Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ගෘහය ඔසවා

යෙහෝවාගේ ගෘහය ඔසවා

සතරවන පරිච්ඡේදය

යෙහෝවාගේ ගෘහය ඔසවා

යෙසායා 2:1-5

1, 2. එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණයේ එක් තාප්පයක කොටා ඇත්තේ කුමන වදන්ද? ඒ වදන් රැගෙන තිබෙන්නේ කොහෙන්ද?

 “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” මේ නියූ යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණයේ එක් තාප්පයක කොටා ඇති වදන් පෙළකි. එය උපුටාගත්තේ කොතැනින්ද යන්න දශක ගණනාවක් පුරා හඳුන්වා දෙනු ලැබුවේ නැහැ. එක්සත් ජාතීන්ගේ ඉලක්කය සමස්ත ලෝක සාමය අත් කරගැනීම නිසා, එම උපුටාගැනීම 1945දී එජා ප්‍රාරම්භකයන්ගෙන් පැමිණුණු බව සිතීම තර්කානුකූලයි.

2 කෙසේවෙතත්, 1975දී, එම උපුටා දැක්වීමට යටින් යෙසායා යන නාමය තාප්පයේ කෙටුවා. එවිට එම වදන්වලට නූතන ආරම්භයක් නැති බව පෙනෙන්ට පටන්ගත්තා. ඇත්තෙන්ම, ඒවා දැනට අවුරුදු 2,700කට වඩා වැඩි කාලයකට ඉහත, යෙසායාගේ පොතේ දෙවන පරිච්ඡේදය ලෙස දැන් හඳුන්වන තැන වාර්තා වී තිබුණා. සමාදානයට ප්‍රේම කරන්නන් අවුරුදු දහස් ගණනක් පුරා, යෙසායා පුරෝකථනය කළ දේ සිදු වන්නේ කවදාද, කෙසේද කියා නොඉවසිල්ලෙන් බලා සිටියා. තවත් කල්පනා කර කර ඉන්ට දෙයක් නැහැ. මේ පුරාණ අනාවැකියේ විශිෂ්ට ඉටුවීම අපගේ ඇස් පනාපිටම අපි අද දකිනවා.

3. තමන්ගේ කඩුවලින් හීවැල් තනාගන්නා ජාතීන් කවුරුන්ද?

3 කඩුවලින් හීවැල් තනාගන්නාවූ මේ ජාතීන් කවුද? නිසැකවම, ඒ නවීන දින දේශපාලන ජාතීන් සහ ආණ්ඩු නොවෙයි. මේ ජාතීන් මේ දක්වා කඩු නැතහොත් අවි ආයුධ තනා තිබෙන්නේ යුද්ධ කිරීමට සහ බලහත්කාරයෙන් “සමාදානය” අත් කරගැනීමටයි. ඇත්තෙන්ම, ජාතීන් සැමවිටම නැඹුරු වන්නේ හීවැල්වලින් කඩු තනාගැනීමටයි! යෙසායාගේ අනාවැකියේ ඉටුවීම සියලු ජාතීන් නියෝජනය කරන ‘සමාදානයේ දෙවි’ වන යෙහෝවාගේ නමස්කාරකයන් තුළ දකින්ට ලැබෙනවා.—පිලිප්පි 4:9.

නිර්මල නමස්කාරය වෙත ගලා එන ජාතීන්

4, 5. යෙසායා දෙවන පරිච්ඡේදයේ ආරම්භක ඡේද පුරෝකථනය කරන්නේ කුමක්ද? එම වචනවල විශ්වාසනීයත්වය කාවද්දන්නේ කුමක්ද?

4 යෙසායා දෙවන පරිච්ඡේදය ඇරඹෙන්නේ මේ වචනවලින්. “යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටු කාරණයය. මතු දවස්වලදී [කාලවල අවසානයේදී, NW] [යෙහෝවාගේ] ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.”—යෙසායා 2:1, 2.

5 යෙසායා පුරෝකථනය කරන දේ, නිකම්ම අනුමානයක් නොවන බව සැලකිල්ලට ගන්න. නොවරදවාම ‘සිදු විය යුතු’ දේවල් වාර්තා කිරීමට යෙසායාට මඟ පෙන්නුවා. යෙහෝවා අරමුණු කළ කුමක් වුවත් ‘නිසැකවම සඵල වෙනවා.’ (යෙසායා 55:11, NW) දෙවි තම පොරොන්දුවල විශ්වාසනීයත්වය කාවැද්දීම සඳහා, යෙසායා 2:2-4හි ඇති අනාවැකිය වාර්තා කිරීමට යෙසායාගේ සමකාලීනයෙක් වූ අනාගතවක්තෘ මීකාට ආනුභාවය දුන්නා.—මීකා 4:1-3.

6. යෙසායාගේ අනාවැකිය ඉටුවීමට නියමිතව තිබෙන්නේ කවදාද?

6 යෙසායාගේ අනාවැකිය ඉටුවීමට නියමිතව තිබෙන්නේ කවදාද? ‘කාලවල අවසානයේදීයි.’ නව ජාත්‍යන්තර අනුවාදය (ඉංග්‍රීසියෙන්) කියන්නේ, “අවසාන දවස්වලදී” කියායි. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල මේ කාලපරිච්ඡේදය හඳුනාගත හැකි අංග පුරෝකථනය කළා. ඊට ඇතුළත් දේවල් අතර යුද්ධ, භූමිකම්පා, වසංගත, ආහාර හිඟය සහ “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” තිබෙන්ට යනවා. * (2 තිමෝති 3:1-5, NW; ලූක් 21:10, 11) මේ පොරොන්දුවල ඉටුවීම, අපි ජීවත් වන්නේ වර්තමාන ලෝක පිළිවෙළේ අවසාන දවස්වල එනම් ‘කාලවල අවසානයේ’ බවට ඇති තරම් සාක්ෂි සපයනවා. එසේනම්, යෙසායා පුරෝකථනය කළ දේවල් අපේ කාලයේ ඉටු වෙනවා දැකීම අපේක්ෂා කිරීම තර්කානුකූලයි.

නමස්කාරය සඳහා කන්දක්

7. යෙසායා සිත්තම් කරන්නේ කිනම් අනාවැකිමය චිත්‍රයක්ද?

7 කෙටියෙන් කියනවා නම්, යෙසායා වර්ණවත් අනාවැකිමය චිත්‍රයක් සිත්තම් කරනවා. අතිවිශාල කන්දක් මත තේජශ්‍රීයෙන් පිරි ගෘහයක් එනම්, යෙහෝවාගේ මාළිගාව පිහිටා ඇති ආකාරය අපි දකිනවා. අවට පිහිටි කඳු සියල්ලටම වඩා මේ කන්ද උස්ව තිබෙනවා. ඒ වුණත්, එහි තර්ජනාත්මක හෝ බියගන්වනසුලු ස්වභාවයක් දක්නට නැහැ. ඒ වෙනුවට, එය සිත්ගන්නාසුලුයි. සෑම ජාතියකටම අයත් මිනිසුන් යෙහෝවාගේ ගෘහය පිහිටි කඳු මුදුනට නඟින්ට ආශාවෙන් සිටිනවා. ඔවුන් ඒ වෙත ගලා එනවා. මෙය සිතින් මවාගැනීම පහසු වුණත්, එයින් අදහස් කරන්නේ කුමක්ද?

8. (අ) යෙසායාගේ දවසේදී, කඳු සහ හෙල් සම්බන්ධ වූයේ කුමක් සමඟද? (ආ) “[යෙහෝවාගේ] ගෘහයේ කන්ද” වෙත ජාතීන් ගලා ඒමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?

8 යෙසායාගේ දවසේදී, කඳු සහ හෙල් බොහෝවිට නමස්කාරය සමඟ සම්බන්ධව තිබෙනවා. උදාහරණයක් හැටියට, ඒවා රූප නමස්කාර කරන ස්ථාන සහ බොරු දෙවිවරුන්ගේ සිද්ධස්ථාන ලෙස යොදාගැනෙනවා. (ද්විතීය කථාව 12:2; යෙරෙමියා 3:6) කෙසේවෙතත්, යෙහෝවාගේ ගෘහය හෝ මාළිගාව යෙරුසලමේ මොරියා කඳු මුදුන අලංකාරවත් කරනවා. ඇදහිලිවන්ත ඉශ්‍රායෙල්වරුන් අවුරුද්දට තුන් වතාවක් යෙරුසලමට පැමිණෙන අතර, සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා මොරියා කන්දට නඟිනවා. (ද්විතීය කථාව 16:16) ඒ නිසා, “[යෙහෝවාගේ] ගෘහයේ කන්ද” වෙත ජාතීන් ගලා ඒමෙන් සංකේතවත් කරන්නේ, සැබෑ නමස්කාරය වෙත බොහෝ සෙනඟක් එක්රැස්වීමයි.

9. ‘යෙහෝවාගේ ගෘහයේ කන්දෙන්’ නියෝජනය කරන්නේ කුමක්ද?

9 ඇත්තෙන්ම, අදදින සිටින දෙවිගේ සෙනඟ ගලින් තැනූ දේවමාළිගාවක් පිහිටි සැබෑ කන්දකට එක්රැස් වෙන්නේ නැහැ. යෙරුසලමේ පිහිටි යෙහෝවාගේ මාළිගාව පො.යු. 70දී රෝම හමුදා අතින් විනාශ වුණා. ඊට අමතරව, යෙරුසලමේ පිහිටි දේවමාළිගාව සහ ඊට පෙර තිබූ කූඩාරම සැබෑ දෙයෙහි පෙර ඡායාවක් බව ප්‍රේරිත පාවුල් පැහැදිලි කළා. ඒවා වඩා විශාල, අදෘශ්‍යමාන යථාර්ථයක් එනම්, ‘මනුෂ්‍යයා විසින් නොව යෙහෝවා විසින් පිහිටුවන ලද සැබෑ වූ මණ්ඩපය’ නියෝජනය කළා. (හෙබ්‍රෙව් 8:2) එම ආත්මික කූඩාරම නම්, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව මත පදනම් වූ නමස්කාරය මගින් යෙහෝවා වෙත ළඟාවීම සඳහා ඇති විධිවිධානයයි. (හෙබ්‍රෙව් 9:2-10, 23) මීට එකඟව, යෙසායා 2:2හි සඳහන් ‘යෙහෝවාගේ ගෘහයේ කන්දෙන්’ අපගේ කාලයේදී උසස් කරන ලද යෙහෝවාගේ නිර්මල නමස්කාරය නියෝජනය වෙනවා. නිර්මල නමස්කාරය වැලඳගෙන සිටින අය යම් භූගෝලීය වශයෙන් නියම කරගත් ස්ථානයකට රැස් වන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් එක්සත්ව නමස්කාරය සඳහා එක්රැස් වෙනවා.

නිර්මල නමස්කාරය උසස් කිරීම

10, 11. අපගේ දවසේදී, යෙහෝවාගේ නමස්කාරය ඔසවා ඇත්තේ කිනම් ආකාරයකින්ද?

10 “[යෙහෝවාගේ] ගෘහයේ කන්ද” හෝ නිර්මල නමස්කාරය, ‘කඳු මුදුනේ පිහිටුවා,’ ‘හෙල්වලට වඩා ඉහළට ඔසවන්ට’ යන බව අනාගතවක්තෘවරයා කියනවා. යෙසායාගේ දවසට බොහෝ කාලයකට පෙර, දාවිත් රජ ගිවිසුම් පෙට්ටිය මුහුදු මට්ටමේ සිට අඩි 2,500ක් ඉහළින් පිහිටි සියොන් කන්ද වෙත ගෙනාවා. මොරියා කන්ද මත දේවමාළිගාව තනා එයට ගෙන යන තුරු ගිවිසුම් පෙට්ටිය තබා තිබුණේ සියොන් කන්දෙයි. (2 සාමුවෙල් 5:7; 6:14-19; 2 ලේකම් 3:1; 5:1-10) මෙසේ, යෙසායාගේ දවස වන විට, පරිශුද්ධ ගිවිසුම් පෙට්ටිය ඉහළ ස්ථානයක එනම් දෙවිගේ මාළිගාවෙහි තබා තිබුණා. එය ඇත්තෙන්ම පිහිටුවා තිබුණේ බොරු නමස්කාරය සඳහා යොදාගැනුණු කඳුවලටත් වඩා උස් තැනකයි.

11 ආත්මික ආකාරයකින් ගත් කල, බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නන්ගේ ආගමික සිරිත් විරිත්වලට වඩා යෙහෝවාගේ නමස්කාරය සැමවිටම උසස් තත්වයක පැවතුණා. කෙසේවෙතත්, අපගේ කාලයේදී යෙහෝවා තම නමස්කාරය අනිත් සියලුම අපවිත්‍ර නමස්කාර පිළිවෙත් එනම්, සියලුම “කඳු” සහ “හෙල්වලට” වඩා ඉහළට ඒ කියන්නේ අහස උසට ඔසවා තිබෙනවා. ඒ කෙසේද? මූලිකවම, යෙහෝවාට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කරන්ට කැමති අයව එකට රැස් කිරීමෙන්.—යොහන් 4:23.

12. ‘රාජ්‍යයේ පුත්‍රයන්’ කවුද? එමෙන්ම, කුමන එක්රැස් කිරීමක් සිදු වී ඇද්ද?

12 ස්වර්ගීය මහිමය ඇතුව යේසුස් සමඟ පාලනය කිරීමේ අපේක්ෂාවෙන් සිටින ‘රාජ්‍යයේ පුත්‍රයන්ව’ දේවදූතයන් විසින් එක්රැස් කරන්නාවූ කපන කාලයෙන් යොමු දැක්වූයේ “පවතින ක්‍රමයක අවසාන කාලපරිච්ඡේදයකට [NW]” බව ක්‍රිස්තුස් පැවසුවා. (මතෙව් 13:36-43) වර්ෂ 1919 සිට, දේවදූතයන් සමඟ එකතු වී කැපීමේ වැඩයේ හවුල් වීමට මේ පුත්‍රයන්ගේ “ඉතිරි අයට” යෙහෝවා බලය දී තිබෙනවා. (එළිදරව් 12:16) මේ අනුව බලන කල, මුලින්ම එකතු කරන ලද අය වූයේ ‘රාජ්‍යයේ පුත්‍රයන්’ හෙවත් යේසුස්ගේ ආලේප ලත් සහෝදරයන්ය. ඉන්පසුව ඔවුන් විසින් වෙනත් එකතු කිරීමේ වැඩක හවුල් වෙනවා.

13. යෙහෝවා ආලේප ලත් ඉතිරි අයට ආශීර්වාද කර ඇත්තේ කෙසේද?

13 මේ කපන කාලය තුළදී, යෙහෝවා ආලේප ලත් ඉතිරි කොටසට තම වචනය වන බයිබලය තේරුම්ගැනීමටත්, එය අදාළ කරගැනීමටත් ප්‍රගතිශීලීව උපකාර කර තිබෙනවා. නිර්මල නමස්කාරය ඉහළට එසවීම සඳහා ඒ කාරණයත් දායක වී තිබෙනවා. “පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු” ලැබුවත්, ආලේප ලත් අය යෙහෝවා විසින් පවිත්‍ර කර, ශෝධනය කරනු ලැබ මනුෂ්‍යවර්ගයා අතරෙහි ‘ප්‍රදීපක මෙන් බැබළෙනවා.’ (යෙසායා 60:2; පිලිප්පි 2:15, NW) මේ ආත්මයෙන් ආලේප කරන ලද අය, “සියලු ආකාර ප්‍රඥාවද ආත්මික වටහාගැනීමද ලබන පිණිස ඔහුගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමෙන් පූර්ණ” වී, ‘තම පියාගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බැබළෙමින්’ සිටිනවා.—කොලොස්සි 1:9, NW; මතෙව් 13:43.

14, 15. ‘රාජ්‍යයේ පුත්‍රයන්ව’ රැස් කිරීමට අමතරව, කිනම් එක්රැස් කිරීමක් සිදු වී ඇද්ද? එමෙන්ම හග්ගයි මෙය පුරෝකථනය කළේ කෙසේද?

14 ඊට අමතරව, වෙනත් අයත් “[යෙහෝවාගේ] ගෘහයේ කන්ද” වෙතට ගලාවිත් තිබෙනවා. යේසුස් “වෙනත් බැටළුවෝ” ලෙස හැඳින්වූ මොවුන්ට ඇත්තේ පාරාදීස පොළොවක් මත සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාවයි. (යොහන් 10:16; එළිදරව් 21:3, 4) එක්දහස් නවසිය තිස්ගණන්වලදී ඔවුන් දහස් ගණනින්ද, පසු කාලවලදී ලක්ෂ, දශලක්ෂ ගණනින්ද එක්රොක් වෙමින් සිටිනවා! ප්‍රේරිත යොහන්ට දුන් දර්ශනයකදී, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” හැටියට ඔවුන්ව විස්තර කර තිබෙනවා.—එළිදරව් 7:9.

15 මේ මහත් සමූහය මතු වී එන අන්දම ගැන අනාගතවක්තෘ හග්ගයි පුරෝකථනය කළා. ඔහු මෙසේ ලිව්වා. “සේනාවල [යෙහෝවා] මෙසේ [කියන්නේය]. මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි, සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද [ආලේප ලත් ක්‍රිස්තියානීන් සමඟ නිර්මල නමස්කාරයේ හවුල් වන අය] පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල [යෙහෝවා කියන්නේය].” (හග්ගයි 2:6, 7) දිගටම වර්ධනය වන ‘මහත් සමූහයේ’ සහ ඔවුන්ගේ ආලේප ලත් සහයකයන්ගේ පැවැත්ම, යෙහෝවාගේ ගෘහයේ නිර්මල නමස්කාරය ඉහළට ඔසවනවා නැතහොත් තේජසට පත් කරනවා. සැබෑ දෙවිගේ නමස්කාරය තුළ එක්සත් වූ මෙපමණ සංඛ්‍යාවක් ගැන මීට පෙර වාර්තා වී නැහැ. එමෙන්ම, මෙය යෙහෝවාටත් ඔහුගේ සිංහාසනාරූඪ රජ වන යේසුස් ක්‍රිස්තුස්ටත් ගෞරවය ගෙනෙනවා. සාලමොන් රජ මෙසේ ලිව්වා. “රජුගේ මහන්තත්වය නම් සෙනග රාශියක් ඇතිවීමය.”—හිතෝපදේශ 14:28.

ජනයාගේ ජීවිතවල නමස්කාරය උසස් වී

16-18. යෙහෝවාට පිළිගත හැකි ආකාරයට සේවය කිරීම සඳහා සමහරුන් කර තිබෙන්නේ කුමන වෙනස්කම්ද?

16 අපගේ කාලයේදී නිර්මල නමස්කාරය උසස් වීම සම්බන්ධයෙන් සියලුම ගෞරවය හිමි විය යුත්තේ යෙහෝවාටයි. ඔහු වෙත ළඟා වන සියලුදෙනාටම මේ වැඩයට හවුල් වීමේ වරප්‍රසාදය ලැබෙනවා. හරියට කන්දක් නැඟීමට වෑයම අවශ්‍ය කරනවා වගේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ඉගෙනගැනීමටත්, ඒ අනුව ජීවත් වීමටත් මහත් වෑයමක් දැරීමට අවශ්‍යයි. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අදත්, දෙවිගේ සේවකයන් සැබෑ නමස්කාරයට නොගැළපෙන ජීවිත රටාවන් සහ ක්‍රියාවන් පසෙක දමා තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන් කලින් වේශ්‍යාකම්කරන්නන්, රූපවඳින්නන්, කාමමිථ්‍යාචාරිකයන්, සොරුන්, ලෝභයන්, බේබද්දන් සහ අනිකුත් අපවිත්‍ර ක්‍රියාවල යෙදුණු අය ඔවුන්ගේ මාර්ග වෙනස් කරගෙන, දෙවි ඉදිරියේ ‘සෝදනු ලැබ’ තිබෙනවා.—1 කොරින්ති 6:9-11.

17 එක්තරා තරුණ කාන්තාවකගේ අද්දැකීමත් මේ හා සමානයි. ඇය මෙසේ කිව්වා. “එක කාලයක් මගේ ජීවිතය ගැන හැම බලාපොරොත්තුවක්ම මම අත්හැරලයි තිබුණේ. මම දුරාචාර ජීවිතයක් වගේම බේබදු ජීවිතයක් ගත කෙරුවා. මට ලිංගිකව බෝවෙන ලෙඩ තිබුණා. මම මත්ද්‍රව්‍ය වික්කා විතරක් නෙමෙයි, කිසිම දෙයක් ගණන් ගත්තෙ නැහැ.” බයිබලය පාඩම් කළාට පස්සේ, දෙවිගේ ප්‍රමිතිවලට එකඟ වීම සඳහා ඇය පුදුමාකාර අයුරින් වෙනස්කම් සිදු කරගත්තා. ඇය දැන් මෙහෙම කියනවා. “දැන් මටම කියල පවුලක් විතරක් නෙවෙයි, මානසික සහනය, ආත්ම-ගරුත්වය, අනාගතය සඳහා බලාපොරොත්තුවක් සහ මේ ඔක්කොටම වැඩිය අපේ පියා වන යෙහෝවා එක්ක හොඳ සම්බන්ධයකුත් මං භුක්ති විඳිනවා.”

18 යෙහෝවා ඉදිරියේ අනුමැතිය ලත් ස්ථාවරයකට පැමිණි පසු පවා, නිර්මල නමස්කාරය උසස් කිරීම සඳහා සියලුදෙනාම තම ජීවිතයේ ප්‍රමුඛ ස්ථානයක් ඊට දිය යුතුයි. දෙවිගේ නමස්කාරය තම ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය කරගැනීමට කැමති බොහෝ සෙනඟක් සිටින බවට වූ තම විශ්වාසය අවුරුදු දහස් ගණනකට පෙර යෙහෝවා යෙසායා තුළින් ප්‍රකාශ කළා. ඔබත් ඔවුන් අතරේ සිටිනවාද?

යෙහෝවාගේ මාර්ග උගත් සෙනඟක්

19, 20. දෙවිගේ සෙනඟට උගන්වා ඇත්තේ මොනවාද? එමෙන්ම ඒ කොහේදීද?

19 අදදින නිර්මල නමස්කාරය වැලඳගන්න අය ගැන යෙසායා තවදුරටත් අපිට මෙසේ කියනවා. ‘බොහෝ ජනයෝද පිටත්ව කතා කොට: එන්න, යෙහෝවාගේ කන්දටත් යාකොබ්ගේ දෙවිගේ ගෘහයටත් යමු; ඔහු තමන්ගේ මාර්ග අපට උගන්වන්නේය, අපිද ඔහුගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද යෙහෝවාගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.’—යෙසායා 2:3.

20 යෙහෝවා තම සෙනඟට නැති වූ බැටළුවන් මෙන් ඔබ මොබ යන්ට හරින්නේ නැහැ. ඔහුගේ මාර්ග ඉගෙනගැනීම සඳහා බයිබලයෙන් සහ බයිබලය මත පදනම් ප්‍රකාශන මගින්, ඔහු ඔවුන්ට තම “ව්‍යවස්ථාව” සහ තම “වචනය” සපයා දෙනවා. මේ දැනුම ‘ඔහුගේ මාවත්වල ගමන් කිරීමට’ ඔවුන්ව සන්නාහ සන්නද්ධ කරනවා. අගයෙන් පිරි හදවත්වලින් සහ දිව්‍ය මඟ පෙන්වීමට එකඟ වෙමින් ඔවුන් එකිනෙකාට යෙහෝවාගේ මාර්ග ගැන කියා දෙනවා. ඔවුන් විශාල සමුළුවලත්, රාජ්‍ය ශාලා සහ පෞද්ගලික නිවෙස්වල කුඩා කණ්ඩායම් හැටියටත්, දෙවිගේ මාර්ග ඉගෙනගැනීමටත් ඊට ඇහුම්කන් දීමටත් එකට එක්රැස් වෙනවා. (ද්විතීය කථාව 31:12, 13) මෙසේ, ‘ප්‍රේමයෙනුත් යහපත් ක්‍රියාවලිනුත්’ පූර්ණව එකිනෙකාව දිරිගැන්වීමට සහ පෙලඹවීමට එක්රැස් වූ මුල් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය ඔවුන් අනුකරණය කරනවා.—හෙබ්‍රෙව් 10:24, 25.

21. යෙහෝවාගේ සේවකයන් හවුල් වන්නේ කිනම් වැඩකද?

21 යෙහෝවා දෙවිගේ උසස් කරන ලද නමස්කාරය වෙත ‘යන්ට’ ඔවුන් අන් අයටත් ආරාධනා කරනවා. ස්වර්ගයට නැඟීමට මොහොතකට කලින්, යේසුස් තම ගෝලයන්ට දුන් ආඥාව සමඟ මෙය කොතරම් එකඟද! ඔහු ඔවුන්ට මෙසේ කිව්වා. ‘එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් [ජාතීන්ට අයත් මනුෂ්‍යයන්, NW] ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඊට කීකරු වෙමින් දිව්‍ය අනුබලය ඇතුව ලොව පුරා සිටින මනුෂ්‍යයන්ට උගන්වමින්, ගෝලයන් සාදමින් සහ ඔවුන්ව බව්තීස්ම කරමින් සිටිනවා.

කඩුවලින් හීවැල්

22, 23. යෙසායා 2:4හි පුරෝකථනය කරන්නේ කුමක්ද? එමෙන්ම, ඒ ගැන එක් එජාගේ නිලධාරියෙක් පැවසුවේ කුමක්ද?

22 අපි දැන් ඊළඟ පදයට පැමිණෙන අතර, ඉන් කොටසක් එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණයේ තාප්පයේද කොටා තිබෙනවා දැකගත හැකියි. යෙසායා මෙසේ ලියනවා. [ඔහු] ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය [කරන්නේය.] ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”—යෙසායා 2:4.

23 මෙය අත් කරගැනීමට ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ෆේඩේරිකෝ මායෝ වරක් මෙසේ කියා සිටියා. “නවීන ජන මාධ්‍යයෙන් අපගේ නිවසේ සිටම අහන-දකින යුද්ධයේ තැතිගන්වන සිදුවීම්, සියවස් ගණනාවක් පුරා දිගටම පවත්වාගෙන ඇති දැවැන්ත යුධ ව්‍යාපාරයේ ඉදිරි ගමන ඇහිරීමට තුඩු දී නැති බවයි පෙනී යන්නේ. ඈත අතීතයේ සිට යුද්ධ කිරීමට ඇති මිනිස් නැඹුරුවාව සාමකාමී හැඟීමකට මාරු කිරීම, ඒ කියන්නේ, ‘කඩුවලින් හීවැල් තනාගැනීම’ නමැති බයිබලයේ සඳහන් සිදු කළ හැකියයි සිතීමටවත් බැරි කාර්යය ඉටු කිරීම, වර්තමාන පරම්පරාවන් ඉදිරියේ තිබෙන ප්‍රබල අභියෝගයක්. මෙවැනි දෙයක් ඉටු කළොත්, එය සමස්ත ලෝකයම වෙනුවෙන් කළ හැකි හොඳම මෙන්ම උදාරතම ක්‍රියාවයි. අනාගත පරම්පරාවට දිය හැකි විශිෂ්ටතම උරුමයයි.”

24, 25. යෙසායාගේ වචනවල ඉටුවීම දකින්නේ කා තුළද? ඒ කිනම් ආකාරයටද?

24 පොදුවේ ජාතීන් මේ උදාර ඉලක්කය අත් කරගන්ට යන්නේ නැහැ. එය ඔවුන්ගේ බලයෙන් ඔබ්බට ඇති දෙයක්. බොහෝ ජාතීන්ට අයත් මිනිසුන් තුළින් යෙසායාගේ වචන ඉටු වී තිබෙනවා. ඒ ඔවුන් නිර්මල නමස්කාරය තුළ එක්සත් වී සිටින නිසයි. යෙහෝවා ඔවුන් අතරේ ‘කාරණා සමථයකට පත් කරගෙන’ තිබෙනවා. එකිනෙකා සමඟ සමාදානයෙන් ජීවත් වීමට තම සෙනඟට ඔහු උගන්වා තිබෙනවා. ඇත්තෙන්ම, බෙදුණු, කලහකාරි ලෝකයක, ඔවුන් පදගතාර්ථයෙන්ම තම ‘කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තනාගෙන’ තිබෙනවා. ඒ කෙසේද?

25 එක් ක්‍රමයක් තමයි, ජාතීන් අතර යුද්ධවලදී පැති නොගැනීම. යේසුස්ගේ මරණයට ටික මොහොතකට කලින්, අවි ගත් මිනිසුන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණියා. තම ස්වාමියාව ආරක්ෂා කරගැනීමට පේතෘස් කඩුව ඇදගත් විට, යේසුස් ඔහුට මෙසේ කිව්වා. “නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (මතෙව් 26:52) එතැන් සිට, යේසුස්ගේ අඩිපාර අනුකරණය කරන සියලුදෙනාම තම තමුන්ගේ කඩු හීවැල් බවට පත් කරගෙන ඇති අතර, සෙසු මිනිසුන් මැරීමට අවි අතට ගැනීමෙන් සහ වෙනත් ආකාරවලින් යුධ කටයුතුවලට සහය වීමෙන් වැළකී සිටිනවා. ඔවුන් “සියල්ලන් ඉදිරියේ සමාදානය ලුහුබඳිනවා.”—හෙබ්‍රෙව් 12:14, NW.

සමාදානයේ මාවත් ලුහුබැඳීම

26, 27. දෙවිගේ සෙනඟ ‘සමාදානය සොයා, එය ලුහුබඳින්නේ’ කෙසේද? උදාහරණයක් දෙන්න.

26 දෙවිගේ සෙනඟ භුක්ති විඳින සමාදානය යුධ කටයුතුවල සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමෙනුත් ඔබ්බට යනවා. රටවල් 230කට වැඩි ගණනක සිටියත්, ගණන් කළ නොහැකි භාෂා සහ සංස්කෘතීන් ගණනාවකට අයත් වුණත්, ඔවුන් එකිනෙකා සමඟ සමාදානය භුක්ති විඳිනවා. මුල් සියවසේ සිටි තම ගෝලයන්ට යේසුස් කී වචනවල වර්තමාන ඉටුවීම ඔවුන් තුළ දැකිය හැකියි. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) අදදින සිටින ක්‍රිස්තියානීන් “සමාදානයට නැඹුරුවන්නෝ” වෙයි. (මතෙව් 5:9, NW පාදසටහන) ඔවුන් ‘සමාදානය සොයා, එය පස්සේ දුවනවා [ලුහුබඳිනවා, NW].’ (1 පේතෘස් 3:11) ඒ සඳහා ඔවුන්ට සහය වෙන්නේ ‘සමාදානයේ දෙවි’ වන යෙහෝවායි.—රෝම 15:33.

27 සමාදානයෙන් සිටීමට ඉගෙනගත් අය පිළිබඳ සිත්ගන්නාසුලු උදාහරණ තිබෙනවා. තම මුල් ජීවිත රටාව ගැන එක්තරා තරුණයෙක් මෙසේ ලියනවා. “ජීවිතයේ අසීරු අද්දැකීම්වලට මුහුණ දුන්නු හින්දා, මගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න මම කොයිවෙලේත් ඉගෙනගත්තා. ජීවිතය ගැන කලකිරීමක් වගේම දරුණු විදිහට ක්‍රියා කරන්නත් ඒක හේතු වුණා. හැම දෙයක්ම කෙළවර වුණේ ගුටිබැටවලින්. හැමදාම, ගෙවල් ගාව හිටපු කවුරු හරි කොල්ලෙක් එක්ක ගහගත්තා. සමහර වෙලාවට අතින් පයින්, තවත් වෙලාවක ගල් මුල්වලින් නැත්නම් බෝතල්වලින්. මම හැදුණෙ වැඩුණෙ බොහොම දරුණු විදිහටයි.” කෙසේවෙතත් අවසානයේදී, ‘යෙහෝවාගේ ගෘහයේ කන්දට’ යන්න ලැබුණු ආරාධනාවට ඔහු ප්‍රතිචාරය දැක්වුවා. ඔහු දෙවිගේ මාර්ග ඉගෙනගෙන, දෙවිගේ සාමකාමී සේවකයෙක් බවට පත් වුණා.

28. සමාදානය ලුහුබැඳීම සඳහා ක්‍රිස්තියානීන්ට කුමක් කළ හැකිද?

28 යෙහෝවාගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙක් එවැනි දරුණු පසුබිම්වලින් පැමිණෙන අය නොවෙයි. ඒ වුණත්, සමාව දීම, කරුණාවන්තකම සහ අනුකම්පාව දැක්වීම වැනි කුඩා දේවලදී පවා ඔවුන් අනිත් අය සමඟ සමාදානය තකා වැඩ කරන්ට උත්සාහ කරනවා. අසම්පූර්ණ වුණත්, “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න” යන බයිබල් උපදේශය අදාළ කරගැනීමට ඔවුන් උත්සාහ කරනවා.—කොලොස්සි 3:13.

සාමදායී අනාගතයක්

29, 30. පොළොව සම්බන්ධයෙන් ඇති අපේක්ෂාව කුමක්ද?

29 ‘කාලවල අවසානය’ තුළදී යෙහෝවා පුදුමාකාර දේවල් කර තිබෙනවා. ඔහුට සේවය කරන්ට කැමති සෙනඟව සියලුම ජාතීන් අතරින් ඔහු රැස් කර තිබෙනවා. ඔහුගේ මාවත්, එනම් සමාදානයේ මාවත්වල ගමන් කිරීමට ඔහු ඔවුන්ට උගන්වා තිබෙනවා. පැමිණෙන්නාවූ ‘මහත් පීඩාවෙන්’ ගැළවී, යුද්ධය සදාකාලයටම නැති කර දමා ඇති සාමකාමී අලුත් පොළොවකට ගමන් කරන්නේ මොවුනුයි.—එළිදරව් 7:14.

30 කඩු එනම් අවි ආයුධ තවත් නැහැ. එවන් කාලයක් ගැන ගීතිකාකරු මෙසේ ලිව්වා. ‘එව්, යෙහෝවාගේ ක්‍රියාවන්, එනම් ඔහු පොළොවෙහි සිදු කළ විනාශයන් බලව්. ඔහු පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය; දුන්න බිඳ, හෙල්ලය කපා දමා, රථ ගින්නෙන් දවන්නේය.’ (ගීතාවලිය 46:8, 9) එවන් අපේක්ෂාවකට අනුව, යෙසායාගේ මේ හදිසි ආරාධනය ඔහු ලියූ දවසට මෙන්ම අදටත් ගැළපෙනවා. “අහෝ යාකොබ්ගේ වංශය, එන්න, [යෙහෝවාගේ] එළියෙහි ගමන්කරමු.” (යෙසායා 2:5) ඔව්, යෙහෝවාගේ එළිය අපගේ මාවත් ආලෝකවත් කරාවා. එවිට, සදාකාලයෙන් සදාකාලයට අපි ඔහුගේ මාවත්වල ගමන් කරන්නෙමු.—මීකා 4:5.

[පාදසටහන]

^ Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොතේ “අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’” යන 9වන පරිච්ඡේදය බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]