ඔවුන්ගේ නමස්කාරය සම්බන්ධයෙන් යෙහෝවා කොහෙත්ම සතුටු වන්නේ නැහැ. (හොෂෙයා 6:6) ඒ වෙනුවට, නුවර වෙනත් අර්ථයකින් ‘ගල් පූජාසනයක්’ වෙන්ට යන බවට ඔහු ප්‍රකාශ කරනවා. පූජාසනයක මෙන් එය රුධිරයටත් ගින්නටත් නියම වෙනවා. මෙය සිදු වන්නේ කෙසේද කියා යෙහෝවාම පැහැදිලි කරනවා. “මම නුඹට විරුද්ධව හාත්පසින් අන්දායම් බැඳ, කොටුවක් තනා, නුඹට විරුද්ධව ගොඩැලි සාදන්නෙමි. නුඹ පහත්කරනු ලැබ බිම සිට කථාකරනවා ඇත, නුඹේ කථාවද පහත්වී ධූලියෙන් පැමිණෙන්නේය; නුඹේ හඬ ආත්ම බන්ධනකාරයෙකුගේ හඬ මෙන් බිමෙන් නගින්නේය, නුඹේ කථාව ධූලියෙන් හෙමින් පැමිණෙන්නේය.” (යෙසායා 29:3, 4) බබිලෝනියේ හමුදාව පො.යු.පෙ. 607දී නුවර අල්ලා විනාශ කර දේවමාළිගාව ගිනිලන විට, යූදා සහ යෙරුසලම සම්බන්ධයෙන් මෙම අනාවැකිය ඉටු වෙනවා. යෙරුසලම බිමටම සමතලා වෙනවා.

20. අවසානයේදී දෙවිගේ සතුරන්ට අත් වන ඉරණම කුමක්ද?

20 ඒ විපත්තිදායක කාලයට පෙර, යෙහෝවාගේ ව්‍යවස්ථාවට කීකරු වන රජවරුන් විටින් විට යූදාහි සිටින්ට යනවා. එවිට සිදු වන්නේ කුමක්ද? යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් සටන් කරන්ට යනවා. සතුරන් දේශය වසාගත්තද ඔවුන් “සිහින් ධූලි” සහ “බොල්” මෙන් වෙන්ට යනවා. යෙහෝවා තමාගේ නියමිත කාලයේදී “ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද” එවීමෙන් ඔවුන්ව විසුරුවාහරිනවා.යෙසායා 29:5, 6.

21. යෙසායා 29:7, 8හි ඇති නිදර්ශනය පැහැදිලි කරන්න.

21 සතුරු හමුදා යුද්ධයේ කොල්ලය හැටියට යෙරුසලමේ තිබූ සෑම දෙයක්ම සූරාගැනීම සඳහා නුවර විනාශ වන තුරු ආශාවෙන් බලා සිටියා. ඔවුන් හිස් බඩින් නැඟිටින්ටයි යන්නේ! බඩගින්නේ සිටින මිනිසෙක් තමා බඩ පුරා කෑම කන හැටි සිහිනෙන් දැක්කත් නැඟිටින්නේ කලින්ටත් වඩා බඩගින්නෙන්. ඒ හා සමානවම යූදාගේ සතුරන්ද එතරම් කලක් බලා සිටි ඔවුන්ගේ මංගල භෝජනය අහිමි වෙන්ටයි යන්නේ. (යෙසායා 29:7, 8 කියවන්න.) ඇදහිලිවන්ත හෙසකියා රජුගේ දවසේදී යෙරුසලමට තර්ජනය කළ සෙනකෙරීබ් යටතේ පැමිණි අෂූරියේ හමුදාවට සිදු වන දෙය සලකා බලන්න. (යෙසායා 36, 37 යන පරිච්ඡේද) එක රැයකදී එකදු මිනිස් අතක් නොසොල්වා බිය උපදවන අෂූරියේ යුධ බලය කණපිට පෙරළන අතර, ඔවුන්ට අයත් වීර සෙබළුන් 1,85,000දෙනෙකුව මරුමුවට පත් කරනවා! මාගොග්හි ගොග් යෙහෝවාගේ සෙනඟට විරුද්ධව නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වන විට ඔවුන්ගේ ජයග්‍රහණයේ සිහින නැවත බොඳ වී යනවා.—එසකියෙල් 38:10-12; 39:6, 7.

22. යූදාහි ආත්මික බේබදුකම ඇයට බලපාන්නේ කෙසේද?

22 යෙසායා මෙම අනාවැකිය ප්‍රකාශ කරන අවස්ථාවේදී යූදාහි නායකයන් තුළ හෙසකියාට මෙන් ඇදහිල්ලක් තිබෙන්නේ නැහැ. ඔවුන් අභක්තික ජාතීන් සමඟ ඔවුන්ගේ මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීම මාර්ගයෙන් ආත්මික ලෙස සිහිවිකල් වන තුරුම බීමත්ව සිටිනවා. “නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.” (යෙසායා 29:9) ආත්මික ලෙස බේබදුකමේ යෙදෙමින් සිටින මේ නායකයන්ට යෙහෝවාගේ සැබෑ අනාගතවක්තෲන් දෙනු ලබන දර්ශනවල පාඩම වටහාගැනීමට පුළුවන්කමක් නැහැ. යෙසායා මෙසේ කියනවා. “[යෙහෝවා] නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් [පියෙවුවේය]; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද [වැසුවේය]. දර්ශන සියල්ලද මුද්‍රකර තිබෙන ලියවිල්ලක වචනමෙන් නුඹලාට වී තිබේ; අකුරු දන්න කෙනෙකුට ඒක දී: මේක කියවන්නැයි කීවාම ඔහු—මුද්‍රකර තිබෙන නිසා මට කියවන්ට බැරියයි කියන්නේය. අකුරු නොදන්න කෙනෙකුට ලියවිල්ල දී: මේක කියවන්නැයි කීවාම—මම අකුරු නොදනිමියි ඔහු කියන්නේය.”—යෙසායා 29:10-12.

23. යූදාට ගණන් දීමට යෙහෝවා සලස්වන්නේ මන්ද? ඔහු එය කරන්ට යන්නේ කෙසේද?

23 යූදාහි ආගමික නායකයන් ආත්මික නුවණ ඇතුව සිටිනවායයි කීවද ඔවුන් යෙහෝවාව අතැර ගිහින්. ඔවුන්ගේ ඇදහිල්ල හැර යෑමත්, දුරාචාරමය ක්‍රියාමාර්ගයත්, සෙනඟට දෙවිගේ අනුමැතිය නැති කිරීමට මඟ පෙන්වීමත් යන කාරණා සාධාරණීකරණය කරගැනීම සඳහා ඔවුන් හරි, වැරැද්ද සම්බන්ධයෙන් ඔවුන්ගේම විකෘති වූ ඉගැන්වීම් ඉදිරිපත් කරනවා. “අපූරු ක්‍රියාවක්” එනම් “පුදුම ක්‍රියාවක්” කිරීමෙන්, යෙහෝවා ඔවුන්ගේ වංකකමට ගණන් දෙන්නැයි කියා සිටිනවා. ඔහු මෙසේ කියනවා. “මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද, මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේය.” (යෙසායා 29:13, 14) බබිලෝනීය ලෝක බලය ලවා ඇදහිල්ල අතහැර ගිය මුළු ආගමික ක්‍රමයම අතුගා දැමීමට යෙහෝවා කටයුතු කරන විට යූදාහි ඔවුන්ටම ආවේණික වූ ප්‍රඥාව සහ තේරුම්ගැනීම පහ වී යනවා. පළමු සියවසේදීද ඒ දෙයම සිදු වුණා. නැවත වරක් එය සිදු වූයේ යුදෙව් ජාතියව නොමඟ යැවූ තමන්ටම ආවේණික ප්‍රඥාවක් තිබූ නායකයන් නිසයි. ඒ හා සමානම දෙයක් අපගේ කාලයේදීත් ක්‍රිස්තියානි ලෝකයට සිදු වෙයි.—මතෙව් 15:8, 9; රෝම 11:8.

24. යුදෙව්වන් නොදැනුවත්වම ඔවුන්ගේ දේවභයේ ඌනතාව පිළිබිඹු කරන්නේ කෙසේද?

24 කෙසේවෙතත්, සැම දේම දන්නවායයි කියා පම්පෝරි ගසන යූදාහි නායකයන් සිතන්නේ සැබෑ නමස්කාරය දූෂ්‍ය කර තමන්ට බේරී සිටින්ට පුළුවන් වෙයි කියායි. එසේ ඉන්ට ඔවුන්ට හැකි වෙයිද? දෙවි කෙරෙහි සැබෑ භයක් නැති නිසා ඔවුන් තුළ සැබෑ ප්‍රඥාව නැති බව හෙළි කරමින් යෙසායා ඔවුන්ගේ වෙස් මුහුණු ගළවනවා. “[යෙහෝවාගෙන්] තමුන්ගේ අදහස සඟවන පිණිස කාරණා ගැඹුරුකර, තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයෙහිකර: අප දකින්නේ කවුද? අප ඇඳිනගන්නේ කවුදැයි කියන්නාවූ අයට දුක්වේ. නුඹලා කාරණා පෙරළන හැටි! කුම්භකාරයා මැටි වාගේයයි සිතන්ට යුතුද? කර්මාන්තය ඒක සෑදූ තැනැත්තා ගැන—ඔහු මා සෑදුවේ නැතැයි කියන්ටවත්, සෑදූ දෙයක් ඒක සෑදූ තැනැත්තා ගැන—ඔහුට දැනුමක් නැතැයි කියන්ටවත් යුතුද?” (යෙසායා 29:15, 16; සසඳන්න ගීතාවලිය 111:10.) තමන් සැඟවී සුරක්ෂිතව සිටිනවායයි කියා ඔවුන් සිතුවත්, යෙහෝවාගේ ඇස් ඉදිරියේ ‘සියල්ල වැස්මක් නැතුව ඇරී තිබෙනවා.’—හෙබ්‍රෙව් 4:13.

‘බිහිරි අයට ස්ථිරවම ඇසෙනවා ඇත’

25. ‘බිහිරි අයට’ ඇසෙන්නේ කෙසේද?

25 කෙසේවෙතත්, ඇදහිල්ල පවත්වන අයට ගැළවීම තිබෙන්ට යනවා. (යෙසායා 29:17-24 කියවන්න; ලූක් 7:22 සසඳන්න.) “බිහිරන්” දේවවචනයේ පණිවිඩය හෙවත් ‘පොතේ වචන අසන්ට’ යනවා. මෙහි කතා කරන්නේ ශාරීරික බිහිරිකම සුව කිරීම ගැන නෙවෙයි නමුත් ආත්මික සුවය ගැනයි. යෙසායා මෙසියානු රාජ්‍යයේ පිහිටුවීම සහ මෙසියස්ගේ පාලනයේදී ලොව පුරා සැබෑ නමස්කාරය යළි පිහිටුවීම කෙරෙහි නැවත වරක් අවධානය යොමු කරනවා. මෙය අපගේ කාලයේදී සිදුව තිබෙන අතර, දශලක්ෂ ගණන් අවංක හදවත් ඇති අය තමන්ව යෙහෝවා විසින් නිවැරදි කරනු ලබන්ට ඉඩහැර තිබෙනවා පමණක් නොව ඔහුට ප්‍රශංසා කිරීමට ඉගෙනගනිමින්ද සිටිනවා. මෙය කොතරම් ප්‍රීතිජනක ඉටුවීමක්ද! අවසානයේදී සියලුදෙනාම, එනම් හුස්ම ගන්නා සෑම ජීවියෙක්ම යෙහෝවාට ප්‍රශංසා කර ඔහුගේ ශුද්ධ නාමය විශුද්ධ කරන දවස පැමිණෙන්ට යනවා.—ගීතාවලිය 150:6.

26. අදදින සිටින ‘බිහිරි අයට’ ඇසෙන්ට යන්නේ කිනම් අර්ථයෙන්ද?

26 අදදින දෙවිගේ වචනය අසන එවැනි ‘බිහිරි අය’ ඉගෙනගන්නේ කුමක්ද? සභාවේ සහෝදරයන් විසින් ආදර්ශයන් ලෙස සලකන අය ඇතුළු සියලුම ක්‍රිස්තියානීන්, ‘සුරාපානය කරණකොටගෙන මුළාව නොයන්ට’ වගබලා ගත යුතුයි. (යෙසායා 28:7) තවදුරටත්, සෑම දෙයක් කෙරෙහිම ආත්මික දෘෂ්ටියක් ඇතුව සිටීමට උපකාර කරනු වස් අපි කවදාවත් දෙවිගේ සිහිගැන්වීම්වලට ඇහුම්කන් දීමෙන් වෙහෙසට පත් නොවිය යුතුයි. ක්‍රිස්තියානීන් රජයේ බලධාරීන්ට නිසි ලෙස යටත් වී, යම් යම් සේවාවන් ලබාගන්නවා. එහෙත්, ගැළවීම පැමිණෙන්නේ ලෞකික වූ ලෝකයෙන් නෙවෙයි. යෙහෝවා දෙවිගෙන්. ඇදහිල්ල අත්හළ යෙරුසලමට පැමිණි විනිශ්චයේදී මෙන් මේ පරම්පරාව මත ගෙනෙන දෙවිගේ විනිශ්චයේදීද ගැළවෙන්ට ඔවුන්ට හැකියාවක් නැති බව අපි අමතක නොකළ යුතුයි. එමනිසා, යෙහෝවාගේ උපකාරය ඇතුව යෙසායා කළා සේ විරුද්ධවාදිකම් මැද දෙවිගේ අනතුරු ඇඟවීම දිගටම ප්‍රකාශ කරමු.—යෙසායා 28:14, 22; මතෙව් 24:34; රෝම 13:1-4.

27. යෙසායාගේ අනාවැකියෙන් ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

27 වැඩිමහල්ලන්ට සහ දෙමාපියන්ට, යෙහෝවා හික්මවීම දෙන ආකාරයෙන් බොහෝ දේ ඉගෙනගන්ට පුළුවන්. දෙවි සෑමවිටම එසේ කරන්නේ වැරදිකරුවාට ඔහුගේ අනුමැතිය ලබාගැනීමට උපකාර කිරීමේ අරමුණෙන් මිස, නිකම්ම දඬුවම් කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි. (යෙසායා 28:26-29; සසඳන්න යෙරෙමියා 30:11.) එමෙන්ම මිනිසුන්ව සතුටු කිරීමේ අභිප්‍රායෙන් නමට විතරක් ක්‍රිස්තියානියෙක් නොවී, තරුණ අය ඇතුළු අපි සියලුදෙනා හදපත්ලෙන්ම යෙහෝවාට සේවය කිරීම කොපමණ වැදගත්ද කියා තරයේ මතකයේ තබාගත යුතුයි. (යෙසායා 29:13) යූදාහි සිටි නොඇදහිලිකාර වැසියන් මෙන් නොවී යෙහෝවා කෙරෙහි අපට හිතකර භයක් මෙන්ම ගැඹුරු ගෞරවයක්ද තිබෙන බව අපි පෙන්විය යුතුයි. (යෙසායා 29:16) ඊටත් වඩා, අපිව නිවැරදි කරනු ලබනවාටත් යෙහෝවාගෙන් ඉගෙනගන්ටත් කැමති බව පෙන්විය යුතුයි.—යෙසායා 29:24.

28. යෙහෝවාගේ සේවකයන්ට ඔහුගේ ගැළවීමේ ක්‍රියා පිළිබඳව ඇත්තේ කුමන ආකල්පයක්ද?

28 යෙහෝවා කෙරෙහි ඇදහිල්ල සහ විශ්වාසය තැබීමත් ඔහු කරන විදිහට දේවල් කිරීමත් මොනතරම් වැදගත්ද! (ගීතාවලිය 146:3 සසඳන්න.) බොහෝදෙනෙකුට නම් අපි දේශනා කරන අනතුරු ඇඟවීමේ පණිවිඩය බොළඳ එකක් මෙන් දැනෙන්ට පුළුවන්. දෙවිට සේවය කරනවායයි කියාගන්නා සංවිධානයක් වන ක්‍රිස්තියානි ලෝකයට අත් වෙන්ට යන විනාශය ගැන සිතීම අමුතු, අසාමාන්‍ය සංකල්පයක්. එහෙත් යෙහෝවා තම “පුදුම ක්‍රියාව” ඉටු කරනවා. ඒ ගැන සැක කිරීමට කිසිම හේතුවක් නැහැ. මේ හේතුවෙන්, මේ වර්තමාන ක්‍රමයේ අවසාන දවස් තුළ දෙවිගේ සේවකයන් ඔහුගේ රාජ්‍යය කෙරෙහි සහ ඔහු විසින් පත් කර ඇති රජු වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි පූර්ණ විශ්වාසය තබනවා. යෙහෝවාගේ ‘අසාමාන්‍ය වැඩ’ ඇතුළුව ඔහුගේ සියලු ගැළවීමේ ක්‍රියා සෑම කීකරු මනුෂ්‍යයෙකු සඳහාම සදාකාලික ආශීර්වාද ගෙනෙන බව ඔවුන් දන්නවා.

[පාදසටහන]

^ මුල් හෙබ්‍රෙව් භාෂාවේ යෙසායා 28:10 ලියා ඇත්තේ එකම දේ නැවත නැවත කියන කවියක් වගෙයි. එය ළමා කවියක් වගෙයි කිව්වොත් වඩා නිවැරදියි. මෙසේ, යෙසායාගේ පණිවිඩය ඇන ඇන කියන බොළඳ පණිවිඩයක්යයි ආගමික නායකයන්ට හැඟුණා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[289වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානි ලෝකය දෙවි සමඟ මිත්‍රත්වය ඇති කරගන්නවා වෙනුවට මිනිස් පාලකයන් කෙරෙහි රඳා සිට තිබෙනවා

[290වන පිටුවේ පින්තූරය]

යෙහෝවා යෙරුසලම විනාශ කිරීමට බබිලෝනියට ඉඩහරින විට තම “පුදුම ක්‍රියාව” ඉටු කරන්න යනවා

[298වන පිටුවේ පින්තූරය]

ආත්මිකව බිහිරිව සිටින අයට පුළුවන් දේවවචනය ‘අසන්ට’