Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ හස්තය තේජසට පමුණුවයි

යෙහෝවාගේ හස්තය තේජසට පමුණුවයි

විසිඑක්වන පරිච්ඡේදය

යෙහෝවාගේ හස්තය තේජසට පමුණුවයි

යෙසායා 25:1–27:13

1. යෙහෝවා කෙරෙහි යෙසායා තුළ අගයක් ඇත්තේ මන්ද?

 යෙසායාට යෙහෝවා කෙරෙහි ඇත්තේ ගැඹුරු ප්‍රේමයක් සහ ඔහුව ප්‍රශංසාවට ලක් කිරීමට මහත් ආශාවක්. ඔහු මෙසේ හඬනඟනවා. “[යෙහෝවා], ඔබ මාගේ [දෙවිය]; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.” තම මැවුම්කරුවා සම්බන්ධයෙන් එතරම් මහඟු අගය කිරීමක් ඇති වෙන්ට අනාගතවක්තෘවරයාට හේතු වන්නේ කුමක්ද? ප්‍රධාන කාරණයක් වන්නේ යෙහෝවා ගැනත් ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැනත් ඔහු සතු වූ දැනුමයි. මේ දැනුම සම්බන්ධයෙන් මීළඟ වචන මෙසේ හෙළි කරනවා. “මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද [ඉෂ්ට කළේය].” (යෙසායා 25:1) යෙහෝවා විශ්වාසවන්ත, බලාපොරොත්තු තැබිය හැකි මෙන්ම ඔහුගේ සියලුම “මන්ත්‍රණ” එනම් ඔහු අරමුණු කරන දේවල් සැබෑ කරවන කෙනෙක් බව තමාට පෙර ජීවත් වූ යෝෂුවා මෙන් යෙසායාද දන්නවා.—යෝෂුවා 23:14.

2. යෙසායා දැන් ප්‍රකාශ කරන්නේ යෙහෝවාගේ කිනම් විනිශ්චයද? එමෙන්ම, මේ විනිශ්චයේ අරමුණ කුමක් විය හැකිද?

2 යෙහෝවාගේ මන්ත්‍රණවලට ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව අරමුණු කළ විනිශ්චයන් අයත් වෙනවා. යෙසායා දැන් මින් එකක් ප්‍රකාශ කරන්ට යනවා. “ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද [හැරෙව්වේය]; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.” (යෙසායා 25:2) මේ නිර්නාමික නුවර කුමක්ද? යෙසායා සමහරවිට මෝවබ්හි ආර් නුවරට යොමු දක්වනවා විය හැකියි. මෝවබ් බොහෝ කාලයක් පුරා දෙවිගේ සෙනඟට විරුද්ධව සතුරුකම් පා තිබෙනවා. * එහෙම නැත්නම් ඔහු තවත් ප්‍රබල නුවරක් වන බබිලෝනියට යොමු දක්වනවා විය හැකියි.—යෙසායා 15:1; ශෙපනියා 2:8, 9.

3. යෙහෝවාගේ සතුරන් ඔහුව ගෞරවයට පත් කරන්නේ කොයි ආකාරයෙන්ද?

3 තමන්ගේ ප්‍රබල නුවරට විරුද්ධව යෙහෝවා අරමුණු කළ දෙය සැබෑ වූ විට ඔහුගේ සතුරන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? “බලවත් සෙනග ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.” (යෙසායා 25:3) සර්වපරාක්‍රම දෙවිට ඔහුගේ සතුරන් භයවීම තේරුම්ගත හැකි කරුණක්. කෙසේවෙතත්, ඔවුන් ඔහුව ගෞරවයට පත් කරන්න යන්නේ කෙසේද? ඔවුන් තමන්ගේ බොරු දෙවිවරුන්ව අත්හැර දමා නිර්මල නමස්කාරය වැලඳගනීවිද? එසේ සිතීම උගහටයි! ඔවුන් එසේ කරනවා වෙනුවට, ඵාරාවෝට සහ නෙබුකද්නෙශර්ට මෙන් ඔහුගේ අතිඋත්කෘෂ්ටබව පිළිගැනීමට සිදු වූ විට ඔවුන් යෙහෝවාව ගෞරවයට පත් කරනවා.—නික්මයාම 10:16, 17; 12:30-33; දානියෙල් 4:37.

4. අදදින පවතින “භයානක ජාතීන්ගේ නගරය” කුමක්ද? එමෙන්ම, ඇයට පවා යෙහෝවාව ගෞරවයට පත් කරන්ට සිදු වන්නේ කෙසේද?

4 අදදින පවතින “භයානක ජාතීන්ගේ නගරය” වන්නේ, “පොළොවේ රජුන් කෙරෙහි රජකම්කරන මහත් නුවර” හෙවත් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහ බබිලෝනියයි.’ (එළිදරව් 17:5, 18) මේ අධිරාජ්‍යයේ මූලික කොටසක් වන්නේ ක්‍රිස්තියානි ලෝකයයි. ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන් යෙහෝවාව ගෞරවයට පත් කරන්නේ කෙසේද? යෙහෝවා තම සාක්ෂිකරුවන් වෙනුවෙන් පුදුමාකාර දේවල් කර ඇති බව අකමැත්තෙන් හෝ පිළිගැනීමෙනුයි. විශේෂයෙන්ම 1919දී මහ බබිලෝනියේ ආත්මික බැඳුම්වලින් සාක්ෂිකරුවන්ව මුදා වේගවත් ක්‍රියාකාරකම්වලට යෙහෝවා ඔවුන්ව සන්නද්ධ කළ විට, මේ නායකයන් ‘භයපත්ව ස්වර්ගයේ දෙවිට ගෞරව දුන්නා.’—එළිදරව් 11:13. *

5. තමන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා ඇති අයව යෙහෝවා ආරක්ෂා කරන්නේ කෙසේද?

5 යෙහෝවා තම සතුරන්ට බියකරු කෙනෙකු මෙන් පෙනී සිටියත් තමන්ට සේවය කිරීමට ආශාවෙන් මෘදු සහ යටහත් පහත් ලෙස සිටින අයට බලකොටුවක් වෙනවා. ආගමික සහ කෲර දේශපාලනික නායකයන් සැබෑ නමස්කාරකයන්ගේ ඇදහිල්ල බිඳ දැමීමට කළ හැකි සෑම දෙයක්ම කරාවි. එහෙත් සැබෑ නමස්කාරකයන් යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන නිසා මොවුන්ගේ වෑයම් අසාර්ථක වෙනවා. කාන්තාරයේ ගිනි ගහන අව්ව වලාකුළකින් වැසෙන්නා සේ, චණ්ඩ මාරුතයක් පවුරකින් වළක්වන්නා සේ, දෙවිට විරුද්ධ වන්නන්ව අවසානයේදී නිහඬ කරන්ට යනවා.—යෙසායා 25:4, 5 කියවන්න.

“සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්”

6, 7. (අ) යෙහෝවා පිළියෙළ කරන්නේ කුමන ආකාරයේ මංගල්‍යයක්ද? කා වෙනුවෙන්ද? (ආ) යෙසායා පුරෝකථනය කළ මංගල්‍ය භෝජනයෙන් පෙර ඡායාවක් කොට දක්වන්නේ කුමක්ද?

6 ප්‍රේමනීය පියෙක් මෙන් යෙහෝවා තම දරුවන්ව ආරක්ෂා කරනවා පමණක් නොව, විශේෂයෙන්ම ආත්මික ආකාරයකින් පෝෂණයද කරනවා. වර්ෂ 1919දී යෙහෝවා තම සෙනඟව මුදවාගත්තාට පසු, ඔහු ඔවුන්ට ජයග්‍රහණයේ මංගල්‍යයක් පිළියෙළ කළා. එය ආත්මික ආහාර සම්භාරයකින් සමන්විතයි. “සේනාවල [යෙහෝවාද] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් [සාදන්නේය].”යෙසායා 25:6.

7 මංගල්‍යය පිළියෙළ කර තිබෙන්නේ යෙහෝවාගේ ‘කන්දෙයි.’ මේ කන්ද කුමක්ද? එය නම්, “කාලවල අවසානයේදී” සියලු ජාතීන් රැස්වෙන ‘යෙහෝවාගේ ගෘහයේ කන්දයි.’ එය ඇදහිලිවන්ත නමස්කාරකයන් කිසිදු අනතුරක්වත් හානියක්වත් කරන්නේ නැති යෙහෝවාගේ ‘ශුද්ධ කන්දයි.’ (යෙසායා 2:2, NW; 11:9) නමස්කාරයේ මේ උස් ස්ථානයේදී යෙහෝවා තම ඇදහිලිවන්තයන්ට සියල්ලෙන් සපිරි මංගල්‍යයක් පිළියෙළ කරනවා. දැන් ත්‍යාගශීලී ලෙස සපයන යහපත් ආත්මික දේවල්වලින් පෙර ඡායාවක් කොට දක්වන්නේ දේවරාජ්‍යය මනුෂ්‍යවර්ගයාගේ එකම ආණ්ඩුව බවට පත් වූ විට සපයන්ට යන යහපත් ශාරීරික දේවලුයි. ආහාර හිඟය තවත් තිබෙන්ට යන්නේ නැහැ. ‘පොළොව බොහෝ ශෂ්‍ය වන්නේය. එහි කරල් කඳු මුදුන්හි ලෙළ දෙන්නේය.’—ගීතාවලිය 72:8, 16.

8, 9. (අ) මනුෂ්‍යවර්ගයාගේ කිනම් ප්‍රධාන සතුරන් දෙදෙනාවද ඉවත් කරන්නේ? පැහැදිලි කරන්න. (ආ) තම සෙනඟගෙන් නින්දාව පහ කිරීමට දෙවි කරන්ට යන්නේ කුමක්ද?

8 අදදින දෙවි සපයන ආත්මික මංගල්‍යයට පංගුකාරයන් වන අයට තේජවත් අපේක්ෂාවන් තිබෙනවා. යෙසායාගේ මීළඟ වදන්වලට ඇහුම්කන් දෙන්න. ඔහු පාපය සහ මරණය හුස්ම හිර කරන වැස්මකටත් ජාතීන්ව සම්පූර්ණයෙන්ම වසා දමන තිරයකටත් සමාන කරනවා. ‘ඔහු මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැති කර දමන්නේය. ඔහු මරණය සදාකාලයටම ගිල දමන්නේය; ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.’—යෙසායා 25:7, 8අ.

9 ඔව්, පාපයත් මරණයත් තවත් නැහැ! (එළිදරව් 21:3, 4) ඒ වගේම, අවුරුදු දහස් ගණනක් පුරා යෙහෝවාගේ සේවකයන් විසින් විඳදරාගෙන තිබෙන නින්දා අපහාස තවත් තිබෙන්ට යන්නේ නැහැ. “තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් [පහ කරන්නේය]. මක්නිසාද [යෙහෝවා] ඒක [කීවේය]. (යෙසායා 25:8ආ) මෙය සිදු වන්නේ කෙසේද? එය කරන්නේ නින්දාවේ මුලට ප්‍රතිකාර කිරීමෙනුයි. එනම් සාතන් සහ ඔහුගේ වංශය ඉවත් කිරීමෙන්. (එළිදරව් 20:1-3) එසේනම්, දෙවිගේ සෙනඟ මෙසේ කීමට පෙලඹීම පුදුමයක් නෙවෙයි. ‘බලව! මේ අපේ දෙවිය, අපි ඔහු ගැන බලා සිටියෙමුව, ඔහු අප ගළවන්නේය. මේ තැනැත්තා යෙහෝවාය; අපි ඔහු ගැන බලා සිටියෙමුව, අපි ඔහුගේ ගැළවීම ගැන ප්‍රීති සන්තෝෂ වන්නෙමුව.’—යෙසායා 25:9.

උඩඟුවූවන් පහත් කරයි

10, 11. යෙහෝවා මෝවබ්ට පමුණුවන දැඩි දඬුවම කුමක්ද?

10 යෙහෝවා යටහත් පහත්කම විදහා පෙන්වන තම සේවකයන්ව ගළවාගන්නවා. කෙසේවෙතත්, ඉශ්‍රායෙල්ගේ අසල්වැසියෙක් වූ මෝවබ් උඩඟුව සිටියා. යෙහෝවාට අහංකාරය පිළිකුලක්. (හිතෝපදේශ 16:18) එමනිසා, මෝවබ්ට යටත් වීමට සලස්වනවා. ‘යෙහෝවාගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළ ගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක් මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය. පීනන්නෙකු පීනන්ට අත් විදහන්නාක් මෙන් ඔහු එහි තමාගේ අත් විදහන්නේය; නුමුත් දෙවි ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ අත්වල ප්‍රයෝගයත් පහත් කර දමන්නේය. ඔහු නුඹේ පවුරුවල උස් බලකොටුව හෙළාදමා, පහත් කොට, බිමේ දූවිල්ලටම පමුණුවන්නේය.’—යෙසායා 25:10-12.

11 යෙහෝවාගේ හස්තය ඔහුගේ ශුද්ධ කන්ද මත ‘රඳන්ට’ යනවා. නමුත් උඩඟු මෝවබ්ව ‘කසළ ගොඩේදී’ මෙන් මඩින්ටත් පාගා දමන්ටත් යනවා. යෙසායාගේ දවසේදී පොහොර සෑදීම සඳහා පිදුරු ගොම සමඟ එකට දමා පාගා මිශ්‍ර කළා. ඉතින් මෝවබ්ගේ උසස් තත්වය සහ සුරක්ෂිතයි කියා පෙනෙන්ට තිබූ පවුරු පැත්තක තිබුණත් ඇයට අත් වන නින්දාව ඒ හා සමාන වෙනවා කියා යෙසායා පුරෝකථනය කරනවා.

12. මේ අවස්ථාවේ කරන යෙහෝවාගේ විනිශ්චමය ප්‍රකාශයේදී මෝවබ්ට පමණක් එතරම් දැඩි විනිශ්චයක් ලැබුණේ මන්ද?

12 එතරම් දැඩි විනිශ්චයක් මෝවබ්ට පමණක් දුන්නේ මන්ද? මෝවබ්වරුන් පැමිණෙන්නේ යෙහෝවාගේ නමස්කාරකයෙක් වූ ආබ්‍රහම්ගේ ඥාති සහෝදර ලොත්ගෙන්. මෙසේ බලන කල ඔවුන් දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටින සෙනඟගේ අසල්වැසියන් පමණක් නොව නෑදෑයන්ද වෙනවා. මේ කාරණය එසේ වුවත්, ඔවුන් බොරු දෙවිවරුන්ව තම නමස්කාරයට ඈඳාගත්තා. ඉශ්‍රායෙල් කෙරෙහි දැඩි වෛරයක් විදහාපෑවා. ඒ නිසා ඔවුන්ට අත් වන්ට නියමිත වූ ඉරණම ඔවුන් ලබන්ට වටිනවා. මෙසේ බලද්දී, මෝවබ් හරියට වර්තමානයේ සිටින යෙහෝවාගේ සේවකයන්ගේ සතුරන් වගෙයි. ඇය විශේෂයෙන්ම, මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවෙන් ආරම්භ වූ බව කියා පාන ක්‍රිස්තියානි ලෝකයට සමානයි. නමුත් අපි කලින් දුටු ආකාරයට ක්‍රිස්තියානි ලෝකය මහ බබිලෝනියේ මූලික කොටසයි.

ගැළවීමේ ගීතයක්

13, 14. දෙවිගේ සෙනඟට දැන් තිබෙන “බලවත් නුවර” කුමක්ද? ඊට ඇතුල් වීමට අවසර ඇත්තේ කාට පමණක්ද?

13 දෙවිගේ සෙනඟ ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ අනුග්‍රහයත් ආරක්ෂාවත් ලැබීම ගැන ඉපිල යන ඔවුන් ගීතයකින් මෙසේ කියනවා. “ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස [ඔහු] ගැළවීම [නියම කරන්නේය]. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.” (යෙසායා 26:1, 2) මේ වචන පුරාණ කාලයේදී ඉටු වූ බවට කිසිම සැකයක් නැහැ. ඒ හා සමානවම අදදිනත් එහි පැහැදිලි ඉටුවීමක් දකින්ට තිබෙනවා. යෙහෝවාගේ ‘ධර්මිෂ්ඨ ජාතියට’ එනම් ආත්මික ඉශ්‍රායෙල්ට ස්ථිරසාර නුවරක් බඳු සංවිධානයක් දී තිබෙනවා. ප්‍රීතිවීමට සහ ගී ගැයීමට මේවා කදිම හේතු නෙවෙයිද!

14 මේ ‘නුවරට’ ඇතුල් වන්නේ කුමනාකාර සෙනඟද? පිළිතුර එම ගීතය තුළම අන්තර්ගතයි. ‘ඔබ කෙරෙහි සිත තබා සිටින [නැඹුරුවාව ඇති, NW] තැනැත්තා, ඔබව විශ්වාස කරන බැවින්, ඔබ ඔහු ශාන්ත [සදාකාල, NW] සමාදානයෙන් ආරක්ෂා කරන්නේය. යෙහෝවා කෙරෙහි සදාකාලයටම විශ්වාස කරන්න. මක්නිසාද යෙහෝවා නම් වූ ස්වාමීන් [යාහ් යෙහෝවා, NW] සදාකාල පර්වතයක්ය.’ (යෙසායා 26:3, 4) යෙහෝවා විසින් අනුබල දෙන ‘නැඹුරුවාව’ වන්නේ, මිනිසුන් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට කීකරු වීමට ආශාවක් දැක්වීම සහ ඔහු කෙරෙහි විශ්වාසය තැබීමයි. එසේ කරන්නන් මේ ලෝකයේ අස්ථිර වූ ආර්ථික, දේශපාලනික හෝ ආගමික ක්‍රම මත විශ්වාසය තබන්නේ නැහැ. ආරක්ෂාවේ එකම පර්වතය “යාහ් යෙහෝවා” පමණයි. යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති අය ඔහුගේ රැකවරණයත්, ‘සදාකාල සමාදානයත්’ භුක්ති විඳින්ට යනවා.—හිතෝපදේශ 3:5, 6; පිලිප්පි 4:6, 7.

15. අදදින ‘උස් වූ නගරය’ පහත් කර ඇත්තේ කෙසේද? එමෙන්ම, “දිළිඳුන්ගේ පාද” එය පාගා දමන්නේ කෙසේද?

15 දෙවිගේ සෙනඟගේ සතුරන්ට සිදුවීමට යන දෙයට වඩා මොනතරම් වෙනසක්ද? “[ඔහු] උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් [හෙළා දැමුවේය. ඔහු] එය [පහත් කරන්නේය], බිමටම ඒක පහත්කර ධූලියටම [පමුණුවන්නේය]. පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත.” (යෙසායා 26:5, 6) නැවත වරක් යෙසායා යොමු දක්වමින් සිටින්නේ මෝවබ්හි කන්දක් මත පිහිටි ‘උස් වූ නගරයකට,’ නැතහොත් බබිලෝනිය වැනි නිසැකවම උඩඟු ආකල්පයෙන් වැජඹුණු වෙනත් නගරයකට විය හැකියි. කාරණය කුමක් වුණත්, යෙහෝවා ‘උස් වූ නගරය’ පහත් කර තිබෙන අතර, ඔහුගේ ‘දිළිඳුන් සහ දුර්වලයන්’ එය පාගා දමන්ට යනවා. අදදින මේ අනාවැකිය ඉතා හොඳින් මහ බබිලෝනියට, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයට අදාළ වෙනවා. වර්ෂ 1919දී යෙහෝවාගේ සෙනඟව නිදහස් කිරීමට මේ ‘උස් වූ නගරයට’ බල කිරීම ඔවුන්ට මහත් සේ නින්දාසහගත දෙයක් වුණා. එපමණක්ද නොව එහි ප්‍රතිඵලය වූයේ නිදහස ලැබූ යෙහෝවාගේ සෙනඟ තමන්ව කලින් යටත් කරගෙන සිටි අයව පාගා දැමීමයි. (එළිදරව් 14:8) ඒ කෙසේද? යෙහෝවා ඇය පිටට ගෙනෙන්ට යන පළිගැනීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්.—එළිදරව් 8:7-12; 9:14-19.

ධර්මිෂ්ඨකමට ආශාවීම සහ යෙහෝවාගේ “සංඥා නාමය”

16. යෙසායා සපයන භක්තිවන්තකමේ මහඟු ආදර්ශය කුමක්ද?

16 මේ ජයග්‍රාහී ගීතයෙන් පසු, ධර්මිෂ්ඨකමේ දෙවිට සේවය කිරීමේ විපාකත් තමාගේම භක්තියේ ගැඹුරත් යෙසායා හෙළි කරනවා. (යෙසායා 26:7-9 කියවන්න.) ‘යෙහෝවා කෙරෙහි බලා සිටීම’ ගැන පමණක් නොව යෙහෝවාගේ “නාමය” සහ “සංඥා නාමය” කෙරෙහි මහත් ඇල්මක් තිබීම සම්බන්ධයෙන්ද අනාගතවක්තෘවරයා හොඳ ආදර්ශයක් තබනවා. යෙහෝවාගේ සංඥා නාමය කුමක්ද? නික්මයාම 3:15 කියන්නේ මෙසේයි. “[යෙහෝවා යනු] . . . සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.” යෙසායා යෙහෝවාගේ නාමයට සහ එයින් අර්ථවත් වන සෑම දෙයකටම එනම් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සහ මාර්ගවලට ඇලුම් කළා. යෙහෝවා කෙරෙහි ඒ සමාන ප්‍රේමයක් වර්ධනය කරගන්නාවූ අයට ආශීර්වාද ලැබෙන බව නිසැකයි.—ගීතාවලිය 5:8; 25:4, 5; 135:13; හොෂෙයා 12:5.

17. දුෂ්ටයන්ට නොලැබෙන්නේ කිනම් වරප්‍රසාදද?

17 කෙසේවෙතත්, සියලුදෙනාම යෙහෝවාට සහ ඔහුගේ උසස් ප්‍රමිතිවලට ඇලුම් කරන්නේ නැහැ. (යෙසායා 26:10 කියවන්න.) දුෂ්ටයන්ට ප්‍රස්තාවක් ලබා දුන්නත්, සදාචාරමයව සහ ආත්මිකව පවිත්‍රව සිටින යෙහෝවාගේ සේවකයන් වෙසෙන “යුක්තිය ඇති දේශයෙහි” ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ධර්මිෂ්ඨකම ඉගෙනගැනීම ඔවුන් මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිඵලයක් හැටියට, දුෂ්ටයා ‘යෙහෝවාගේ මහන්තත්වය දකින්නේ නැහැ.’ යෙහෝවාගේ නාමය විශුද්ධ කළාට පසු මනුෂ්‍යවර්ගයා වෙත ගලා එනු ඇති ආශීර්වාද ඔවුන් භුක්ති විඳින්ට යන්නේ නැහැ. අලුත් ලෝකයේදී පවා, මුළු පොළොවම ‘යුක්තිය ඇති දේශයක්’ බවට පත් වෙද්දී, යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවට ප්‍රතිචාරය දැක්වීමට සමහරුන් අසමත් වෙනවා. එවැනි අයගේ නම් ජීවන පොතේ ලියැවෙන්නේ නැහැ.—යෙසායා 65:20; එළිදරව් 20:12, 15.

18. යෙසායාගේ කාලයේදී කැමැත්තෙන්ම අන්ධ වීමට සමහරුන් තෝරාගත්තේ කෙසේද? එහෙත් යෙහෝවාව ‘දකින්ට’ ඔවුන්ට අනිවාර්යයෙන්ම සිදු වන්නේ කිනම් අවස්ථාවේදීද?

18 “[යෙහෝවා] ඔබගේ හස්තය ඔසවා [තේජසට පමුණුවා, NW] තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනග උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.” (යෙසායා 26:11) යෙසායාගේ දවසේදී, යෙහෝවා තම සෙනඟව ඔවුන්ගේ සතුරන් අතින් ආරක්ෂා කරගනිද්දී යෙහෝවාගේ හස්තය තේජසට පත් වෙනවා. එහෙත් බොහෝදෙනෙක් මෙය තේරුම්ගෙන නැහැ. ඔවුන් කැමැත්තෙන්ම ආත්මික අන්ධභාවයට පත් වී සිටිනවා. අවසානයේදී යෙහෝවා ඔවුන්ව ජ්වලිතයේ ගින්නෙන් දවා දමද්දී ඒ බව දකින්ට හෝ තේරුම්ගන්ට ඔවුන්ට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. (ශෙපනියා 1:18) දෙවි පසුකලක එසකියෙල්ට මෙසේ කියනවා. ‘මා යෙහෝවා බව ඔවුන් දැනගන්නවා ඇත.’—එසකියෙල් 38:23.

‘යෙහෝවා ප්‍රේම කරන අයට ඔහු දඬුවම් කරන්නේය’

19, 20. යෙහෝවා තම සෙනඟව හික්මවා තිබෙන්නේ මන්ද? එමෙන්ම කෙසේද? එවැනි හික්මවීමකින් ප්‍රයෝජන ලබා ඇත්තේ කවුද?

19 තම රටවැසියන් යම් සාමයක් සහ සමෘද්ධියක් අද්දකිනවා නම් එය පැමිණෙන්නේ යෙහෝවාගේ ආශීර්වාද නිසා බව යෙසායා දැන සිටිනවා. “[යෙහෝවා], ඔබ අප උදෙසා සමාදානය [ප්‍රදානය කරන්නේය]. මක්නිසාද අපේ සියලු කාරණාම, ඔබ අප උදෙසා [කර දුන්නේය].” (යෙසායා 26:12) මෙවන් ආශීර්වාදත් ඇතුළුව “පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක්” වීමට යෙහෝවා තම සෙනඟට ප්‍රස්තාවක් ලබා දුන්නද යූදා හිමිකම් කියා තිබෙන්නේ එතරම්ම හොඳ ඉතිහාසයකට නම් නෙවෙයි. (නික්මයාම 19:6) නැවත නැවතත්, ඇගේ සෙනඟ බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා හැරී ගොස් තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට, දෙවි විටින් විට ඔවුන්ව හික්මෙව්වා. කෙසේවෙතත්, එවන් හික්මවීම් යෙහෝවාගේ ප්‍රේමයේ සාක්ෂි වුණා. මන්ද ‘යෙහෝවා ප්‍රේම කරන අයට ඔහු දඬුවම් කරන’ නිසයි.—හෙබ්‍රෙව් 12:6.

20 බොහෝ අවස්ථාවල, යෙහෝවා තම සෙනඟව අනිත් ජාතීන් අතට පත් කිරීමෙන්, එනම් ඔවුන් කෙරෙහි අධිපතිකම් කරන්ට ‘වෙන ස්වාමිවරුන්ට’ ඉඩහැරීමෙන් ඔවුන්ට හික්මවීම ලබා දෙනවා. (යෙසායා 26:13 කියවන්න.) පොදු යුගයට පෙර 607දී ඔවුන්ව වහලුන් හැටියට බබිලෝනියට ගෙනයන්ට ඔහු ඉඩහැරියා. ඔවුන්ට ඉන් ප්‍රයෝජනයක් අත් වුණාද? කෙනෙකු දුක් විඳීමෙන් පමණක්ම ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. කෙසේවෙතත්, දුක්විඳින්නා සිදු වූ දෙයින් යමක් ඉගෙනගන්නවා නම්, පසුතැවිලි වෙනවා නම්, යෙහෝවාට තනි භක්තිය පුදනවා නම් ඔහු ප්‍රයෝජන ලබන්ට යනවා. (ද්විතීය කථාව 4:25-31) යුදෙව්වන්ගෙන් කිසිවෙකු දිව්‍ය පසුතැවිල්ල පෙන්නුවාද? ඔව්! යෙසායා අනාවැකිමය ලෙස කියන්නේ මෙසේයි. “අපි . . . ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.” පොදු යුගයට පෙර 537දී වහල්භාවයෙන් මිදී පැමිණි යුදෙව්වන්ට ඔවුන් කළ වෙනත් පව් සඳහා විටින් විට සමාව ගන්ට සිදු වුණත්, ආයෙ කවදාවත් පිළිමවලට නමස්කාර කිරීමේ මලපතට නම් වැටුණේ නැහැ.

21. දෙවිගේ සෙනඟට විරෝධය පෑ අයට සිදු වන්නේ කුමක්ද?

21 යූදාව ආක්‍රමණය කරන අය ගැන කුමක් කිව හැකිද? “මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති [කළේය].” (යෙසායා 26:14) බබිලෝනිය යෙහෝවාගේ තෝරාගත් ජාතිය මත ගෙනා කෲරකම් සම්බන්ධයෙන් දඬුවම් ලබන්ට නියමිතයි. මේදවරුන් සහ පර්සියානුවන් මාර්ගයෙන් යෙහෝවා බබිලෝනිය පෙරළා දමා තමන්ගේ සෙනඟව වහල්භාවයෙන් නිදහස් කරගන්ට යනවා. මහා නුවර වූ බබිලෝනිය කොතරම් අසරණ වෙනවාද කිව්වොත්, එය මැරුණා හා සමාන වෙනවා. අන්තිමේදී, ඇය අභාවයට පත් වෙනවා.

22. වර්තමාන කාලයේදී දෙවිගේ සෙනඟ ආශීර්වාද ලබා තිබෙන්නේ කෙසේද?

22 නවීන දින ඉටුවීමේදී, හික්මවන ලද ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසක්ව මහ බබිලෝනියෙන් නිදහස් කර, 1919දී යෙහෝවාගේ සේවය සඳහා නැවත පිහිටෙව්වා. ප්‍රකෘතිමත් වූ ආලේප ලත් ක්‍රිස්තියානීන් කෙළින්ම බැස්සේ දේශනා කිරීමේ වැඩයටයි. (මතෙව් 24:14) ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා ඔවුන්ට වර්ධනය දීමෙන් ආශීර්වාද කළා. ඔවුන් සමඟ සේවය කිරීමට ‘වෙනත් බැටළුවන්ගේ’ මහත් සමූහයක්ද රැස් කර තිබෙනවා. (යොහන් 10:16) “[යෙහෝවා], ඔබ සෙනග [වැඩි කළේය], ඔබ සෙනග වැඩිකර ගෞරවය [ලබාගත්තේය]. ඔබ දේශයේ සියලු මායිම්ද [විශාල කළේය. යෙහෝවා], විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.”—යෙසායා 26:15, 16.

‘ඔවුන් නැඟිටිනවා ඇත’

23. (අ) පොදු යුගයට පෙර 537දී යෙහෝවාගේ බලයේ කුමන වැදගත් පිළිබිඹු කිරීමක් සිදු වෙනවාද? (ආ) පොදු යුගයේ 1919දී ඒ හා සමාන පිළිබිඹු කිරීමක් සිදු වුණේ කෙසේද?

23 යූදා බබිලෝනියේ වහල්භාවයේ සිටිද්දීම ඔවුන් මුහුණ දෙමින් සිටි තත්වය වෙත යෙසායා තම අවධානය යොමු කරනවා. ප්‍රසූත කිරීමට කාගේවත් පිළිසරණක් නැති විලිරුජාවෙන් මිරිකී වේදනා විඳින ස්ත්‍රියකට ඔහු තම සෙනඟව සමාන කරනවා. (යෙසායා 26:17, 18 කියවන්න.) එම පිළිසරණ ලැබෙන්නේ පො.යු.පෙ. 537දීයි. එවිට යෙහෝවාගේ සෙනඟ දේවමාළිගාව යළි ගොඩනැඟීමටත් සැබෑ නමස්කාරය යළි පිහිටුවීමටත් මහත් ආශාවෙන් යුතුව තම මව්බිම කරා නැවත යනවා. මෙසේ ජාතිය මරණයෙන් නැඟිටුණා. “ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට [සලස්වන්නේය].” (යෙසායා 26:19) යෙහෝවාගේ බලයේ මොනතරම් ප්‍රබල පිළිබිඹු කිරීමක්ද! තවදුරටත්, වර්ෂ 1919දී ආත්මික ආකාරයකින් මේ වචන ඉෂ්ට වූ විට, එය යෙහෝවාගේ බලයේ විශිෂ්ට පිළිබිඹු කිරීමක් වුණා. (එළිදරව් 11:7-11) මරණය නිසා අසරණව සිටින අය අලුත් ලෝකයේදී ‘යේසුස්ගේ හඬ අසා’ සිහිවීමේ සොහොන් ගෙවල්වලින් ‘එළියට පැමිණෙන’ දවස අපි මොනතරම් ආශාවෙන්ද බලා සිටින්නේ!—යොහන් 5:28, 29.

24, 25. (අ) පොදු යුගයට පෙර 539දී සිටි යුදෙව්වන් සැඟවී සිටීම සඳහා යෙහෝවා දුන් ආඥාවට කීකරු වූයේ කෙසේද? (ආ) වර්තමානයේ ‘ඇතුල් ගෙවල්’ කියා යොමු දක්වන්නේ කුමකට විය හැකිද? එමෙන්ම ඒ සම්බන්ධයෙන් අප වර්ධනය කරගත යුතු ආකල්පය කුමක්ද?

24 කෙසේවෙතත්, මේ ඇදහිලිවන්තයන් යෙසායා තුළින් පොරොන්දු වූ ආත්මික ආශීර්වාද භුක්ති විඳින්ට නම් ඔවුන් යෙහෝවාගේ ආඥාවලට කීකරු විය යුතුයි. “මාගේ සෙනග, එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න. මක්නිසාද මෙන්න, [යෙහෝවා] පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී [එන්නේය]. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.” (යෙසායා 26:20, 21; සසඳන්න ශෙපනියා 1:14.) මේ කොටසේ මුල් ඉටුවීමක් කෝරෙෂ් විසින් මෙහෙයවූ මේද පර්සියානු හමුදා පො.යු.පෙ. 539දී බබිලෝනිය ජයගත් විට ඉටු වන්ට ඇති. ග්‍රීක් ඉතිහාසඥ සෙනොෆන් කියන විදිහට, කෝරෙෂ් බබිලෝනියට ඇතුල් වූ විට, එහි සිටි සියලුදෙනාටම නිවෙස්වලට වී සිටීමට අණ කළා. ඊට හේතුව වූයේ, “පිටදී හමු වූ සියලුදෙනාවම මරා දැමීමට ඔහු තම යුධ අසරුවන්ට අණ කර තිබීමයි.” මේ අනාවැකියේ සඳහන් ‘ඇතුල් ගෙවල්’ අදදින ලොව වටා සිටින යෙහෝවාගේ සෙනඟගේ දසදහස් ගණන් සභාවන් හා සමාන වන බව පෙනෙනවා. එවැනි සභාවන් දැනුත් ‘මහත් පීඩාව’ තුළින් ගමන් කරද්දීත් අපේ ජීවිතවල ප්‍රධාන අංගයක් වෙන්ට යනවා. (එළිදරව් 7:14) එමනිසා, අපි සභාව ගැනත් එහිදී ලබන ඇසුර ගැනත් යහපත් දෘෂ්ටියක් පවත්වාගැනීම මොනතරම් හොඳද!—හෙබ්‍රෙව් 10:24, 25.

25 ඉතා ඉක්මනින් සාතන්ගේ ලෝකය විනාශ වෙන්ට යනවා. යෙහෝවා තම සෙනඟව එම බිය උපදවන කාලයේදී ආරක්ෂා කරන්ට යන්නේ කෙසේද කියා අපි තවමත් දන්නේ නැහැ. (ශෙපනියා 2:3) කෙසේවෙතත්, අපි එක දෙයක් නම් දන්නවා. ඒ අපේ ගැළවීම රඳා පවතින්නේ යෙහෝවා කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල, අපේ පක්ෂපාතකම සහ කීකරුකම මත බවයි.

26. ඉශ්‍රායෙල්ගේ දවසේ සහ අපේ දවසේ “ලෙවියාතන්” කවුද? එමෙන්ම, ‘මුහුදේ ඉන්න දීර්ඝයාට’ සිදු වන්නේ කුමක්ද?

26 ඒ කාලයේ පැමිණීම ගැන යෙසායා මෙසේ පුරෝකථනය කරනවා. “ඒ දවසෙහි [යෙහෝවා] තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද [මරන්නේය].” (යෙසායා 27:1) එහි මුල් ඉටුවීමේදී “ලෙවියාතන්” කියා යොමු දැක්වූයේ ඉශ්‍රායෙල්වරුන් විසිරී ගොස් තිබූ බබිලෝනිය, මිසරය සහ අෂූරිය වැනි රටවලටයි. නියමිත කාලයේදී යෙහෝවාගේ සෙනඟ තම මව්බිමට පැමිණීම වැළැක්වීමට මේ ජාතීන්ට හැකි වූයේ නැහැ. එසේනම්, වර්තමාන ලෙවියාතන් කවුද? පෙනෙන විදිහට ඒ “පුරාණ සර්පයා” වූ සාතන් සහ ආත්මික ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධ කිරීමට ඔහු පාවිච්චි කරන ආයුධය වන ඔහුගේ වර්තමාන දුෂ්ට ක්‍රමයයි. (එළිදරව් 12:9, 10; 13:14, 16, 17; 18:24) වර්ෂ 1919දී දෙවිගේ සෙනඟව “ලෙවියාතන්” අතින් ගිලිහී ගියා. යෙහෝවා “මුහුදේ ඉන්න [මෙම] දීර්ඝයා” සහමුලින්ම විනාශ කරද්දී ඔහු තවත් සිටින්ට යන්නේ නැහැ. මේ අතරතුරේදී, “ලෙවියාතන්” යෙහෝවාගේ සෙනඟට විරුද්ධව අටවන කිසිම උගුලක් සාර්ථක වෙන්ට යන්නේද නැහැ.—යෙසායා 54:17.

“පෙණ නඟින මුද්‍රිකපාන දෙන මිදිවත්තක්”

27, 28. (අ) යෙහෝවාගේ මිදි වත්ත මුළු පොළොවම පිරෙව්වේ කුමකින්ද? (ආ) යෙහෝවා තම මිදි වත්ත ආරක්ෂා කරන්නේ කෙසේද?

27 යෙහෝවාගේ මිදී ආ සෙනඟගේ සඵලත්වය ගැන තවත් ගීතයකින් යෙසායා මැනවින් නිදර්ශනය කරනවා. “ඒ දවසෙහි ප්‍රියකරු [පෙණ නඟින මුද්‍රිකපාන දෙන, NW] මිදිවත්තක් ඇතිවේ, ඒ ගැන ගීතිකාකරන්න. [යෙහෝවා] වන මම ඒක ආරක්ෂාකරමි; මොහොතින් මොහොත ඊට වතුර වත් කරන්නෙමි. කිසිවෙක් ඊට අන්තරා නොකරන ලෙස මම රෑ දාවල් ඒක ආරක්ෂාකරන්නෙමි.” (යෙසායා 27:2, 3) ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි අය සහ ඔවුන් හා වෙහෙස මහන්සි වී වැඩ කරන ආශ්‍රිතයන්, මුළු පොළොවම ආත්මික ඵලදාවෙන් පුරවා තිබෙනවා. ගී ගයා සැමරීමට වටිනා සිද්ධියක් එය! සියලු ප්‍රශංසාව යා යුත්තේ මිදි වත්ත ආදරයෙන් රැකබලා ගත් යෙහෝවාටයි.—යොහන් 15:1-8 සසඳන්න.

28 ඇත්තෙන්ම යෙහෝවා තුළ මුලින් තිබූ කෝපය දැන් ප්‍රීතියට හැරී ගිහින්! “මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි. නැතහොත් ඔහු මාගේ ශක්තිය අල්වාගෙන [බලකොටුවේ ආරක්ෂාව ලබා, NW] මා සමග සමාදාන වේවා; එසේය, ඔහු මා සමග සමාදාන වේවා.” (යෙසායා 27:4, 5) තම මිදිවැල් ‘පෙණ නඟින මුද්‍රිකපානය’ ඇති තරම් සපයන බවට සහතික වීම සඳහා, යෙහෝවා තම මිදි වත්ත දූෂ්‍ය කළ හැකි වල් පැළ බඳු ඕනෑම බලපෑමක් උගුල්ලා ගින්නෙහි දමනවා. එමනිසා, ක්‍රිස්තියානි සභාවේ ශුභසාධනයට හානි නොකිරීමට සැමෝම පරෙස්සම් වීම හොඳයි! ඒ වෙනුවට, යෙහෝවාගේ අනුග්‍රහය සහ ආරක්ෂාව සොයමින් සියලුදෙනාම ‘ඔහුගේ බලකොටුවේ ආරක්ෂාව ලැබීම’ ඇඟට ගුණයි. මෙලෙස කිරීම මගින්, ඉතා වැදගත් කාරණයක් වන දෙවි සමඟ ඔවුන් සමගි වෙනවා. එය යෙසායා දෙවරක්ම සඳහන් කරනවා. ප්‍රතිඵලය? “මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.” (යෙසායා 27:6) * මේ පදයේ ඉටුවීම යෙහෝවාගේ බලය සම්බන්ධයෙන් මොනතරම් පුදුමාකාර සාක්ෂියක් සපයනවාද! වර්ෂ 1919 සිට ආලේප ලත් ක්‍රිස්තියානීන් පොළොව “ඵලයෙන්” එනම් ෂෝෂ්‍යදායී ආත්මික ආහාරයෙන් පුරවා තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට, දශලක්ෂ ගණන් පක්ෂපාත වෙනත් බැටළුවන් ඔවුන් හා එක් වී සිටින අතර, ‘රෑ දාවල් දෙවිට සේවය කරනවා.’ (එළිදරව් 7:15) දූෂිත ලෝකයක් මැද මොවුන් ප්‍රීතියෙන් ඔහුගේ උසස් ප්‍රතිපත්ති දිගටම අදාළ කරගෙන තිබෙනවා. ඒ නිසා යෙහෝවා වර්ධනයෙන් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා. මේ ‘ඵලදාවේ’ පංගුකාරයන් වීමේ මහත් වරප්‍රසාදය කිසිදාක නැති කර නොගනිමු! මේ ඵලදාව ගැන අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් නොවැළකී සිටිමු!

[පාදසටහන්වල]

^ සමහරවිට ආර් යන නමේ තේරුම “නුවර” විය හැකියි.

^ එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොතේ 170වන පිටුව බලන්න.

^ යෙසායා 27:7-13 දක්වා  285වන පිටුවේ ඇති කොටුවෙහි සාකච්ඡා කර තිබෙනවා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[285වන පිටුවේ කොටුව]

 “මහත් හොරණෑවක්” නිදහස පතුරුවයි

පොදු යුගයට පෙර 607දී යෙහෝවා තම හිතුවක්කාර ජාතිය වහල්කමට යැවීමෙන් දඬුවම් කරන විට යූදාගේ වේදනාව වැඩි වෙනවා. (යෙසායා 27:7-11 කියවන්න.) ජාතියේ වරද සත්ව පූජා ඔප්පු කර වැසිය හැකි පුංචි පහේ එකක් නෙවෙයි. ඉතින්, හරියට කෙනෙක් එළුවන් සහ බැටළුවන්ව “භයගන්වන [NW] විට හෝ දැඩි සුළං “ගසන” විට උන් විසිරී යන්නා සේ, යෙහෝවා මව්බිමෙන් ඉශ්‍රායෙල්වරුන්ව පන්නා දමන්ට යනවා. ඉන්පසුව, ස්ත්‍රී පක්ෂයෙන් නියෝජනය කර ඇති දුර්වල ජාතීන්ට වුණත් දේශයේ ඉතිරිව තිබෙන දේවල් පාවිච්චි කරන්ට පුළුවන් වෙනවා.

කෙසේවෙතත්, තම සෙනඟව වහල්කමෙන් බේරාගැනීමට යෙහෝවාට කාලය පැමිණෙනවා. වැවිලිකරුවෙක් ඔලීව ගසකින් ගෙඩි කඩා ඒවා ගසෙන් වෙන් කරගන්නා සේ ඔහු ඔවුන්ව නිදහස් කරගන්ට යනවා. “ඒ දවසෙහි [යෙහෝවා] ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල [නෙළාගන්නේය]. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය. තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි [යෙහෝවාට] නමස්කාරකරන්නෝය.” (යෙසායා 27:12, 13) පොදු යුගයට පෙර 539දී ලැබූ ජයග්‍රහණයෙන් පසු කෝරෙෂ් තම අධිරාජ්‍යය තුළ සිටින සියලුම යුදෙව්වන්ව නිදහස් කර හැරීමට ආඥාවක් නිකුත් කරනවා. ඊට අෂූරියේ සහ මිසරයේ සිටි යුදෙව්වන් අයත් වෙනවා. (එස්රා 1:1-4) එය හරියට ‘මහත් හොරණෑවකින්’ නැඟෙන හඬ දෙවිගේ සෙනඟ සඳහා නිදහසේ ගීයක් ප්‍රතිනාද කරන්නාක් මෙනි.

[275වන පිටුවේ පින්තූර]

“සාරවූ දෙයින් මංගල්‍යයක්”

[277වන පිටුවේ පින්තූරය]

බබිලෝනිය ඇගේ හිරකරුවන්ගේම පයට පෑගෙනවා

[278වන පිටුවේ පින්තූරය]

‘නුඹලාගේ ඇතුල් ගෙවලට යන්න’